ඉෂාලිනිගේ දෙවන (2) පශ්චාත් මරණ පරීක්ෂණයට විශේෂඥ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් – දේහය සිකුරාදා (30) ගොඩගනී

ඉෂාලිනිගේ දෙවන (2) පශ්චාත් මරණ පරීක්ෂණයට විශේෂඥ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් – දේහය සිකුරාදා (30) ගොඩගනී

*********************************************

ඉෂාලිනිගේ දෙවන (2) පශ්චාත් මරණ පරීක්ෂණයට විශේෂඥ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් – දේහය සිකුරාදා (30) ගොඩගනී

(28.07.2021 – 17:37 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මියගිය දැරියගේ දෙවන (2) පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා විශේෂඥ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් නම්කර තිබෙනවා.

ඊට කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ වෛද්‍ය ජීන් පෙරේරා, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සමීර ගුණවර්ධන, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ අයත්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නම් කිරීම සහ නීතිපතිවරයාගේ නිර්දේශ මතයි අධිකරණය විසින් මෙම නම් කිරීම සිදුකර ඇත්තේ.

මෙම විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලය විසින් ලබන සිකුරාදා (30) දැරියගේ අවසන් කටයුතු සිදු කළ ඩයගම ප්‍රදේශයේ සුසාන භූමියෙන් දේහය ගොඩගැනීමට නියමිතයි.

ප්‍රදේශයේ මහේස්ත්‍රාත්වරයාගේ අධික්ෂණය යටතේ එම කටයුතු සිදු කරනු ඇති.

පොලිසිය සඳහන් කළේ අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයින් රැසක් එම අවස්ථාවට සහභාගී වන බවයි.

මෙහිදී දැරිය මියගිය ආකාරය, ඇය දුෂණයකට ලක්වී ඇත් ද ? එසේ නම් එම කාල පරිච්ඡේදය කුමක් ද යන්න මෙන්ම මෙම දැරියට කෘර වදහිංසා හෝ වෙනත් හිංසන සිදුකර ඇත් ද යන්න ත්‍රිපුද්ගල අධිකරණ වෛද්‍ය මණ්ඩලය විසින් වාර්තා ලබාගැනීමට නියමිතයි.

දැරියගේ සිරුර ගොඩගෙන ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිළධාරීන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ මීට දින කිහිපයකට ඉහතදීයි.

මේ වනවිටත් දේහය මිහිදන් කළ හැටන් – ඩයගම පොදු සුසාන භූමියට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා.

එමෙන්ම, අද (28) දිනයේත් මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන මෙහෙයවන පොලිස් කණ්ඩායම් දෙක (2) හැටන් – ඩයගම ප්‍රදේශයේ සිය විමර්ශන කටයුතු ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව, ප්‍රකාශ සටහන් කර ගැනීමේ කටයුතු අදත් (28) සිදුවන බවයි පොලීසිය පවසන්නේ.

පොලිස් මූලස්ථානය මගින් පෙරේදා දිනයේ ඩයගම ප්‍රදේශයට එවූ මෙම විශේෂ පොලිස් කණ්ඩායම් දෙක (2) විමර්ශන ආරම්භ කරනු ලැබුවේ ඊයේ (27) දිනයේදී වන අතර මවගෙන් සහ පියාගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන අවසන්.

මෙම සිද්ධියට විරෝධය පළකරමින් අදත් (28) ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා.

මේ අතර, නිරන්තරයෙන් අන්තර්ජාලයේ සැරිසරන දරුවන්ද අපයෝජනවලට ලක්වීමට වැඩි අවස්ථාවක් පැවතිය හැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළා.

******************************************

හිටපු නීතිපති මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට

(28.07.2021 – 18:03 +0530 – hirunews.lk/sinhala)

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා නැවතත් නීතිඥයකු ලෙස ඊයේ (27) මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඒ මීගමුව තලාදූව ප්‍රදේශයේ අලුතින් ඉදිකෙරෙන අවමංගල්‍ය සමාගමක ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් මතු කළ විරෝධතාවක් පිළිබඳ නඩුවකට පෙනී සිටීම සඳහායි.

මෙම නඩුව ගොනුකර තිබුණේ දප්පුල ද ලිවේරා නීතිපති ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ මාධ්‍ය ප්‍රකාශිකාව ලෙස කටයුතු කළ නිශාරා ජයරත්නගේ පියාට අයත් සමාගමකට එරෙහිවයි.

මෙහි විශේෂත්වය වන්නේ අදාල නඩුවේ විත්ති පාර්ශවයේ නීතිඥවරයා ලෙස හිටපු නීතිපතිවරයා පෙනී සිටීමයි.

එහිදී පැමිණිළිකාර පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරයා කියා සිටියේ ජනාකීර්ණ ප්‍රදේශයක සිදුකෙරෙන මෙම අවමංගල්‍ය ශාලාවේ ඉදිකිරීම් හරහා ජනතාවට මහජන පීඩාවක් ඇති කෙරෙන බවයි.

එහිදී එයට එරෙහිව විත්තිකාර පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ හිටපු නීතිපති දප්ප්පුල ද ලිවේරා කියා සිටියේ තවමත් ඉදිකිරීම් කටයුතු පවා අවසන් නොකළ ගොඩනැගිල්ලක් වෙනුවෙන් මේ ආකාරයේ විරෝධතා දැක්වීම සහ එයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු නෛතික ප්‍රතිපාදනයක් නොමැති බවයි.

එබැවින් අදාළ පැමිණිල්ල වැඩිදුර විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙස හිටපු නීතිපතිවරයා මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

අදාල පැමිණිල්ල වැඩිදුර විභාගය කටයුතු අද (28) දක්වා කල් දැමුණු අතර අද (28) දිනයේ අදාළ පැමිණිල්ල විභාගයට ගත් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත විසින් අදාළ පැමිණිල්ල වැඩිදුර විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ එම නඩුව අද (28) විභාගයට ගැනුන අවස්ථාවේදී විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි හිටපු නීතිපති දප්පුලද ලිවේරා විසින් මෙම නඩුවට අදාළ ඉදිකිරීම් වැලක්වීමේ තීන්දුවක් ලබා දීමට මහේස්ත්‍රාත් අධිකරණයට නෛතික බලයක් නොමැති බව පෙන්වා දීමෙන් අනතුරුවයි ෴

******************************************

(28.07.2021 – 19:12 +0530 – hirunews.lk/sinhala)

සතොස වෙළඳසැල්වල සහල් මිල මේ සතියේ සිට අඩු කිරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර රසායනික පොහොර ආනයනය අත්හිටුවීම සමග පොහොර නොමැති වීමෙන් වගාවන් සිදුකර ගැනීමට නොහැකිව තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව පවසමින් අදත් (28) දිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවි විරෝධතා පැවැත්වුණා.

මේ අතර ඉදිරි වසර 3 තුල අල, ලූණු සහ මිරිස් ආනයනය නතර කිරීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

******************************************

නිල් මැණික් පොකුර විදේශ වෙන්දේසියකට යන ලකුණු

(28.07.2021 – 19:16 +0530 – hirunews.lk/sinhala)

රත්නපුරයෙන් සොයා ගැණුනු ලොව විශාලතම මැණික් පොකුර, මේ වසර අගදී විදේශ රටක පැවැත්වෙන මැණික් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කළේ ඊට අදාල කටයුතු සොයා බැලීම මේ වන විට සිදු කරමින් පවතින බවයි.

කිලෝ 510 ක් බරැති මෙම මැණික් පොකුර තාරකා මැණික් වර්ගයට අයත් වනවා.

වානේ පැහැති මෙම මැණික් පොකුරට ජාත්‍යන්තර වෙළඳපොල තුල හිමිව ඇති වටිනාකම ඩොලර් මිලියන 100 ක් පමණ වනවා.

මෙම මැණික් පොකුර පිළිබඳ සොයා බැලීමට හිරු ප්‍රවෘත්තී කණ්ඩායම අද එම ප්‍රදේශයේ සංචාරයකද නිරත වුණා.

++++++++++

ආරනූල් මැණික් පොකුරේ වටිනාකම ගැන පරස්පර අදහස්

(28.07.2021 – 19:25 +0530 – sinhala.adaderana.lk)

රත්නපුර කහවත්තෙන් හමු වූ ලොව විශාලතම මැණික් ගල් පොකුරේ වටිනාකම පිළිබඳ මේ වනවිට පරස්පර අදහස් පළවීමට පටන්ගෙන තිබේ.

මැණික් ක්ෂේත්‍රයේ විශේෂඥයකු අද (28) ප්‍රකාශ කළේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන තරම් වටිනාකමක් එය සතුව නොමැති බවය.

කිලෝග්‍රෑම් 510 ක් බරැති ආරනූල් වර්ගයේ වර්ගයට විශාල මැණික් ගල් පොකුරක් මීට මාස කිහිපයකට පෙර රත්නපුර කහවත්ත ප්‍රදේශයෙන් හමුවී තිබූ අතර ඒ පිළිබඳව තොරතුරු ඊයේ (27) මාධ්‍යට ලබාදීමට බලධාරීන් කටයුතු කළේය.

මෙහි අවම වටිනාකම රුපියල් කෝටි දෙදහසකට (2000) අධික බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පැවසීය.

එහෙත් ක්ෂේත්‍රෙය් විශේඥයන් දෙදෙනකු (2) අද ප්‍රකාශකළේ එය එතරම් වටිනාකමක් එහි නොමැති බවය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අප ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා ගෙන් විමසීය.

ඔහු පැවසුවේ මෙම වර්ගයේ දුර්ලභ මැණික් ලොව ප්‍රකට ධනකුවේරයන් තමන් සතු මැණික් එකතුව සඳහා මිලදී ගෙන තබාගන්නා බැවින් එම ඉල්ලුම මත ඊට ඉහළ වටිනාකමක් නියමකළ හැකි බවය.

++++++++++

https://www.youtube.com/watch?v=A6MoYF0Hdqg

******************************************

(28.07.2021 – 20:52 +0530 – hirunews.lk/sinhala)

යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අද (28) දිනයේ ඔන්-ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වුණා.

මේ අතර ගුරු විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයද අද (28) දිනයේත් ක්‍රියාත්මක වුණා.

වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු විදුහල්පතිවරුන් ඔන්-ලයින් ඉගැන්වීම් කටයුතු වර්ජනය කර අදට (28) දින 17 ක් ගතවනවා.

මේ අතර වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු සාමාජිකයින් පිරිසක් අද (28) පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදැක යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද (28) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ද යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් අදහස් පළ කළා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයද අද (28) ඔන්-ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වූයේ යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින්.

මේ අතර යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින් සහ ගුරු වැටුප් විෂමතාවට සහය පළ කරමින් ප්‍රදේශ කිහිපයක අදත් (28) විරෝධතා සංවිධාන කර තිබුණා.

******************************************

අනියම් පෙම්වතා සමග එක්ව මවක් කුඩා බිළිඳෙකුට කළ අපරාධය

(28.07.2021 – 21:28 +0530 – hirunews.lk/sinhala)

මාස 6 ක් වයසැති බිළිඳෙකු සිය මව හා ඇගේ අනියම් පෙම්වතා විසින් පුළුස්සා හිංසනයට ලක්කිරීමේ ඛේදනීය පුවතක් ජාඇළ – තුඩැල්ල ප්‍රදේශයෙන් වාර්තාවනවා.

හිංසනයට ලක්වූ බිළිඳා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මේවන විට මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

දරුවන් තිදෙනෙකු (3) ගෙන් යුත් පවුලේ බාලයා වන, මාස 6 ක් වයසැති බිළිඳාගේ මව මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවකට මීට මාස කිහිපයකට පෙර සිරගත කර තිබෙනවා.

ඒ අතරතුර බිළිඳාගේ පියාද පවුල් ආරවුලක් දුරදිග යාමෙන් පොලිස් අත්අඩංගුවට පත්ව දැනට සිටින්නේ සිරගතවයි.

දඩුවම් කාලය නිම කරමින් යළි පැමිණි බිළිඳාගේ මව සිය අනියම් පෙම්වතා සමග අදාළ බිළිඳා වෙනත් ස්ථානයකට ගෙනගොස් දින 20 ක පමණ කාලයක් විවිධ හිංසනවලට ලක්කර ඇති බවට බිළිඳාගේ පියා චෝදනා කරනවා.

බිළිඳාගේ පියා මේ පිළිබඳව පැමිණිලි කිරීමට ජාඇළ පොලිස් ස්ථානයට පැමිණි පසු එහි ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් අදාළ බිළිඳා ඊයේ (27) වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර තිබෙනවා.

කෙසේ වෙතත් එම වාර්තාව මෙතෙක් ලැබී නැහැ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට ජාඇළ සහ සීදුව පොලිස් ස්ථාන විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

@@@@@@@@@@@@@@@

(28.07.2021 – 18:08 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ලක්ෂ 3 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අද තවත් ආසාදිතයන් 1380 ක් වාර්තාවීමත් සමගයි.

මෙරට සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 301,272 ක්.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1499 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 271,855 ක් ලෙසටයි.

මේ අතර, මෙරට අවුරුදු 30 ට වැඩි ජනගහනයෙන් 68.4% කට කොරෝනා එන්නතක එක් (1) මාත්‍රාවක් හෝ ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460 ක් ලබන 31 වැනිදා පස්වරුවේ මෙරටට රැගෙන එන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළා.

අදාළ එන්නත් තොගය ප්‍රදානයක් ලෙස හිමිවන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේයි.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි (2) මාත්‍රාව බලාපොරොත්තුවෙන් සිටින 490,000 කට පමණ අදාළ මාත්‍රාව ලබාදීම සඳහා මෙම එන්නත් භාවිත කරන බව සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.

අද (28) දිනයේත් කොරෝනා ආසාදිතයන් 1,499 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ මුළු සංඛ්‍යාව 2,71,855 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර, අගෝස්තු මාසයෙන් පසුව පෞද්ගලික බස් රථවල කොරෝනා එන්නත් ලැබූ පුද්ගලයින් පමණක් රැගෙන යාම කෙරෙහි අවධානය යොමුකර ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ.

අද (28) දිනයේ මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 539 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව අද (28) දිනයේ හමුවී ඇති මුලු ආසාදිතයන් ගණන 1919 ක්.

මේවන විට මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 301,811 ක් ලෙසටයි ෴

++++++++++++++++++++

(28.07.2021 – 20:42 +0530 – hirunews.lk/sinhala)

මෙරට සිදුවූ තවත් කොවිඩ් මරණ 63 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (27) තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4258 ක් ලෙසටයි.

පිරිමි පුද්ගලයන් 35 ක් සහ කාන්තාවන් 28 ක් මෙම මියගිය පිරිස අතර වනවා.

මෙම මරණ අතර වයස අවුරුදු 30 ට අඩු එක් කාන්තාවක් වනවා.

අවුරුදු 30 ත් 59 ත් අතර පිරිමි පුද්ගලයන් 5 ක් සහ කාන්තාවන් 6 ක්, අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි පුද්ගලයන් 30 ක් සහ කාන්තාවන් 21 ක් මියගිය පිරිසට අයත් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *