ව්‍යාජ හැඳුනුම්පත් සහ ලිපි ලේඛන සැකසූ ස්ථානයක් වේවැල්දූව ප්‍රදේශයෙන් වටලයි

ව්‍යාජ හැඳුනුම්පත් සහ ලිපි ලේඛන සැකසූ ස්ථානයක් වේවැල්දූව ප්‍රදේශයෙන් වටලයි

*********************************************

ව්‍යාජ හැඳුනුම්පත් සහ ලිපි ලේඛන සැකසූ ස්ථානයක් වේවැල්දූව ප්‍රදේශයෙන් වටලයි

(26.07.2021 – 06:59 +0530 – hirunews.lk/sinhala)

කිරිබත්ගොඩ, වේවැල්දූව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ හැඳුනුම්පත් සහ ලිපි ලේඛන සකසන ස්ථානයක් ඊයේ (25) වටලා තිබෙනවා.

කිරිබත්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී 66 හැවිරිදි වියේ පසුවන අයෙක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එහිදී ව්‍යාජ ලෙස සකසන ලද හැඳුනුම්පත් 05 ක්, රියදුරු බලපත්‍රයක්, ව්‍යාජ ලිපි ලේඛන සැකසීමට යොදාගන්නා අමුද්‍රව්‍ය ඇතුළු තවත් උපකරණ රැසක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (26) දින මහර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

******************************************

වත්තල සහ ගම්පොල – ඇත්ගාලේ ප්‍රදේශ කිහිපයක අද ජල සැපයුම අත්හිටුවයි

(26.07.2021 – 07:46 +0530 – hirunews.lk/sinhala)

අද (26) උදෑසන 10 සිට පැය 24 ක කාලයක් වත්තල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළා.

එලෙස ජල සැපයුම අත්හිටුවන්නේ වත්තල – මීගමුව පාරේ කොටසකට, මාබෝල ප්‍රදේශයේ කොටසකට මෙන්ම වැලිකඩමුල්ල, හැඳල පාර – නායකකන්ද හන්දිය දක්වා සියලුම අතුරු මාර්ගවලට ද සහ අල්විස් ටවුම ප්‍රදේශයටයි.

එසේම මරදාන පාර, පුවක්වත්ත පාර, ගලහදූව සහ කෙරවලපිටියේ කොටසකටද ජල සැපයුම අත්හිටුවනු ඇති.

එසේම අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (26) පැය 9 ක කාලයක් ගම්පොල – ඇත්ගාල පොම්පාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ අනුව අද (26) පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ ඇත්ගාල නැගෙනහිර, ඇත්ගාල – සිංහපුර, ආරාම පාර, ලක්ෂ පිහිල්ල, පළවන හා, දෙවන පටුමඟ, බංගලාව පාර, ජයමාලපුර, රීජන්සි ටෙරස් සහ ජයමාලපුර 6 වන පටුමගේ ඉහළ කොටසටයි ෴

******************************************

(26.07.2021 – 07:54 +0530 – hirunews.lk/sinhala)

ගිනි ගැනීමට ලක්ව මුහුදුබත් වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ හිමිකාර සමාගම සහ රක්ෂණ සමාගමෙන් මෙරට ලැබීමට නියමිත වන්දි මුදලෙන් අහිමි වූ ඩොලර් මිලියන 18 ඉදිරියේදී ලැබීමට නියමිත බව වාර්තා වනවා.

වන්දි ලෙස ලැබීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 40 න් මිලියන 18 ක් මෙරටට ලැබීම අහිමිවූයේ වියදම් ඇස්තමේන්තු කිරීම්වලදී සිදුවූ අත්වැරදීමකින් බවයි මීට පෙර සඳහන් වූයේ.

කෙසේ වෙතත් අදාළ මුදල කිසිදු කප්පාදුවකින් තොරව ලැබීමට නියමිත බව සඳහන් ෴

******************************************

ලීටර 18 ගෑස් සිලින්ඩරය විවිධ මිල ගණන්වලට අලෙවි වෙන්නේ මෙහෙමයි

(26.07.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

ලීටර 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,150 කට අලෙවි කිරීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ (26) නිකුත් කළා.

ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින්.

ඒ අනුව ඊයේ (25) සිට බලපැවැත්වෙන පරිදි ලීටර 18 එනම් කිලෝග්‍රෑම් 9.6 ක බරින් යුත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල කොළඹ දිස්ත්‍රික්කය සඳහා රුපියල් 1,150 ක් ලෙස දක්වා තිබෙනවා.

පාරිභෝගික අධිකාරිය මගින් නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් උපරිම මිලට වැඩියෙන් සිල්ලර හෝ තොග වශයෙන් ගෑස් අලෙවිකිරීම, වෙළඳාම් කිරීම සඳහා බෙදාහැරීම හෝ ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවයි පාරිභෝගික අධිකාරිය දැනුම් දෙන්නේ.

එමෙන්ම ඒවායේ බර කිලෝග්‍රෑම්වලින් ගෑස් සිලින්ඩරවල පෙනෙන ස්ථානයක සඳහන් කිරීම අනිවාර්ය කරමින්ද පාරිභෝගික අධිකාරිය ඊයේ (25) තවත් ගැසට් නිවේදනයක් නිකුත් කළා.

කෙසේ වෙතත් දිස්ත්‍රික් මට්ටමින් පහත මිල ගණන්වලට මෙම ගෑස් සිලින්ඩරය අලෙවි කළ හැකි වනවා :

******************************************

(00.07.2021 – 07:23 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ රැඳී සිටි 16 හැවිරිදි දැරිය පිළිස්සී මියයෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අද (26) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

++++++++++

බදියුදීන්ගේ නිවසේදී දැරියක් මියයෑමේ සිද්ධියේ විමර්ශන ගැන පොලීසියෙන් නිවේදනයක්

(25.07.2021 – 18:54 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ දී පිළිස්සීම් තුවාල ලබා පසුගිය දා මියගිය දැරියගේ සිද්ධියට අදාළ විමර්ශන සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

සිද්ධිය වාර්තා වූ මුල් අවස්ථාවේදී විමර්ශන ආරම්භ කළ බවත් එහිදී ඇතිවු තත්ත්වයන් පිළිබඳවත් ඉන් පැහැදිලි කර ඇත.

එම නිවේදනය පහතින් :

සැලකියයුතුයි : නඩුව නැවත කැඳවන දිනය 2021.07.28 ලෙස සඳහන් වුවද එය 2021.07.26 වන හෙට දිනය බවට නිවැරදි විය යුතු බවට යළි නිවැරදි කිරීමක් සිදුකරමින් පොලිස් මූලස්ථානය දන්වා සිටී.

******************************************

ටෙලි නිළි උපේක්ෂා ස්වර්ණමාලි (පබා) අත්අඩංගුවට

(26.07.2021 – ada.lk)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනීයක් මෙන්ම රංගන ශිල්පිනියක්ද වන උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය රිය අනතුරක් සිදු කිරීමක් සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය 24 දින රාත්‍රී 11 ට පමණ මහනුවර දිසාවේ සිට කුරුණෑගල දිසාව දෙසට ගමන් කරමින් සිටියදී කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ නුගවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය කියයි .

අනතුරින් තුවාල ලැබූ 18 හැවිරිදි තරුණයෙකු පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ බව ද පොලීසිය කියයි.

ඇය බීමතින් සිට ඇද්දැයි අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ම ස්වසන පරීක්ෂණයට ලක් කොට ඇති අතර ඇය බීමතින් නොසිටි බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය ෴

උපේක්ෂා ස්වර්ණමාලි පොලිස් ඇප මත මුදා හරී

(26.07.2021 – ada.lk)

රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී සහ රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගෙන තිබේ .

පොලිස් ප්‍රකාශකයකු පවසා සිටියේ උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය ඇප මත මුදා හැරියත් ඇය පැදවූ මෝටර් රථය අත් අඩංගුවේ පසුවෙන බවත් මෝටර් රථ පරීක්ෂක වරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය මුදා හැරීමට පියවර ගන්නා බවත් ය.

කටුගස්තොට පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී සේනාරත්න මහතා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි ෴

******************************************

අගමැති මහින්දගේ සම්බන්ධීකරණ ලේකම් කෞෂී වෙඩික්කාර ආරච්චි මහත්මිය තනතුරෙන් ඉවත් කෙරේ!

(26.07.2021 – 05:37 +0530 – lankaleadnews.com)

මහත් ආන්දෝලනයට තුඩුදුන් දැනට සති කිහිපයකට පෙර අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ නිලධාරිනියක් ලෙස පත් කරන ලද කෞෂි වෙඩිකාරආරච්චි මහත්මිය එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඇයගේ පත්වීමට අදාල ලිපිය අග්‍රමාත්‍ය කාර්යාලය විසින් ආපසු කැඳවා ඇති ඇති බවද වාර්තාවේ.

ඇයගේ පත්වීම සම්බන්ධයෙන් අගමැති කාර්ය මණ්ඩලයේ පිරිසක් නොසතුට පල කර ඇති බව සමාජ මාධ්‍යය ජාලා වාර්තා කර තිබූ අතර එම පත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලය අතර නිසි සම්බන්ධීකරණයක් සහ අවබෝධයක් නොතිබීම මත ඇයව අදාල දූරයට පත් කර ඇති බව තතු දත් ආරංචි මාර්ග පවසයි ෴

@@@@@@@@@@@@@@@@

(26.07.2021 – 06:16 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල පොලිස් බල ප්‍රදේශයේ මලවිට ග්‍රාම නිලධාරී වසමේ ගෝලින්ද වත්ත 03 වන කොටස, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම පොලිස් බල ප්‍රදේශයේ පරගල ග්‍රාම නිලධාරී වසම සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ පරණ කොලනිය ග්‍රාම නිලධාරී වසමේ දිවිතුරුවත්ත අද (26) උදෑසන හයේ (6) සිට හුදෙකලාභාවයෙන් නිදහස් කර තිබෙනවා.

එමෙන්ම, මුලතිව් දිස්ත්‍රික්කයේ නයාරු පොලිස් බල ප්‍රදේශයේ චෙම්මාලි නැගෙනහිර නයාරු ධීවර කොටස, මොණරාගල දිස්ත්‍රික්කයේ මොණරාගල පොලිස් බල ප්‍රදේශයේ හිඳිකිවුල ග්‍රාම නිලධාරී වසමේ නක්කලවත්ත ගම්මානය සහ මිල්ලකැලේවත්ත ගම්මානයද හුදෙකලාභාවයෙන් නිදහස් කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

+++++++++++++++++

(26.07.2021 – 06:48 +0530 – hirunews.lk/sinhala)

තවත් ෆයිසර් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා 90,000 ක් අද (26) අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.

කටුනායක ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ කටාර් ගුවන් සේවයට අයත් යානයකින් එම එන්නත් තොගය දිවයිනට රැගෙන එනු ලැබූ බවයි.

අදාළ එන්නත් තොගය ගුවන් තොටුපලේ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණවල තැන්පත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන විත් තිබෙනවා.

ඒ අනුව මේ වනවිට දිවයිනට රැගෙනවිත් ඇති සමස්ත ෆයිසර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව දෙලක්ෂ හාර දහසක් (2,04,000) ෴

++++++++++++++++++

(26.07.2021 – 08:22 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා ලිහිල් කිරීමේදී කටයුතු කර ඇති ආකාරය පිළිබඳව යළි සලකා බැලිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය ඉදිරි මාසය තුළ මෙරට ප්‍රධානම වෛරස් ප්‍රභේදය බවට පත්වීමේ අවදානමක් පවතින බවයි.

පිරිස් ඒකරාශීවීමේ සංඛ්‍යාව අවම වශයෙන් 50 ත් 60 ත් අතර සීමාවේ හෝ සුදුසු පරිදි දැනට වඩා අඩු මට්ටමකින් පවත්වාගෙන යා යුතු බවටයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය යෝජනා කරන්නේ.

එමෙන්ම රට තුළ එන්නත්කරණය සාර්ථකව සිදු කෙරුණ ද ප්‍රමුඛතාව ලබාදීමේ ගැටළු තවමත් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කළා.

එක් එක් එන්නත් වර්ග පළාත් මට්ටමින් බෙදාදීම වෙනුවට ලෝක ප්‍රවණතාවන්ට අනුකූලව එන්නත්කරණය සුදුසු බව එම සංගමයේ මතයයි.

ලොව අනෙකුත් රටවල් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව සුදුසු එන්නත් තෝරා ගනිද්දී අප එය නොසලකා, ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ දත්ත නොමැති එන්නත්, හදිසියේ අනුමත කර ගැනීමට යොමුවීම පිළිබඳව ද ගැටළු පවතින බවයි විශේෂ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

තවත් ආසාදිතයන් 1,666 ඊයේ (25) දිනයේ අලුතින් හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 296,516 ලෙසයි.

ඉන් 1,656 දෙනෙකු අලුත් අවුරුදු කොරෝනා පොකුරේ ආසාදිතයින් වන අතර, දස (10) දෙනෙකු විදේශයන් හි සිට පැමිණ නිරෝධායනයට ලක්වන්නන්.

පසුගිය 24 වැනිදා සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 45 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (25) තහවුරු කළ අතර, ඒ අනුව මෙරට මුළු මරණ සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 4,099 ක් ලෙසයි.

මේ අතර, 2020 උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීම සඳහා අද (26) සිට 30 වනදා දක්වා යළි අවස්ථාව ලබාදී තිබෙනවා.

අද (26) සිට දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු සියළුම සත්වෝද්‍යාන සහ වනෝද්‍යාන සංචාරකයින්ට විවෘත වනවා.

ඒවාට ඇතුළුවීමේදී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කර ඇති බවට වාර්තා පළවුවත්, එවැනි තීරණයක් ගෙන නොමැති බවයි අප කළ විමසීමකදී වනජීවී රැකවරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා කියා සිටියේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *