පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් ඇතුළු දෙදෙනෙකු (2) අත්අඩංගුවට

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් ඇතුළු දෙදෙනෙකු (2) අත්අඩංගුවට

*********************************************

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් ඇතුළු දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(04.08.2021 – 09:11 +0530 – hirunews.lk/sinhala)

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත සහ එම පක්ෂ සාමාජිකාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඊයේ (03) පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් පැවති විරෝධතාව අතරතුර රජයේ දේපළවලට අනර්ථයක් සිදුකිරීම, අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීම සහ මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට තුවාල සිදුකිරීමේ චෝදනා මතයි.

විරෝධතාව අතරතුර තුවාල ලැබූ මහරගම පොලීසියේ ස්ථානාධිපතිවරයා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

******************************************

(04.08.2021 – 08:10 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන, ආහාර ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට විදේශ සංචිත රට තුළ පවතින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (03) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ ෴

******************************************

(04.08.2021 – 08:16 +0530 – hirunews.lk/sinhala)

රථවාහන පරීක්ෂා කිරීමේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට (2) පරුෂ වචනයෙන් බැණ වැදී පහරදීමට තැත් කොට පලාගොස් සැඟව සිටි දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කටුනායක – හීනටියන ප්‍රදේශයේ රථවාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුටයි (2) සැකකරුවන් බැණ පහරදීමට තැත් කර ඇත්තේ.

මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා (2) කටුනායක පොලීසියට අනුයුක්තව සේවය කරන අතර, ඔවුන් පසුගිය 30 වනදා රාත්‍රියේ සැකකරුවන් පැමිණි මෝටර් රථය නතර කරන ලෙසට දැනුම්දී තිබෙනවා.

එලෙස නතර කරනු ලැබු මෝටර් රථයේ සිටි සැකකරුවන් බීමත්ව සිටින බවට තහවුරු වීමෙන් පසු අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන අවස්ථාවේදි මොවුන් පොලිස් නිලධාරීන්ට බැණ පහරදීමට තැත් කොට මෝටර් රථයද දමා පලාගොස් තිබුණා.

කෙසේ වෙතත් පසුව පලාගිය සැකකරුවන් ඊයේ (03) පොලිසියට භාරවීමෙන් අනතුරුව මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් අතුල ගුණසේකර හමුවට ඉදිරිපත් කර මේ මස 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. සැකකරුවන් කටුනායක – පීල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් ෴

******************************************

(04.08.2021 – 08:18 +0530 – hirunews.lk/sinhala)

ගිනිගැනීමට ලක්වීමෙන් අනතුරුව මුහුදුබත් වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව පවතින මෝසම් කාලගුණ තත්වය යහපත් වූ පසු එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා සැළසුමක් සකස් කරමින් සිටින බව සිංගප්පූරු බලධාරීන් රජය වෙත දැනුම්දී තිබෙනවා.

ඒ, නෙදර්ලන්තය සහ සිංගප්පූරුවේ නෞකා සුන්බුන් ඉවත් කිරීමේ විශේෂඥයින්, නාවුක වාස්තු විශේෂඥයින් සහ සුන්බුන් ඉවත් කිරීමේ විශේෂඥයින් පිරිසක් විසින්.

එම කටයුතු සිදුවන තෙක් හානියට පත් නෞකාවේ භාරකරුවන් ලෙස එහි හිමිකරුවන් වන ‘රිසෝල්ව් මැරින්’ ආයතනය පත් කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ වනවිට නෞකාව පවතින ස්ථානයේ ජලය මතුපිට දිළිසෙන තෙල් පැල්ලමක් දක්නට ලැබෙන අතර, රසායනික ද්‍රව්‍ය යොදා එම පැල්ලම ඉවත් කිරීම, එය ඉබේම ජලයේ දියවීමට ඉඩ හැරීමට වඩා ඉතා හානිකර විය හැකි බවට විශේෂඥයින් දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් ඩ්‍රෝන යානාවක් යොදා අදාළ ප්‍රදේශය අඛණ්ඩව අධීක්ෂණය කරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ.

සිදුවූ හානියට වන්දි ලෙස රජය අතුරු ඉල්ලීම් දෙකක් (2) සිදුකර ඇති අතර, අන්තර් ගෙවීමක් ලෙස රුපියල් මිලියන 720 ක මුදලක් ලැබී තිබෙනවා.

ඒ අතුරින් ධීවරයින්ට වන්දි ගෙවීම සඳහා වෙන් කෙරුණු රුපියල් මිලියන 420 ක මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා බලපෑම්වලට ලක්වූවන් අතර බෙදාහරිමින් පවතින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර අදාළ නෞකාව ගිනිගැනීම හේතුවෙන් මෙරටට ලැබෙන වන්දි මුදලින් සියයට 70 කට නොඅඩු මුදලක් හානියට පත් සාගරය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් සඳහා යොදවන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.

ඒ, මෙම පෙත්සම කුමුදුනී වික්‍රමසිංහ, ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (03) සළකා බැලුනු අවස්ථාවේදියි.

පරිසරවේදිනියක වන ආචාර්ය අජන්තා පෙරේරා සහ ජෙරන් ජෙගදීසන් විසින් ගොනුකර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය, වරාය අධිකාරිය, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්, වෙළඳ නැව් පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්, නීතිපතිවරයා ඇතුලු පිරිසක් නම් කර තිබෙනවා.

නෞකාව ගිනිගැනීමෙන් මෙරට සාගරයට ගණනය කළ නොහැකි හානියක් සිදුවී ඇති බවට පෙන්වා දෙන පෙත්සම්කරුවන්, සිද්ධියට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසත් ඉල්ලා තිබෙනවා.

මේ අතර නෞකාවෙන් සිදුවූ විනාශය තක්සේරු කර කඩිනමින් වන්දි ගෙවන ලෙස ඉල්ලා සමස්ත ලංකා පොදු ධීවර සංගමය ඊයේ (03) හලාවතදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා ෴

******************************************

(04.08.2021 – 09:37 +0530 – hirunews.lk/sinhala)

පාසල් මට්ටමේ සිටින ප්‍රාදේශීය හා ජාතික තලයේ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පුහුණු පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණෙන් කෘත්‍රිම ධාවන පථ 5 ක් ඉදිකිරීමට තීරණය කර ඇති බව තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළා.

තෝරා ගත් පාසල් දෙකක් (2) සහ ක්‍රීඩා සංකීර්ණ 3 ක් සදහා මීටර් 130 ක මං තීරු 4 ක පුහුණු ධාවන පථ ඉදිකිරීම ඒ යටතේ සිදුකෙරෙන බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.

ඊට අදාළ පාංශු පරීක්ෂණ, මූලික ඇස්තමේන්තු සැකසීම සහ ලංසු කැදවීම මේ වන විට ආරම්භ කර තිබෙනවා ෴

******************************************

(04.08.2021 – 10:15 +0530 – hirunews.lk/sinhala)

මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරික්ෂා කිරීම සඳහා ඉදිරියේදී පොලිස් නිල සුනඛයින් යොදා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඒ සඳහා මහනුවර පොලිස් නිල සුනඛ ඒකකයේ ‘ජොනී’ සහ ‘රොමා’ යන සුනඛයින් පුහුණු කර ඇති බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව ඉදිරියේදී පරිසර පොලිස් නිලධාරීන් සිදුකරනු ලබන ඩෙංගු වැටලීම් සඳහා මෙම සුනඛයින් යොදාගනු ඇති ෴

******************************************

(04.08.2021 – 10:31 +0530 – hirunews.lk/sinhala)

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවේ විවාද කිරීම සදහා කල් අවශ්‍යවන බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා අද (04) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් චමීර කොස්වත්ත සහ එම පක්ෂයේ තවත් සාමාජිකාවක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොතලාවල පනත් කෙටුම්පතට එරෙහිව ඊයේ (03) පැවති විරෝධතාව අතරතුර රාජ්‍ය දේපළවලට හානි සිදුකිරීම, අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීම සහ පොලිස් ස්ථානාධිපතිවරයෙකුට තුවාල සිදුකිරීම යන චෝදනා මතයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සහ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ඒකාබද්ධව ඊයේ (03) පස්වරුවේ පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් මෙම විරෝධතායේ නිරත වුණා.

එහිදී උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර විරෝධතාකරුවන් පාලනය කිරීමට ගිය අවස්ථාවේදී මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට තුවාල සිදුවී තිබෙනවා.

මේ අතර මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පෙරටගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් මුදාහැර තිබෙනවා.

අත්අඩංගුවට ගත් දෙදෙනා (2) අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව තලංගම පොලිසිය සඳහන් කළා.

මේඅතර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සැලසුම් කළ පරිදි ලබන සිකුරාදා පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නේදැයි අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරුණා.

******************************************

(04.08.2021 – 10:40 +0530 – hirunews.lk/sinhala)

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට එරෙහි චෝදනා ඉදිරියට පවත්වාගෙන නොයන බව නීතිපතිවරයා අද (04) කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙම නඩුවේ 14 වන විත්තිකරු වන්නේ වසන්ත කරන්නාගොඩයි.

නඩුව අද (04) කැඳවනු ලැබුවේ චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ හිටපු නාවික හමුදාපතිවරයා මෙම නඩුවේ විත්තිකරුවෙකු වශයෙන් නම් කිරීමට එරෙහිව අභියාචනාධිකණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇති අතර ඒ අනුව ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවයි.

එම තහනම් නියෝගය නඩු විභාගය අවසන් වනතෙක් බලපැවැත්වෙන බව කී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා එම රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ලබන 30 වනදා කැඳවීමට නියමිතව තිබෙන බවත් ප්‍රකාශ කළා.

ඒ අනුව අදාල විත්තිකරුවන්ට එරෙහි චෝදනා පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල රජයේ නීතිඥවරයාට දන්වා සිටියේ මෙම නඩුවේ විත්තිකරුවන් 14 දෙනෙකු සිටින හෙයින් එම විත්තිකරුවන් සියලු දෙනා අධිකරණය හමුවේ පෙනී සිටින අවස්ථාවක නීතිපතිවරයාගේ මෙම ස්ථාවරය දැනුම් දීම සුදුසු බවයි.

2008 සහ 2009 වසරවල කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වාසය කළ තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා අතුරුදන් කළේ යැයි චෝදනා කරමින් හිටපු නාවික හමුදාපතිවරයා, හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශ රියර් අද්මිරාල් ඩී.කේ. පි. දසනායක ඇතුලු නාවික හමුදා සාමාජිකයින් 14 දෙනෙකුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබෙනවා.

මෙම නඩුව සැප්තැම්බර් මස 22 වනදා යලි කැඳවීමට නියමිතයි ෴

******************************************

ක්ලැරන්ස් විජේවර්ධන සූරීන්ගේ නමින් මාර්ගයක් නම්කෙරේ

(04.08.2021 – 11:00 +0530 – hirunews.lk/sinhala)

මහරගම – නගර සභා බල ප්‍රදේශයට අයත් මාර්ගයක් අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පී ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ නමින් නම් කර තිබෙනවා.

ඒ, ඊයේ (04) දිනට යෙදුණු ඔහුගේ 78 වන ජන්ම දිනය නිමිත්තෙන්.

ක්ලැරන්ස් විජේවර්ධන මහතා ජීවත්ව සිටියදී විසූ මහරගම – තලපත්පිටිය මාර්ගයේ නිවසට පිවිසෙන මාර්ගය මෙලෙස නම් කළ බවයි මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් මහතා සඳහන් කළේ ෴

[ meemessasinhalasongs.com : Clarence Wijewardana (mp3) ]

++++++++++

ITN Siyapath Pokura – Clarence Wijewardana (2021-08-03)

******************************************

(04.08.2021 – 11:13 +0530 – hirunews.lk/sinhala)

ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වී සිටින ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් අද (04) පෙරවරුවේ ආරම්භ කළ රථ පෙළපාලිය මේ වන විට කොළඹට ළඟා වෙමින් පවතිනවා.

මේ හේතුවෙන් කොළඹ – මීගමුව මාර්ගය වැලිසර ප්‍රදේශයෙන් අවහිර වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මොරටුව – කොරලවැල්ල, කොට්ටාව, වැලිසර සහ මහනුවර නගරයෙන් මෙම රථ පෙළපාලිය ආරම්භ කෙරුණු අතර එය අද (04) දහවල් එය කොළඹට ළඟා වීමට නියමිතයි ෴

******************************************

(04.08.2021 – 11:38 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) පෙරවරු 10:45 ට පමණ පාර්ලිමේන්තුවට පැමිණ අසුන් ගනු ලැබුවා.

සේවකයින්ගේ ජාතික අවම වේතන සංශෝධන පනත් කෙටුම්පත දෙවන (2) වර කියවීමේ විවාදය අද (04), පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අතර, පෙරවරු 10 ට පමණ පාර්ලිමේන්තුව ආරම්භවීමට ප්‍රථමයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න ඊයේ (03) සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව කථානායකවරයා අදහස් දක්වා සිටියා.

පසුව වාචික ප්‍රශ්න යොමුකරන අවස්ථාවේදී රෝහිණී විජේරත්න මන්ත්‍රිවරිය ද ඊට ප්‍රතිචාර දක්වා සිටියා.

වැඩිහිටි දීමනාවෙන් රුපියල් 100 ක මුදලක් කපා හැරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ, රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ගෙන් විමසා සිටි අතර, එහිදී ඇති වූයේ උණුසුම් තත්වයක්.

ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක සහ චමින්ද විජේසිරි ද මැදිහත් වුණා.

ගුරු – විදුහල්පතිවරුන්ගේ ගැටළුව පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් විසි හත-දෙක යටතේ විෂයභාර අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගෙන් ප්‍රශ්න කළා.

@@@@@@@@@@@@@@

(04.08.2021 – 09:25 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (03) දින ලබාදුන් ජපාන ඇස්ට්‍රා සෙනිකා දෙවන මාත්‍රා 116,664 සමඟ පසුගිය දින තුන (3) තුළ ලබාදුන් දෙවන (2) මාත්‍රා ප්‍රමාණය 370,761 දක්වා ඉහළ යයි.

පළමුවෙනි (1) මාත්‍රාව ලබාගත් තවත් 170,000 පිරිසක් දෙවැනි (2) මාත්‍රාව ලබා ගෙන නැති හෙයින් ඉදිරි දින කිහිපය තුළ එය ලබාගන්නා ලෙස ඉල්ලීමක් කෙරේ ෴

++++++++++++++++++++++

(04.08.2021 – 09:48 +0530 – hirunews.lk/sinhala)

බත්තරමුල්ලේ පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සිව් (4) දෙනෙකුට කොවිඩ් ආසාධනය වී ඇති බව වාර්තා වනවා.

මේ නිසා ආරක්ෂිත පියවරක් ලෙස බත්තරමුල්ලේ පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමටයි තීරණය වී ඇත්තේ.

ආයතනයේ නිළධාරීන් සිව් (4) දෙනෙකු දැනටමත් ආසාදිත බවට හඳුනාගෙන ඇති අතර ඔවුන් නිරෝධායනයට යොමුකළ බවටයි වාර්තා වන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *