11 හැවිරිදි දැරියක බරපතල ලිංගික අපයෝජනයට ලක්කළ ඇයගේ වල්සීයා අත්අඩංගුවට

11 හැවිරිදි දැරියක බරපතල ලිංගික අපයෝජනයට ලක්කළ ඇයගේ වල්සීයා අත්අඩංගුවට

*********************************************

11 හැවිරිදි දැරියක බරපතල ලිංගික අපයෝජනයට ලක්කළ ඇයගේ වල්සීයා අත්අඩංගුවට

(31.07.2021 – 17:40 +0530 – hirunews.lk/sinhala)

11 හැවිරිදි දැරියක බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ ඇයගේ සීයා, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 62 ක් වන මෙම සැකකරු පසුගිය 29වන දින අත්අඩංගුවට ගෙන කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අගෝස්තු 12වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.

11 හැවිරිදි මෙම දැරිය මව, පියා සහ බාල සහෝදරියක් සමඟ සිටින අතර, දෙමව්පියන් දෙදෙනාම රැකියා සඳහා නිවසින් බැහැරව යන බැවින්, එම කාලය තුළ ඔවුන් රැකබලා ගැනීම සිදු කර ඇත්තේ දැරියගේ මිත්තණියයි.

දැරියගේ ලොකු අම්මාට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් දැරියගේ මිත්තණිය ඇය බලාගැනීම සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

අනතුරුව මෙම දැරියන් රැක බලාගැනීම සඳහා මව විසින් තම පියා නිවසට ගෙන්වා ගෙන ඇතැයි සඳහන්.

දෙමාපියන් රැකියාවට පිටව ගිය අවස්ථාවේ මෙම පුද්ගලයා දැරිය බරපතල ලිංගික අපයෝජනයට ලක්කර ඇති අතර ඇයට මෙම සිදුවීම් මවට පැවසීමට අපහසු බැවින් අදාළ කරුණු කොළ කැබැල්ලක ලියා මවට පෙනෙන සේ තැබීමට කටයුතු කර තිබෙනවා.

දැරියගේ මව එම කොළ කැබැල්ල දැක තම පියාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි ඔහු එම දැරියව අපයෝජනය කළ බවට පිළිගෙන ඇත්තේ.

අනතුරුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගැනුනා.

පසුව සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ.

ජාතික ළමාරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා කියාසිටියේ අපයෝජනයට පත්වූ මෙම දැරිය තම ගැටලුව කොළයක ලියා මවට පෙනෙන සේ තැබීම හේතුවෙන් මෙම අපරාධය අනාවරණය කරගැනීමට හැකිවූ බවයි.

මෙවැනි නුවණැති දැරියන් මුලු මහත් ළමා පරපුරටම ආදර්ශයක් බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ. එමගින් උගත හැකි පාඩම් රැසක් පවතින බව ද ඔහු සඳහන් කළා ෴

******************************************

හයසින්ත් විජේරත්න මහත්මියගේ දේහය පිලිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (31)

(31.07.2021 – 19:15 +0530 – hirunews.lk/sinhala)

රිය අනතුරකින් අභාවප්‍රාප්ත වූ සම්මානනීය ප්‍රවීණ රංගන ශිල්පිනි හයසින්ත් විජේරත්න මහත්මියගේ දේහය පිලිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළා.

ඇය අභාවප්‍රාප්ත වුණේ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ලිඳුල නගරය ආසන්නයේ දී ඊයේ (30) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින්.

පොලිසිය පැවසුවේ ඇය ගමන් කළ වෑන් රථයේ රියදුරට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. ප්‍රවීණ රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න මහත්මිය, ඊයේ (30) නුවරඑළිය ප්‍රදේශයේ රූගත කිරිමක් සඳහා එක්ව තිබුණා.

එම කටයුතුවලින් අනතුරුව ඇය යළි කොළඹ බලා පැමිණෙමින් සිටියදී අනතුර සිදුව තිබෙනවා.

වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන කොත්මලා ඔය දෙසට වූ අඩි 200 ක් පමණ ප්‍රපාතයට පෙරළී ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ සිට ඇත්තේ රියදුරු සහ ඇය පමණයි.

සිද්ධියෙන් ඇයට බරපතළ තුවාල සිදුව තිබූ අතර, ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව ඇය ලිඳුල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.

එහිදී ඇය මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් වෑන් රථයේ රියදුරුට කිසිඳු හානියක් සිදුව නැති අතර, විමර්ශන සඳහා ලිඳුල පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව ඔහු ලබන මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ අතර, දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ අද (31) පස්වරුවේ සිදුකෙරුණේ නුවරඑළිය රෝහලේදීයි.

මියයන විට 75 වන වියේ පසුවූ හයසින්ත් විජේරත්න මහත්මිය එක්දරු මවක්.

70 දශකයේ කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය සිනමාවත්, පුංචි තිරයත් වේදිකාවත් ජයගත් නිර්මාණශීලි රංගන ශිල්පිනියක් ලෙස හැදින්විය හැකියි.

මෝදර, ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ ඇය කුඩා කල බලාපොරොත්තු වී තිබුණේ හෙදියක් ලෙස රෝගීන් සුවපත් කිරීමටයි.

කෙසේ වෙතත්, ‘පෙම්බර මධු’ චිත්‍රපටයෙන් සිනමා තිරය ජය ගන්නා ඇය, ‘සිංහබාහු’, ‘ඉන්දුට මල් මිටක්’, ‘ක්‍රිස්තු චරිතය’ මෙන්ම ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ ‘හෝගානා පොකුණ’ ආදී සිනමා නිර්මාණ රැසකට රංගනයෙන් දායක වී තිබෙනවා.

එමෙන්ම පුංචි තිරය ඔස්සේ විවිධ චරිත රැසකින් ප්‍රේක්ෂක සිත්තුළ සදා අමරණීය රංගන ශිල්පිණියක් වන්නට ඇය වාසනාවන්ත වුණා.

බොහෝ ටෙලිවෘතාන්ත වල ඇය අම්මාගේ චරිතය මෙන්ම, වලව්වේ හාමිනේගේ චරිතයත්, ආච්චිඅම්මාගේ චරිතයත් රඟපෑ අතර, ආගම දහමට බොහෝ ලැදි ඇය රගපෑ ඇතැම් චරිතවලින් සපුරාම වෙනස් මිනිස්කමෙන් පිරි රංගන ශිල්පිනියක් බව සැවොම දන්නා කරුණක්.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න මහත්මියගේ දේහය කොළඹට රැගෙන ඒමට නියමිත අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දෙනු ඇති.

+++++++++++

******************************************

(31.07.2021 – 19:40 +0530 – hirunews.lk/sinhala)

මෙවර යල කන්නනය සඳහා සිදු කළ වී වගාවේ අස්වනු නෙලිම ආරම්භ කළද රජයේ සහතික මිල පහළ මට්ටමක පවතින බැවින් තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව ගොවීන් පවසනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ වී සඳහා රුපියල් 60 ත් 65 ත් අතර සාධාරණ මිලක් ලබා දෙන ලෙසයි.

ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දියබෙදුම ප්‍රදේශයේ කුඹුරු අස්වනු නෙලීම මේ වන විට ආරම්භ කර තිබුණද අස්වැන්න මිලදී ගැනීම සඳහා ප්‍රදේශයේ වී ගබඩා සංකීර්ණ විවෘත කර නොමැතිවීමෙන් ගොවීන් අසීරුතාවට පත්ව සිටිනවා.

මෙවර යල කන්නය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද ප්‍රදේශයේ සිදුකළ වී වගාවේ අස්වනු නෙලීමද මේ වන විට ආරම්භ කර තිබෙනවා.

නමුත් වී මිල ගණන් පහළ මට්ටමක තිබීම හේතුවෙන් ගොවීන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි.

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මොරගහකන්ද කලාපයේ ඇලහැර ගොවිජනපදයේ ගොවීන්ද මෙවර යල කන්නය සඳහා කුඹුරු අක්කර 16,000 කින් සියයට 60 ක පමණ වගා කටයුතු සිදු කර තිබුණා.

එම කුඹුරුවල අස්වනු නෙලීම මේ දිනවල ආරම්භ කර ඇති අතර ගොවීන් පවසන්නේ රජය විසින් ප්‍රකාශයට පත් කළ වී මිල සාධාරණ නොවන බවයි.

මේ අතර වී සඳහා නිසි මිලක් නොමැති බව පවසමින් මහවැලි සී කපලාපයේ මහවැලි ගොවි අයිතීන් සුරැකිමේ සංවිධානය දෙහිඅත්තකණ්ඩිය ලත්පඳුර වෙල්යායේදි විරෝධතාවක නිරත වුණා.

දෙහිඅත්තකණ්ඩිය සහ ගිරාඳුරුකෝට්ටේ යන ප්‍රදේශවල ගොවීන් පවසන්නේ මෙවර යල කන්නය සඳහා වී අස්වනු නෙලීම මේ වන විට සියයට 50 ක් පමණ අවසන් වෙමින් පැවතුණද වී මිලදී ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති බවයි.

මේ අතර දෙහිඅත්තකණ්ඩිය සඳුන්පුර ප්‍රදේශයේ වී ගබඩාවක් විවෘතව පැවතියද පවතින මිල හේතුවෙන් ගොවීන් වී ලබාදීම ප්‍රතික්ෂේප කරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේවෙතත් ගිරාඳුරුකොට්ටේ ප්‍රධාන වී ගබඩාවේ වී මිලදී ගැනීම සඳහා කිසිඳු සුදානමක් නොමැති බවයි එහි ගිය අපට දැකගන්නට ලැබුණේ .

******************************************

(31.07.2021 – 19:49 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී පිළිස්සී මියගිය දැරිය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් (31) විවිධ අදහස් පළ කළා.

@@@@@@@@@@@@@@@@@

(31.07.2021 – 19:18 +0530 – hirunews.lk/sinhala)

හෙට (01) සිට බස් රථ ධාවනය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය රජයට යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.

එන්නත් කළ පුද්ගලයින් බස් රථයට ඇතුළු කිරීමේදී ප්‍රමුඛතාවය ලබාදීමටත් එසේ නොවන අයගෙන් දෙගුණයක (2) ගාස්තුවක් අය කිරීමටත් එමගින් යෝජනා කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, බස් සංගම් මෙම ගාස්තු වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ මේ වනවිටත් වැඩි වූ ගාස්තුව අය කරමින් ආසන ධාරිතාවය ද ඉක්මවා ධාවනය කරන පසුබිමකයි.

අන්තර් පළාත් සියළු බස් සහ දුම්රිය සේවා සෞඛ්‍ය උපදෙස් වලට අනුව හෙට (01) සිට යලි ආරම්භ කරන බව රජය මේ වනවිටත් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව, උපරිම බස් රථ ප්‍රමාණයෙන් ධාවනයට යෙදවීමටයි සැලසුම් කර ඇත්තේ.

එවැනි තත්ත්වයක් තුල ආසන ධාරිතාවයට පමණක් සෞඛ්‍යාරක්ෂිතව ධාවනය කිරීම බස් රථ සංගම්වල වගකීමයි.

එසේ,කිරීමට හැකියාව තිබියදී දෙගුණයක (2) ගාස්තු අය කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය යෝජනා කරන්නේ මේ වනවිටත් බස් රථවල සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් උල්ලංඝනය කරන පසුබිමක් තුල වීම කණගාටුවට කරුණක්.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ හෙට (01) සිට අන්තර් පළාත් පෞද්ගලික බස් රථ ද ධාවනයට පියවර ගන්නා ලෙසයි.

++++++++++++++++++++++

(31.07.2021 – 19:21 +0530 – hirunews.lk/sinhala)

ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය, සිය ගැටලු වලට විසඳුමක් ලැබෙන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව වර්ජනයේ නිරත ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති පවසනවා.

එම නියෝජිතයින් මේ බව සඳහන් කළේ අද (31) රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල මහානාහිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාව බැහැ දැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (31) 20 වන දිනටත් ක්‍රියාත්මක කෙරුණා.

ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් විසින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කර ඇත්තේ වැටුප් විෂමතා ගැටලුවට විසඳුමක් ලබා දීම සහ යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත අහෝසි කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

අද (31) ‘හිරු ආටිකල් ෆෝටීන්’ විශේෂාංගය තුලින්ද මේ පිළිබඳ සංවාදයට ලක් කෙරෙනවා. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලිං සමග සංවාදයට එක්වුනේ ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනී වසන්තා හඳපාන්ගොඩයි.

++++++++++++++++++++

(31.07.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala)

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460 ක තොගය ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL–455 දරණ ගුවන් යානයේ ගබඩා කිරීම අද (31) පෙරවරුවේදී ජපානයේ ටෝකියෝ නුවර නරීටා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී සිදු වුණා.

අදාළ ගුවන් යානය මෙරට වෙලාවෙන් අද (31) පෙරවරු 11:20 ට නරීටා ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටත් වී තිබෙනවා.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය රැගත් ගුවන් යානය අද (31) පස්වරු 04:26 ට කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට ලඟා වුණා.

දිවයිනට රැගෙන ආ එන්නත් තොගය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත නිල වශයෙන් භාරදෙනු ලැබුවේ මෙරට ජපානයේ තානාපති සුගියාමා අකිරා මහතා විසින්.

එම අවස්ථාවට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන්ද එක්ව සිටියා.

අනතුරුව ගුවන්තොටුපොළේඳී මෙරට ජපාන තානාපතිවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වුණා.

මේ අතර අද (31) දිනයේදී ලැබුණු එන්නත් ‘ඇස්ට්‍රාසෙනිකා එන්නත්’ දෙවැනි (2) මාත්‍රාව ලබාදීම සඳහා භාවිත කරන්නේ කෙසේද යන්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කළා.

එමෙන්ම ඉදිරි සතියේදී තවත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 727,380 ක් දිවයිනට රැගෙන ඒමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කරනවා.

අඛණ්ඩව දෙවැනි (2) දිනටත්, දිනක් තුළදී ලක්ෂ 5 ඉක්මවා කොවිඩ් මර්දන එන්නත් ලබා දී තිබෙනවා.

ඒ අනුව ගතවූ දිනයේදී (30) ලබාදී ඇති එන්නත් මාත්‍රා ගණන 513,741 ක්.

ඒ යටතේ පුද්ගලයින් 442,523 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදී තිබීමත් විශේෂත්වයක්.

+++++++++++++++++++++

(31.07.2021 – 20:03 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් අසාදිත තවත් මරණ 61 ක් මෙරටින් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 4441 ක් දක්වා ඉහළ ගියා.

අද (31) දිනයේ වාර්තාවන මෙම මරණ 61 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (30) දින තහවුරු කරන ලද ඒවා වනවා.

ඉන් 25 ක් පිරිමි පුද්ගලයන් වන අතර කාන්තාවන් 36 ක් වනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *