ගුරු විදුහල්පති වැටුප් ගැටළුවලට කැබිනට්ටුවෙන් විසදුම් නැහැ

ගුරු විදුහල්පති වැටුප් ගැටළුවලට කැබිනට්ටුවෙන් විසදුම් නැහැ

*********************************************

ගුරු විදුහල්පති වැටුප් ගැටළුවලට කැබිනට්ටුවෙන් විසදුම් නැහැ

(03.08.2021 – 08:18 +0530 – hirunews.lk/sinhala)

ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටළුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පළ නොවූ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, වර්ජනයේ නිරත ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති පවසන්නේ ඔන්ලයින් හරහා ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බවයි.

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර, එහිදී තීරණය වූයේ මෙම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමටයි.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ එම කමිටුව ඉකුත් 27 වන දා ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සමඟ සාකච්ඡාවක් පැවැත්වූ නමුත් එය විසදුමකින් තොරව අවසන් වුණා.

කෙසේ වෙතත්, ඊයේ (02) පස්වරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී ද මෙම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ජා වී ඇති නමුත් එහිදී ද එකඟතාවයකට පැමිණ නැහැ.

ඒ අනුව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කර ඇති ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වීමේ වර්ජනය අද (03) 23 වන දිනටත් ක්‍රියාත්මකයි ෴

******************************************

(03.08.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය භාවිතා කරමින් වාහන පදවන පුද්ගලයින් හඳුනාගැනීම සඳහා නව තාක්ෂණික පහසුකම් හඳුන්වාදෙන බව පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

ඔහුන් පෙන්වා දෙන්නේ මාර්ග නීතී උල්ලංඝනය කරන රියදුරන්ට දඩ මුදල් ගෙවීම සඳහාද පහසු ක්‍රමවේදයක් හඳුන්වාදෙන බවයි.

ඒ අනුව තමාගේ මුදල් කාඩ්පත හරහා හෝ වෙනත් ක්‍රමයකට ඒම දඩය ගෙවීමට ඉදිරියේදී හැකි වනු ඇති.

ඒමේන්ම මාර්ග නීති උල්ලංඝනය කරන පිරිසට දඩ මුදල් අනුව ලකුණු අඩු කරන ක්‍රමවේදයක් ගැනද අවධානය යොමුව ඇති බවටයි වාර්තා වන්නේ ෴

******************************************

(03.08.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala)

2020 මහබැංකු වාර්තාව පිළිබඳ කල් තැබීමේ විවාදය අද (03) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, පනත් කෙටුම්පත් 4 ක දෙවන (2) වර කියවීමේ විවාද ලබන 06 වන දා දක්වා පාර්ලිමේන්තු සතියේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පිළිබද දෙවන (2) වර කියවීමේ විවාදය ලබන 06 වන දා පැවැත්වෙනු ඇති.

මෙම කෙටුම්පත පිළිබද මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ද අද (03) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මීට අමතරව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කරන පරිපූරක ඇස්තමේන්තුව පිළිබද යෝජනාව සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් අනිද්දා (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

(03.08.2021 – 08:24 +0530 – hirunews.lk/sinhala)

දින 180 සම්පූර්ණ කළ සියලු සෞඛ්‍ය ආදේශක, අනියම් සේවකයින් ස්ථිර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (03) උදෑසන 06:30 සිට දෙදින (2) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

මේ අතර, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට කොවිඩ් විශේෂ නිවාඩු ක්‍රමය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව සෞඛ්‍ය ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ අදාළ ඉල්ලීම්වලට කඩිනම් විසදුමක් ලබා නොදුනහොත් අනිද්දා (05) සිට සේවයෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට තීරණය කර ඇති බවයි ෴

******************************************

මෙරටට සුනාමි අනතුරක් ද ? කාලගුණයෙන් හදිසි දැනුම් දීමක්

(03.08.2021 – 10:47 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය සාගරයේ අන්දමන් දුපත් ආසානයේ භූමි කම්පාවක් සිදුව තිබෙනවා.

රික්ටර් මාපකයේ 6.5 ලෙස දැක්වුණු මෙම භූමි කම්පාව හේතුවෙන් ඒ ආසන්නයේ වෙරළ ආශ්‍රිතව ජීවත් වන්නන්ට සුනාමි තත්වයක් පිලිබඳ සැලකිල්ලෙන් සිටින ලෙස දන්වා තිබෙනවා.

පොළව මට්ටමේ සිට කිලෝමීටර 95 ගැඹුරින් සිදුව ඇති මෙම භූකම්පනය හේතුවෙන් ශ්‍රී ලංකා වෙරළ බඩ ප්‍රදේශ වල සහ ඒ ආසන්නයේ ජීවත් වන ජනතාවට යම් බලපෑමක් සිදුවන්නේ දැයි කාලගුණ දෙපාර්තුමේන්තුව නිරන්තර අවධානයෙන් පසු වන බවයි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

******************************************

(03.08.2021 – 11:03 +0530 – hirunews.lk/sinhala)

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානම්ව සිටින බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ (02) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එහිදී ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන් මෙම පනත් කෙටුම්පතට සංශෝධන ගෙන ආ යුතු බවට යෝජනා කර තිබෙනවා.

මෙම කෙටුම්පත සම්බන්ධයෙන් දෙවනවර (2) විවාදය ලබන 06 වන දා පැවැත්වීමටයි පක්ෂ නායක රැස්වීමේදී පසුගිය දා තීරණය කරනු ලැබුවේ ෴

******************************************

(03.08.2021 – 11:07 +0530 – hirunews.lk/sinhala)

රුපියල් බිලියන 7 ක තැන්පතු මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින ඊ.ටී.අයි. සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් හතර (4) දෙනෙකුට අද (03) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දුන්නා.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය අධිකරණය හමුවේ පෙනි සිටියා.

ඉන් අනතුරුව විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර බාර දීම සිදු කෙරුණු අතර පසුව ඔවුන් රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමටයි නියෝග කළේ ෴

******************************************

(03.08.2021 – 11:34 +0530 – hirunews.lk/sinhala)

ආරක්ෂිත වන සතුන් විසින් සිදුකරනු ලබන පහරදීම් හේතුවෙන් මියයන පුද්ගලයින් සඳහා වන වන්දි මුදල වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.

එ සඳහා වනජීවී අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ඊයේ (02) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.

ආරක්ෂිත වන සතුන් ලෙස සැළකෙන වන අලින්, දිවියන්, කුළුමීමුන්, කිඹුලන් සහ වලසුන්ගේ පහරදීම් හේතුවෙන් මිය යන පුද්ගලයින්ට ස්ත්‍රී පුරුෂ හෝ වයස් භේද නො සළකා රුපියල් මිලියනයක (10,00,000) වන්දියක් මේ අනුව ලැබෙනු ඇති.

මීට පෙර මෙම සතුන්ගේ පහරදීම් හේතුවෙන් මිය යන පුද්ගලයින් හට ලබා දුන්නේ රුපියල් ලක්ෂ 5 ක වන්දියක් පමණයි.

මීට අමතර ව මෙවන් පහරදීමක් හේතුවෙන් පූර්ණ බෙලහීනතාවයට පත්වන පුද්ගලයින් හට රුපියල් මිලියනයක වන්දි මුදලක් ගෙවීමට ද මෙහි දී යෝජනා වී තිබෙනවා.

එමෙන් ම වන සතුන්ගේ පහරදීමක් හේතුවෙන් අර්ධ බෙලහීනතාවයට පත්වන පුද්ගලයින් හට මෙතෙක් ගෙවන ලද රුපියල් 75,000 ක වන්දි මුදලක් රුපියල් 150,000 ක් දක්වා වැඩිකර තිබෙනවා.

මේ අතර වන අලි ප්‍රහාරයන් හේතුවෙන් විනාශ වූ නිවාස සඳහා ගෙවූ රුපියල් ලක්ෂයක් වන වන්දි මුදල රුපියල් ලක්ෂ දෙකක් (2,00,000) දක්වා වැඩි කිරීමටත් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව තිබෙනවා ෴

******************************************

(03.08.2021 – 12:39 +0530 – hirunews.lk/sinhala)

වී සඳහා සහතික මිලක් නියම කිරීම හරහා මහා පරිමාන මෝල් හිමියන් කිහිපදෙනෙකු සතු කරගෙන තිබූ සහල් මාෆියාව නතර කිරීමට හැකි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ‘හිරු ටී.වී.’ ඔස්සේ විකාශනය වූ ‘සලකුණ’ දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින්.

******************************************

(03.08.2021 – 12:48 +0530 – hirunews.lk/sinhala)

ගිනිගත්හේන – ලොනැක් ප්‍රදේශයේ අවිධිමත් ලෙස අපද්‍රව්‍ය බැහැර කරමින් පවත්වාගෙන යන සත්ත්ව ගොවිපලක් හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බවට වාර්තා වනවා.

ගම්වැසියන් චෝදනා කරන්නේ මෙම ගැටලුව පිළිබඳව බලධාරීන් කොතෙකුත් දැනුවත් කළද තවමත් නිසි විසදුමක් නොලැබුණු බවටයි.

මේ සුන්දර පරිසරයකින් යුතු ගිනිගත්හේන – ලොනැක් ප්‍රදේශයයි.

මෙහි කඳු මුදුනක පවත්වාගෙන යන මහා පරිමාණ සත්ත්ව ගොවිපලකින් මුදාහැරුණු බවට පැවසෙන අපද්‍රව්‍ය හේතුවෙන් ප්‍රදේශයේ දැඩි සෞඛ්‍ය හා පාරිසරික ගැටලුවක් නිර්මාණය වී ඇති බවට ගම්වැසියන් චෝදනා කරනවා.

ඔවුන් පවසන්නේ ගොවිපල ආසන්නයේ විවෘත ප්‍රදේශයක පරිසරයට නිරාවරණය වෙමින් මුදාහරින ලද සත්ත්ව මළ කුණු සහ කොටස් හේතුවෙන් අධික දුර්ගන්දයක් මෙන්ම මැසි ගහණයද වැඩි වී ඇති බවටයි.

සත්ත්ව මළකුණු සහ අපද්‍රව්‍ය කොටස් ජල මූලාශ්‍රවලටද එකතුවීම හේතුවෙන් දෙහිගස්තැන්න, අඹතලාව, කඳුරේගොඩ, ඇල්ලඋඩ ආදී ගම්මානවල ජනතාව උග්‍ර පානීය ගැටලුවකටද මුහුණ දී සිටිනවා.

ගම්වැසියන් පෙන්වා දෙන්නේ තමන් මුහුණදෙන ගැටලු පිළිබඳව අදාළ ගොවිපලේ පාලන අධිකාරිය මෙන්ම සහ වගකිවයුතු බලධාරීන් කොතෙකුත් දැනුවත් කළද නිසි විසඳුමක් නොලැබුණු බවයි.

එල්ල වන මෙම චෝදනා පිළිබඳව අප අදාළ ගොවිපලේ පාලන අධිකාරියෙන් විමසීමක් කළා.

අදාළ ව්‍යාපෘතිය යහපත් කටයුත්තක් වුවත් ගම්වාසීන් ඉල්ලා සිටින්නේ අපද්‍රව්‍ය බැහැරකිරීමේදී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කොට තමන් මුහුණදෙන ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙසයි.

******************************************

තම නැගණියට ඉංග්‍රීසි ලිවීමට නොහැකි බව ඉෂාලිනීගේ සොහොයුරෙකු හෙළි කරයි

(03.08.2021 – 13:30 +0530 – hirunews.lk/sinhala)

තම නැගණියට ඉංග්‍රීසි භාෂාව ලිවීමට හැකියාවක් නොමැති බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී පිළිස්සී මිය ගිය ඉෂාලිනී ජුඩ්ගේ සහෝදරයෙකු පවසනවා. ඔහු සදහන් කළේ යමක් බලාගෙන ලිවීමට ඇයට හැකි වුවත් ඉංග්‍රීසි අකුරු ගලපා ලිවීමට තරම් අධ්‍යාපන මට්ටමක් නොතිබුණු බවයි.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේදී සිරුරට ගිනි ඇවිලී මිය ගිය ඉෂාලිනී රැදී සිටි කුඩා කාමරයේ බිත්තියක ලියා තිබූ වැකියක් සම්බන්ධයෙන් විමර්ශණ කණ්ඩායම් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

දෙමළ අදහසක් ඇති ඉංග්‍රීසියෙන් ලියූ මෙම වැකියේ සදහන් වූයේ ‘එන් සාවුක්කු කාරනම්’ හෙවත් ‘මගේ මරණයට හේතුව’ යන්නයි. මෙම වැකිය මිය ගිය දැරිය විසින්ම ලියන ලද්දක් ද යන්න සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අත්අකුරු පිළිබද විශේෂඥයින් විසින් ඊයේ (02) පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එමෙන්ම එහි ඡායාරූපයක් ගෙන එය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කටයුතු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

කෙසේ වෙතත්, මේ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය මිය ගිය ඉෂාලිනී ජුඩ්ගේ සහෝදරයෙකු වන තිරු ප්‍රසාද් නැමැත්තාගෙන් විමසීමක් කළා.

ඔහු එහිදී කියා සිටියේ තම නැගනිය 7 ශ්‍රේණිය දක්වා පමණක් පාසල් අධ්‍යාපනය ලැබූ බැවින් ඉංග්‍රීසි භාෂාව ලිවීමට හැකියාවක් නොමැති බවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.

මේ අතර, මෙම සිද්ධියට අදාළව මාළඹේ – පිට්ටුගල ප්‍රදේශයේ රැදී සිටි මිය ගිය ඉෂාලිනී දැරියගේ තවත් සොහොයුරෙකුගෙන් ඊයේ (02) ප්‍රකාශයක් සටහන් කර ගත්තා. ඔහු දැනට පිට්ටුගල ප්‍රදේශයේ අවන්හලක සේවය කරනු ලබනවා.

එමෙන්ම අද (03) දිනයේදීත් මිය ගිය ඉෂාලිනී දැරියට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා.

++++++++++++

++++++++++++

@@@@@@@@@@@@@@@

(03.08.2021 – 08:28 +0530 – hirunews.lk/sinhala)

පස්වන (5) දිනයටත් ඊයේ (02) මෙරට කොරෝනා ආසාදිතයින් 2000 ඉක්මවා වාර්තා වුණා.

නව ආසාදිතයින් 2420 ක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව දැක්වුණේ 3,13,769 ක් ලෙසයි.

ඊයේ (02) හඳුනා ගැණුනු ආසාදිතයින්ගෙන් 2382 කු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර විදේශයන්හි සිට පැමිණි 38 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගැණුනා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයින් 28,393 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව 2,80,868 ක්.

එමෙන්ම, තවත් කොරෝනා මරණ 63 ක් වාර්තා වීමත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව ද දැක්වුණේ 4571 ක් ලෙසටයි.

මේ අතර, කොරෝනා ව්‍යාප්තවීමත් සමග පාසල් දරුවන් නිවෙස් තුළ රැදී සිටීම නිසා සිදුවන අනතුරු ඉහළ යාමේ ප්‍රවනතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

හදිසි අනතුරු හේතුවෙන් දන්ත වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානවලට පැමිණෙන දරුවන්ගේ ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි විශේෂඥ වෛද්‍ය නිරෝෂා රණසිංහ කොළඹ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ ෴

+++++++++++++++++++

(03.08.2021 – 10:05 +0530 – hirunews.lk/sinhala)

කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැය 24 පුරා ක්‍රියාත්මක කොරෝනා එන්නත්කරණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිරීක්ෂණය කර තිබෙනවා. ඊයේ (02) රාත්‍රියේ ජනාධිපතිවරයා එහි සංචාරයක නිරතවෙමින් මේ පිළිබද සොයා බලා ඇති බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය සදහන් කළේ.

මේ අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව ඊයේ (02) දිනයේදී කෑගල්ලේ පුද්ගලයින් 22,981 දෙනෙකුට ලබාදී තිබෙනවා ෴

අවුරුදු 12-18 අතර වයස් කාණ්ඩයේ පාසල් යන ළමයින්ට කොරෝනා එන්නත් ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර ප්‍රදේශයේදී ඊයේ (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෴

+++++++++++++++++++

(03.08.2021 – 11:53 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට රටේ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය පිළිබඳ ව සෑම පාර්ලිමේන්තු සතියක ම අඟහරුවාදා දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගෙන් අද (03) පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කළා.

එම ඉල්ලීමට සෞඛ්‍ය අමාත්‍යවරියගේ එකඟතාව පළ වී තිබෙනවා.

මෙම ක්‍රමය දැනට එක්සත් රාජධානි පාර්ලිමේන්තුව තුළ ද ක්‍රියාත්මක බව පෙන්වා දුන් හිටපු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එය ක්‍රියාත්මක කිරීම තුළින් වඩාත් නිවැරදි තොරතුරු සමාජගත කළ හැකි බවයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද මෙම යෝජනාවට එකඟතාව පළ කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *