මිල කළ නොහැකි මැණික් ගල් 03 ක් ලංකා බැංකුවේ ආරක්‍ෂිත සේප්පුවේ තැන්පත් කරයි

මිල කළ නොහැකි මැණික් ගල් 03 ක් ලංකා බැංකුවේ ආරක්‍ෂිත සේප්පුවේ තැන්පත් කරයි

*********************************************

මිල කළ නොහැකි මැණික් ගල් 03 ක් ලංකා බැංකුවේ ආරක්‍ෂිත සේප්පුවේ තැන්පත් කරයි

(19.07.2021 – 17:53 +0530 – hirunews.lk/sinhala)

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතුව තිබූ මිල කළ නොහැකි මැණික් 03 ක් ආරක්ෂාව සඳහා කොළඹ ලංකා බැංකු මූලස්ථානයේ ආරක්‍ෂිත සේප්පුවේ තැන්පත් කර තිබෙනවා.

මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ උපදෙස් පරිදි අද (19) විශේෂ ආරක්ෂාවක් යටතේ මෙලෙස මැණික් ගල් තැන්පත් කිරීම සිදුකෙරුණා.

කොල්ලුපිටියේ පිහිටි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සියළු කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පසුගිය දා තීරණය කෙරුණා.

ඒ එම අධිකාරිය පිහිටි ගොඩනැගිල්ල ගිලා බැසීමේ අවධානමකට ලක්ව තිබීම හේතුවෙන්.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, නාරාහේන්පිට පිහිටි මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ භූමියේ මේ වන විටත් ස්ථාපිත කරමින් පවතින බවයි එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පවසන්නේ.

මෙලෙස ලංකා බැංකු ආරක්‍ෂිත සේප්පුවේ තැන්පත් කර ඇත්තේ ජාතික වස්තුවක් වූ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සේප්පුවේ මෙතෙක් සුරක්ෂිතව තිබූ මිල කළ නොහැකි බව පැවසෙන මැණික් 03 ක් බවටයි තොරතුරු වාර්තාවන්නේ.

++++++++

13 හැවිරිදි දැරිය අපයෝජනයට ලක් කළ, වල් සාදු ඇතුලු හතර (4) දෙනා රිමාන්ඩ්

(19.07.2021 – 19:56 +0530 – hirunews.lk/sinhala)

= 13 හැවිරිදි දැරිය අපයෝජනයට ලක් කළ, චීවරධාරියා ඇතුලු හතර (4) දෙනා රිමාන්ඩ් =

වයස අවුරුදු 13 ක දැරියක් අපහරණය කිරීම හා ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීවරධාරියෙකු ඇතුලු හතර (4) දෙනෙකු ලබන මස 2 වන දා දක්වා අද (19) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ රාජගිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපතියෙකු ඇතුළු සැකකරුවන් 3 දෙනෙක්.

වේයන්ගොඩ – නුන්ගමුව ප්‍රදේශයේ පදිංචි මෙම දැරියට දේව වරමක් ලබාදෙන බව පවසමින් චීවරධාරියා විසින් ඇයව පැහැරගෙන ගොස් අපයෝජනය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ ෴

******************************************

(19.07.2021 – 18:38 +0530 – hirunews.lk/sinhala)

ඩෙවෝන් දිය ඇල්ලෙන් පහළට ඇදවැටී අතුරුදහන්වූ තරුණිය සොයා සිදුකරන ලද විශේෂ මෙහෙයුම අද (19) දහවල් තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබෙනවා.

මේ දිනවල දිය ඇල්ලේ ජලය අධික මට්ටමක පැවැතීම හේතුවෙන් මෙම කටයුත්ත සිදු කිරීම ඉතා අසීරු වී ඇති බවයි තරුණිය සෙවීමේ මෙහෙයුමට එක්ව සිටි ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ.

එසේම අඩි 291 ක උසකින් සමන්විත ඩෙවෝන් දිය ඇල්ලේ පහළ ප්‍රදේශය විශාල ගල් සහිත ස්ථානයක් වීමද අතුරුදන් තරුණිය සෙවීම තවත් අසීරු කර තිබෙනවා.

තරුණියන් හතර දෙනෙකු (4) ඩෙවෝන් දිය ඇල්ල නැරඹීමට ඊයේ (18) දහවල් පැමිණ ඇති අතර දිය ඇල්ලේ ඉහළ කොටසේ සිට සෙල්ෆි ඡායාරූප රැගෙන ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

අනතුරුව දිය ඇල්ලේ මුදුනත ඇති ජල පහරින් එම තරුණියන් පිරිස පාද සේදීමට ගිය අවස්ථාවේ ඒ අතර සිටි එක් තරුණියක් මෙලෙස ලිස්සා ගොස් දිය ඇල්ලෙන් පහලට ඇඳ වැටී ඇති බවයි පොලීසිය සිදු කරන ලද මුලික විමර්ශණවලදී හෙලී වී ඇත්තේ.

දිය ඇල්ලෙන් පහලට වැටීමෙන් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

දිඹුල- පතන පොලීසියේ නිලධාරීන්, යුධ හමුදාව, නාවික හමුදා භට පිරිස් සහ ප්‍රදේශවාසීන් එකතුව අතුරුදහන්ව සිටින තරුණිය සොයා දුෂ්කර මෙහෙයුමක නිරත වුවද මෙතෙක් අතුරුදන් තරුණිය පිළිබදව කිසිදු හෝඩුවාවක් සොයා ගැනිමට නොහැකිව ඇති බවයි වාර්තා වන්නේ.

[ සේයාරූ ]

******************************************

(19.07.2021 – 19:43 +0530 – hirunews.lk/sinhala)

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් ඔහු නොමැතිව නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා අද (19) පළමු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන්නා.

චම්පා ජානකී රාජරත්න, නාමල් බලල්ලේ යන විනිසුරුවරුන් හමුවේ මෙම නඩුව අද (19) කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මෙම දැනුම් දීම සිදුකළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

එහිදී චම්පා ජානකී රාජරත්න විනිසුරුවරිය, අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගෙන් විමසා සිටියේ විත්තිකරු නොමැතිව නඩු විභාගය ආරම්භ කිරීමට හැකියාවක් ඇද්ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන කියා සිටියේ අර්ජුන් මහේන්ද්‍රන් උදර්පණ නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් දෙරටේ නීතිපතිවරු අතර සාකච්ඡා පැවැත්වෙන බවයි.

කෙසේ වෙතත් එය අසාර්ථක වුවහොත් ඉදිරියේදී විත්තිකරු නොමැතිව නඩු විභාගය ආරම්භ කිරීම සඳහා අධිකරණයෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියා.

2015 වසරේ පෙබරවාරි 27 වනදා සිදුකළ භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවේදී රුපියල් මිලියන 688 ක මුදලක් වංචා කර ඇති බවට අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබෙනවා.

නඩුවේ 10 වන විත්තිකරු ලෙස නම් කර සිටින අජහාන් ගාර්දිය පුංචිහේවා නැමැත්තා සිංගප්පූරුවේ වාසය කරමින් සිටිය ද ඔහු මේ වන විට මැලේසියාවේ සිටින බවට තොරතුරු අනාවරණ වී ඇතැයි ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළා.

මෙම විත්තිකරුට ද නොතීසි භාරදීම සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයක් උද්ගතව ඇති බැවින් ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට ඉල්ලීමක් ඉදිරිපත් කරන බවත් ඊට අදාළ සාක්ෂි සහ ලේඛන ඉදිරි නඩු දිනයේදී ඉදිරිපත් කරන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව එම කටයුතු පිළිබද සලකා බැලීම සඳහා නඩුව යළි සැප්තැම්බර් මස 22 වන දා යළි කැදවීමටයි පළමු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළේ ෴

******************************************

(19.07.2021 – 20:00 +0530 – hirunews.lk/sinhala)

රටබීම බව පවසමින් පාසල් යන වයසේ කුඩා දරුවන් දෙදෙනෙකුට (2) මත්පැන් පෙවීමේ සිද්ධියක් මහියංගණය – ගිරාඳුරුකෝට්ටේ – රත්කිඳ මහවැලි ගම්මානයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

සිද්ධියට අත්අඩංගුවට ගත් 58 හැවිරිදි සැකකරු මේ මස 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

9 සහ 10 යන වයස්වල පසුවන මෙම දරුවන් දෙදෙනා (2) වෙළඳසැලට යන අවස්ථාවේදී සැකකරු විසින් සිය නිවසට කැඳවා මෙලෙස මත්පැන් පානය කිරීමට ඉඩ සලස්වා තිබෙනවා.

පසුව ඔවුන් නිවෙස් වෙත ගිය අවස්ථාවේ ඇස් රතුවීම සහ හැසිරීමේ වෙනසක් පිළිබඳව දෙමාපියන් විමසූ අවස්ථාවේදීයි දරුවන් ඒ පිළිබඳව තොරතුරු අනාවරණ කර ඇත්තේ ෴

******************************************

(19.07.2021 – 20:08 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ හෙට (20) පැවැත්වෙන සාකච්ඡාවේදී තම ගැටළුවලට නිසි විසඳුම් නොලැබුණහොත් මේ වනවිට දියත් කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කරන බව ගුරු සහ විදුහල්පති සංගම් ප්‍රකාශ කළා.

විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමයේ සභාපති නිමල් මුදුන්කොටුව මහතා මේ බව කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යවරයා සහ ලේකම්වරයා සමඟ අද (19) පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

අදාළ වෘත්තිය සමිතිය ඇතුලු තවත් වෘත්තිය සමිති කිහිපයක් අද (19) පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණේ ගුරු – විදුහල්පති වැටුප් විෂමතා සඳහා කඩිනමින් විසදුම් ලබාදෙන ලෙසට බල කරමින්.

ඉන් අනතුරුව සංගම් 10 කට අයත් නියෝජිතයින් 10 දෙනෙකුට අධ්‍යාපන අමාත්‍යවරයා සහ ලේකම්වරයා සමඟ සාකච්ඡාවකට අවස්ථාව හිමිවුණා.

එහිදී අමාත්‍යවරයා පොරොන්දු වී ඇත්තේ හෙට (20) දිනයේ අනෙකුත් වෘත්තිය සමිති සමඟද සාකච්ඡාවක් පවත්වා ඔවුන්ගේ ගැටළු පිළිබඳ තීරණයක් ගන්නා බවයි.

මෙම ගැටළුවට විසදුම් ඉල්ලා ගුරු හා විදුහල්පතිවරුන් අද (19) කෑගල්ල සහ අම්පාර නගර ආශ්‍රිතව ද විරෝධතා සංවිධාන කර තිබුණා.

******************************************

(19.07.2021 – 20:25 +0530 – hirunews.lk/sinhala)

තම නිලධාරීන් ලබාදුන් උපදෙස් සහ යෝජනා ක්‍රියාත්මක කළේ නම් රට තුළ පොහොර ගැටළුවක් ඇති නොවන බව සමස්ත ලංකා කෘෂිකර්ම උපදේශක සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ඒ.එන්. උදයසිරි මහතා මහනුවර අද (19) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ බලධාරීන් ඊට අවදානය යොමු නොකරන්නේ නම් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.

මේ අතර, අද (19) දිනයේදීත් පොහොර නොමැති බවට පවසමින් ප්‍රදේශ කිහිපයක ගොවීන් උද්ඝෝෂණවල නිරත වුණා.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් ඊයේ (18) රාත්‍රියේ පන්දම් දල්වමින් විරෝධතාවක නිරත වූයේ කුරුණෑගල – මීගලෑව පහළගම වෙල් යායේදීයි ෴

******************************************

ණයවර ලිපි ගැටළුවක් නිසා ‘ලාෆ් ගෑස්’ ආනයනය නවතින ලකුණු

(19.07.2021 – 20:27 +0530 – hirunews.lk/sinhala)

රට තුල පවතින ඩොලර් සංචිත හිඟය හේතුවෙන් ඉදිරියේදී ගෑස් ආනයනය සීමා කිරීමට සිදුවිය හැකි බව ලාෆ් ගෑස් සමාගම පෙන්වා දෙනවා.

ඔවුන් පවසන්නේ ගෑස් ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීම සීමා කිරීම හේතුවෙන් මෙම ගැටලුව උද්ගතවී ඇති බවයි.

මෙම මුල්‍ය අර්බුදයත් සමග මේ වන විට ඇතැම් බැංකු ණයවර ලිපි නිකුත් කිරීම සීමා කිරීමට පියවර ගෙන ඇති බවද මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, අප කළ විමසිමකදී තහවුරු කළා.

කෙසේ වෙතත්, ලිට්රෝ ගෑස් සමාගම පෙන්වා දෙන්නේ ගෑස් ආනයනය කිරීම සම්බන්ධයෙන් තම සමාගමට කිසිදු ගැටලුවක් උද්ගත වී නොමැති බවයි.

මෙරට ගෑස් වෙළදපළේ සියයට 75 කට කොටසක් ලිට්රෝ ගෑස් සමාගමට හිමි අතර ලාෆ් ගෑස් සමාගමට හිමිව ඇත්තේ සියයට 25 ක ප්‍රමාණයක්.

ලීටර් 18 නව ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,150 කට අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා.

******************************************

(19.07.2021 – 20:45 +0530 – hirunews.lk/sinhala)

රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සහ තවත් තිදෙනෙකුගේ (3) දුරකථන සංවාද බොරැල්ල පොලිසිය වෙත ඉදිරිපත් කරන ලෙසට දුරකථන සේවා සපයන්නන් වෙත අධිකරණය නියෝග කර තිබෙනවා.

මේ අතර රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවයේ නිරතව සිට මියගිය 16 හැවිරිදි දැරිය එම නිවසට ගෙන ආ පුද්ගලයාගේ බැංකු ගණුදෙනු පිළිබඳව තොරතුරු බොරැල්ල පොලිසිය වෙත ඉදිරිපත් කරන ලෙසද අධිකරණය අදාළ බැංකු වෙත නියෝග කර තිබෙනවා ෴

@@@@@@@@@@@@@@@@@

(19.07.2021 – 18:23 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 980 ක් වාර්තා වී තිබෙනවා. ඒ සමඟ මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 285,912 ක් දක්වා ඉහළ ගියා ෴

ඊයේ (18) දිනයේදී මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 48 ක් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොවිඩ් අසාදිත මරණ ගණන 3,827 ක් වනවා ෴

+++++++++++++++++++++

(19.07.2021 – 20:35 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 484 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද (19) දිනට මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1464 ක් දක්වා ඉහළ යනු ඇති.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *