එංගලන්තයේදී ජෛව ආරක්ෂක බුබුලෙන් පිට ගිය ක්‍රීඩකයන්ට තරඟ තහනමක්

එංගලන්තයේදී ජෛව ආරක්ෂක බුබුලෙන් පිට ගිය ක්‍රීඩකයන්ට තරඟ තහනමක්

*********************************************

එංගලන්තයේදී ජෛව ආරක්ෂක බුබුලෙන් පිට ගිය ක්‍රීඩකයන්ට තරඟ තහනමක්

(29.07.2021 – 18:24 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය අතරතුර ක්‍රියාත්මක කෙරුණු ජෛව බුබුලෙන් මිදී රාත්‍රී කාලයේ එංගලන්තයේ ඩරම් නගරයේ වීථි පුරා සැරිසැරූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනා (3) අද (29) ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පත් කළ පංච පුද්ගල (5) විනය කමිටුව ඉදිරියේ පෙනී සිටියා.

විශ්‍රාම ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අදාළ විනය කමිටුව මෙම ක්‍රීඩකයින් තිදෙනාට (3) ඇමරිකානු ඩොලර් 25,000 බැගින් වන දඩ මුදලක් ද කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක යන දෙදෙනාට (2) වසර දෙකක (2) ක්‍රිකට් තහනමක් ද පැනවීමටයි පංච පුද්ගල කමිටුව නිර්දේශ කර ඇත්තේ.

මෙම දඩ මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 50 කට ආසන්නයි.

ඒ අනුව ක්‍රීඩකයින් තිදෙනාම (3) දඩ මුදල් වශයෙන් ඇමරිකානු ඩොලර් 75,000 ක් හෙවත් රුපියල් කෝටි එක හමාරක් (1½) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ගෙවිය යුතු වනවා.

මෙම ගමනට එක්වූ ශ්‍රී කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට පනවා ඇත්තේ මාස 18 ක ක්‍රිකට් තරග තහනමක්.

ඒ අනුව මෙම ක්‍රීඩකයින් තිදෙනාට (3) දඩුවම ක්‍රියාත්මක වන කාලසීමාවන් තුලදී කිසිදු දේශීය හෝ විදේශීය ක්‍රිකට් තරගාවලියකට එක්වීම සපුරා තහනම් වනවා.

අදාළ ක්‍රීඩකයින් තිදෙනා (3) සම්බන්ධයෙන් විනය කමිටුව ගත් තීරණය හෙට (30) පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී සාකච්ඡාවට ගැනෙනු ඇති.

ඔවුන්ට පැනවෙන දඬුවම් සහ සීමාවන් පිළිබඳ අවසන් තීරණයක් ගනු ලබන්නේ ඉන් අනතුරුවයි.

******************************************

(29.07.2021 – 16:11 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මුදල් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) අවසන් කළා.

ඒ අනුව, එහි තීන්දුව රහසිගතව කතානායකවරයා වෙත යොමු කිරීමට නියමිතයි. ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම් විභාගය දෙදිනක් (2) පැවැත්වුණා.

අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා සඳහන් කළේ යෝජිත පනත් කෙටුම්පත සම්මත වීම තුලින් මුදල් විශුද්ධිකරණයට අවකාශ සැලසෙන බවට පෙත්සම්කාර පාර්ශවය විසින් මතුකරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

මෙම පනත් කෙටුම්පත මගින් එවැනි නීතිවිරෝධී ක්‍රියාවන්ට අවකාශ සැලසීම සිදුනොවන අතර බදු ගෙවීම පැහැර හරිමින් සිටින විශාල පිරිසක් බදු ජාලයට හසු කර ගැනීමට හැකියාව ලැබෙන බවයි ඔහු කියා සිටියේ.

අදාළ පනත් කෙටුම්පතට සංශෝධන 7 ක් රජය ඉදිරිපත් කර තිබෙනවා.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම පිළිබඳ ලිඛිත දේශන ලබන සඳුදා (02) ගොනු කරන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඉන් අනතුරුව සිය රහසිගත තීන්දුව කතානායකවරයා වෙත යොමුකරන බව සඳහන් කළා.

සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් අදාළ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 8 ක් ඉදිරිපත් කර තිබුණා ෴

******************************************

(29.07.2021 – 16:47 +0530 – hirunews.lk/sinhala)

තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි සම්භාහන මධ්‍යස්ථානයකට පැමිණි පුද්ගලයෙකු එම සම්භාහන මධ්‍යස්ථානය තුලදීම මියගොස් තිබෙනවා.

තලංගම පොලිසිය සඳහන් කළේ මෙම පුද්ගලයා අද (29) අලුයම 05:10 ට පමණ සම්භාහනයක් සිදුකර ගැනීම සඳහා පැමිණ ඇති අතර පැමිණ සුලු වේලාවකින් ඔහු මරණයට පත්ව ඇති බවයි.

මෙම පුද්ගලයා හෝමාගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 37 ක විවාහක පුද්ගලයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔහුට සේවය සැපයූ කාන්තාව තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

කෙසේවෙතත් අදාළ පුද්ගලයා අයිස් සහ ගංජා යන මත්ද්‍රව්‍ය දෙකට (2) අමතරව බීමතින් ද සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඔහුට හදවත් සැත්කමක් සිදුකර තිබී ඇතැයි ද අනාවරණ වී තිබෙනවා.

මෙම පුද්ගලයා සිය බිරිඳ සමග ගම්පහ ප්‍රදේශයේ පිහිටි බිරිඳගේ නිවසේ සති දෙකක (2) පමණ කාලයක් නැවතී සිට ඇති අතර පසුව යළිත් එම නිවසට තනිවම පැමිණ සිටියදී ඔහු සම්භාහන මධ්‍යස්ථානයට පැමිණ ඇති බවටයි හෙළිවී ඇත්තේ.

කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා ඇති අතර තලංගම පොලිසියයි වැඩිදුර පරීක්ෂණ සිදුකරන්නේ ෴

Photo from am.lk

******************************************

(29.07.2021 – 17:21 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි දෙකකට (2,00,00,000) අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග පුද්ගලයෙකු මීගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ සැකකරු සතුව හෙරොයින් කිලෝ 2 යි ග්‍රෑම් 450 ක් තිබී සොයා ගත් බවයි ෴

******************************************

(29.07.2021 – 19:03 +0530 – hirunews.lk/sinhala)

සූර්යයා වටා විහිදුණු අලංකාර වළල්ලක් නිරික්ෂණය වන බව අද (29) දහවල් හිරු ප්‍රවෘත්ති අංශය ඇමතූ ප්‍රදේශ කිහිපයක ජනතාව ප්‍රකාශ කළා.

ඊට අදාළ ඡායාරූප මේ වනවිටත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.

ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය ප්‍රකාශ කලේ ස්වභාවික සංසිද්ධියක් වන මෙය සූර්ය මඬලක් ලෙස හැඳින්විය හැකි බවයි.

අප ඒ සම්බන්ධයෙන් එහි තාරකා විද්‍යාඥ ජනක අඩස්සූරිය මහතා ගෙන් වැඩිදුරටත් විමසීමක් කළා. ඔහු කියා සිටියේ කලාතුරකින් මෙය දක්නට ලැබෙන බවයි.

******************************************

(29.07.2021 – 19:07 +0530 – hirunews.lk/sinhala)

යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින් සහ වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කළ ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනය අද (29) 18 වන දිනටත් ක්‍රියාත්මක වුණා.

එමෙන්ම, මෙම වර්ජන ක්‍රියාමාර්ගයට සහයෝගය පල කරමින් අදත්, දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණු බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් ප්‍රකාශ කළේ විසඳුම් ලබාදීම වෙනුවට බලධාරින් කල්ගත කිරීමේ ක්‍රියාමාර්ගයක් අනුගමනය කරමින් සිටින බවයි.

මේ අතර, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද (29) ප්‍රකාශ කළේ නිරෝධායන නීති උල්ලංඝනය කර විරෝධතා පවත්වන්නන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට ඉදිරියේදී සිය සංගමය බලාපොරොත්තු වන බවයි.

+++++++++++++

******************************************

(29.07.2021 – 19:11 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ආණ්ඩුව සමග එක්ව කටයුතු කරන බව එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ගාල්ල ප්‍රදේශයේ අද පැවති නිදහස් පක්ෂ ප්‍රවර්ධන වැඩසටහනකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින්.

******************************************

(29.07.2021 – 19:33 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී පොල් තෙල් මිල යළි ඉහල යාමේ අවධානමක් පවතින බව පොල් වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ එම අමාත්‍යංශයේ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

******************************************

(29.07.2021 – 19:56 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා රේගුව මෙරට ආනයන අපනයන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඔන්ලයින් ලිපි ලේඛන ඩිජිටල්කරණයෙන් සහතික කිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා ‘ලංකා සයින් ඩිජිටල් සහතිකකරණය’ හඳුන්වාදීමට ශ්‍රී ලංකා රේගුව, ලංකා ක්ලියර් ආයතනය සමග ගිවිසුමකට ද එළඹුණා.

ආනයන, අපනයන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම රටක ව්‍යාපාරික කටයුතු පහසුවෙන් සිදුකිරීමේ දර්ශකයේ වැදගත් නිර්නායකයක් වනවා.

වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා රේගුවට අදාළ ලිපිලේඛන ඉදිරිපත් කෙරුණේ භෞතික ආකාරයෙන්. ඒ සඳහා ශ්‍රී ලංකා රේගුව මේ වනවිට ඔන්ලයින් ක්‍රමයට ලිපිලේඛන ඉදිරිපත් කිරීමේ ‘ඇසිකියුඩා’ පද්ධතිය හඳුන්වා දී තිබෙනවා ෴

******************************************

(29.07.2021 – 20:18 +0530 – hirunews.lk/sinhala)

මෙරට වැඩි වශයෙන් භාවිතයට ගන්නා තවත් ඖෂධ 2 ක් මෙරටදීම නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පියවර ගෙන තිබෙනවා

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මඟින් නිෂ්පාදන කරන මෙම ඖෂධ වන්නේ ‘ට්‍රැමඩොල් මිලිග්‍රෑම් 50’ සහ ‘තයිරොක්සින් මිලිග්‍රෑම් 50’ ඖෂධයි.

ට්‍රැමඩොල් ඖෂධය වේදනා නාශකයක් ලෙස වෛද්‍ය අනුමැතිය මත ලබා දෙන අතර තයිරොක්සින් ඖෂධය තයිරෝයිඩ් ග්‍රන්ති හා සම්බන්ධ රෝගවලට භාවිත කරනවා.

මෙම ඖෂධ මෙරට තුල නිෂ්පාදනය කිරිම හරහා විශාල විදේශිය විනිමය ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකියි.

මෙරට රෝගින් සදහා ට්‍රැමඩොල් මිලිග්‍රෑම් 50 ඖෂධය වසරකට මිලියන 9 ප්‍රමාණයක් පමණ අවශ්‍ය වන අතර තයිරොක්සින් මිලිග්‍රෑම් 50 ඖෂධය රෝහල් පද්ධතිය වෙත මිලියන 98 ක ප්‍රමාණයක් සහ මිලිග්‍රෑම් 100 මිලියන 32 ප්‍රමාණයක් පමණ අවශ්‍යය වනවා.

ට්‍රැමඩොල් මිලිග්‍රෑම් 50 ඖෂධය වෛද්‍ය සැපයුම් අංශය මගින් රෝහල් පද්ධතියට සහ රාජ්‍ය ඔසුසැල් වෙතින් පමණක් ලබාදිමට නියමිතයි.

තයිරොක්සින් මිලිග්‍රෑම් 50 ඖෂධය වෛදය සැපයුම් අංශය මගින් රෝහල් පද්ධතියට ලබා දිමට නියමිත අතර පසුව එය පෞද්ගලික අංශය මඟින්ද ලබා ගත හැකිවනු ඇති.

@@@@@@@@@@@@@@

(29.07.2021 – 16:22 +0530 – hirunews.lk/sinhala)

සැප්තැම්බර් මස 15 වනදා වන විට වයස අවුරුදු 30 ට වැඩි සියලුදෙනාට එන්නත්කරණය සිදුකර අවසන් කරන බව ජනධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පවසනවා.

එමෙන්ම වයස අවුරුදු 18 ත් 30 ත් අතර පිරිසට එන්නත්කරණයට අවශ්‍ය සියලු සැලසුම් සකස් කර ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ලැබූ වහාම එය ක්‍රියාත්මක කරන බවයි ඔහු කියාසිටියේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය (PMC) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙල ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට එක්වෙමින් ලලිත් වීරතුංග මහතා මෙම අදහස් පළකළා.

නවතම වාර්තාවකට අනුව එන්නත් බෙදීයාමේදී 90% කට වැඩි ප්‍රමාණයක් ලෝකයේ ධනවත් රටවල් විසින් ලබාගෙන ඇති අතර දියුණුවන සෙසු රටවල් අතර 5% කට අඩු ප්‍රමාණයක් බෙදීගොස් ඇතැයි ඔහු පෙන්වා දුන්නා.

එහිදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය විශාල ජයග්‍රහණයක් බවයි ජනාධිපති ප්‍රධාන උපදේශකවරයා කියාසිටියේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය (PMC) ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙනුයි අද (29) පෙරවරුවේ විවෘත කෙරුණේ.

කොටුව, ජනාධිපති මන්දිරය ඉදිරිපිට, පැරණි චාර්ටඩ් බැංකු ගොඩනැඟිල්ලේ බිම් මහලේ මාධ්‍ය කේන්ද්‍රය ස්ථාපනය කර තිබෙනවා.

‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනතාවට දුන් ප්‍රතිඥා යථාර්ථයක් කිරීමට ගෙන යන වැඩපිළිවෙළෙහි ප්‍රගතිය, ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති කාර්යාලයේ තොරතුරු නිවැරදිව හා කාර්යක්ෂමව මාධ්‍යයට සහ ජනතාවට ලබාදීම ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අපේක්ෂාවයි.

සතිපතා පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන්ට තෝරාගන්නා මාතෘකාවන් තුළ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් සහ රජයේ නිලධාරීන්ගෙන් සෘජුව හෝ මාර්ගගත ක්‍රමයට ප්‍රශ්න විමසීමට අවස්ථාව සැලසෙනවා.

මාධ්‍යවේදීන් 40 දෙනෙකුට එකවර අසුන්ගත හැකි සහ ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කළ හැකි අංගෝපාංග රැසකින් මෙම මාධ්‍ය කේන්ද්‍රය සමන්විතයි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ප්‍රධාන උපදේශක, ලලිත් වීරතුංග සඳහන් කළේ ‘ජනප්‍රිය මාධ්‍ය භාවිතයෙන් ඔබ්බට ගිය පරිපූර්ණ මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමට ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය ඉවහල්වනු ඇතැයි’ තමා විශ්වාස කරන බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *