උද්ඝෝෂණයක් වැළැක්වීමට පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

උද්ඝෝෂණයක් වැළැක්වීමට පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

*********************************************

උද්ඝෝෂණයක් වැළැක්වීමට පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

(02.08.2021 – 14:02 +0530 – hirunews.lk/sinhala)

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ඉදිරිපිට අද (02) පස්වරු දෙකට (02:00) පැවැත්වීමට සැළසුම් කර ඇති උද්ඝෝෂණයක් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කුරුඳුවත්ත පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මහාචාර්ය ආනන්ද ජයවික්‍රමගේ ප්‍රධානත්වයෙන් යුත් ජනතාවාදී බුද්ධි මණ්ඩපය විසින් මෙම උද්ඝෝෂණය සංවිධාන කර ඇත්තේ කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිවයි.

යම් හෙයකින් විරෝධතා සහ උද්ඝෝෂණවල නිරතවන පුද්ගලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන්නේ නම් ඔවුන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට පොලීසියට බලය පවතින බවයි මහේස්ත්‍රාත්වරයා දැනුම්දුන්නේ ෴

******************************************

(02.08.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala)

2016 වසරේ තරුණයෙකු රිය අනතුරකට ලක් කර බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට (3) එරෙහිව ගොනුකර ඇති නඩුව සැප්තැම්බර් මස 15 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

ඒ, මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත හමුවේ අද (02) කැඳවූ අවස්ථාවේදීයි.

විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චමිපික රණවක, ඔහුගේ රියදුරු වශයෙන් සේවය කළ දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල අධිකරණය හමුවේ පෙනී සිටියා.

එමෙන්ම මෙම නඩුවේ නඩු භාණ්ඩයක් වශයෙන් නම් කර තිබෙන අනතුරු සිදුවන අවස්ථාවේ විත්තිකාර පාඨලි චම්පික රණවක හිටපු අමාත්‍යවරයා පැදවූ බව කියන ජීප් රථය මෙම අවස්ථාවේ කවුරුන් භාරයේ තිබේද, එය අධිකරණයට ඉදිරිපත් කළ යුත්තේ කවුරුන් විසින් ද යන්න සොයා බලා මීළඟ නඩු දිනයේ ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරයා නියෝග කළා.

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා වැලිකඩ පොලිස් වසම තුළදී අපරික්ෂාකාරි ලෙස රිය පදවා සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයෙකුට බරපතල තුවාල සිදුකර ඊට අදාළ කරුණු වසන් කිරීම, අසත්‍ය සාක්ෂි ගෙතීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබෙනවා.

මේ අතර හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව සැප්තැම්බර් මස 06 වන දා විභාගයට දින නියම කළා.

එදිනට මෙම නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කරන බවයි කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් අද (02) දැනුම් දුන්නේ.

ඒ අනුව මෙම නඩුවේ දෙවන (2) සාක්ෂිකරුට එදින අධිකරණයේ පෙනී සිටින ලෙසට ද සිතාසි නිකුත් කෙරුණා.

2016 වසරේ පෙබරවාරි 12 වන දා සහ එම වසරේ සැප්තැම්බර් 30 වන දා දක්වා කාලසීමාව තුළ එවකට මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් මෙම නඩුවේ දෙවන (2) විත්තිකාර අර්ජුන් ඇලෝසියස් අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන වෝල්ට් සහ රෝ ඇසෝසියේට්ස් පෞද්ගලික සමාගමේ නමට ලබාගෙන තිබූ මොනාර්ක් නිවාස සංකීර්ණයේ නිවසක පදිංචිව සිටීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති බවට රවී කරුණානායකට එල්ල වී ඇති චෝදනාවයි ෴

******************************************

(02.08.2021 – 13:06 +0530 – hirunews.lk/sinhala)

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය හෙට (03) සහ අනිද්දා (04) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට තීරණය කර තිබෙනවා.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් කියා සිටියේ අද (02) පෙරවරුවේ සෞඛ්‍ය බලධාරීන් සමඟ පැවැත්වෙන සාකච්ඡාවලදී තම ගැටළුවලට විසඳුම් නොලැබුණහොත් අදාළ වෘත්තිය ක්‍රියාමාර්ගය දියත් කරන බවයි.

සතියේ වැඩකරන අමතර පැය 08 ට වැටුපෙන් තිහෙන් එකක් (1/30) ලබාගැනීම, දින 180 සම්පූර්ණ කළ සියලු සෞඛ්‍ය ආදේශක, අනියම් සේවකයින් ස්ථිර කිරීම ඔවුන්ගේ ඉල්ලීම් අතරට ඇතුළත් ෴

******************************************

(02.08.2021 – 13:43 +0530 – hirunews.lk/sinhala)

දීර්ඝ කාලයක් තිස්සේ දේශපාලනඥයන් ජනතාවට ලබාදුන් පොරොන්දු කඩ වීම හේතුවෙන් ජනතාව දේශපාලනය ප්‍රතික්ෂේප කර ඇති බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු පවසන්නේ රට ගොඩ ගැනීමට දැක්මක් ඇත්තේ ජාතික ජන බලවේගයට පමණක් බවයි.

******************************************

(02.08.2021 – 13:57 +0530 – hirunews.lk/sinhala)

සිය ජීවිත අවදානම නොතකමින් අබලන් පාලමක් මතින් ගමනා ගමනයේ යෙදෙන ගම්වාසීන් පිරිසක් පිළිබඳව ඌවපරණගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මේ විමසා බැලීම ඒ පිළිබඳවයි.

ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හොරතොටත්, හාලිඇල ආසනයේ පිහිටි ගන්දෙණිය ගම්මානයත් යා කරන අත්වැල් පාලමයි මේ.

ඉතා සුන්දර පරිසරයකින් සමන්විත ඇටම්පිටිය ගම්මානයේ පිහිටි මෙම අත්වැල් පාලම උමාඔය හරහා ඉදිකර ඇත්තේ 1952 වසරේදී.

මෙම ගම්වැසියන් එදා සිට අද දක්වා සිය අස්වැන්න හිසමත තබාගෙන ගමන් කරන්නේ මෙම අත්වැල් පාලම හරහායි.

කෙසේවෙතත්, අද වනවිට එම පාලම දිරාවට පත්ව එහි ලී කොටස් ද කැඩි ඇති ආකාරයයි මේ.

******************************************

(02.08.2021 – 13:56 +0530 – hirunews.lk/sinhala)

අද (02) පස්වරුවේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට විසඳුමක් ලබාදීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.

එහිදී මේ සම්බන්ධයෙන් විස්තරාත්මකව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

අද (02) වනවිට ගුරු සහ අනධ්‍යයන සේවකයින් සියයට 83 කට කොරෝනා පළමු (1) එන්නත ලබාදීමට හැකිවී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා ෴

******************************************

වත්තලට හෙට (03) පැය 24 ක ජල කප්පාදුවක්

(02.08.2021 – 14:05 +0530 – hirunews.lk/sinhala)

හැඳල පාළම හරහා ජලනල එළීම සහ ප්‍රධාන නළ මාර්ගයට ඒවා සම්බන්ධ කිරීම හේතුවෙන් හෙට (03) පැය 24 ක කාලයක් වත්තල ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ අනුව හෙට (03) උදෑසන 10 සිට අනිද්දා උදෑසන 10 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ වත්තල – මීගමුව පාරේ කොටසකට, මාබෝල කොටසකට, වැලිකඩමුල්ල, හැඳල පාර – නායකකන්ද හන්දිය දක්වා සියලු ම අතුරු මාර්ගවලටයි.

එසේම අල්විස් ටවුම, මරදාන පාර, පුවක්වත්ත පාර, ගලහදූව සහ කෙරවලපිටියේ කොටසකට ද අදාළ කාලය තුළ ජලසැපයුම අත්හිටවනු ඇති ෴

******************************************

(02.08.2021 – 14:17 +0530 – hirunews.lk/sinhala)

හැටන්- නුවරඑළිය ප්‍රධාන මාර්ගයට කොටගල ප්‍රාදේශීය රෝහල අසලදී විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය සම්පුර්ණයෙන් අද (02) දහවල් අවහිර වී ඇතැයි දිඹුල – පතන පොලීසිය පවසනවා.

ගස කඩා වැටී මාර්ගය අවහිරවීම හේතුවෙන් එම මාර්ගයේ විශාල රථවාහන තදබදයක් ඇති වී තිබුනා.

එම මාර්ගය වෙනුවට කොටගල සිට බෝගහවත්ත දක්වා වතුහරහා වැටී ඇති විකල්ප මාර්ගය භාවිතා කරන ලෙස පොලීසිය රථවාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

මාර්ගය හරහා කඩා වැටුණු ගසේ බැද තිබු විශාල බඹර කූඩු කීපයක බඹරුන් ඇවිස්සීමට ලක්ව තිබුනා.

දිඹුල – පතන පොලීසියේ නිලධාරීන් හා වතු කම්කරුවන් මාර්ගයට වැටී ඇති ගස ඉවත් කිරීමට පියවර ගනිමින් සිටියා.

******************************************

(02.08.2021 – 15:21 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රිෂාඩ් විසින් භාවිත කරන ලද වෙළෙඳ අමාත්‍ය නිල නිවස වත්මන් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් යලි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත භාර දී තිබෙනවා.

රටේ මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති බාලවයස්කාර දැරියන් කිහිපදෙනෙකු එම නිවසේදී අපයෝජනයට ලක් වීම හේතුකොටගෙන අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

මීට පෙර කොළඹ 07, මැකැන්සි පාරේ අංක 37 දරණ එම නිවස හිටපු වෙළඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් භාවිත කර ඇති අතර එම කාලසීමාව තුළ අදාළ නිවසේ දී බාලවයස්කාර දැරියන් කිහිපදෙනෙකු අපයෝජනයට ලක්ව ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

අදාළ සිද්ධියත් සමඟ එම නිවසේ කාමර 2ක් මුද්‍රා තැබීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

එසේ ම මෙම නිල නිවසේ අලුත්වැඩියා කටයුතු සඳහා රු.මිලියන 21ක් වූ මහජන මුදල් වියදම කිසිසේත් ම අනුමත කිරීමට තමා එකඟ නො වන බව ද වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව දරිද්‍රතාවයෙන් පීඩා විඳි බාල වයස්කාර දැරියන් වෙත මෙම නිල නිවස තුළ දී සිදු වූවා යැයි සැක කෙරෙන අහස පොළොව නුහුලන අපරාධයන් හේතුවෙන් වහා ම මෙම නිල නිවස නැවත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත නීත්‍යානුකූලව භාර දීම සඳහා කටයුතු කරන ලෙස වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් භද්‍රාණී ජයවර්ධන මහත්මිය වෙත උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

[ සේයාරූ ]

@@@@@@@@@@@@@@@@@

(02.08.2021 – 14:43 +0530 – hirunews.lk/sinhala)

ජපන් රජයෙන් පරිත්‍යාග කෙරෙන ඇස්ට්‍රාසෙනෙකා මීළඟ එන්නත් තොගය එළඹෙන 07 වැනිදා දිවයිනට රැගෙන ඒමට නියමිත බව මෙරට ජපාන තානාපති අකිරා සුගියාමා පවසනවා.

පසුගිය සෙනසුරාදා එරටින් රැගෙන ආ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය අද (02) දින ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිළ වශයෙන් භාරදුන් අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.

ජනාධිපතිවරයා, ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙරටට එන්නත් මාත්‍රා මිලියන 1.456 ක තොගයක් මෙරටට ලබාදීමට තීරණය කෙරුණු අතර, එහි පළමු (1) තොගය ලෙස එන්නත් මාත්‍රා 728,460 ක් පසුගියදා ලැබී තිබුණා.

ඒ අනුව ඊයේ (01) සිට බස්නාහිර පළාතේ තෝරාගත් මධ්‍යස්ථාන 20 කදී මෙම ඇස්ට්‍රාසෙනෙකා දෙවන (2) මාත්‍රා එන්නත් කිරීම ආරම්භ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(02.08.2021 – 15:51 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා මෙරටට තවත් එන්නත් තොගයක් ප්‍රදානය කිරීමට ඇමරිකා එක්සත් ජනපදය අපේක්ෂාවෙන් පසුවන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ කථානායක මහින්ද යාපා මහතා සමඟ පාර්ලිමේන්තුවේදී අද පැවති හමුවකදියි.

එහිදී ආර්ථික කටයුතු ඇතුලු දෙරටට වැදගත් කරුණු රැසක් මෙන්ම ඇමරිකාව විසින් ඉදිරියේදී සිදුකිරීමට අපේක්ෂිත බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ආයෝජන පිළිබදව ද සාකච්ඡා වී තිබෙනවා.

කොරෝනා වසංගතය හමුවේ වුවද මෙරට සංවර්ධනයට සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ඇමරිකාව නිරන්තරයෙන් සහය දක්වන බවයි ඇමරිකානු තානාපතිනිය එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *