රිෂාඩ්ගේ නිවසේදී මියගිය දැරිය ගැන පරීක්ෂණ කිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් (2)

රිෂාඩ්ගේ නිවසේදී මියගිය දැරිය ගැන පරීක්ෂණ කිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් (2)

*********************************************

රිෂාඩ්ගේ නිවසේදී මියගිය දැරිය ගැන පරීක්ෂණ කිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් (2)

(21.07.2021 – 07:17 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී දැරියක මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ පොලිස් කණ්ඩායම් ඊයේ (20) ඇය ඉගෙනගත් අවිස්සාවේල්ල – පුවක්පිටිය – කිරිවන්දල ප්‍රදේශයේ පාසලට ගොස් තිබෙනවා.

එහිදී එම පාසලේ විදුහල්පතිවරයාගෙන් සහ උප විදුහල්පතිවරයාගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර, අද (21) දිනයේදී මවගෙන් යළි ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

එමෙන්ම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ මෙහෙකරුවෙකුගේ ජංගම දුරකථනය ඊයේ (20) බොරැල්ල පොලිසිය භාරයට ගැනීමෙන් පසු යම් දත්ත මකාදැමීමක් සිදුකර ඇත්ද යන්න පිළිබඳ විමර්ශනය කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා ෴

******************************************

(21.07.2021 – 07:29 +0530 – hirunews.lk/sinhala)

රිය අනතුරු වල ශීඝ්‍ර වැඩිවීක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

එමෙන්ම ඊයේ (20) දිනයේ දී රිය අනතුරු මරණ 7 ක් වාර්තා වී තිබෙනවා.

එම රිය අනතුරුවලින් මරණ 3 ක් සිදුව ඇත්තේ යතුරු පැදිවලින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

(21.07.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala)

ඵෙතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යයේ 12 වන දිනය අදයි.

පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහර අනිද්දා (23) විථි සංචාරය කිරීමට නියමිතයි.

අද (21) අලුයම 04:30 ට යෙදුණු සුබ මොහොතින් ගිනිපෑගීම සිදු කෙරුණු අතර, ඒ සඳහා පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ අවස්ථාව ලබාදී තිබුණේ 50 දෙනෙකුට පමණයි ෴

******************************************

(21.07.2021 – 08:11 +0530 – hirunews.lk/sinhala)

මාර්ග සංවර්ධන කටයුතුවලදී වඩාත් කඩිනමින් එම සංවර්ධන කටයුතු සිදුකිරීම සඳහා නව කොන්ත්‍රාත්කරුවන් හඳුනාගෙන ඔවුන්ට අවස්ථාව ලබාදීමට කාලය එළඹ ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීයි ඔහු මෙම උපදෙස් ලබාදීම සිදුකර ඇත්තේ.

මේ අතර මාතර, මහනුවර, රත්නපුර, ගම්පහ, බදුල්ල, හම්බන්තොට, මාතලේ සහ කළුතර ඇතුලු දිස්ත්‍රික්ක රැසක මාර්ග සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙසටද එහිදී අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා ෴

******************************************

(21.07.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)

මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට සහතික කර තිබියදී සහල් කිලෝ ලක්ෂ හතරහමාරක් (4,50,000) සහිත බහලුම් 9 ක් රේගු දෙපාර්තමේන්තුව මගින් මුදාහැර තිබියදී වත්තල ප්‍රදේශයේ ගබඩාවකින් සොයාගෙන තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් සහ වත්තල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලද තොරතුරක් මත පසුගිය 15 වනදා අදාළ ගබඩාව පරීක්ෂා කිරීමට ගොස් ඇති බව සඳහන්.

කෙසේ වෙතත් අදාළ ගබඩාව පරීක්ෂා කිරීමට එහි ආරක්ෂක නිලධාරියා හෝ භාරකරුවන් එහිදී සහය ලබාදී නොමැති අතර, ඊට පසුදින පැමිණෙන ලෙසයි දැනුම්දී ඇත්තේ.

ඊට පසුදින ගබඩා භාරකරුවන් ප්‍රකාශ කර ඇත්තේ නෛතිකව අදාළ සහල් රේගුව මගින් මුදාහැර ඇති බවට තමන් සතුව ලියකියවිලි පවතින බවයි.

කෙසේ වෙතත් එදිනද ගබඩාව පරීක්ෂා කිරීමට ඔවුන් සහය ලබාදී නොමැති අතර, පසුව මෙම සිද්ධියට අදාළව ගම්පහ දිස්ත්‍රික් ආහාර පරීක්ෂක නිලධාරීන්, වත්තල පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

අදාල සහල් තොගය මුදාහැරීම සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවීප්‍රිය කියා සිටියේ දැනටමත් අදාල සහල් තොගය මුද්‍රා තැබීමට කටයුතු කර ඇති බවයි.

මේ අතර යල කන්නයේ අස්වැන්න ලැබීමත් සමඟ සහල් කිලෝවක මිල රුපියල් විස්සකින් (20) පමණ අඩු කළ හැකි බව මහවැලි කලාප ආශ්‍රිත ඇලිවේලි හා ජනාවාස, පොදු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා ප්‍රකාශ කළා.

බත්තරමුල්ල – නෙළුම් මාවත පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ ෴

******************************************

(21.07.2021 – 08:22 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොලේ එළවළුවල මිල ගණන් සීග්‍රයෙන් ඉහළ යාමත් සමඟ එළවළු සොරකම් කිරීමේ සංවිධානාත්මක කල්ලියක් නිසා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන ගොවීන් මෙන්ම ව්‍යාපාරිකයන්ද දැඩි අපහසුතාවට පත්ව ඇති බවට වාර්තාවනවා.

ව්‍යාපාරිකයන් සහ ගොවීන් පෙන්වා දෙන්නේ එළවළු, මළු පිටින්ම ඇතැම් අවස්ථාවලදී කිසියම් සංවිධානාත්මක කල්ලියක් විසින් සොරාගන්නා බවටයි.

මේ අතර හිඟ බදු නොගෙවීම හේතුවෙන් ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදසැල් 45 න්, 43 ක්ම සීල් තබා වසා දැමීමට ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම්වරයා කටයුතු කර ඇති බවට වෙළදුන් චෝදනා කරනවා ෴

******************************************

(21.07.2021 – 08:28 +0530 – hirunews.lk/sinhala)

ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ සවිකර ඇති වායු සමීකරණ යන්ත්‍ර හතරක (4) තඹ කම්බි සහිත කොටස් සොරකම් කිරීමේ සිද්ධියකට 23 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු බවටයි මරදාන පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මේ අතර දෙමටගොඩ දුම්රිය අංගනයේ නවතා ඇති දුම්රිය මැදිරිවල රුපියල් ලක්ෂ 3 කට ආසන්න වටිනාකමකින් යුත් තඹ කම්බි සහ වයර් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 62 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දුම්රිය ධාවන කළමනාකරුවෙකු දෙමටගොඩ පොලිසියට සිදුකළ පැමිණිල්ලක් අනුව අත්අඩංගුවට ගත් මොහු බේස්ලයින් පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

******************************************

(21.07.2021 – 08:32 +0530 – hirunews.lk/sinhala)

බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය අසළ පිහිටි ජාතික සඳුන් අරණ ඊයේ (20) ජනතා අයිතියට පත් කෙරුණා.

ඒ, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 9 ක භූමි ප්‍රමාණයක මෙම සඳුන් උයනෙහි ඉදිකිරීම් ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් පසුගිය වසරේ ආරම්භ කළ අතර, එහි රත් හඳුන් ශාඛ 300 ක් සහ සුදු හඳුන් ශාඛ 900 ක් රෝපණය කර තිබීම විශේෂත්වයක්.

ව්‍යායාම් කිරීම, යෝග වැඩසටහන් පැවැත්වීම, විවිධ භාවනා වැඩසටහන් සිදුකිරීමට සුදුසු පරිසරයක් ද මෙහි නිර්මාණය කර ඇති අතර, රජ දවසින් පසු රාජ්‍ය අනුග්‍රහය යටතේ ඉදිවන පළමු ජාතික සඳුන් අරණ මෙය බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කළේ ෴

******************************************

(21.07.2021 – 09:12 +0530 – hirunews.lk/sinhala)

දින පහක් (5) වයසැති බිළිඳකු මුදලට අලෙවි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය – නෙල්ලිඅඩි පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

නෙල්ලිඅඩි – මන්ඩිගායි රෝහල මගින් පොලිසියට සිදුකළ දැනුම්දීමක් අනුව ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අදාළ බිළිඳාගේ මව අවිවාහක බැවින් තම සොහොයුරියට දරුවා ලබාදී ඇති බවයි ෴

******************************************

(21.07.2021 – 10:22 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද (21) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල් දමා තිබෙනවා.

ලබන 27 වනදා දක්වා එම සාකච්ඡාව කල් දමා ඇති බවයි නිදහස් පක්ෂය සඳහන් කළේ.

එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ එහි ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිපදෙනෙකු එම සාකච්ඡාව සඳහා එක්වීමට නියමිතව තිබුණා ෴

******************************************

(21.07.2021 – 10:57 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුරය – ඇතුන්ගම මරාකුලම් ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නිවසේ සිට ගව පට්ටියක් වෙත පා පැදියෙන් ගමන් කරමින් සිටියදී ඊයේ (20) රාත්‍රියේ මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ 53 හැවිරිදි අවිවාහකයෙකු බවයි තිරප්පනේ පොලීසිය සඳහන් කළේ ෴

******************************************

(21.07.2021 – 10:59 +0530 – hirunews.lk/sinhala)

කල් ඉකුත් වූ එළ කිරි, ලේබල් වෙනස් කර නැවත වෙළඳපලට යැවීමට කටයුතු කළ බව කියන දොම්පේ ප්‍රදේශයේ කිරි නිෂ්පාදනය කරන ආයතනයක් මුද්‍රා තබා තිබෙනවා.

බස්නාහිර පළාත් බුද්ධි ඒකකයට ලද තොරතුරකට අනුව ගම්පහ පාරිභෝගික අධිකාරියේ ගම්පහ කාර්යාලයේ නිලධාරීන් සමග කළ වැටලීමකින් පසු මෙම ස්ථානයට මුද්‍රා තබා තිබෙනවා.

මෙහිදී කල් ඉකුත් වූ මිලිලීටර් 500 ප්‍රමාණයේ කිරි බෝතල් 1500 ක් සහ කලවම් කිරීමට ගෙනා තවත් කිරි බෝතල් ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

මෙම වැටලීම සිදුකරන අවස්ථාවේ එහි කළමනාකරු ඇතුළු තවත් 6 දෙනකු එහි සිට තිබෙනවා ෴

******************************************

(21.07.2021 – 11:02 +0530 – hirunews.lk/sinhala)

මීගමුව – ඒත්තුකාල මුහුදු තීරයේ තිබියදී කිලෝ 20 කට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා ගෝනි 11 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අද (21) උදෑසන මීගමුව පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ පරීක්ෂාවකදී මෙම කේරල ගංජා තොගය සොයාගැනුනු බවයි මීගමුව පොලිසිය සඳහන් කළේ.

මුහුදු මාර්ගය ඔස්සේ මේවා රැගෙන විත් ඇති බවට පොලිසිය සැක පළ කරනවා ෴

@@@@@@@@@@@@@@@

(21.07.2021 – 06:34 +0530 – hirunews.lk/sinhala)

අද (21) උදෑසන 06 සිට තවත් ප්‍රදේශයක් හුදෙකලා බවින් නිදහස් කර තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ පොලිස් වසමේ පුහාඹුගොඩ නැගෙනහිර මලබඩවත්ත කොටස මෙලෙස හුදකලා බවින් ඉවත් කරනු ලැබුවා.

++++++++++++++++++++

(21.07.2021 – 06:49 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති කඩකළ 207 දෙනෙකු පොලිසිය ඊයේ (20) අත්අඩංගුවට ගෙත ගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති කඩකළ 51,392 ක් අත්අඩංගුවට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

දීර්ඝ සති අන්තයක් අනිද්දා (23) සිට එළඹෙන බැවින් ජනතාව නිරෝධායන නීතින්ට අනුගතව කටයුතු කළ යුතු බව ඔහු පෙන්වා දෙනවා.

පසුගිය අලුත් අවුරුදු සමයේ දීර්ඝ සති අන්ත නිවාඩුවලදී ජනතාව නිරෝධායන නීති නොතකා කටයුතු කිරීම නිසා සති පහක (5) කාලයක් රට වසා දැමීමට සිදුවූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා ෴

+++++++++++++++++++++

(21.07.2021 – 08:11 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 60 ට වැඩි හෝ 30 ට වැඩි නිධන් ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින්ට එන්නත්කරණයේදී ප්‍රමුඛතාව ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉල්ලීමක් කරනවා.

එම සංගමය ඊයේ (20) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් දියවැඩියා සහ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා සඳහන් කළේ මෙරට මරණවලින් සියයට 84 ක්ම වයස අවුරුදු 60 ට වැඩි හෝ නිධන්ගත රෝගවලින් පෙළෙන අය බවයි.

ඊයේ (20) දිනයේ නව ආසාදිතයන් 1,554 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දෙලක්ෂ අසු හත් දහස් නවසිය හැත්තෑ තුනක් (2,87,973) දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් 1,511 දෙනෙකු ‘අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ’ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 43 දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනාගැනුනා.

ඒ අනුව තවදුරටත් රෝගීන් 21,318 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව දෙලක්ෂ හැටදෙදහස් අටසිය විසි අටක් (2,62,828). මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3,870 ක් ලෙසයි.

මේ අතර කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවල පමණක් ක්‍රියාත්මක කොරෝනා රෝග ලක්ෂණ නොමැති සහ නිධන්ගත රෝගවලින් තොර ආසාදිතයන් නිවෙස් තුළ අධීක්ෂණ ක්‍රියාවලිය සෙසු දිස්ත්‍රික්ක තුළද ක්‍රියාත්මක කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා ෴

++++++++++++++++++++++

(21.07.2021 – 08:13 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගතවන ශ්‍රමිකයන්ට ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබාදෙන ලෙස ‘බලපත්‍ර ලත් විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමය’ රජයෙන් ඉල්ලීමක් කරනවා.

එම සංගමයේ ලේකම් එම්.එෆ්.එම්. අර්ෂාඩ් මහතා හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ඇතැම් රටවල් මෙරට තුළ දැනට ලබාදෙන අනුමත එන්නත් පහෙන් (5) එන්නත් තුනක්ම (3) විදේශගතවීමේදී නොපිළිගන්නා තත්වයක් පවතින බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ, ආචාර්ය චන්දිම ජීවන්දර සහ ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ග්‍රැහැම් ඔග් ඇතුලු විශේෂඥයින් පිරිසක් සිදුකළ පර්යේෂණයකින් අනාවරණ වුණේ සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම (2) ලබාගත් පුද්ගලයින් තුළ සියයට 95 ක ප්‍රතිදේහ වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

සංචරණ සීමා ලිහිල් කර ඇති යුරෝපා මහද්වීපයේ බොහෝ රටවලට ඇතුලුවීමේදී ෆයිසර්, මොඩර්නා, ඇස්ට්‍රාසෙනෙකා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් ලබාගත් පුද්ගලයින්ට ප්‍රමුඛතාව හිමිවන අතර, හංගේරියාව වැනි රටවල් ස්පුට්නික් එන්නත ලබාගත් පුද්ගලයින්ට ද එම රටට ඇතුලුවීමට අවසර දී තිබෙනවා.

කෙසේ වෙතත් ජර්මනිය සහ ප්‍රංශය වැනි රටවල් ස්පුට්නික් සහ සයිනොෆාම් එන්නත් සඳහා වැඩි පිළිගැනීමක් දක්වන්නේ නැහැ.

මැදපෙරදිග සංචාරක මර්මස්ථානයක් වන අබුඩාබි රාජ්‍යයේ ෆයිසර්, සයිනොෆාම් එන්නත් ලබාගත් පුද්ගලයින්ට නිදහස් වීසා ලබාදීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පසුගිය ජූනි 23 වනදා නිවේදනය කළේ ඉන්දියාව, දකුණු අප්‍රිකාව, නයිජීරියාව යන රටවල සිට ඩුබායි වෙත පැමිණෙන පුද්ගලයින් අනිවාර්යයෙන් එරට අනුමත සයිනොෆාම්, ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා, ස්පුට්නික් එන්නත් ලබාගත යුතු බවයි.

සෞදි අරාබිය විදෙස් සංචාරකයන්ට දින 7 ක නිරෝධායන කාලසීමාවකට යටත්ව ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා, ජොන්සන් ඇන්ඩ් ජොන්සන්, මොඩර්නා සහ සයිනොෆාම් මෙන්ම සිනොවැක් එන්නත් ලබාගත් අයට තම රටට ඇතුලුවීමට අවසර ලබාදී තිබෙනවා.

මෙලෙස ඇතැම් රටවල් එක් එක් එන්නත් පිළිගැනීම හා ප්‍රතික්ෂේප කිරීමට රාජ්‍යතාන්ත්‍රික, දේශපාලනික මතවාද හා අභිලාෂයන් බලපෑම් කර ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුලනි විජේබාහු පෙන්වා දෙනවා ෴

++++++++++++++++++++++

(21.07.2021 – 10:30 +0530 – hirunews.lk/sinhala)

ඕස්ට්‍රේලියාවේ ජනගහණයෙන් හරි අඩකට නැවත වරක් වසා දැමීම් වලට මුහුණදීමට සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් ඉහළ යාම ඊට හේතුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් සිඩ්නි සහ මෙල්බර්න් යන නගර මේ වනවිටත් වසා දමා ඇති අතර, එය විවෘත කරන දිනය සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නැහැ.

එන්නත්කරණ වැඩසටහන විධිමත් අයුරින් සිදු නොකරන බවට එරට රජයට චෝදනා එල්ලවී තිබෙනවා.

ඕස්ට්‍රේලියාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 32,129 ක් වාර්තාවී ඇති අතර, මියගිය සංඛ්‍යාව 915 ක් ෴

+++++++++++++++++++++

(21.07.2021 – 11:30 +0530 – hirunews.lk/sinhala)

පිලියන්දල – ජඹුරලිය – ලූල්ලවල මාර්ගයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්තශාලාවක සේවකයන් 186 කට සිදුකළ කොවිඩ් පරීක්ෂණවලින් 120 කට වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වී තිබෙනවා.

ඉන් අහඹු ලෙස තෝරාගත් ජෛව සාම්පල 20 ක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යොමුකිරීමෙන් අනතුරුව ඉන් සාම්පල 06 කට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ඇතිවී ඇති බව තහවුරු වී තිබෙනවා.

අදාළ කර්මාන්ත ශාලාවේ සේවකයන් 1000 කට ආසන්න ප්‍රමාණයක් සේවය කරන අතර ඉන් 85% ක් පමණ එම ප්‍රදේශයේ කුලී පදනම යටතේ නවාතැන් ගෙන සිටින අය බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

එමෙන්ම සංචරණ සීමා ලිහිල් කරමින් ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ඉඩ සැලසීමේදී ඇතැම් පිරිස් සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකා කටයුතු කරන ආකාරය තවමත් දක්නට ලැබෙනවා.

පුත්තලම රාත්‍රී පොළෙහි ද ඊයේ (20) එවැනිම තත්ත්වයක් නිරීක්ෂණය වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම පසුගිය 10 වන දා සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ විවාහ මංගල උත්සව සදහා අවසර ලබාදුන්න ද ඇතැම් හෝටල්වල කළමණාකාරීත්වය සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකා කටයුතු කරන බවට මේරියන්ස් නායක නලීන් පෙරේරා චෝදනා කරනවා.

ඔහු මෙම අනතුරු ඇගවීම සිදුකළේ සමාජ මාධ්‍ය වෙත විශේෂ පණිවුඩයක් මුදා හරිමින්.

මේ අතර, නිරෝධායන නීති කඩ කළ 207 දෙනෙකු ඊයේ (20) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 51,392 ක්.

අනිද්දා (23) සිට දීර්ඝ සති අන්ත නිවාඩුවක් පවතින බැවින් ජනතාව නිරෝධායන නීතින්ට අනුගතව කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ.

බූස්ස බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි තවත් රැදවියන් 37 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඊයේ (20) ලද කොරෝනා පරීක්ෂණ වාර්තාවලින් මේ බව තහවුරු වී ඇති බවයි ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

මීට පෙර ද බූස්ස බන්ධනාගාරයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි රැදවියන් 52 නෙකු ආසාදිතයින් බවට හඳුනා ගැනුණා.

ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල අධිකරණ මගින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද රැදවියන් බූස්ස බන්ධනගාරයේ අධි ආරක්ෂිත කොටසක නිරෝධායනයට ලක්වෙමින් සිටියදී මෙලෙස ආසාදිත බවට හදුනාගෙන ඇති බව සඳහන්.

ඊයේ (20) මෙරටින් හඳුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් 1554 දෙනා අතරින් වැඩිම පිරිසක් එනම් 291 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 228 දෙනෙකු, කළුතරින් 227 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 173 දෙනෙකු ඊයේ (20) වාර්තා වී ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර, ඊයේ (20) සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයන් 95,037 දෙනෙකුට ලබාදී ඇති අතර එහි දෙවන (2) මාත්‍රාව 12,655 දෙනෙකුට ලබාදී තිබෙනවා.

එමෙන්ම මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයන් 1,30,596 දෙනෙකුට ද, ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව 18,745 දෙනෙකුට ද ඊයේ (20) ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ the servants mobile? Seems that the powers to be already planning to pass on the sins of the politcian masters’ and their evil families’ to an innocent servant. Public please note and monitor this potential miscarriage of justice. I thought the police would first and immediately demand to to examine the mobiles of the masters and their kith and kin.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *