උපත්, විවාහ සහ මරණ සහතික පිටපත් මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට

උපත්, විවාහ සහ මරණ සහතික පිටපත් මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට

*********************************************

උපත්, විවාහ සහ මරණ සහතික පිටපත් මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට

(02.08.2021 – 16:46 +0530 – hirunews.lk/sinhala)

උපත්, විවාහ සහ මරණ සහතික පිටපත් මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට ලබාදීම ‍අගෝස්තු මස (04) වනදා සිට ආරම්භ කරන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම සහතික පිටපත් මාර්ගගත ක්‍රමයට ලබාගැනීම සඳහා ජංගම දුරකතනය සහ පරිගණක භාවිතයෙන් ඉල්ලුම් කළ හැකි අතර වීසා සහ මාස්ටර් කාඩ්පත් භාවිතා කර ඒ සඳහා අදාළ ගෙවීම් සිදුකළ හැකි බවයි සඳහන් වන්නේ.

එම සහතික ශීඝ්‍රගාමී තැපෑල ඔස්සේ නිවසටම ගෙන්වා ගැනීමට හෝ ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ලබාගැනීමේ පහසුකම් සපයා ඇතැයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

https://online.ebmd.rgd.gov.lk/ වෙබ් අඩවියෙන් මෙම සහතික පත් ඉල්ලුම් කළ හැකි අතර අවශ්‍ය තොරතුරු http://www.rgd.gov.lk/ වෙඩ් අඩවියෙන් සහ 011 288 9518 දුරකතන අංකය ඇමතීමෙන් ලබා ගත හැකි බවද සඳහන් ෴

******************************************

(02.08.2021 – 15:55 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ – විතානමුල්ල ප්‍රදේශයේ ඇළක තිබී සැක කටයුතු අන්දමින් මිය ගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (02) සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මිනුවන්ගොඩ – මාබෝදලේ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි සිව් (4) දරු පියෙකු මෙලෙස මිය ගොස් ඇති බවයි.

ඊයේ (01) දිනයේදී මොහු යතුරුපැදියෙන් සිය කුඹුරට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති අතර යළි නොපැමිණීම සම්බන්ධයෙන් නිවැසියන් කළ සොයා බැලීමකදීයි ඔහුගේ සිරුර මෙලෙස හමුවී ඇත්තේ ෴

******************************************

(02.08.2021 – 16:15 +0530 – hirunews.lk/sinhala)

මෙවර ඔලිම්පික් තරගාවලියේ මේවන විට ශ්‍රී ලංකාවේ එකම බලාපොරොත්තුව බවට පත්ව සිටිනා ‘මැටිල්ඩා ක්ලාසන්’ අශ්වාරෝහක සුදුසුකම් ලැබීමේ මූලික වටයේ තරගයට හෙට (03) එක්වනවා.

එම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට (03) පස්වරු 03:30 ට ආරම්භවීමට නියමිත අතර මැටිල්ඩා ක්ලාසන් පවසන්නේ යුරෝ මිලියන 6 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් කෝටි 142 ක් ආසන්න වටිනාකමකින් යුත් අශ්වයකු සමඟ තමන් ඔලිම්පික් බිමට පැමිණියේ හිස් අතින් යන්නට නොවන බවටයි.

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ තරග ඉසව්පැවැත්වෙන 10 වැනි දිනයේදී පිරිනැමීමට නියමිත රන් පදක්කම් සංඛ්‍යාව 22 ක්.

+—————

[සේයාරූ ]

++++++++++++

(03.08.2021 – 08:36 +0530 – hirunews.lk/sinhala)

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන අවසන් තරඟකරු වන මැතිල්ඩා ක්ලාසන් අද (03) තුරඟ තරග ඉසව්වට සහභාගිවීමට නියමිතයි.

ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබූ පළමු (1) වැන්නා වූයේ ද 36 හැවිරිදි මැතිල්ඩා ක්ලාසන්.

මෙරට තුළ ආධුනික මට්ටමේ පවතින මෙම ක්‍රීඩා ඉසව්ව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලකට සහභාගි වන පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද ඇයයි.

මැතිල්ඩා ක්ලාසන් මෙම තරඟයට එක් කර ගන්නා අශ්වයාගේ වටිනාකම යුරෝ මිලියන 6 ක් එනම් රුපියල් කෝටි 142 ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඇය සහභාගි වන තුරඟ තරඟ ඉසව්ව මෙරට වේලාවෙන් අද (03) පස්වරු 03:30 ට ආරම්භ වීමට නියමිතයි.

මැතිල්ඩා ක්ලාසන් 13 වන තරඟකරුවා ලෙසයි එම ඉසව්වට සහභාගි වන්නේ.

කාන්තා සහ පිරිමි දෙපාර්ශවයේම සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගයට තරගකරුවන් 70 දෙනෙකු සහභාගි වනු ඇති ෴

+++++++++++

(03.08.2021 – 16:43 +0530 – hirunews.lk/sinhala)

මෙරට අවසන් ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තු වූ, ශ්‍රී ලංකා අශ්වාරෝහක ක්‍රීඩිකාව මැටිල්ඩා ක්ලාසන්ටත් අද (03) පරාජය වැළඳගන්නට සිදුවුණා.

මෙරට වේලාවෙන් අද (03) පස්වරු 03:30 ට ඇරඹුණු, මෙම තරගයේ මූලික තරග වටයෙන්ම ඇයට ඉවත් වීමට සිදුවුණා ෴

******************************************

(02.08.2021 – 17:16 +0530 – hirunews.lk/sinhala)

අම්බලන්ගොඩ – ඌරාවත්ත මුහුදු තීරයේ තිබී මිය ගිය කැස්බෑවකුගේ සිරුරක් අද (02) සොයාගෙන තිබෙනවා.

ඒ, හික්කඩුව වනජීවි කාර්යාලයට ලද තොරතුරකට අනුවයි. පසුගිය දින කිහිපය තුළම දකුණු වෙරළ තීරයේ හික්කඩුව, ඉදුරුව සහ කොස්ගොඩ සහ බෙන්තොට ආදී වෙරළ තීරයන්වලට මිය ගිය කැස්බෑවන් දස (10) දෙනෙකුගේ පමණ සිරුරු ගොඩ ගසා තිබුණා.

වනජීවි නිලධාරීන් සැක පළ කරන්නේ ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑම් හේතුවෙන් මෙලෙස කැස්බෑවන් මිය යන්නට ඇති බවයි.

******************************************

රත්නපුරයේ අතුරුදන්ව සිටි දරුවා වෛද්‍ය පරීක්ෂණයකට

(02.08.2021 – 17:49 +0530 – hirunews.lk/sinhala)

දින 7 ක් පුරා නිවසින් අතුරුදන්ව සිටි රත්නපුර මලංගම 14 හැවිරිදි පිරිමි දරුවා රම්බඩගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

කුරුණෑගල රිදීගම මාර්ග බාධකයක දී ඊයේ (01) රිදීගම පොලිස් භාරයට ගැනුණු මෙම දරුවා නිවසින් අතුරුදන් වූයේ පසුගිය 24 වනදායි.

මෙම දරුවා සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයක් ද සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එම වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව දරුවා මව්පියන්ට භාරදීමට නියමිත බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අතර කුරුණෑගල රිදීගම පොලීසිය භාරයේ පසුවන මෙම දරුවා දැකගැනීමට ඔහුගේ මව්පියන් ඊයේ (01) රිදීගම පොලිසිය වෙත ගොස් තිබුණා ෴

අතුරුදන්ව සිටියදී සොයාගත් රත්නපුරේ දරුවා මව්පියන්ට භාරදෙයි

(02.08.2021 – 22:23 +0530 – hirunews.lk/sinhala)

ඉකුත් 24 වනදා සිට අතුරුදන් වු රත්නපුර මලංගම, ආටිගල මාවතේ පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවා ඊයේ (01) කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ මාර්ග බාධකයක දී පොලිස් භාරයට ගනු ලැබුවා.

අනතුරුව අද (02) පස්වරුවේ රිදීගම පොලිස් ස්ථානයේදී එම දරුවා ඔහුගේ මව්පියන් වෙත භාරදෙනු ලැබුවා.

අනතුරුව මහමගදී දරුවාට සෙත් ශාන්තියක් ද සිදුකෙරුණේ මෙහෙමයි.

++++++++++

අතුරුදන්වී සිටියදී සොයාගත් දරුවා දෙමව්පියන් හමුවූ අවස්ථාව

******************************************

(02.08.2021 – 19:21 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මහ කන්නයේ ගොවීන්ට ලබාදීමට අවශ්‍ය හිඟ නයිට්‍රජන් පොහොර ප්‍රමාණය ආනයනය කිරීම සඳහා අවසර ලබාදී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

සිය ධුරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට අද (02) එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර, පොහොර ගැටළුවට විසදුම් ඉල්ලා අදත් මහනුවර – මැදදුම්බර, මැදිරිගිරිය ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා ෴

******************************************

(02.08.2021 – 19:53 +0530 – hirunews.lk/sinhala)

ගුරු – විදුහල්පති වැටුප් ගැටළුවට අද (02) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විසදුමක් ලබාදීමට හැකි වනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ගුරු සංගම් පෙන්වා දෙන්නේ අද (02) දිනයේත් තම ගැටළුවලට විසදුම් ලබානොදුනහොත් ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත් වී තවදුරටත් වර්ජනයේ නිරත වන බවයි.

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර, මේ සම්බන්ධයෙන් විසදුමක් ලබාදීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 27 වන දා සාකච්ඡාවක් පැවැත්වුණේ ගුරු – විදුහල්පති වෘත්තීය සමිතිවල සහභාගීත්වයෙන්.

කෙසේ වෙතත්, එය විසදුමකින් තොරව අවසන් වූ අතර වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති තීරණය කළා. ඒ අනුව ඔවුන්ගේ වර්ජනයට අද (02) ට දින 22 ක් ගත වනවා.

එවන් පසුබිමක් තුළ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඊයේ (01) දිනයේදී දැනුම් දුන්නේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල අද (01) දිනයේ සේවයට වාර්තා කළ යුතු බවයි.

කෙසේ වෙතත්, අද (02) දිනයේ ගුරුවරුන් හෝ විදුහල්පතිවරුන් බහුතරයක් සේවයට වාර්තා කර තිබුණේ නැහැ.

මේ අතර, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පල කරමින් සමගි ජනබලවේගය සහ ජනතාවාදී බුද්ධි මණ්ඩපය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ඉදිරිපිට අද (02) උද්ඝෝෂණයක නිරත වුණා.

අදාල උද්ඝෝෂණය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි කුරුදුවත්ත පොලීසිය, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල එය ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ කිසියම් අයෙකු උල්ලංඝනය කරන්නේ නම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට බලතල ඇති බවයි.

@@@@@@@@@@@@@@

(02.08.2021 – 18:08 +0530 – hirunews.lk/sinhala)

අද (02) දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 1680 ක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම කොවිඩ් ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 1958 ක් සුවය ලබා අද (02) දිනයේ රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 280,868 ක් දක්වා ඉහළ ගියා ෴

+++++++++++++++++++++

(02.08.2021 – 19:45 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආරම්භයත් සමඟ රට වසා දැමීම් හමුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල කර්මාන්ත හා සේවා අංශයන් හි වැඩිම ආදායම් අහිමිවීමක් සිදුව ඇත්තේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එම දෙපාර්තමේන්තුව පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට මැයි දක්වා එම අංශයන් හි සිදුකළ සමීක්ෂණයකිනුයි මේ බව අනාවරණ කර ඇත්තේ. 2019 වසරේ දත්ත සමඟ සංසන්දනය කරමින් අදාළ සමීක්ෂණය සිදුකර තිබෙනවා.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල වැඩිම ආදායම් අහිමිවීමක් සිදුව ඇත්තේ සේවා අංශයේ කලා හා විනෝදාස්වාද කර්මාන්තයටයි.

2019 වසරේ අප්‍රේල් මාසයේ දී එම කර්මාන්තයේ ඉපයීම රුපියල් මිලියන 1,295 ක් වන අතර, 2020 වසරේ අප්‍රේල් මාසයේදී එය මිලියන 4 දක්වා අඩුවී තිබෙනවා.

එය, 2019 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 99.7 ක ආදායම් අහිමිවීමක්.

එමෙන්ම සේවා අංශයට අදාළ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සියයට 95.2 ක ආදායම් අහිමිවීමක්, 2019 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව, ඉකුත් වසරේ අප්‍රේල් මාසයේ පෙන්නුම් කර තිබෙනවා. සේවා අංශයේ ආහාර හා නවාතැන්, සැපයුම් සේවාවන්හි ආදායම් අහිමිවීම අප්‍රේල් මාසයේ සියයට 93.8 ක්.

2019 වසරේ අප්‍රේල් මාසයේදී සේවා අංශයේ ආහාර හා නවාතැන්, සැපයුම් සේවාවන්හි රුපියල් මිලියන 14,761 ක්ව පැවති ආදායම පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී මිලියන 915 දක්වා අඩුවී ඇති අතර, එය, සංසන්දනාත්මකව රුපියල් මිලියන 13,846 ක ආදායම් අහිමිවීමක්.

මේ අතර, අද (02) දිනයේ සිට සියළුම රාජ්‍ය සේවකයින් සේවයට කැදවීමටයි රජය විසින් පියවර ගනු ලැබුවේ. ඒ අනුව රාජ්‍ය සේවකයින් සේවයට පැමිණ සිටි අතර ඔවුන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිය සේවා කටයුතුවල නිරත වුණා.

+++++++++++++++++++

(02.08.2021 – 19:48 +0530 – hirunews.lk/sinhala)

ජපන් රජයෙන් පරිත්‍යාග කෙරෙන ඇස්ට්‍රාසෙනිකා මීළඟ එන්නත් තොගය ලබන සෙනසුරාදා (07) දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. එසේම මෙරටට තවත් කොරෝනා මර්දන එන්නත් තොගයක් ප්‍රදානය කිරීමට ඇමරිකා එක්සත් ජනපදය අපේක්ෂාවෙන් පසුවන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් ප්‍රකාශ කළා.

ජපන් රජයෙන් පරිත්‍යාග කෙරෙන ඇස්ට්‍රාසෙනිකා මීළඟ එන්නත් තොගය ලබන 07 වැනිදා දිවයිනට රැගෙන ඒමට නියමිත බව මෙරට ජපාන තානාපති අකිරා සුගියාමා ප්‍රකාශ කළේ පසුගියදා එරටින් රැගෙන ආ ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය අද (02) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිළ වශයෙන් භාරදුන් අවස්ථාවේදීයි.

ජනාධිපතිවරයා, ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙරටට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.456 ක තොගයක් මෙරටට ලබාදීමට තීරණය කෙරුණු අතර, එහි පළමු (1) තොගය ලෙස එන්නත් මාත්‍රා 7,28,460 ක් පසුගියදා ලැබී තිබුණා.

එසේම මෙරටට තවත් එන්නත් තොගයක් ප්‍රදානය කිරීමට ඇමරිකා එක්සත් ජනපදය අපේක්ෂාවෙන් පසුවන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් ප්‍රකාශ කළේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමඟ පාර්ලිමේන්තුවේදී අද (02) පැවති හමුවකදියි.

එහිදී ආර්ථික කටයුතු ඇතුලු දෙරටට වැදගත් කරුණු රැසක් මෙන්ම ඇමරිකාව විසින් ඉදිරියේදී සිදුකිරීමට අපේක්ෂිත බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ආයෝජන පිළිබදව ද සාකච්ඡා වී තිබෙනවා.

මෙරට සමස්ත ජනගහනය 2,19,19,000 ක් වන අතර ඒ අතරින් අවුරුදු 30 ඉක්ම වූවන් 1,14,96,906 ක් වනවා.

අද (02) වන විට මෙරට කොරෝනා මර්දන එන්නතක මාත්‍රාවක් හෝ ලබා ගත් පුද්ගලයින් ගණන 1,74,810 ක් වන අතර එය අවුරුදු 30 ට වැඩි ජනතාවගෙන් සියයට 87.6 ක් බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ.

එමෙන්ම, කොරෝනා මර්දන එන්නත්වල දෙවන (2) මාත්‍රාව මෙරට පුද්ගලයින් 22,57,058 ක් ලබාගෙන ඇති අතර ඒ අනුව අවුරුදු 30 ට වැඩි පිරිසගෙන් සියයට 19.63 ක් පූර්ණ එන්නත්කරණයට ලක්ව තිබෙනවා.

කෝටි 2 ඉක්මවන මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 50 කට ආසන්න පිරිසක් කොවිඩ් මර්දන එන්නතක එක් (1) මාත්‍රාවක් හෝ මේ වන විට ලබාගෙන තිබීම විශේෂත්වයක්.

අද (02) පෙරවරුව වන විට පාසල් ගුරුවරුන් ඇතුළු අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් සියයට 83 ක් පමණ එන්නත්කරණයට ලක් කර ඇති බවයි කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේ.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීම මධ්‍යස්ථාන 109 කදී අද (02) සිදුකෙරුණු අතර, කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයට අමතරව ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක තවත් එන්නත්කරණ මධ්‍යස්ථානයක් දියත උයන පරිශ්‍රයේදී අද (02) ස්ථාපිත කෙරුණා.

එය අනිද්දා (04) දිනය දක්වා ක්‍රියාත්මක බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(02.08.2021 – 19:49 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (01) දිනයේ සිදුවූ කොරෝනා ආසාදිත මරණ 63 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (02) දිනයේ තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා අසාදිත මරණ සංඛ්‍යාව 4,571 ක් දක්වා ඉහළ යනු ඇති.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *