ගුරු වෘත්තීය සමිති අදත් (28) විරෝධතාවයේ

ගුරු වෘත්තීය සමිති අදත් (28) විරෝධතාවයේ

*********************************************

ගුරු වෘත්තීය සමිති අදත් (28) විරෝධතාවයේ

(28.07.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

සිය ගැටලුවලට විසදුම් නොලැබුනුහොත් තමන් සිදුකරන වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ත්‍රීව්‍ර කරන බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ අද (28) කොළඹ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ විරෝධතාවල නිරතවන ගුරු විදුහල්පතිවරුන්ට සෞඛ්‍ය නීතිවලට අනුව කටයුතු කරන ලෙස මේ වනවිටත් උපදෙස් ලබාදී ඇති බවයි.

මේ අතර, යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින් අද ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත් වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ද තීරණය කරනු ලැබුවා.

එමෙන්ම, ගුරු විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කළ ඔන්ලයින් ඉගැන්වීමේ ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට (28) දින 17 ක් ගතවනවා.

ඔවුන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන්නේ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්. මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ඊයේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාව ද සාර්ථක වූයේ නැහැ.

මේ අතර අද (28) දිනයේත් ප්‍රදේශ රැසක ගුරු විදුහල්පතිවරුන් සිය ගැටලුවලට විසඳුම් ඉල්ලා විරෝධතාවල නිරතව තිබෙනවා.

ගාල්ල නගරයේ අද පැවති ගුරු විරෝධතාවයක් හේතුවෙන් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් වැසුණු අතර, ගමනාගමන කටයුතුවලට ද බාධා.

******************************************

(28.07.2021 – 13:16 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී බාලවයස්කාර දැරියක පිලිස්සී මියයාමේ සිද්ධියට විරෝධය පළකරමින් අදත් (28) ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා.

එමෙන්ම, අද (28) දිනයේත් මෙම සිද්ධිය පිලිබද විමර්ශන මෙහෙයවන පොලිස් කණ්ඩායම් දෙක (2) හැටන් – ඩයගම ප්‍රදේශයේ සිය විමර්ශන කටයුතු ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව, ප්‍රකාශ සටහන් කර ගැනීමේ කටයුතු අදත් (28) සිදුවන බවයි පොලීසිය පවසන්නේ.

කොළඹ පොලිස් මූලස්ථානය මගින් පෙරේදා (26) දිනයේ ඩයගම ප්‍රදේශයට එවූ මෙම විශේෂ පොලිස් කණ්ඩායම් දෙක (2) විමර්ශන ආරම්භ කරනු ලැබුවේ ඊයේ (27) දිනයේදී වන අතර මවගෙන් සහ පියාගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කල හිෂාලිනී ජූඩ් නැමැති බාලවයස්කාර දැරිය පිලිස්සී මියයාම සම්බන්ධයෙන් මේ වන විටත් රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සිව්දෙනෙකු (4) ලබන නව වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දැරියගේ සිරුර ගොඩගෙන ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිළධාරීන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් නැවත පස්චාත් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුව දැරියගේ සිරුර ගොඩගැනීමට නියමිත අතර සිරුර මිහිදන් කල ඩයගම පොදු සුසාන භූමියට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා තිබෙනවා.

******************************************

(28.07.2021 – 13:33 +0530 – hirunews.lk/sinhala)

කලක් තිස්සේ සිදුකරන බොරළු කැනීම් හේතුවෙන් ඒ ආසන්නයේ ඇති දිය උල්පත්වලට දැඩි හානි සිදුවන බව පවසමින් කැකිරාව – පලාගල ප්‍රදේශවාසීන් නිහඬ විරෝධතාවක නිරත වුණා.

ඉකුත් රජය සමයේ සිට උල්පතයාය ප්‍රදේශයේ වරින් වර සිදුකරනු ලබන කැණීම් හේතුවෙන් තම ගම්මානයේ ජල උල්පත් සිඳීයාමේ තර්ජනයකට ලක්ව ඇති බව ගම්වාසීන් පවසනවා.

පිරිසිදු ජලයෙන් පිරී ඉතිරි ගිය ළිං මේ වනවිට සිඳීයාමේ තර්ජනයකට ලක්ව ඇති ආකාරයය අපට දැක ගන්නට හැකියාවක් ලැබුනා.

මේ හේතුවෙන් තමන් පරිභෝජනයට ගන්නා පානීය ජලය බොර පැහැයෙන් යුක්තව පවතින බව ඔවුන් මෙලෙස සඳහන් කළා.

අදාළ ස්ථානයේ සිදුකෙරෙන බොරළු කැණීම් සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී එහි සේවකයෙකු පැවසුවේ රජයේ සංවර්ධන කටයුත්තක් ලෙස සංවර්ධනය කෙරෙමින් පවතින ආඩියාගල – මඩාටුගම මාර්ගයේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය බොරළු මෙම ස්ථානයෙන් ලබා ගන්නා බවයි.

ඔහු පැවසුවේ ඒ සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මගින් නිකුත් කර ඇති වලංගු කැණීම් බලපත්‍රයක් ද තමන් සතුව පවතින බවයි.

මේ සම්බන්ධයෙන් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි වන නිලධාරී කාර්යාලයෙන් කළ විමසීමකදී ඔවුන් පැවසුවේ රජයේ මාර්ග සංවර්ධන කටයුත්තක් සඳහා අවශ්‍ය බොරළු ප්‍රමාණය කැණීමට පමණක් එම ස්ථානයට සීමා සහිතව අවසර ලබා දී ඇති බවයි.

******************************************

(28.07.2021 – 13:49 +0530 – hirunews.lk/sinhala)

ආහාර එතීම සඳහා භාවිත කරන නැවත භාවිතයට ගත නොහැකි සියලුම ආකාරයේ පොලිතින් ලන්ච් ෂීට් අගෝස්තු මස පළවෙනිදා (01) සිට සම්පූර්ණයෙන්ම තහනම් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා කියා සිටින්නේ මෙය පොලිතින් වලින් තොර රටක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළේ එක් පියවරක් බවයි.

පියවර කිහිපයකින් මෙරට පොලිතින් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම අනාගත පරපුර වෙනුවෙන් සිදුකළ යුත්තක් බව ඔහු ප්‍රකාශ කරනවා.

මෙරට වාණිජ සහ පාරිභෝගික කටයුතු සඳහා භාවිත කරන පොලිතීන් සම්පූර්ණයෙන් දිරා යාමට වසර තුන්සියයකට (300) වැඩි කාලයක් ගතවන බවයි මෙතෙක් ඒ පිළිබඳව කරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.

පාරිභෝගික භාණ්ඩ අලෙවි කිරීම් සඳහා භාවිත කළ සැෂේ පැකට්ටු මීට පෙර භාවිතයෙන් ඉවත් කළ අතර කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් බෝතල සහ අනෙකුත් ප්ලාස්ටික් නිෂ්පාදන ද ක්‍රමයෙන් වෙළඳපොළෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ ෴

******************************************

(28.07.2021 – 13:55 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අමරපුර මහානිකායේ මහානායක ධුරයට පත් අග්ගමහා පණ්ඩිත පූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියන් ඊයේ (27) බැහැදුටුවා.

ඒ රාජගිරිය – කලපලුවාව තපෝවන භාවනා මධ්‍යස්ථානයේදීයි. එහිදී අග්‍රාමාත්‍යවරයා නාහිමියන්ගෙන් සුවදුක් විමසූ අතර, උන්වහන්සේ කෙටි අනුශාසනාවක් ද එම අවස්ථාවේදී සිදුකළා.

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල ප්‍රශංසනීය බව පැවසූ නාහිමියන්, පාසල් කඩිනමින් ආරම්භ කිරීම සහ දරුවන්ගේ ආරක්ෂාව පිලිබඳ රජය දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවයි සඳහන් කර ඇත්තේ.

******************************************

(28.07.2021 – 14:31 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ විවිධ අදහස් :

******************************************

(28.07.2021 – 15:35 +0530 – hirunews.lk/sinhala)

ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ඉන් පිටව ගොස් තිබෙනවා.

ඒ පැය 5 ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවයි.

මීට පෙර කර තිබූ දැනුම් දීමකට අනුව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අද (28) පෙරවරු 10 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගය නියෝජනය කරන තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සමගින්.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් යළි ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

******************************************

(28.07.2021 – 17:00 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 125 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් තුන්දෙනෙකු (3) උතුරු මුහුදේදී නාවික හමුදාව විසින් අත්ඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (27) රාත්‍රී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි මෙම සැකකරුවන් සහ කේරළ ගංජා අත්අඩංගුවට පත්වී ඇත්තේ.

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් සමග වෙරළබඩ මුර යාත්‍රා යොදා ගනිමින් ඊයේ (27) රාත්‍රී යාපනය මාදගල් ප්‍රදේශයේ සිට පේදුරුතුඩුව දක්වා වූ මුහුදු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණා.

එහිදී එක් නාවික යාත්‍රාවක් විසින් සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කිරීමට යාමේදී එම යාත්‍රාව මගින් මලු කිහිපයක් මුහුදට දමා පළායාමට උත්සාහ කර තිබෙනවා.

එහිදී නාවික හමුදා යාත්‍රාවක් විසින් අදාළ ඩිංගි යාත්‍රාව හඹාගොස් සැකකරුවන් තුන්දෙනෙකු (3) සමග එම යාත්‍රාව අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව නාවික හමුදාව විසින් කුඩා යාත්‍රා යොදවා මාදගල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ වැඩිදුර සෝදිසි මෙහෙයුමක් මගින් මුහුදට දමා තිබූ පොලිතින් මලු 8 ක පාර්සල් 125 ක් වශයෙන් අසුරන ලද කේරළ ගංජා කිලෝ 417 යි ග්‍රෑම් 200 ක පමණ තොගයක් සොයාගෙන තිබෙනවා.

එහි වීථි වටිනාකම රුපියල් මිලියන 125 කට අධික බවටයි අනාවරණ වි ඇත්තේ.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තුන්දෙනා (3) තොන්ඩමන්ආරු සහ ගුරුනගර් ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 ත් 40 ත් අතර වයස්වල පසුවන පිරිසක්.

ඔවුන් කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව සමග ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඉලවාලි පොලිසියට භාරදීමට නියමිතයි ෴

******************************************

(28.07.2021 – 17:16 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල බන්ධනාගාරය තුලට එහි තාප්පයට ඉහළින් විසි කළ පාර්සලයක් බන්ධනාගාර නිලධාරින් විසින් සොයා ගෙන තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා කියා සිටියේ ජංගම දුරකථන 7 ක්, ජංගම දුරකථන බැටරි 7, ලයිටරයක් සහ දුම්කොළ 10 ක් මෙම පාර්සලය තුල තිබී සොයා ගත් බවයි.

අත්අඩංගුවට ගන්නා ලද භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගාල්ල පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

@@@@@@@@@@@@@@@

(28.07.2021 – 14:05 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ 2018-2019 පළමු වසරේ සංගීත සිසුන්හට දැනට අවුරුද්දක (1) පමණ කාලයක සිට අධ්‍යාපනය නොලැබෙන බව ඔවුන් අද (28) ගාලු මුවදොර පිටියේ උද්ඝෝෂණ විරෝධතාවක් පවත්වමින් කියා සිටියා.

විශ්ව විද්‍යාලයේ අනිකුත් සියලු විෂය ධාරාවන් ඔන්ලයින් තාක්ෂණය හරහා නොකඩවා පවත්වන බවත් ඔවුනට පමණක් අධ්‍යාපනය අහිමි වී ඇති බව ඔවුන් දිගින් දිගටම චෝදනා කරනවා.

මේ පිළිබඳව දිගින් දිගටම විශ්වවිද්‍යාල පාලනාධිකාරියට දැනුම් දුන් අතර ඔවුන් මෙම ගැටලුව විසඳීමට කිසිදු පියවරක් නොගන්නා බවටයි සිසුන් චෝදනා කරන්නේ.

මේ නිසාම ඇතිවූ දැඩි මානසික පීඩනය හමුවේ අවසානයේ මේ ආකාරයට උද්ඝෝෂණ ව්‍යාපාරයක් කරා යොමුවූ බවත් නිසි බලධාරීන් ගේ අවධානය මේ වෙත යොමු කර ගැනීම මෙම විරෝධතා ව්‍යාපාරයේ අරමුණ බවත් ඔවුන් කියා සිටියා.

උද්ඝෝෂණ ව්‍යාපාරය අතරතුර ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලිපියක් ද බාර දුන්නා.

මෙම ගැටලුව විසඳීමට අදාළ බලධාරීන් කඩිනම් පියවර නොගතහොත් ඉදිරියේදී මීට වඩා දැඩි විරෝධතා ව්‍යාපාර කරා යොමුවන බවටයි සෞන්දර්ය සිසුන් අනතුරු අඟවන්නේ.

ඔවුන් වැඩිදුරටත් ප්‍රශ්න කරන්නේ අනෙකුත් සියලු විශ්වවිද්‍යාල වල සිසු දරුවන්ට ඇති අයිතිය තමන්ට අහිමි කර ඇත්තේ මක් නිසාද යන්නයි ෴

++++++++++++++++++++

(28.07.2021 – 15:07 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට ශ්‍රී ලංකාවට කොරෝනා එන්නත් මිලියන 13.8 ක් රැගෙනවිත් ඇති අතර ඉන් මිලියන 10.1 ක් එන්නත් කර අවසන් බව වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ චීන සයිනොෆාම් එන්නත් මිලියන 10.7 ක් ඊට අයත් වන බවයි.

ඊට අමතරව, ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.2 ක් ස්පුට්නික් එන්නත් පළමු (1) මාත්‍රා 1,65,000 ක් සහ දෙවන (2) මාත්‍රා 15,000 ක් ද ඊට අයත් වනවා.

ෆයිසර් එන්නත් මාත්‍රා 2,15,920 ක් සහ මොඩර්නා එන්නත් මිලියන 1.5 ක් ද මේ වනවිට දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

එමෙන්ම, වයස අවුරුදු 30 ට වැඩි ජනගහනය සැලකූ විට ඉන් සියයට 68.4 කට එක් (1) එන්නත් මාත්‍රාවක් හෝ ලබාදී ඇති අතර පූර්ණ කොරෝනා එන්නත්කරණය ලැබූ 30 ට වැඩි ප්‍රතිශතය සියයට 16.5 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළේ ෴

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1499 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 271,855 ක් ලෙසටයි ෴

++++++++++++++++++

(28.07.2021 – 17:30 +0530 – hirunews.lk/sinhala)

කොවැක්ස් පහසුකම යටතේ ලබන සෙනසුරාදා (31) ඇස්ට්‍රාසෙනෙකා එන්නත් 728,460 ක තොගයක් මෙරටට රැගෙන එන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

ඇස්ට්‍රාසෙනිකා පළමු (1) මාත්‍රාව ලෙස ලබා ගෙන දෙවන (2) මාත්‍රාව ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසු වන සංඛ්‍යාව 540,000 ක් පමණ වනවා.

ජපානය ලබා දෙන මුළු මාත්‍රා ප්‍රමාණය 1,470,000 වුව ද ගුවන්යානා වෙන්කර ගැනීමේ අපහසුව හේතුවෙන් ඉන් අඩක් ලබන සෙනසුරාදා දිනයේත් ඉතිරිය තවත් දින කිහිපයකිනුත් මෙරටට ළඟා වනු ඇති.

මේවන විට 540,000 පමණ ජනතාවක් දෙවන (2) මාත්‍රාව බලාපොරොත්තුවෙන් සිටින අතර ඉන් 526,000 ක්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකේ පදිංචිකරුවන්.

එන්නත ලැබී දින කිහිපයක් ඇතුලත දෙවන (2) මාත්‍රාව ලබා දීම අවසන් කරන අතර ඉතිරි මාත්‍රා ප්‍රමාණය කෑගල්ල දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩ සටහනට යෙදවීමටයි සැලසුම් කර ඇත්තේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *