කලවම් බීජ ලබා දීම හේතුවෙන් අසීරුතාවට පත් ගොවීන් උද්ඝෝෂණයක

කලවම් බීජ ලබා දීම හේතුවෙන් අසීරුතාවට පත් ගොවීන් උද්ඝෝෂණයක

*********************************************

කලවම් බීජ ලබා දීම හේතුවෙන් අසීරුතාවට පත් ගොවීන් උද්ඝෝෂණයක

(16.07.2021 – 13:06 +0530 – hirunews.lk/sinhala)

රට තුළ මේ වන විට පවතින පොහොර හිඟය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ගොවීන් තවදුරටත් දුෂ්කරතාවලට මුහුණදෙමින් සිටිනවා.

ඔවුන් දිනෙන් දින උද්ඝෝෂණ පවත්වමින් ඉල්ලා සිටින්නේ තම වගාවන් සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබා දෙන ලෙසයි.

බිත්තර වී ලබා ගැනීමේ අරමුණින් පොළොන්නරුව කෘෂිකර්ම දෙපාර්තමේනතුවට අයත් රජයේ බීජ ගොවිපොළෙන් ලබාදුන් කලවම් බීජ වගා කළ ගොවීන් මේ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා අද (16) පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ දෙකේ ඇල කුඹුරු යායේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා.

ගොවීන් චෝදනා කරන්නේ කෘෂිකර්ම දෙපාර්තමේනතුවට අයත් පොළොන්නරුව රජයේ බීජ ගොවිපොළේ නිලධාරීන්ගෙන් වන්දි ඉල්ලා සිදු කළ පැමිණිල්ලටද පොලිසිය මේ දක්වා කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

මේ අතර තම වගාවන්ට අවශ්‍ය රසායනික පොහොර ඉල්ලා වැලිමඩ අර්තාපල් හා එළවලු ගොවීන් මහතැන්න වෙල්යායේදී උද්ඝෝෂණයක නිරත වුණා.

මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ වැලිමඩ ඌවපරණගම ගොවි එකමුතුව විසින්.

ගාල්ල වලහන්දූව කුඩා තේවතු සංවර්ධන අධිකාරී පරිශ්‍රයේ ‘හරිත ලංකා’ මැයෙන් තේ සඳහාම කොම්පොස්ට් නිෂ්පාදන කිරීමේ ආදර්ශ ඒකකයක් ආරම්භ කර තිබෙනවා.

මෙමගින් සැලසුම් කර ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන්ට තේ ගස් සඳහා අවශ්‍ය T-65 සහ තේ පැල සඳහා අවශ්‍ය T-200 කාබනික පොහොර සහනදායී මිලට ලබා දීමටයි.

මෙම ඒකකය මගින් වසරකට මෙට්‍රික් ටොන් 60,000 ක කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව වලහන්දූ කුඩා තේවතු සංවර්ධන අධිකාරිය සඳහන් කළා.

මේ අතර රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සහ වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන් මෙම කොම්පොස්ට් නිෂ්පාදන ආදර්ශ ඒකකයේ පසුගියදා නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා.

මේ අතර පොල් සඳහා ආනයනය කිරීමට යන කාබනික පොහොර සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අදහස් පළ කළා.

******************************************

(16.07.2021 – 12:48 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 31 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු (3) උතුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (15) රාත්‍රියේ කන්කසන්තුරයට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම කේරළ ගංජා තොගය සහ සැකකරුවන් ඩිංගි යාත්‍රාවක් සමඟ නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්.

නාවික වේග ප්‍රහාරක මුර යාත්‍රා මෙම සැකකටයුතු ඩිංගි යාත්‍රාව පරීක්ෂා කිරීමට යන අවස්ථාවේදී එහි සිටි සැකකරුවන් කේරළ ගංජා කිලෝ 3 යි ග්‍රෑම් 750 ක් බරැති පාර්සල් 3 ක් මුහුදට දමා පලායාමට උත්සාහ කර තිබෙනවා.

ඉන් පසුවයි එම සැකකරුවන් සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරුවන් අවුරුදු 20 ත් 40 ත් අතර වයස්වල පසුවන පේදුරුතුඩුව සහ කිලිනොච්චි ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

******************************************

(16.07.2021 – 16:44 +0530 – hirunews.lk/sinhala)

2017 වසරේදී පෑලියගොඩ පොලීසියේ අත්අඩංගුවේ සිටියදී පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳට රුපියල් ලක්ෂ 10 ක් ගෙවන ලෙස රජයට සහ පොලිස් නිලධාරින් 5 දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව රජය විසින් රුපියල් 750,000 ක මුදලක් ද මියගිය තැනැත්තා අත්අඩංගුවට ගත් පෑලියගොඩ පොලීසියේ සේවයේ නියුතුව සිටි පොලිස් කොස්තාපල්වරුන් 5 දෙනෙකුට රුපියල් 50,000 බැගින් ඔවුන්ගේ පෞද්ගලික මුදල්වලින් ද අදාළ තැනැත්තියට ගෙවන ලෙසටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ.

එසේම, වන්දි වශයෙන් හිමිවන රුපියල් ලක්ෂ 10 න් ලක්ෂ 05 ක මුදලක්, මියගිය තැනැත්තාගේ බාල වයස්කාර දරුවන් දෙදෙනාගේ නම් වලින් සම සමව රාජ්‍ය බැංකුවක තැන්පත් කළ යුතු බවට ද අධිකරණය නියෝග කර තිබෙනවා ෴

@@@@@@@@@@@@@@@@@

(16.07.2021 – 13:00 +0530 – hirunews.lk/sinhala)

මේ අතර උද්ඝෝෂණවල නිරතවූවන් නිරෝධායනයට යැවීමේ සිදුවීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය මෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ද විවිධ අදහස් පළකළා.

++++++++++++++++++++

(16.07.2021 – 14:22 +0530 – hirunews.lk/sinhala)

අධිකරණය මගින් ඇප මත මුදාහැරීමෙන් පසු නිරෝධායනයේ රඳවා සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඔහුගේ බිරිඳ වන දුලානි ප්‍රියන්තා ඉදිරිපත් කල හබයාස් කෝපුස් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 19 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (16) නියෝග කළා.

ඒ එම පෙත්සම සෝබිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසරුවරුන් හමුවේ අද (16) කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥඥවරයා කියා සිටියේ අදාල පෙත්සම ඇතුලු ලේඛන පිලිබඳ තොරතුරු තමන්ට ඊයේ (15) පස්වරුවේ ලැබුණු බවයි.

එබැවින් ඒවා අධ්‍යයනය කර කරුණු දැක්වීමට දින ලබා දෙන ලෙසට ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා. නීතිපතිවරයා, පොලිස්පතිවරයා, කොස්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුලු පිරිසක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා ෴

++++++++++++++++++++

(16.07.2021 – 15:00 +0530 – hirunews.lk/sinhala)

මාදිලි 5 ක මිලියන 10 ඉක්මවූ කොරෝනා එන්නත් මාත්‍රා ශ්‍රී ලංකාවට මේ වනවිට ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 71 ක්, ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා 1,264,000 ක් සහ ස්පුට්නික් මාත්‍රා 180,000 ක් මේ වනවිට දිවයිනට ලැබී ඇති බවයි.

මීට අමතරව, ෆයිසර් එන්නත් මාත්‍රා 54,000 ක් සහ අද (16) ලැබුණු මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 ද සමග මෙරටට ලැබුණු සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 10 ඉක්මවන බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

මීට අමතරව, තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 52 ක් පමණ ඉදිරි සති දෙක (2) තුල මෙරටට ලැබීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++++

(16.07.2021 – 15:03 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයෙන් ඇප ලබා තිබියදී නිරෝධායනයට යොමු කිරීම මගින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළා.

ඔහු වෙනුවෙන් එම පෙත්සම ගොනුකරනු ලැබුවේ නීතිඥ රවීනාද සිල්වායි.

එමගින් තවදුරටත් ඉල්ලා ඇත්තේ උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වීම අත්හිටුවූ බවට නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශය ද බල රහිත කිරීමේ ප්‍රකාශයක් නිකුත් කරන ලෙසයි.

රුපියල් ලක්ෂයක වන්දියක් ජෝශප් ස්ටාලින්ට ගෙවන ලෙසට බලධාරින්ට නියෝගයක් නිකුත් කරන ලෙස ද, එම මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉල්ලා ඇති අතර, එහි වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු 10 දෙනෙකු නම් කර තිබෙනවා ෴

+++++++++++++++++++++++

(16.07.2021 – 15:15 +0530 – hirunews.lk/sinhala)

පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු 6 දෙනෙකු මුදා හැර තිබෙනවා.

පසුගිය 7 වනදා ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉංජිනේරු සංස්ථාව ඉදිරිපිට පැවති විරෝධතාවයකදීයි ෴

++++++++++++++++++++++++++

(16.07.2021 – 15:24 +0530 – hirunews.lk/sinhala)

රෝගාබාධයන්ට ලක්ව, නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

රට පුරා දිස්ත්‍රික් මට්ටමින් එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කර තිබුණ ද රෝගාබාධයන්ට ලක්ව නිවෙස්වලින් බැහැර විය නොහැකි පිරිසට එන්නත ලබාදීම ගැටලුවක්ව පවතිනවා.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා මහජන සෞඛ්‍ය පරීක්ෂක සහාය ඇතිව හෝ විශේෂ දුරකථන අංක ඔස්සේ තොරතුරු ලබාගෙන, ජංගම එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනමින් ඇරඹීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමඟ අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

පසුගිය දින කිහිපය තුළ හඳුනාගත් කොවිඩ් රොගීන්ගෙන් හා මරණ සංඛ්‍යාවෙන් ඉහළ ප්‍රතිශතයක් එන්නත ලබාගෙන නොමැති අය බව කොවිඩ් කමිටුව අනාවරණය කර තිබෙනවා.

මේ හේතුවෙන් එන්නත්කරණයේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම සහ එන්නත්කරණ වැඩසටහනට ජනතාව යොමු කරවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල වයස අවුරුදු 30 ට වැඩි සියලු දෙනා ඉදිරි දින 4 තුල තුළ එන්නත්කරණය කළ හැකි බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ රෝහිත අබේගුණවර්ධන මහතා පෙන්වා දී ඇත්තේ.

ආයෝජන ප්‍රවර්ධන හා සංචාරක ක්ෂේත්‍රයට අයත් කලාපවල එන්නත්කරණය 90% කින් අවසන්ව තිබෙනවා.

මේ හේතුවෙන් අදාළ ක්ෂේත්‍රවල විශේෂ පිබිදීමක් දක්නට ඇති බවයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහිදී කියාසිටියේ.

ඕනෑම ක්ෂේත්‍රයක රැකියාවක නියුතු අයෙකුට එන්නත ලබාදෙන ඕනෑම ස්ථානයකින්, පහසුවෙන් එන්නත ලබාගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

ආයුර්වේද මධ්‍යස්ථාන ආශ්‍රිතව කොවිඩ් රෝගීන්ට සාර්ථකව ප්‍රතිකාර ලබාදීමට හැකි වූ බව දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කළා.

එහිදී ප්‍රතිකාර ගත් කිසිවෙකු මරණයට පත් වී නොමැති අතර, ඉක්මණින් සුවය ලැබීම පිළිබඳ විශේෂ පර්යේෂණයකට යොමුවීමේ අවශ්‍යතාව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පෙන්වා දෙනු ලැබුවා.

පාසල් ඇරඹීමෙන් පසු ප්‍රතිශක්තීකරණ වර්ධනයට සිසුන් සහ ගුරුවරුන් දේශීය ඖෂධ සඳහා යොමු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

+++++++++++++++++++++++

(16.07.2021 – 16:03 +0530 – hirunews.lk/sinhala)

සංචාරක තහනම නොමැති රටවලින් එන්නත් මාත්‍රා දෙකම (2) ලබාගෙන පැමිණෙන සංචාරකයන් මෙරටදී සිදු කෙරෙන පළමු (1) කොරෝනා පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වුවහොත් දින 7 ක් තුල දෙවන (2) පරීක්ෂණයක් සිදු කිරීම හෙට (17) සිට අනවශ්‍ය බව සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසනවා.

+++++++++++++++++++++

(16.07.2021 – 16:06 +0530 – hirunews.lk/sinhala)

පළාත් අතර බස් රථ සහ දුම්රිය ධාවනය කිරීම හෙට (17) සිට ලබන මස (අගෝස්තු) පළමුවනදා (01) දක්වා තාවකාලිකව අත්හිටුවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස මෙම තීරණයට එළඹි බවයි.

පසුගියදා පළාත් අතර බස් රථ සහ දුම්රිය ධාවනයට පියවර ගැනුනේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා යන අයට ගමන් කිරීම සඳහායි.

කෙසේවෙතත් සිදු කළ බස් රථ පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ වැඩි පිරිසක් අත්‍යවශ්‍ය නොවන සේවා ගණයට අයත් නොවන අය ගමන් කරන බවයි.

යළිත් අගෝස්තු මස පළමුවනදා (01) සිට පළාත් අතර බස් ධාවනය වෙනුවෙන් බස් රථ යම් ප්‍රමාණයක් ධාවනයට අවසර ලබාදීමට කොවිඩ් මර්දන කමිටුව තීරණය කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.

ඒ අනුව පිට පළාත්වලින් පැමිණි බස් රථවලට සහ දුම්රියවලට යළිත් සිය ගමනාන්ත දක්වා යාමට හැකියාව පවතින අතර හෙට (17) දිනයේ සිට පළාත් අතර ධාවනය නතර කෙරෙන බව ඔහු ප්‍රකාශ කළා.

ඉදිරි සති දෙකක (2) කාලය තුල බස්නාහිර පළාතේ එන්නත්කරණය සම්පූර්ණයෙන් අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර එමගින් බස්නාහිර පළාතෙන් වෙනත් දුරස්ථ ප්‍රදේශවලට වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම අවම කිරීමට හැකියාවක් ඇති බවට කොවිඩ් මර්දන කමිටුව තීරණයකර ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියා.

මෙම කාලය තුල අන්තර් පළාත් බස් රථ හිමියන්ට සහ සේවකයන්ට ද සහන සැලසීමට සැලසුම් කර ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

හදිසි තීරණ ගෙන කටයුතු කළහොත් හතරවන (4) කොරෝනා රැල්ලක් ඇතිවී රට සම්පූර්ණයෙන් විවෘත කිරීම මෙන්ම පාසල් විවෘත කිරීම තවදුරටත් ප්‍රමාද වීමේ අවදානමක් ද ඇතැයි දිලුම් අමුණුගම මහතා සඳහන් කළා.

++++++++++++++++++++++

(16.07.2021 – 17:31 +0530 – hirunews.lk/sinhala)

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දී තිබූ එහෙත් මෙරට භාවිතය සඳහා මෙතෙක් අනුමැතිය ලබා නොතිබූ Sinovac එන්නත ද ශ්‍රී ලංකාව තුළ භාවිතයට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමි වී තිබෙනවා.

මීට පෙර ඇස්ට්‍රා සෙනෙකා, ස්පුට්නික්-වී, සිනොෆාර්ම්, ෆයිසර්, සහ මොඩර්නා යන එන්නත් මෙරට භාවිතය සඳහා අනුමැතිය හිමි වී තිබුනා.

කෙසේ වෙතත් චීන නිෂ්පාදනයක් වන සිනොවැක් සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වූ පසුද එය මෙරට භාවිතය වැලක්වීමට කුමන්ත්‍රණයක් දියත් වූ බවට විවිධ චෝදනා නැගුණා.

මීට පෙර චීනයේ නිෂ්පාදිත සිනොෆාර්ම් එන්නත මෙරට භාවිතය වැළක්වීමට ද මේ ආකාරයෙන්ම පිරිසක් කටයුතු කල බවට චෝදනා එල්ල වූනා.

මේ අතර සිනොවැක් එන්නත මෙරට භාවිතයට ගත යුතු ද යන්න විමසීමට අද (16) පැවති ඡන්ද විමසීමේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දෙදෙනකු (2) හැර අනෙක් සියලුදෙනා එය අනුමත කර තිබෙනවා.

මෙම මත විමසීමෙදී එන්නත මෙරට භාවිතයට විරුද්ධව ඡන්දය ලබා දී ඇත්තේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සහ වෛද්‍ය නිශ්ශංක ජයවර්ධන මහතා බවයි වාර්තා වන්නේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *