සොරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන්ගේ පරිගණකය තුළ ඔවුන්ගේම අසභ්‍ය දර්ශන

සොරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන්ගේ පරිගණකය තුළ ඔවුන්ගේම අසභ්‍ය දර්ශන

*********************************************

සොරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන්ගේ පරිගණකය තුළ ඔවුන්ගේම අසභ්‍ය දර්ශන

(16.07.2021 – 17:31 +0530 – sinhala.adaderana.lk)

වෙළෙඳසැල් 8 ක් බිඳ ලක්ෂ 40 කට වැඩි ජංගම දුරකථන, ලැප්ටොප් ඇතුළු භාණ්ඩ සොරාගත් පාසල් ළමයින් තුන් දෙනෙකු (3) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ අඟුරුවාතොට, හොරණ, ඉංගිරිය, බුලත්සිංහල යන ප්‍රදේශවල වෙළෙඳසැල් එම සිසුන් විසින් බිඳ එහි භාණ්ඩ සොරාගෙන ඇති බවය.

ඔවුන් හොරණ අධ්‍යාපන කලාපයට අයත් ප්‍රසිද්ධ පාසල් තුනක (3) සිසුන් තිදෙනෙකි (3).

16 හැවිරිදි වියේ පසුවන එම සිසුන් දොඹගොඩ, බටගොඩ යන ප්‍රදේශවල පදිංචි බව අනාවරණය වී තිබේ.

සිසුන් තිදෙනා (3) ඊයේ (15) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අත් පොරවක් සන්තකයේ තබාගනිමින්, නින්ජා හිස් වැසුම් පැළඳ යතුරුපැදිවලින් මාර්ගයේ සැරිසරමින් සිටියදීය.

ඒ අනුව සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමකදී ඔවුන් සිදුකළ සොරකම් පිළිබඳව අනාවරණය වී ඇත.

ඒ අනුව සැකකාර සිසුන් විසින් සොරකම් සඳහා භාවිත කළ යතුරුපැදි 3 ක්, සොරකම්කරන ලද ජංගම දුරකථන, ලැප්ටොප් ඇතුළු තවත් භාණ්ඩ රැසක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සිසුන් සොරකම් කරන ලද පරිගණකයක් තුළ තිබී ඔවුන් විසින් පටිගතකරණ ලද අසභ්‍ය දර්ශන රැසක් ද සොයාගෙන ඇත.

16 වියැති එම සිසුන් තිදෙනා (3) ඇසුරු කළ බව කියන තරුණියන් පිරිසකගේ නිරුවත් දර්ශන ද ඔවුන් සොරාගත් පරිඝනකවල තිබී ඇති අතර ඒ පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය පැවසීය.

******************************************

යස්මින් සුකා පොහොට්ටුවේ ලන්ඩන් ශාඛාවේ සභාපතිවරයාට එරෙහිව පැවරූ නඩුව ගැන ආණ්ඩුව සොයාබලන්නේ නෑ ! – වෛද්‍ය වසන්ත බණ්ඩාර

(17.07.2021 – 09:01 +0530 – lankaleadnews.com)

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ලන්ඩන් ශාඛාවේ සභාපතිවරයා මෙන්ම ගෝලීය ශී‍්‍ර ලංකා සංසදයේ විධායක සභික ජෙයරාජ් පළිහවඩන මහතාට එරෙහිව යස්මින් සුකා විසින් ලන්ඩන් මහාධිකරණය හමුවේ පනවන ලද නඩුව පිළිබඳ ආණ්ඩුව කිසිඳු සොයාබැලීමක් නොකරන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසීය. වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් ඒ පිළිබඳව සඳහන් කර සිටියේ ජූලි 15 දා ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය :

“මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළ වාර්තාවේ අසත්‍ය සඳහන් කර තිබෙන බව පවසමින් යස්මින් සුකා විසින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ලන්ඩන් ශාඛාවේ සභාපතිවරයා මෙන්ම ගෝලීය ශී‍්‍ර ලංකා සංසදයේ විධායක සභිකයකු වන ජෙයරාජ් පළිහවඩන මහතාට එරෙහිව ලන්ඩන් මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා. මුහුණු පොතේ පළකර තිබූ වාර්තාවක් උපුටා දක්වමින් තමයි මෙම නඩුව පවරා තිබෙන්නේ.

මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ 46.1 යෝජනාව මගින් හමුදාවට එරෙහිව සාක්‍ෂි එකතු කිරීමත්, චෝදනා ගොනු කිරීමත් ආරම්භ කළා. යස්මින් සුකා විසින්, යුද අපරාධ සිදුකළ බවට චෝදනා කරමින් හමුදා නිලධාරීන් 57 දෙනකු නම් කර තිබෙනවා. එම නිලධාරීන් අතර වත්මන් හමුදාපතිවරයා මෙන්ම ආරක්‍ෂක ලේකම්වරයාත් සිටිනවා. 46.1 යෝජනාවේ වාර්තාව ලබන පෙබරවාරි මාසයේදී ප‍්‍රකාශයට පත් වෙනවා. එහි නිර්දේශයන්ට අනුව ලෝකයේ රටවල් ගණනාවක් හමුදා නිලධාරීන්ට එරෙහිව නඩු දාන්න පටන් ගන්නවා. සමහර රටවල්වලට යන්න බැරි වෙනවා. ගියොත් අත්අඩංගුවට ගෙන වෙන රටවල්වලට පිටුවහල් කිරීමට පුළුවන් වෙනවා. ඒ වගේම ජාත්‍යන්තර අධිකරණයට භාර දෙන්න පුළුවන් වෙනවා. ඒ සඳහා ලොකු කි‍්‍රයාවලියක් පටන් ගන්නවා. ඒ කි‍්‍රයාවලිය සඳහා අවශ්‍ය සම්පූර්ණ සහයෝගය දෙන්නේ යස්මින් සුකා අධ්‍යක්‍ෂ ජනරාල් ධුරය දරණ ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය ව්‍යාපෘතිය මගින්.

එම කටයුතු පිළිබඳව ආණ්ඩුව කතා කරන්නේ නැහැ. කතා කරන්නේ ජාතික සංවිධාන වැනි සංවිධාන සහ පුද්ගලයන් පමණයි. ඒ අයත් බියවැද්දීම සඳහා තමයි මේ නඩුව දාල තිබෙන්නේ. මෙම නඩුව පැවරීම නිසා ජෙයරාජ් පළිහවඩන මහතාට පවුම් 40,000 ක් 50,000 ක් වැය වෙනවා. ඒ මහතා මේ නඩුවෙන් දිනයි. මේ නඩු දාන්නේ හිරේ දාන්න නෙවෙයි. මේවා කරන්නේ වියදම් කරවල, මහන්සි කරවල මේ පිළිබඳව කතා කරන අය නිහඬ කිරීම සඳහා තමයි. එතකොට ඔවුන්ගේ මතය පමණක් ඉතිරි වෙනවා.

එහෙත් ආණ්ඩුව මෙම නඩුව පැවරීම මහා ව්‍යසනයක එක් කොටසක් ලෙස දකින්නේ නැහැ. මෙම කටයුතු සඳහා තානාපති කාර්යාලයෙන් පොඩි උදව්වක්වත් නැහැ. ජෙයරාජ් පළිහවඩන මහතා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ලන්ඩන් ශාඛාවේ සභාපති. එම නිසා හෝ මේ පිළිබඳව සොයා බැලිය යුතුයි.”

මේ මාධ්‍ය හමුව සදහා ජාතික සංවිධාන නියෝජිතයින් වන ආචාර්ය ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම, ගෝලිය සංසදයේ විධායක කමිටු සාමාජිකයින් වන නිතිඥ නුවන් බැල්ලන්තුඩාව, ප්‍රිමාල් ප්‍රනාන්දු යන මහත්වරු සහභාගි විය.

++++++++++++

යස්මින් සූකාගේ ශ්‍රී ලංකා විරෝධී ක්‍රියාවලියට විරුද්ධව ආණ්ඩුව සක්‍රියව මැදිහත්විය යුතුයි – ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ ශ්‍රී ලංකාවේ නිත්‍යය නියෝජිත නීතිඥ නුවන් බැල්ලන්තුඩාව

(17.07.2021 – 08:33 +0530 – lankaleadnews.com)

ජාතික සංවිධාන එකමුතුවේ මූලස්ථානයේදී පසුගියදා පැවැති මාධ්‍යය සකච්ඡාවක් අමතමින් ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ ශ්‍රී ලංකාවේ නිත්‍යය නියෝජිත නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසා සිටියේ :

“ජෙයරාජ් පලිහවඩන නැමැති ලන්ඩන් නගරය ආශ්‍රිතව ජීවත්වන ශ්‍රී ලාංකික දේශ ප්‍රේමියා ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ එක්සත්‍ රාජධානි ශාඛාවේ ලේකම් දූරය දරනවා. එසේම ඔහු ‘ලංඩන් ඉනීශියේටිව්’ සංගමයේ සභාපති දූරය ද දරනවා. ජෙයරාජ් පලිහවඩන මහතා පසුගිය 46 වන ජිනීවා සමුළුවට ඉදිරිපත් කරන ලද වාර්තාවක් ‘ලංඩන් ඉනීශියේටිව්’ හි ‘ෆේස් බුක්’ පිටුවේ පලකර තිබුණා. එම වාර්තාව පසුගිය ආණ්ඩුව පිළිගත්ත OISL වාර්තාව පාදක වුන දරුස්මාන් වාර්තාවෙ ඉඳලම අධ්‍යයනය කරල ඒ පිළිබඳව කළ විශ්ලේෂණයක්.

මෙම අධ්‍යයනය සම්බන්ධයෙන් කළබල වන යස්මින් සූකා තමාගේ ක්‍රියා කලාපය කොටි හිතවාදී සේ පෙනෙන බව ප්‍රකාශ කිරීමෙන් ඇගේ කීර්ති නාමයට අගෞරවයක් වී ඇති බවටත්, පුද්ගලික තොරතුරු රැකීම උල්ලංඝණය කර ඇති බවටත් චෝදනා කරමි ලන්ඩන් උසාවියේ නඩු දමා තිබෙන්නේ. නමුත් යස්මින් සූකා පවත්වාගෙන යන වෙබ් අඩවියක් වන ‘ඉන්ටර්නැෂනල් ටෘත් ඇන්ඩ් ජස්ටිස්’ කියන වෙබ් අඩවියේ වන්නි මෙහෙයුමට සහභාගි වූ සියලු දෙනාගේම නම් ඇතුලත් කර තිබෙනවා. එම වාර්තාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කමල් ගුණරත්න මහතා ඇතුලු සියලු දෙනාගේම නම් ඇතුලත් කර තිබෙනවා.

ඒ අනුව පෙනී යනවා ජාත්‍යන්තර නීති තුළ ඇති ප්‍රතිපාදන පාවිච්චි කර අපේ රටේ රණවිරුවෝ දඩයම් කිරීමේ මෙහෙයුම ආරම්භ කර තිබෙනවා කියන එක. ඒ නිසා ආණ්ඩුව මීට වඩා ජිනීවා මානව හිමිකම් සමුළුව කෙරෙහි රටට හතුරු පාර්ශව ක්‍රියාත්මක වන ආකාරය කෙරෙහි අවධානය යොමු කර කටයුතු කළ යුතුයි කියා අපි අවධාරණය කරනවා.

මෙම අවස්ථාවට ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභික ප්‍රිමාල් ෆර්නෑන්ඩු මහතා ද සහභාගි විය.

සම්පූර්ණ වීඩියෝව :

++++++++

FB : Global Sri Lankan Forum

[ https://www.facebook.com/GSLFOfficial/ ]

******************************************

ජනාධිපතිතුමනි, මිලින්ද මොරගොඩ ඔබේ කවුද?

(17.07.2021 – 08:14 +0530 – lankaleadnews.com)

ගෝඨාභය ජනාධිපතිවරයා එක්වරක් හෝ මුණ ගැහෙන්නට අවස්ථාවක් ආවොත් මට අහන්න එක ප්‍රශ්නයයි තියෙන්නෙ?
“මිලින්ද මොරගොඩ සහ ඔබ අතර තියන සම්බන්ධය කුමක්ද?”

දැන් මේකනෙ … මට මෙහෙම ප්‍රශ්නයක් අහන්න හේතුවක් තියනවා.

ඒ තමා 2015-2019 කාලය තුල ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂලාගේ කඳවුර නියෝජනය කරපු සියලු දෙනා අපි දැක්කා. ප්‍රසිද්ධ වේදිකාවල්වල වියත්මග, එළිය වගේ සිවිල් සංවිධාන පවත්වපු දේශන – සම්මන්ත්‍රණ ආදී තැන්වල අපි අපේ කඳවුර කියල කිව්ව තැන්වල ගෝඨාභයට කැමති සමාජයේ ප්‍රසිද්ධ මහා ඝරත්නය, දේශපාලකයන්, වියතුන්, කළාකරුවන්, විද්වතුන්, ව්‍යාපාරිකයන් ආදී සමාජය නියෝජනය කරන සියලුම දෙනා ප්‍රසිද්ධියේ ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති තනතුර සඳහා යෝජනා කලා; ඒ වෙනුවෙන් වැඩ කලා. අපි ඒ අය හඳුනාගත්තා. දයාන් ජයතිලක වගේ ජාතිකවාදී කඳවුරේ ද්වේෂයට පත්වුන සමහරු 2019 ට කලින්ම මේකෙන් බැසගියා.

කොහොම උනත් අපි මේ ගතවූ කාලය තුල ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ කොතනකවත් ‘මිලින්ද මොරගොඩයෙක්’ දුටුවේ නෑ. මා නම් දුටුවේ නෑ.. ඔබ දුටුවාද? ඔහු ගෝඨාභය රාජපක්ෂගේ හිතවතෙකු හෝ අනුගාමිකයෙකු හෝ උපදේශකයෙකු හෝ කුමන තරාතිරමකින් ගෝඨාභය රාජපක්ෂ සමඟ සම්බන්ධදැයි කියා සමාජය දැන සිටියේ නෑ. ඔහුත් ගෝඨාභයත් අතර සම්බන්ධයක හංකවිසයක්වත් කිසිම තැනක ප්‍රසිද්ධියේ සඳහන් වුනේ නෑ.. ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන් සහ ගෝඨාභය රාජපක්ෂට විරුද්ධ පුද්ගලයන් පැහැදිලිවම සමාජය දැක ගත්තා.. මොරගොඩයෙක් ඒ කොහේවත් සිටියේ නෑ.

නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුරට පත්වූ පසු එක්වරම මිලින්ද මොරගොඩ කරලියට එනවා.. ජනාධිපතිවරයා ඔහුව කැබිනට් බලතල සහිතව ඉන්දීය මහකොමසාරිස් තනතුරට පත්කරනවා.. ජනාධිපතිවරණයට පෙර කිසිම තැනක සඳහනක්වත් නොවූ මිලින්ද මොරගොඩ එක්වරම මෙතනට පාත්වන්නේ කෙසේද? ඔහුත් ගෝඨාභය රාජපක්ෂත් අතර ඇති සම්බන්ධය කුමක්ද? මෙවැනි පුද්ගලයෙකු හෝ එවැනි විශාල තනතුරක් ලබා දීම වැනි කාරණයක් සුලු පටු නෑ නේ.. ඒවා අහඹු සිදුවීම් කියා කාටවත් කියන්නට බෑනේ.. මේවා මෙසේ සිදුවීමට පෙර යම්කිසි ක්‍රියාදාමයක් කලින් සිදුවී තිබිය යුතුයි.

එවැනි සම්බන්ධයක් කලින් සිට තිබුනා නම් 2015-2019 කාලය තුල එය රහසක් වශයෙන් තබාගෙන සිටියේ ඇයි..? මිලින්ද මොරගොඩගේ ‘පාත්ෆයින්ඩර් සංවිධානය’ට සම්බන්ධ පුද්ගලයන් ආණ්ඩුවේ තනතුරුවලට පත්වන්නේ ඇයි? (විමල් වීරවංශගේ ප්‍රකාශට අනුව).. මිලින්ද මොරගොඩ කිසිම ප්‍රසිද්ධ තැනක ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපතිවරණයට පෙර පෙනී නොසිටියේ ඔහුට ඇති ජනතා විරෝධය නිසාද? එසේ සඟවාගෙන සිටීමෙන් සිදුකර ඇත්තේ පාවා දීමක්, රැවටීමක් නොවේද?

ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන තුරු තමන්ට සහය දුන් කඳවුරට නොපෙන්වා මිලින්ද මොරගොඩව පමණක් එසේ සඟවාගෙන සිටියේ ඇයි?

සමහර කුලී බුකී ලියන්නන් මේ මිලින්ද මොරගොඩ සහ පාත්ෆයින්ඩර් කල්ලිය ගැන කාරණය විහිලුවට ලක් කරන්නට උත්සාහ ගන්නවා.. ඒ හරහා මේ කාරණය සාමාන්‍යකරණය කිරීමට උත්සාහ ගන්නවා. ඒවාත් අහඹු සිදුවීම් නොවේ.. ඒවා සිදුවන්නේත් සංවිධානාත්මකවයි. ඒවා සමාජමාධ්‍යවලට එන්නේ ඉහළ සිට ගලාගෙන එන පණිවිඩ සහ සැලසුම්වලට අනුවයි.

නැවත වතාවක් කියන්නේ මට ගෝඨාභය ජනාධිපතිව මුණ ගැසුනොත් අහන්නට තිබෙන්නේ එකම ප්‍රශ්නයයි.

“විදෙස් ඔත්තුසේවා ඒජන්තයෙක් බවට රජයේ ඇමතිවරුන්ම පිළිගන්නා පාත්ෆයින්ඩර් මිලින්ද මොරගොඩත් ඔබත් අතර ඇති සම්බන්ධය කුමක්ද? එවැන්නක් තිබුනානම් 2015-2019 කාලය තුල එය සඟවා සිටියේ ඇයි?” කියායි..

තවමත් රටේ කිසිම මාධවේදියෙක්, දේශපාලකයෙක් හෝ කිසිම කෙනෙක් ජනාධිපතිවරයාගෙන් මේ ගැන විමසා නෑ..

මාලින්ද ඩයස්

******************************************

රිෂාඩ්ගේ නිවසේදී සිය දිවි හානි කරගත් දැරිය ලිංගික අපයෝජනයට ලක් වී ඇති දැයි සැක !

(17.07.2021 – 09:56 +0530 – lankaleadnews.com)

රහස් පොලිසියේ රැඳවුම් භාරයේ සිටින හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි තබාගෙන අභිරහස් අන්දමින් මියගිය හැටන් ඩයගම බටහිර ප‍්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 16 යි මාස 08 ක් වයසැති ඉෂාලිනී ජූඩ් කුමාර් නමැති බාලවයස්කාර දැරිය දීර්ඝ කාලයක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව මරණ පරීක්‍ෂණයෙන් අනාවරණය වී ඇති බව වාර්තාවේ.

දැරියගේ සිය දිවි නසා ගැනීම සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටින ඔහුගේ බිරිඳ මව්පියන් සහ මෙහෙකාර සේවයේ යෙදී සිටින තරුණයකුගෙන්ද බොරැල්ල පොලිසිය දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරගෙන යන බව වාර්තාවේ. මේ අතර පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටින්නේ රහස් පොලිසියේ රැඳවුම් භාරයේ සිටින රිෂාඩ් බදියුදීන්ගෙන්ද මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බවය.

මෙම දැරිය ඇයට වයස අවුරුදු 15 යි මාස 11 ක් වෙද්දී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට ගෙනැවිත් ඇති බව ද විමර්ශනවලින් මේ වන විට හෙළිවී ත්බෙන බවද වාර්තාවේ.

කෙසේ වුවද දැරිය හිටපු ඇමැතිවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට භූමිතෙල් වත්කරගෙන ගිනි තබාගෙන සිය දිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද පොලිසිය පවසා සිටී.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වන පොලිසිය පවසා සිටින්නේ මෙසේ සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකර ගැනීමට කිසියම් බරපලතළ හේතුවක් තිබිය යුතු බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්ය. ඒ අනුව දැරිය දීර්ඝ කාලයක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක්වීම නිසා සියදිවි හානි කරගන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

මෙම දැරිය මියයෑමට පෙර ජාතික රොහලේ වෛද්‍යයවරුන් හට පවසා ඇත්තේ තමන් සිරුරට භූමිතෙල් වත්කරගෙන ගිනි තබාගත් බවයි. එහෙත් එසේ ගිනි තබාගැනීමට හේතුව ඇය පවසා නැත.

බාලවයස්කාර දැරියක් මෙහෙකාර සේවයේ යෙදවීම සම්බන්ධයෙන්ද පොලිසිය වෙනමම විමර්ශනයක් ආරම්භ කර ඇති බවද ප්‍රකාශ කරයි.

දැරිය පසුගිය 03 වනදා සිරුරට ගිනි තබාගෙන ඇති අතර ඇගේ සිරුරේ 72% ක ප‍්‍රමාණයක් ගිනි ගැනීමෙන් දැඩි ලෙස පිළිස්සී ගොස් තිබූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

දැරිය දින 12 ක් තිස්සේ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා පසුගිය 15 වැනිදා මියගොස් තිබුණු බව වාර්තාවේ ෴

@@@@@@@@@@@@@@@@@@@

මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය රට පුරා පැතිරෙද්දී ‘හජ්ජි උත්සවය’ සැමරීමට නිරෝධායන නීති ලිහිල් කෙරේ!

(17.07.2021 – 08:03 +0530 – lankaleadnews.com)

ඊයේ (16) සිට ක්‍රියාත්මක වන නව සංචරණ සීමා ලිහිල් කිරීම් යටතේ තෝරාගත් ක්ෂේත්‍ර නවයකට පනවා තිබූ සීමා තවදුරටත් ලිහිල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව සෞඛ්‍යය සේවා අධ්‍යයක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වේ.

එම නිවේදනයට අනුව ආගමික ස්ථාන විවෘතව තැබීමට අවසර ඇති අතර ආගමික උත්සව සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශයන් වෙන වෙනමම නිකුත් කරණ බවද කියවේ.

මේ සම්බන්ධයෙන් ‘ලංකා ලීඩ් වෙබ් අඩවිය’ වෙත අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරයෙකු අප හා පැවසූවේ ඉන්දියාවෙන් හමුවූ කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් ලංකාව තුළ පැතිරී යන තත්වයක් තුළ බලධාරින් මෙවැනි ලිහිල් කිරීමක් කරණු ලැබ ඇත්තේ එළඹෙන ‘හජ්ජි උත්සවය’ සැමරීමට ඉඩ ලබා දීමට බවට සැක පහළ වන බවයි.

“වෙසක් උත්සවය, පොසොන් උත්සවය වැනි මේ රටේ බහුතර බෞද්ධ ජනයාගේ වැදගත් ආගමික උත්සව සැමරීම් නොකර කැප කිරීම් කළා. ඩෙල්ටා ප්‍රභේදය වැනි වේගයෙන් පැතිර යන ප්‍රභේදයක් ශ්‍රී ලංකාවේ බොහෝ තැන් වල මතු වෙද්දී මෙවැනි තීන්දුවක් ගැනීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට හේතු වූ සාධක මොනවාදැයි පැහැදිලි නැත” යනුවෙන් එම විශේෂඥ වෛද්‍යයවරයා පවසා සිටියා.

මේ අතර සමාජ ජාලා පරිශීලකයන් අතර සංසරනය වන සමහර අදහස් වලින් පැවසෙන්නේ ‘ඉස්ලාම් අන්තවාදී දේශපාලන නායකයන්’ සතුටු කිරීමේ වුවමනාව ඇති කවුරු හෝ දේශපාලන නායකයෙකුගේ වුවමනාවට මෙවැනි කටයුතු සිදුවන බවයි.

මේ අතර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය අවධාරණය කර සිටියේ කවුරු කුමක් පැවසුවත් කොරෝනා තුන්වැනි (3) රැල්ල තවම අවසන් නැති බවයි.

“හැමෝම තුන්වෙනි (3) රැල්ල අවසන් යැයි සිතාගෙන සිටියද ඒ සිතුවිල්ල වැරදියි. රැල්ලක් උඩට තවත් රැල්ලක් මතුවිය හැකියි. ඩෙල්ටා කොරෝනා වෛරසය විවිධ තැන්වලින් හමුවෙන හෙයින් එය වැඩි දෙනෙකුට පැතිරී යෑමේ හැකියාවක් තිබෙනවා. මෙය මෙතනින් නවත්වා ගැනීම කාගේත් වගකීමක්” යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පැවසුවාය ෴

+++++++++++

නිරෝධායන නීති ලිහිල් කරණ අයම ‘හජ්ජි පොකුරේ’ වගකීම භාර ගත යුතුයි! – ජාතික සංවිධාන එකමුතුව

(17.07.2021 – 10:30 +0530 – lankaleadnews.com)

ජාත්‍යයන්තර ශ්‍රේණිගත කිරීම් වලට අනුවත් දේශීය විද්වතුන්ගේ ගණන් බැලීමට අනුවත් ශ්‍රී ලංකාව පසුවන්නේ කොවිඩ් වසංගතයේ 4 වන අවධියේය. එම අවධිය බරපතලම අවධිය බව විද්වතුන්ගේ මතයයි.

සෞඛ්‍යය බලධාරීන්ගේ අණතුරු ඇඟවීම් එලෙසම තිබියදී ඊට පරස්පර ලෙස සංචරණ සීමා ලිහිල් කිරීම පිළිබඳව ‘ලංකා ලීඩ් වෙබ් අඩවිය’ ජාතික සංවිධාන වල මතය විමසන ලදී. එහිදී අප වෙත අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බංඩාර මහතා පවසා සිටියේ :

“ආණ්ඩුව මේ හදන්නේ ‘සිංහල අවුරුදු පොකුරක්’ නිර්මාණය කළ ආකාරයටම ‘හජ්ජි පොකුරක්’ නිර්මාණය කිරීමටයි. දැන් පැතිරෙමින් තිබෙන ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීමේ වේගය 50% ක් පමණ බව කියවෙනවා.

සෞඛ්‍යය බලධාරින් මහජනයාට දැඩි ලෙස පරෙස්සම් වීමට අවශ්‍යය නීති පනවන අතර තුර ඊට ඉහලින් සිටින නොපෙනෙන බලවේගයක් විසින් නීති ලිහිල් කිරීම ඉතා බරපතල වගකීම් පැහැර හැරීමක්. මෙම බලවේගය සමහර විට ජනාධිපති තුමා අමාරුවේ දැමීමේ කුමන්ත්‍රණයක නියැලෙනවා වන්නත් පුළුවන්.

වෙසක් වලට, පොසොන් වලට නැති ලිහිල් කළ සංචරණ සීමා හජ්ජි වලට අවශ්‍යය නැහැ. මේ මෝඩ තීන්දුව කවුරුන් විසින් ගනු ලැබුවද ඔහුට හෝ ඇයට මේ සම්බන්ධයෙන් වගකීමට සිදු වෙනවා.”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *