අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගෙන් ගුරු හා විදුහල්පතිවරුන්ට ආයාචනයක්

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගෙන් ගුරු හා විදුහල්පතිවරුන්ට ආයාචනයක්

*********************************************

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගෙන් ගුරු හා විදුහල්පතිවරුන්ට ආයාචනයක්

(25.07.2021 – 15:56 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතා මුල් කරගනිමින් ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත්වී සිටින ගුරු සහ විදුහල්පතිවරුන්ට පිළිගත හැකි විසඳුමක් ඉදිරියේදී ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරා මහතා ප්‍රකාශ කළා.

එබැවින් වර්ජනය අවසන් කර, සිසුන්ට ඉගැන්වීමේ කටයුතු සිදුකරන ලෙසයි හොරණදී අද (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යාංශ ලේකම්වරයා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ.

******************************************

(25.07.2021 – 15:08 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – වඳුරඹ – ඉහළ කිහිඹිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී 23 හැවිරිදි එක්දරු පියෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (24) පස්වරුවේ මියගිය පුද්ගලයා පදිංචිව සිටි නිවසට පැමිණ හතර (4) දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම පහරදීම සිදුකර ප්‍රදේශයෙන් පලාගොස් තිබුණා.

කෙසේ වෙතත් පොලිසිය කරන ලද විමර්ශනයකින් අනතුරුව ප්‍රධාන සැකකරු අද (25) අත්අඩංගුවට ගෙන ඇති අතර, පලාගිය සෙසු සැකකරුවන් සොයා තවදුරටත් විමර්ශන සිදු කරනවා. මුදල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවටයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ ෴

******************************************

(25.07.2021 – 15:12 +0530 – hirunews.lk/sinhala)

කැකිරාව – ඇළගමුව ඩී තුන ප්‍රදේශයේ අනවසර ඉඩම් අත්පත් කරගැනීමක් වැළැක්වීමට ගිය මහවැලි අධිකාරියේ නිලධාරියෙකුට කිසියම් පිරිසක් පහරදී තිබෙනවා.

ඊයේ (24) මෙලෙස පහරකා මේ වනවිට කැකිරාව දිසා රෝහලේ ප්‍රතිකාර ලබන්නේ මහවැලි අධිකාරියේ මඩාටුගම කොට්ඨාස කාර්යාලයට අනුයුක්තව සේවය කරන කළමනාකාරවරයෙක්.

මෙම පුද්ගලයාට පහරදුන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ ෴

******************************************

(25.07.2021 – 15:58 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – ගල්වඩුගොඩ ප්‍රදේශයේ ඉඩමක තිබී කාන්තාවකගේ මළසිරුරක් අද (25) සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මඩපාතල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (24) දහවල් ඇය නිවසින් පිටත්ව ගොස් ඇති අතර, ප්‍රදේශවාසීන් පොලිසියට කළ දැනුම්දීමක් මත මෙම සිරුර සොයාගෙන ඇති බව සඳහන් ෴

******************************************

(25.07.2021 – 16:56 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී දැරියක් මියයාමේ සිද්ධියට විරෝධය පළ කරමින් සහ ඇයට සාධාරණය ඉල්ලා අදත් (25) විරෝධතා පැවැත්වුණා.

තලවකැලේ සහ කොටගල නගරවලද මෙවැනි විරෝධතා සංවිධාන කර තිබූ අතර, ඊට වතු කම්කරුවන් මෙන්ම වතු වෘත්තිය සමිතිවල නියෝජිතයින් විශාල පිරිසක් ද එක්ව සිටියා.

එමෙන්ම වතුකරය නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක් අද (25) මාධ්‍ය හමු කැඳවමින් මෙම සිද්ධිය පිළිබඳව අදහස් පළ කළා.

කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වතු නිවාස හා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ප්‍රකාශ කළේ වතු ආශ්‍රිත ළමයින් මෙහෙකාර සේවයේ යෙදවීමට නොහැකිවන පරිදි කම්කරු ආඥා පනත ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවයි.

කෙසේ වෙතත් මෙවැනි සිද්ධීන්වලට අතීතයේ සිට වතුකරය නියෝජනය කළ සියලු දේශපාලනඥයින් වගකිව යුතු බවයි මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් කඳුරට ගුරු පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් ලේකම් ශෂි කුමාර් පෙන්වා දුන්නේ ෴

(25.07.2021 – 19:18 +0530 – hirunews.lk/sinhala)

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අද (25) පළමු වරට රිෂාඩ් බදීයුදීන් මන්ත්‍රීවරයාගේ බොරැල්ලේ පිහිටි නිවස පරීක්ෂාවට ලක්කළා.

එහිදි ලබාගත් තොරතුරු හෙට (26) අධිකරණයට ඉදිරිපත් කරන බවයි ඔහු සදහන් කළේ.

දැරිය පිලිස්සී මියගිය, මන්ත්‍රීවරයාගේ නිවසේ තිබි භූමිතෙල් බෝතලයක්, ලයිටරයක් සහ පිළිස්සුණු පාවහන් යුගලයක් සම්බන්ධයෙන්ද පොලිසීයේ දැඩි අවධානය යොමුව තිබෙනවා.

මෙම සාක්ෂි හමුවී ඇත්තේ අදාල දැරිය පිළිස්සි අනතුරට පත්වීමෙන් දින 20 කට අධික කාලයක් ගතවීමෙන් අනතුරුවයි. එතරම් කාලයක් අදාල නිවසේ තිබු එම නඩු භාණ්ඩ මුලික විමර්ශණ සිදුකළ නිලධාරින්ට හමුව නොතීබිම ද විශේෂත්වයක්.

මේ අතර, හිෂාලිනි දැරිය පිලිස්සුම් තුවාල ලබා රෝහල්ගත කරන විටත් ඇගේ සිරුරෙන් සියයට 75 ක පමණ ප්‍රමාණයක් පිලිස්සී තිබු බැවින් ඇයගෙන් කටඋත්තරයක් ලබාගැනීමට නොහැකිවු බවටයි මූලික විමර්ශණ සිදුකළ පොලිස් නිලධාරීන් පවසන්නේ.

කෙසේ වෙතත් පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ දැරිය තමන් විසින් ගිනිතබා ගත් බව පමණක් වෛද්‍යවරුන් වෙත ප්‍රකාශ කර ඇති බවයි.

පසුගිය තුන්වෙනිදා (03) පෙරවරු 06:50 ට පමණ ඇය පිලිස්සී ඇති බවට තොරතුරු අනාවරණ වු නමුත් නිවැසියන් ඇය රෝහල් ගත කර තිබුණේ එදින පෙරවරු 11:20 ට පමණ බවයි වාර්තා වන්නේ.

රෝහල් පොලිසිය විසින් ඒ පිළිබදව දහවල් 12 පමණ වන විට බොරැල්ල පොලිසියට පැමිණිලි කර තිබූ බව සඳහන්.

මේ අතර, සිද්ධියට අදාලව පොලිස් භාරයේ රඳවා සිටින සැකකරුවන් සිව්දෙනා හෙට (26) යළි අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදීයුදීන් සම්බන්ධයෙන් ද එහිදි අධිකරණයට කරුණු දැක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

+++++++++++

(25.07.2021 – 20:24 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී පිලිස්සී මියගිය දැරිය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

******************************************

(25.07.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala)

13 හැවිරිදි බාලවයස්කාර දැරියක්, අත් දම්වැලකින් බැඳ කුකුල් කූඩුවක සිර කර, කෲරත්වයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇගේ නැන්දණිය සහ පියා ලබන මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

නොරොච්චොලේ – ආලංකුඩාව ප්‍රදේශයේ පදිංචි මෙම දැරියගේ මව ඇයව හදාවඩාගැනීම සඳහා සැකකාරිය වෙත භාරදී තිබෙනවා.

කෑමබීම නොමැතිව කුසගින්නේ සිටි දැරිය දම්වැල් කඩාගෙන අසළ නිවසකට ගොස් ආහාර ඉල්ලූ අවස්ථාවේ එම නිවැසියන් පොලිසියට ලබාදුන් තොරතුරු අනුව සැකකරුවන් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වනවිට මෙම දැරිය පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඇගේ සිරුරෙහි පිළිස්සුම් තුවාල දක්නට ලැබෙන බවයි රෝහල් ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

+++++++++

දැඩි වධ හිංසාවන්ට ලක්වී කුකුල් කූඩුවක සිරකර සිටියදී සොයාගත් දැරියගේ මව සොයා පොලිස් විමර්ශන

(25.07.2021 – 19:20 +0530 – sinhala.adaderana.lk)

නොරොච්චෝල, ආලංකුඩාවේ පදිංචි 14 හැවිරිදි දැරියක් වසර දෙකක් (2) පුරා පිළිස්සීම් ඇතුළු දරුණු වධ හිංසනයන්ට ලක්කළ ඇයගේ නැන්දණිය හා දැරියගේ පියා නොරොච්චෝල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැරිය‍ගේ නැන්දණිය ලබන 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, දැරියගේ පියා ශරීර ඇප මත මුදා හැරුණි.

නොරොච්චෝල, ආලංකුඩාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මීට වසර 13 කට පෙර අවුරුද්දක් (1) වයසැති සිය දියණිය දේවාලයක් පවත්වාගෙන යන තම සහෝදරියකට ලබාදී තිබුණේ හදා වඩා ගැනීම සඳහාය.

කෙසේවෙතත්, දැරියට පාසල් අධ්‍යාපනය පවා ලබානොදෙමින් නැන්දණිය විසින් වසර 2 ක පමණ කාලයක් ඇයව දරුණු වධ හිංසනයන්ට නිරන්තරයෙන් ලක්කර තිබුණි.

වයස අවුරුදු 14 ක් වන එම දැරියව වධ හිංසනයට ලක්කර, දම්වැලකින් බැඳ, කුකුල් කූඩුවක සිරකර ඇති බවට ලැබුණු තොරතුරකට අනුව නොරොච්චෝල පොලීසිය පසුගිය සිකුරාදා ඇය සොයා ගනු ලැබීය.

දුර්වල සෞඛ්‍ය තත්ත්වයක පසුවීම හා සිදුවී තිබූ තුවාල හේතුවෙන් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කෙරුණු දැරියට රුධිරය ලබා දීමටද රෝහල් වෛද්‍යවරුන් කටයුතු කර තිබුණි.

පොලීසිය සඳහන් කළේ, දැරියගේ සිරුර පුරා දරුණු පිලිස්සීම් තුවාල සහ හිසේ ස්ථාන කිහිපයකම දරුණු මට්ටමේ තුවාල නිරීක්ෂණය වූ බවය.

එමෙන්ම නිසි ලෙස ආහාර පවා නොලැබූ ඇය අසල්වැසි නිවෙස්වලින් ආහාර සොරාගැනීම හේතුවෙන් ද විවිධ පහරකෑම්වලට ලක්ව තිබුණි.

කෙසේවෙතත් තමන්ට මුහුණ පෑමට සිදුවූ මෙම වධ හිංසනයන් පිළිබඳව දැරිය දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයකි.

“කවුරුත් ගැහුවේ නෑ. මුකුත් වුණේ නෑ. කවුරුත් බය කළේ නෑ. මේ තුවාල කම්බියට සීරිච්ච ඒවා.”

පොලීසිය සඳහන් කළේ, දැරියගේ සත්කාර කටයුතු වෙනුවෙන් රෝහලට පැමිණ සිටි මිත්තණිය ද අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇති බවය.

පොලීසිය සඳහන් කළේ, දැරියට නොසළකා හැරීම යන චෝදනාව මත මවද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවය.

https://www.youtube.com/watch?v=sqK8AaI3IXo#t=5

******************************************

(25.07.2021 – 19:42 +0530 – hirunews.lk/sinhala)

මෙවර යල කන්නයේ වී අස්වැන්න සැලකිය යුතු මට්ටමකින් පහළ බැස ඇති බව ගොවීන් චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙවර තමන් වගා කළේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් බෙදා දුන් බීජ විශේෂයක් බවයි.

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල සහ විල්ගමුව ආදී ප්‍රදේශවල යල කන්නයේ වී අස්වනු නෙලීම මේ දිනවල සිදුකෙරෙන අතර ඔවුන් ද පවසන්නේ සිය අස්වැන්න මෙවර පහළ බැස ඇති බවයි.

පණුවන්, දළඹුවන්, කීඩෑවන් ඇතුළු කෘමීන්ගේ ග්‍රහණයට නතුවීම හේතුවෙන් සිය අස්වැන්නට විශාල හානියක් සිදුව ඇති බව ද ගොවීන් ප්‍රකාශ කළා.

විල්ගමුව සහ ලග්ගල ප්‍රදේශවල ගොවීන් සිය ගොවිතැන් කටයුතු මෙවර සිදුකර ඇත්තේ කාබනික පොහොර භාවිතයෙන්. කෙසේ වෙතත් ඉන් සාර්ථක අස්වැන්නක් ලබා ගන්නා ආකාරය පිළිබද තමන් දැනුවත් කර නොමැති බවයි ගොවීන් චෝදනා කරන්නේ.

******************************************

(25.07.2021 – 19:54 +0530 – hirunews.lk/sinhala)

අද (25) සිට බලපැවැත්වෙන පරිදි ලීටර් 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම මිල රුපියල් 1150 ක් ලෙස මිල නියම කිරීමේ ගැසට් නිවේදනය නිකුත් වී තිබෙනවා ෴

******************************************

(25.07.2021 – 20:48 +0530 – hirunews.lk/sinhala)

අද (25) ‘හාර්ඩ් ටෝක්’ තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා ගෙන් :

@@@@@@@@@@@@@@@

(25.07.2021 – 15:22 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 937 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 267,602 ක්.

එමෙන්ම මෙරටින් වාර්තාවන ඩෙල්ටා ආසාදිතයන් 68 දෙනාට වඩා වැඩි පිරිසක් සමාජය තුළ සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

ඒ හේතුවෙන් නිසි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළහොත් රට තුළ හතරවන (4) කොරෝනා රැල්ලක් ආරම්භ විය හැකි බවයි ඔහු කියා සිටියේ ෴

++++++++++++++++++++++

(25.07.2021 – 17:26 +0530 – hirunews.lk/sinhala)

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පැන ගිය කොරෝනා ආසාදිතයෙකු නාවලපිටිය කුරුදුවත්ත පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

මෙම ආසාදිතයාව නැවත නාවලපිටිය මහ රෝහල වෙත භාර දුන් බවයි නාවලපිටිය කුරුදුවත්ත පොලිසියෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ.

මොහු නාවලපිටිය කුරුදුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන වයස අවුරුදු 31 හැවිරිදි පුද්ගලයෙකු බවටයි වාර්තා වන්නේ.

ආසාදිතයාගේ රෝගී තත්ත්වය උත්සන්න විම හේතුවෙන් ඔහු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකට ඇතුලත් කිරිමෙන් පසු (25) දින උදෑසන එම වාට්ටුවෙන් පැන ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරුව ආසාදිතයා බස් රථයකින් තම නිවස කරා යමින් සිටියදී කුරුදුවත්ත මේරිවල පොලිස් මුරපොලේදි අල්ලා ගිලන් රථයක් මගින් යළිත් නාවලපිටිය රෝහලට යොමු කර තිබෙනවා.

එමෙන්ම ඔහු ගමන් ගත් බස් රථයේ සමීපතම ආශ්‍රිතයන් කිහිප දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවටයි වාර්තා වන්නේ ෴

+++++++++++++++++++++

(25.07.2021 – 17:45 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1190 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 296,040 ක් ලෙසටයි.

එමෙන්ම කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 937 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 267,602 ක් ෴

++++++++++++++++++++++

(25.07.2021 – 19:23 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 45 ක් මෙරටින් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 4099 ක් ඉක්මවා ගොස් තිබෙනවා.

++++++++++++++++++++

(25.07.2021 – 19:39 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී කොරෝනා ආසාදිත ගුරු පොකුරක් වාර්තා විය හැකි බවට ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අනතුරු අගවනවා.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මේ දක්වා එන්නත්කරණයට ලක් කළ කිසිදු ගුරුවරයෙකු තුළ කොරෝනා ප්‍රතිශක්තීකරණය ගොඩනැගී නොමැති බවයි.

මේ අතර කොරෝනා ආසාදිතව මිය ගිය බහුතරය එන්නත් ලබාගෙන නොමැති බව ගත වූ සති 3 ක කාලය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ දත්ත විශ්ලේෂණයේදී අනාවරණ වී තිබෙනවා.

නිවැරදිව ආසාදිතයින් හා ප්‍රභේද හදුනා ගැනීමේ පරීක්ෂණ සිදුනොකරන පසුබිමක් තුළ තවත් කොරෝනා රැල්ලක් ඇතිවිය හැකි බව වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කළා.

මේ අතර අලුත්ගම – කළුවාමෝදර, මුල්ලපිටිය, හෙට්ටිමුල්ල, මොරගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් 143 දෙනෙකුට සිදුකළ අහඹු කොරෝනා පරීක්ෂණයකින් ආසාදිතයන් 47 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයෙන් අද (25) උදෑසන පලාගිය ආසාදිතයෙකු නාවලපිටිය – මෙරිවිල හන්දිය ප්‍රදේශයේදී පොලිසිය විසින් සොයාගෙන යළි රෝහල් ගතකිරීමට පියවර ගැනුනා. ඒ, අදාළ ආසාදිතයා මාර්ගයේ ගමන් කරමින් සිටියදියි.

++++++++++++++++++

(25.07.2021 – 19:41 +0530 – hirunews.lk/sinhala)

හෙට (26) සිට දෙහිවල ඇතුළු සියළුම සත්වෝද්‍යාන සහ වනෝද්‍යාන සංචාරකයින්ට විවෘතව පවතිනවා.

ඒවාට ඇතුලුවීමේදී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කර ඇති බවට වාර්තා පළවුවත්, එවැනි තීරණයක් ගෙන නොමැති බවයි අප කළ විමසීමකදී වනජීවී රැකවරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා කියා සිටියේ ෴

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 466 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (25) දිනයේ මෙරටින් වාර්තා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1656 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *