දැරිය මියයාම ගැන රිෂාඩ්ගේ පක්ෂයෙන් ප්‍රකාශයක් – නිවසින් හමුවූ භූමිතෙල් බෝතලය සහ ලයිටරය ගැන පුළුල් විමර්ශන

දැරිය මියයාම ගැන රිෂාඩ්ගේ පක්ෂයෙන් ප්‍රකාශයක් – නිවසින් හමුවූ භූමිතෙල් බෝතලය සහ ලයිටරය ගැන පුළුල් විමර්ශන

*********************************************

දැරිය මියයාම ගැන රිෂාඩ්ගේ පක්ෂයෙන් ප්‍රකාශයක් – නිවසින් හමුවූ භූමිතෙල් බෝතලය සහ ලයිටරය ගැන පුළුල් විමර්ශන

(25.07.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී දැරියක් පිළිස්සී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 30 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඒ අතර මන්ත්‍රීවරයාගේ නිවසේ සිටි සහ නිවසට පැමිණි පුද්ගලයින් ද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මේ අතර දැරිය පිළිස්සී මියගිය රිෂාඩ් බදියුදීන්ගේ බොරැල්ලේ පිහිටි නිවස ඊයේ (24) දිනයේදී යළි පරීක්ෂාවට ලක් කරන අවස්ථාවේදී හමුවූ භූමිතෙල් බෝතලයක් සහ ලයිටරය සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයක් සිදුකරන බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු කියා සිටියා.

දැරිය මියයාම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිස් කණ්ඩායමක් ඇයගේ නිවස පිහිටි ඩයගම ප්‍රදේශයට අද (25) පෙරවරුවේ පිටත්ව යාමට නියමිතව තිබුණත් රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුලු පිරිසගෙන් ප්‍රකාශ ලබාගැනීම හේතුවෙන් එය කල් දමා තිබෙනවා.

ඒ අනුව එම පොලිස් කණ්ඩායම අද (25) පස්වරුවේ හෝ හෙට (26) දිනයේ එම ප්‍රදේශය වෙත යාමටයි සැලසුම් කර ඇත්තේ.

දැරිය මියයාමේ සිද්ධියට අදාළව රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ, බිරිඳගේ පියා, සොහොයුරා සහ තැරැව්කරුවා අත්අඩංගුවට ගෙන මේ වනවිට රැඳවුම් නියෝග යටතේ පොලීසිය ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටිනවා.

දැනට රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ කිරුළපන පොලීසියේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙන අතර, ඇගේ පියා, සහෝදරයා සහ තැරැව්කරු බොරැල්ල පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙන්නේ ඊයේ (24) අධිකරණය ලබාදුන් නියෝග මතයි.

දැරිය කෲරත්වයට පත් කිරීම, බාලවයස්කාර දැරියක් මෙහෙකාර සේවයේ යෙදවීම සහ බාලවයස්කාර දැරියක අලෙවි කිරීම සම්බන්ධයෙනුයි ඔවුන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා වන්නේ.

මේ අතර, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරත සිටියදී පිළිස්සී මිය ගිය හිෂාලිනී දැරියට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින් හැටන් – කොටගල ප්‍රදේශයේදී අද විරෝධතාවක් පැවැත්වුණා.

වතු කම්කරුවන් පිරිසක් විසින් මෙම විරෝධතාව සංවිධාන කර තිබූ අතර, ඔවුන් කොටගල ප්‍රාදේශීය සභා කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

******************************************

(25.07.2021 – 13:20 +0530 – hirunews.lk/sinhala)

දැනට පෞද්ගලික අංශය විසින් වැඩි වශයෙන් ආනයනය කෙරෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රාජ්‍ය සමාගමක් හරහා ඍජුවම මෙරටට ගෙන්වීමට වෙළඳ අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වනවිටත් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති බවයි වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.

වෙළදපළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම සහ පෞද්ගලික අංශය සතු ඒකාධිකාරිය බිද හෙලීම මෙහි අරමුණ බව ද අමාත්‍යවරයා සදහන් කළා.

ඒ අනුව දැනට ඈවර කිරීම සඳහා යෝජනා කර ඇති රාජ්‍ය වාණිජ සමූපකාර තොග වෙළද සමාගම යළි සක්‍රීය කර ඒ හරහා මෙම භාණ්ඩ ආනයනය කිරීමටයි තීරණය කර ඇත්තේ.

වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් කියා සිටියේ සීනි, කුකුළු මස්, පොල්තෙල්, පරිප්පු, ලූණු, අල වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය එම සමාගම හරහා ඍජුවම ආනයනය කිරීමට අපේක්ෂා කරන බවයි ෴

******************************************

(25.07.2021 – 13:25 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල – ඈගල්ල ග්‍රාම නිලධාරී වසමේ වසර ගණනාවක සිට පවත්වාගෙන යන ගල් කොරියක් හේතුවෙන් මේ වනවිට එම ප්‍රදේශය තුළ පාරිසරික හා සමාජයීය ගැටළු රැසක් මතුව ඇති බවට වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය චෝදනා කරනවා.

මෙම ගල්කොරිය පවත්වාගෙන යන්නේ පුරාවිද්‍යා වටිනාකමක් සහිත බෙලිගල ඓතිහාසික ගල්ලෙන් විහාරස්ථානයට සහ රජය සතු වනාන්තරයට මායිම්ව පවතින පෞද්ගලික යැයි පැවසෙන ඉඩමකයි.

කෙසේ වෙතත් එම ඉඩමේ මායිම්ද ඉක්මවා යමින් රජය සතු වනාන්තරයද ආක්‍රමණය කරමින් මෙම ගල් කොරිය පවත්වාගෙන යන බවට වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය චෝදනා කරනවා.

මේ සම්බන්ධයෙන් වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කළද ඔවුන් ඊට කිසිදු පියවරක් ගෙන නොමැති බවයි වේරගල ඓතිහාසික ගල්ලෙන් විහාරස්ථානයේ වැඩවසන පූජ්‍ය කහඳවැලිපොත ධම්ම සුජාත හිමියන් ප්‍රකාශ කළේ.

එමෙන්ම අදාළ ගල් කොරිය මධ්‍යම පරිසර අධිකාරිය සහ භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය විසින් නිකුත් කර ඇති කොන්දේසි පවා උල්ලංඝනය කරමින් ගල්කැඩීම සිදුකරන බවද ප්‍රදේශවාසීන් චෝදනා කරනවා ෴

******************************************

(25.07.2021 – 13:43 +0530 – hirunews.lk/sinhala)

මෙවර යල කන්නයේ වී අස්වැන්න සැලකිය යුතු මට්ටමකින් පහළ බැස ඇති බවට මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන් මැසිවිලි නගනවා.

ගොවීන් චෝදනා කරන්නේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් ලබාදුන් බීජ වගා කිරීම හේතුවෙන් මෙම ගැටලුව මතුව ඇති බවයි.

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල සහ විල්ගමුව ආදී ප්‍රදේශ වල යළ කන්නයේ වී අස්වනු නෙළීම මේ දිනවල සිදුකෙරෙන අතර සිය අස්වැන්න මෙවර සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇති බව ගොවීන් පවසනවා.

ඔවුන් පවසන්නේ තමන් වගා කළේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් බෙදා දුන් බීජ විශේෂයක් බවයි.

එමෙන්ම පණුවන්, දළඹුවන්, කීඩෑවන් ඇතුළු කෘමීන්ගේ ග්‍රහණයට නතු වීම හේතුවෙන් මෙවර අස්වැන්නට විශාල හානියක් සිදුව ඇති බවට ගොවීන් චෝදනා කරනවා.

විල්ගමුව සහ ලග්ගල ප්‍රදේශ වල ගොවීන් මෙවර ගොවිතැන් කටයුතු සිදු කර ඇත්තේ කාබනික පොහොර භාවිතයෙන්.

නමුත් එමඟින් සාර්ථක අස්වැන්නක් ලබාගන්නා ආකාරය පිළිබඳව තමන් දැනුවත් කර නැතැයි ගොවීන් පවසනවා.

මේ අතර, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයද ගොවීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නාමල් කරුණාරත්න මහතා විසින් අනාවරණයක්ද සිදු කළා.

******************************************

(25.07.2021 – 13:46 +0530 – hirunews.lk/sinhala)

මහා තැලසීමියා රෝගයෙන් පෙළෙන තම පුංචි දියණියගේ ජීවිතයට හුස්ම දෙන්න වෙරදරණ මව්පිය යුවළක් පිළිබඳ පුවතක් අපට වාර්තා වුණා. ඒ කැකිරාව – තිබ්බටුවැව ප්‍රදේශයෙන්.

කැකිරාව – තිබ්බටුවැව ප්‍රදේශයේ පදිංචි රසික බණ්ඩාර සහ නිසංසලා මදුමාලි යුවළගේ එකම දියණිය සසඳලී ගවීනා.

මේ සිඟිත්තියගේ වයස මේ වනවිට අවුරුදු තුන හමාරක් (3½).

සසඳලීට මාස හතරේදී (4) එකවරම සුදුමැලි වීම නිසා ඇගේ මව්පියන් දඹුල්ල රෝහලට ඇයව රැගෙන ගොස් පරීක්ෂාවන් රැසක් සිදුකර ඇති අතර එහිදී ඇය මහා තැලසීමියා රෝගයෙන් පෙළෙන බවට හෙළිව තිබෙනවා.

මව්බිම රැකගැනීම වෙනුවෙන් යුද වැදුණු වීරෝධාර රණවිරුවෙක් වන සසඳලීගේ පියා 2008 වර්ෂයේදී මන්නාරම ප්‍රදේශයේ පැවති දරුණු යුධ ගැටුම් හේතුවෙන් ආබාධිතව මේ වන විට සේවයෙන් ඉවත්ව සිටිනවා.

සසඳලීට සෑම මසකම රුධිරය ලබාදීමට සිදුව ඇති අතර ඇයව මෙම රෝගී තත්ත්වයෙන් මුදාගැනීම සඳහා ඇට මුදුළු බද්දයක් සිදුකළ යුතු වනවා.

ඒ සඳහා රුපියල් ලක්ෂ 70 කට වැඩි මුදලක් අවශ්‍ය බවට රෝහලෙන් නිර්දේශ කර ඇති එම මුදල අතර මාස 3 ක් වැනි කෙටි කාලයකින් සොයාගැනීම මේ මව්පියන් හමුවේ දැන් ඇති බරපතලම අභියෝගයයි.

විශ්‍රාම වැටුපෙන් පමණක් දිවි රැකගන්නා මෙම යුවළට ඉතා කෙටි කලකින් එවැනි මුදලක් සොයාගැනීම ඉතා අපහසු කාර්යයක්.

******************************************

(25.07.2021 – 13:51 +0530 – hirunews.lk/sinhala)

කන්තලේ – පේරමඩුව ගම්මානයේ පවුල් 300 කට වැඩි ප්‍රමාණයක් ජීවත් වන අතර ඉන් පවුල් 150 කට වැඩි ප්‍රමාණයක් මාස 3 කට අධික කාලයක සිට පානීය ජලය නොමැතිවීමෙන් දැඩි අපහසුතාවය පත්ව තිබෙනවා.

දුෂ්කර ජීවිතයක් ගත කරන පේරමඩුව ගම්වාසීන් කබලෙන් ලිපට වැටී ඇත්තේ මේ හේතුවෙන් තම දෛනික අවශ්‍යතාවයන් පවා සිදුකරගැනීමට නොහැකිවීමෙන්.

ගම්වාසීන් පේරමඩුව වැවෙන් ජලය පොම්පකර ලබාගැනීමේ ක්‍රමවේදයක් මීට පෙර යොදා ගත්තද පසුව කන්තලේ ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් එය නවතා දමා තිබෙනවා.

පසුව ජල සම්පාදන මණ්ඩලය මඟින් පානීය ජලය ලබාදීමට කටයුතු කිරීමත් සමඟ මෙම ගැටලුවට මුහුණදීමට සිදුව ඇති බවටයි ගම්වාසීන් චෝදනා කරන්නේ.

පානීය ජලය නිසියාකාරව බෙදාහැරීමක් සිදු නොවුණත් ජල බිල්පත් ගාස්තු දිගටම අයකර ගැනීම පිළිබඳ ගම්මුන් පසුවන්නේ දැඩි කණස්සල්ලෙන්.

ඔවුන් මුහුණ දෙන පානීය ජල ගැටලුවට බලධාරීන් ස්ථිර විසඳුමක් ලබාදෙන තෙක් ‘රතු මිනිත්තුව’ අවදානයෙන්.

******************************************

(25.07.2021 – 14:16 +0530 – hirunews.lk/sinhala)

සංචාරක කලාප ආශ්‍රිතව අභ්‍යන්තර ගුවන් තොටුපළ 5 ක් සංවර්ධන කිරීම කෙරෙහි සංචාරක අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

කොරෝනා වසංගතයෙන් පසු මෙරට සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීමේදී යටිතල පහසුකම් ඉහළ නැංවීම සහ සංචාරක ආකර්ශනය ලබා ගැනීමේ නව උපක්‍රමයක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරෙනු ඇති. ඒ අනුව සීගිරිය, කොග්ගල, අම්පාර, අනුරාධපුරය සහ හිඟුරක්ගොඩ ප්‍රදේශ මූලික කර ගනිමින් මෙම අභ්‍යන්තර ගුවන් තොටුපළවල් සංවර්ධනය කිරීමටයි සංචාරක අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ ෴

******************************************

(25.07.2021 – 14:22 +0530 – hirunews.lk/sinhala)

මැදවච්චිය – රම්බකුලම ප්‍රදේශයේ නිවසක තිබී අධිබලැති පුපුරණ ද්‍රව්‍යයක් වන ඇමෝනියම් නයිට්‍රේට් කිලෝ 75 ක ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බණ්ඩාරගම – විදාගම ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි වියේ පසුවන මොහු කුලී පදනම මත අදාළ නිවසේ රැදී සිට ඇති අතර, මොහු එම ප්‍රදේශයේ කළු ගල් කොරියක් පවත්වාගෙන යන අයෙකු බවයි පොලීසිය සදහන් කළේ.

වැඩිදුර විමර්ශනය සඳහා සැකකරු මැදවච්චිය පොලීසියට භාර දී ඇති අතර බලපත්‍ර නොමැතිව අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය ළඟ තබා ගැනීම ඔහුට එල්ල වී ඇති චෝදනාවයි ෴

******************************************

(25.07.2021 – 14:29 +0530 – hirunews.lk/sinhala)

පඩි පාලක සභාව විසින් දිනක වැටුප රුපියල් දහස (1000) දක්වා ඉහළ දමන ලෙසට වතු සමාගම්වලට දැනුම් දී තිබුණ ද එම වැටුප මෙතෙක් තමන්ට ලැබී නොමැති බව පවසමින් වතු කම්කරු වෘත්තීය සමිති කිහිපයක් අද (25) මස්කෙලිය නගරයේ උද්ඝෝෂණයක නිරත වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබූ අතර වතු කම්කරුවන් රැසක් එම උද්ඝෝෂණයට එක්ව සිටියා.

රුපියල් දහසේ (1000) වැටුප ලබාදීමට නම් දිනකට නෙලනු ලබන අමු තේ දළු කිලෝ 18 වෙනුවට කිලෝ 20 ක් නෙලන ලෙසට වතු සමාගම් බල කරන බවයි විරෝධතාවයේ නියුතු වූවන් ප්‍රකාශ කළේ ෴

@@@@@@@@@@@@@@@

(25.07.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තාවන ඩෙල්ටා ආසාදිතයන් 68 දෙනාට වඩා වැඩි පිරිසක් සමාජය තුළ සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

ඒ හේතුවෙන් නිසි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළහොත් රට තුළ හතරවන (4) කොරෝනා රැල්ලක් ආරම්භ විය හැකි බවයි ඔහු කියා සිටියේ.

අම්බලන්ගොඩ – වතුගෙදර ප්‍රදේශයේ විහාරස්ථානයක සාමණේර හිමිවරුන් සිව්නමකට (4) කොරෝනා ආසාදනය වී ඇති බව අහුන්ගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළා. ඒ හේතුවෙන් විහාරස්ථානයේ වැඩවසන භික්ෂූන් වහන්සේ නිරෝධායනයට ලක් කර ඇති බව සඳහන්.

මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 149 දෙනෙකු ඊයේ (24) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයන් 294,850 ක් වාර්තාවී ඇති අතර, ඉන් ආසාදිතයන් 24,183 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් පවතින තුන්වන (3) රැල්ල පාලනය කිරීම සඳහා සියලුදෙනා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් වගකීමෙන් කටයුතු නොකළහොත් තවත් කොරෝනා රැල්ලක් ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *