ගව ඝාතන තහනම යළි කරලියට

ගව ඝාතන තහනම යළි කරලියට

*********************************************

ගව ඝාතන තහනම යළි කරලියට

(14.07.2021 – 18:36 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුල ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට අදාළ පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ සහතිකය හිමිවී තිබෙනවා.

රජයේ ආරංචි මාර්ග අනාවරණ කළේ අදාළ පනත් කෙටුම්පත, අනුමැතිය සඳහා ඉදිරි සති කිහිපය තුල අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිත බවයි.

බුද්ධ ශාසන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක අතර අමාත්‍ය මන්ඩලයේ අනුමැතිය හිමිවීමෙන් පසු අදාළ කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත වනවා.

ඉන් දින 7 කට පසු එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත යුතුයි.

මීට අදාළ සංකල්ප පත්‍රිකාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබුණේ මීට මාස කිහිපයකට පෙරයි ෴

******************************************

(14.07.2021 – 19:07 +0530 – hirunews.lk/sinhala)

කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදි කිරීමට නියමිත ද්‍රව වායු බලාගාරයක ටෙන්ඩර පිරිනැමීම සම්බන්ධයෙන් ඇමරිකානු තානාපතිවරිය රජයට බලපෑම් කරන බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් ‘හිරු ටී.වී.’ අමරිකානු තානාපති කාර්යාලයෙන් විමසීමක් කළා.

අමරිකානු තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශිකාවට විද්‍යුත් තැපෑල ඔස්සේ සිදු කළ එම විමසීමේදී අවධානය යොමු කළ කරුණු දෙකක් (2) වූයේ මෙම ටෙන්ඩර් පටිපාටියට ඇමරිකානු තානාපති කාර්යාලය බලපෑම් කරන්නේ ද එමෙන්ම අදාළ ටෙන්ඩරය සඳහා අමරිකානු සමාගම් ඉල්ලුම් කර ඇත්ත ද යන්නයි.

මීට පිළිතුරු ලෙස ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කරන්නේ අමරිකානු තානාපතිනි ටිප්ලිට්ස් නිරන්තරයෙන් විනිවිදභාවයෙන් යුතු සාධාරණ ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම රජය දිරිගැන්වූ බවයි.

එමෙන්ම ඇමරිකානු රජය ප්‍රතිපත්තිමය වශයෙන් දූෂණ වංචාවලට එරෙහි බවත් එය ඇමරිකානු නීතියේ හැටියට බරපතල වරදක් බවත් එම ලිපියේ පෙන්වාදී තිබෙනවා.

ශ්‍රී ලංකාව නිරන්තරයෙන් අවධානය යොමු කරන විදෙස් ආයෝජන ඇමරිකානු සමාගම් සහ ජන සමාජය තුල ප්‍රවර්ධනය කිරීම සඳහා සිය තානාපති කාර්යාලය අඛණ්ඩව වෙහෙසෙන සහ නිරන්තර කථිකාවක නිරතවන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

ඇමරිකාව සතු නව්‍යකරණයෙන් යුතු තාක්ෂණය මෙරටට හඳුන්වාදීමට කිසිසේත් පසුබට නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් මෙම ලිපිය හරහා විමසා සිටි දෙවැනි (2) කරුණ වන අදාළ ද්‍රව වායු බලාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් වන ටෙන්ඩරයට ඇමරිකානු සමාගම් ලන්සු තබන්නේ ද යන කාරණයට මෙම ලිපිය හරහා පිළිතුරු සපයා නැහැ ෴

******************************************

(14.07.2021 – 19:23 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු වන ‘සමින් ලක්මාල්’ හෙවත් ‘පපී’ නම් සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් තංගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

(15.07.2021 – 06:59 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ දකුණු ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ මෙහෙයුම් කටයුතු තවත් දැඩි කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව ඊයේ (14) දිනයේදී තංගල්ල ප්‍රදේශයේදී මුහුදු මාර්ග ඔස්සේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සම්බන්ධ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්වුණා.

කලින් ලද තොරතුරක් ඔස්සේ දිගු කලක් පුරා කරන ලද විමර්ශන හරහා මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ තංගල්ල ප්‍රදේශයේදීයි.

‘තංගල්ලේ පපී’ නමින් හැඳින්වෙන මෙම පුද්ගලයා මුහුදු මාර්ග ඔස්සේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බෝට්ටු පදවන ස්කීපර් වරයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගත් අදාළ පුද්ගලයා මත්ද්‍රව්‍ය කාර්යාංශය භාරයට ගෙන ඔහුගෙන් දීර්ඝව ප්‍රශ්න කිරීමට නියමිතයි.

මේ අනුව දිවයිනේ දකුණු ප්‍රදේශය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ බෙදාහැරීම සම්බන්ධ කරුණු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වනු ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විශ්වාස කරනවා ෴

******************************************

(14.07.2021 – 20:08 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ ජනවාරි පළමුවනදා (01) සිට අද (14) දිනය දක්වා රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 1260 ක් මරණයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.

එම රිය අනතුරු හේතුවෙන් තුවාල ලබා ඇති සංඛ්‍යාව 7077 ක් බවටයි අනාවරණ වී ඇත්තේ.

සදාකාලික ආබාධිත තත්වයට පත්වූ පිරිස 3000 ක් පමණ වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

මෙම තොරතුරු හෙළි කෙරුණේ ජන ජීවිතය හා මාර්ග අනතුරු යන තේමාවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීයි.

ශ්‍රී ලංකාවේ දෛනිකව සිදුවන රිය අනතුරු හේතුවෙන් ජීවිත සහ දේපළ හානි වීම විශාල ගැටළුවක් වන අතර රිය අනතුරු ත්‍රස්තවාදයක් බවට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පොලිසියට වාර්තා වන රිය අනතුරු සංඛ්‍යාව වසරකට 35,000 ක් 40,000 ක් අතර වුව ද රක්ෂණ සමාගම්වලින් ලබාගත් තොරතුරු අනුව වසරකට සිදුවන සත්‍ය රිය අනතුරු සංඛ්‍යාව ලක්ෂ 5 ක් පමණ වනවා.

ඉන් වැඩි වශයෙන් අනතුරට ලක්වන්නේ යතුරුපැදිකරුවන් සහ පදිකයන්. රිය අනතුරු හමුවේ වසරකට (1) මරණයට පත්වන සංඛ්‍යාව 3650 ක් පමණ වන බව සඳහන්.

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි රථ වාහන සංඛ්‍යාව 8,300,000 ක් වන අතර එය 2010 වසරට සාපේක්ෂව දෙගුණයක්ව (2) තිබෙනවා.

එහෙත් රථ වාහන අධික වීම රිය අනතුරු සඳහා බලපෑමක් නොවන බවට කලින් කලට අනතුරු සංඛ්‍යාව අඩු වැඩි වීමෙන් ගම්‍යවී ඇති බවයි අජිත් රෝහණ මහතා කියාසිටියේ.

ප්‍රවාහන අමාත්‍යංශයේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ඒකාබද්ධව පියවර රැසක් ගෙන තිබුණ ද නීති රීතිවලින් පමණක් රිය අනතුරු අඩු කළ නොහැකි බව මෙම මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නා.

ඒ සඳහා මහජනතාවට විශාල වගකීමක් පැවරී තිබෙනවා.

වාහන 80,000 ක්ව පැවති 1951 වසරේදී හඳුන්වා දුන් මෝටර් රථ පනතට අවුරුදු 70 ක් ගතවී ඇති අතර මේවන විට ඊට අවස්ථා 32 කදී සංශෝධන සිදුකර තිබෙනවා.

2019 වසරේ සිදුකරනු ලැබූ සංශෝධනය මගින් රුපියල් 25,000 ක දඩයක් අය කෙරෙන විශේෂ වැරදි 5 ක් ද හඳුන්වා දෙනු ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පෙන්වා දුන්නේ රිය අනතුරු සිදුවීමට ප්‍රධානතම හේතුව රියදුරන්ගේ විනය පිරිහීම බවයි.

නොසැලකිළිමත්කම, තෙහෙට්ටුව සහ බීමත්කම අනෙක් සාධක ලෙසට හඳුනාගෙන තිබෙනවා.

මාර්ග අනතුරු වළක්වා ගැනීමට නම් විශේෂයෙන් රියදුරන් ස්වයං විනය පිළිබඳ පුරුදු පුහුණු කළ යුතු වනවා.

එමෙන්ම රථ වාහන අනතුරු වැළැක්වීමට ගෙන ඇති පියවර අතර රියදුරු බලපත්‍රය කාලානුරූපව වෙනස් කිරීම, විද්‍යුත් ක්‍රමයට ගෙවීම සහ කුසලතා ලකුණු ක්‍රමය හඳුන්වාදීම විශේෂ වනවා.

ඔස්ට්‍රේලියාව, ඇමරිකාව සහ යුරෝපා කලාපයේ සංවර්ධිත රටවල ක්‍රියාත්මක කුසලතා ලකුණු ක්‍රමය හඳුන්වාදීම සඳහා ක්‍රම දෙකක් (2) උපයෝගී කර ගන්නා අතර ඉන් එක් ක්‍රමයක් වන්නේ CCTV කැමරා භාවිතයෙන් රියදුරන්ගේ ක්‍රියාකාරකම් අධීක්ෂණයයි.

එමෙන්ම රියදුරන්ගේ මාර්ග නීති කඩ කිරීම්වලට ලකුණු ලබාදී යම් යම් ලකුණු සීමා පනවා ඊට අනුකූලව රියදුරු බලපත්‍රය තාවකාලිකව හෝ සදාකාලිකව අත්හිටුවීමයි.

කුසලතා ලකුණු ක්‍රමය මෙරටදී ක්‍රියාත්මක කිරීමට නීති හා දත්ත පද්ධති පවතින අතර ඊට අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීමට මේවන විට පියවර ගනිමින් තිබෙන බව මෙම මාධ්‍ය හමුවේදී අනාවරණ කෙරුණා.

ඊට අමතරව මාර්ග තදබදය අඩු කිරීමට පියවරක් වශයෙන් වාහන අවහිර කරන යාචක ව්‍යාපාරය නතර කිරීම, තරඟකාරී රිය ධාවනය පාලනය කිරීමට සහ අදාළ විනය කරුණු පිළිබඳ අවබෝධයක් ලබාදීමට මගී ප්‍රවාහන රියදුරන්ට දින 10 ක විශේෂ පුහුණුවක් ලබාදීමට ද අපේක්ෂිතයි ෴

******************************************

(14.07.2021 – 21:57 +0530 – hirunews.lk/sinhala)

රටවල් කිහිපයක තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවී සාකච්ඡා කර තිබෙනවා.

මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ අද (14) එම අමාත්‍යංශයේදී මෙම හමුව පැවති බවයි.

මුදල් අමාත්‍යවරයා ලෙසට සිය ධුරයේ වැඩ ආරම්භ කිරීමෙන් පසුව ප්‍රථම වරට ඔහු මෙම රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් මුණ ගැසීම විශේෂත්වයක්.

මෙහිදී ඇමරිකාව, ජර්මනිය, රුසියාව, චීනය සහ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිවරුන් මෙන්ම ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරුන් මුදල් ඇමතිවරයා හමුවී ද්වී පාර්ශවික සාකච්ඡාවල නිරතවී තිබෙනවා.

මෙහිදී බැසිල් රාජපක්ෂ සඳහන් කර ඇත්තේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් බිහි කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති අතර පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධන වැඩපිළිවෙල සඳහා සහය අපේක්ෂා කර බවයි.

ඉන්ධන භාවිතය අවම කෙරෙන පරිසර හිතකාමී ලෙස ප්‍රවාහන ක්ෂේත්‍රයේ වැඩි දියුණුව සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඉහළ නැංවීම පිළිබඳව ද රජයේ අවදානය යොමුව ඇතැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙහිදී අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය සහ යුරෝපා සංගම් තානාපතිවරයා සඳහන් කර ඇත්තේ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය සහ හරිත ආර්ථිකයක් කෙරෙහි ශ්‍රී ලංකා රජය දක්වන උනන්දුව පිළිබඳ ප්‍රසාදය පළකරන බවයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා දේශීය ඉදිකිරීම්කරුවන් යොදාගැනීම පිළිබඳ තම ප්‍රසාදය පළකරන අතර ඊට අවශ්‍ය සහය ඉදිරියටත් ලබාදීමට අපේක්ෂා කරන බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය සඳහන් කර තිබෙනවා.

මේ අතර මෙම අවස්ථාවට එක්වූ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ පෙන්වා දුන්නේ කොවිඩ් වසංගත තත්වය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මුල් කාර්තුව තුල 4.7% ක පමණ මට්ටමක පවත්වාගෙන යාම පිළිබඳ සතුටුදායක විය හැකි බවයි.

එය ඉදිරියේදී 5.5% ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකිවනු ඇතැයි ඔහු ප්‍රකාශකර තිබෙනවා.

එමෙන්ම ද්වී පාර්ශවීය වෙළඳ කටයුතු වඩාත් සහයෝගයෙන් ඉදිරියට රැගෙන යාම සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස්වරයා කැමැත්ත පළ කළ බවයි මුදල් අමාත්‍යංශය කියාසිටියේ.

මේ අතර දැනට ශ්‍රී ලංකාව වෙත ලබාදෙන එන්නත් පහසුකම් අවශ්‍යතාව පරිදි ඉදිරියටත් ලබාදීමට කටයුතු කරන අතර තම ඉහළ පෙලේ ආයෝජකයන් හම්බන්තොට කර්මාන්ත කලාපයට සම්බන්ධ කිරීමට සූදානම් බව චීන තානාපතිවරයා මෙම අවස්ථාවට එක්වෙමින් ප්‍රකාශකර තිබෙනවා.

කොවිඩ් වසංගතය හමුවේ පවතින ආර්ථික තත්වය ඉතා ඉක්මනින් සාමාන්‍ය තත්වයට පත්වෙතැයි චීනය අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඊට අවශ්‍ය සහය ලබාදීමට සූදානම් බවයි චීන තානාපතිවරයා කියාසිටියේ.

දැනට ශ්‍රී ලංකාව තුල පවතින ජර්මානු තාක්ෂණ විද්‍යාලවල පහසුකම් ඉහළ නැංවීමට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා ආයෝජකයින් යොමු කිරීමට අවශ්‍ය සහය ලබාදීමට තම රජය අපේක්ෂා කරන බව ජර්මානු තානාපතිවරයා මෙම හමුවේදී ප්‍රකාශකර තිබෙනවා.

මේ අතර මෙම අවස්ථාවට එක්වූ ඇමරිකා තානාපතිවරිය කියාසිටියේ ද්වීපාර්ශවීය සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාව සම අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කිරීමට ඇමරිකාව සූදානම් බවයි.

රජයේ හරිත ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කළ තානාපතිනිය LNG බලශක්ති ව්‍යාපෘතිය සඳහා ආයෝජකයින් යොමු කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන බවයි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එන්නත්කරණ වැඩපිළිවෙල සඳහා ඉදිරියටත් සිය රජයේ සහය ලබාදෙන බව මුදල් අමාත්‍යවරයා හමුවූ රුසියානු තානාපතිවරයා ප්‍රකාශකර තිබෙනවා.

එන්නත් නිශ්පාදනය සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳ අවධානය යොමු කරන බවයි ඔහු කියාසිටියේ.

[ සේයාරූ ]

@@@@@@@@@@@@@@@@@@@

(14.07.2021 – 17:55 +0530 – hirunews.lk/sinhala)

මෙරට තවත් කොරෝනා මරණ 37 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (13) තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3611 ක් ලෙසටයි.

ඊයේ (13) තහවුරු කෙරුණු මරණ අතරට පිරිමි 18 ක් සහ කාන්තාවන් 19 ක් ඇතුලත්.

අවුරුදු 30 ත් 59 ත් අතර පිරිමි පුද්ගලයන් 5 ක් සහ කාන්තාවන් දෙදෙනෙකු (2) මියගිය පිරිසට අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි 13 ක් සහ කාන්තාවන් 17 ක් ඊයේ (13) තහවුරු කළ මරණ අතර වනවා ෴

+++++++++++++++++++++++++

(14.07.2021 – 18:39 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 988 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 278,507 ක් ලෙසටයි.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 955 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මේවන විට සුවය ලබා ඇති සංඛ්‍යාව 253,014 ක් ෴

+++++++++++++++++++++++

(14.07.2021 – 19:08 +0530 – hirunews.lk/sinhala)

ඔක්තෝම්බර් 15 වනදා වනවිට රට සම්පූර්ණයෙන් විවෘත කිරීම රජයේ ඉලක්කය බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති සමඟ සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ පාසල් සිසුන්ට මෙන්ම අවුරුදු 18 ත් 30 ත් අතර වයස් කාණ්ඩයට ද එන්නත් ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

++++++++++++++++++++++++

(14.07.2021 – 19:16 +0530 – hirunews.lk/sinhala)

ලංකා ගුරු සේවා සංගමය ඇතුලු‍ ගුරු සංගම් 14 ට අයත් ගුරුවරුන් සියලු‍ම ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව අද (14) දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධාතා පවත්වනු ලැබුවා.

ගුරු විදුහල්පති වෘත්තිය ක්‍රියාමාර්ගය අද (14) තුන්වන (3) දිනටත් ක්‍රියාත්මක අතර, එනිසාවෙන් උසස් පෙළ විභාගයට අයදුම් කිරීමේ කටයුතුවලට අද (14) දිනයේත් බාධා එල්ල වුණා.

මේ අතර, වෘත්තීය සමිති නියෝජිතයන් පිරිස තවමත් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින අතර ඔවුන් අදත් කඳවුර තුල විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

එසේම, වෘත්තීය සමිති නියෝජිතයන් නිරෝධායනයට යොමු කිරීමට එරෙහිව සහ බහුජන සංවිධාන කිහිපයක් අද (14) රථ පෙළපාලියක නිරත වුණා.

ඒ, නිරෝධායනය මුවාවෙන් සිදුකරන මර්දනය නතර කරන ලෙස රජයට බල කරමින්.

විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ගමන් කළ රථ පෙළපාලිය කොළඹ – නෙළුම් පොකුණ අසලින් ආරම්භ කර ලිප්ටන් වටරවුම, මරදාන, ටෙක්නිකල් හන්දිය, කොටුව, ජනාධිපති ලේකම් කාර්යාලය සහ කොල්ලු‍පිටිය හරහා විහාරමහා දේවි උද්‍යානය අසලට පැමිණියා.

කළුතර දිස්ත්‍රිකයේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පිරිසක් ද අද (14) දහවල් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් බේරුවල සිට පානදුර දක්වා යතුරුපැදි පෙළපාලියක් පවත්වනු ලැබුවා.

මේ අතර, යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ විපක්ෂ නායක සංජිත් ප්‍රේමදාස අතර සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (13) රාත්‍රියේ පැවැත්වුණා.

මේ අතර අධ්‍යාපන අමාත්‍ය මාහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ගැටළු සාකච්ඡා කර විසදා ගැනිමේ හැකියාවක් පවතින බවයි.

වර්ජනය ක්‍රියාත්මක වුවද ඇතැම් පාසල්වල ගුරුවරුන් අඛණ්ඩව ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු සිදුකරන අයුරු ද දක්නට ලැබුණා.

+++++++++++++++++++++

(14.07.2021 – 19:27 +0530 – hirunews.lk/sinhala)

කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත්කරණය කළ යුතු පුද්ගලයින් අතරින් 70% කට මේ වනවිට කොරෝනා එන්නත් පළමු (1) මාත්‍රාව ලබාදී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

කෙසේ වෙතත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ එන්නත්කරණය සිදුකළත්, ජනතාව තවදුරටත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව කටයුතු කළ යුතු බවයි.

තුන්ලක්ෂය (3,00,000) ඉක්මවූ පුද්ගලයින් පිරිසකට ඊයේ (13) දිනයේදී කොරෝනා මර්දන එන්නත් ලබා දී තිබෙනවා.

ඒ, මෙරට දෛනික එන්නත්කරණ වාර්තාව යලි අලු‍ත් කරමින්.

යුද හමුදාව මැදිහත් වී සිදුකරන එන්නත්කරණ වැඩසටහන් අදත් (14) ක්‍රියාත්මක වූ අතර, ගුරුවරුන් සහ පෙර පාසල් ගුරුවරුන් එන්නත් කිරීමේ වැඩසටහන් ද අද (14) දිනයේත් ක්‍රියාත්මක වුණා.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද (14) පෙරවරුවේ බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේ ස්ථාපිත එන්නත්කරණ මධ්‍යස්ථානයකින් සිවිල් පුරවැසියකු ලෙස එන්නත ලබාගත් බව සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණා.

මේ අතර, ඊයේ (13) සිදුවූ මරණ 37 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබූ අතර ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3611 ක් ලෙසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා කියා සිටියේ එන්නත්කරණ කටයුතු සිදුකෙරුණත්, ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව තවදුරටත් කටයුතු කළ යුතු බවයි.

මේ අතර, ඊයේ (13) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතරින් 248 දෙනෙකු වාර්තා වී තිබුණේ පූනෑව නාවික හමුදා කඳවුරෙන්.

ඔවුන් මන්නාරම නාවික හමුඳා කඳවුරේ සේවය කරන ආධුනික නාවික සෙබළුන් පිරිසක් වන අතර නිරෝධායනය සඳහා පුනෑව නාවික හමුදා කඳවුර වෙත යොමු කර තිබුණා.

එසේම, කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා පනවා තිබු සංචරණ සීමා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව ලිහිල් කිරීමත් සමඟ අත්‍යවශ්‍ය සේවා සඳහා පළාත් අතර ගමන් කරන පිරිස වෙනුවෙන් අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා අද (14) සිට ආරම්භ වුණා.

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 465 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (14) දිනයේ වාර්තාවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 ක් ෴

බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි ජනතාව වෙනුවෙන් සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමට හෙට (15) සිට කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ ද මධ්‍යස්ථානයක් ආරම්භ කරන බව යුද හමුදාව පවසනවා ෴

+++++++++++++++++++

(14.07.2021 – 21:29 +0530 – hirunews.lk/sinhala)

උද්ඝෝෂණවල නිරතවූවන් නිරෝධායනයට යැවීමේ සිදුවීම් සම්බන්ධයෙන් මහා සංඝරත්නයල පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින්ද විවිධ අදහස් පළකළා.

+++++++++++++++++++

(15.07.2021 – 06:45 +0530 – hirunews.lk/sinhala)

එක් ග්‍රාම නිලධාරී වසමක හුදෙකලාභාවය අද (15) පෙරවරු හයේ (06:00) සිට ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්මුනෙයි පොලිස් බලප්‍රදේශයේ මමන්ගම් ප්‍රදේශයේ එලෙස හුදකලා බව ඉවත් කර තිබෙනවා.

එය පහතින් :

++++++++++++++++++

(15.07.2021 – 07:04 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ගත වූ පැය 24 ක කාලය තුල පුද්ගයින් 190 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව මේ දක්වා කාලය තුල එම නීතිය උල්ලන්ඝයන කිරීම හේතුවෙන් පුද්ගලයින් 50,027 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *