නගර සියයක් (100) එකවර සංවර්ධනය කිරිමට පියවර

නගර සියයක් (100) එකවර සංවර්ධනය කිරිමට පියවර

*********************************************

නගර සියයක් (100) එකවර සංවර්ධනය කිරිමට පියවර

(15.07.2021 – 08:05 +0530 – hirunews.lk/sinhala)

නගර සියයක් (100) එකවර සංවර්ධනය කිරීමේ කටයුතු මේ මස අගදී ආරම්භ වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කළේ අදාළ නගර 100 අලංකරණය කර එකවර සංවර්ධනය කිරීමට නියමිත බවයි.

මේ අතර, නාගරික සංවර්ධන අධිකාරියේ දැනට ක්‍රියාත්මක කරන නිවාස 60,000 ක ව්‍යාපෘතියේ අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් ඉදිකරන නිවාස 32,000 ක ප්‍රගතිය පිලිබඳව අග්‍රාමාත්‍යවරයා ඊයේ (14) පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී විමසා තිබෙනවා.

මෙම ව්‍යාපෘති අඛන්ඩව ක්‍රියාත්මක කෙරෙන බවයි එහිදී නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් සඳහන් කර ඇත්තේ.

කොළොන්නාව, ටොරින්ටන්, බ්ලූමැන්ඩල්, පෑලියගොඩ සහ ඔරුගොඩවත්ත ප්‍රදේශවල මෙන්ම, මහනුවර, කුරුණැගල, අනුරාධපුරය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රමය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

පෞද්ගලික ආයෝජකයන් සමඟ නිවාස 12,000 ක් ඉදිකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මුලපුරා ඇති අතර දැනට තිබෙන ඇවිදින මංතීරුවලට අමතරව දිස්ත්‍රික්ක 25 සඳහා අලුතින් මංතීරු 28 ක් නිර්මාණය කිරීමට නියමිතයි.

මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් සිදුවූ හානිය ගැන අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ (14) පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අවධානය යොමුව තිබෙනවා.

එහිදී ධීවරයන්ට සිදුවූ හානිය අනුව උපරිම වන්දි ලබා ගත යුතු බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කර ඇත්තේ ගින්නෙන් සිදුවූ හානියට ඇමෙරිකානු ඩොලර් මිලියන 40 ක වන්දියක් ඉල්ලා ඇති අතර, ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 3.6 ක් මේ වනවිට ලැබී ඇති බවයි.

මෙසේ ලැබී ඇති වන්දි වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක් ධීවරයින්ට සිදුවූ හානි වෙනුවෙන් වෙන් කර ඇති අතර, තවත් මිලියනයක් (1) සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට ලබාදී ඉතිරි මිලියන 0.6 හදිසි ආපදා තත්ත්වයක් වෙනුවෙන් වෙන් කර තබන ලෙසට අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර, සමුද්‍රීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් පිහිටුවීමේ යෝජනාවක් පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවුණා.

එමෙන්ම, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ ‘වර්ල්ඩ් වීව්’ ආයතනය සමග එක්ව හෙක්ටයාර් 25,000 ක කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීම සහ වර්ග මීටර් 400 ක කොරල් ප්‍රතිස්ථාපනය කිරීම මිරිස්ස ප්‍රදේශයෙන් ඇරඹීමට නියමිත බව ද මෙම සාකච්ඡාවලදී අනාවරණ වී තිබෙනවා ෴

******************************************

13 හැවිරිදි දැරියකුත් අපයෝජනයට – පියා ඇතුළු 11 ක් ගැන විමර්ශන

(15.07.2021 – 08:06 +0530 – sinhala.adaderana.lk)

13 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් නාවලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය සිදුකළ විමර්ශනවලින් පසු කාන්තාවක (1) සහ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අතර දැරියගේ පියා ද සිටින බව වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඒ සඳහා ආධාර අනුබල දුන් කාන්තාවක ද අත්අඩංගුවට ගෙන ඇති බවය.

කාන්තාව ඇතුළු පුද්ගලයින් 5 දෙනා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර මෙම දැරියව අපයෝජනය කළ තවත් පුද්ගලයින් 6 දෙනෙකු පිළිබඳව තොරතුරු ලැබී ඇති බව පොලීසිය පවසයි.

මේ අතර ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය හරහා අලෙවි කිරීම සහ විවිධ පුද්ගලයින් විසින් අපයෝජනය කිරීමේ සිද්ධියක් පසුගියදා වාර්තා විය.

ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගැණුනු අතර ඊට අදාළ පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

******************************************

(15.07.2021 – 08:23 +0530 – hirunews.lk/sinhala)

ඵෙතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය ඊයේ (14) 5 වන දිනටත් වීථි සංචාරය කළා. මහා දේවාලයෙන් ආරම්භ කළ පෙරහර ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටවී පිටවීථිය ඔස්සේ ගමන් කර වල්ලි අම්මා දේවාලයට ගොස් එම දේවාලයේදී දේව චාරිත්‍ර ඉටුකිරීමෙන් අනතුරුවයි වීථි සංචාරය ආරම්භ කළේ ෴

******************************************

ධාවනය වෙමින් තිබූ වෑන් රථයේ සුක්කානම ගැලවෙයි

(14.07.2021 – 16:42 +0530 – sinhala.adaderana.lk)

ගම්පොළ මූලික රෝහල අසලදී වෑන් රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබුණි.

ඊයේ (13) සවස අනතුර සිදුවී ඇත.

එලෙස අනතුරට ලක්වී තිබුණේ ගම්පොළ සිට නාවලපිටිය දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් සහ නාවලපිටිය සිට ගම්පොළ දෙසට ධාවනය වූ වෑන් රථයකි.

වෑන් රථයේ සුක්කානම ගැලවීයෑමෙන් රථය පාලනය කරගැනීමට නොහැකිව අනතුර සිදුවූ බව වෑන් රථයේ රියදුරු පවසයි.

වෑන් රථයේ රියදුරු ගම්පොළ පොලීසියට අනියුක්ත නිලධාරියෙකි.

අනතුරින් කිසිවෙකුටත් ජීවිත හානියක් සිදුවී නොමැත.

******************************************

BIG FOCUS : මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් ගවේෂණය (13.07.2021)

******************************************

(15.07.2021 – 05:43 +0530 – lankaleadnews.com)

මන්නාරම පොලීසිය පවසන්නේ මන්නාරමේ ස්ථාන 03 ක පිහිටි කතෝලික සුරුවම් 03 කට ඊයේ (14) කිසියම් නාඳුනන පිරිසක් විසින් පහර දී අලාභහානි සිදුකොට පලා ගොස් ඇති බවයි.

මන්න්නාරම පොලීසිය පවසන ආකාරයට මන්නාරම වයල් මාර්ගයේ ස්ථාන දෙකක (2) පිහිටි කතෝලික සුරුවම් දෙකකට සහ මන්නාරම පල්ලිමුනෙයි ප්‍රධාන මාර්ගයේ පිහිටි කතෝලික සුරුවමකට මෙලෙස පහර දී පලා ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් පැතිරී යන කටකතා පිලිබඳව මන්නාරම් පොලීසිය පවසා සිටියේ කිසිදු අයුරකින් කතෝලික පල්ලි වෙතට පහරදීමක් සිදු වී නොමැති බවත් මානාරමේ පිහිටි ස්ථාන කිහිපයක සුරුවම් වෙතට පමණක් පහරදීම සිදුව ඇති බවත්ය. කෙසේ වුවද අදාල පහරදීම්වලින් සුරුවම් ආවරණය කොට ඇති කණ්ණාඩි ඇතුලු ආවරණ වලට හානි සිදුව ඇති අතර සුරුවම් ආසන්නයේ තිබී ගල් කිහිපයක්ද සොයාගැනීමට හැකි වී තිබේ.

කතෝලික සුරුවම් වලට පහරදීම සිදුකරන ලද පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පවසන මන්නාරම පොලිසිය සිද්ධියට වගකිව යුතු පිරිස් සොයා විශේෂ පරික්ෂණයක් ආරම්භ කොට ඇති බව මන්නාරම පොලීසිය වැඩිදුරටත් පවසයි.

++++++++++

******************************************

පුස් කන සල්ලි ජනතා හිත සුව පිණිස යෙදවීම සඟරුවනේ වගකීමක් – ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන සංඝනායක, බ්ලුවෝටර් විහාරාධිපති පූජ්‍ය පේරාදෙණියේ සුජාත නාහිමි

(15.07.2021 – mawbima.lk)

මෙරට ප්‍රධාන පෙළේ ඇතැම් වෙහෙර විහාරස්ථාන සතුව මහ ධනස්කන්ධයක් රැස්ව තිබෙන බවත් මේ අර්බුදකාරී අවස්ථාවේ ජනතා යහපත පිණිස එම මුදල් වැය කිරීම මහ සංඝරත්නයේ වගකීමක් බවත් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන සංඝනායක, බ්ලුවෝටර් විහාරාධිපති පූජ්‍ය පේරාදෙණියේ සුජාත නාහිමියෝ පවසති.

මේ අවස්ථාවේ ජනතා සුබසෙත පිණිස තමන් සතු ධනයෙන් කොටසක් මහ සංඝරත්නය වැය කරන්නේ නම් බෞද්ධ ජනතාව මහ සංඝරත්නයට තවත් සමීපවනු ඇති බව ද උන්වහන්සේ කීහ.

පේරාදෙණිය ශික්ෂණ රෝහලට රුපියල් ලක්ෂ 60 ක වටිනාකමින් යුත් බයෝ එක්ස්ට්රැක්ටර් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම නිමිත්තෙන් මහනුවර, දෙවන රාජසිංහ මාවතේ ‘සුජාත සුවය’ භාවනා මධ්‍යස්ථානයේදී ඊයේ (ජූලි 14) පැවති උත්සවයකදී සංඝනායක හිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

රජවරුන් පූජා කළ දේපොළවලින් ලැබෙන ආදායම් ද බැතුමතුන් ලබා දෙන පරිත්‍යාගවලින් එකතුවන මුදල් ප්‍රධාන පෙළේ විහාරස්ථානවල ගොඩගැසී තිබෙන බවත් මෙම අවස්ථාවේ ගොඩ ගැසී පුස්කමින් පවතින එම මුදල් ජනතාව වෙනුවෙන් වැය කිරීමට මෙය සුදුසුම අවස්ථාව බවත් උන්වහන්සේ පැවසූහ.

ඇමරිකානු ජනතාව විසින් ලබා දුන් පරිත්‍යාගවලින් මෙරට සෞඛ්‍ය සේවාවේ උන්නතිය පිණිස උපකරණ ඇතුළු බොහෝ දේ තමන් වහන්සේ විසින් පරිත්‍යාග කළ බවත් අදාළ කටයුතුවලදී ඇතැම් නිලධාරීන්ගෙන් ලැබෙන සහාය සම්බන්ධව සතුටු විය නොහැකි බවත් සුජාත හිමියෝ කීහ.

ලක්ෂ 300 ක පමණ වටිනාකමින් යුත් රෝහල්වලට අවශ්‍ය උපකරණ තොගයක් තමන් මෙරටට ගෙනා බවත් ඒවා නිදහස් කර ගැනීමට රේගු නිලධාරීන් හමුවීමට 25 වතාවකට වඩා යෑමට සිදුවූ බවත් කී උන්වහන්සේ ඒවා නිදහස් කිරීමට ලක්ෂ 11 ක බද්දක් පැනවූ අවස්ථාවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී එය ලක්ෂ 6 ක් දක්වා අඩුකර ගත් බවත් අවධාරණය කළහ.

එම භාණ්ඩ රෝහල්වලට බෙදා දීමට සූදානම් කරද්දී එක්තරා නිලධාරීන් දෙදෙනකු (2) පැමිණ මෙරට ප්‍රධාන පෙළේ දේශපාලනඥයකුගේ නම සඳහන් කර එතුමාගේ ‘මවුපියන්ට පිං පිණිස’ බව සඳහන් ස්ටිකරයක් භාණ්ඩවල ඇලවීමට උත්සාහ කළ බවත් තමන් වහන්සේ ඊට බලවත් විරෝධය දැක්වීමෙන් පසු ඔවුන් එම උත්සාහය අත්හැර දැමූ බවත් උන්වහන්සේ කීහ.

මෙම අවස්ථාවට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා ද සහභාගි විය ෴

@@@@@@@@@@@@@@@@@

(15.07.2021 – 08:10 +0530 – hirunews.lk/sinhala)

පාසල් පද්ධතිය තුල සේවය කරන සිය කාර්ය මණ්ඩලය සඳහා එන්නත් ලබා දීමට පියවර නොගැනීම හේතුවෙන් එලඹෙන 19 වනදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලෙන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසනවා.

පවතින දැඩි අවදානම් තත්වය හමුවේ එන්නත ලබාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව එම සංගමයේ ලේකම් අජිත් කේ.තිලකරත්න මහතා කියා සිටියා ෴

+++++++++++++++++++++++

(15.07.2021 – 08:14 +0530 – hirunews.lk/sinhala)

නව ආසාදිතයින් 1,540 ක් හඳුනාගැනිමත් සමඟ මෙරට මුළු ආසාදතයින් ගණන දැක්වෙන්නේ 2,79,059 ලෙසයි.

ඊයේ (14) වාර්තා වූ ආසාදිතයින් අතරින් විදේශයන්හි සිට දිවයිනට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් 87 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණා.

ඊයේ (14) තහවුරු කළ කොවිඩ් මරණ 37 ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 3574 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (14) දිනයේදි ආසාදිතයින් 955 දෙනෙකු සුවය ලැබු අතර මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 2,53,014 ක් ලෙසයි.

එසේම, කොරෝනා ව්‍යාප්තිය හමුවේ දරුවන් අධ්‍යාපන කටයුතු ඔන්ලයින් හරහා සිදුකිරීමේදී දුරකතන භාවිතයට ඇබ්බැහිවීමක් සිදුවිය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

එහිදී ඔවුන්ගේ නින්දට එය බාධාවක් වී කරුණු ධාරණය කර ගැනීමේ හැකියාව අඩුවීමේ හැකියාවක් පවතින බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වූ මනෝ වෛද්‍ය විශේෂඥ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීල් ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

මේ අතර, යුද හමුදාව මැදිහත් වී සිදුකරන එන්නත්කරන වැඩසටහන් අද (15) දිනයේත් ක්‍රියාත්මකයි.

ගුරුවරුන්, පෙරපාසල් ගුරුවරුන් එන්නත් කිරීමේ වැඩසටහන් ද අද (15) දිනයේත් ක්‍රියාත්මක වනවා. එමෙන්ම, කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 30 වැඩි පුද්ගලයින් සඳහා එන්නත් ලබා දිම අද (15) සිට විහාර මහාදේවී උද්‍යානයේ එළිමහන් රංග පීඨයේදී ආරම්භ වනවා.

යුධ හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේ උදෑසන 08:30 සිට පස්වරු 04:30 දක්වා ක්‍රියාත්මක වන බවයි.

මානසික රෝගයෙන් පෙළෙන පුද්ගලයින්ට කොරෝනා එන්නත ලබාදිමේ හැකියාවක් පවතින බවයි මනෝ වෛද්‍ය විශේෂඥ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීල් ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

මේ අතර පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා ගත වු කාල සිමාවේ නිරෝධායන නිතී කඩ කළ පුද්ගලයන් 43,000 කට එරෙහිව නඩු පවරා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ගත වු පැය 24 තුළ ද නිරෝධායන නිතී කඩ කළ පුද්ගලයන් 190 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ෴

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහන අදාළව දිනක් තුළදී ලබා දුන් වැඩිම එන්නත් ඊයේ (14) ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළා. ඒ එන්නත් මාත්‍රා 384,763 ක් ෴

+++++++++++++++++++++

(15.07.2021 – 08:17 +0530 – hirunews.lk/sinhala)

ඔන්ලයින් අධ්‍යාපනයට පහසුකම් නොමැති සිසුන් වෙනුවෙන් ඊට අවශ්‍ය පහසුකම් සපයන ලද මධ්‍යස්ථාන 2,096 ක් දිවයින පුරා ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී. එල් පීරිස් මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කලේ ඊයේ (14) ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර ගුරු සංගම් කිහිපයක් ආරම්භ කර ඇති ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අදත් (15) ක්‍රියාත්මකයි ෴

+++++++++++++++++++++

අපි සොල්දාදුවෝ දාලා එන්නත්කරණය කරන්නේ නෑ – යුද හමුදාපති

(14.07.2021 – 15:28 +0530 – sinhala.adaderana.lk)

එන්නත්කරණ ක්‍රියාවලියට හමුදා සාමාජිකයින්ගේ දායකත්වය ලබාදීම මිලිටරීකරණය ලෙස අර්ථ දැක්වීම සත්‍ය නොවන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාව සහයෝගය දී ඇත්තේ එන්නත්කරණය වේගවත් කිරීමට බවද යුද හමුදාපතිවරයා පැවසීය.

ඔහු අද (14) ඒ බව පැවසුවේ ‘අද දෙරණ BIG FOCUS’ වැඩසටහනට සහභාගීවෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා සඳහන් කළේ,

“මිලිටරීකරණය කියන වචනය භාවිත කරන්නේ යම් යම් පුද්ගලයින්ට අවශ්‍ය විදිහට. මේකේ ප්‍රතිඵල මිලිටරීකරණයක් නෙමෙයි. කවුද කරන්නේ කියන එක නෙමෙයි වැදගත්. වැඩේ කරන එකයි. එන්නත්කරණය වේගවත් කරන්න උනන්දුව හරි ජවය හරි අපි දුන්නා නේ.”

“දරා ගැනීමට නොහැකි අය කියන අසත්‍ය. අපි සොල්දාදුවො දාලා එන්නත්කරණය කරන්නේ නෑ. හමුදා තුනේම වෛද්‍ය අංශ තමයි මේක කරන්නේ. හමුදාවෙත් ඉන්නවා PHIලා. අනෙක් PHIලත් එක්ක තමයි එයාලත් පුහුණුව ලබලා තියෙන්නේ. සෑම අංශයක්ම එහෙමයි. අපි සෑම එන්නතකටම වගකියනවා.”

“මේ රටේ සියලුම දිස්ත්‍රික්කවල සෑම පුද්ගලයෙකුටම සැප්තැම්බර් වනවිට එක් එන්නත් මාත්‍රාවක් හරි දීලා අවසන් කරන්න අපේ සැලසුමක් තියෙනවා. ඒ අනුව තමයි යුද හමුදාව එන්නත්කරණය ආරම්භ කළේ.”

+++++++++++++++++++++

‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නතින් දුර්ලභ ස්නායු රෝග වැලඳීමේ අවදානමක්

(15.07.2021 – mawbima.lk)

ලොව නිෂ්පාදිත එන්නත් අතරින් ඉහළම ඵලදායිතාවක් පවතින එන්නතක් ලෙසට පත්ව ඇති ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නත ලබාගැනීමෙන් දුර්ලභ ස්නායු රෝගයක් වන නහර (?) කුඩාවීමේ සහ නහරවලට (?) හානි සිදුවීමේ අවදානමකට ගොදුරු වීමට හැකියාවක් පවතින බව ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය නිකුත් කර ඇති නවතම වාර්තාවක සඳහන් වේ.

‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ කොවිඩ් මර්දන එන්නත ලබාගත් පුද්ගලයන් ස්නායු ආබාධවලට ලක්වීමේ අවදානමක් පවතින බවත් එසේ ස්නායු ආබාධයට ගොදුරු වූවන් මේ වනවිට 100 කට අධික සංඛ්‍යාවක් සහ එක් (1) මරණයක් පමණක් ඇමෙරිකාවෙන් වාර්තා වී ඇති බවත් ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නත භාවිතය සඳහා අනුමැතිය ලබාදී තිබූ අතර එම නිසා මේ වනවිට ඇමෙරිකාවේ මිලියන 13 ක ජනතාවකට මෙම එන්නත ලබාදී ඇති බවද වාර්තා වේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *