කොරෝනා ආසාදනය වූ ගර්භනී මව්වරුන් 2250 ක් – අවුරුදු 12 ට වැඩි ළමයින්ට එන්නත් දෙන්න අවධානය

කොරෝනා ආසාදනය වූ ගර්භනී මව්වරුන් 2250 ක් – අවුරුදු 12 ට වැඩි ළමයින්ට එන්නත් දෙන්න අවධානය

*********************************************

කොරෝනා ආසාදනය වූ ගර්භනී මව්වරුන් 2250 ක් – අවුරුදු 12 ට වැඩි ළමයින්ට එන්නත් දෙන්න අවධානය

(18.07.2021 – 13:22 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 12 ට වැඩි පාසල් ළමුන් සඳහාද කොරෝනා මර්දන එන්නත් ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට සලකා බලමින් පවතින බව රාජ්‍ය ආමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

එසේම, මේ දක්වා ගත වූ කාලය තුළ මෙරටින් කොරෝනා ආසාදිත ගර්භනී මව්වරුන් 2250 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

බස්නාහිර පළාතෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළිත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ (17) දිනයේ බස්නාහිර පළාතෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 700 ක්.

ඊයේ (17) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 1,452 දෙනා අතරින් 322 ක් වූ වැඩිම සංඛ්‍යාව වාර්තා වූ තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 203 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 175 දෙනෙකු ඊයේ (17) හඳුනාගෙන තිබුණා.

යාපනය දිස්ත්‍රික්කයෙන්ද ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 101 දෙනෙකු වාර්තා වුණා.

මේ අතර, මේ දක්වා ගතවූ කාලයේදී ගර්භනී මවුවරුන් 2250 කට පමණ කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එහි නවතම වාර්තාවලට අනුව කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති ගර්භනී මවුවරුන් සංඛ්‍යාව 13 ක්.

කොරෝනා ආසාදිතව මේ වනවිට ගර්භනී සහ පසු ප්‍රසූත මවුවරුන් 170 දෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

යටියන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් ලැවන්ට් හා හල්ගොල්ල වතුයායන්ගේ සිදුකළ අහඹු කොරෝනා පරීක්ෂණ 100 කින් ආසාදිතයන් තිස් දෙදෙනෙකු (32) වාර්තා වුණා.

කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේදී ලබාදී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව 167,462 ක්.

මේ යටතේ පුද්ගලයින් 154,962 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදී තිබෙනවා.

එහි දෙවන (2) මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 11,540 ක්.

එසේම, ඊයේ (17) දිනයේදී ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාවද පුද්ගලයින් 960 දෙනෙකුට ලබාදී තිබෙනවා.

මේ අතර, මොඩර්නා එන්නත් ලබාදීමේ කටයුතු අද (18) මහනුවර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වුණා.

+++++++++++++++++++++

මෙරට ඇමතිවරයෙක් ඕස්ට්‍රේලියාවේ හෝටලයක උඩ තට්ටුවෙන් බිමට වැටිලා..

(18.07.2021 – 14:10 +0530 – lankacnews.com)

තමන් ලක්ව සිටියේ නිරෝධායනයකට නොව බලහත්කාර පැහැරගැනීමකට බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරයි.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා ඊට වගකිව යුත්තා බවද ඒ මහතා පෙන්වාදෙයි.

තම සංගමය දිගටම වර්ජනය කරන බවත් ඒ සඳහා වගකීම් ගත යුත්තේ ආණ්ඩුව බවද ඔහු පවසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

ගුරුවරුන්ට ‘කාලකන්නින්’ යයි කියන අමාත්‍යවරයා ඕස්ට්‍රේලියාවේදී හෝටලයක උඩ තට්ටුවෙන් බිමට වැටී ලංකා රජයේ මුදලින් කෝටි ගණනක වන්දි මුදලක් ලබාගත් බවට ද ඔහු එහිදී චෝදනා කළේය.

+++++++++++++

+++++++++++++++++++++

සිනොවැක් ගෙන්වීමට විරෝධය පාමින් විශේෂඥ කමිටුවේ සාමාජිකයන් තිදෙනෙක් ඉවත් වෙයි

(18.07.2021 – 13:07 +0530 – lankaleadnews.com)

කොවිඩ් වෛරසයට එරෙහිව ක්‍රියාත්මක වන දැනට අනුමත අඩුම සාර්ථකත්වය සහිත සහ ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ක්‍රියා කරන බවට විද්‍යාත්මක ව තහවුරු නොවූ එන්නතක් ලෙස සැලකෙන සයිනෝවැක් චීන එන්නතෙන් මාත්‍රා මිලියන 13 ක් ලබා ගැනීමට විරෝධය පළ කරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එන්නත් ඇගයීමේ විශේෂඥ වෛද්‍ය කමිටුවේ සාමාජිකයන් තිදෙනකු (3) ඊයේ (17) ඉවත්ව ඇති බව එම අධිකාරියේ ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම එන්නත අනුමත කරන ලෙස ප්‍රබල පුද්ගලයන් තිදෙනකු වෙතින් අදාළ විශේෂඥ කමිටුවට කරන ලද දැඩි බලපෑම හමුවේ එන්නත් මිලියන දෙකක් (2) පමණක් හදිසි භාවිතයට ගෙන්වන ලෙසට වූ එකඟතාව බිඳිමින් මෙම එන්නතින් මාත්‍රා මිලියන 13 ක් ගෙන්වීමට උත්සාහ කිරීම මත ඔවුන් මෙම කමිටුවෙන් ඉවත්ව ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන අන්දමට මෙසේ ඉවත් වු වෛද්‍යවරුන් වන්නේ කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රතිශක්තිවේදය පිළිබඳව විශේෂඥ වෛද්‍ය රජීව් පිරිස්, එම වෛද්‍ය පර්යේෂණායතනයේම වෛරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කාන්ති නානායක්කාර සහ ඖෂධවේදය සම්බන්ධ මහාචාර්ය චන්න රණසිංහ යි. ඔවුන් තිදෙනාම මෙම එන්නත් පිළිබඳව විශේෂඥභාවයක් උසුලන ප්‍රවීණයින් තිදෙනකු බව සැලකේ.

ඩෙල්ටා කොවිඩ් ප්‍රෙභ්දයට එරෙහිව එන්නත සාර්ථක ලෙස ක්‍රියාත්මක වන්නේද යන්න සනාථ කිරීම සඳහා ප්‍රමාණවත් විද්‍යාත්මක දත්ත නොමතිවීම, දැනට ඉන්දුනීසියාව, මැලේසියාව සහ තයිලන්තය වැනි රටවල එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයන් පවා කොව්ඩ් හේතුවෙන් මරණයට පත්විම මත තුන්වැනි සයිනෝවැක් මාත්‍රාවක් ලබා දීම ඇතුළු කරුණු සලකා බලමින් මෙම එන්නත හදිසියේ නොගෙන්විය යුතු බවට එම විශෙෂඥ කමිටුවේ සාමාජිකයන් සිව් දෙනකු මුලින් මත පළ කර ඇති අතර තවත් සිව් (4) දෙනකු එයින් මාත්‍රා මිලියන දෙකක් (2) පමණක් හදිසි භාවිතයට ගැනීම සඳහා අනුමත කළ යුතු බවට නිර්දෙශ කර ඇත

මේ වනවිට ඉහත නිර්ණායකයන් සැපිරූ එන්නත් ප්‍රමාණවත් තරම් මෙරටට එන පසුබිමක මෙම එන්නතින් මාත්‍රා මිලියන දෙකක් (2) පමණක් ගෙන්වීම ප්‍රමාණවත් බවට අවසන් එකඟතාවකට කමිටුව පැමිණ ඇති අතර ඊට බලපා ඇත්තේ ඖෂධ ක්ෂේත්‍රයේ ආයතන ප්‍රධානීන් දෙදෙනකුගේ (2) සහ එක් දේශපාලකයකුගේ බලපෑම මත බව සඳහන් වේ.

කෙසේ වුවද ඊයේ (17) ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වී මෙම විශේෂඥවරුන් මිලියන දෙකක් ගෙන්වීම සඳහා පමණක් අනුමත කරන ලද එන්නතින් මිලියන 13 ක් ඖෂධ සංස්ථාව හරහා ගෙන්වීමට අනුමැතිය ලබා දී ඇත.

එම අධ්‍යක්ෂ මණ්ඩලයේ ද අනුමැතිය ලබාදීමේදී එය නියෝජනය කරන වෛද්‍ය විශේෂඥයන් දෙදෙනකු (2) ඊට විරෝධය පළ කොට ඇත.

මේ වනවිට රටට හිගයකින් තොරව සාර්ථක එන්නත් පවතින පසුබිමක් තුළ නිලධාරීන් දෙදෙනකු (2) සහ දේශපාලකයකුගේ වුවමනාවට එන්නත් මාත්‍රා මිලියන 13 ක් ගෙන්වීම සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇති විශේෂඥ කමිටුව් මෛම වෛද්‍යවරුන් ඖෂධ අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත මහතා වෙත ලිපියක් යොමු කරමින් තම අස්වීම ප්‍රකශයට පත් කර ඇති බව වාර්තා වේ ෴

+++++++++++++++++++++

(18.07.2021 – 15:03 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදිතව රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 843 දෙනෙකු සුවය ලබා අද (18) දිනයේදී රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ දක්වා සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 256,676 ක් දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

++++++++++++++++++++

(18.07.2021 – 15:20 +0530 – hirunews.lk/sinhala)

සංචාරක ව්‍යාපාරයේ නිරත වූවන්ට මොඩර්නා එන්නත ලබාදීම අද (18) සීගිරිය ප්‍රදේශයේදී ආරම්භ කෙරුණා.

ඒ අනුව, එම ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ නියැලෙන 2000 කට අදාළ එන්නත ලබාදීම සිදුකෙරෙන බවයි සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ.

සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ සෆාරි රියදුරන්, සංචාරක මඟ පෙන්වන්නන්, භාණ්ඩ හා සංගීතය සපයන්නන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර ආවරණය වන ආකාරයට මෙම එන්නත්කරණ කටයුතු සිදුකෙරෙනවා ෴

+++++++++++++++++++++

(18.07.2021 – 17:22 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොවිඩ් වසංගත තත්ත්වය ඇති කරන ප්‍රමුඛතම ප්‍රභේදය බවට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ඉදිරියේදී පත්වනු ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූවන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවන පසුබිමක සංචරණ සීමා තවදුරටත් ලිහිල් කිරීම සුදුසු නොවන බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රමුඛතම ප්‍රභේදය බවට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පත්වුව හොත් මීට පෙර රට මුහුණ දුන් වසංගත තත්ව දෙකටම (2) වඩා දැඩි අවදානම් තත්ත්වයක් උදවිය හැකි බවයි.

+++++++++++++++++++++++++

(18.07.2021 – 17:58 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1022 ක් වාර්තා වී තිබෙනවා.

ඒ සමඟ මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 284,534 ක් දක්වා ඉහළ ගියා.

ඉදිරි සති දෙකත් තුනත් (2-3) අතර කාලය තුල ශ්‍රී ලංකාවට සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 56 ක් කාණ්ඩ 03 ක් යටතේ ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළා.

මේ වනවිට සයිනොෆාම් එන්නත් ලක්ෂ 71 ක් දිවයිනට රැගෙන විත් තිබෙනවා ෴

@@@@@@@@@@@@@@@@@

(18.07.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

කොල්ලුපිටිය උත්තරානන්ද මාවතේ රථ වාහන ධාවනය එක් (1) මංතීරුවකට සීමා කර තිබෙනවා.

තාවකාලික මාර්ග සංවර්ධන කටයුත්තක් හේතුවෙන් හෙට (19) උදෑසන 6 සිට මෙම රථ වාහන සැලැස්ම ආරම්භ වන බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව, රොටුන්ඩා මංසන්ධියෙන් ආරම්භ වී උත්තරාන්නද මාවතේ, වාහන ධාවනය කළ හැක්කේ අබ්දුල් මාකන් මාකර් මාවත දෙසට පමණයි.

එමෙන්ම, අබ්දුල් මාකර් මාවතෙන් රථ වාහන උත්තරානන්ද මාවතට ඇතුළු කිරීමට අවසර ලබා නොදෙන බව ද පොලීසිය සඳහන් කළා ෴

******************************************

සැදෑ සමයට – සොදුරු කැදැල්ලක් – Talk with Sudaththa (18.07.2021)

******************************************

(18.07.2021 – 13:51 +0530 – hirunews.lk/sinhala)

තමන් කලකිරී ඇති බවට ආණ්ඩුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් හා අමාත්‍යවරුන් කිහිපදෙනෙකු පසුගියදා සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පල කළ අදහස් කිහිපයක්.

******************************************

(18.07.2021 – 13:57 +0530 – hirunews.lk/sinhala)

පොහොර හිඟය හේතුවෙන් ප්‍රදේශ ගණනාවක ගොවීන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි.

මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල උද්ඝෝෂණ ද සංවිධාන කර තිබුණා.

ඉහළ ගිය ඉන්ධන මිලට විරෝධය පළ කරමින් සහ ගොවීන්ට කඩිනමින් පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින් කුරුණෑගල රිදීගම නගරයේදී උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණා.

මෙම උද්ඝෝෂණය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් වන ජේ.සී. අලවතුවල සහ අශෝක් අබේසිංහ යන මහත්වරුන්ද එක්ව සිටියා.

මේ අතර අනුරාධපුර ගම්බිරිස්වැව ගම්මානයේ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය ආරම්භ කිරීම රාජ්‍යය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා.

අනුරාධපුර දිස්ත්‍රික් නිදහස් බඩඉරගු සංසදය, දිස්ත්‍රික් ගොවි සංවිධාන බල මණ්ඩලයේ අනුග්‍රාහකත්වයෙන් මෙම කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

එහිදී ගොවීන්ට කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් පුහුණුවක් ද ලබා දුන්නා.

******************************************

(18.07.2021 – 14:49 +0530 – hirunews.lk/sinhala)

මුතුරාජවෙල තෙත්බිම් ආරක්ෂිත කලාපයේ ඉදිකිරිමට යොජිත LNG බලාගාරය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති පරිසර බලපෑම් ඇගයිම් වාර්තාව නීති විරෝධි බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සමාජික සජීව චාමිකර මහතා පවසනවා.

මෙරට පරිසර පද්ධතියේ ඉහළ ජෛව විවිධත්වයකින් යුක්ත තෙත් බිම් පරිසර පද්ධතියක් ලෙස මුතුරාජවෙල තෙත් භූමිය සැලකෙනවා පෞද්ගලික සමාගමක් විසින් මෙම ප්‍රදේශයේ අක්කර 110 ක භුමි ප්‍රමාණයක් ගොඩකරමින් LNG හෙවත් ‘ද්‍රවීකෘත ස්වාභාවික වායු ඉන්දන බලාගාරක්’ ඉදිරිකිරිමට යෝජිතයි.

එම බලාගාර ඉදිකිරීමට අදාල භූමියේ ගොඩකිරීම් සඳහා මුහුදු වැලි ඝන මීටර මිලියන 1.5 ක් පමණ ලබා ගැනීමට සැලැසුම් කර ඇති බවට වාර්තාවන්නේ මීගමුව කලපුවට බටහිරින් පිහිටි තඹගල ප්‍රදේශයේ වැලි නිධියෙන්.

මේම ඉදිකිරීම් හේතුවෙන් මුතුරාජවෙළ පරිසර පද්ධතිය විනාශ වන බව පවසමින් මුතුරාජවෙළ සුරැකීමේ අගරදගුරු කමිටුව විසින් නිහඬ විරෝධතාවක්ද පසුගිය දා පැවැත් වූවා.

******************************************

(18.07.2021 – 15:12 +0530 – hirunews.lk/sinhala)

කහටගස්දිගිලිය – කොක්මඩුව ප්‍රදේශයේ වනඅලි පහරදීමකින් පුද්ගලයින් දෙදෙනෙකු (2) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (18) පෙරවරුවේ එම ගම්මානයේ කුඹුරුයායකට වන අලින් කඩා වැදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පසුව එම වන අලින් පලවා හැරීම සඳහා ප්‍රදේශයේ ගම්වැසියන් උත්සාහ දරා ඇති අතර එහිදී 57 හැවිරිදි සහ 65 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු (2) වන අලි පහරදීමෙන් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා ෴

******************************************

(18.07.2021 – 16:05 +0530 – hirunews.lk/sinhala)

බීමත්ව පැමිණ හය (6) හැවිරිදි තම දියණියට හා සිව් (4) හැවිරිදි පුතුට අමානුෂික ලෙස පහර දුන් පියෙකු බුත්තල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු දින කිහිපයක සිට බීමතින් පැමිණ දරුවන්ට පහර දෙන බවට බුත්තල පොලීසියට ලද තොරතුරක් මත ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

මෙම පුද්ගලයා බුත්තල, උඩුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

++++

මේ අතර, තම දියණියන් දෙදෙනා (2) කලක සිට අපයෝජනය කිරීමේ චෝදනා මත 37 හැවිරිදි සැකකාර පියෙකු ඇල්ල පොලීසිය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබුණා.

උදරාබාධයක් ඇති බව පවසමින් 14 හැවිරිදි දියණිය ඇයගේ මව විසින් රෝහලට රැගෙන ගොස් සිදුකළ පරීක්ෂක වලින් පසු දැරිය ගැබ්ගෙන ඇති බව වාර්තා වී තිබෙනවා.

අනතුරුව දැරියගෙන් සිදුකල ප්‍රශ්ණ කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ කලක සිට තම පියා විසින් නැඟණිය සහ තමන් අපයෝජනය කළ බවයි.

පසුව සිදුකළ වෛද්‍ය පරීක්ෂන වලදී 12 හැවිරිදි දියණිය ද ගැබ්ගෙන ඇති බවට තහවුරු වී තිබෙණවා.

ප්‍රදේශයෙන් පලාගිය සැකකාර පියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අද (18) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා ෴

******************************************

(18.07.2021 – 16:39 +0530 – hirunews.lk/sinhala)

සිසුවියකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර කප්පම් ලබාගත් තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෝද්දල පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හපුගල ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි අයෙක්.

සැකකරු විසින් 16 හැවිරිදි සිසුවියක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගෙන පසුව ලැඟුම්හලක් වෙත රැගෙන ගොස් ඇයව දූෂණය කර ඇයගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඇති බවයි පොලීසය පවසන්නේ.

පසුව සැකකාර තරුණයා විසින් එම ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව පවසමින් අවස්ථා ගණනාවකදී සිසුවියගෙන් මුදල් ලබා ගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

තරුණයාගේ මෙම තර්ජනවලට බිය වී, තම පියාගෙන් මුදල් සොරකම් කර රුපියල් දස දහස, පහළොස් දහස, තිස් දහස ආදී වශයෙන් සිසුවිය විසින් සැකකරුට ලබාදී තිබෙනවා.

තම මුදල් අඩුවී තිබීම දැනගත් පියා ඒ සම්බන්ධයෙන් සිය දියණියගෙන් ප්‍රශ්ණ කිරිමේදී ඇය විසින් කරන ලද විස්තරයට අනුව මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

අනතුරව පෝද්දල පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴.

******************************************

(18.07.2021 – 16:59 +0530 – hirunews.lk/sinhala)

ඩෙවෝන් ඇල්ලෙන් පහළට ඇද වැටී අවුරුදු 19 ක තරුණියක් අතුරුදන්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ තවත් කිහිපදෙනෙකු සමඟ දිය ඇල්ල නැරඹීමට ගොස් ඇල්ලට ජලය ගලා බසින ඩෙවෝන් ඇළට බැසීමට උත්සාහ දැරීමේදි ඇය ජල පහරට හසුව මෙලෙස ගසාගෙන ගොස් ඇති බවයි.

ඔවුන් ඩෙවෝන් ඇලට බැස ඇත්තේ එම ඇලට පිවිසීම වැලැක්වීම සඳහා ඉදිකර ඇති තහනම් කලාපයක් ද පසුකරමින් බවයි පොලීසිය පැවසුවේ.

අතුරුදන් වූ තරුණිය සොයා පොලීසිය මේ වනවිටත් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *