මරණය යටගහන්න පොලිස් ලොක්කෙක් ගේමක් ගහලා … රු. 50,000 ක් පෙන්නලා ෂේප් වෙන්න හදලා

මරණය යටගහන්න පොලිස් ලොක්කෙක් ගේමක් ගහලා … රු. 50,000 ක් පෙන්නලා ෂේප් වෙන්න හදලා

*********************************************

මරණය යටගහන්න පොලිස් ලොක්කෙක් ගේමක් ගහලා… රු. 50,000 ක් පෙන්නලා ෂේප් වෙන්න හදලා

(31.07.2021 – divaina.com)

හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවසේදී අභිරහස් අන්දමින් පිළිස්සී මියගිය බාලවයස්කාර දැරියගේ මරණය යට ගැසීම සඳහා ඇගේ පවුලේ ඥාතීන්ට බලපැම් එල්ල කළ බව කියන පොලිස් මුලස්ථානයේ උසස් නිලධාරියකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

මෙම උසස් නිලධාරියා දැරියගේ පවුලේ ඥාතීන් හමුවී පවසා ඇත්තේ “ඇමැතිතුමයි එයාගෙ පවුලෙ අයයි බොහොම වැදගත් උදවිය. එයාල මේ වගේ දේවල් කරන්නේ නැහැ. මේ ප‍්‍රශ්නය දිගට ඇදගෙන යන්න ඕනෙ නැහැ. මේක පොලිසියට ගෙනියන්න අවශ්‍ය නැහැ. රුපියල් පනස්දාහක් අරන් දෙන්නම් මේක මෙතනින් ඉවර කරලා දාමු.” යනුවෙන් කියමින් ඔවුන්ට දැඩි බලපෑම් එල්ල කර තිබේ.

දැරියගේ අභිරහස් මරණය පිළිබඳව පොලිසියට කට උත්තර ලබානොදී මෙය සාමාන්‍ය සියදිවි හානිකර ගැනීමක් ලෙස සලකා එය දිගින් දිගට ඇදගෙන යෑමට කටයුතු නොකරන ලෙස මෙම නිලධාරියා ඇගේ සොහොයුරන්ට සහ සමීප ඥාතීන්ට බලපෑම් එල්ල කර ඇත. මෙම නිලධාරියා විසින් සිදුකරන ලද බලපෑම් පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ දැරියගේ අභිරහස් මරණයෙන් පසු ඇගේ සොහොයුරන් ඇතුළු පවුලේ සමීප ඥාතීන් පොලිසිය වෙත ලබාදුන් කටඋත්තර වලදී ය.

පසුව විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම නිලධාරියා සොයා විමර්ශන ආරම්භ කර තිබිණි. එහිදී හෙළිවූයේ මෙම නිලධාරියා පොලිස් මූලස්ථානයේ රාජකාරි කරන ‘නවාස්’ නමැති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකු බවය.

මේ වන විට මෙම නිලධාරියාගේ දුරකථන වාර්තා විශ්ලේෂණයක් සිදුකරගෙන යන අතර ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමට ද නියමිත බව පොලිස් ආරංචි මාර්ග පැවසීය. මෙම නිලධාරියා කලක් ‘රිෂාඞ් බදියුදීන්ගේ පෞද්ගලික ආරක්‍ෂක පොලිස් නිලධාරියා’ ලෙස රාජකාරි කළ අයෙකි. මොහු බදියුදීන් පවුලේ සමීප හිතවතෙකි.

මෙම දැරිය පිළිස්සී බරපතළ තුවාල ලැබීමෙන් පසු බදියුදීන්ගේ බිරිඳගේ පියා, නවාස් නමැති පොලිස් නිලධාරියාට දුරකථනයෙන් කතාකර මේ බව දැනුම් දී ඇති බව විමර්ශන වලින් හෙළිවී ඇත.

පසුව නවාස් නමැති පොලිස් නිලධාරියා බදියුදීන්ගේ නිවස වෙත ගොස් ඒ වන විට එහි පැමිණ සිටි දැරියගේ ඥාතීන් මුණගැසී එම සිදුවීම යට ගැසීමට ඔවුන්ට බලපෑම් එල්ල කර ඇති බව මේ වනවිට අනාවරණය වී ඇත.

සාක්‍ෂිකරුවන්ට බලපෑම් එල්ල කිරීම, අල්ලස් ලබාදීමට තැත් කිරීම ඇතුළු තවත් චෝදනා කීපයක් සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක‍්‍රියාත්මක කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු

+++++++++++++++

චම්පිකගේ ගෝලයා ගුණරත්න වන්නිනායක රිෂාඩ් බේරන්න ගොඩ පෙරකදෝරුකම් දෙයි

(31.07.2021 – colombotoday.com)

“මිය යාමට පෙර වෛද්‍යවරයාට පවසා තිබෙනවා මම ගිනිතියා ගත්තා කියලා. ඒක තමයි මරාසන්න ප්‍රකාශය වෙන්නේ. ඒක තමයි සාක්ෂිය වන්නේ. ඊට එහා ගිහිල්ලා නැවත නැවත පරීක්ෂණ කිරීමේ හැකියාවක් නෑ” යැයි පසුගිය 27 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවකගේ ‘43 වන සේනාංකය’ කැඳවා තිබූ මධ්‍ය හමුවකට එක්වෙමින් නීතිඥ ගුණරත්න වන්නිනායක පැවසීය.

කෙසේ වෙතත් එය එසේ නොවන බව නීති සිසුවකු පවා දන්නා ඉතා සරල නීතිමය කාරණයකි.

මියගිය ඉෂාලිනි දැරියගේ මව පවසන්නේ තම දියණිය කතා කිරීමට තියා ඇස් දෙක හෝ විවර කරගැනීමට නොහැකි තත්වයක සිටි බවත් තමා ගිනි තබාගත් බවට දියණිය පැවසු බවට ‘මුස්ලිම් ජාතික වෛද්‍යවරයා’ සඳහන් කිරීම අසත්‍යයක් බවයි.

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ ලේකම් සමග ඉතා මිත්‍ර ලෙස වෛද්‍යවරයා හැසිරුණු බවත් මව සඳහන් කර සිටිති.

මොහුගේ ප්‍රකාශය නීතිඥවරුන් විශාල ප්‍රමාණයක් හෙළාදැක ඇත.

+++++++++++++++

රිෂාඩ්ගේ ගෙදරදී මියගිය දැරිය සම්බන්ධයෙන් තවත් අයකුගෙන් ප්‍රකාශ ගනී

(31.07.2021 – 05:17 +0530 – lankadeepa.lk)

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ දී 16 හැවිරිදි දැරියක මිය යාම සම්බන්ධයෙන් ඔහුගේ සහෝදර රියාද් බදියුදීන්ගේ සමීප ඥාතියකුගෙන් පැය පහක (5) ප්‍රකාශයක් සටහන් කර ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

පුත්තලම සහ වැල්ලවත්ත ප්‍රදේශවල පදිංචි ‘නිශාබ්ඩින් මොහොමඩ් ෆ්සාල්’ 38 හැවිරිදි ව්‍යාපාරිකයකුගෙන් එලෙස ප්‍රකාශ සටහන්කරගෙන ඇත.

කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින රියාද් බදියුදීන්ට, රිෂාඩ් බදුර්දීන්ගේ නිවසට ගොස් මාස තුනකට (3) අධික කාලයක් ආහාර රැගෙන ගොස් ඇත්තේ මෙම පුද්ගලයා බවට අනාවරණය වීමෙන් අනතුරුව එම පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා එසේ ප්‍රකාශ ලබා ගත් බව පොලිස් නිලධාරියා පැවසීය ෴

******************************************

ජනප්‍රිය රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න රිය අනතුරකින් ජීවිතක්ෂයට

(31.07.2021 – 06:25 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය – තලවකැලේ ප්‍රධාන මාර්ගයේ ලිඳුල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ජනප්‍රිය රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න මහත්මිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇය ගමන්ගත් වෑන් රථය ඊයේ (30) රාත්‍රියේ ප්‍රපාතයකට පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මියයන විට 75 වන වියේ පසුවූ ඇය ජාත්‍යන්තර කීර්තියට පත් ‘හෝ ගානා පොකුණ’ ඇතුළු සිනමා නිර්මාණ රැසක රංගනයෙන් දස්කම් පෑ අතර, පෙම්බර මධූ, කරුමක්කාරයෝ, කිරිමධුවැල්, කන්‍යාවි සහ තාරකා මල් වැනි සිනමා නිර්මාණ ඒ අතර වනවා.

මේ අතර ගතවූ පැය 24 ක කාලය තුල රිය අනතුරුවලින් පුද්ගලින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

+++++++++

++++++++++++++

ගමන්ගත් රිය ප්‍රපාතයකට පෙරළී ප්‍රවීණ රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න අභාවප්‍රාප්ත වෙයි

(31.07.2021 – colombotoday.com)

ජනප්‍රිය රංගන ශිල්පිනි හයිසින්ත් විජේරත්න (75) මහත්මිය ගමන් ගත් වැන් රථය ප්‍රපාතයට පෙරලිමෙන් ජිවිතක්ෂයට පත් වි ඇති බව ලිදුල පොලිසිය පැවසිය.

(31) දින අලුයම 12:10 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ලිදුල නගරය ආසන්නයේදිය.

රූගත කිරිම් අවසන් කර රංගන ශිල්පිනි හයිසින්ත් විජේරත්න මහත්මියව නුවරඑලිය සිට කොළඹ දක්වා රැගෙන යන අතරතුර වැන් රථය ලිදුල නගරය ආසන්නයේදි මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 පමණ ප්‍රපාතයෙන් වු කොත්මලාඔය දෙසට පෙරලි මෙම අනතුර සිදු වි ඇත.

අනතුර සිදුවිමත් සමග ලිදුල පොලිසියේ නිලධාරින් රිය අනතුර සිදු වු ස්ථානයට ගොස් රංගන ශිල්පිනිය රෝහල් ගත කරනවිට ඇය ජිවිතක්ෂයට පත් ව සිටි බවයි පොලිසිය කියා සිටියේ.

වැන් රථයේ රියදුරාට කිසිදු තුවාලයක් සිදු වි නොමැති අතර , වැන් රථයේ රියදුරාව ලිදුල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

රියදුරාට නින්ද යාම නිසා මෙම අනතුර සිදු වි ඇති බවත්, අත්අඩංගුවට ගත් රියදුරා නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි ලිදුල පොලිසිය කියා සිටියේ.

අනතුරෙන් මිය ගිය නිලියගේ සිරුර ලිදුල ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර ඇති අතර, සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන ලිදුල පොලිසිය පැවසිය.

හැටන් – රංජිත් රාජපක්ෂ

++++++++++++

++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *