ඩෙල්ටා ආසාදිතයින් 61 දක්වා ඉහලට

ඩෙල්ටා ආසාදිතයින් 61 දක්වා ඉහලට

*********************************************

ඩෙල්ටා ආසාදිතයින් 61 දක්වා ඉහලට

(23.07.2021 – 15:40 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් මේ දක්වා හඳුනා ගැනුණු ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතලේ, වවුනියාව සහ මුලතිව් යන දිස්ත්‍රික්ක කරා මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වී ඇති බව සඳහන්.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යා ඒකකය නිකුත් කළ නවතම වාර්තා උපුටා දක්වමින් නෙක්ස්ට් ස්ට්‍රේන් වෙබ් අඩවියේ මේ පිළිබඳ තොරතුරු දක්වා තිබෙනවා.

එම වාර්තාවට අනුව රත්මලාන, මීගමුව, බේරුවල, කරාපිටිය, දඹුල්ල, වව්නියාව සහ මුලතිව් යන ප්‍රදේශවලින් අලුතින් එම ප්‍රභේදය ආසාදනය වූවන් සොයා ගැනුණා.

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් 38 දෙනෙකු මීට පෙර හඳුනාගෙන තිබුණු අතර ඒ අනුව ඩෙල්ටා ආසාදිතයින් 23 දෙනෙකු අලුතින් වාර්තා වී තිබෙනවා.

(23.07.2021 – 18:35 +0530 – hirunews.lk/sinhala)

තවත් මරණ 43 ක් මෙරටින් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 4000 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4002 ක් ලෙසටයි.

ඊයේ (22) තහවුරු කෙරුණු මරණ අතරට පිරිමි 26 ක් සහ කාන්තාවන් 17 ක් ඇතුලත්.

අවුරුදු 30 ත් 59 ත් අතර පිරිමි පුද්ගලයන් 4 ක් සහ කාන්තාවන් 4 දෙනෙකු මියගිය පිරිසට අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි 22 ක් සහ කාන්තාවන් 13 ක් ඊයේ (22) තහවුරු කළ මරණ අතර වනවා.

ඒ අනුව මරණ 4002 ක් මේ වන විට මෙරටින් වාර්තා වී ඇති අතර ගතවූ සති දෙකක (2) කාලය තුළ පමණක් කොරෝනා මරණ 568 ක් සිදුව තිබෙනවා.

ඉන් 424 දෙනෙකුම අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් වන අතර, 30 ට අඩු පුද්ගලයන් පස්දෙනෙකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 139 දෙනෙකු ඊට අයත්.

මේ අතර, අද (23) දිනයේ මේ දක්වා අලුතින් ආසාදිතයින් 1310 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ද ලක්ෂ 3 කට ආසන්න වී තිබෙනවා.

ඒ අනුව මෙරට ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට දැක්වෙන්නේ 292,608 ක් ලෙසයි.

එමෙන්ම, අද (23) දිනයේත් කොරෝනා ආසාදිතයන් 953 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ මුළු සංඛ්‍යාව 265,708 දක්වා ඉහළ ගියා ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 475 ක් වාර්තාවී තිබෙනවා. අද (23) දිනයේ මෙරටින් හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව 1785 ක් ෴

++++++++++++++++++++++

(23.07.2021 – 20:14 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට මෙරට පුද්ගලයන් 4,606,219 දෙනෙකු කොරෝනා මර්දන එන්නත් එක් (1) මාත්‍රාවක් හෝ ලබාගෙන තිබෙනවා.

ඉන් පුද්ගලයින් 3,543,248 දෙනෙකුම එක් (1) මාත්‍රාවක් හෝ ලබාගෙන ඇත්තේ සයිනොෆාම් එන්නතින්.

මේ අතර සංචාරකයන් ඇතුලු කරගැනීමේදී ලොව රටවල ඉහළම පිළිගැනීමක් ඇති කොරෝනා මර්දන එන්නත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත බව ඉකොනොමිස්ට් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතට රටවල් 120 ක පමණ පිළිගැනීමක් හිමිව ඇති අතර, ෆයිසර් එන්නත පිළිගෙන ඇති රටවල් සංඛ්‍යාව 90 ක්.

ස්පුට්නික් එන්නතට රටවල් 60 කට වැඩි සංඛ්‍යාවක පිළිගැනීම හිමිව ඇති අතර, ලොව සිව්වනුවට (4) වැඩිම පිළිගැනීමක් හිමිව ඇත්තේ සයිනොෆාම් එන්නතටයි.

මේ අතර, මෙරටට ලැබුණු, ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නතට යුරෝපා කලාපය තුළ පිළිගැනීමක් නොලැබී ඇත්තේ එම කලාපයේ සෞඛ්‍ය රෙගුලාසි අනුව ඊට අනුමැතිය නොතිබීම හේතුවෙන්.

අදත් එන්නත්කරණ වැඩසටහන් ප්‍රදේශ රැසකදීම ක්‍රියාත්මක කෙරුණු අතර, කිරිබත්ගොඩ මූලික රෝහලේ පැවති එන්නත්කරණ වැඩසටහනට විශාල පිරිසක් පැමිණ සිටීම හේතුවෙන් නොසන්සුන්තාවක්ද ඇතිවුණා ෴

@@@@@@@@@@@@@@@@

(23.07.2021 – 17:13 +0530 – hirunews.lk/sinhala)

පාසල් යන වයසේ පසුවන දැරියන් දෙදෙනෙකුට (2) ලිංගික අපයෝජනය කළ පාසල් දරුවන් දෙදෙනෙකු (2) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතලේ – නාවුල – දඹගොල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් පසුගිය දා දැරියන්ගේ දෙමව්පියන් සිදුකළ පැමිණිලිවලට අනුවයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එම පාසල් සිසුන් දෙදෙනා (2) අවුරුදු 15 සහ 16 යන වයස්වල පසුවන අතර දැරියන් දෙදෙනා අවුරුදු 8 ත්, 12 ත් වයස්වල පසුවනවා ෴

******************************************

(23.07.2021 – 19:35 +0530 – hirunews.lk/sinhala)

මසක් ඇතුළත ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයෙකු (1) මිය ගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු (2) බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. මෙම වෙඩි තැබීම්වලට නිශ්චිත හේතු මෙතෙක් අනාවරණ වී නැහැ.

ගාල්ල – ඌරගස්මං හන්දිය – තේ වත්ත ප්‍රදේශයේදී ඊයේ (22) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් 25 හැවිරිදි තරුණයකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරුණා.

සිය නිවස තුළ සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු ඔහුට මෙලෙස වෙඩි තබා පළා ගොස් තිබූ අතර කලවා ප්‍රදේශයට වෙඩි 6 ක් පමණ වැදී තිබෙනවා.

පසුගිය 02 වන දා රාත්‍රියේ ඌරගස්මංහන්දිය – තේවත්ත මංසන්ධියේ දී මෙවැනිම වෙඩි තැබීමක් සිදුවූ අතර එහිදී එක් දරු පියෙකු ජීවිතක්ෂයට පත්වුණා.

සිය නිවස ඉදිරිපිට සිටියදී ඔහුට ද වෙඩි තබා තිබුණේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින්.

කෙසේ වෙතත්, ඊයේ (22) වෙඩි වැදීමට ලක්වූ පුද්ගලයා මොහුගේ මිතුරෙකු බවට මේ වන විට අනාවරණ වී තිබෙනවා.

පසුගිය 20 වන දා රත්ගම – කාකුකන්ද – ගල්තොට ප්‍රදේශයේදී ද පුද්ගලයෙකුට වෙඩි තබා තිබුණේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු (2) විසින්.

36 හැවිරිදි ‘සුජිත් හේමන්ත’ හෙවත් ‘කූපියා’ නැමති පුද්ගලයෙකු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූ අතර, ඔහු මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඔහුට රත්ගම ප්‍රදේශයේදීම මීට පෙර ද යතුරුපැදියකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා තිබූ අතර එහිදී දිවි බේරා ගැනීමට ඔහුට හැකි වුණා ෴

******************************************

(23.07.2021 – 19:44 +0530 – hirunews.lk/sinhala)

ඵෙතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද (23) රාත්‍රියේ විථි සංචාරය කිරීමට නියමිතයි.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර පෙරහර පැවැත්වෙන්නේ ජන සහභාගීත්වයකින් තොරවයි ෴

******************************************

ගුරු – විදුහල්පතිවරුන් සෞන්දර්ය, ප්‍රායෝගික පරීක්ෂණ වලිනුත් ඉවත් වෙයි

(23.07.2021 – 19:53 +0530 – hirunews.lk/sinhala)

ලබන සඳුදා (26) සිට ආරම්භ වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ කටයුතුවලින් ඉවත් වන බව වර්ජනයේ නිරත ගුරු – විදුහල්පති වෘත්තීය සංගම් අද (23) අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා.

මේ අතර, ගුරු – විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් නොකිරීම සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව ගුරු විදුහල්පතිවරුන් අද (23) වව්නියාව නගරයේදී විරෝධතා පා ගමනක නිරත වුණා.

+++++++++

******************************************

රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු සිව් (4) දෙනා තවමත් පොලිස් භාරයේ – ළමා රක්ෂක අධිකාරිය නොසතුටින්

(23.07.2021 – 20:17 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 16 ක මෙහෙකාර දැරිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුලු තුන්දෙනා (3) හෙට (24) දිනය දක්වා බොරැල්ල පොලිසිය භාරයේ රඳවා තබාගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා කියා සිටියේ මේ දක්වා සිදුකර ඇති විමර්ශන සම්බන්ධයෙන් තම අධිකාරියට සෑහීමකට පත් විය නොහැකි බවයි.

දැරියගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් කණ්ඩායම් දෙකක් (2) පරීක්ෂණ සිදුකරනවා.

ඒ අනුවයි රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ, පියා සහ දැරිය නිවසට රැගෙන ආ තැරැව්කරු අත්අඩංගුවට ගැනුනේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වූයේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මීට පෙර මෙහෙකාර සේවයේ යෙදී සිටි දැනට 22 හැවිරිදි වියේ පසුවන තරුණියක් ද අවස්ථා දෙකකදී (2) දූෂණයට ලක්ව තිබූ බවයි.

මේ සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳගේ සහෝදරයෙකුද ඊයේ (22) දිනයේදී අත්අඩංගුවට ගැනුනු අතර, ඔහුද හෙට (24) දිනය දක්වා බොරැල්ල පොලිසිය භාරයේ රඳවා තබාගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ අතර, දැරියගේ මරණය සම්බන්ධයෙන් අදත් (23) ප්‍රදේශ කිහිපයකම විරෝධතා පැවැත්වුණා.

රිෂාඩ්ගේ බිරිඳ ඇතුලු සැකකරුවන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කෙරේ

(23.07.2021 – 20:39 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 16 ක මෙහෙකාර දැරිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුලු තුන්දෙනා (3) කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඔවුන් හෙට (24) දිනය දක්වා බොරැල්ල පොලිසිය භාරයේ රඳවා තබාගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා කියා සිටියේ මේ දක්වා සිදුකර ඇති විමර්ශන සම්බන්ධයෙන් තම අධිකාරියට සෑහීමකට පත් විය නොහැකි බවයි.

දැරියගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් කණ්ඩායම් දෙකක් (2) පරීක්ෂණ සිදුකරනවා.

ඒ අනුවයි රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ, ඇයගේ පියා සහ දැරිය නිවසට රැගෙන ආ තැරැව්කරු අත්අඩංගුවට ගැනුනේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වූයේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මීට පෙර මෙහෙකාර සේවයේ යෙදී සිටි දැනට 22 හැවිරිදි වියේ පසුවන තරුණියක් ද අවස්ථා දෙකකදී දූෂණයට ලක්ව තිබූ බවයි.

මේ සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳගේ සහෝදරයෙකුද ඊයේ (22) දිනයේදී අත්අඩංගුවට ගැනුනු අතර, ඔහුද හෙට (24) දිනය දක්වා බොරැල්ල පොලිසිය භාරයේ රඳවා තබාගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ අතර, දැරියගේ මරණය සම්බන්ධයෙන් අදත් (23) ප්‍රදේශ කිහිපයකම විරෝධතා පැවැත්වුණා ෴

******************************************

(23.07.2021 – 20:22 +0530 – hirunews.lk/sinhala)

ලීටර 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,150 කට අලෙවි කිරීමට අදාළ ගැසට් නිවේදනය ලබන සතියේදී නිකුත් කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කෙසේ වෙතත් පාරිභෝගිකයින් චෝදනා කළේ වෙළඳපොලේ පවතින ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් ලීටර 18 ලෙස සටහන් වුවද එහි එම ප්‍රමාණයම නොමැති බවයි.

එමෙන්ම ජනතාව ඉල්ලා සිටිනු ලබන කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර් වෙළඳපොළේ නොමැති බවයි ගෑස් සැපයුම්කරුවන් ද ප්‍රකාශ කළේ.

******************************************

කුඩා දැරියක් අපයෝජනය ගැන ‘හිරු සී.අයි.ඒ.’ හෙළිදරව්වෙන් පසු බලධාරීන්ගේ අවධානය

(23.07.2021 – 22:10 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල – ගොඩවෙල ප්‍රදේශයේදී පිරිසක් විසින් අපයෝජනයට ලක් කළ බව කියන දැරිය සම්බන්ධයෙන් ‘හිරු සී.අයි.ඒ.’ කළ හෙළිදරව්වෙන් අනතුරුව ඒ පිළිබඳව ජාතික ළමා රක්ෂක අධිකාරියේ අවධානය යොමුව තිබෙනවා.

පොලිසිය අදාල සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ පිළිබඳ ළමාඅආරක්ෂක අධිකාරිය නියාමනයෙන් පසුවන බවයි එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ප්‍රකාශ කලේ.

‘හිරු සී.අයි.ඒ.’ හරහා ඊයේ (22) අප මෙලෙස හෙළිකලේ කුරුණෑගල – රිදීගම – ගොඩවෙල ප්‍රදේශයේ ජීවත්වන වයස අවුරුදු 14 ක දැරියක් සම්බන්ධවයි.

ඇගේ මව මන්ද මානසික තත්ත්වයෙන් පෙළෙන කාන්තාවක් වන අතර අසල පිහිටි ඇලකින් වැලිගොඩ දමමින් ඔවුන් ගත කළේ දුෂ්කර දිවියක්.

වැලි ගොඩදැමීම සදහා මව නිවසින් බැහැරව සිටින අවස්ථාවල කාමාතුරයින් පිරිසක් විසින් මෙම දැරියට කලක පටන් ලිංගික අපයෝජන සිදුකර ඇති බවයි ඇය ‘හිරු සී.අයි.ඒ.’ වෙත තොරතුරු හෙළි කලේ.

******************************************

රත්නපුර රෝහලේ ගොඩගැසෙන සායනික අපද්‍රව්‍ය

(23.07.2021 – 20:01 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් රෝගීන්ද ප්‍රතිකාර ලබන රත්නපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය පොලිතීන් බෑග්වලට දමා රෝහල් පරිශ්‍රයේ ගොඩගසා තිබේ.

එම සායනික අපද්‍රව්‍ය පසුගිය වසරේ සැප්තැම්බර් මස සිට මේ දක්වා එලෙස ගොඩගසා ඇති බවද වැඩිදුරටත් අනාවරණය විය.

මේ හේතුවෙන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇත්තේ, රෝගීන්, කාර්යමණ්ඩලය මෙන්ම ප්‍රදේශවාසීන්ය.

එම සායනික අපද්‍රව්‍ය ජල මූලාශවලට එකතුවීමේ දැඩි අවදානමක් ද මේ වනවිට මතුව තිබෙන අයුරු ද දැකගත හැකිවිය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *