අද (22) සාකච්ඡාවෙනුත් විසඳුම් නැහැ – ගුරු, විදුහල්පති ඔන්ලයින් වර්ජනය තවදුරටත්

අද (22) සාකච්ඡාවෙනුත් විසඳුම් නැහැ – ගුරු, විදුහල්පති ඔන්ලයින් වර්ජනය තවදුරටත්

*********************************************

අද (22) සාකච්ඡාවෙනුත් විසඳුම් නැහැ – ගුරු, විදුහල්පති ඔන්ලයින් වර්ජනය තවදුරටත්

(22.07.2021 – 19:43 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත් වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව ගුරු – විදුහල්පති සංගම් ප්‍රකාශ කළා.

ඒ, අද (22) දහවල් ජනාධිපති පෞද්ගලික ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඔවුන් අද (22) පෙරවරුවේ කොටුව දුම්රියපල අසළ සිට විරෝධතා පා ගමනකින් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි අතර අනතුරුව වෘත්තීය සමිති නියෝජිතයින් 3 දෙනෙකුට ජනාධිපති පෞද්ගලික ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් හිමි වුණා.

සාකච්ඡාව පැවැත්වෙන අතරතුර ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ජනාධිපති කාර්යාලයට පිවිසීම සඳහා පැමිණිය ද විරෝධතාකරුවන් ගේට්ටුව අවහිර කරමින් ඔහු පැමිණි මෝටර් රථයට යාමට ඉඩ ලබාදුන්නේ නැහැ.

එහිදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ අතර විරෝධතාකරුවෙකු නිශ්ශංක සේනාධිපති මහතාගේ මෝටර් රථයේ ටයරයක හුළං යැවීමට උත්සාහ කළා.

කෙසේ වෙතත් විරෝධය හමුවේ ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා එම ස්ථානයෙන් පිටව ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරුව, සාකච්ඡාවට එක්වූ වෘත්තිය සමිති නියෝජිතයන් ජනාධිපති කාර්යාලයෙන් පිටතට පැමිණි අතර, ලබන සඳුදා තම ඉල්ලීම්වලට විසදුම් සහිත කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවට සාකච්ඡාවේදී බලධාරීන් පොරොන්දු වූ බවයි වෘත්තීය සමිති නියෝජිතයින් එහිදී ප්‍රකාශ කළේ.

මෙම විරෝධතාව පැවැත්වෙන අතරතුර ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුවේ කැඳවුම්කරු පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුලු පිරිසක් මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැ දුටුවා.

මේ අතර, ගාල්ල සහ බලංගොඩ ප්‍රදේශවලදී ද අද (22) දහවල් ගුරු – විදුහල්පති සංගම් වැටුප් විෂමතා ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමින් විරෝධතාවවල නිරත වුණා.

******************************************

(22.07.2021 – 18:58 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා රිය අනතුරකට ලක්ව තුවාල ලබා තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා සිය දෛනික ව්‍යායාම සඳහා පාපැදියක නැගී ගමන් කරමින් සිටියදී අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක ගැටීමෙනුයි ඊයේ (21) මෙම අනතුර සිදුව ඇත්තේ.

කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසලදී සිදුවූ මෙම අනතුරෙන් අමාත්‍යවරයාගේ නලලට, අත් සහ පාදවලට තුවාල සිදුවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේ, එය සාමාන්‍ය අනතුරක් බවයි.

තුවාල සඳහා ප්‍රතිකාර ලබාගෙන එදිනම තමා නිවසට පැමිණි බව ද ඔහු සඳහන් කළා ෴

******************************************

(22.07.2021 – 20:03 +0530 – hirunews.lk/sinhala)

මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මෙම පනත නීතියක් බවට පත් වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසයි මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.

පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

මුදල් සංශෝධන පනත් කෙටුම්පත මුදල් ඇමතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව පවසන පෙත්සම්කරු කියා සිටියේ පනත් කෙටුම්පත තුළින් නීති විරෝධී ලෙස උපයාගත් මුදල් නීත්‍යානුකූල කර ගැනීමට අවසර සලසා දී ඇති බවයි ෴

******************************************

(22.07.2021 – 20:05 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය නව පනත් කෙටුම්පත මගින් නිදහස් අධ්‍යාපනය අවහිර කිරීමේ වුවමනාවක් රජයට නොමැති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

ඒ, එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙම පනත් කෙටුම්පතෙහි පළමු කොටසේ 2 වන ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ කුමක් සදහන් වුවද එය නොතකමින් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය පිහිටුවිය යුතු බවයි.

නව පනත් කෙටුම්පතට අනුව ආරක්ෂක අමාත්‍යවරයාට කලින් කලට ඔහු විසින් අවශ්‍ය යැයි සළකනු ලැබිය හැකි කාරණා සම්බන්ධයෙන් පාලක මණ්ඩලය වෙත ලිඛිත විධාන නිකුත් කළ හැකි වනවා.

එමෙන්ම, විශ්ව විද්‍යාලයේ පාලක මණ්ඩලයේ සභාපති ලෙස ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කරන අතර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සහ ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු නිලධාරීන් 09 දෙනෙකුගෙන් සමන්විතයි.

නව පනත් කෙටුම්පත එරෙහිව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඉදිරිපිට අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය සංගම් කිහිපයක් අද (22) විරෝධතාවක නිරත වුණා.

මේ අතර, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ හමුදාව මගින් පාලනය වන සමාන්තර අධ්‍යාපන පද්ධතියක් බිහිකිරීමේ සංකල්පයට තම පක්ෂය එකග නොවන බැවින් මෙම පනත් කෙටුම්පතට විරෝධය පල කරන බවයි.

******************************************

තවත් ළමා අපයෝජනයක් ගැන ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය

(22.07.2021 – 20:17 +0530 – hirunews.lk/sinhala)

බාල වයස්කාර දරුවන් වැඩිහිටියන්ගේ ගොදුරු බවට පත්වීමේ ශෝචනීය පුවත් පසුගිය කාලයේ වැඩි වශයෙන් මෙරටින් වාර්තා වුණා.

කුරුණෑගල – ගොඩවෙල ප්‍රදේශයෙන් වාර්තා වු තවත් එවැනි සිදුවීමක් පිළිබඳවයි අද (22) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය.

කුරුණෑගල – රිදීගම – ගොඩවෙල ප්‍රදේශයේ ජීවත්වන මෙම දැරියගේ වයස අවුරුදු 14 ක්.

දැරියගේ මව මන්ද මානසික තත්ත්වයෙන් පෙළෙන අතර අසල පිහිටි ඇලකින් වැලි ගොඩදමා විකිණීමෙන් ඔවුන් ජීවිකාව සරි කර ගන්නවා.

වසර කිහිපයකට පෙර දැරියගේ මව වෙනත් පුරුෂයෙකු හා විවාහ වී මාතලේ ඇළහැර ප්‍රදේශයට මොවුන්ව ගෙන ගොස් තිබෙනවා.

දැඩි ලෙස බීමට ඇබ්බැහි වී ඇති එම පුද්ගලයා නිරන්තරයෙන් මවට පහරදෙන බවයි දැරිය පවසන්නේ.

******************************************

රතන හිමි, දේශබන්දු, ටිරාන් මන්ත්‍රී ධූරය හොරකම් කළා. බලහත්කාරයෙන් අත්සන් ගත්තා. මුහුදට දාලා මරන්න හැදුවා – විශේෂ හෙළිදරව්වක්

(22.07.2021 – colombotoday.com)

අපේ ජන බල පක්ෂයේ හිටපු ලේකම් වේදෙනිගම විමලතිස්ස හිමි විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.

පුජ්‍ය අතුරලියේ රතන හිමි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් එකට එකතුවී අපේ ජනබල පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය හොරකම් කල බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එම පක්ෂයේ හිටපු ලේකම් වේදෙනිගම විමලතිස්ස හිමි විසින් ඊයේ (21) පැවැත්වූ මාධ්‍ය හමුවකදී සිදුකර සිටියා.

තමන් වහන්සේව පැහැරගෙන ගොස් ටිරාන් අලස්ගේ නිවසේදී බලහත්කාරයෙන් මන්ත්‍රී ධූරය සඳහා රතන හිමිගේ නම යෝජනා කල ලිපිවලට අත්සන් ගත් බවත් තමන් වහන්සේව මහ මුහුදට දමා ඝාතනය කිරීමට උත්සහ දැරූ බවටත් ඉතා බරපතල ප්‍රකාශයක් වෙදෙනිගම හිමියෝ සිදුකරන ලදි.

මේ සඳහා කොල්ලුපිටිය පොලීසියේ ස්ථානාධිපතිත් සම්බන්ධ බවයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

වේදෙනිගම විමලතිස්ස හිමියෝ සිදුකල සම්පුර්ණ ප්‍රකාශය :

******************************************

පෞද්ගලික බැංකු දෙකකට (2) මූල්‍ය බුද්ධි ඒකකයෙන් දඩ

(22.07.2021 – colombotoday.com)

මෙරට පෞද්ගලික බැංකු 2 කට මූල්‍ය බුද්ධි ඒකකය මගින් රුපියල් මිලියන 03 ක (ලක්ෂ 30 ක) දඩ නියම කර තිබේ.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ රෙගුලාසි යටතේ ‌මෙම දඩ නියම කර ඇත. 2016 අංක 1 දරන මූල්‍ය ආයතන රීති උල්ලංඝනය කිරීම් හේතුවෙන් මෙලෙස දඩ නියම කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ. මූල්‍ය ආයතනයක් සිදුකරන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකි ය ෴

******************************************

අමාත්‍යංශ කැබ් එකෙන් දඩයමේ ගිය තුනක් (3) මාට්ටු

(22.07.2021 – 11:59 +0530 – lankadeepa.lk)

දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයට අයත් කැබ් රථයකින් ගිනි අවි හා තියුණු ආයුද රැගෙන තම්බෝව අභය භූමියේ දකුණු මායිමේ නරිඔය ආසන්නයේ දඩයමේ යමින් සිටි තිදෙනකු (3) අද අලුයම අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවි කාර්යාලය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන තිබුනේ පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයකු හා කිරිබත්ගොඩ හා කරුවලගස්වැව පදිංචිකරුවන් තිදෙනෙකු (3) බව වනජීවි නිළධාරින් පවසයි.

මෙම සැකකරුවන් දඩයමේ යාමට භාවිතා තිබු කැබ් රථය දේශීය වෛද්‍ය අමාත්‍යංශයට අයත් බවට මේ වන විට අනාවර්ණය කරගෙන ඇති බව වනජීවි නිළධාරිහු පවසති.

වනජීවි නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අදාල සැකකරුවන් තබ්බෝව අභය භුමියේ නරිඔය ආසන්නයේදි අද (22) අලුයම අත් අඩංගුවට ගත් බව කියයි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබි බලපත්‍ර සහිත 9 එම්.එම්. පිස්තෝලයක් හා එයට යොදන පතෝරම් 9 ක් හා පතොරම් බහාලුම් දෙකක් (පුචස්) සමග බලපත්‍ර නොමැති බෝර 12 ගිනි අවියක් හා පතොරම් 4 ක් හිස්කොපු තුනක් (3) සමග දඩයමට යොදා ගැනුන විදුලි පන්දමක්, තියුණු පිහියක්, තිත් මුව ලෝම් ග්‍රෑම් 100 කට ආසන්න ප්‍රමානයක් හා ජැකට්ටුවක් ඇතුළු දෑ අත් අඩංගුවට ගත් බව වනජීවි නිළධාරිහු සඳහන් කරති.

මේ සමග අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටි කරුවලගස්වැව පදිංචි සැකකරුගේ නිවසේ තිබි වියළි මස් ග්‍රෑම් 100 කට අධික ප්‍රමානයක් සොයා ගත් බව වන ජීවි නිළධාරින් පවසයි.

@@@@@@@@@@@@@@@@

(22.07.2021 – 18:27 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1128 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 290,705 ක් ෴

+++++++++++++++++++

(22.07.2021 – 19:25 +0530 – hirunews.lk/sinhala)

මෙරට සිදුවූ තවත් කොරෝනා මරණ 42 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (21) තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3964 ක් ලෙසටයි.

ඊයේ (21) තහවුරු කෙරුණු මරණ අතරට පිරිමි 25 ක් සහ කාන්තාවන් 17 ක් ඇතුලත්.

අවුරුදු 30 ට අඩු එක් කාන්තාවක් මියගිය පිරිස අතර වනවා.

අවුරුදු 30 ත් 59 ත් අතර පිරිමි පුද්ගලයන් 4 ක් සහ කාන්තාවන් දෙදෙනෙකු (2) මියගිය පිරිසට අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි 21 ක් සහ කාන්තාවන් 14 ක් ඊයේ (21) තහවුරු කළ මරණ අතර වනවා ෴

++++++++++++++++++++

(22.07.2021 – 19:46 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මාත්‍රා දෙකම (2) එකවර ලබා ගැනීමෙන් සෞඛ්‍යමය වශයෙන් අවදානමක් ඇති නොවන බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

උඩපේරාදෙණිය ප්‍රදේශයේ කාන්තාවකට අත් වැරදීමකින් එන්නත් මාත්‍රා දෙකම (2) එකවර ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

මොර්ඩනා එන්නතේ පළමු (1) මාත්‍රාව ලබා ගැනීම සඳහා මහනුවර – උඩපේරාදෙණිය – ඔගස්ටාවත්ත ප්‍රදේශයේ එන්නත්කරණය මධ්‍යස්ථානයක් වෙත පැමිණි මෙම කාන්තාවට එන්නත එකවර අවස්ථා දෙකකදී (2) ලබාදී තිබෙනවා.

අනතුරුව සංකූලතා පෙන්නුම් කිරීම හේතුවෙන් ඇය පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

++++++++++++++++++

(22.07.2021 – 21:27 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 586 දෙනෙකු හමුවී තිබෙනවා.

ඒ අනුව අද (22) දිනයේ මේ දක්වා වාර්තාවූ ආසාදිතයන් ගණන 1714 ක්.

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 291,291 ක් ලෙසටයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *