රාජ්‍ය සේවකයින් සඳුදා (02) සිට සේවයට කැඳවීමේ චක්‍රලේඛය නිකුත් වෙයි – ගුරුවරුන්ට කැඳවීමක් නැහැ

රාජ්‍ය සේවකයින් සඳුදා (02) සිට සේවයට කැඳවීමේ චක්‍රලේඛය නිකුත් වෙයි – ගුරුවරුන්ට කැඳවීමක් නැහැ

*********************************************

රාජ්‍ය සේවකයින් සඳුදා (02) සිට සේවයට කැඳවීමේ චක්‍රලේඛය නිකුත් වෙයි – ගුරුවරුන්ට කැඳවීමක් නැහැ

(31.07.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමේ චක්‍රලේඛය නිකුත් වුව ද එය ගුරුවරුන්ට බලනොපාන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළා.

රජයේ ආයතන අනිද්දා (02) සිට මුළුමනින්ම විවෘත වුව ද, තවදුරටත් පාසල් වසා තැබීම ඊට හේතුවයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ගුරුවරුන් සේවයට කැඳවීමට නම් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පාසල් විවෘත කර සියලු ගුරුවරුන් සේවයට කැඳවිය යුතු බවයි.

එවැනි තීන්දුවක් ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ දක්වා අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර නැහැ.

මේ අතර ගුරු සංගම් පවසන්නේ අනිද්දා (02) සිට සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කරන බවයි.

කඩිනම් විසඳුමක් නොලැබුණහොත් දීප ව්‍යාප්ත විරෝධතා ක්‍රියාමාර්ග අඛන්ඩව සිදුකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් හිරු ප්‍රවාත්ති අංශයට සඳහන් කළා.

මේ අතර, කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පළ කිරීම සහ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු විදුහල්පතිවරුන් ආරම්භ කළ ඔන්ලයින් වර්ජනය අද (31) 20 වන දිනටත් ක්‍රියාත්මකයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් දැනුවත් කිරිම සඳහා ගුරු සංගම් නියෝජිතයින් රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල මහානාහිමියන් බැහැදුටුවා.

++++++++++++++++++++++

(31.07.2021 – 12:18 +0530 – hirunews.lk/sinhala)

අන්තර් පළාත් බස් සහ දුම්රිය සේවා, හෙට (01) දිනයේ සිට ආරම්භ කරන බව මගී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

ඒ අනුව ආසන ධාරිතවයෙන් පමණක් බස් රථ ධාවනය කරන ලෙසටයි අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා කියා සිටියේ ලංගම සතු සියළු අන්තර් පළාත් සහ පළාත් අතර ධාවනය කෙරෙන බස් රථ මේ සදහා යොදවන බවයි.

හෙට (01) සිට අන්තර් පළාත් පෞද්ගලික බස් රථ ද ධාවනයට පියවර ගන්නා ලෙස පළාත් සභා වෙත දැනුම් දුන් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සදහන් කළා.

++++++++++++++++++++

ඇස්ට්‍රාසෙනෙකා දෙවන (2) මාත්‍රාව හෙට (01) සිට ස්ථාන දෙකකදී (2)

(31.07.2021 – 12:24 +0530 – hirunews.lk/sinhala)

ඇස්ට්‍රාසෙනෙකා පළමු (1) මාත්‍රාව ලබාගෙන සිටින පුද්ගලයන්ට හෙට (01) දිනයේ සිට විහාරමහා දේවී උද්‍යානයේදීත්, අනිද්දා (02) දියත උයන සහ විහාරමහා දේවි උද්‍යානයේදීත් දෙවන (2) මාත්‍රාව ලබා ගත හැකි බව යුද හමුදාපතිවරයා පවසනවා.

++++++++++++++++++++

(31.07.2021 – 13:31 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව පසුගිය දින දෙකක (2) කාලය තුළ පුද්ගලයින් ලක්ෂ 10 කට වැඩි පිරිසකට කොරෝනා මර්දන එන්නත් ලබාදී තිබෙනවා.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා හත් (7) ලක්ෂයක් අද (31) පස්වරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිතයි.

ජපානයේ ප්‍රදානයක් ලෙස හිමිවන අදාළ එන්නත් තොගය රැගත් ගුවන් යානය අද (31) පෙරවරුවේ එරටින් පිටත් වූ බව එරට ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා සඳහන් කළා.

ජපානය ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට පිරිනැමෙන ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460 ක තොගය ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 455 දරණ ගුවන් යානයට පැටවීම අද (31) පෙරවරුවේ සිදු වුණා.

ඒ ජපානයේ ටෝකියෝ නුවර නරීටා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදීයි.

අදාළ ගුවන් යානය අද (31) පෙරවරු 11:20 ට නරීටා ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටත් වී ඇති අතර, එය පස්වරු 05:00 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වීමට නියමිතයි.

අද (31) රැගෙන එන ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය දෙවැනි (2) මාත්‍රාව බලාපොරොත්තුවෙන් සිටින පිරිසට ලබාදීම සඳහා භාවිත කරන අතර, තවත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා තොගයක් ලබන සෙනසුරාදා (07) මෙරටට ලැබීමට නියමිත බවයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ.

මේ අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව හෙට (01) දිනයේ විහාරමහා දේවී උද්‍යානයේදීත්, අනිද්දා (02) එම ස්ථානයේදී මෙන්ම බත්තරමුල්ල දියත උයනේදීත් දෙවන (2) මාත්‍රාව ලබාගත හැකි බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඊයේ (30) අඛණ්ඩව දෙවැනි (2) දිනටත් දිනක් තුලදී ලක්ෂ 05 ඉක්මවා කොරෝනා මර්දන එන්නත් ලබා දී තිබෙනවා.

ඒ අනුව එලෙස ලබාදී ඇති එන්නත් මාත්‍රා ගණන 5,13,741 ක්.

ඒ යටතේ පුද්ගලයින් 4,42,523 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදී තිබීමත් විශේෂත්වයක්.

එහි දෙවන (2) මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 66,219 ක්.

එසේම, ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 4,999 දෙනෙකුට ලබාදී තිබෙනවා.

අද (31) දිනයේත් කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක අතර, ඒ අනුව දිස්ත්‍රික්ක 22 ක මධ්‍යස්ථාන 317 කදී එන්නත්කරණ කටයුතු සිදුකෙරෙනවා.

ගෙවුණු දිනය (30) තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන් 2,460 ක් හඳුනාගෙන ඇති අතර ඉන් 05 දෙනෙක් විදෙස්ගතව සිට දිවයිනට පැමිණි පුද්ගලයින්.

ඒ අනුව අඛණ්ඩව දෙවැනි (2) දිනටත් දෛනික ආසාදිතයින් 2,000 සීමාව ඉක්මවා ගියා.

මේ අතර, ජනාධිපති ලේකම් පි.බී. ජයසුන්දරගේ දැනුම්දීම මත සියලු‍ම රාජ්‍ය සේවකයන් අගෝස්තු මස 02 වැනිදා සඳුදා සිට සාමාන්‍ය පරිදි කැඳවීමේ චක්‍රෙල්ඛය නිකුත් කර ඇති බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි සඳහන් කළා.

ඊට අදාළව කොරෝනා රෝගය පාලනය පහසු කිරීම සඳහා සීමිත කාර්ය මණ්ඩල චක්‍රීය පදනම මත කැඳවමින් සහ නිවසේ සිට රාජකාරී සිදුකිරීමට අදාළව නිකුත් කර ඇති සියලු‍ම චක්‍රලේඛ අවලංගු වී තිබෙනවා.

ඒ අනුව, ගැබිණි මව්වරුන් ඇතුළු සියළුම රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතුයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් ඉදිරිපත්වුවහොත් ඒ පිළිබඳව සලකා බැලීමක් සිදුකරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි වැඩිදුරටත් සඳහන් කළා.

+++++++++++++++++++++

(31.07.2021 – 15:17 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1,906 දෙනෙකු සුවය ලබා අද (31) දිනයේ රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ දක්වා සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 277,118 ක් ලෙසයි ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 2150 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 308,812 ක් ලෙසටයි ෴

+++++++++++++++++++++

(31.07.2021 – 16:44 +0530 – hirunews.lk/sinhala)

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ජපාන රජය විසින් පරිත්‍යාග කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 7,28,460 ක් අද (31) පස්වරුවේ දිවයිනට රැගෙන එනු ලැබුවා.

කටුනායක ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ යූ.එල්. 455 දරණ ගුවන් යානයෙන් පස්වරු 04:30 ට පමණ එම එන්නත් තොගය එම එන්නත් තොගය දිවයිනට රැගෙන ආ බවයි.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි (2) මාත්‍රාව බලාපොරොත්තුවෙන් සිටින 4,90,000 කට පමණ අදාළ මාත්‍රාව ලබාදීම සඳහා මෙම එන්නත් භාවිත කිරීමට නියමිතයි ෴

@@@@@@@@@@@@@@@

(31.07.2021 – 13:40 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – හන්තාන රක්ෂිතය ආසන්නයේදී හඳුන් දිවියෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

ප්‍රදේශවාසීන් අද (31) පෙරවරුවේ එම රක්ෂිත අසල මාර්ගයේ හඳුන් දිවියෙකු ගේ මළ සිරුරක් දැක පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දී ඇති බව සඳහන්.

ඒ අනුව, එම ස්ථානයට පොලිස් නිලධාරින් පැමිණ පරීක්ෂා කර ඇති අතර වෙඩි තැබීමක් සිදුව ඇති බවටයි සැක කරන්නේ.

කෙසේ වෙතත්, මේ වනවිටත් එම ස්ථානයට වනජිවි නිලධාරියෙකු පැමිණ නොමැති බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ ෴

******************************************

(31.07.2021 – 14:00 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී පිළිස්සී මියගිය දැරිය සම්බන්ධයෙන් මහා සංඝරත්නය හා පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

******************************************

(31.07.2021 – 14:04 +0530 – hirunews.lk/sinhala)

මෙවර යල කන්නනය සඳහා සිදු කළ වී වගාවේ අස්වනු නෙලිම ආරම්භ කළද රජයේ සහතික මිල පහළ මට්ටමක පවතින බැවින් තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව ගොවීන් පවසනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ වී සඳහා රුපියල් 60 ත් 65 ත් අතර සාධාරණ මිලක් ලබා දෙන ලෙසයි.

******************************************

(31.07.2021 – 14:08 +0530 – hirunews.lk/sinhala)

ඉහළ ඇළහැර ව්‍යාපෘතියේ කොටසක ඉදිකිරීම් සඳහා දේශීය කොන්ත්‍රාත් සමාගමක් වෙත ලබාදී තිබූ කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘති භාර නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අතහැර දමා ඇති ඉදිකිරීම් හේතුවෙන් ඇළහැර කලාපයේ වනජීවින්ට ද බලපෑම් එල්ල වී ඇති බව වනජීවි නිලධාරීන් පෙන්වා දෙනවා.

******************************************

(31.07.2021 – 14:42 +0530 – hirunews.lk/sinhala)

හුංගම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරු දෙකකින් (2) පුද්ගලයින් තුන්දෙනෙකු (3) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

කතරගම – තංගල්ල ප්‍රධාන මාර්ගයේ හුංගම – හාතගල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් ඊයේ (30) අනතුරක් සිදුවුණා.

සිද්ධියෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු සහ පසුපස ගන් කළ පුද්ගලයා රෝහල් ගත කිරීමේදී ජිවිතක්ෂයට පත්වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 45 සහ 49 හැවිරිදි වෑකදවල සහ කටුවන ප්‍රදේශයේ පදිංචිකරුවන්.

එමෙන්ම, එම මාර්ගයේ හුංගම – ලූනම ප්‍රදේශයේ යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ තවත් අනතුරකින් 44 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් තිබෙනවා ෴

******************************************

(31.07.2021 – 17:03 +0530 – hirunews.lk/sinhala)

පතල් කැණීම්කරුවන්ට සුබ සාධක මණ්ඩලය හරහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් අද (31) සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ඇලහැර – ලග්ගල නව ප්‍රාදේශීය උප කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මැණික් වලින් තායිලන්තය සහ හොංකොං රාජ්‍ය වසරකට ඩොලර් බිලියන 40 ක් පමණ උපයන බවයි ෴

******************************************

(31.07.2021 – 17:33 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සී මිය ගිය ඉෂාලිනී ජූඩ් දැරියගේ දේහය පිළිබඳ දෙවන (2) පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් කර තිබෙනවා.

දෙවන (2) පශ්චාත් මරණ පරීක්ෂණය අද (31) සිදුකෙරුණේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේදීයි.

ඒ කොළඹ විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය මහාචාර්ය ජීන් පෙරේරා, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සමීර ගුණවර්ධන සහ පේරාදෙණිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රභාත් සේනසිංහ යන ත්‍රිපුද්ගල (3) විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් හමුවේයි.

අද (31) උදෑසන 08:30 ට පමණ ආරම්භ කෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණය අද (31) පස්වරු 05:15 දක්වා පැය 9 කට ආසන්න කාලයක් පවත්වා තිබෙනවා.

එහිදී අදාළ විශේෂඥ අධිකරණ වෛද්‍ය මඩුල්ල විසින් පළමුවෙන්ම මෘත ශරීරය සී.ටී. ස්කෑන් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

සිරුරේ අභ්‍යන්තර තුවාල සහ අස්ථි බිඳීම් සම්බන්ධයෙන් සොයා බැලීම එහි අරමුණයි.

අනතුරුව දීර්ඝ ලෙස පරීක්ෂණ පවත්වා ඇති අතර සිරුරේ විවිධ කොටස්වලින් සාම්පල ලබාගෙන තිබෙනවා.

ඒවා රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කර එම සියලු වාර්තා ලැබීමෙන් අනතුරුව මරණය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ලබාදීමට නියමිතයි.

එම පූර්ණ වාර්තාව ලබාදෙන තෙක් අදාළ සිරුර පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තැබෙනු ඇති.

මෙම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් ලැබෙන තොරතුරු ඔස්සේ තවදුරටත් විමර්ශණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

ඉෂාලිනී ජූඩ් දැරියගේ දේහය අධිකරණ නියෝග මත ඊයේ (30) ගොඩගෙන පේරාදෙනිය ශික්ෂණ රෝහල වෙත යොමු කෙරුණා.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම තවදුරටත් සිදුකෙරෙනවා.

ඒ අනුව විමර්ශන කණ්ඩායම් අද (31) අවිස්සාවේල්ල – පුවක්පිටිය සහ කැලණිය ප්‍රදේශවලට ගොස් ප්‍රකාශ සටහන් කර ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.

එසේම මෙම සිද්ධීයට විරෝධය පල කරමින් හැටන් සහ බණ්ඩාරවෙල යන ප්‍රදේශ වල අද (31) දිනයේදීත් විරෝධතා පැවැත්වූනා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *