කොතලාවල පනත් කෙටුම්පත ලබන 06 වනදා විවාදයට – ගුරුවරුන් හෙට (22) කොළඹට

කොතලාවල පනත් කෙටුම්පත ලබන 06 වනදා විවාදයට – ගුරුවරුන් හෙට (22) කොළඹට

*********************************************

කොතලාවල පනත් කෙටුම්පත ලබන 06 වනදා විවාදයට – ගුරුවරුන් හෙට (22) කොළඹට

(21.07.2021 – 20:01 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය පනත් කෙටුම්පත ලබන මස 06 වනදා විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පැවති පක්ෂ නායක රැස්වීමේදියි.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් පසුගියදා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ පිළිබඳ පළමු දින විවාදය පැවැත්වුණා.

කෙසේ වෙතත්, වෙනත් දිනයක අදාළ විවාදය පැවැත්වෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විපක්ෂය ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේයි.

මෙම පනත් කෙටුම්පතට එරෙහිව පැවති විරෝධතාවලදී නිරෝධායන නීති උල්ලංගණය කිරීමේ චෝදනා මත ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතා ඇතුලු පිරිසක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නිරෝධායනයට ද යොමු කෙරුණා.

කෙසේ වෙතත්, පසුගිය දා පැවති වැඩසටහනකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත් කර කොතලාවල විශ්වවිද්‍යාලය ඒ යටතට ගෙන එන බවයි.

සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මහරගම – පතිරගොඩ ප්‍රදේශයේ අද (21) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් වෙත ප්‍රකාශ කළේ විවාදයට පෙර මෙම පනත් කෙටුම්පත ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාශ උපදේශක කාරක සභාවේ දී සලකා බලන බවයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත හකුලා ගන්නැයි රජයට බල කරමින් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (21) කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

මේ අතර, වැටුප් විෂමතාව ඇතුලු තවත් කරුණු කිහිපයක් මුල් කරගනිමින් ගුරු විදුහල්පති සංගම් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්වී අදට (21) දින 10 ක් ගතවනවා.

කොළඹ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා කියා සිටියේ හෙට (22) දිනයේදී ගුරුවරුන් කොළඹට කැදවා විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

එමෙන්ම, ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට විසඳුම් ලබාදෙන ඉල්ලා අද (21) පෙරවරුවේ රත්නපුර නගරයේ දී ගුරු විදුහල්පති වෘත්තිය සමිති විරෝධතාවක නිරතවුණා.

මේ අතර, රාජ්‍ය බදු ආදායමෙන් සියයට 86 ක්ම රාජ්‍ය සේවක හා විශ්‍රාම වැටුප් ගෙවීමට වැය කිරීමට සිදුව ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (21) පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට නම් ජනතාව මත පනවන බදු ඉහළ දැමිය යුතු බවයි.

******************************************

(21.07.2021 – 19:54 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය සේවා, වරාය, ඛනිජ තෙල්, රේගුව ඇතුළු ආයතන හා ක්ෂේත්‍ර 12 ක සේවා අත්‍යාවශ්‍ය සේවා බවට පත් කිරීම තවදුරටත් දීර්ඝ කරමින් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇති අනෙකුත් ආයතන හා ක්ෂේත්‍ර වන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඇතුළු පොදු ප්‍රවාහන සේවා, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම සහ කෘෂි පර්යේෂණ සහකාර නිලධාරීන්, ශ්‍රී ලංකා මහබැංකුව ඇතුළු සියළු රාජ්‍ය බැංකු සහ රක්ෂණ සේවා කටයුතුයි.

මීට අමතරව පළාත් පාලන ආයතන මගින් කරන කසල කළමනාකරණ සේවා, සතොස සහ ලංකා සතොස, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, පළාත් සභා යටතේ වන සියළුම රජයේ කාර්යාල සේවා සහ තැපැල් දෙපාර්තමේන්තුවේ සේවා ද මෙලෙස අත්‍යාවශ්‍ය සේවා බවට පත් කර තිබෙනවා.

******************************************

(21.07.2021 – 20:06 +0530 – hirunews.lk/sinhala)

ඩබල් කැබ් මාදිලියේ වාහන ස්වරූපයට සමාන අයුරින් නිෂ්පාදනය කර ඇති ස්මාට් කැබ් මාදිලියේ වාහන 3000 ක් මෙරටට ආනයනය කිරීමේදී රුපියල් බිලියන 3 ක පාඩුවක් රජයට සිදුවී ඇති බව කෝපා හෙවත් රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා.

රේගු දෙපාර්තමේන්තුව විසින් සිංගල් කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී අය කරන රේගු බදු මෙම කැබ් රථ ගෙන්වීමේදී අය කිරීම ඊට හේතුව බවයි හෙළි වී ඇත්තේ.

ඒ අනුව එක් වාහනයකින් රුපියල් මිලියනය (1) බැගින් මෙම වාහන 3000 සඳහා සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 3 ක්.

ඊට අමතරව 2010 – 2019 කාල පරිච්ඡේදය තුළ වෑන් රථ 44 ක් අඩු බදු ප්‍රමාණයක් ගෙවිය යුතු විශේෂිත කාර්යය වෑන් රථ ලෙස ආනයනය කර, මගී හා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අරමුණෙන් වාහන, පසුව ද්විත්ව කාර්ය වාහන ලෙස ලියාපදිංචි කිරීමෙන් අවම වශයෙන් රුපියල් මිලියන 1,300 කට ආසන්න බදු ප්‍රමාණයක් රජයට අහිමිවී තිබෙනවා.

එමෙන්ම, මහජන ඇමතුම් උපකරණ සවිකර විශේෂ කාර්ය වාහන කාණ්ඩය යටතේ රුපියල් මිලියන 1.5 ක රේගු බද්දක් ගෙවා ආනයනය කරන ලද ටොයෝටා ලෑන්ඩ් කෲසර් මාදිලියේ වාහනය රේගුව විසින් නිසි පරිදි මගී ප්‍රවාහන කාණ්ඩය යටතේ නිශ්කාෂනය නොකිරීම නිසා රජයට අහිමිව ඇති බදු මුදල රුපියල් මිලියන 56 ක්.

මෙලෙස සිදුවන අක්‍රමිකතා වළක්වා ගැනීම සඳහා විශේෂ කාර්ය වාහන ආනයනය කිරීමේදී රේගුවෙන් විශේෂ භාණ්ඩ සංයෝජිත වර්ගීකරණ අංක 8,705 යටතේ නිශ්කාෂණය කරනු ලබන වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේදී විශේෂිත අංකයක් යටතේ ලියාපදිංචි කළ යුතු බවටයි කෝපා කමිටුව නිරික්ෂණය කර ඇත්තේ.

******************************************

රිෂාඩ්ගේ නිවසේදී මිය ගිය දැරියගේ දෙමව්පියන්ගෙන් පොලීසියට පැය 10 ක ප්‍රකාශයක්

(21.07.2021 – 20:35 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී දැරියක පිළිස්සී මියයෑම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකර නොපමාව නීතිය ක්‍රියාවට නැංවීමට ආණ්ඩුව පියවර ගත යුතු බව සමගි ජනබලවේගය පෙන්වා දෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පෙන්වා දෙන්නේ වින්දිත පාර්ශවයන්ට සාධාරණයක් ඉටුකළ හැකිවන්නේ එවැනි ක්‍රියාදාමයක් තුළින් පමණක් බවයි.

මෙම සිද්ධිය දේශපාලනීකරණය කිරීමට ඇතැම් පාර්ශව උත්සහ දරමින් සිටින බවද සමගි ජනබලවේගය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය සඳහා පත් කළ විශේෂ පොලිස් කණ්ඩායම් දෙක (2) අද (21) හැටන් – ඩයගම ප්‍රදේශයේ විමර්ශන කටයුතු සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ දැරියගේ මවගෙන් අද (21) දෙවන (2) වරටත් ප්‍රකාශ සටහන් කරගත් බවයි. හිරු වාර්තාකරු සදහන් කළේ පැය 10 කට ආසන්න කාලයක් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි.

මේ අතර, අදාළ දැරිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකරන්නැයි ඉල්ලා මඩකලපුව සහ හැටන් ප්‍රදේශවල අදත් විරෝධතා පැවැත්වුණා.

හැටන් ප්‍රදේශයේ අද (21) පැවති විරෝධතාවයට පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ.

එමෙන්ම, ආගරපතන – ඩයගම – නැගෙනහිර වතු කම්කරුවන් පිරිසක්ද විරෝධතාවක නිරතවුණේ දැරියගේ මරණයට සාධාරණයක් ඉටුකරන්නැයි ඉල්ලමින්.

මේ අතර ජාතික සංවිධාන එකමුතුව ඇතුලු තවත් සංවිධාන කිහිපයක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පෙරවරුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

******************************************

(21.07.2021 – 21:18 +0530 – hirunews.lk/sinhala)

කාන්තාවකට මත්ද්‍රව්‍ය ලබාදී ඇය සිහි මඳභාවයට පත්කොට නිරුවත් දර්ශන ලබාගත් පුද්ගලයෙකු ඒවා සමාජ මාධ්‍ය හරහා බෙදා හැරීමේ පුවතක් ගම්පහ කොටදෙණියාව ප්‍රදේශයෙන් වාර්තාවනවා.

අද (21) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබදවයි.

ගම්පහ – කොටදෙණියාව ප්‍රදේශයේ කාන්තාවක් පවුල් ප්‍රශ්න හේතුවෙන් තම සැමියාගෙන් වෙන්ව මීට වසර 8 කට පමණ ඉහතදී තම දියණිය සමග කොළඹ පදිංචියට පැමිණ තිබෙනවා.

ඇය කුලී නිවසක දිවි ගෙවීම අරඹා ඇත්තේ වෙනත් පුද්ගලයෙකු සමඟයි.

කාලයත් සමග මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වී ඇති එම පුද්ගලයා විවිධ පුද්ගලයින්ගෙන් ණය ලබාගෙන එම ණය පියවීම සදහා මෙම කාන්තාව ඔවුන්ට බිළි දීමටයි කටයුතු කර තිබුනේ.

******************************************

(21.07.2021 – 21:40 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගතයෙන් රට අසීරුතාවට පත්ව ඇති මොහොතක ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයට කටයුතු කිරීම මහජන නියෝජිතයන්ගේ සහ නිලධාරීන්ගේ වගකීමක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (21) අරලියගහ මන්දිරයේ පැවති හමුවකදී.

මහජන නියෝජිතයන්, ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු පිරිසක් අද (21) අරලියගහ මන්දිරයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවුණා.

මහජනතාව වෙනුවෙන් කොවිඩ් මර්දන එන්නත් මිලදී ගැනීම සඳහා කිසිදු කොන්දේසියකින් තොරව මුදල් වෙන්කිරීමට කටයුතු කරන බව එහිදී අවධාරණය කර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා වූ යෝජනාවලට මූලිකත්වය දෙන ඉදිරි මාස 6 තුළ වඩාත් අවදානයෙන් සහ පසු විපරමෙන් කටයුතු කල යුතු බවයි.

තමන් මුදල් අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු අර්ථසාධක අරමුදලෙන් 14% ක බද්දක් අයකරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ගෙනයන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බවත් මුදල් අමාත්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා.

@@@@@@@@@@@@@@@@

(21.07.2021 – 20:42 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 386 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (21) දිනයේ හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව 1566 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *