ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විද්වත් සභාවට මල්වතු සහ අස්ගිරි සංඝ සභාවන් සහභාගි නොවීමේ තීරණයක්

ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විද්වත් සභාවට මල්වතු සහ අස්ගිරි සංඝ සභාවන් සහභාගි නොවීමේ තීරණයක්

*********************************************

ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විද්වත් සභාවට මල්වතු සහ අස්ගිරි සංඝ සභාවන් සහභාගි නොවීමේ තීරණයක්

(06.08.2021 – 09:00 +0530 – hirunews.lk/sinhala)

යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත පිළිබද මහා සංඝරත්නය සහ විද්වතුන්ගේ නිර්දේශ ලබා ගැනීම සඳහා කැදවා ඇති විද්වත් සභාවට සහභාගි නොවීමට මල්වතු සහ අස්ගිරි මහා සංඝ සභාවන් තීරණය කර තිබෙනවා.

මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන නාහිමියන් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා වෙත ඒකාබද්ධ ලිපියක් යොමු කරමින් පෙන්වා දෙන්නේ කොරෝනා වසංගතය පිළිබද අවධානය යොමු නොකොට මෙවැනි සාකච්ඡාවක් සංවිධානය කිරීම සුදුසු නොවන බවයි.

එසේම ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත අධ්‍යයනයකින් තොරව සම්මත කළහොත් අනාගතයේදී ශාසනික ව්‍යාකූලතාවක් නිර්මාණය විය හැකි බව ද උන්වහන්සේලා සිය ලිපියේ දක්වා තිබෙනවා.

මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් වැඩිදුරටත් එහි දක්වා ඇත්තේ මේ පිළිබඳව කරුණු දක්වමින් පසුගිය මාසයේදී ජනාධිපතිවරයා වෙත ද ලිපියක් යොමු කළ බවයි.

මෙම පනත් කෙටුම්පතට සංශෝධන ගෙන ඒමට අපේක්ෂා කරන බැවින් කඩිනමින් මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට කටයුතු කිරීම උචිත නොවන බව මහනාහිමිවරුන් බුද්ධ ශාසන ලේකම්වරයා වෙත දැනුම් දී තිබෙනවා ෴

******************************************

(06.08.2021 – 08:21 +0530 – hirunews.lk/sinhala)

මහකන්නයේ වී වගා කටයුතු පළමුව ආරම්භ කෙරෙන අම්පාර දිස්ත්‍රික්කයේ පාංශු පරීක්ෂාව ලබන සතියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

මෙවර මහ කන්නයේ සිට කාබනික පොහොර වගාව දිවයින පුරා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙතෙක් භාවිත කළ යූරියා වෙනුවට කාබනික නයිට්‍රජන් පොහොර වර්ග ආනයනය කර ගොවීන් වෙත මෙවර බෙදා හරින බවයි.

පාංශු පරීක්ෂාවෙන් පසු පොහොර නිකුත් කිරීමට කටයුතු කරන බව ද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා.

වී වගාව ආරම්භ කිරීමට පෙර වල් පැලෑටි මර්දනය කිරීම සඳහා මෙවර අමතර ජල මුරයක් මහ වාරි යෝජනා ක්‍රම වෙත නිකුත් කිරීමට කටයුතු කරන බවයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

(06.08.2021 – 09:34 +0530 – hirunews.lk/sinhala)

ලිට්රෝ සමාගම විසින් නව ගෑස් සිලින්ඩර් ලක්ෂ 10 ක් ගෙන්වීමට තීරණය කර තිබෙනවා.

ලාෆ් ගෑස් සමාගම සිය නිෂ්පාදන බෙදා හැරීම නවතා දැමීම සහ පාරිභෝගිකයින්ට අවශ්‍ය ගෑස් වෙළදපොළට හිඟයකින් තොරව ලබාදීම සඳහායි ලිට්රෝ සමාගම විසින් මෙලෙස නව ගෑස් සිලින්ඩර් ගෙන්වීමට තීරණය කර ඇත්තේ.

පසුගිය මාස 7 ඇතුළත මෙරටට නව ගෑස් සිලින්ඩර් කිසිවක් ගෙන්වා නොමැති බව ද ලිට්රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා. වෙළදපොළේ ගෑස් හිඟයක් පවතින බවට පළ වූ වාර්තාත් සමග ඊයේ (05) දිනයේදීත් ලක්ෂයකට වැඩි ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් වෙළදපොළට නිකුත් කිරීමට ලිට්රෝ සමාගම පියවර ගෙන තිබෙනවා ෴

******************************************

මීගොඩ පොලිස් බල්ලන් 4 දෙනෙකු විසින් කාන්තාවක් දූෂණය වේ

(06.08.2021 – 09:59 +0530 – hirunews.lk/sinhala)

මීගොඩ දාම්පේ ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි කාන්තාවක් මීගොඩ පොලිසියේ නිලධාරීන් සිව් (4) දෙනෙකු විසින් වරින්වර පොලිසිය තුලදීම දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් වාර්තා වනවා.

එමෙන්ම එම කාන්තාවගේ 12 හැවිරිදි දරුවා භාරකරුවන් කිසිවෙකුත් නොමැති බව පවසමින් පරිවාස භාරයට පත් කිරීමට මීගොඩ පොලිසිය කටයුතු කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

මෙම කාන්තාව සිය සැමියා සහ 12 හැවිරිදි පුත්‍රයා සමගින් මීගොඩ දාම්පේ ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන පදිංචිව සිට ඇති අතර එම නිවසේ කුලිය වැඩිවීම හේතුවෙන් තවත් කුඩා දරැවෙකු සිටින කාන්තාවක් සහ ඇයගේ මවට ද අදාළ නිවසේම කුලියට නවාතැන් ලබාදී තිබෙනවා.

දෙවනුව කුලී නිවසට පැමිණි කාන්තාව දහවල් කාලයේදී වෙනත් පුරුෂයින් එම නිවසට ගෙන්වා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර බහින්බස් වීමක් සිදුවී ඇතැයි සඳහන්.

එහිදී පිටතින් පැමිණි පුද්ගලයා එම නිවසින් පළා ගොස් තිබෙනවා.

පසුව වෙනත් පිරිමියෙකු අදාළ නිවසට රැගෙන ආ මෙම (2 වන ?) කාන්තාව තමන්ට අතවර කිරීමට කුලී නිවසේ පළමු හිමිකාර පුද්ගලයා පැමිණි බවටයි මීගොඩ පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

එම නිවස පළමුව කුලී පදනම මත ලබා ගත් පවුලේ මව ඇඟළුම් කම්හලක රැකියාව සඳහා ද පියා පෙදරේරු රැකියාව සඳහා ද පිටවී ගිය අවස්ථාවේදී නිවසේ සිටි 12 හැවිරිදි දරුවා අනෙක් කුලීකාර කාන්තාවන් දෙදෙනා (2) විසින් බලහත්කාරයෙන් රැගෙන ගොස් මීගොඩ පොලිසියට භාර දී තිබෙනවා.

පසුව එම දරුවා තම භාරයට ගත් මීගොඩ පොලිසිය පියාට දුරකථනයෙන් දන්වා ඇත්තේ දරුවා තම භාරයේ සිටින බවත් දරුවා අවශ්‍ය නම් පැමිණ පොලිසියට භාර වන ලෙසටයි.

එම අවස්ථාවේ පියා පෙදරේරු රැකියාව සඳහා දුර බැහැර ප්‍රදේශයකට ගොස් සිටි බැවින් සහ දරුවාගේ මව ඇඟළුම් ආයතනයේ සේවයේ යෙදී සිටින අවස්ථාවේ දුරකථනයක් නොමැති වීමත් යන කරුණු හේතුවෙන් මෙම තොරතුරු ඇයට ලබා දීමට හැකියාවක් ලැබී නැහැ.

පසුව, සවස, දරුවාගේ මව මීගොඩ පොලිසියට ගිය අවස්ථාවේදී නිලධාරීන් පවසා ඇත්තේ දරුවා අධිකරණයට ඉදිරිපත් කරන බැවින් අධිකරණයේ දී දරුවා බේරා ගන්නා ලෙසටයි.

ඒ අනුව පසුදා මෙම මව දරුවා බේරා ගැනීමට ඉදිරිපත් වුව ද පොලිසිය අධිකරණයට දන්වා ඇත්තේ මවගේ චරිතය හොඳ නොවන බැවින් දරුවා ඇය වෙත ලබාදීම නුසුදුසු බවයි.

ඒ අනුව දරුවා පරිවාස භාරයට පත් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

අනතුරුව මෙම කාන්තාව අධිකරණයේ සිට පිටතට පැමිණෙන අවස්ථාවේදී මීගොඩ පොලිසියේ නිලධාරීන් විසින් ඇය අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් ඇතැයි සඳහන්.

එහිදී ඇයව පොලිස් සිර මැදිරියේ රඳවා තබා පසුව රාත්‍රී 10:30 ට පමණ පොලිසිය තුලම කාමරයකට රැගෙන ගොස් පොලිස් නිලධාරීන් සිව් (4) දෙනෙකු විසින් වරින්වර දූෂණය කළ බවටයි චෝදනා එල්ල වන්නේ.

මීට පෙර ද මේ ආකාරයෙන් ම මීගොඩ පොලිසිය තුලදී නිලධාරීන් තිදෙනෙකු (3) විසින් තමා දූෂණයට ලක් කළ බව එම කාන්තාව ප්‍රකාශ කරනවා.

මේ වන විට දෙමාපිය තුරුලේ සිටි 12 හැවිරිදි දරුවා කිසිදු හේතුවක් නොමැතිව අධිකරණයට ඉදිරිපත් කර පරිවාස භාරයට පත් කර ඇති අතර තමන් අත්අඩංගුවට ගෙන පොලිසිය තුලදීම දූෂණයට ලක් කිරීමට කටයුතු කිරීමත් සම්බන්ධයෙන් තවමත් සාධාරණයක් ඉටුව නොමැති බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ.

තම දරුවා තවමත් පරිවාස භාරයේ සිටින බැවින් තමන්ට සාධාරණයක් ඉටු කරන ලෙසට මෙම මව්පිය යුවළ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා ෴

******************************************

(06.08.2021 – 10:31 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය – විලාවෝඩෙයි ප්‍රදේශයේ කුඹුරක අස්වැද්දීම සඳහා භුමිය සකස් කිරිමේදී යුද හමුදා නිල ඇඳුමකට සමාන ඇඳුමක කොටසක් සහ හිස්කබලක කොටසක් හමුවී තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් කිලිනොචිචි අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ මුලිකත්වයෙන් එම ස්ථානයේ පරීක්ෂා කිරීම් ආරම්භ කර ඇති බවයි.

යුද සමයේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කළ යුද භටයින්ගේ මළ සිරුරු මෙම ස්ථානයේ මිහිදන් කර ඇති බවට පොලිසිය සැක කරනවා ෴

******************************************

(06.08.2021 – 12:29 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු පිවිසුම අසළ පසුගියදා පැවැති විරෝධතාවට එක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු තවත් 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ එම විරෝධතාව අතරතුර පොලිස් නිලධාරියෙකුට තුවාල සිදු කිරීම සහ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විරෝධතාවක් පැවැත්වූවේ පසුගිය 03 වැනිදායි.

එහිදී පාර්ලිමේන්තු පිවිසුම අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ පිරිස පාලනය කිරීමට දැරූ උත්සාහයේදී මහරගම පොලිස් ස්ථානාධිපතිවරයා තුවාල ලැබූ අතර ඔහුට ඇඟිලි 2 ක් අහිමිවුණා.

ඒ අනුව අදාළ උද්ඝෝෂණයේදී පොදු දේපොළවලට හානි සිදුකිරීම, අයුතු ජනරාශිය සහ පොලිස් නිලධාරියෙකුට තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් චමීර කොස්වත්ත සහ එම පක්ෂයේ තවත් සාමාජිකාවක අත්අඩංගුවට ගැනුණේ පසුගිය තුන්වැනිදා (03) රාත්‍රියේදීයි.

අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ අතර අදාළ විරෝධාතවට සහභාගී වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු තවත් 5 දෙනෙකු ඊයේ (05) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර අත්අඩංගුවට ගෙන තලංගම පොලිසියේ රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (06) පෙරවරුවේ පැමිණියා.

මේ අතර කොතලාවල පනත් කෙටුම්පතට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතාවට සහභාගී වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂාවක් සිදුකළ ආකාරය දැක්වෙන විඩීයෝවක් සමාජ ජාලාවල සංසරණය වනවා.

මේ අතර ගුරු – විදුහල්පති වැටුප් ගැටළුව විසඳන ලෙස ඉල්ලමින් මහනුවරින් ඇරඹි විරෝධතා පාගමන අදත් (06) ක්‍රියාත්මකයි.

පාගමන අද (06) තුන්වන (3) දිනට ආරම්භ වුණේ, ගලිගමුව ප්‍රදේශයෙන්.

අද (06) පස්වරුවේ වරකාපොළ ප්‍රදේශයෙන් අවසන් කෙරෙන එය කොළඹට පැමිණීමට නියමිතව තිබෙන්නේ ලබන සඳුදා (09) යි.

මේ අතර ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව විසඳන ලෙස ඉල්ලමින් ප්‍රදේශ කිහිපයක අදත් (06) උද්ඝෝෂණ පැවැත්වුණේ මෙලෙසින් :

@@@@@ කොවිඩ් පුවත් @@@@@

(06.08.2021 – 08:58 +0530 – hirunews.lk/sinhala)

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කටයුතු අත්‍යවශ්‍ය හදිසි ප්‍රතිකාර සේවා සඳහා පමණක් සීමා කර තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය සමන්තා රාමචන්ද්‍ර මහත්මිය සඳහන් කළේ රෝහල් කාර්ය මණ්ඩලයේ 14 දෙනෙකු ආසාදිතයන් බවට හඳුනාගැනීම නිසා මෙම තත්වය උද්ගතවී ඇති බවයි.

ඒ හේතුවෙන් රෝහල තුළ පෙර සැළසුම් කරන ලද සැත්කම් හා පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවීමටත්, සායන සඳහා පැමිණෙන රෝගීන්ට ඖෂධ තැපෑලෙන් ලබාදීමටත් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ඇය කියා සිටියේ.

එමෙන්ම ප්‍රදේශවාසීන්ට අවට ඇති අනෙකුත් ප්‍රාදේශීය රෝහල් වෙත ප්‍රතිකාර සඳහා යන ලෙස ඇඹිලිපිටිය නගර සභාව හරහා මහජනතාව දැනුවත් කිරීමටද ඊයේ (05) පියවර ගනු ලැබුවා.

කොරෝනා රෝගීන් ඉහළ යෑම හමුවේ කරාපිටිය, රත්නපුර, කළුබෝවිල, රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළු රෝහල් ගණනාවක ධාරිතාව මේ වනවිටත් ඉක්මවා ගොස් අවසන්.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලබන සඳුදා (09) සිට බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කළ රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස්වල සිට රැක බලා ගැනීමේ වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළා.

මේ අතර, මෙරට යළි හිස ඔසවා ඇති කොරෝනා ව්‍යාප්තිය හමුවේ ඇතැම් පුද්ගලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන තත්ත්වයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා කියා සිටියා.

එමෙන්ම රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළ රෝගියෙකු අතුරුදන් වීමේ සිද්ධියක් කඩවත ප්‍රදේශයෙන් වාර්තා වුණා. පසුගිය 25 වන දා අදාළ 66 හැවිරිදි මෙම පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර ඊට දින 2 කට පසුව සිදුකළ කොරෝනා පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙකු බවට හඳුනා ගත් බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ.

එහෙත් රෝහල්ගතව සිටි ඔහු පසුගිය 29 වනදා බ්‍රහස්පතින්දා සිට අතුරුදන්ව ඇති බවට පොලීසිය මගින් දැනුවත් කළ බවයි අතුරුදන් බවට පැවසෙන පුද්ගලයාගේ දියණිය කියා සිටියේ.

මේ අතර, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ සේවකයින් කිහිප දෙනෙකු කොරෝනා ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් සාමාන්‍ය සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබාදීම තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

අත්‍යාවශ්‍ය සේවා අවශ්‍යතා ඇති සේවාලාභීන් සඳහා පමණක් එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සිදුකෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(06.08.2021 – 09:21 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.

මේ බව තහවුරු වීමෙන් පසු මන්ත්‍රීවරයා මාතලේ පිහිටි සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින බවටයි වාර්තා වන්නේ ෴

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජානක තිස්සකුට්ටිආරච්චිට සහ සමගි ජනබලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව තුන්වන රැල්ලේ කොරෝනා ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව හතර (4) දක්වා ඉහළ යනු ඇති. මේ වනවිට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහණ දිසානායකට කොරෝනා වැළඳී තිබෙනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (05) සවස ඇතිවූ දැඩි හිසරදය හේතුවෙන් කරන ලද කොරෝනා පරීක්ෂණයේදී තමාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි.

ඒ අනුව ඔහුගේ පවුලේ සියලුදෙනා ස්වයං නිරෝධායනයට යොමුවී තිබෙනවා ෴

++++++++++++++++++

(06.08.2021 – 09:42 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ රැස්වීමක් අද (06) පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙන බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

රෝහල්වල ධාරිතාව ඉක්මවීම සහ මෙරට එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ ෴

+++++++++++++++++++

(06.08.2021 – 09:45 +0530 – hirunews.lk/sinhala)

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2.14 ක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යානා දෙකක් (2) අද දිවයිනට ළඟාවුණා. එක් යානයක් උදෑසන 09:20 ට පමණ මෙරටට පැමිණි අතර, අනෙක් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ළඟාවූයේ උදෑසන 09:30 ට පමණයි.

එසේම අනිද්දා (08) තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.86 ක් මෙරටට ලැබීමට නියමිත බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ.

එසේම ඇස්ට්‍රසෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව මෙතෙක් ලබා නොගත් පුද්ගලයන් සිටීනම් බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත පැමිණි අද (06) එම එන්නත ලබා ගත හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මේ අතර මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (05) සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයන් 79,182 කුට ලබාදී ඇති අතර, දෙවන (2) මාත්‍රාව 6,878 දෙනෙකුට ලබාදී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පමණක් මේ වනවිට ලබාදී ඇති මුළු සංඛ්‍යාව 86,15,292 ක්.

කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන ඒවා භාවිතයට නොගන්නා රටවල් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධානය යොමුකර තිබෙනවා.

එහි ප්‍රකාශක ස්ටෙෆන් ඩුජාරික් සඳහන් කළේ පරිපාලන හේතු, නිසි අවධානයක් නොමැති කම හෝ එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීම ආදී හේතු මත විවිධ රටවල් ලබාගත් එන්නත් භාවිතයට නොගන්නා තත්වයන් වාර්තා වී ඇති බවයි.

කොවැක්ස් පහසුකම යටතේ රටවල් 138 කට එන්නත් මාත්‍රා මිලියන 186.2 ක් බෙදාහැර ඇති අතර, අඩු සහ මැදි ආදායම් ලබන රටවලට මෙම වසර අවසානය වනවිට එන්නත් මාත්‍රා බිලියන 2 ක් ලබාදීමට අපේක්ෂා කරන බවයි ඔහු කියා සිටියේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *