ඔලිම්පික් ක්‍රීඩා පිටියට අපේ පන්දුව

ඔලිම්පික් ක්‍රීඩා පිටියට අපේ පන්දුව

*********************************************

ඔලිම්පික් ක්‍රීඩා පිටියට අපේ පන්දුව

(27.07.2021 – 23:13 +0530 – hirunews.lk/sinhala)

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළලේදී බේස්බෝල් ක්‍රීඩා තරඟ සඳහා භාවිත කරන පන්දුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක්.

ඒ පිලිඳව විශේෂ සටහනක් එක්කරමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ ඇඟලුම් නිර්මාණ වලට වගේම ක්‍රීඩා ඇඟලුම් නිෂ්පාදනයේ ද ලෝක පරිමාණයේ ඉහළ නමක් දිනා සිටින අපේ රටට ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනයේද ලෝක වෙළෙඳපළක් දිනාගැනීමට හැකිවීම අපගේ ක්‍රීඩා ආර්ථිකයේ තවත් ඉදිරි පිම්මක් ලෙස සැළකිය හැකි බවයි.

එමෙන්ම මෙමගින් අපේ රටේ ක්‍රීඩා ආර්ථිකය නංවාලීමට ද විශාල දායකත්වයක් ලබාදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

******************************************

වයස අවුරුදු 18 ට අඩු අය සේවයේ යෙදවිය හැකිද ?

(27.07.2021 – 18:43 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාව තුළ යම් පුද්ගලයෙක් සේවයේ යෙදවීමේ හැකි අවම වයස අවුරුදු 18 දක්වා ඉහළ දැමීමට රජය කටයුතු කරයි.

ඊට අදාළ නීති ඉදිරි මාස තුනක් (3) ඇතුළත බලාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (27) පැවසීය.

ඒ සඳහා ස්ත්‍රීන්, තරුණයන් හා ළමයින් සේවයේ යෙදවීමේ පනත යටතේ හඳුන්වාදීමට නියමිත නියෝග මගින් අන්තරායකර රැකියා ලැයිස්තු සංශෝධනය කිරීමට අවශ්‍ය නියෝග නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් දැනටමත් සකස්කර තිබේ.

එසේම වසර 100 කට වඩා පැරණි ගෘහසේවක ප්‍රජාවට අදාළ නීති රීති ද වෙනස්කරමින්, ඔවුන්ගේ සුභසාධනය සඳහා නව නීති රීති ගෙන ඒමට කටයුතු කෙරේ.

කම්කරු දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්යංශය, ළමා හා කාන්තා කාර්යාංශය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් අද (27) පැවති සාකච්ඡාවකදී එම කරුණු හෙළිවිය.

ළමයින් සේවයේ යෙදවීම සහ ගෘහස්ථ සේවකයන්ගේ අයිතිවාසිකම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවත් එහිදී, යම් පුද්ගලයෙක් නිවසක සේවයේ යොදවා ගන්නේ නම් ඒ පිළිබඳව තොරතුරු සේවායෝජකයා විසින් දිස්ත්‍රික් කම්කරු නිලධාරියා හමුවේ ලියාපදිංචි කළයුතු බවත්, ජාතික අවම වැටුප් පනතට ගෘහස්ථ සේවක සේවිකාවන් ඇතුළත් කිරීම, එම ගෘහ සේවක සේවිකාවන් ආවරණය වන පරිදි සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් පනත් සංශෝධනය කිරීමට ද මෙහිදී තීරණය කෙරිණ.

******************************************

(28.07.2021 – 07:16 +0530 – hirunews.lk/sinhala)

මෙරට දැවැන්තම ජල සම්පාදන යෝජනා ක්‍රමයක් වන ‘විසල් මාතලේ’ ජල සම්පාදන යෝජනා ක්‍රමය අද (28) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරෙනවා.

මෙම ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 31,000 ක්.

මෙමගින් නව ජල සම්බන්ධතා 90,000 ක් පමණ ලබාදීමට හැකියාව පවතින බවයි ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ.

මෙම ජල සම්පාදන යෝජනා ක්‍රමය යටතේ අඹන් ගඟ, උකුවෙල සහ උඩතැන්න ජල ව්‍යාපෘති තුනයි විවෘත කෙරෙන්නේ.

මෙමගින් මාතලේ දිස්ත්‍රික්කයේ පිරිසිදු පානීය ජල ආවරණය සියයට 30 සිට සියයට 90 දක්වා වැඩි කිරීමට හැකියාව ලැබෙන බව ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කරනවා.

අඹන් ගඟ ව්‍යාපෘතිය මගින් නව ජල සබඳතා 20,000 ක් ලබාදෙන අතර, පල්ලෙපොල, යටවත්ත, නාවුල, මාතලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ එමගින් ආවරණය වනවා. එහි ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 76,740 ක්.

උකුවෙල ජල සම්පාදන ව්‍යාපෘතියෙන් නව ජල සබඳතා 8,000 ක් ලබා දෙන අතර, ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 31,908 ක් වනවා.

උඩතැන්න ව්‍යාපෘතියෙන් නව ජල සබඳතා 12,000 ක් ලබාදෙන අතර, එමගින් පවුල් 47,918 කට ප්‍රතිලාභ සැලසෙන බවයි ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර, විදේශ රැකියාවල නිරත ශ්‍රි ලාංකිකයන් රටට ශක්තියක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

විදේශ අමාත්‍යංශයේ කුරුණෑගල ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අරලියගහ මන්දිරයේ සිට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ලෝක කොරෝනා වසංගතය හමුවේද රජය ජනතාව වෙනුවෙන් කැපවී කටයුතු කරන බවයි ෴

******************************************

(28.07.2021 – 07:21 +0530 – hirunews.lk/sinhala)

මෙරට රෝගී සත්කාරක සේවා වෙනුවෙන් මහත් කැප කිරීමක් සිදුකරන සුවසැරිය ගිලන් රථ සේවයට අදට වසර 5 ක් සපිරෙනවා.

2016 වසරේ ජුලි 28 වනදා ඉන්දීය අනුග්‍රහයෙන් ‘1990 සුවසැරිය ගිලන් රථ සේවය’ ආරම්භ කෙරෙන අතර, එහි සුවිශේෂීත්වය වුණේ සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන සේවාවක් වීමයි. නිවසේදී හෝ මහමඟදී අසාධ්‍ය තත්ත්වයට පත්වන ඕනෑම රෝගියෙකු කඩිනමින් රෝහල් ගත කිරීම එමගින් සිදුවනවා.

රෝගියාට අවශ්‍ය ප්‍රථමාධාර සේවාවන් ද එහිදී ක්‍රියාත්මකයි. දිනකට ඇමතුම් 5000 කට අධික ප්‍රමාණයක් සුවසැරිය ගිලන් රථ සේවයට ලැබෙන අතර, ගිලන් රථ 297 ක් මේ වනවිට සේවා කටයුතු වල නිතර වනවා. තවත් ගිලන් රථ 112 ක් අලුතින් එක් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

වසර 5 ක කාලය තුල සුවසැරියට ලැබී ඇති ඇමතුම් සංඛ්‍යාව 41,70,125 ක්. රෝගීන් 9,03,438 ක් රෝහල් ගත කිරීමට එහි ඍජු දායකත්වය හිමිව තිබෙනවා.

කොරෝනා පාලනය සඳහා ද සුවසැරියෙන් වදනින් කෙටි කළ නොහැකි දායකත්වයක් ලබාදෙන අතර මේ දක්වා රෝගීන් 67,962 ක් රෝහල් ගත කරමින් මිනිස් ජිවිත රැක ගැනීමට ඔවුන් කරන මෙහෙවර මෙරට සියලුදෙනාගේ ප්‍රශංසාවට ලක්වන්නක් ෴

******************************************

(28.07.2021 – 07:34 +0530 – hirunews.lk/sinhala)

යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින් අද (28) ඔන්-ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර තිබෙනවා.

මේ අතර ගුරු විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කළ ඔන්-ලයින් ඉගැන්වීමෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයද අද 17 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු විදුහල්පතිවරුන් ඔන්-ලයින් ඉගැන්වීම් කටයුතු වර්ජනය කර අදට (28) දින 17 ක්.

මෙම ගැටළුවට විසඳුම් සෙවීම සඳහා ඊයේ (27) ගුරු විදුහල්පති වෘත්තීය සමිති නායකයින් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකටද එක් වූ අතර එම සාකච්ඡා අසාර්ථක බව වෘත්තීය සමිති සඳහන් කළා.

යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින් අද (28) ඔන්-ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයද තීරණය කළා.

මේ අතර ගුරු වැටුප් විෂමතාවට සහය පළ කරමින් ප්‍රදේශ කිහිපයක අදත් විරෝධතා සංවිධාන කර තිබුණා ෴

******************************************

(28.07.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සී මියගිය බාලවයස්කාර දැරියගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන පොලිස් කණ්ඩායම් අද (28) දිනයේත් එම ප්‍රදේශයේදී විමර්ශන කටයුතු සිදු කරනවා.

කොළඹ සිට පැමිණි මෙම කණ්ඩායම ඊයේ (27) දිනයේදී දැරිය පදිංචිව සිටි ඩයගම ප්‍රදේශයෙන් විමර්ශන කටයුතු ආරම්භ කළා.

ඒ අනුව දැරියගේ මව සහ පියාගෙන් මෙම විශේෂ පොලිස් කණ්ඩායම ඊයේ (27) දිනයේ ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා. එමෙන්ම දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සිද්ධියට සම්බන්ධ තැරැව්කරුගේ නිවසට ගොස් එහි සිටි අයගෙන්ද මෙම කණ්ඩායම ප්‍රකාශ සටහන් කර ගත් බව සඳහන්.

දැරිය මිය යාමේ සිද්ධියට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු සිව් දෙනෙකු (4) පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

අධිකරණය වැඩිදුරටත් නියෝග කළේ දැරියගේ සිරුර ගොඩගෙන ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරින්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් නැවතත් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.

කෙසේ වෙතත් දැරියගේ සිරුර ගොඩ ගන්නා දිනයක් තවම නිශ්චිතව ප්‍රකාශයට පත් වී නැහැ.

මේ අතර, වයස අවුරුදු 18 ට අඩු අය සේවයේ යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට අදාළ නීති කඩිනමින් බලාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

@@@@@@@@@@@@@@@

(28.07.2021 – 06:20 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඊයේ (28) දිනයේදී පුද්ගලයින් 123 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව මේ දක්වා පුද්ගලයින් 52,401 දෙනෙකු නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

++++++++++++++++++++

(28.07.2021 – 06:42 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩක කෘනාල් පාන්ඩ්‍යා හට කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් ඔහුගේ සමීපතයන්ට අට දෙනෙකුට (8) ඊයේ (27) සිදුකළ පීසීආර් පරීක්ෂණවලදී එම අට දෙනාටම (8) කොරෝනා ආසාදිත නොවනබවට තහවුරු වී තිබෙනවා.

ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩක කෘනාල් පාන්ඩ්‍යා හට කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් ඊයේ (27) ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරඟය අද (28) දින දක්වා කල් දැමීමට ඊයේ (27) තීරණය කළා.

එම හේතුවෙන් අද (28) දෙවන (2) 20-20 තරඟය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිත බවටයි වාර්තා වන්නේ ෴

++++++++++++++++++++

(28.07.2021 – 07:32 +0530 – hirunews.lk/sinhala)

ජපානයෙන් මෙරටට ලැබීමට නියමිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 14,70,000 ක් ඉදිරි සතිය තුළ ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

ඊයේ (27) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 1,711 දෙනා අතරින් 1,688 දෙනෙකු ‘අලුත් අවුරුදු පොකුරේ’ ආසාදිතයින් වනවා.

විදේශයන් හි සිට පැමිණ නිරෝධායන වන පුද්ගලයින් 23 දෙනෙකුද ඊයේ (27) හඳුනාගත් ආසාදිතයින් අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 299,892 ක්.

එසේම පසුගිය 26 වනදා සිදුවූ තවත් කොරෝනා ආසාදිත මරණ 48 ක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (27) තහවුරු කළා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4,195 ක් ලෙසින්.

මේ අතර, මෙරට කොරෝනා එන්නත්කරණ වැඩසටහන අඛණ්ඩව දියත් වනවා. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඊයේ (27) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මීලඟ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය ලැබුණු පසු එහි 2 වන මාත්‍රාව අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින්ට ප්‍රමුඛතාව ලබාදෙන බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *