ශ්‍රී ලංකාව, කොරෝනා 4 වන රැල්ලේ මුල් භාගයේ – විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න

ශ්‍රී ලංකාව, කොරෝනා 4 වන රැල්ලේ මුල් භාගයේ – විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න

*********************************************

ශ්‍රී ලංකාව, කොරෝනා 4 වන රැල්ලේ මුල් භාගයේ – විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න

(20.07.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා 4 වන රැල්ලේ මුල් භාගයට ශ්‍රී ලංකාව ළඟා වෙමින් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ප්‍රකාශ කළා.

ඒ, කොළඹ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඇය කියා සිටියේ කොළඹ නගරයේ ඩෙල්ටා ආසාදිතයින් සියයට 30 ක් පමණ සිටින අතර එය සියයට 50 දක්වා වර්ධනය වීමේ අවදානමක් ද පවතින බවයි.

මේ අතර, කළුතර – පයාගල ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වූ පුද්ගලයින් 48 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් හඳුනාගෙන ඇති අතර මේ වන විට නිවාස 8 ක පුද්ගලයින් නිරෝධායනයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

එසේම, බදුල්ල මහරෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකුට (2) හා හෙදියන් 5 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

බූස්ස බන්ධනාගාරයේ රැදවියන් 52 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

නිරෝධානයට ලක්වෙමින් සිටි රැදවියන් 56 දෙනෙකු කොරෝනා පරීක්ෂණවලට ලක් කර ඇති අතර, ඉන් අනතුරුවයි අදාළ ආසාදිතයින් හඳුනාගෙන ඇත්තේ.

++++++++++++++++++++

(20.07.2021 – 15:51 +0530 – hirunews.lk/sinhala)

අද (20) දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයන් 980 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 262,828 ක්.

මේ අතර කොවිඩ් මර්දන හා පාලන කටයුතු විධිමත්ව පවත්වාගෙන යෑම සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 900 ක් වටිනා වෑන් රථ 9 ක් බෙදාදීම අද (20) සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදුවුණා.

ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වය මත හිමිවූ මෙම වෑන් රථ මහනුවර, මාතලේ, නුවරඑළිය, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල, රත්නපුර මෙන්ම කෑගල්ල යන දිස්ත්‍රික්කවලට බෙදාදීමට නියමිතයි ෴

@@@@@@@@@@@@@@@@@

(20.07.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

නව ගුවන් සේවා 04 ක් ශ්‍රී ලංකාව සමඟ අලුතින් ගුවන් ගමන් ආරම්භ කිරීම පිළිබද සාකච්ඡා ආරම්භ කර ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසනවා.

‘එයා ෆ්රාන්ස්’ ගුවන් සමාගම සහ මැද පෙරදිග ගුවන් සමාගමක් කටුනායක ගුවන් තොටුපළ මෙන්ම මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ද ආවරණය වන පරිදි ගුවන් ගමන් වාර ආරම්භ කිරීමට කැමත්ත පළ කර ඇති බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ.

මේ අතර, ‘ඕමාන් ගුවන් සේවයට අයත් සලාම් ගුවන් සේවය’ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල දක්වා ගුවන් ගමන් වාර ආරම්භ කිරීමට කැමැත්ත පළ කර ඇති අතර ‘සිනමන් ගුවන් සේවය’ මෙරට අභ්‍යන්තර ගුවන් තොටුපළ ආවරණය වන පරිදි ගුවන් ගමන් ආරම්භ කිරීමටද කැමත්ත පළකර තිබෙනවා ෴

******************************************

(20.07.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala)

අක්මීමන ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම අතරවාරයේදී අද (20) උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ආණ්ඩුවට විරෝධය පළ කරමින් එහි සමඟි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අක්මීමන මංසන්ධියේ සිට පෙරවරුවේ විරෝධතා පා ගමනකින් මාසික රැස්වීම්වට සහභාගි වීමට පැමිණියේ කළු කොඩි අතැතිවයි.

විරෝධතාවයේ නිරත විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රාදේශීය සභාව ඉදිරිපිටට පැමිණි අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඔවුන් පිළිගනු ලැබුවේ ජල ප්‍රහාරයක්ද එල්ල කරමින්.

එම ජල ප්‍රහාරය මධ්‍යයේ ඔවුන් මාසික රැස්වීමට එක්ව සිටි අතර, එහිදී ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා අදහස් දැක්වීමත් සමඟ ඇතිවූ සංවාදාත්මක තත්වය මත එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු සමඟ ගුටි බැට හුවමාරුවක් ද සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එය සමථයකට පත් කිරීමෙන් අනතුරුව අක්මීමන ප්‍රාදේශීය සභාවේ කටයුතු මේ වනවිට යලි ආරම්භ වී ඇති බව ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළා ෴

******************************************

(20.07.2021 – 13:25 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි ඇවිලී මිය ගිය බාල වයස්කාර දැරියට සාධාරණයක් ඉටු කරන්නැයි ඉල්ලා නව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ සාමාජිකයන් පිරිසක් මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපිට අද (20) විරෝධතාවක නිරත වුණා.

මේ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන්නැයි ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා අද (20) පෙරවරුවේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළා.

https://www.youtube.com/watch?v=kYZXabQn8tY#t=5

(20.07.2021 – 20:02 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ කොළඹ පිහිටි නිවසෙහි මෙහෙකාර සේවයේ නිරතව සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් මියගිය 16 හැවිරිදි බාල වයස්කාර දැරියට සාධාරණයක් ඉටු කරන්නැයි ඉල්ලා අදත් (20) විරෝධතා පැවැත්වුණා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද (20) පාර්ලිමේන්තුවේදීද කතා බහක් ඇති වුණා.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ කොළඹ පිහිටි නිවසේ මෙහෙකාර සේවයට ‘ඉෂාලිනී ජූඩ්’ නමැති මෙම දැරිය පැමිණ තිබුණේ තැරැව්කරුවෙකු මාර්ගයෙන්.

පසුගිය 03 වනදා ඇය පිලිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 15 වනදා මිය ගියා.

පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාව අනුව හෙලි වී ඇත්තේ අදාළ දැරිය කාලාන්තරයක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවයි.

මෙම සිද්ධිය මුල් කර ගනිමින් අදාල දැරියට සාධාරණය ඉටු කරන්නැයි ඉල්ලා නව ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ කොළඹ පිහිටි නිවස ඉදිරිපිට අද (20) පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා.

ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන්නැයි ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා ද අද (20) පෙරවරුවේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

එමෙන්ම දැරියගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා හැටන් ඩයගම ප්‍රදේශයේ වතු කිහිපයක වතු කම්කරුවන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් දැරිය පදිංචිව සිටි ඩයගම ප්‍රදේශයේ අද විරෝධතාවක නිරත වුණා.

එමෙන්ම ඉෂාලිනී නමැති මියගිය දැරියගේ දෙමාපියන් ද අද (20) මාධ්‍ය හමුවක් කැඳවමින් කරුණු පැහැදිළි කළා.

මේ අතර රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී දැරියක මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.

++++++++++++

https://www.youtube.com/watch?v=oHBFLiLn1Kc#t=6

******************************************

(20.07.2021 – 13:38 +0530 – hirunews.lk/sinhala)

පාසල් යන වයසේ කුඩා දරුවන් දෙදෙනෙකුට (2) පැණි බීම බව පවසමින් මත්පැන් පෙවීමේ සිද්ධියක් මහියංගණය, ගිරාඳුරුකෝට්ටේ, රත්කිඳ මහවැලි ගම්මානයෙන් වාර්තාවනවා.

පොලීසිය පැවසුවේ, සිද්ධියට සම්බන්ධ 58 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ වයස අවුරුදු 9 ත් 10 ත් අතර වයස්වල පසුවන මෙම දරුවන් දෙදෙනා (2) වෙළඳ සැළකට යන අවස්ථාවකදී සැකකාර පුද්ගලයා ඔවුන් සිය නිවසට කැඳවා මත්පැන් පානය කිරීමට දී ඇති බවයි.

ඒ අනුව කුඩා දරුවන් දෙදෙනා (2) මත්පැන් පානය කර ඇති අතර පසුව ඔවුන් නිවෙස් වෙත ගිය අවස්ථාවේදී ඇස් රතුවීම් සහ හැසිරීමේ වෙනසක් දුටු දෙමාපියන් විසින් මේ පිළිබඳව තොරතුරු අනාවරණය කර තිබෙනවා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 58 හැවිරිදි සැකකාර පුද්ගලයා මේ මස 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

******************************************

(20.07.2021 – 14:21 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු කාරක සභා සඳහා විශේෂඥයන්ගේ සහ පර්යේෂකයන්ගේ සහය ලබා ගැනීමට අවධානය යොමුව තිබෙනවා.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) රැස්වූ පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ කාරක සභාවේදියි.

ඒ අනුව මුදල් කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, ගිණුම් කාරක සභාව වැනි විශේෂ කාරක සභා සඳහා ඔවුන්ගේ සහය ලබා ගැනීමටයි එහිදී සාකච්ඡා වී ඇත්තේ.

ඊට අමතරව මහජන පෙත්සම් කාරක සභාව වැනි මහජනතාව ඍජුවම සහභාගි වන කාරක සභා පාර්ලිමේන්තුවෙන් පිටත ස්ථානයකදී පැවැත්වීමට ඇති හැකියාව පිළිබදව ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා ෴

******************************************

(20.07.2021 – 15:02 +0530 – hirunews.lk/sinhala)

හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් නොමැතිව මහබැංකු බැඳුම්කර නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විණිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා.

මෙම ත්‍රිපුද්ගල විණිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනෙන්නේ 2016 වසරේ මාර්තු මස 29 වනදින සිදුකෙරුණු මහබැංකු බැඳුම්කර නිකුතුවේදී සිදුවූ බවට පැවසෙන අක්‍රමිකතාවන් පිළිබඳවයි.

මෙම බැඳුම්කර නිකුතුවේදී නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකරමින් සිදුකළ ක්‍රියාකාරකම් හරහා ශ්‍රී ලංකා මහබැංකුවට රුපියල් බිලියන 10 කට වැඩි ප්‍රමාණයක මූල්‍යමය අලාභයක් සිදුවූ බවට එවකට විපක්ෂය විසින් චෝදනා කෙරුණා.

මේ සම්බන්ධයෙන් එවකට මහබැංකු අධිපතිව සිටි අර්ජුන මහේන්ද්‍රන් සහ ඔහුගේ ඥාතියෙකු වන පර්පචුවෙල් ට්‍රේෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් ඇතුළු පිරිසකට චෝදනා නැගුණා.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරෙණ අතරවාරයේ හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුව බලා පළාගියා ෴

******************************************

(20.07.2021 – 15:07 +0530 – hirunews.lk/sinhala)

දැදුරුඔය – දෑලකොල එළවළු වවන්නන්ගේ සංගමය විසින් අද (20) හලාවත – මානුවන්ගම ප්‍රදේශයේදී උද්ඝෝෂණයක නිරතවුණා.

ඒ, තම වගාවන්ට අවශ්‍ය පොහොර නොමැති බවට පවසමින්.

එළවළු වවන්නන්ගේ සංගමය විසින් දැදුරුඔයේ දෑල ප්‍රදේශයේ ගොටුකොළ, මුකුණුවැන්න සහ කංකුං ඇතුලු තවත් පලාවර්ග වගා කරනු ලබනවා.

එහෙත් රටේ පවතින පොහොර හිඟය හේතුවෙන් පවුල් 8,000 ක් පමණ දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි ඔවුන් විරෝධතාවයේ නිරතවෙමින් සඳහන් කළේ.

******************************************

(20.07.2021 – 15:35 +0530 – hirunews.lk/sinhala)

උතුරු පළාතෙන් බිහි වී ශ්‍රී ලංකාවේ සේවය කරණ පළමු දෙමළ ජාතික ගුවන් නියමුවරිය වීමේ භාග්‍යය මන්නාරමේ තරුණියකට හිමි වී තිබෙනවා.

මෙම අවස්ථාව හිමිව ඇත්තේ ‘එමානුවෙල් එවැන්ජලීන්’ නැමති තරුණියටයි.

මන්නාරමේ ඉතාම දුෂ්කර ගම්මානයක් වන මාන්තෙයි බටහිර වට්ටකන්ඩල් කාතන්කුලම් ගම්මානයේ ජීවත් වන එමානුවෙල් එවැන්ජලීන් මන්නාරම ශාන්ත සේවියර් බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා තිබෙනවා.

පසුව ඇය කොළඹ ආසියානු ගුවන් සේවා මධ්‍යස්ථානයට බැදී ගුවන් නියමු පුහුණු පාඨමාලාව හදාරමින් සිය ගුවන් නියමුවරියක වීමේ සිහිනයට ලඟා වී තිබෙනවා.

ඇයගේ මව්පියන් වන ෆ්‍රැන්සිස් එමානුවෙල් හා එස්. සිලම්මා යන දෙපළ පවසන්නේ කුඩා කාලයේ සිටම සිය දියණිය ගුවන් නියමුවරියක් වීමේ සිහිනය පසුපස ගිය බවයි.

උතුරේ දෙමළ තරුණියන් මීට පෙර ගුවන් නියමුවරියන් වශයෙන් පුහුණුව ලබා සේවය කරණ නමුත් ඔවුන්ගෙන් කිසිවෙකුත් ශ්‍රී ලංකාවේදී පුහුණුව ලැබීමක් හෝ ශ්‍රී ලංකාවට සේවය කිරීමක් නොකරන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

******************************************

වෙළඳපොලේ ගෑස් හිඟයක් ඇතිවීමට ඉඩ තබන්නේ නෑ – ලිට්‍රෝ ගෑස් සමාගමෙන් සහතිකයක්

(20.07.2021 – 15:54 +0530 – hirunews.lk/sinhala)

ලාෆ් සමාගම ගෑස් ආනයනය නවතාලීමට ගත් හදිසි තීරණයත් සමඟ වෙළඳපොළේ ඇතිවිය හැකි ගෑස් හිඟයකට මුහුණදීම සඳහා ලිට්‍රෝ සමාගම සතුව ඇතිතරම් තොග ඇති බව එම සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මෙම නිවේදනයේ දැක්වෙන්නේ ඇතිවන තත්වයකදී ලිට්‍රෝ ගෑස් සමාගම වෙළඳපොළේ ඇති ඕනෑම වර්ණයක සිලින්ඩර වෙත ගෑස් සැපයීම සිදුකරන බවයි.

යම් හෙයකින් අමතර තොග අවශ්‍ය වුවහොත් කෙටි කලකදී එම ධාරිතාව සම්පූර්ණ කරගැනීමේ හැකියාවත් සිය සමාගම සතු බවයි මෙම නිවේදනය හරහා ඔහු පෙන්වාදෙන්නේ.

මෙරට ගෑස් අවශ්‍යතාවය සපුරන ප්‍රධාන ගෑස් සමාගම් දෙක (2) වන්නේ ලිට්‍රෝ සහ ලාෆ්.

මෙම නිවේදනයේ සඳහන් වන ආකාරයට ලාෆ් සමාගම මෙරට ගෘහස්ත ගෑස් පරිභෝජනයෙන් 20% ක පමණ ප්‍රමාණයක් සපුරාලනවා ෴

(20.07.2021 – 16:56 +0530 – hirunews.lk/sinhala)

ලෝක වෙළඳපොළේ ගෑස් මිල වැඩිවුවත් මෙරට වෙළඳපොලේ ගෑස් මිල වැඩි නොකරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ගෑස් මිල සම්බන්ධයෙන් අද දින වෙළඳ අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ ගියද කැබිනට් මණ්ඩලය විසින් එම පීඩනය මෙරට පාරිභෝගිකයා වෙත ඇති නොකොට මුදල් අමාත්‍යංශය හා ඒකාබද්ධව ගෑස් මිල පාලනය කිරීමට කටයුතු කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ෴

(20.07.2021 – 19:43 +0530 – hirunews.lk/sinhala)

කෙසේ වෙතත්, ගෑස් මිල සංශෝධනය පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදී විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් දැක්වූ අතර, එහිදී මාධ්‍ය හමුවට එක්වූ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ද මැදිහත් වුණා.

එහිදි ඔවුන් කියා සිටියේ ඉදිරි දිනකදී නව මිල සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කරන බවයි.

කෙසේ වෙතත්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කළේ වෙළද අමාත්‍යාංශය විසින් ගෑස් සිලින්ඩරයක මිල වෙනස් කරනවා වෙනුවට සිදුකළ යුත්තේ වෙළඳපොලට නිකුත් කර ඇති ලීටර 18 නව ගෑස් සිලින්ඩරය ඉවත් කිරීම බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *