ගම්පහ දිසා වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මියට මීගමුවේදී විරෝධය

ගම්පහ දිසා වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මියට මීගමුවේදී විරෝධය

*********************************************

ගම්පහ දිසා වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මියට මීගමුවේදී විරෝධය

(17.07.2021 – 19:00 +0530 – hirunews.lk/sinhala)

මීගමුව – කුට්ටිකාඩුව දූපතේ ක්‍රීඩාංගනයේ ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි අවස්ථාවේදී ගම්පහ දිසා වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මියට ප්‍රදේශවාසීන් ගෙන් අද (17) විරෝධයක් එල්ල වුණා.

ගැටලුව පිළිබඳ සොයා බැලීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඇතුළු නිලධාරින් පිරිසක් අද (17) එම දූපතට පැමිණි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

දේවානි ජයතිලක මහත්මිය සහ සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා අතර ගම්පහ සංවර්ධන කමිටු රැස්වීමේදී ඇතිවූ ආන්දෝලනාත්මක සංවාදයට හේතු වූයේ ද මෙම ක්‍රීඩාංගනයේ ගැටලුවයි.

අද (17) එහි පැමිණි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි ෴

******************************************

(17.07.2021 – 19:05 +0530 – hirunews.lk/sinhala)

අනාගතයේ සිදු විය හැකි දේශගුණික විපර්යාස, ගැටුම්, වසංගත, ජෛව විවිධත්වය අහිමි විම, පාරිසරික හායනය, වැනි අභියෝග ජය ගැනිමට උචිත කුසලතා වලින් තරුණ පරපුර සන්නද්ධ කළ යුතු බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ගෝලීය සංස්කෘතික බාලදක්ෂ ජම්බෝරිය ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති අවස්ථාවේදියි.

පවතින කොවිඩ් වසංගතය තත්ත්වය හේතුවෙන් ප්‍රථම වරට මෙම බාලදක්ෂ ජම්බෝරිය ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ දින තුනක් (3) ලෝකයේ රටවල් සියයක (100) බාලදක්ෂයින් 20,000 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනවා.

‘සංස්කෘතිකමය වශයෙන් එකම බාලදක්ෂ ලෝකයක්’ යන තේමාව යටතේ පවත්වන මෙම ගෝලීය සංස්කෘතික බාලදක්ෂ ජම්බෝරිය එක් වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ වර්තමානයේ තරුණ පිරිස් අතර එකිනෙක ගොඩ නැගෙන්නා වු සබඳතා, අනාගතයේ අවබෝධයෙන් යුතු ගෝලිය ස්ථාවරත්වයකට හේතු බව බවයි ෴

******************************************

(17.07.2021 – 19:15 +0530 – hirunews.lk/sinhala)

වැලිගම – කප්පරතොට ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් පහර දී විශ්‍රාමික හමුදා නිලධාරියෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව තවත් සැකකරුවන් සිව් (4) දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලීසිය සඳහන් කලේ අත්අඩංගුවට ගත් පළමු (1) සැකකරුගෙන් සිදු කල ප්‍රශ්න කිරීම් වලින්, සෙසු සැකකරුවන් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අද (17) පෙරවරුවේ අත්අඩංගුවට ගත් වැලිගම – මාහේන – වල්ලිවල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි එම සැකකරු හෙට (18) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

වැලිගම – කප්පරතොට ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් පහර දී 50 හැවිරිදි විශ්‍රාමික හමුදා නිලධාරියාව ඝාතනය කර තිබුණේ ඊයේ (16) රාත්‍රී 10:45 ට පමණයි.

සිද්ධියෙන් තවත් 52 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලැබූ අතර ඔහු මේ වන විට මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා ෴

******************************************

(17.07.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala)

සමගි ජනබලවේගය, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, දෙමළ ප්‍රගිතිශීලි සන්ධානය ඇතුළු තවත් සුළු පක්ෂවල සහභාගිත්වයෙන් විපක්ෂයේ සර්ව පාක්ෂික සමුළුවක් කොළඹදී අද (17) පැවැත්වුණා.

හිටපු කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් යුත් ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය’ සංවිධානය කර තිබුණේ.

මෙහිදී රටේ වත්මන් දේශපාලන ප්‍රවණතාවයන් මෙන්ම ඉදිරි දේශපාලන ගමන් මග සම්බන්ධයෙන් අදහස් හුවමාරු වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම නියෝජනය කරමින් ඔහුගේ නියෝජිතයෙකු ද ඊට එක්ව සිටියා.

******************************************

(17.07.2021 – 23:03 +0530 – hirunews.lk/sinhala)

සිය ජන්ම දිනයේ දී ඇතෙකුගේ ප්‍රහාරයට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්වූ කාන්තාවක් පිළිබඳ පුවතක් මහව – උලලපොළ ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පී.එච්. නන්දාවතී‍ නැමැති කාන්තාවක්. ඇගේ 49 වැනි ජන්ම දිනය අදට යෙදී තිබීමද විශේෂත්වයක්.

අදාළ කාන්තාව සිය නිවස ඉදිරිපිට සිටියදී ඇතා එම ස්ථානයට පැමිණ තිබෙනවා. එහිදී ඇය නිවස තුළට දිවගොස් ඇති අතර, ඇතා ද ඇය පසුපස හඹා ගොස් තිබුණා.

අනතුරුව ඇතා යාබද කැලයකට ගොස් ඇත්තේ එම ස්ථානයේ ඇති විදුලි වැටක් ද කඩා දමමින්. අප වාර්තාකරු සඳහන් කළේ ඇතා එම කැලයේ තවමත් සැරිසරන බවයි.

******************************************

(17.07.2021 – 23:49 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දැනට ඉන්දීය අත්අඩංගුවේ පසුවන ‘කිඹුලාඇලේ ගුණා’ගේ සහෝදරයෙකු වන ‘සුරේෂ්’ නැමැත්තාගේ රුපියල් කෝටි 12 කට අධික හෙරොයින් තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ ආදුරුප්පු වීථියේදී මෙම හෙරොයින් තොගය සැකකරුවෙකු සමඟ අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ (16) රාත්‍රියේදීයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංක 01 කණ්ඩායමේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබුණේ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මතයි.

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කිඹුලාඇලේ ගුණා’ ඉන්දියාවට පළාගොස් සිටියදී තමිල්නාඩු පොලිසියේ කිව් ශාඛාව මගින් චෙන්නායි ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය ජනවාරි 31 වැනිදායී.

‘කිඹුලාඇලේ ගුණා’ හෙවත් ‘ගුණසේකරන්’ ගෙන් ලද තොරතුරු අනුව තමිල්නාඩු මධ්‍යම අපරාධ ශාඛාව ඔහුගේ පුත්‍රයෙකු වන ‘කෙනඩි’ හෙවත් ‘බුම්මා’ ඇතුළු 04 දෙනෙකු චෙන්නායි නගරයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

‘කිඹුලාඇලේ ගුණා’ කොටුකර ගැනීමට හැකි වී ඇත්තේ ඔහුගේ සඟයෙකු වන ‘සුනිල් ගාමිණී’ හෙවත් ‘ෆොන්සේකා’ බෙංගලෝර් නගරයේදී පසුගිය වසරේ ඔක්තෝම්බරයේ අත්අඩංගුවට ගැනීමෙන් ලද තොරතුරු අනුවයි.

ඒ අනුව නවදිල්ලි ගුවන් තොටුපලෙන් චෙන්නායි බලා ගුවන්ගත වද්දී ඔහු කොටු කර ගැනීමට කිව් ශාඛාවේ නිලධාරීන් සමත් වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය පවසන පරිදි එල්.ටී.ටී.ඊ. සබඳතා ඇති ‘කිඹුලාඇලේ ගුණා’ 1999 වසරේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංගට එල්ල කළ ප්‍රහාරයටද සම්බන්ධ අයෙක්.

@@@@@@@@@@@@@@@

(17.07.2021 – 19:41 +0530 – hirunews.lk/sinhala)

ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු වෘත්තිය සම්ති 14 ක් ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද (17) 6 වන දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව පැවති උද්ඝෝෂණයක් අතරතුර අත්අඩංගුවට ගෙන නිරෝධායනය කළ වෘත්තීය සමිති සාමාජිකයින් ඊයේ (16) මුදා හැරුණද තම වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බවයි ගුරු සංගම් ප්‍රකාශ කරන්නේ.

නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනා මත වෘත්තීය සමිති නායකයින් අනීතිකව රඳවාගෙන ඇතිබවට චෝදනා කරමින් පසුගිය දින කිහිපයේම ගුරු සංගම් සිය වෘත්තිය ක්‍රියාමාර්ගය දැඩි කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා ව්‍යාපාර සංවිධාන කර තිබුණා.

කෙසේ වෙතත්, මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනයට යොමුකර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් ඇතුළු 16 දෙනා ඊයේ (16) පස්වරුවේ මුදා හැරීමට කටයුතු කර තිබුණා.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් පිළිගැනිමේ උත්සවයක් ද අද (17) කොළඹ දි පැවැත්වුණා.

මේ අතර ගුරු වැටුප් විෂමතා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අතර, සාකච්ඡාවක් අද (17) පැවත්වුණා.

ගුරු වෘත්තීය සමිති ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වී ක්‍රියාත්මක කරන මෙම වර්ජනය හේතුවෙන් මෙවර විභාග වලට පෙනී සිටීමට නියමිත දරුවන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

කෙසේ වෙතත්, දරුවන් මුහුණදෙන දුෂ්කරතා අවම කර, විවිධ දුෂ්කරතා මැද ඔන්ලයින් අධ්‍යාපනය ලබාදෙන ගුරුවරුන් ද රට පුරා විසිරී සිටින බව සඳහන් කළ යුතුයි.

2018 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම ගුරුවරයා ලෙස පත්ව, 2019 වසරේ අවංකම රාජ්‍ය සේවකයන් දස (10) දෙනා අතරට ද තේරී පත් වූ, එසේම පසුගිය වසරේ දකුණු ආසියාවේ හොඳම ගුරුවරයා වන පුත්තලම – දළුව ප්‍රදේශයේ දුෂ්කර පාසලක ආචාර්යවරයෙකු වූ අසිත් මුතුකුමාරණ මහතා එම අභියෝග ජය ගැනීම පිලිබඳ හිරු ප්‍රවෘත්ති අංශය සමඟ මෙලෙස සංවාදයකට එක්වුණා.

+++++++++++++++++++++

(17.07.2021 – 20:02 +0530 – hirunews.lk/sinhala)

තෝරා ගැනීමකින් තොරව තමාට ලැබෙන කුමන හෝ කොරෝනා මර්දන එන්නතක් පළමු (1) අවස්ථාවේදීම ලබාගන්නා ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ (16) දිනයේදී ලබාදී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව 244,706 ක්.

ඒ යටතේ පුද්ගලයින් 221,753 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදී තිබෙනවා.

එහි දෙවන (2) මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 16,336 ක්.

එසේම, ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාවද ඊයේ (16) පුද්ගලයින් 6,617 දෙනෙකුට ලබාදී තිබෙනවා.

දිවයිනේ දිස්ත්‍රික්කවලට එන්නත් ලබාදීමේ වැඩපිලිවෙලක් මේ වනවිට සකස් කර ඇති බවත්, තෝරා ගැනීමකින් තොරව ලැබෙන පළමු (1) අවස්ථාවේදීම එන්නත් ලබාගන්නා ලෙසත් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (16) ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

ලබන සතියේදී තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 02 ක් සහ අනිද්දා (19) ෆයිසර් එන්නත් මාත්‍රා 60,000 ක් දිවයිනට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

මේ අතර, කොරෝනා එන්නත් ලබාගත් පුද්ගලයන්ට ද කොරෝනා වෛරසය ආසාදනය වීමේ සිද්ධීන් සැලකූ විට ඉන් සියයට 86 කටම හේතුවී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය බව අනාවරණ වී තිබෙනවා.

කෙසේ නමුත්, ඒ අතුරෙන් රෝහල් ගත කිරීමට සිදුව ඇත්තේ සියයට 9.8 ක ප්‍රතිශතයක් පමණයි.

එලෙස එන්නත් කරනු ලැබූ පුද්ගලයන් කොරෝනාවෙන් මියයාමේ ප්‍රතිශතය සියයට 0.4 ක් බව ඉන්දීය වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදුකළ අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

ඉන්දියාවේ ජාතික මට්ටමෙන් මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ පශ්චාත් එන්නත්කරණ ප්‍රතිඵල විමසා බැලීම සඳහායි.

අද (17) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 980 දෙනෙකු වාර්තා වූ අතර, ඒ සමඟ මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 283,040 ක් දක්වා ඉහළ ගියා.

අද (17) ආසාදිතයින් 962 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ දක්වා සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 255,833 ක් දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් නිකුත් කරන ස්ථානාධිපතිවරයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමඟ එම දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් නිකුත් කිරීම අද (17) දිනට තාවකාලිකව නවතා දැමුණා.

රෝගාබාධයන්ට ලක්ව නිවෙස්වලින් බැහැර විය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා ඊයේ (16) උපදෙස් ලබා දුන් අතර අද (17) සිට එය ආරම්භ කර තිබුණු ආකාරය දක්නට ලැබුණා.

මේ අතර කළුතර නගර සභාවේ සභාපති අමීර් නසීර්ට ද කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

මේ අතර, ඊයේ (16) සිදුවූ කොරෝනා ආසාදිත මරණ 31 ක් අද (17) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 3733 ක්.

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 467 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (17) දිනයේ වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 1447 ක් ෴

+++++++++++++++++++++++++

(17.07.2021 – 21:42 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් මර්දන එන්නත් සම්බන්ධයෙන් ගෝලීයව පවතින විවිධ නිර්දේශ සහ මතිමතාන්තර හේතුවෙන් විදේශ ගතවීමට අපේක්ෂාවෙන් සිටින සිසුන් සහ ශ්‍රමිකයින් මේ වනවිට ගැටලු සහගත තත්ත්වයකට පත්ව සිටිනවා.

ඒ, චීනයේ සහ රුසියාවේ කොවිඩ් මර්දන එන්නත් සඳහා ඇතැම් බටහිර සහ යුරෝපා රටවල නිර්දේශය දී නොමැති වීම නිසයි.

විදේශ විනිමය මෙරටට ගලා එන එක් පුළුල්තම ක්‍රමයක් වන්නේ විදේශ ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණයි.

කොවිඩ්-19 ගෝලීය ව්‍යාප්තිය සමඟ ඇතිවූ බලපෑම හමුවේ රැකියා සඳහා විදේශ ගතවන ශ්‍රමිකයන් ප්‍රමාණයේ දැවැන්ත පහත වැටීමක් පෙන්නුම් කරනවා.

2019 වසරේ දී 203,087ක්වු රැකියා සඳහා වූ විදේශ ගතවීම් ගණන 2020 වසරේ දී 53,713 ක් දක්වා 73.6% කින් පහත වැටී තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් ශ්‍රමිකයින් ලබා ගන්නා රටවල් පැනවූ සංචරණ සීමා සහ බඳවා ගැනීම්ල නවතා දැමීම, මෙම පහත වැටීමට ප්‍රධාන ලෙස බලපා තිබෙනවා.

මෙරටින් විදේශ ගතවන ශ්‍රමිකයන් බහුතරයක් නුපුහුණු ශ්‍රමිකයින් සහ මැදපෙරදිග කලාපයේ ගෘහ සේවය සඳහා පිටත්ව යන පුද්ගලයන්.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ 2019 වසරට සාපේක්ෂව පසුගිය වසරේ දී මැදපෙරදිග කලාපයේ රැකියා සඳහා පිටවත්ව යෑම් ද 74.5% කින් පහත වැටී ඇති බවයි.

මැදපෙරදිග, යුරෝපය ඇතුළු රටවල රැකියාවන් හි නිරත වී සිටි බොහෝ පිරිසක් ශ්‍රී ලාංකිකයන් වසංගතයේ බලපෑම හමුවේ නැවත මව්බිම බලා පැමිණියා.

2019 වසරේ 4.8 ක් ලෙස පැවති මෙරට විරැකියා ප්‍රතිශතය ද 5.5 ක් දක්වා වර්ධනයක් පෙන්වනවා.

රැකියා සඳහා විදේශ ගතවීමට අපේක්ෂාවෙන් සිටින බොහෝ පුද්ගලයන් හට මේ වනවිට නව අභියෝගයකට ද මුහුණදීමට සිදුව තිබෙනවා.

ඒ, ලොව විවිධ රටවල් අතර කොවිඩ් එන්නත් පිළිබඳ පවතින මතිමාතාන්තරයි.

බොහෝ බටහිර රටවල් මේ වනවිට ෆයිසර් සහ මෝඩර්නා එන්නත් සඳහා ප්‍රමුඛත්වය දක්වා තිබෙනවා.

ඒ අනුව චීනයේ සයිනොෆාම් සහ රුසියාවේ ස්පුට්නික්-වී එන්නත් ලබා ගත් පුද්ගලයන් හට බොහෝ රටවලට සේවය සඳහා අවස්ථා අහිමි වන තත්ත්වයක් මේ වනවිට උද්ගතව තිබෙනවා.

උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගතවන සිසුන් ද මේ හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා.

විදේශ රැකියා සඳහා පිටත්ව යාමට අපේක්ෂා කරන පුද්ගලයන් හට එන්නත් ලබාදීමට තොරතුරු ලබා ගැනීමේ වැඩසටහනක් මේ වනවිට විදේශ සේවා නියුක්ති කාර්යාංශය ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ‘විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය’ට
[ http://www.slbfe.lk/ ] පිවිස ඒ සඳහා තොරතුරු ලබාදිය හැකියි.

උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගතවන සිසුන් හට එන්නත් ලබාදීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *