මෝල් හිමියන් සහල් වලට පාලන මිලක් ඉල්ලයි

මොල් හිමියන් සහල් වලට පාලන මිලක් ඉල්ලයි

*********************************************

මෝල් හිමියන් සහල් වලට පාලන මිලක් ඉල්ලයි

(08.08.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala)

වී සඳහා සහතික මිලක් නියම කළා සේ සහල් සඳහා ද පාලන මිල පැනවිය යුතු බව සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් ව්‍යාපාරිකයන් ප්‍රකාශ කළා.

දිස්ත්‍රික් 10 ක් නියෝජනය කරමින් සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් ව්‍යාපාරිකයින් කොළඹ දී අද (08) මාධ්‍ය හමුවක් කැඳවමිනුයි මේ බව අවධාරණය කළේ.

මේ අතර සහතික මිලක් ලැබුණද, මෙවර යල කන්නයේ අස්වැන්න අඩුවී ඇති බවට ගොවීන් පවසනවා.

රජය විසින් සහතික මිලක් යටතේ වී ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති අතර දිවයින පුරා වී අලෙවි මණ්ඩලය හරහා මෙලෙස වී මිලදී ගැනීම සිදුකරන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ගොවීන් ප්‍රකාශ කළේ සිය ඵලදාවේ අඩුවක් දක්නට ලැබෙන බවයි.

******************************************

(08.08.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala)

තම ජීවනෝපාය සරිකරගැනීම සඳහා මැණික් ගැරීමේ නිරත කාන්තාවන් පිරිසක් පිළිබඳව මාතලේ – ලග්ගල ප්‍රදේශයෙන් වාර්තාවනවා.

රුපියල් දහසක (1000) වැටුපක් පමණක් ඔවුන්ට සතියකට ලැබෙන බවයි වාර්තා වන්නේ.

බොහෝවිට පිරිමින් නිරත වන කර්මාන්තයක් ලෙසයි පතල් කර්මාන්තය සැළකෙන්නේ.

කෙසේ වෙතත් මේ වනවිට ලග්ගල – මාඔය, හත්තොට අමුණ, කළුගඟ, කිරිකිරිඔය, වැල්ලෙවෙල, දේවාලෙදෙණිය ආදී ප්‍රදේශවල කාන්තාවන් පතල් කර්මාන්තයට යොමුව ඇති ආකාරයක් දක්නට ලැබෙනවා.

******************************************

(08.08.2021 – 13:38 +0530 – hirunews.lk/sinhala)

ගංඟා ආශ්‍රිත ව සිදුවන පාරිසරික දූෂණය වැළැක්වීම සඳහා සියලු ම ගංඟා ආශ්‍රිතව රක්ෂිත මායිමක් සළකුණු කිරීමට පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා.

එහි මූලික පියවරක් ලෙසින් හංවැල්ලේ සිට පෑලියගොඩ දක්වා කැලණි ගඟ ආශ්‍රිත ව පරිසර සංරක්ෂණ කලාපයක් නම් කිරීමට නියමිත බවයි පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ.

මේ වනවිට රට පුරා ගංඟා පද්ධති ආශ්‍රිත ව එක් රැස්වන අපද්‍රව්‍ය එම පද්ධතියටම බැහැර කරන ස්ථාන 10,733 ක් හඳුනාගෙන තිබෙනවා ෴

******************************************

(08.08.2021 – 14:05 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට නීතිවිරෝධීව මෙරටට ගෙන ආ වියළි කහ කිලෝ 5372 ක් සමඟ ඉන්දීය ජාතිකයන් 5 දෙනෙකු යාත්‍රාවක් ද සමඟ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.

හලාවත තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ සිදුකළ මුර සංචාරයක් අතරතුර අදාළ කහ තොගය සොයාගෙන ඇති අතර ඒවා උර 143 ක අසුරා තිබූ බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

අදාළ කහ තොගය විෂබීජහරණය කිරීමෙන් පසු ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කරන තෙක් නාවික හමුදා භාරයේ තබාගෙන ඇති අතර ඉන්දීය ජාතිකයින් 5 දෙනා සමඟ යාත්‍රාව මෙරට මුහුදු සීමාවෙන් පිටත් කර හැරීමට කටයුතු කරනු ලැබුවා ෴

******************************************

(08.08.2021 – 16:15 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 35 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑමයක් (1) සමඟ සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසයේ බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මොහු අද (08) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මීගමුව ප්‍රදේශයේ පදිංචි අයෙකුගෙන් සැකකරු අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගෙන කොටස් වශයෙන් අලෙවි කර ඇති බවට හෙළි වී තිබෙනවා.

43 හැවිරිදි මොහු හෙට (09) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතයි ෴

******************************************

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිදුකළ පළමු අක්මා බද්ධය

(08.08.2021 – 17:00 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ පළමු (1) වරට අක්මා බද්ධ කිරීමේ සැත්කමක් පසුගිය දා සිදුකළ බව රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා පවසයි.

එම සැත්කම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය රොහාන් සිරිසේන මහතාගේ හා තවත් විශේෂඥ වෛද්‍යවරු රැසකගේ දායකත්වයෙන් සිදුකර තිබේ.

37 හැවිරිදි සිරෝසීස් රෝගයෙන් පෙළුණු පුද්ගලයෙකුට එම අක්මා බද්ධය ඉතා ඉක්මනින් සිදුකළ යුතුව තිබු බව ද වෛද්‍යවරු පවසති.

පසුව ඉකුත් 30 වන දා සැත්කම ඉතා සාර්ථකව සිදුකළ බවත් වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා සඳහන් කළේය.

ඒ සඳහා මොළය මියගිය 62 හැවිරිදි පුද්ගලයකුගේ අක්මාව රාගම රෝහලේ දී ලබාගත් ගෙන තිබේ.

පැය ‍12 කට ආසන්න වේලාවක් සැත්කම සඳහා ගතවී ඇති අතර, ජ‍යවර්ධනපුර රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරු පිරිසක් ඒ සඳහා දායකත්වය දක්වා ඇත.

අක්මා බද්ධය අධික වියදම් සහිත සැත්කමක් වන නමුත් ජයවර්ධනපුර රෝහලේ දී සිදුකළ පළමු සැත්කම සඳහා කිසිදු අයකිරීමක් නොකිරීම ද විශේෂත්වයකි.

අක්මා බද්ධය සිදුකිරීම සඳහා වසර 3 ක පමණ කාලයක් පුරා පරීක්ෂණ කටයුතු සිදුකර ඇති අතර, වෛද්‍යවරුන්ගේ දැඩි කැපවීම මත එය සාර්ථක කර ගැනීමට හැකිවු බව විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය රොහාන් සිරිසේන මහතා පවසයි.

සැත්කම සඳහා එක්වු වෛද්‍යවරුන් පහතින් දැක්වේ :

  • වෛද්‍ය රත්නසිරි හේවගේ – අධ්‍යක්ෂ – ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල
  • විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය රොහාන් සිරිසේන – ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල
  • අවයව බද්ධ කිරීමේ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය රුවන් දිසානායක – ජාතික රෝහල
  • වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ඔලිවර් පාතමන්පෙරුම – අවයව බද්ධ කිරීමේ ඒකකය – ජාතික රෝහල
  • අක්මාව, පිත්නාල හා අග්න්‍යාංශය සම්බන්ධ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය ප්‍රභාත් කුමාරසිංහ – ජාතික රෝහල
  • අක්මාව හා ආන්ත්‍රික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදිත දිසානායක
  • විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය සඳුන් බුලත්සිංහල – ජාතික රෝහල
  • නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ජීවනී රාජසිංහ – ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල
  • විකිරණ ශිල්පය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය බුද්ධි අබේවික්‍රම – ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල
  • නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රගීත් පතිරගේ – ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල
  • රුධිර පාරවිලයනය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය අයේෂා අබේවර්ධන – ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල

******************************************

ලක්‍ෂ ගණන් පාරිභෝගකයන් ලාෆ් ගෑස් සිලින්ඩරේ තැන්පතු මුදල් ආපසු ඉල්ලයි..

(08.08.2021 – 12:00 +0530 – lankacnews.com)

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් වෙලද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙයහි දැක්වෙයි :

බන්දුල ගුණවර්ධන මහතා
වෙළද හා සමූපකාර කටයුතු අමාත්‍ය
වෙළද හා සමුපකාර කටයුතු අමාත්‍යාංශය ,
කෙළඔ 02.

අමාත්‍යතුමණි,

වෙළදපොලේ ගෘහස්ත ලාෆ් ගෑස් නොමැතිවීම

මෙරට ගෑස් පාරිභෝගිකයින් ලාෆ් ගෑස් සමාගමෙන් ගෘහස්ත ගෑස් සිලින්ඩර සදහා මුදලක් තැන්පත් කරමින් අදාල ගෘහස්ත ගෑස් සිලින්ඩර ලබාගෙන ඇත . එහෙත් පසුගියදා අදාල සමාගම නිවේදනය කළේ තම සමාගම වෙළද පොළ වෙත ගෑස් ගෘහස්ත ගෑස් නිකුත් නොකරන බවයි. එහෙත් එහිදී අදාල සමාගම එම සමාගමෙන් ගෘහස්ත ගෑස් සිලින්ඩර සදහා මුදල් තැන්පත් කරමින් ගෘහස්ත ගෑස් සිලින්ඩර ලබාගත් පාරිභොගිකයින් පිළීබදව කිසිදු සදහනක් කර නොමැත.

අදාල සමාගමේ ක්‍රියාකලාපය නිසා මෙරට දහස් ගණනක් ගෘහස්ත ගෑස් පාරිභෝගකියින් අසාධාරණයට පත්ව ඇත. එම සමාගම තවදුරටත් ගෘහස්ත ගෑස් නිෂ්පාදනයේ නිරත නොවන්නේ නම් පාරිභෝගකියින් විසින් මුදල් තැන්පත් කරමින් ලබාගත් ගෘහස්ත ගෑස් සිළීන්ඩර නැවත සමාගම වෙත ලබාගෙන පාරිභෝගකියින් ගෘහස්ත ගෑස් සිළින්ඩර සදහා තැන්පත් කල මුදල් නැවත් ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස අදාල සමාගමට දැනුම් දෙන ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින අතර මෙම අසීරු අවස්ථාවේ මෙරට ගෘහස්ත ගෑස් පාරිභොග්කියින්ට නැවත මුදල් තැන්පත්කරමින් වෙනත් සමාගමකින් ගෘහස්ත ගෑස් සිළීන්ඩරයත් ලබා ගැනීමට නොහැකි බවත් ඔබතුමාවෙත කරුණාවෙන් දැනුම් දෙමු.

තවද අදාල සමාගමේ කහපාට ගෘහස්ත ගෑස් සිළින්ඩරය වෙනුවට අනෙත් සමාගමේ නිලපාට ගෘහස්ත ගෑස් සිළින්ඩරය ලබාදීම ප්‍රායෝගික හා නීතිමය වශයෙන් බාධාකාරී ක්‍රියාවක් වන බවද සදහන් කරමු.

මීට විශ්වාසී,

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

@@@@@ කොවිඩ් පුවත් @@@@@

(08.08.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 12 ත්, 18 ත් අතර පාසල් දරුවන්ට කොරෝනා එන්නත ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා.

ඒ, විදෙස් සංචාරයක නිරතවීමෙන් පසු අද (08) පෙරවරුවේ දිවයිනට පැමිණීමෙන් අනතුරුවයි.

ඇතැම් රටවල් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවුරුදු 12 න් ඉහළ සියලු දෙනා එන්නත්කරණය ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ ෴

++++++++++++++++++++++

(08.08.2021 – 14:18 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 2,563 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සමස්ත සුවය ලැබූ ආසාදිත සංඛ්‍යාව 293,357 ක්.

මේ වනවිට මෙරටින් සමස්ත කොරෝනා ආසාදිතයන් 327,038 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

සිදුව ඇති මරණ සංඛ්‍යාව 5,017 ක් ෴

+++++++++++++++++++++++

(08.08.2021 – 15:30 +0530 – hirunews.lk/sinhala)

ලොවම වෙලාගෙන ඇති කොවිඩ් වසංගතය මේ වන විට සෑම ක්ෂේත්‍රයකටම විශාල බලපෑමක් එල්ල කර තිබෙනවා.

එලෙස කොවිඩ් වෛරසයේ බලපෑමෙන් තම අදායම් මාර්ගය අහිමිවූ පවුලක් පිළිබඳ පුවතක් අපට වාර්තා වුණේ සෙවනගල – නුගේගලයාය ප්‍රදේශයෙන්.

ලිපට දමන පොල්කටුවට ඉහළ වටිනාකමක් ලබා දෙමින් ඒ ඔස්සේ නව නිර්මාණ සිදුකර ආදායම් උපයාගත් රෂිකා නිල්මිණී සහ සරත් කුමාර යුවල සෙවනගල – නුගේගලයාය ප්‍රදේශයේ පදිංචිව සිටිනවා.

සරත් කුමාර මහතා රිය අනතුරකට ලක්ව පාදයේ ආබාධයකින් පෙලෙන අතර මෙම යුවළ අධ්‍යාපනය හදාරන දරුවන් දෙදෙනෙකු (2) ගේ මව්පියන් ධෛර්වන්ත කාන්තාවක් වන රෂිකා මහත්මිය පොල්කටු ආශ්‍රිත නිර්මාණ සිදුකර හොද ආදායමක් උපයාගත් බව පැවසුවා.

නිර්මාණ සිදුකිරීමට යොදාගන්නා යන්ත්‍රයක් කැඩී එහි කැබැල්ලක් වැදීමෙන් මේ වන විට රෂිකා මහත්මියට එක් ඇසක පෙනීම අහිමි වී ඇති නමුත් තම ව්‍යාපාරය අඛණ්ඩව සිදුකිරීමට එය බාධාවක් කර නොගන්නා බවයි ඇය පැවසුවේ.

එහෙත් කොවිඩ් වෛරසයේ බලපෑමත් සමඟ තම නිර්මාණ අලෙවිකරගැනීමට නොහැකිවීම හේතුවෙන් මේ වන විට ඔවුන් දැඩි දුෂ්කරතාවයට පත්ව තිබෙනවා.

+++++++++++++++++++++

(08.08.2021 – 16:14 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සීමා කර තිබෙනවා.

ඒ අනුව බදාදා සහ සිකුරාදා යන දිනවල තැපැල් සහ උප තැපැල් කාර්යාල වසා තැබෙන බවයි නියෝජ්‍ය තැපැල්පති කේ. නිලන්ත කන්දනආරච්චි මහතා සඳහන් කළේ ෴

++++++++++++++++++++

සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 45,000ක් ළමුන් බවට හෙළිදරව්වක්

(08.08.2021 – 12:38 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 45,000 ක පමණ පිරිසක් කුඩා ළමුන් බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා පවසයි.

ඉන් ළමුන් 14 දෙනෙක් මියගොස් ඇති බව ඔහු පෙන්වා දෙයි.

මේ වන විට ළමුන් අතර, ඉතා සීඝ්‍රයෙන් කොවිඩ් ආසාදනය වෙමින් යන බවත්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන් කළ වාට්ටු පිරී ගොස් ඇතැයි ද වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා සඳහන් කළේය.

“අපි රාජගිරියේ වෙනත් තැනක තවත් වාට්ටු දෙකක් (2) විවෘත කරන්නට මේ වන විට කටයුතු කරලා තියෙනවා. අද (08) උදේ වන විට ළමුන් 150 ක් පමණ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සහ ඉන් පාලනය වන අනෙකුත් වාට්ටු දෙකේ (2) ප්‍රතිකාර ලබනවා. එපමණක් නෙවෙයි. පසුගිය සතිය පුරා සියලු රෝහල්වල ළමා වාට්ටු කොරෝනා රෝගීන්ගෙන් පිරිලා ගියා. සංඛ්‍යා ලේඛන ගත්තොත් මේ වන විට කොරෝනා ආසාදිත ළමුන් 45,000 ක් ලංකාවේ වාර්තා වෙලා තියෙනවා. එයින් 20,000 ක් පමණ වයස අවුරුදු 10 ට අඩු ළමුන්. එයින් 14 ක් මියගොස් තිබෙනවා. රිජ්වේ ආර්යා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පමණක් පසුගිය වසර පුරා කොරෝනා සම්බන්ධ රෝගවලින් මියගියා.”

සාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්නුම් කරන කොවිඩ් ආසාදිත ළමුන් රෝහල්ගත කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ද විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා පෙන්වාදෙයි.

“හැම දරුවෙකුම රෝහලකට ඇතුළත් වෙලා ප්‍රතිකාර ලබා ගන්න අවශ්‍ය වෙන්නේ නෑ, හැකියාවක් තියෙනවා නම් හෙම්බිරිසාව, ළා උණ තියෙන දරුවෝ රෝහල් වෙත ගේන්නේ නැතුව ගෙදර දී බලාගන්න ඒක වඩාත්ම වැදගත් වෙනවා. නමුත් කුමන වෙලාවේ දිද දරුවා ව රෝහලක් කරා රැගෙන ආ යුත්තේ ? තද උණ තියෙනවා නම් දරුවා කන්නේ බොන්නේ නැත්නම් වමනය, පාචනය සිදුවෙලා දරුවාට අමාරුයි කියලා හිතෙන ඕනෑම වෙලාවක රැගෙන ආ හැකියි.”

මේ අතර, යම් පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකුගේ සමීප ආශ්‍රිතයෙකු බවට පත් වී දින 03 ත් 05 ත් අතර කාලයකදී ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණයකට හෝ ‘පීසීආර්’ පරීක්ෂණයකට යොමු වියයුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

අමෙරිකානු වසංගත රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය උපුටා දක්වමින් චන්දිම ජීවන්දර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.

මීට පෙර කොවිඩ් සමීප ආශ්‍රිතයෙකු බවට පත් වී දින 05 ත් 07 ත් අතර කාලය තුළ කොවිඩ් පරීක්ෂණයකට ලක්විය යුතු බවට නිර්දේශ වී තිබුණි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *