අද (07) කොවිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන

අද (07) කොවිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන

*********************************************

අද (07) කොවිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන

(07.08.2021 – 07:21 +0530 – hirunews.lk/sinhala)

පනාගොඩ – බෝධිරාජාරාමය, වේරහැර පළමුවන වෛද්‍ය බලකා කඳවුර සහ නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී අද (07) සිට වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින්ට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදීම සිදු කෙරෙනවා.

එසේම පසුගිය ජූලි 05 සහ 06 දින දෙකෙහි ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලදී සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට එහි දෙවන (2) මාත්‍රාව ලබාදීම අද (07) සහ හෙට (08) සිදු කෙරෙන බවයි යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ අනුව ගාල්ල – විද්‍යාලෝක විදුහලේදී සහ මාතර – මහින්ද රාජපක්ෂ මහ විද්‍යාලයේදී සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබා ගත හැකියි.

කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ සිදුවන එන්නත්කරණ වැඩසටහන අද (07) දිනයේත් පැය විසි හතර (24) පුරා ක්‍රියාත්මකයි.

ඒ අනුව ඕනෑම ස්ථානයකින් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් අයෙකුට විහාරමහාදේවි උද්‍යානය වෙත පැමිණ එහි දෙවන (2) මාත්‍රාව ලබාගත හැකි බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

එමෙන්ම, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව මෙතෙක් ලබාගෙන නොමැති පුද්ගලයින්ට අද (07)දිනයේත් බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට පැමිණ එය ලබා ගත හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. අද (07) පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බවයි ඔහු කියා සිටියේ.

++++++++++++++++++++

(07.08.2021 – 06:41 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත ගතවූ පැය 24 ක කාලය තුල පුද්ගලයන් 94 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 53,453 ක් වන බවයි.

එමෙන්ම බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුලුවන ස්ථාන 13 කදී සිදුකළ පරීක්ෂාවන්වලදී පුද්ගලයන් 7103 දෙනෙකු පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

පුද්ගලයන් 198 ක් පළාත් සංචරණ මායිම් උල්ලංඝණය කර ගමන් කිරීමට පැමිණීමේදී පැමිණි වාහන 68 ක් ද සමග අවවාද කිරීමෙන් අනතුරුව නැවත හරවා යවා තිබෙනවා ෴

++++++++++++++++++++

(07.08.2021 – 08:41 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා එන්නත් සහයෝගීතාව පිළිබද පළමු ජාත්‍යන්තර සමුළුව රටවල් 24 ක සහභාගීත්වයෙන් පවත්වා තිබෙනවා.

චීන විදේශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුවට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, විදේශ අමාත්‍යවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යවරුන් ද එක්වූ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

මෙම සමුළුවට එක්ව සිටි විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ සෑම කෙනෙකුටම ලබා ගත හැකි සහ දැරිය හැකි මිලකට කොරෝනා එන්තත් ලබාදීමට රටවල් අතර සමීප සහයෝගීතාවක් ඇති කර ගත යුතු බවයි.

වයස අවුරුදු 30 ට වැඩි ජනගහනයෙන් සියයට 90 කට වඩා වැඩි ප්‍රමාණයකට පළමු (1) එන්නත ලබාදීම තුළින් ශ්‍රී ලංකා රජය සාර්ථකත්වයක් ඉස්මතු කරගෙන ඇති බව ද ඔහු මෙහිදී කියා සිටියා ෴

++++++++++++++++++++

(07.08.2021 – 08:50 +0530 – hirunews.lk/sinhala)

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 5000 සේ සීමාවට ළඟා වී තිබෙනවා. ඒ, ඊයේ (06) වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ 98 ත් සමඟයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් පසුගිය 05 වන දා තහවුරු කරන ලද කොරෝනා ආසාදිත මරණ 98 ක් ඊයේ (06) ප්‍රකාශයට පත් කිරීමත් සමග මෙරට සමස්ත කෙරෝනා මරණ සංඛ්‍යාව 4919 දක්වා ඉහළ ගියා.

මිය ගිය පිරිසෙන් 70 දෙනෙකුම අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඊයේ (06) නව ආසාදිතයින් 2794 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3,24,223 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින්ගෙන් 2792 නෙකු අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයින් වන අතර විදේශයන් හි සිට පැමිණි දෙදෙනෙකු (2) ද ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා.

ඒ අනුව ආසාදිතයින් 31,095 ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව 2,88,307 ක්.

මේ අතර, පවතින තත්ත්වය පිළිබද අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ කඩිනමින් රට වසා දැමීම සිදුනොකළහොත් තත්ත්වය තවදුරටත් දරුණු විය හැකි බවයි.

කෙසේ වෙතත්, මොරටුව ප්‍රදේශයේදී ඊයේ (06) මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කළේ රට වසා දැමීමට කටයුතු කළහොත් අඩු ආදායම් ලබන සහ දෛනික ආදායම් ලබන බොහෝ පිරිසක් දැඩි අපහසුතාවකට ලක් වන බවයි.

ඒ හේතුවෙන් කළ යුත්තේ රට වසා දැමීමේ තත්ත්වයකට නොයන පරිදි සියළු දෙනා එක්ව කටයුතු කිරීම බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර, පවතින තත්ත්වය පිළිබදව වැඩි සැලකිල්ලක් දක්වන ලෙස පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය සංජීව ගොඩකන්ද මහතා ගර්භනී මව්වරුන්ගෙන් ඉල්ලීමක් කළා ෴

+++++++++++++++++++

කොවිඩ් මරණ ඉහළ යාමත් සමඟ මෘත ශරීරාගාරවල තදබදයක්

(07.08.2021 – 09:33 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් දිනෙන් දින මිය යන සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ රෝහල්වල මෘත ශරීරාගාරවල තදබදයක් හටගෙන තිබෙනවා.

මෙලෙස තදබදය හටගෙන ඇත්තේ ආදාහනාගාරවල සිදුකරන ආදාහන කටයුතු සීමා සහිතව සිදුකිරීම හේතුවෙන්. කොරෝනා ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ට අමතරව සාමාන්‍ය මරණ ආදාහනයත් සිදුකිරීම නිසා ආදාහනාගාර කාර්ය බහුල වී ඇති බවටයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

මේ හේතුවෙන් රෝහල්වල මෘත ශරීර තැන්පත් කර ඇති අධි ශීතකරණවල ද ඉඩකඩ ඇහිරී ඇති බවට වාර්තා වනවා.

කොළඹ ජාතික රෝහලේ දැනට කොරෝනා ආසාදිතයින් 600 ක් පමණ ප්‍රතිකාර ලබන අතර දිනෙකට කොරෝනා මරණ 12 ත්, 15 ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

මෙලෙස මෘත ශරීර එක්වීම හේතුවෙන් ඇතැම් ආදාහනාගාර පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට ද තීරණය කර තිබෙනවා ෴

+++++++++++++++++++

(07.08.2021 – 11:50 +0530 – hirunews.lk/sinhala)

ජපානයෙන් මෙරටට ලැබුණු ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගයේ ඉතිරි කොටස, අද (07) සවස මෙරටට ගෙන එන බව ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මිලියන 1.4 ක ප්‍රදානයක් මෙරටට ලැබුණු අතර එහි දෙවන (2) කොටස වන එන්නත් මාත්‍රා හත් ලක්ෂ විසිඅට දහස (7,28,000), ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට ගෙන ඒමට නියමිතයි ෴

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(07.08.2021 – 07:08 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක වන ‘අංගොඩ ලොක්කා’ගේ ගෝලයෙකු වන දැනට මියගොස් සිටින ‘චමින්ද එදිරිසූරිය’ හෙවත් ‘චමියා’ නැමැත්තා අයථා ලෙස ඉපයූ රුපියල් කෝටි 3 ක පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කළ බවට ඔහුගේ අනියම් බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

46 හැවිරිදි වියේ පසුවන ‘දිල්හානි හතුරුසිංහ’ හෙවත් ‘කුඩු ආශා’ නැමැත්තිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

******************************************

(07.08.2021 – 08:12 +0530 – hirunews.lk/sinhala)

දිනකට පැය 7 ක් පමණක් හිරු එළිය දකින ජනතාවක් වාසය කරන ගම්මානයක් පිළිබදව තොරතුරු හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මඩොල්සිම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි කොහොනාවෙල නැමති මෙම ගම්මානය යහන්ගල, ගල්උල්ල, හයින්දම්මාගල සහ වියන්ගල යන කඳු පන්ති මැදි කර පිහිටා තිබෙනවා.

1815 ඌව වෙල්ලස්ස කැරැල්ලේදී සැඟව සිටීමට ආ කිහිප දෙනෙකුගෙන් මෙම ගම්මානයේ ආරම්භය සිදුව ඇති අතර, මේ වන විට පවුල් 55 ක් පමණ එහි දිවි ගෙවන්නේ ගොවිතැන සිය ජීවනෝපාය කර ගනිමින්.

මොවුන්ට අති දුෂ්කර ජීවිතයක් ගත කිරීමට සිදුව ඇත්තේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පහසුකම් මෙන්ම ගම්මානයට යාමට හැකි මහා මාර්ගයක් ද නොමැතිවීම හේතුවෙන් ෴

******************************************

(07.08.2021 – 08:26 +0530 – hirunews.lk/sinhala)

‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනි ගැනීම හේතුවෙන් මුහුදු ජීවින්ට හා පරිසරයට සිදුවූ හානිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන තවමත් අවසන් වී නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ මහාධිකරණය වෙත දැනුම් දී තිබෙනවා.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වනජීවි දෙපාර්තමේන්තුව සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව එක්ව තවදුරටත් ඊට අදාළ විමර්ශන සිදුකරන බවටයි නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ මහාධිකරණයට ඊයේ (05) දැනුම් දී තිබුණේ.

ඒ, මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත හමුවේ කැදවූ අවස්ථාවේදියි.

සති කිහිපයකට පමණ ඉහත දී හම්බන්තොට වෙරළ තීරයේදී නෞකාවක ඉන්ධන කාන්දුවක් සිදුවූ බවත් එහි මව් සමාගම විසින් ඊට අදාළව වන්දි මුදලක් ගෙවා නැව නිදහස් කරගෙන ඇති බවට ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව තමන්ට ද එම සහනය ලබාදෙන ලෙසටයි ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ. කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත දැනුම් දුන්නේ ඊට අදාළව විමර්ශන තවදුරටත් අවසන් වී නොමැති බවයි.

එබැවින් එම විමර්ශනවල වාර්තා සැප්තැම්බර් මස 24 වන දින අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසටයි අදාළ ආයතන වෙත මහාධිකරණ විනිසුරුවරයා දැනුම් දී ඇත්තේ.

මේ අතර, බේරුවල – පයාගල වෙරළ තීරයේ පාවෙමින් තිබී කිලෝග්‍රෑම් 500 කට අධික බරකින් යුත් උපකරණයක් ප්‍රදේශවාසීන් විසින් ඊයේ (06) සොයාගෙන තිබෙනවා.

මෙම උපකරණය ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කොටසක් විය හැකි බවටයි ධීවරයින් සහ ප්‍රදේශවාසීන් කියා සිටියේ ෴

******************************************

(07.08.2021 – 08:52 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතයේ සීග්‍ර ව්‍යාප්තියත් සමඟ පාලනයකින් තොරව ඩෙංගු උණ රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එම්. ආනල්ඩ් මහතා ප්‍රකාශ කළා.

එසේ වුවහොත් එය මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි තත්වයක් වනු ඇති බවයි ඔහු කියා සිටියේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (06) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවලින් ඩෙංගු උණ රෝගීන් 17,134 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

පසුගිය ජූලි මාසයේදී පමණක් ඩෙංගු රෝගීන් 3,292 කු වාර්තාවී ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එම්. ආනල්ඩ් මහතා සඳහන් කළේ ෴

******************************************

(07.08.2021 – 08:59 +0530 – hirunews.lk/sinhala)

ළමයින් සම්බන්ධ අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පට සහ ඡායාරූප 500 ක් පමණ අන්තර්ජාලයට එක් කළ 25 හැවිරිදි තරුණයෙකු බඩල්කුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස්, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථාපිත කරන ලද විශේෂ දත්ත පද්ධතියක් සහ පරිගණක උපාංග භාවිත කරමින් එවැනි ළමයින් පිළිබද අසභ්‍ය දර්ශන හා ඡායාරූප පළ කිරීම් සම්බන්ධයෙන් ඊයේ (06) සිට මෙහෙයුම් ආරම්භ කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

******************************************

(07.08.2021 – 09:08 +0530 – hirunews.lk/sinhala)

ගල්ගමුව පොලිස් වසමේ මහනාන්නේරිය ප්‍රදේශයේ නිවසක තිබූ මළ සිරුරු 3 ක් සොයා ගැනීමට ගල්ගමුව පොලිසිය අද (07) උදෑසන සමත්වුණා.

අද (07) උදෑසන මෙම නිවස පරීක්ෂාවට ලක් කෙරුණේ ගල්ගමුව පොලීසියට ලද තොරතුරක් මතයි.

සොයාගත් සිරුරු තුන (3) අතරේ වයස අවුරුදු විසි අටක් (28) පමණ වන පිරිමි සහ කාන්තා මළ සිරුරු දෙකක් (2) සහ වයස අවුරුදු දහයක් (10) පමණ වන පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් ද ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

මෙතෙක් කරන ලද පොලිස් පරීක්ෂණවල දී හෙළි වී ඇත්තේ ඊයේ (06) රාත්‍රියේ ඇති වූ යම් බහින්බස්වීමකින් පසු අදාළ පිරිමි පුද්ගලයා විසින් කාන්තාව සහ දරුවා ඝාතනය කර ඔහු ද සිය දිවි හානි කරගෙන ඇති බවටයි.

මෙම සිදුවීම් සම්බන්ධයෙන්යෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් අද (07) සිදු කිරීමට නියමිත අතර ගල්ගමුව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා ෴

******************************************

(07.08.2021 – 09:24 +0530 – hirunews.lk/sinhala)

ඩෙල්ටා ප්‍රභේදය රට තුළ සීග්‍රයෙන් පැතිරෙමින් පවතින අවස්ථාවක උද්ඝෝෂණ පැවැත්වීම නතර කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ගුරු-විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ ඩෙල්ටා ප්‍රභේදය හමුවේ මේ වන විට රෝහල් ධාරිතාව ද ඉක්මවා ගොස් ඇති බවයි.

මේ නිසා උද්ඝෝෂණ හමුවේ ඒකරාශීවීම් ඉහළ යාම හරහා රෝගය පැතිර යාමට වැඩි ඉඩ කඩක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර, ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ගැටළුවට විසදුම් ඉල්ලා වෘත්තීය සමිති කිහිපයක් පසුගිය 04 වන දා මහනුවරින් ආරම්භ කළ විරෝධතා පා ගමන අද (07) 4 වන දිනටත් ක්‍රියාත්මකයි.

ඒ අනුව අද (07) පෙරවරු 10 ට පස්යාල නගරයෙන් ආරම්භ වන මෙම විරෝධතා පා ගමන යක්කල නගරයෙන් අවසන් වීමට නියමිතයි.

එමෙන්ම, ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ගුරු විදුහල්පතිවරුන් ඉවත්ව අදට (07) දින 27 ක් ගත වනවා ෴

******************************************

(07.08.2021 – 09:43 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට සමාජ මාධ්‍යයේ පළ වන තොරතුරු අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මිරිහාන, නුගේගොඩ, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත සහ බම්බලපිටිය යන ප්‍රදේශවල යම් පිපිරීමක් සිදුවිය හැකි බවට සමාජ මාධ්‍ය තුළ පණිවුඩයක් හුවමාරු වන බවයි ඔහු කියා සිටියේ.

ගල්කිස්ස පොලීසිය මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයකදී එය සම්පූර්ණයෙන් අසත්‍ය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ ෴

******************************************

(07.08.2021 – 10:30 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දැනට විදේශ රටකට පළා ගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘රත්මලානේ අංජු’ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන ‘ජූඩ් ප්‍රියන්ත’ සහ ‘ධර්මේ’ යන අයගේ ගෝලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස – රත්මලාන ප්‍රදේශයේදී ඊයේ (06) මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුවයි.

සැකකරුවන් සතුව තිබී සොයාගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 30 කට අධික වනවා.

එසේම ඔවුන් භාරයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 104 කට අධික ප්‍රමාණයක් සහ කේරළ ගංජා කිලෝ 4 ක් ද අත්අඩංගුවට ගැනුණා.

ඊට අමතරව රුපියල් 53,000 කට අධික මුදලක්, ජංගම දුරකථන 3 ක්, ඉලෙට්‍රොනික් තරදි දෙකක් (2), සැකකරුවන් සන්තකයේ තිබී පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙනවා ෴

******************************************

මහනුවරින් ආරම්භ කළ ජේවීපී කොවිඩ් ‘ගුරු පොකුර’ විරෝධතා පාගමන වරකාපොළෙන් අවසන් කරයි

(07.08.2021 – 12:01 +0530 – hirunews.lk/sinhala)

ගුරු වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලමින් ගුරු-විදුහල්පතිවරුන් මහනුවරින් ආරම්භ කළ විරෝධතා පාගමන තාවකාලිකව (?) නතර කිරීමට වෘත්තීය සමිති නියෝජිතයින් අද (07) පෙරවරුවේ තීරණය කළා.

පවතින කොවිඩ් අවදානම සැළකිල්ලට ගනිමින් මෙම තීරණයට එළැඹි නමුත් දැනට ක්‍රියාත්මක ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක බවයි වෘත්තීය සමිති පැවසුවේ.

ගුරු විදුහල්පති වෘත්තීය සමති කිහිපයක් එක්ව සිය වැටුප් විශමතාවට විසඳුම් ඉල්ලා මහනුවර සිට කොළඹ දක්වා පැමණීමේ අරමුණින් විරෝධතා පාගමනක් ආරම්භ කළේ, පසුගිය 04 වැනිදායි.

නුවර පාර ඔස්සේ පැමිණි පාගමන තෙවන (3) දිනය සඳහා ඊයේ (06) අවසන් කෙරුණේ, වරකාපොළ ප්‍රදේශයෙන්.

පාගමන සිව්වැනි (4) දිනට අද (07) පස්යාල ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබුණත් එය තාවකාලිකව (?) නතර කිරීමට වෘත්තීය සමිති නියෝජිතයින් තීරණය කළා.

ඒ පවතින කොවිඩ් අවදානම සැළකිල්ලට ගනිමින්.

මේ අතර ගුරු-විදුහල්පති වැටුප් සටනට සහය ලබාගැනීම සම්බන්ධයෙන් ගුරු වෘත්තිය සමිති තවත් වෘත්තීය සමිති කිහිපයක් අතර ඊයේ (06) සාකච්ඡාවක් පැවැත්වුණා.

මේ අතර ගුරු-විදුහල්පති වැටුප් සටන සම්බන්ධයෙන් තවත් පාර්ශ්ව අදහස් පලකළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *