දිනෙක වැඩිම කොරෝනා එන්නත් ලබා දිමේ නව වාර්තාවක්

දිනෙක වැඩිම කොරෝනා එන්නත් ලබා දිමේ නව වාර්තාවක්

*********************************************

දිනෙක වැඩිම කොරෝනා එන්නත් ලබා දිමේ නව වාර්තාවක්

(15.07.2021 – 08:37 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව දිනකදි ලබාදුන් වැඩිම කොරෝනා එන්නත් ප්‍රමාණය ඊයේ (14) වාර්තා වුණා.

ඒ අනුව ඊයේ (14) දිනයේදි එන්නත් මාත්‍රා 3,84,763 ලබා දි ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

ඊයේ (14) දිනයේදි සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයන් 3,38,572 කට ලබාදී ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 35,410 ක්.

එසේම, ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාවද ඊයේ (14) පුද්ගලයන් 3365 දෙනෙකුට ලබාදී තිබෙනවා.

ඊට අමතරව ෆයිසර් එන්නත් මාත්‍රා 7416 ක් ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර සයිනොෆාම් එන්නත ලබා ගත් ශ්‍රමිකයින් මැද පෙරදිග රටවල් සඳහා යොමු කිරිමේදි මතුවන කොරොනා එන්නත් වර්ගයේ ගැටලුව නිරාකරණය කිරිමෙන් පසු ඔවුන් විදේශ රැකියා සඳහා යොමු කිරිමට රජය තිරණය කර තිබෙනවා.

ඇතැම් මැද පෙරදිග රටවල් අදාළ රටවලට පැමිණෙන පුද්ගලයන් වෙනත් එන්නත් වර්ග ලබා ගෙන තිබිය යුතු බවට සඳහන් කර තිබිම හේතුවෙනුයි මෙම ගැටලුව මතු වුණේ.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ ඒ අනුව අදාළ මැද පෙරදිග රටවල් සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කර සයිනොෆාම් එන්නත ලබා ගත් විදේශ ශ්‍රමිකයින් යළි කඩිනමින් රැකියා සඳහා යොමු කිරිමට ඉදිරියේදි පියවර ගන්නා බවයි.

මේ අතර, හෙට (16) දිනයේදි මෙරටට ලැබිමට නියමිත මොඩර්නා එන්නත් ලක්ෂ 15 කොටසක් විදේශ රැකියා සඳහා යොමු වන ශ්‍රමිකයින්ට ලබාදිමට තිරණය කර ඇති බව ද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් සඳහන් කළා.

බණ්ඩාරවෙල දිස්ත්‍රික් රෝහල මගින් ක්‍රියාත්මක කරන එන්නත්කරණ වැඩසටහනේ අද (15) දිනයේ දිගු පොලිම් දක්නට ලැබුණු අතර, ජනතාව චෝදනා කළේ එන්නතකරණ කටයුතු ක්‍රමවත්ව සිදු නොවන බවයි.

මේ අතර, පූර්ණ කොරෝනා එන්නත්කරණය ලැබූ විදේශ සංචාරකයන් පළමු (1) දිනයේ කොරෝනා පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නොවන බව තහවුරු වේ නම්, ඔවුන්ට නිරෝධායනයකින් තොරව, දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සංචාරය කිරීමට අවස්ථාව හිමිවන බව සංචාරක අධිකාරිය පවසනවා.

කෙසේ නමුත්, සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමත කළ පරීක්ෂණාගාරයකින් සංචාරයේ 7 වන දිනයේදී නැවතත් කොරෝනා පරීක්ෂණයක් සිදුකරගත යුතු බවයි එමගින් සඳහන් කළේ.

එමෙන්ම, සියලු සංචාරකයන් දිවයිනට පැමිණීම සඳහා ගුවන් ගත වීමට පැය 72 කට පෙර ලබා ගත් කොරෝනා පරීක්ෂණයකින් ආසාදිතයෙකු නොවන බවට ලියවිල්ලකින් සහතික කළ යුතු වනවා.

එය සංචාරක මණ්ඩලයේ වෙබ් අඩවිය වෙත යොමු කිරීමෙන් ඉලෙක්ට්‍රොනික වීසා බලපත්‍රය සහ අනිවාර්ය කොවිඩ්-19 රක්ෂණය ලබා ගත හැකියි.

ඇමෙරිකානු ඩොලර් 12 ක් ගෙවා ලබා ගත යුතු ඩොලර් 50,000 ක් වටිනා එම රක්ෂණය දින 30 ක සංචාරක කාලයක් ආවරණය කරන බවයි සංචාරක අධිකාරිය සඳහන් කළේ.

කෙසේ නමුත්, අවසන් දින 14 ක කාලයේ ඉන්දියාව, වියට්නාමය ඇතුළු රටවල් 12 ක සිට පැමිණි පුද්ගලයන්ට මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර නොලැබෙනු ඇති.

එමෙන්ම, ඊයේ (14) දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 1540 අතුරින් වැඩිම ආසාදිතයින් පිරිස වන 235 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 232 ක් බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර, මඩකපුව දිස්ත්‍රික්කයේ මන්මුනෙයි පොලිස් බල ප්‍රදේශයේ මමන්ගම් ග්‍රාම නිලධාරි වසම අද (15) පෙරවරු 6 සිට හුදකලා භාවයෙන් ඉවත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

++++++++++++++++++++++++

(15.07.2021 – 10:18 +0530 – hirunews.lk/sinhala)

පූර්ණ කොරෝනා එන්නත්කරණය ලැබූ විදේශ සංචාරකයන් පළමු (1) දිනයේ කොරෝනා පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නොවන බව තහවුරු වේ නම්, ඔවුන්ට නිරෝධායනයකින් තොරව, දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සංචාරය කිරීමට අවස්ථාව හිමිවන බව සංචාරක අධිකාරිය පවසනවා.

කෙසේ නමුත්, ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමත කළ පරීක්ෂණාගාරයකින් සංචාරයේ 7 වන දිනයේදී නැවතත් කොරෝනා පරීක්ෂණයක් සිදුකරගත යුතු බවයි එමගින් සඳහන් කළේ.

එමෙන්ම, සියලු සංචාරකයන් දිවයිනට පැමිණීම සඳහා ගුවන් ගත වීමට පැය 72 කට පෙර ලබා ගත් කොරෝනා පරීක්ෂණයකින් ආසාදිතයෙකු නොවන බවට ලියවිල්ලකින් සහතික කළ යුතු වනවා.

මේ අතර, මඩකපුව දිස්ත්‍රික්කයේ මන්මුනෙයි පොලිස් බල ප්‍රදේශයේ මමන්ගම් ග්‍රාම නිලධාරි වසම අද (15) පෙරවරු 6 සිට හුදකලා භාවයෙන් ඉවත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා ෴

++++++++++++++++++++

(15.07.2021 – 12:51 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා අසාදනය වී නොමැති බව තහවුරු වී ඇති වෘත්තීය සමිති නියෝජිතයන් නිරෝධායනයෙන් නිදහස් කරන්නේ නම් පමණක් අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡාවකට සූදානම් බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කළා.

එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මේ බව කියා සිටියේ ඔන්ලයින් ගුරු වර්ජනය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කරමින්.

මේ අතර, ගුරු හා විදුහල්පති සංගම් 42 ක් ආරම්භ කර ඇති ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (15) 4 වන දිනටත් ක්‍රියාත්මක වනවා.

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මෙම ඔන්ලයින් වර්ජනය ආරම්භ කලේ පසුගියදා බත්තරමුල්ල ප්‍රදේශයේ පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරුණු වෘත්තීය සමිති නියෝජිතයින් නිරෝධායනයට රැගෙන යාමට විරෝධය පළ කරමින්.

+++++++++++++++++++

(15.07.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හමුවේ ලොව පුරා මිලියන 23 ඉක්මවූ ළමයින්ට අනිවාර්යයෙන් ලැබිය යුතු එන්නත් නොලැබීම නිසා සරම්ප, පොලියෝ ඇතුළු අනෙකුත් වැළැක්විය හැකි ළමා රෝග ඉහළ යාමේ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ස්පර්ශයෙන් ඉහළ බෝවීමේ හැකියාවක් සහිත සරම්ප රෝගය වයස අවුරුදු 5 ට අඩු ළමයින්ට මාරාන්තික විය හැකියි.

එමෙන්ම, පෝලියෝ රෝගය ද ළමයින්ගේ ජීවිත බිඳ හෙලන රෝගයක්. මීට අමතරව, ඩික්ටීරියා, පිටගැස්ම ආදී රෝගවලට ද ළමයින්ට අනිවාර්ය එන්නත් ලබාදිය යුතුයි.

කෙසේ නමුත්, දුර්වල සෞඛ්‍ය පද්ධතීන් සහිත අප්‍රිකානු සහ ආසියානු රටවල ළමා එන්නත්කරණය පමාවීමක් පසුගිය වසරේදී දක්නට ලැබුණා.

ඉන්දියාව, නයිජීරියාව ඇතුළු රටවල් 10 ක ළමයින් 22.7 කට ගත වූ වසරේදී මෙලෙස නියමිත එන්නත් ලබාදීමට නොහැකිවී ඇති බව සඳහන්.

මීට අමතරව, ඇෆ්ගනිස්ථානය, මාලි, සෝමාලියාව සහ යේමනයේ ද ළමා එන්නත්කරණය පමාවීම වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා ෴

@@@@@@@@@@@@@@@@@

(15.07.2021 – 10:57 +0530 – hirunews.lk/sinhala)

ගිනිගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාල නඩුව ලබන අගෝස්තු 6 වනදා දක්වා කල් දමා තිබෙනවා. ඒ එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත හමුවේ අද (15) කැඳවූ අවස්ථාවේදීයි. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් ඉල්ලා සිටියේ නෞකාවේ ගිනිගැනීම පිළිබඳ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කර අධිකරණයට ප්‍රගතිය වාර්තා කිරිම සඳහා තවදුරටත් කාලය ලබාදෙන ලෙසටයි.

ඒ අනුව, ලබන අගෝස්තු 6 වනදා දක්වා නඩුව කල් දැමූ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර සිටියේ එදිනට විමර්ශන පිළිබඳ ප්‍රගතිය වාර්තා කරන ලෙසයි ෴

******************************************

(15.07.2021 – 11:23 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් අනුව ඊයේ (14) සවස පාරිභෝගික අධිකාරිය සහ බස්නාහිර පලාත් බුද්ධි කොට්ටාශය එක්ව කුණු හාල්මැස්සන් තොගයක් සහ භාවිතයට නුසුදුසු සීනි තොගයක් කොටහේන ශිවනානන්දන් වීදියේ ගබඩාවක තිබී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී හාල්මැස්සන් කිලෝ ග්‍රෑම් 15 මිටි 1200 කට ආසන්න ප්‍රමාණයක් සහ සීනි කිලෝ ග්‍රෑම් 50 මුට්ට 9 ක්ද අත්අඩංගුවට ගැනුනා.

අත්අඩංගුවට ගැණුනු කුණු හාල්මැස්සන් ඔවුන් සත්ව ආහාර සඳහා අලෙවි කිරීමට රැගෙන ආ බවයි පවසා ඇත්තේ.

කෙසේ වෙතත් පාරිභෝගික අධිකාරිය විසින් වැඩිදුර විමර්ශන සිදුකලයුතු බව පවසා එම හාල් මැස්සන් තොගය අලෙවි කිරීම තහනම් කළා.

අත් අඩංගුවට ගත් මෙම භාණ්ඩ තොගයේ මුළු වටිනාකම රුපියල් ලක්ෂ පනහකට (50) අධික බව‍යි පාරිභෝගික අධිකාරිය පවසන්නේ.

පාරිභෝගික අධිකාරිය විසින් අත්අඩංගුවට ගත් ගබඩාවේ කළමනාකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත අතර විමර්ශනවලින් අනතුරුව ඔවුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි ෴

******************************************

වසර 24 ක් පුරා යතුරුපැදියෙන් කිලෝමීටර් ලක්ෂ 5 ක් ගොස් පැහැරගත් දරුවා සොයාගත් පියා

(15.07.2021 – 12:30 +0530 – hirunews.lk/sinhala)

කුඩා කාලයේදී පැහැර ගැනීමකට ලක්වූ තම පුත්‍රයා වසර 24 කට පසු සොයාගත් පියෙක් පිළිබඳ චීනයේ ෂැන්ඩොන්ග් පළාතෙන් වාර්තා වනවා.

1997 වසරේදී කුඩා දරුවා සිය නිවස ඉදිරිපිට සිටියදීයි මිනිස් ජාවාරම්කරුවන් පිරිසක් විසින් ඔහු අලෙවි කිරීමේ අරමුණින් පැහැරගෙන ගොස් තිබුණේ.

එදින සිට මේ දක්වා තම දරුවා හමුවන තෙක් Guo Gangtang නම් පියා චීනය පුරා කිලෝමීටර් 500,000 කට වැඩි දුර ප්‍රමාණයක් යතුරුපැදියෙන් ගොස් සොයාබලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

චීන මහජන ආරක්ෂක අමාත්‍යංශ තොරතුරුවලට අනුව මෙම දරුවා පැහැර ගැනීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇති අතර මේවන විට යෞවන වියේ පසුවන තරුණයාගේ DNA පරීක්ෂණයකින් ඔහුගේ අනන්‍යතාව ද හෙළිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දරුවා අලෙවි කර මුදල් ලබාගැනීමේ අරමුණින් සැකකරුවන් කුඩා දරුවා පැහැරගෙන ඇතැයි හෙළිවී තිබෙනවා.

නිවසේ ඉදිරිපස තනිව සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවා කාන්තාවක් විසින් පැහැරගෙන ප්‍රධාන බස් නැවතුම්පොලට රැගෙන ගොස් එහි සිටි අනෙක් සැකකරු ද සමග හෙනාන් ප්‍රාන්තයට ගොස් දරුවා අලෙවි කර තිබෙනවා.

තරුණ වියට එළඹ සිටින තම පුත්‍රයා හමුවීමෙන් පසු මෙම මව්පිය යුවළ ඔහු වැළඳගෙන හඬා වැටුනු ආකාරය ඉතා සංවේදී දසුනක් වූ බව සඳහන්.

අතුරුදන්වූ පුත්‍රයා සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු අනුව ඔහු සෙවීම සඳහා මෙම පියා යතුරුපැදියෙන් චීනයේ පළාත් 20 කට වැඩි ප්‍රමාණයකට ගොස් ඇතැයි සඳහන්.

එම කාලසීමාව තුල යතුරුපැදි අනතුරකට ලක්ව ඔහු අස්ථි බිඳීමකට ද ලක්වී ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.

එමෙන්ම කොල්ලකරුවන් පිරිසකට මැදිවී ජීවිතය බේරාගැනීමට ද ඔහු සමත්වුණා.

පුත්‍රයා සෙවීමේ වසර 24 ක ගමන්මග අතර ඔහුගේ යතුරුපැදි 10 කට ද හානි සිදුවී තිබෙනවා.

සිය සංචාරය අතර පාලම් යට හෝ ගස්යට රාත්‍රී කාලය ගත කරමින් සිය පුත්‍රයාගේ කුඩා කාලයේ ඡායාරූප ඇතුලත් පත්‍රිකා බෙදා දෙමින් පුත්‍රයා සෙවීමටයි මෙම පියා කටයුතු කර ඇත්තේ.

පුත්‍රයා සෙවීමේ ඒකායන අරමුණින් යන ගමන අතර මුදල් නොමැතිවන අවස්ථාවලදී සිඟමනේ යෙදෙමින් මුදල් එක්රැස් කර ගත් බව ද ඔහු ප්‍රකාශකර තිබෙනවා.

මෙම උත්සාහය හේතුවෙන් චීනයේ අතුරුදන්වූවන් පිළිබඳ සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකු බවට ද පත්වූ මෙම පියා පැහැර ගැණුනු වෙනත් දරුවන් 7 දෙනෙකු පමණ දෙමව්පියන් වෙත සොයාදීමට කටයුතු කිරීම විශේෂත්වයක්.

මෙම දරුවා පැහැර ගැනීම පිළිබඳ 2015 වසරේ චීනයේ චිත්‍රපටයක් ද නිෂ්පාදනය කෙරුණු අතර හොංකොං නුවර ජනප්‍රිය නලුවෙකු පියාගේ චරිතයට පණ පොවා තිබුනා.

විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ ළමුන් පැහැර ගැනීම චීනයේ දැඩි ගැටළුවක්ව පවතින බවයි.

සෑම වසරකම ළමුන් දහස් ගණනක් මිනිස් ජාවාරම්කරුවන් විසින් පැහැර ගන්නා බවයි අනාවරණ වී ඇත්තේ.

දශක ගණනාවක සිට චීනය මෙම ගැටලුවට මුහුණදී සිටින අතර 2015 වසරේදී සිදුකළ සමීක්ෂණයකදී හෙළිවී ඇත්තේ එක් (1) වසරකදී පමණක් චීනයේ ළමුන් 20,000 කට වැඩි ප්‍රමාණයක් මිනිස් ජාවාරම්කරුවන් විසින් පැහැර ගන්නා බවයි.

ඉන් වැඩි පිරිසක් හදාවඩා ගැනීම සඳහා චීනය තුල මෙන්ම වෙනත් විදෙස් රටවලට අලෙවි කරන බව ද සඳහන් ෴

******************************************

මුස්ලිම් දේවස්ථාන තුල සත්ත්ව ඝාතන සඳහා අවසර නැහැ – වකූෆ් සභාව

(15.07.2021 – 12:46 +0530 – hirunews.lk/sinhala)

මෙරට කිසිදු මුස්ලිම් දේවස්ථාන පරිශ්‍රයක් තුල සත්ත්ව ඝාතන සඳහා අවසර ලබා නොදීමට ‘වකූෆ් සභාව’ තීරණය කර තිබෙනවා.

එමගින් සඳහන් කර ඇත්තේ ‘කුර්බානි’ හෙවත් ‘දෙවියන්ට කැප කල සත්ත්වයන්’ මෙලෙස දේවස්ථාන පරිශ්‍රයන් තුල ඝාතනය නොකල යුතු බවයි.

මේ සම්බන්ධයෙන් සියලුම මුස්ලිම් දේවස්ථානවල භාරකරුවන්ට දැනුම්දීමක් කර ඇති බව මුස්ලිම් දේවස්ථාන හා පුන්‍යායතනභාරය හෙවත් වකූෆ් සභාවේ අධ්‍යක්ෂවරයා සහ මුස්ලිම් ආගමික සහ සංස්කෘතික දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ අතර, මෙරට තුල ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට අදාළ පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ සහතිකය හිමිවී ඇති බව ද අනාවරණ වුණා ෴

******************************************

(15.07.2021 – 12:58 +0530 – hirunews.lk/sinhala)

මෙවර යල කන්නය සඳහා බිත්තර වී ලබා ගැනීමට ගිය තමන්ට රජයේ බීජ ගොවිපොලෙන් ප්‍රමිතියෙන් තොර බීජ ලබා දුන් බවට පොළොන්නරුව – තමන්කඩුව ප්‍රදේශයේ ගොවීන් පිරිසක් චෝදනා කරනවා. පොහොර හිඟය හේතුවෙන් ද තමන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බවයි ඔවුන් පැවසුවේ.

මේ සම්බන්ධයෙන් බීජ ගොවි පොලේ නිලධාරීන්ගෙන් වන්දි ඉල්ලා ගොවීන් මේ වන විට පොලීසියට පැමිණිල්ලක් ද සිදු කර ඇති බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

එමෙන්ම, ඇලහැර ගොවි ජන පද ව්‍යාපාරයේ දියබෙදුම – කෝදුරුවාව ප්‍රදේශයේ ගොවීන් මෙවර යළ කන්නයේ ලොකු ලූණු වගාවට අවශ්‍ය පොහොර ලබා දෙන ලෙස රජයට බල කරමින් එම ගොවිබිම තුලම උද්ඝෝෂණයක නිරත වුණා.

******************************************

(15.07.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබු තීරණයක් මත ස්ථාපිත කර ඇති ‘සෙලෙන්දිවා ඉන්වෙස්මන්ට් සමාගම’ සහ ‘සෙලෙන්දිවා ලෙශර් ඉන්වෙන්ට්මන්ට් සමාගම’ වෙත රජය සතු දේපළ පැවරීම, බදු දීම හෝ එම කටයුතු සඳහා යෙදවීම වලක්වාලන තහනම් නියෝගයක්, නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 21 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

ඒ එම පෙත්සම ගාමිණි අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (15) කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන වේරදුවගේ අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම පෙත්සම සංශෝධනය කිරීමටත් ඊට තවත් වගඋත්තරකරුවන් පිරිසක් එක් කිරීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 21 වනදා කැඳවන ලෙස නියම කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ෴

******************************************

(15.07.2021 – 13:28 +0530 – hirunews.lk/sinhala)

නව කැළණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මතින් ඉදිවන අධිවේගී මාර්ගයේ සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් තලංගම හා අරංගල ප්‍රදේශවල ජනතාව පාරිසරික සහ සමාජීය ගැටලුවලට ලක්ව ඇති බව ඔවුන් පවසනවා.

අරංගල ධර්මාශෝක මාවතේ පවුල් 59 ක් පමණ මෙම ගැටලුවට මුහුණදී ඇති බවයි වාර්තා වන්නේ.

සිය ඉඩම් අත්පත් කර ගැනීම සඳහා කඩුවෙල ප්‍රාදේශීය කාර්යාලය මගින් ලිපි නිකුත් කොට ඇති නමුත් තමන් උපන්දා සිට ජීවත් වන මෙම ඉඩම්වල වරිපනම් අංකය පවා නොදා ලිපි ලැබී ඇති බවයි ඔවුන් චෝදනා කරන්නේ.

******************************************

(15.07.2021 – 13:35 +0530 – hirunews.lk/sinhala)

සමගි ජනබලවේගයේ පාලනය යටතේ පැවති නාවලපිටිය නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිමිකරගෙන තිබෙනවා.

ඒ එම සභාවට සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා අද (15) පැවති නිලවරණයේදීයි.

ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අමල් ප්‍රියංකර මහතා නව සභාපතිවරයා ලෙස පත්ව ඇති බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

එහිදී නගර සභාවේ සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු (2) නිලවරණයට පැමිණ නොමැති අතර මෙතෙක් පාලන පක්ෂයට සහය දැක්වූ ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයා පොදුජන පෙරමුණට සහය දැක්වූ නිසා අමල් ප්‍රියංකර මහතා වැඩි ඡන්දයෙන් සභාපතිවරයා ලෙස තෝරා පත් කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *