දැරියක් පිලිස්සී මියයාමේ සිද්ධියට බදියුදීන්ගේ බිරිඳ ඇතුළු තිදෙනෙක් (3) අත්අඩංගුවට

දැරියක් පිලිස්සී මියයාමේ සිද්ධියට බදියුදීන්ගේ බිරිඳ ඇතුළු තිදෙනෙක් (3) අත්අඩංගුවට

*********************************************

දැරියක් පිලිස්සී මියයාමේ සිද්ධියට බදියුදීන්ගේ බිරිඳ ඇතුළු තිදෙනෙක් (3) අත්අඩංගුවට

(23.07.2021 – 06:10 +0530 – hirunews.lk/sinhala)

මෙහෙකාර සේවයේ යෙදී සිටියදී 16 හැවිරිදි දැරියක පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ, ඇයගේ පියා සහ මෙම දැරිය අදාළ නිවසට රැගෙන ආ තැරැව්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මොවුන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා පැය 72 ක රැඳවුම් නියෝග ලබාගැනීමට අද (23) කටයුතු කරන බවයි.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ කොළඹ පිහිටි නිවසේ මෙහෙකාර සේවයට පැමිණ සිටි අවුරුදු 16 ක් වයසැති ඉෂාලිනී ජූඩ් නැමති බාල වයස්කාර දැරිය බරපතල පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු පසුගිය 15 වනදා ජීවිතක්ෂයට පත්වුණා.

පසුව අනාවරණ වූයේ ඇය කලක සිට ලිංගික අතවරවලට ද ලක්ව ඇති බවටයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සඳහා බොරැල්ල පොලිසියට අමතරව තවත් පොලිස් කණ්ඩායම් දෙකක් (2) පත් කෙරෙනු අතර, ඔවුන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ විස්සක් (20) පමණ ලබාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

දැරිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගෙන්, ඇයගේ පියාගෙන් සහ තැරැව්කරුගෙන් බොරැල්ල පොලීසිය ඊයේ (22) ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

+++++++

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිප්ති අජිත් රෝහණ මහතා පවසනවා.

මන්ත්‍රීවරයාගේ නිවසේ 2015 වසර් සිට 2019 වසර දක්වා කාලය තුල මෙහෙකාර සේවය නිරතව සිටියදී මේ වනවිට 22 හැවිරිදි තරුණියක්, දූෂණය කිරීම සම්බන්ධයෙන් සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගත් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා 44 හැවිරිදි මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි ෂියාබ්දීන් ඉස්මදීන් නැමැත්තෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

අදාල කාලය තුල සැකකරු විසින් අවස්ථා දෙකකදී (2) ඇයව දූෂණය කළ බවට වින්දිත තරුණිය පොලිසිට පවසා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ෴

******************************************

(23.07.2021 – 08:21 +0530 – hirunews.lk/sinhala)

මෙහෙකාර සේවයේ යෙදවීමේ අවම වයස් සීමාව 18 දක්වා ඉහළ නැංවීමට අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව තවත් මාස දෙකකින් (2) ඊට අදාළ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ප්‍රකාශ කළේ.

1956 අංක 47 දරණ පනතට වයස අවුරුදු 14 ඉක්ම වූ ළමයින්ට රැකියා සඳහා යොමු වීමේ අවස්ථාව පැවතියා.

කෙසේ වෙතත්, එය පසුගිය ජනවාරි 18 වන දා වයස අවුරුදු 16 දක්වා ඉහළ දැමීමටයි කටයුතු කෙරුණේ.

ඒ අනුව වයස අවුරුදු 16 ඉක්ම වූ දරුවෙකු රැකියා සදහා යොදා ගත හැකි වුවද, අන්තරාදායක රැකියා සඳහා යොදා ගැනීමට ඒ අනුව ද හැකියාවක් පැවතියේ නැහැ.

මෙහෙකාර සේවය අන්තරාදායක රැකියාවක් නොවූ බැවින් 16 ඉක්ම වූ දරුවෙකු මෙහෙකාර සේවයේ යෙදවීමේ හැකියාව මේ වන විටත් පවතිනවා.

කෙසේ වෙතත් නව සංශෝධනවලට අනුව මෙහෙකාර සේවය අන්තරාදායක රැකියාවක් ලෙස නම් කිරීමටයි අවධානය යොමුව ඇත්තේ.

ඒ අනුව ඉදිරියේදී ළමයෙකු මෙහෙකාර සේවයේ යොදවා ගන්නේ නම් ඔහුට හෝ ඇයට වයස අවුරුදු 18 සම්පූර්ණ වී තිබිය යුතුයි.

අන්තරාදායක රැකියා ඝනයට මේ වන විට රැකියා 52 ක් ඇතුළත් කර ඇති අතර, නව සංශෝධනයට අනුව එය 76 දක්වා ඉහළ දැමීමටයි අපේක්ෂා කෙරෙන්නේ ෴

******************************************

(23.07.2021 – 06:51 +0530 – hirunews.lk/sinhala)

ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අද (23) දිනට යෙදී තිබෙනවා.

බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගැනීම, අභිනිෂ්ක්‍රමණය, ප්‍රථම ධර්ම දේශනාව වූ ‘ධම්මචක්ක පවත්තන සූත්‍රය’ දේශනා කිරීම ද සිදුව ඇත්තේ අද වැනි ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයේදීයි.

එමෙන්ම රාහුල කුමරුගේ උපත සිදුවීම, තීර්ථකයන්ගේ මානය බිඳීම සඳහා ගන්ධබ්බ රුක් මූලයේදී යමාමහ පෙළහර පෑම, කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ සියම් රටින් උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව යළි ඇති කිරීම වැනි ආගමික සහ ශාසනික වශයෙන් වැදගත් වූ කරුණු රැසක් හේතුවෙන් ඇසළ පොහෝ දිනය බෞද්ධයින්ට වැදගත් වනවා.

මේ අතර රටේ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස්වලට යටත්ව වෙහෙර විහාරස්ථානවල ආගමික කටයුතු සිදුකරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීම් කරනවා ෴

ඵෙතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (23) රාත්‍රියේ විථි සංචාරය කිරීමට නියමිතයි. ඒ සඳහා මේ වන විටත් සියළු කටයුතු සූදානම් කර ඇති අතර මෙවර පෙරහර පැවැත්වෙන්නේ ජන සහභාගීත්වයකින් තොරවයි ෴

++++++++

මස් අනුභව කරනවා නම්… ඔබට මෙය වැදගත් තොරතුරක්

(21.07.2021 – 17:45 +0530 – sinhala.adaderana.lk)

රක්ත වර්ණ සහ සකස්කළ මාංශ වර්ග අනුභව කිරීම මගින් හෘද රෝග ඇතිවිය හැකි බව නවතම පර්යේෂණයකින් තහවුරු වී තිබේ.

විශේෂයෙන්ම හරක් මස්, බැටළු මස් සහ ඌරු මස් අනුභව කරන්නේ නම් අවදානම වැඩි බව හෙළිවී ඇත.

පුද්ගලයින් මිලියන 1.4 ක ගේ තොරතුරු ආශ්‍රයෙන් එම පර්යේෂණය කර ඇති අතර එම පර්යේෂකයින් වසර 30 ක් පුරා පර්යේෂණයට ලක්වූ පිරිස ගැන අවධානයෙන් සිට තිබේ.

එම තත්ත්වය ‘කිරීටක ධමණි රෝග’ ලෙසද හැඳින්වෙන අතර එමගින් ලොව පුර පුද්ගලයින් විශාල ගණනක් මරණයට පත්වීම හෝ විවිධ ආබාධයන්ට ලක්වීම සිදුවේ.

හෘදයට රුධිරය සපයනු ලබන රුධිර නාළිකා අභ්‍යන්තර පෘෂ්ඨ මත කොටෙස්ටරෝල් තැන්පත්වීමෙන් එම රෝගී තත්ත්වය වර්ධනය වෙයි.

අනුභව කෙරෙන මාංශ ප්‍රමාණය වැඩිවන විට එම පුද්ගලයාව හෘද රෝග වලට ලක්වීමේ සම්භාවිතාව තවත් ඉහළ යන බව ‘Critical Reviews in Food Science and Nutrition’ සඟරාවේ පළකර ඇති පර්යේෂණ වාර්තාවේ සඳහන් ය ෴

[ https://www.tandfonline.com/doi/full/10.1080/10408398.2021.1949575 ]

In conclusion, this large meta-analysis of meat intake and Ischemic Heart Disease (IHD) risk shows that unprocessed red and processed meat might be risk factors for IHD. This supports public health recommendations to reduce the consumption of unprocessed red and processed meat intake for the prevention of IHD.

+++++++

නිහාල් නෙල්සන් සූරීන්

******************************************

(23.07.2021 – 08:10 +0530 – hirunews.lk/sinhala)

රුපියල් එක්කෝටි විසි හතර ලක්ෂයක (1,24,00,000) වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් සමඟ දෙදෙනෙකු (2) ස්ථාන දෙකකදී (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් අසූ තුන් ලක්ෂයකට (83,00,000) අධික වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි එක් (1) පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගනු ලැබුවේ නාරම්මල ප්‍රදේශයේදීයි.

සැකකරු සතුව තිබී අයිස් ග්‍රෑම් 805 ක් සහ හෙරොයින් ග්‍රෑම් 30 ක් සොයාගැනුනා.

මේ අතර අත්තිඩිය ප්‍රදේශයේදී ද පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 400 ක් සමඟ 32 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ බවට සැක කෙරෙන රුපියල් 94,040 ක මුදලක්ද විශේෂ කාර්ය බලකාය භාරයට ගනු ලැබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

******************************************

(23.07.2021 – 08:13 +0530 – hirunews.lk/sinhala)

නීතියෙන් තහනම් කරන ලද පොලිතින් නිෂ්පාදනය කරන කර්මාන්තශාලා සොයා හදිසි වැටලීම් සිදුකිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළා.

එහි අධ්‍යක්ෂ ජනරාල් පී.බී. හේමන්ත ජයසිංහ මහතා සදහන් කළේ මෙම වසරේ ජනවාරි 21 වන දා නිකුත් කළ ගැසට් පත්‍රයක් මගින් ශුද්ධ පරිමාව මිලිලීටර් 20 ට හෝ ශුද්ධ බර ග්‍රෑම් 20 ට සමාන හෝ ඊට අඩු සැෂේ පැකට් මාර්තු 31 වන දා සිට තහනම් කර ඇති බවයි.

කෙසේ වෙතත්, එවැනි ඇසුරුම් නිෂ්පාදනය කරනු ලබන බවට ලද තොරතුරක් මත ඊයේ (22) කැස්බෑව – ජඹුරලිය ප්‍රදේශයේ කර්මාන්තශාලාවක් වැටලීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගත්තා.

එහිදී නීතියෙන් තහනම් කරන ලද සැෂේ පැකට් 3000 ක ප්‍රමාණයක් සොයා ගෙන තිබුණා.

එමෙන්ම, මේ වන විට වෙළදපොළට නිකුත් කර ඇති සියළු සැෂේ පැකට් හැකි ඉක්මනින් වෙළදපොළෙන් ඉවත් කර ගන්නා ලෙස මධ්‍යම පරිසර අධිකාරිය අදාළ කර්මාන්තශාලාවට තරයේ අවවාද කර ඇති බව ද සඳහන් ෴

******************************************

(23.07.2021 – 08:27 +0530 – hirunews.lk/sinhala)

අලි – මිනිස් ගැටුම වැළැක්වීමට මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්තිය කඩිනමින් වෙනස් විය යුතු බවට රජයේ ගිණුම් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටුව නිර්දේශ කර තිබෙනවා.

අලි මිනිස් ගැටුම හේතුවෙන් ලොව වැඩිම අලි මරණ සිදුවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් මිනිස් මරණ සිදුවන රටවල් අතර, දෙවන (2) තැනට ශ්‍රී ලංකාව පත්ව ඇති බවයි රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී අනාවරණ වී ඇත්තේ.

අලි – මිනිස් ගැටුමෙන් වසරකට මිය යන අලි ඇතුන් ප්‍රමාණය සාමාන්‍යයෙන් 272 ක් වුවද 2019 වසරේදී අලි ඇතුන් 407 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

අලි මිනිස් ගැටුමෙන් සාමාන්‍යයෙන් සිදුවන මිනිස් මරණ සංඛ්‍යාව 85 ක් වුවද 2019 වසරේදී එය 122 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

ඒ හේතුවෙන් මෙම ගැටළුව සඳහා කඩිනමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව අවධාරණය කරන කෝපා කමිටුව මෙතෙක් අසාර්ථක වී ඇති පැරණි ප්‍රතිපත්ති අතහැර දමා ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු මහතා විසින් සකස් කර ඇති ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලෙස වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබෙනවා ෴

******************************************

(23.07.2021 – 09:34 +0530 – hirunews.lk/sinhala)

නවීන කෘෂිකාර්මික හා අධි තාක්ෂණික විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට සහය ලබාදීම සඳහා චීනය එකඟතාව පළ කර තිබෙනවා.

ඒ, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් විශ්වවිද්‍යාලයට පැමිණි අවස්ථාවේදියි.

වූහාන් විශ්වවිද්‍යාලයේ උප සභාපතිවරයාගේ ආරාධනයකට අනුව පාලිත කොහොන මහතා එම විශ්වවිද්‍යාලයට ගොස් තිබෙනවා.

එහිදී විශ්වවිද්‍යාල බලධාරීන් සහ හුබෙයි පළාත් ආණ්ඩුකාරවරයා සමග හමුවක් ද පවත්වා ඇති අතර මෙරට දරිද්‍රතාව තුරන් කිරීම සඳහා කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ වැදගත්කම පිළිබදව එහිදී සාකච්ඡා වූ බවයි විදේශ සබදතා අමාත්‍යාංශය සඳහන් කළේ ෴

******************************************

(23.07.2021 – 10:13 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයෙකු විසින් පොල්ලකින් පහර දී සිය මිතුරා ඝාතනය කළ පුවතක් මතුගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

නිවසට පැමිණි මිතුරා තම, නව (9) හැවිරිදි දියණියගේ පපු ප්‍රදේශය ස්පර්ශ කිරීමෙන් උරණ වී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

පෙරේදා (21) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති අතර මිය ගිය පුද්ගලයා මතුගම, නාපිටිගල ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

ඝාතනය සිදුකළ 33 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඊයේ (22) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී නියෝග කර ඇත්තේ දින 14 ක කාලයක් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසටයි.

මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය කළුතර, නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර මෘත දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (23) දින සිදුකිරීමට නියමිත බවයි මතුගම පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වන වැඩිදුර පරීක්ෂණ මතුගම පොලිසිය විසින් සිදුකරනු ලබනවා ෴

******************************************

දෙහිවල සහ රිදියගම සත්වෝද්‍යානය විවෘතව තැබෙන වේලාවන්

(22.07.2021 – 15:40 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමූ දෙහිවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය ජූලි 26 වනදා සිට මහජනතාව සඳහා දිනපතා විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අයත් එම ආයතන පහත පරිදි මහජනතාවව වෙත විවෘතව කෙරෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දෙහිවල සත්වෝද්‍යානය – පෙ.ව 9.00 සිට ප.ව 5.00 දක්වා

රිදියගම සෆාරි උද්‍යානය – පෙ.ව 8.00 සිට ප.ව 4.00 දක්වා

මේ අතර පින්වල සත්වෝද්‍යානය සහ අලි අනාථාගාරය මේ වන විටත් විවෘත කර ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පින්වල සත්වෝද්‍යානය – පෙ.ව 8.30 සිට ප.ව 5.30 දක්වා

පින්වල අලි අනාථාගාරය – පෙ.ව 8.30 සිට ප.ව 5.30 දක්වා

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මැයි මාසයේ දී එම ස්ථාන වසා දැමුණි ෴

@@@@@@@@@@@@@@@@@

(23.07.2021 – 06:30 +0530 – hirunews.lk/sinhala)

මෙතෙක් හුදෙකලාකර තිබූ මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ පොලිස් බල ප්‍රදේශයේ බෝගහකොටුව, අගලවත්ත සහ හරස්ගම යන ප්‍රදේශ අද (23) පෙරවරු හයේ (06:00) සිට හුදෙකලා බවින් නිදහස් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

++++++++++++++++++++

(23.07.2021 – 08:32 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – හබරාදූව ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂූන් වහන්සේ 13 නමකට සහ එහි සිටි ගිහියන් තිදෙනෙකුට (3) කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය සදහන් කළේ අදාළ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ට සහ තවත් හිමි නමකට වෛරසය ආසාදිත බවට තහවුරු වීමෙන් පසුව සෙසු භික්ෂූන් වහන්සේට සිදුකළ කොරෝනා පරීක්ෂණවලදී මෙම ආසාදිතයින් හදුනාගෙන ඇති බවයි.

එමෙන්ම වයස අවුරුදු 60 ට වැඩි සංකූලතා සහිත පුද්ගලයන්ට රජයේ එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත ගොස් එන්නත් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉල්ලීමක් කළා.

මේ අතර අද (23) සිට එළඹෙන දීර්ඝ සති අන්තයේදී විශේෂ නිරෝධායන මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත්, ඒ සඳහා දස දහසකට (10,000) ආසන්න පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් යොදවා ඇති බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම, නව ආසාදිතයන් 1,721 දෙනෙකු ඊයේ (22) හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 291,298 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් 1,714 දෙනෙකු ‘අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ’ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි හත්දෙනෙකු (7) ද ආසාදිතයන් ලෙස හඳුනාගැනුනා.

ඒ අනුව ආසාදිතයන් 22,646 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 264,755 ක්.

එමෙන්ම, කොරෝනා මරණ 42 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 3,959 ක් දක්වා ඉහළ ගියා ෴

@@@@@@@@@@@@@@@@

වයස අවුරුදු 15 වේ පුතාගේ මරණය දැක දැකත් අම්මයි තාත්තයි මෙහෙම කරන්නේ ඇයි ? අඬ අඬා කිව්ව සංවේදී කතාව (23.07.2021)

මව : 077 429 4328
පියා : 077 761 3467

මව : ජානකී දිල්හානි ගුණතිලක
ගිණුම් අංකය : 8010150784
කොමර්ෂල් බැංකුව, කුරුණෑගල

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *