විශේෂ වගාවලට අවශ්‍ය පොහොර ආනයනයට සාකච්ඡා

විශේෂ වගාවලට අවශ්‍ය පොහොර ආනයනයට සාකච්ඡා

*********************************************

විශේෂ වගාවලට අවශ්‍ය පොහොර ආනයනයට සාකච්ඡා

(18.07.2021 – 19:21 +0530 – hirunews.lk/sinhala)

ගොවීන්ට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබාදීමට මේ වන විට පියවර ගෙන ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කොමසාරිස් රසික හේමජිත් සිල්වා මහතා මේ බව සඳහන් කලේ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පොහාර නොමැති වීමෙන් වගාවන් සිදුකර ගැනීමට නොහැකිව තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව පවසමින් කුරුණෑගල – ගිරිබාව, නුවරඑළිය සහ හිඟුරක්ගොඩ යන ප්‍රදේශ වල ගොවීන් අදත් (18) විරෝධතාවල නිරත වුණා.

කුරුණෑගල – ගිරිබාව ප්‍රදේශයේ ගොවීන් යතුරුපැදිවලින් ගමන් කරමින් අද (18) විරෝධතාවක් සංවිධාන කර තිබූ අතර, ඊට සමස්ථ ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න එක්ව සිටියා.

පොහොර ගැටලුව සම්බන්ධයෙන් ගොවිජන සංවර්ධන කොමසාරිස් රසික හේමජිත් සිල්වා මහතා ද අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ ආරක්ෂිත ගෘහ තුළ සිදුකෙරෙන වගා හා මල් වගා ආදි විශේෂිත වගා සඳහා අවශ්‍ය රසායනික පොහොර හෝ රසායනික ද්‍රව්‍ය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දැඩි අධීක්ෂණය යටතේ ආනයනය කර ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මඟින් ඒවා අවශ්‍ය ගොවීන්ට බෙදා දීම සඳහා සාකච්ඡා කරමින් සිටින බවයි.

මේ අතර කාබනික පොහොර යොදාගෙන වසර 10 ක පමණ සිට කුඹුරු අක්කර 25 ක දේශීය සහල් වගා කරන ගොවීන් දෙදෙනෙකු පිලිබඳ පුවතක් මිනුවන්ගොඩ – බුරලපිටිය ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්තී අංශයට වාර්තා වුණා.

******************************************

(18.07.2021 – 19:16 +0530 – hirunews.lk/sinhala)

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංගය හෙට (19) විවාදයට ගැනීමට නියමිතයි.

හෙට (19) උදෑසන 10 ට පාර්ලිමේන්තුව ආරම්භ වන අතර, දිනය පුරා විවාදය පැවැත්වෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 44 දෙනෙකු මෙම විශ්වාසභංගයට අත්සන් තබා ඇති අතර ඊට අදාළ ඡන්ද විමසීම අනිද්දා (20) පැවැත්වෙනවා.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවක් ද අද (18) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ආරම්භ වීමට නියමිතව තිබුණා.

ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කළේ විශ්වාසභංගයේදී ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව අදහස් පළ කර ඇති මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම, මන්ත්‍රී කණ්ඩායම් හමුවේ ප්‍රධාන අරමුණක් බවයි.

එමෙන්ම, මෙහිදී නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් රජයේ ඉදිරි සැලසුම් පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට ද නියමිතව ඇති බව ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර, දෙමළ ජාතික සන්ධානය ද හෙට (19) දිනයේදී සිය තීරණය දැනුම් දෙන බව ප්‍රකාශ කර තිබෙනවා.

(18.07.2021 – 22:32 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවක් ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා.

ඒ, අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති මන්දිරයේදී ආරම්භ වුණේ අද (18) පස්වරු හයට (06:00) පමණ.

එහිදී මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර ඇත්තේ අදාළ විශ්වාසභංගයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමටයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 44 දෙනෙකු අත්සනින් යුත් විශ්වසාභංග යෝජනාව පසුගියදා කථානායකවරයාට භාරදුන්නා.

එම විශ්වසාභංග යෝජනාව හෙට (19) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

******************************************

(18.07.2021 – 19:30 +0530 – hirunews.lk/sinhala)

සිය ගැටළුවලට විසඳුම් ලබා නොදුනහොත් ලබන 22 වැනිදා වර්ජනයේ නිරත සියලුම ගුරු වෘත්තීය සමිති කොළඹ විරෝධතාවකට පැමිණෙන බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා මේ බව කියා සිටියේ කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ගුරු වැටුප් විෂමතාවන්ට විසඳුම් ලබා ගැනීම, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ඉවත් කර ගැනීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු වෘත්තීය සමිති ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද 07 වැනි දිනයටත් ක්‍රියාත්මක වුණා.

******************************************

(18.07.2021 – 19:53 +0530 – hirunews.lk/sinhala)

සීදූව – අමන්දොලුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූ සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම ‘මාකඳුරේ මධූෂ්’ගේ ගෝලයකු වන ‘ලලිත් වසන්ත පින්තු’ නැමැත්තා සිදුකළ මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ ක්‍රියා 30 කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඒ අතර, මනුෂ්‍ය ඝාතන 08 ක් සහ බරපතල ගණයේ කොල්ලකෑම් 15 ක් තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

******************************************

(18.07.2021 – 20:02 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සී මියගිය 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන්නැයි ඉල්ලමින් හැටන් නගරයේදී අද (18) විරෝධතාවක නිරත වුණා.

කඳුරට ජනතා පෙරමුණ විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

******************************************

(18.07.2021 – 20:57 +0530 – hirunews.lk/sinhala)

හිත් රිදීම් මෙන්ම කලකිරීම් තිබෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.

ඔහු මෙම ප්‍රකාශය සිදුකරන්නේ අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීමට දින දෙකකට (2) පෙර වීම ද විශේෂත්වයක්.

අද (18) ‘හිරු හාඩ්ටෝක්’ විශේෂාංගයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ගෙන් ඍජුවම ප්‍රශ්න කෙරෙනවා.

******************************************

(19.07.2021 – 06:14 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා සිදුකළ මෙහෙයුමකින්, වරෙන්තුකරුවන් 666 දෙනෙකු ඇතුලු 3,009 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අතර ගිනි අවි සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් පස්දෙනෙකුද (5) වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

මෙම මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරීන් 14,927 දෙනෙක් එක්ව තිබෙනවා ෴

******************************************

(19.07.2021 – 06:22 +0530 – hirunews.lk/sinhala)

රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂයක් (1,15,00,000) වටිනා හෙරොයින් කිලෝ එකයි (1) ග්‍රෑම් 132 ක් සමඟ සැකකාරියක බියගම – මංකඩපාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ 31 හැවිරිදි බියගම ප්‍රදේශයේම පදිංචි මෙම සැකකාරිය මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (18) ඉදිරිපත් කිරීමෙන් පසුව පැය 72 ක රැඳවුම් නියෝග ලබාගෙන ඇති බවයි ෴

******************************************

(19.07.2021 – 07:00 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී 16 හැවිරිදි බාල වයස්කාර දැරියක් පිලිස්සී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය සමඟ කොළඹ දකුණ කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් තව දුරටත් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

අදාල දැරිය පසුගිය වර්ෂයේදී ඩයගම ප්‍රදේශයේ සිට මෙම නිවසට රැගෙන ආ පුද්ගලයාගෙන් අද (19) දිනයේදී ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

දැරියගේ මවගෙන් සහ රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ පියාගෙන් ඊයේ (18) දිනයේදී වැඩිදුර ප්‍රකාශ ලබාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අද (19) දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ඇය දීර්ඝ කාලයක සිට ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවයි.

මේ අතර දැරියගේ මරණය සම්බන්ධයෙන් සහ දැරිය අපයෝජනයට ලක්කළ පුද්ගලයින්ට කඩිනමින් දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා හැටන් නගරයේ දී ඊයේ (18) විරෝධතාවක් පැවැත්වුණා.

අදාළ දැරිය පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කිරීමෙන් දින කිහිපයකට පසු ජීවිතක්ෂයට පත්වුණා ෴

@@@@@@@@@@@@@@@@

(18.07.2021 – 19:07 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3,779 ක් දක්වා අද (18) ඉහළ ගියා.

ඒ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ (17) දිනයේදී තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ 46 ත් සමඟින්.

මෙම මරණ අතර පිරිමි පුද්ගලයින් 30 ක් සහ කාන්තාවන් 16 දෙනෙක් වනවා ෴

+++++++++++++++++++++

(18.07.2021 – 19:26 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ චිම්පන්සියන් දෙදෙනෙකුට (2) හා ඔරන්ඔටන් දෙදෙනෙකුට (2) කොරෝනා ආසාදිත බවට සැක මතු වී ඇති බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ප්‍රකාශ කළා.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ තෝර් නැමති සිංහයාට කොරෝනා ආසාදනය වී ඇති බව අනාවරණ වූයේ පසුගිය ජුනි මස 18 වැනිදායි.

ශීනා නැමති සිංහ ධේනුවටද වෛරසය ආසාදනය වී ඇති බව පසුව අනාවරණ වුණා.

මේ අතර, තොර් සිංහයාට කොරෝනා ආසාදනය වී මාසයක් සම්පූර්ණ වන අද (18) දිනයේදී එම සත්වෝද්‍යානයේ තවත් සත්වයින් සිව්දෙනෙකුටද (4) වෛරසය ආසාදිත බව සැක මතු වී තිබෙනවා.

ඒ චිම්පන්සියන් දෙදෙනෙකුට (2) හා ඔරන්ඔටන් දෙදෙනෙකුට(2) යි.

අදාළ සත්වයින් සිව්දෙනාට (4) කොරෝනා ආසාදිත බවට සැක මතුවීමෙන් පසු මේ වනවිට ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක සඳහන් කළා.

ඔහු පැවසුවේ අදාළ සත්වයින්ගේ සාම්පල පේරාදෙණිය විශ්ව විද්‍යාලය වෙත වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකර ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම සත්වයින්ගේ ආහාර ගැනීම් රටාවේ වෙනසක් සිදුව නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මෙරට සංචාරක ව්‍යාපාරයේ නිරත පුද්ගලයින් එන්නත් කිරීමේ කටයුතු අද පෙරවරුවේ සීගිරිය ප්‍රදේශයෙන් ආරම්භ වුණා. එහිදී ලබා දී තිබුණේ මොඩර්නා එන්නතයි.

මේ අතර, කාලයක් තිස්සේ ජන ශුන්‍යව තිබූ මීගමුව – ඒත්තුකාල සංචාරක කලාපය යළිත් සංචාරකයින් සඳහා සූදානම් වෙමින් පවතින අතර, සංචරණ සීමා ලිහිල්වීමත් සමඟ ඒත්තුකාල මුහුදු වෙරළට යළිත් ජනතාව පැමිණෙමින් සිටිනවා.

අද (18) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 1022 දෙනෙකු වාර්තා වූ අතර ඒ සමඟ මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,84,534 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර පෞද්ගලික බස් රථ සේවකයන් සඳහා රජය මාසිකව රුපියල් 15,000 ක දීමනාවක් ලබා දිය යුතු බව සමස්ථ ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.

මේ අතර, ඉදිරි සති දෙකත් තුනත් (2-3) අතර කාලය තුල ශ්‍රී ලංකාවට සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 56 ක් කාණ්ඩ 03 ක් යටතේ ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළා.

මේ වනවිට සයිනොෆාම් එන්නත් ලක්ෂ 71 ක් දිවයිනට රැගෙන විත් තිබෙනවා.

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 380 ක් වාර්තා වී තිබෙනවා. ඒ සමඟ මෙරටින් අද (18) දිනයේ වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,402 ක් දක්වා ඉහළ ගියා ෴

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 70,200 ක තොගයක් අද (19) උදෑසන මෙරටට රැගෙන ආ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා ෴

++++++++++++++++++++

(18.07.2021 – 21:41 +0530 – hirunews.lk/sinhala)

තාවකාලිකව නවතා දමා තිබූ මරදාන දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත් නිකුත් කිරීම හෙට (19) සිට යළි ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.

එම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ප්‍රවේශපත් නිකුත් කිරීම තාවකාලිකව නතර කිරීමට තීරණය කෙරුණා.

ඒ අනුව වෙනත් දුම්රිය ස්ථානාධිපතිවරුන් සිව්දෙනෙකු (4) යොදවා එම දුම්රිය ස්ථානයේ ප්‍රධාන ප්‍රවේශ පත්‍ර කවුළු හෙට (19) යළි විවෘත කිරීමට කටයුතු යොදා ඇති බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

කොවිඩ් ආසාදනය වූ දුම්රිය ස්ථානාධිපති සමඟ කටයුතු කළ තවත් දුම්රිය ස්ථානාධිපතිවරුන් දස දෙනෙකු (10) මරදාන දුම්රිය ස්ථානාධිපති නේවාසිකාගාරයේ රඳවා නිරෝධායනය කිරීමට කටයුතු කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *