පී.සී.ආර්. වේදනාවට හෙදියකගෙන් පළිගත් සාදු මැරයා

පී.සී.ආර්. වේදනාවට හෙදියකගෙන් පළිගත් සාදු මැරයා

*********************************************

පී.සී.ආර්. වේදනාවට හෙදියකගෙන් පළිගත් සාදු මැරයා

(26.07.2021 – 17:24 +0530 – hirunews.lk/sinhala)

= පී.සී.ආර් වේදනාවට හෙදියකගෙන් පළිගත් හිමිනම =

පී.සී.ආර්. පරික්ෂණයේදී වේදනාවක් ඇතිවීමෙන් කෝප වූ හිමිනමක් හෙදියකට පිඟානකින් පහරදීමේ සිද්ධියක් ආනමඩුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ආණමඩුව මූලික රෝහලේ කෝවිඩ් ඒකකයේ රාජකාරි වල නිරතව සිටි හෙදියක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ආණමඩුව කුමාරගම විහාරස්ථානයක හිමිනමක් විසිනුයි මෙම පහරදීම සිදුකර ඇත්තේ.

උණ හා සෙම් රෝගයක් හේතුවෙන් ආණමඩුව මුලික රෝහලට ඇතුලත් කර සිටි අදාළ හිමිනමගේ පී.සී.ආර්. පරික්ෂණය අදාළ හෙදිය විසින් සිදුකර ඇති අතර එහිදී තමන්ට වේදනාවක් ඇතිවූ බව පවසමින් අදාළ හිමිනම එම ස්ථානයේ තිබූ වීදුරු පිඟානක් ගෙන හෙදියට පහරදී තිබෙනවා.

පහරදීමෙන් තුවාල ලැබූ හෙදිය එම ස්ථානයේ ඇදවැටී ඇති අතර පසුව රෝහල් කාර්යමණ්ඩලය විසින් බරපතළ තුවාල ලැබූ හෙදිය ප්‍රතිකාර සඳහා රෝහල් ප්‍රාථමික වෛද්‍ය ඒකකය වෙත යොමුකර ඇති බවයි සඳහන් වන්නේ.

බරපතළ තුවාල ලැබූ අදාළ හෙදිය පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පහරදීම සිදුකළ හිමිනම පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රශ්නකිරීම්වලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ ෴

+++++++++++++++++++++

(26.07.2021 – 18:29 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1018 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 297,534 ක් ලෙසටයි.

එමෙන්ම අද (26) දිනයේ තවත් කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ 1405 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 269,007 ක් දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ ෴

+++++++++++++++++++

(26.07.2021 – 18:56 +0530 – hirunews.lk/sinhala)

දැනට සති දෙකක (2) පමණ කාලයක සිට යම් ප්‍රමාණයකට කෝවිඩ් රෝගීන් වාර්තා වීම වැඩි වී ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසනවා.

ඔහු පවසන්නේ පසුගිය සති කිහිපයට සාපේක්ෂව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ද මේ තත්ත්වය දක්නට ලැබෙන බවයි.

ඒ අනුව මේ වන විට ළමා රෝහලෙන් දිනකට ආසාදිතයන් 5 ක් පමණ වාර්තා වන බව දක්නට ලැබෙන බවත් මීට සති දෙකකට පමණ පෙර එම තත්ත්වය දිනකට එක් (1) රෝගියෙකුට පමණ සීමා වී තිබූ බවත් ඔහු පවසනවා.

රටේ සංචරණ සීමා ක්‍රියාත්මක වූ සමයේ වැඩිහිටියන් මෙන්ම දරුවන් ද ආසාදනය වීමේ යම් කිසි අඩුවක් දක්නට ලැබුණු බවත් සංචරණ සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව එම සීමා පිළිබඳ කිසිදු තැකීමක් නොමැතිව පොදු ජනතාව කටයුතු කිරීම බරපතල තත්ත්වයක් බවත් විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

ඒ අනුව ඔහු අවධාරණය කරන්නේ මෙම ව්‍යසනයෙන් රටක් ලෙස නිදහස් වීමට නම් පොදු ජනතාව වඩාත් වැඩි වගකීමකින් කටයුතු කළ යුතු බවයි.

මෙලෙස සංචරණ සීමා පිළිබඳ උනන්දුවකින් කටයුතු නොකරන්නේ නම් නැවතත් සංචරණ සීමා පැනවීමේ අවදානමකට රට මුහුණ දෙන බවත් විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසනවා.

පෙනහලු ආබාධ, ස්වසන ආබාධ, උපතින්ම ඇති වූ හෘද රෝග ආබාධ, වකුගඩු ආබාධ සහිත දරුවන් මෙම රෝගයේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වන්නේ ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ හැකියාව අඩුවීම හේතුවෙන් මෙම රෝගය ඔවුන්ට මාරාන්තික වීමට ඇති ඉඩ ඉඩකඩ වැඩි වීම නිසා බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

පසුගිය කාලයේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී මියගිය දරුවන් දස (10) දෙනාම මේ ආකාරයේ යම් යම් අතුරු රෝගාබාධ තිබූ දරුවන් බව ඔහු පවසනවා.

එමෙන්ම කොවිඩ් රෝගය වැළඳුණු දරුවන්ට බහු ඉන්ද්‍රීය ආසාදනය වීමේ රෝගය වැලළඳීමේ අවදානම ඇති බවත්, දරුවාට කොවිඩ් රෝග ලක්ෂණ සමග සති දෙකක් (2) ඇතුළත සම රත්පැහැ ගැන්වීම බඩේ කැක්කුම හිස රුදාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කළ හොත් වහාම වෛද්‍ය උපදෙස් ලබාග ගත යුතු බවයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ ෴

++++++++++++++++++

(26.07.2021 – 19:06 +0530 – hirunews.lk/sinhala)

තෝරා ගැනීමකින් තොරව ලැබෙන පළමු (1) අවස්ථාවේදීම කොරෝනා එන්නත් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් යළි ඉල්ලීමක් කරනවා.

කොළඹින් වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගේ 20% – 30% අතර ප්‍රමාණයකට ආසාදනය වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය විය හැකි බවට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

එම මාධ්‍ය හමුවට එක්වූ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා කියා සිටියේ පළමු (1) අවස්ථාවේදීම ලැබෙන කොරෝනා එන්නත තෝරා ගැනීමකින් තොරව ලබාගන්නා ලෙසයි.

මේ අතර, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාවේද වැඩිවීමක් සිදුව ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ ජී.විජේසූරිය මහතා පවසනවා.

මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි මස 21 වනදා සිට මාර්තු 03 වන බ්‍රහස්පතින්දා දක්වා පැවැත්වීමට රජය තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (26) ප්‍රකාශ කළා.

මේ අතර, ආණමඩුව ප්‍රදේශයේ හිමිනමකට කොරෝනා පරීක්ෂාව සිදු කිරීමෙන් පසු අදාළ හිමි නම විසින් පරික්ෂාව සිදුකළ හෙදියට පිඟානකින් පහරදීමේ සිදුවීමක් වාර්තා වනවා.

මෙම සිදුවීම වාර්තා වුණේ ආණමඩුව මූලික රෝහලෙන්. මෙම හිමිනම අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් ගතවී සිටි හිමිනමක්.

පසුව හිමිනම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර තුවාල ලැබූ හෙදියට මූලික ප්‍රතිකාර සිදු කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරූණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මේ අතර අනුරාධපුර රාජාංගනය මහසෙන් මහා විදුහලේ අද (26) පෙරවරුවේ ළමයින් 200 කගේ පමණ සහභාගිත්වයෙන් ශිෂ්‍යත්ව පාඨමාලාවක් සංවිධාන කර ඇති අතර එය වාර්තා කිරීමට ගිය අප ප්‍රාදේශීය වාර්තාකරුට එහිදී බාධා එල්ල වී තිබුණා.

@@@@@@@@@@@@@@

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මියගිය දැරියගේ සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණය නැවත කරන්න අධිකරණයෙන් නියෝග

(26.07.2021 – 17:06 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී මියගිය 16 හැවිරිදි බාලවයස්කාර දැරියගේ මළසිරුර ගොඩගෙන නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළා.

මාස 07 කට ආසන්න කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටි ඉශාලිනි ජූඩ් ගිනිගැනීමක් හේතුවෙන් ඇතිවූ බරපතළ තුවාල සමඟ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළේ පසුගිය 03 වනදායි.

ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඇය ගිනිගැනීමෙන් සිදුවූ තුවාල හේතුවෙන් මියගියා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වූ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කෙරුනා.

මේ අතර අද (26) පෙරවරුවේ ඉශාලිනිගේ මව මානව හිමිකම් කොමිසමට මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර එහිදී මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්න හමුවේ කියා සිටියේ ඉශාලිනීගේ මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් ද තමන්ට ගැටළුවක් ඇති බවයි.

මේ අතර දැරිය මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුට ගත් රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ, බිරිඳගේ පියා, සොහොයුරා සහ තැරැව්කරුවා අගෝස්තු 09 වන දා දක්වා රක්ෂිත බන්ධාගාර ගත කිරීමටද අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කලා ෴

******************************************

උතුරුමැද පළාතට ජලය සැපයීමට සැලසුම්කළ ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය අත්හැර දමලා – පාඩුව රු බි 65ක්

(26.07.2021 – 16:21 +0530 – sinhala.adaderana.lk)

රුපියල් බිලියන 65 ක මුදලක් වියදම් කරමින් මොරගහකන්ද ජලාශයේ සිට උතුරුමැද පළාතට ජලය රැගෙනයෑම සඳහා ඉදිකරමින් තිබූ ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය මේ වනවිට අතරමැද නවතාදමා ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමේ අඩුපාඩු සහ අක්‍රමවත් ඉදිකිරීම් හේතුවෙන් නිසා ඔවුන්ව ඉවත්කිරීම නිසා මෙම ඉදිකිරීම් අතරමඟ නවතාදැමීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති නිලධාරීහු කීහ.

එම ව්‍යාපෘතිය සඳහා යොදාගෙන තිබූ යන්ත්‍රෝපකරණ සහ අනෙකුත් මෙවලම් මේ වනවිට දිරාපත් වෙමින් පවතී.

එසේම වැඩබිමේ ඇති යකඩ කපා අලෙවි කිරීමේ වැඩ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එම යකඩ අලෙවිකර ලබාගන්නා මුදලින් සේවකයන්ට වැටුප් ගෙවීම් සඳහා අවසර ලබාදී තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමයේ ඇරඹුණු මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2020 වන විට අවසන් කිරීමටට නියමිතව තිබුණි.

උතුරුමැද පළාතේ ගොවි පවුල් 80,000 කට පමණ සෙත සැලසීම සඳහා ජලය සැපයීම මෙම ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතියේ අරමුණවී තිබිණි.

ඒ අනුව මොරගහකන්ද ජලාශයේ සිට කිලෝමීටර් 95 ක් පමණ දුරකින් පිහිටි මහාකනදරාව වැව දක්වා මෙම ඇළ මාර්ගය ඉදිකිරීම් සඳහා සැලසුම් කර තිබේ.

මේ වන විවිට එහි ඉදිකිරීම් සියල්ල අතරමග නවතාදමා ඇති බවත් පෞද්ගලික ඉදිකිරීම් සමාගමේ සේවකයන්ට වැටුප් පවා ගෙවා නොමැති බවත් එහි සේවකයෝ පවසති.

******************************************

පාසල් සිසුවියකට අතවර කළ IT වල්ගුරා රිමාන්ඩ්

(26.07.2021 – ada.lk)

= පාසල් සිසුවියකට අතවර කළ IT ගුරුවරයා රිමාන්ඩ් =

ඉංග්‍රීසි භාෂාව චතුරව හැදෑරීමට පහසුකම් සැපයෙන අත් පොත් මිලදී ගැනීමට යැයි රවටා, දාහත් හැවිරිදි පාසැල් සිසුවියක් කොළඹට රැගෙනවිත්, සිය මෝටර් රථය තුළදී ලිංගික අතවර කළ බව පැවසෙන, ගම්පහ ජාත්‍යන්තර පාසලක පරිගණක මෘදුකාංග ගුරුවරයෙකු ලබන අගෝස්තු 4 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ලියනගේ මංජුල රත්නායක මහතා නියෝග කළේය.

හතලිස් නව (49) හැවිරිදි සැකකරු, තම පාසලේ ඉගෙනුම ලබන මෙම සිසුවිය, නිට්ටඹුව ප්‍රදේශයේ සිට මාදිවෙල කිඹුලාවල ප්‍රදේශයට රැගෙන විත්, රථගාලක් තුළ මෝටර් රථය නවතා ලිංගික අතවර කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි .

ඒ අනුව අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී, සැකකරු ගම්පහ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක පරිගණක මෘදුකාංග ගුරුවරයකු ලෙස සේවය කරන බවත් එම පාසලේම ඉගෙනුම ලබන දාහත් හැවිරිදි (17) පාසැල් සිසුවියක් මෙසේ රැගෙන විත් ලිංගික අතවර කර ඇති බවත් පැවසේ.

ඉංග්‍රීසි චතුරව හැදෑරීමට නම් පරිහරණය කළ යුතු පොත් කිහිපයක් පිළිබඳ තොරතුරක්, ලන්ඩන් නුවර පදිංචිව සිටින සිසුවියගේ නැන්දනිය පසුගියදා ඇයට දන්වා ඇතැයි පැවසේ.

ඒ අනුව අදාළ පොත් මිලදී ගැනීම පිළිබඳව සැකකාර ගුරුවරයාගෙන් විමසූ විට, එම පොත්, ඉතා අඩු මිලට ලබා ගැනීමට හැකි බවත් ඒ සඳහා කොළඹ ප්‍රදේශයේ තම මිතුරෙකු සිටිනා බවත් සිසුවියගේ ඥාතීන්ට දන්වා ඇතැයි පැවසේ.

ඒ අනුව සිසුවිය සමග සැකකරු සිය මෝටර් රථයෙන් කොළඹට පැමිණ, නැවත ගම්පහ ප්‍රදේශයට යන අතරතුරදී, මද විවේකයක් සඳහා සිසුවියගේ ද කැමැත්ත පරිදි මාදිවෙල කිඹුලාවල ප්‍රදේශයේ රථගාලක් තුළ මෝටර් රථය නවතා ඇතැයි පැවසේ.

පසුව ඉදිරිපස අසුනේ සිටි සිසුවිය පසුපස අසුනට යෑමත්, ඒ සමඟම රියදුරුද පසුපස අසුනට ගොස් දොරවල් වසා ගැනීමත් පිළිබඳව, අසල සිටි ත්‍රීරෝද රථ රියැදුරකු දැක ඒ පිළිබඳව සැක සිතී, රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට මේ බව දන්වා ඇතැයි පැවසේ. පොලිස් නිලධාරියෙක් මෝටර් රථය පරික්ෂා කිරීමට යාමේදී සැකකරු සිසුවියට ලිංගික අතවර කරමින් සිටිනු දැක ඇති බවත් එම අවස්ථාවේදී දෙදෙනාම නිරුවත්ව සිට ඇති බවත් පැවසේ.

ඒ අනුව සැකකාර ගුරුවරයා සහ සිසු විය මෝටර් රථය ද සමග අත්අඩංගුවට ගෙන තලංගම පොලිසියට රැගෙන ගොස් මූලික විමර්ශන පවත්වා මෙසේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඉල්ලා සිටියේ සැකකරුට ඇප ලබා දෙන ලෙසයි. එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ලබන අගෝස්තු 04 දා දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.

එසේම දැරිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් කැඳවන ලෙසටත් ඇයගේ තාවකාලික භාරකාරත්වය පියාට පවරන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය ෴

පොලිසිය සඳහන් කළේ, සැකකාර ගුරුවරයා කලකට ඉහතදී අනතුරකට පත්ව දකුණු පාදය අහිමිව කෘත්‍රිම පාදයක් පැළඳ සිටින අයෙකු බවය ෴ (mawbima.lk)

******************************************

(26.07.2021 – 18:11 +0530 – hirunews.lk/sinhala)

කොබෙයිගනේ මාකෙලියාව ප්‍රදේශයේ දිය නෑමට ගිය තරුණයන් පිරිසක් අතරින් දෙදෙනෙකු (2) දියේ ගිළි මියගොස් තිබෙනවා.

මෙලස මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17 ක් සහ අවුරුදු 24 ක් වන තරුණයන් දෙදෙනෙකු (2) බවටයි වාර්තා වන්නේ.

******************************************

(26.07.2021 – 18:25 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි හයහමාරක් (6½) පමණ වටිනා කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් 3 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ යාපනය, කන්කසන්තුරයට උතුරු මුහුදු ප්‍රදේශයේදී මෙම සැකකරුවන් කේරළ ගංජා කිලෝ 216 යි ග්‍රෑම් 750 ක් සමඟ අත්අඩංගුවට ගත් බවයි.

ඩිංගි යාත්‍රාවක් තුල උර 6 ක පාර්සල් වශයෙන් අසුරා මෙම ගංජා තොගය ප්‍රවාහනය කර තිබුණේ වියලි කහ කිලෝ 19 ක ප්‍රමාණයක් ද සමගයි.

******************************************

(26.07.2021 – 19:01 +0530 – hirunews.lk/sinhala)

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාල යෝජනාව අද (26) පස්වරුවේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇති.

ගුරු – විදුහල්පති වර්ජනය අද (26) 15 වන දිනටත් ක්‍රියාත්මක අතර, අද (26) දිනයේදී සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට අදාළ පුහුණුවීම් වලින් ද ගුරුවරුන් ඉවත් වී සිටියා.

මේ අතර, ශිෂ්‍ය සංගම් සහ වෘත්තීය සමිති කිහිපයක් අද (26) කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ යෝජිත කොතලාවල පනත් කෙටුම්පත ඉවත් කර ගත යුතු බවයි.

******************************************

(26.07.2021 – 19:04 +0530 – hirunews.lk/sinhala)

ලීටර 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි කිරීමට උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්තේ පාරිභෝගිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් ඊයේ (25) නිකුත් කළ අදාළ ගැසට් නිවේදනය අනුව පරිදි ලීටර 18 එනම් කිලෝග්‍රෑම් 9.6 ක බරින් යුත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල කොළඹ දිස්ත්‍රික්කය සඳහා දක්වා ඇත්තේ රුපියල් 1,150 ක් ලෙසින්.

වෙනත් ප්‍රදේශ වල එම ගෑස් සිලින්ඩරය අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල ද ගැසට් නිවේදනයේ සඳහන්.

පාරිභෝගික අධිකාරිය මගින් නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් උපරිම මිලට වැඩියෙන් සිල්ලර හෝ තොග වශයෙන් ගෑස් අලෙවිකිරීම, වෙළඳාම් කිරීම සඳහා බෙදාහැරීම හෝ ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවයි පාරිභෝගික අධිකාරිය දැනුම් දෙන්නේ.

එමෙන්ම, ඒවායේ බර කිලෝග්‍රෑම්වලින් ගෑස් සිලින්ඩරවල පෙනෙන ස්ථානයක සඳහන් කිරීම අනිවාර්ය කරමින්දපාරිභෝගික අධිකාරිය ඊයේ තවත් ගැසට් නිවේදනයක් නිකුත් කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *