ජෝසප් ස්ටාර්ලින් ඇතුලු 16 දෙනා නිරෝධායන මධ්‍යස්ථානයෙන් මුදා හැරේ

ජෝසප් ස්ටාර්ලින් ඇතුලු 16 දෙනා නිරෝධායන මධ්‍යස්ථානයෙන් මුදා හැරේ

*********************************************

ජෝසප් ස්ටාර්ලින් ඇතුලු 16 දෙනා නිරෝධායන මධ්‍යස්ථානයෙන් මුදා හැරේ

(16.07.2021 – 18:46 +0530 – hirunews.lk/sinhala)

විරෝධතාවන්හි අත්අඩංගුවට ගෙන ඇප මුදාහැරීමත් සමඟ නිරෝධායනයට යොමු කර සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ඇතුළු පිරිස අද (16) එම ස්ථානවලින් මුදා හරිනු ලැබුවා.

ඉංජිනේරු සංස්ථාව ඉදිරිපිට පැවති විරෝධතාවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 7 වනදායි. පසුව ඔවුන්ට ඇප ලබා දි පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ලැබුවා.

එසේම, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතා දැක්වීමේදී නිරෝධායන නිතී කඩ කළ බවට චෝදනා කරමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ඇතුළු 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැරීමෙන් පසු නිරෝධායනයට යොමු කරනු ලැබුවේ පසුගිය 08 වැනිදායි.

දින 08 ක් මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි මෙම පිරිසක් අද (16) පස්වරුවේ ඉන් මුදාහරිනු ලැබුවා.

මේ අතර, අධිකරණයෙන් ඇප ලබා තිබියදී නිරෝධායනයට යොමු කිරීම මගින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්ගේ නීතිඥයන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (16) පෙරවරුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනුකළා.

කෙසේ වෙතත්, මෙම පිරිස මුදාහැරියද තම වෘත්තීය ක්‍රියාමාර්ගය ඉදිරියටත් සිදුකරන බවයි ලංකා ගුරු සේවා සංගමය සඳහන් කළේ.

වැටුප් ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ගුරු වෘත්තීය සමිති 14 ක් ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වී ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට (16) දින 05 ක් ගත වනවා.

මේ හේතුවෙන් අද (16) දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා පැවැත් වූ අතර කුරුණෑගල නගරයේ පැවති විරෝධතාවයකදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1079 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 281,622 ක් ලෙසටයි ෴

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 918 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 254,871 ක් ෴

++++++++++++++++++++

කොරෝනා සංකූලතා භයානකයි, දරුවන් ගැන අවධානයෙන් සිටින්න – ළමා රෝහලෙන් පණිවිඩයක්

(16.07.2021 – 19:02 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආරම්භයේ සිට ජාතික ළමා රෝහල තුළ ළමුන් 490 ක් පමණ ප්‍රතිකාර ලබාගෙන ඇති බව ජාතික ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසනවා.

එමෙන්ම කොරෝනා ආරම්භයේ සිට මේ දක්වා ජාතික ළමා රෝහල තුළ කොරෝනා හේතුවෙන් ළමුන් දස දෙනෙකු (10) පමණ මිය ගොස් ඇති බවයි අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ.

ඔහු වැඩි දුරටත් පවසන්නේ දෙමව්පියන් එන්නත ලබා ගත්තත් ඔවුන්ගෙන් දරුවන්ට රෝගය වැලඳීමේ අවදානමක් තිබෙන බැවින් ආත්මාර්ථකාමී නොවී දෙමව්පියන් සහ වැඩිහිටියන් තවදුරටත් ප්‍රවේශම් වෙමින් දරුවන් රැක ගන්නා ලෙසටයි.

කොරෝනා ආසාදන සංකූලතා ලෙස කුඩා දරුවන් රෝග ලක්ෂණ නොපෙන්වා සති දෙකක් (2) පමණ ගත වන විට යම් උණ තත්ත්වයක් ඇතිවී ඇස් රතු වී වමනය යාම ආරම්භ වූ වහාම රෝහල් කරා රැගෙන එන ලෙස ඔහු ඉල්ලා සිටිනවා.

මෙම සංකූලතා හේතුවෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රීයන් ඉදිමීමකට ලක් වීමට ඉඩ ඇති අතර එවැනි ඉදිමීමට ලක්වීම හේතුවෙන් දැනටමත් රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ රෝගීන් පස් දෙනකු (5) පමණ ප්‍රතිකාර ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහු කියාසිටියා.

මේ සංකූලතාවයන් නිසා ඇතැම් විට දරුවන් මියයාමට පවා ඉඩ තිබෙන බැවින් දරුවන් වෙනුවෙන් දෙමව්පියන් සහ වැඩිහිටියන් වඩාත් සැළකිල්ලෙන් කටයුතු කල යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙහිදී පසුගිය දිනවල ඇතිවූ වැඩ වැඩවර්ජනය සම්බන්ධයෙන් ද ළමා රෝහලේ අධ්‍යක්ෂකවරයා අදහස් පළ කළා.

එහිදී ඔහු කියා සිටියේ රාජ්‍ය නිලධාරින් ලෙස මෙම අර්බුදකාරී අවස්ථාවේ වඩාත් වැඩි වගකීමකින් කටයුතු කළ යුතු බවයි.

මේ අවස්ථාවේ කිසිවකුත් වර්ජන ක්‍රියාමාර්ග වෙත යොමු නොවිය යුතු බව සිය පෞද්ගලික මතය බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කර සිටියා.

++++++++++++++++++++++

(16.07.2021 – 19:26 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ සිදුවූ තවත් කොරෝනා මරණ 41 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ 15 තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3702 ක් ලෙසටයි.

ඊයේ (15) තහවුරු කෙරුණු මරණ අතරට පිරිමි 23 ක් සහ කාන්තාවන් 18 ක් ඇතුලත්.

අවුරුදු 30 ත් 59 ත් අතර පිරිමි පුද්ගලයන් 9 ක් සහ කාන්තාවන් 3 දෙනෙකු මියගිය පිරිසට අයත්. අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි 14 ක් සහ කාන්තාවන් 18 ක් ඊයේ (15) තහවුරු කළ මරණ අතර වනවා ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 367 ක් වාර්තාවී තිබෙනවා. අද (16) දිනයේ මෙරටින් හමුවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 1446 ක් ෴

+++++++++++++++++++++

(16.07.2021 – 19:55 +0530 – hirunews.lk/sinhala)

විදෙස් රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයින් කොවිඩ් එන්නත් ලබාගැනීම සම්බන්ධයෙන් මුහුණ දී ඇති අර්බුදය විසඳා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් සිදුකරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ තානාපති අංශ සමඟ අදාළ සාකච්ඡා මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.

කොරෝනා ව්‍යාප්තිය තුළ වූවද මේ වනවිට මැද පෙරදිග ඇතුළු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සේවය ලබාගන්නා රටවලින් රැකියා ඇබෑර්තු රැසක් ඉදිරිපත්ව තිබෙනවා.

කෙසේ වෙතත්, කුවේට් සහ සෞදි රාජ්‍යයන් චීනයේ නිෂ්පාදිත එන්නත් වර්ග, අනුමත එන්නත් ලැයිස්තුවට ඇතුළත් කර නැහැ.

මෙරට වැඩි වශයෙන් එන්නත් කර ඇත්තේ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත බැවින් සෞදි සහ කුවේට් රාජ්‍යයන් සඳහා පිටත් කර හැරීමට නියමිත දැනට ලියාපදිංචි වී ඇති ශ්‍රමිකයින් සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව තිබෙනවා.

කෙසේ වෙතත්, කටාර් හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රාජ්‍යයන් චීන එන්නත් පිළිබඳ ගැටළු මතුකර නැහැ.

තවත් ගැටළුවක් වී ඇත්තේ විදේශීය විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබා කොරෝනා අර්බුදය මැද යළි මෙරටට පැමිණි ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඇතමෙකු සයිනොෆාම් එන්නත ලබාගැනීම නිසා යළි එම විශ්වවිද්‍යාල වෙත ඇතුළත් වීමේ ගැටළුවකට මුහුණ දී සිටීමයි. තවත් සිසුන් පිරිසක් සුදුසු එන්නත් ලබාගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය මහතා පවසන්නේ මෙවැනි අර්බුදයක් පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සිදුකිරීම ඵලක් නොමැති බවයි.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ විදෙස් ගතවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ප්‍රමාණයේ දැවැන්ත කඩා වැටීමක් පෙන්නුම් කරනවා.

2019 වසරේ 23,087 දෙනෙකු විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් තිබූ අතර, පසුගිය වසරේ පිටත්ව ගොස් ඇත්තේ 5,713 දෙනෙකු පමණයි.

එය 74.16% ක පහත බැසීමක් ෴

++++++++++++++++++++++

(16.07.2021 – 20:10 +0530 – hirunews.lk/sinhala)

ඕනෑම ක්ෂේත්‍රයක රැකියාවක නියුතු අයෙකුට එන්නත ලබාදෙන ඕනෑම ස්ථානයකින් පහසුවෙන් එන්නත ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

එසේම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරනු ලැබූ මොඩර්නා එන්නත් ලක්ෂ 15 ක් අද (16) දිනයේදී දිවයිනට ලැබීමත් සමඟ මෙරටට ගෙන්වූ සමස්ත කොරෝනා මර්දන එන්නත් සංඛ්‍යාව කෝටියේ සීමාව ඉක්මවා ගියා.

රෝගාබාධයන්ට ලක්ව නිවෙස් වලින් බැහැර විය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙසටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.

ඒ, එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග අද (16) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීයි.

මේ අතර, චීනයේ නිෂ්පාදනය කෙරෙන සිනොවැක් එන්නත මෙරට තුළ භාවිත කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ මෙරට තුළ භාවිතය සඳහා අනුමැතිය හිමිවූ 06 වන කොරෝනා මර්දන එන්නත එය බවයි.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදුන් කොරෝනා මර්දන එන්නත් හයම (6) මෙරට භාවිතය සඳහා මේ වනවිට අනුමැතිය හිමිව තිබෙනවා.

එම එන්නත් අතරින් ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම්, ස්පුට්නික්, ෆයිසර් සහ මොඩර්නා යන කොරෝනා එන්නත් මෙරටට රැගෙනවිත් තිබෙනවා.

ඒ අනුව එම එන්නත් වර්ගවලින් කෝටිය ඉක්මවූ කොරෝනා එන්නත් මාත්‍රා ශ්‍රී ලංකාවට මේ වනවිට ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 71 ක්, ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා 12,64,000 ක් සහ ස්පුට්නික් මාත්‍රා 180,000 ක් මේ වනවිට දිවයිනට ලැබී ඇති බවයි.

මීට අමතරව, ෆයිසර් එන්නත් මාත්‍රා 54,000 ක් සහ අද (16) ලැබුණු මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 ද ඊට ඇතුළත්.

තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 52 ක් පමණ ඉදිරි සති දෙක (2) තුල මෙරටට ලැබීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර, පළාත් අතර බස් රථ සහ දුම්රිය ධාවනය කිරීම හෙට (17) සිට ලබන මස පළමු වැනිදා (01) දක්වා තාවකාලිකව අත්හිටුවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස මෙම තීරණයට එළඹි බවයි.

එසේම, ළමයින් හැර සංචාර තහනමක් නොමැති රටවලින් පැමිණෙන පුද්ගලයන්ට දිවයිනට පැමිණි පළමු (1) දිනයේ කොරෝනා පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නොවන බව තහවුරු වන්නේ නම් 7 වන දින කොරෝනා පරීක්ෂණය සිදුකිරීම මින් ඉදිරියට අවශ්‍ය වන්නේ නැහැ.

මෙරටින් ඊයේ (15) තහවුරු කළ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ 19 දෙනාගෙන් 11 දෙනෙකුම කොළඹ මහ නගර සභා සීමාවෙන් වාර්තා වී ඇති බව එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කළා.

ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් අතර නාවික හමුදා සාමාජිකයකු හා වෛද්‍ය ශිෂයෙකුද සිටින බව සෞඛ්‍ය අංශ තහවුරු කළා.

මේ අතර, නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර තිබුණා.

ඒ අනුව, සත්ත්වෝද්‍යාන, වනජිවි උද්‍යාන සහ ළමා උද්‍යාන ද විවෘත කර ඇති අතර, සත්ත්වෝද්‍යානවලට වරකට ඇතුලු කර ගත හැකි වන්නේ පුද්ගල ධාරිතාවයෙන් සියයට 25 ක් පමණයි.

කොරෝනා රෝගය පැතිරීමට හේතුවිය හැකි භෞතිකව සම්බන්ධ වන ක්‍රීඩා හැර අනෙකුත් ක්‍රීඩාවන් සඳහා අවසර ලබාදී තිබෙනවා. එසේම, ශාලාවන් තුල සංගීත සංදර්ශන ආසන ධාරිතාවයෙන් සියයට 50 ක සීමාවට යටත්ව අවසර ලබාදී ඇති අතර, එළිමහන් සැණකෙළි සහ සංගීත සංදර්ශන සඳහා අවසර ලබාදී නැහැ.

@@@@@@@@@@@@@@@@

(16.07.2021 – 17:48 +0530 – hirunews.lk/sinhala)

කුෂන් පුටුවක් තුල සඟවා තිබූ රුපියල් කෝටි 4 කට ආසන්න වටිනා කුෂ් නමැති ගංජා තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇමෙරිකාවේ සිට ශ්‍රී ලංකාවේ ව්‍යාජ ලිපියනයන් වෙත කුරියර් සේවාව ඔස්සේ එවා තිබියදී මෙම ගංජා තොගය සොයා ගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා සඳහන් කළේ.

ලියුම් කවර තුල සඟවා තිබූ ගංජා පැල විශාල ප්‍රමාණයක් ද එහිදී සොයා ගෙන ඇති අතර, ඉදිරි විමර්ශන සඳහා මෙම ගංජා තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.

******************************************

(16.07.2021 – 19:30 +0530 – hirunews.lk/sinhala)

ආනමඩුව ආසනයේ මේ වනවිට කප්පම් දේශපාලනයක් බිහිවී ඇති බවත්, දේශපාලනඥයෙකු වශයෙන් තමන් දැඩි ලෙස කළ කිරීමකට ලක්ව ඇති බවත් රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කළා.

ආනමඩුව ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කර සිටියා.

මේ අතර, තමන් ද කළකිරීමෙන් සිටින බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කළා.

******************************************

(16.07.2021 – 19:42 +0530 – hirunews.lk/sinhala)

වයඹ විශ්වවිද්‍යාලවලට අනුබද්ධිතව පිහිටවූ වෛද්‍ය පීඨයට හිමිව තිබූ මහාචාර්ය ඒකකය කුලියාපිටිය ශික්ෂණ රෝහලෙන් කුරුණෑගලට රැගෙන යාමට විරෝධය පළ කරමින් අද (16) විරෝධතාවක් පැවැත්වුණා. ඒ කුලියාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිටදීයි.

එක්සත් ජාතික පක්ෂය, සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයන් මෙන්ම ආගමික නායකයින් ද මෙම විරෝධතාවයට එක්ව සිටීම විශේෂත්වයක්.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි හිටපු මහලේකම් අකිල විරාජ් කාරියවසම්, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුෂාර ඉඳුනිල්, නලින් බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් හිටපු පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් කැටවෙලගෙදර ද විරෝධතාවට එක්වුණා.

නගරයේ ඇතැම් ස්ථානවල කළු කොඩි දමා තිබෙන ආකාරය ද දක්නට ලැබුණු අතර, පිරිස නගරය තුල විරෝධතා පාගමනක ද නිරත වුණා.

එම අවස්ථාවේදී නගරයේ කඩ සාප්පු රැසක් ද වසා දමා තිබුණා.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් ද අද මාධ්‍ය හමුවක් කැඳවමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරනු ලැබුවා.

******************************************

(16.07.2021 – 20:15 +0530 – hirunews.lk/sinhala)

විනයගරුක සමාජයක් ඇති කිරීම සඳහා අවුරුදු 18 ට වැඩි පුද්ගලයින්ට හමුදා කඳවුරු තුල පුහුණුවක් ලබාදිය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අද (16) යළි ප්‍රකාශ කළා.

ඒ පානදුර – හිරණ පොලිස් මුරපොල පොලිස් ස්ථානයක් ලෙස විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

******************************************

පෑලියගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි කාන්තාවක් මියයයි – ඥාතීන්ගෙන් චෝදනාවක්

(16.07.2021 – 22:46 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි 43 හැවිරිදි තිදරු (3) මවක් පොලිසිය තුළදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඥාතීන් චෝදනා කරන්නේ අසනීප තත්ත්වයක් පිළිබඳව පොලිසිය දැනුවත් කළද පොලිස් නිලධාරීන් එය නොසලකා හැරීම හේතුවෙන් ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්වූ බවයි.

දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් මත එක් පාර්ශවයක් පෑලියගොඩ පොලිසියට සිදු කළ පැමිණිල්ලකට ආදාලව අනෙක් පාර්ශ්වය පොලිසියට කැඳවා තිබෙනවා.

එහිදී ආරවුලට අදාලව දැනට මියගොස් සිටින කාන්තාවද ඇතුලු පස්දෙනෙකු (5) පොලිසිය අත්අඩංගුවට ගත් බව ඥාතීන් පවසනවා.

ඔවුන් චෝදනා කරන්නේ ජීවිතක්ෂයට පත්වූ කාන්තාව අසනීප තත්ත්වයක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුවත් කළද ඇයට ප්‍රතිකාර කිරීමට හෝ රෝහල් ගත කිරීමට ඔවුන් පියවර නොගත් බවයි.

ඒ හේතුවෙන් ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ පෑලියගොඩ ගැමුණු මාවතේ පදිංචි 43 හැවිරිදි තිදරු (3) මවක්.

මේ අතර 2017 වසරේදී පෑලියගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියකට අදාළව ඔහුගේ බිරිඳට රුපියල් ලක්ෂ 10 වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරනය අද (16) නියෝග කළා.

ඒ අනුව අධිකරණය නියෝග කළේ රුපියල් හත්ලක්ෂ පනස් දහසක (7,50,000) වන්දියක් සහ ඔහුව අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරු පස්දෙනා (5) රුපියල් පනස් දහස (50,000) බැගින් සිය පුද්ගලික මුදලින් මියගිය පුද්ගලයාගේ බිරිඳට සහ දරුවන්ට ගෙවන ලෙසයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *