අධික වර්ෂාපතනයයෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වෙයි

අධික වර්ෂාපතනයයෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වෙයි

*********************************************

අධික වර්ෂාපතනයයෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වෙයි

(26.07.2021 – 10:27 +0530 – hirunews.lk/sinhala)

අධික වර්ෂාපතනය හේතුවෙන් බොරැල්ල , තුන්මුල්ල හන්දිය සහ ආමර් වීදියේ කිංසි පාර ජලයෙන් යටවී තිබෙනවා.

ඉදිරි පැය 12 තුල පළාත් කිහිපයකට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි

(26.07.2021 – 10:48 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මෙන්ම, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල තවදුරටත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිරිතදිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් එම ප්‍රදේශවලට ඕනෑම අවස්ථාවක වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ.

එමෙන්ම, ඉදිරි පැය 12 ඇතුළත ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසිද ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 ත් 60 ත් දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ.

මේ අතර, ඇදහැලුනු අධික වර්ෂාවත් සමග කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවුණා.

ඒ අනුව බොරැල්ල – කිංසි පාර, නන්දදාස කෝදාගොඩ මාවත, තුම්මුල්ල මංසන්ධිය අවට සහ ආමර්වීදිය අවට මාර්ග කිහිපයක් මෙලෙස ජලයෙන් යටවූ බවයි පොලීසිය සඳහන් කළේ.

මේ හේතුවෙන් උදෑසන කාලයේ එම මාර්ගවල වාහන ගමනා ගමනයටද බාධා එල්ල වී තිබුණා.

මේ අතර, ලක්ෂපාන ජලාශයේත් එක් වාන්දොරටුවක් විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

මේ හේතුවෙන් ජලාශයේ පහළ ප්‍රදේශවල ජනතාව වැඩි අවදානයෙන් සිටිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

+++++++++

[Himawari Real-Time Satellite Image (Infrared)]

******************************************

(26.07.2021 – 12:50 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතා මුල් කරගනිමින් ගුරු සහ විදුහල්පතිවරුන් ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (26) 15 වන දිනටත් ක්‍රියාත්මකයි.

සිය වැටුප් විෂමතා ගැටලුව විසඳෙන තෙක් මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි ගුරු වෘත්තීය සමිති පවසන්නේ.

අද (26) දිනයේදී සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙර පවත්වන ලද පුහුණුවීම් කටයුතු වලින් ද ඉවත්වීමට ගුරුවරුන් තීරණය කර තිබෙනවා.

කෙසේ නමුත්, ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් අදාළ කැබිනට් පත්‍රිකාව අද (26) පස්වරුවේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

******************************************

ඉෂාලිනි මියයාමේ සිද්ධියට බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන්ට එරෙහි පැමිණිල්ල කැඳවීම අද (26) පස්වරුවේ – දැරියගේ මව මානව හිමිකම් කොමිසමට

(26.07.2021 – 12:52 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී 16 හැවිරිදි ඉෂාලිනී දැරිය පිළිස්සී මියයෑමේ සිද්ධියට අදාළ නඩුව අද (26) පස්වරුවේ විභාගයට ගැනෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඉදිරියේ අදාළ නඩුව අද (26) උදෑසන කැඳවූ අවස්ථාවේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව, අදාළ නඩුවේ පැමිණිල්ල අද (26) පස්වරු 01:30 ට කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර සිටියා.

ඒ අනුව, කිරුළපන පොලීසිය භාරව සිටි රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ බොරැල්ල පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමෙන් පසු සෙසු සැකකරුවන් සමග අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එම සැකකරුවන් පෙරේදා අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, පසුව නියෝග කෙරුණේ ඔවුන් පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි.

ඒ අනුව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳගෙන් කිරුළපන පොලිසිය ප්‍රශ්න කෙරුණු අතර, ඇගේ පියා, සොහොයුරා සහ තැරැව්කරු ප්‍රශ්න කිරීම සඳහා යොමු කෙරුණේ බොරැල්ල පොලීසිය වෙතයි.

ඊට අමතරව, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳගේ සොහොයුරා වන ෂිහාබ්දීන් ඉස්මදීන් අත්අඩංගුවට ගනු ලැබුවේ රිෂාඩ් බදියුදීන් අමාත්‍ය ධුරය දරන සමයේ ඔහුගේ නිල නිවසේ සේවය කළ තරුණියක් අවස්ථා දෙකකදී (2) දූෂණයට ලක් කිරීමේ චෝදනාව මතයි.

මේ අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඊයේ (25) දිනයේ, මියගිය හිෂාලිනි දැරිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

එහි දැක්වෙන්නේ දැරිය සිටි කාමරයේ තිබී පිළිස්සී දැවී ගිය කොටස්ද සොයාගෙන ඇති අතර, ඒවා විශ්ලේෂණය සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බවයි.

දැනට පොලිස් කණ්ඩායම් කිහිපයක් මීට අදාළව විමර්ශන සිදුකරන අතර, ඊට විශේෂඥ දැනුම ඇති ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන්, කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය හා බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව සිටිනවා.

සිද්ධියට අදාළව ප්‍රකාශ 36 ක් පමණ මේ වනවිට සටහන් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මියගිය හිෂාලිනි දැරියගේ මව අද (26) මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

++++++++++

+++++++++

ඉෂාලිනිගේ මරණය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට දේශපාලන බලපැම් – නිතිඥ අනුෂ්කා දර්ශනි තිලකරත්න

(26.07.2021 – colombotoday.com)

රිෂාඩ් බදුර්ඩින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ බොරැල්ල නිවසේ මෙහෙකාර සේවයේ නිරත වි සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් මියගියේ යැයි කියන 16 හැවිරිදි ඉෂාලිනි දැරියගේ මරණය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නිලධාරින්ට දේශපාලන බලපැම් ඇති බවට පෙනෙන්නට ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් අයිතින් උදෙස් කාන්තා සංවිධානයේ ප්‍රධාන සංවිධායිකා නිතිඥ අනුෂ්කා දර්ශනි තිලකරත්න මහත්මිය මාධ්‍ය හමුවක් පවත්වමින් අද (26) සඳහන් කර සිටියා.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු නිතිඥ අනුෂ්කා දර්ශනි මහත්මිය :

******************************************

(26.07.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාව මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයී.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර එහි ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක යන මහත්වරු ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටිනවා.

ජනාධිපතිවරයා හමුවීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර හමුවක්ද අද (26) පෙරවරුවේ පැවැත්වුනේ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

එහිදී රජය ඉදිරිපත් කල යුතු යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගියදා ලිඛිතව අවස්ථාවක් ඉල්ලා තිබුණා. එම සාකච්ඡාව පසුගිය 21 වනදා පැවැත්වීමට නියමිතව තිබුණත් එය අද (26) දිනය දක්වා කල් දැමුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර ඇති කර ගත් ගිවිසුම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ (25) වැඩිදුරටත් සඳහන් කළා.

+++++++++++

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අද (26) පැවති සාකච්ඡාවේදී එකඟත්වයකට පැමිණ තිබෙනවා.

නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙන්ම නිදහස් පක්ෂය මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි.

පැය දෙකහමාරක් (2½) පමණ පැවති සාකච්ඡාවේදී ගැටලු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කර සාධනීය පියවරවලට එළඹීමට හැකිවූ බව ඔහු වැඩිදුරටත් කියා සිටියා ෴

+++++++++++

@@@@@@@@@@@@@@@

(26.07.2021 – 09:38 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඊයේ (25) දිනය තුළ පුද්ගලයින් 151 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ නිරෝධායන නීති කඩකිරීම් සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 52,154 ක් බවයි.

පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් ගමන් කිරීමට පැමිණි 160 ක පමණ පිරිසක් ඊයේ (25) දිනයේදී ද නැවත හරවා යැවීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කළා ෴

+++++++++++++++++++

(26.07.2021 – 09:52 +0530 – hirunews.lk/sinhala)

අද (26) දිනය තුළදීත් දිවයින කොවිඩ් මර්දන එන්නත්කරන වැඩසටහන ක්‍රියාත්මකවන බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.

[ ඒ අනුව ඔබට එන්නත් ලබාගත හැකි ස්ථාන පිළිබඳව තොරතුරු මෙතැනින් ]

මේ අතර රට තුළ එන්නත්කරණය සාර්ථකව සිදුකෙරුණ ද ප්‍රමුඛතාව ලබාදීමේ ගැටළු තවමත් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරනවා.

එක් එක් එන්නත් වර්ග පළාත් මට්ටමින් බෙදාදීම වෙනුවට ලෝක ප්‍රවණතාවන්ට අනුකූලව එන්නත්කරණය සුදුසු බව එම සංගමයේ මතයයි.

ලොව අනෙකුත් රටවල් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව සුදුසු එන්නත් තෝරා ගනිද්දී අප එය නොසලකා, ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ දත්ත නොමැති එන්නත්, හදිසියේ අනුමත කර ගැනීමට යොමුවීම පිළිබඳව ද ගැටළු පවතින බවයි විශේෂ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ ෴

++++++++++++++++++++++

2021 සාමාන්‍ය පෙළ විභාගය, ලබන වසරේ පෙබරවාරි 21 සිට

(26.07.2021 – 10:52 +0530 – hirunews.lk/sinhala)

මෙම වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මේ වසර සඳහා නියමිත සාමාන්‍ය පෙළ විභාගය, ලබන වසරේ (2022) පෙබරවාරි 21 සිට මාර්තු 03 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴

++++++++++++++++++++++

(26.07.2021 – 13:04 +0530 – hirunews.lk/sinhala)

තවත් ෆයිසර් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා 90,000 ක් අද (26) අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.

ඒ සමඟ මෙරටට මේ දක්වා ගෙන්වා ඇති ෆයිසර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව දෙලක්ෂ හාර දහසක් (2,04,000).

කටුනායක ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ කටාර් ගුවන් සේවයට අයත් යානයකින් අද (26) අලුයම එන්නත් මාත්‍රා 90,000 ක් දිවයිනට රැගෙන එනු ලැබූ බවයි.

අදාළ එන්නත් තොගය ගුවන් තොටුපලේ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණවල තැන්පත් කිරීමෙන් පසුව නාරාහේන්පිට පිහිටි ජාතික රුධිර මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් තිබෙනවා.

මේ වනවිට දිවයිනට ගෙන් වූ ෆයිසර් එන්නත් මාත්‍රා 1,13,967 දෙනෙකුට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

කොරෝනා ප්‍රතිශක්තීකරණ වැඩසටහනට අදාළව ඊයේ (25) දිනයේදී පුද්ගලයින් තුන්ලක්ෂ විසිදහස් දෙසිය හැත්තෑ දෙදෙනෙකුට (3,20,272) කොරෝනා එන්නත් ලබාදී තිබෙනවා.

ඒ අනුව, සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් සංඛ්‍යාව දෙලක්ෂ හැත්තෑ එක්දහස් හාරසිය දෙකක් (2,71,402) වන අතර එහි දෙවන මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව එකොලොස් දහස් හාරසිය අසූපහක් (11,485).

මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව ඊයේ (25) දිනයේදී පුද්ගලයින් 37,385 ක් ලබා ගත් බව වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව, මෙරට කොරෝනා එන්නත් එක් (1) මාත්‍රාවක් හෝ ලැබූ සංඛ්‍යාව හැත්තෑහතර ලක්ෂය (74,00,000) ඉක්මවනවා.

මාත්‍රා දෙකම (2) සහිත පූර්ණ එන්නත්කරණය ලැබූ සංඛ්‍යාව දහඅට ලක්ෂයකට (18,00,000) අධිකයි.

මේ අතර, දිවයිනේ ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් 77% කට මේ වනවිට කොරෝනා මර්දන එන්නත් ලබාදී අවසන් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරීස් මහතා ප්‍රකාශ කළා.

හෙට (27) දිනයේදී චීනය විසින් මෙරටට පරිත්‍යාග කරන ලද තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16 ක් දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

එම තොගය ලැබීමත් සමඟ මෙරටට රැගෙනවිත් තිබෙන සමස්ත සයිනොෆාම් එන්නත් මාත්‍රා සංඛ්‍යාව කෝටිය (1,00,00,000) ඉක්මවා යෑමද විශේෂත්වයක් වනවා.

තවත් කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ 1405 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 269,007 ක් දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *