විශ්‍රාම වැටුප් අහිමි සේවකයින්ට සමාජ ආරක්ෂණ අරමුදල සැකසීමට ත්‍රෛපාක්ෂික කමිටුවක්

විශ්‍රාම වැටුප් අහිමි සේවකයින්ට සමාජ ආරක්ෂණ අරමුදල සැකසීමට ත්‍රෛපාක්ෂික කමිටුවක්

*********************************************

විශ්‍රාම වැටුප් අහිමි සේවකයින්ට සමාජ ආරක්ෂණ අරමුදල සැකසීමට ත්‍රෛපාක්ෂික කමිටුවක්

(14.07.2021 – 14:02 +0530 – hirunews.lk/sinhala)

මෙරට විශ්‍රාම වැටුප් අහිමි අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ හා අවිධිමත් සේවා අංශයේ සේවයේ නියුතුවූවන් සඳහා වන සමාජ ආරක්ෂණ අරමුදලක් සැකසීමේ මූලික ලියවිල්ල සැකසීමට සේව්‍ය සම්මේලනය, වෘත්තීය සමිති සහ රජය පාර්ශවය නියෝජනය කරමින් ත්‍රෛපාක්ෂික කමිටුවක් පත් කර තිබෙනවා.

කම්කරු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික කම්කරු උපදේශක සභාවේදී මෙම කමිටුව පිහිටුවනු ලැබූ බව කම්කරු අමාත්‍යාංශය නිවේදනය කළා.

වයෝවෘද්ධ සමයේ ආර්ථික සුරක්ෂිතතාවයක් නොලැබෙන පුරවැසියන් වෙනුවෙන් ප්‍රතිලාභ ලබාදීම මෙම සමාජ ආරක්ෂණ අරමුදලේ අරමුණ වනවා ෴

******************************************

(14.07.2021 – 13:18 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම – එළුවන්කුලම – ගඟේවාඩිය ගම්මානයේ පවුල් 65 කට ආසන්න පිරිසකගේ ප්‍රධාන ජීවනෝපාය ධීවර කර්මාන්තයයි.

කොවිඩ් වසංගතයට පෙර ගඟේවාඩිය ගම්මානයට දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය නොඅඩුව ලැබී තිබුණේ වෙරළාසන්නයේ පැවති සුන්දර පරිසරයක පිහිටා තිබීම හේතුවෙන්.

ධීවර කර්මාන්තය සාර්ථකව කරගෙන ගිය මෙම ගම්වැසියන්ට මෑතක සිට කණ කොකා හඬන්නට පටන් ගෙන ඇත්තේ සිය ජීවනෝපාය මාර්ගයට බාධා මතුවීමත් සමඟයි.

ගගේවාඩිය ප්‍රදේශයෙන් කලාඔයේ ජලය මුහුදට ගලා බසින මෝයකට වැලි වලින් පිරීයාමත් සමඟ ඔවුන්ගේ ධීවර කර්මාන්තයට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

මෝයකටේ ඇති වැලිපර හේතුවෙන් ඔරු, පාරු සහ බෝට්ටු දියඹේ යාත්‍රා කිරීමට නොහැකි බවයි ධීවරයින් පවසන්නේ.

“මම දැන් හිටගෙන ඉන්නේ. එතන දැන් අඟල් 3 ක් විතර වෙනකම්ම සම්පුර්ණයෙන් වැලි තට්ටුවෙන් කට වැහිලා තියෙන්නේ. අපි අවශ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ වැලි ප්‍රයෝජනයක් වැඩකට ගන්න. මේ ගමේ අයට සහනයක් වෙන්න මේ සියලුම වැලි ටික ඉවත් කර ගන්න කියලා.

එතකොට තමයි මේ ගමේ මිනිස්සුන්ට ජීවනෝපාය හරියාකාරව කරගන්න, සංචාරක කර්මාන්තය හරියාකාරව කරගන්න ඒ මිනිස්සුන්ට බොහොම සහනයක් වෙන්නේ.”

තම ගම්බිම් වෙත කිසිඳු බලධාරියෙකුගේ නෙත් යොමු නොවීම පිළිබඳ ගම්මුන් තුළ ඇත්තේ මහත් කනගාටුවක්.

ගගේවාඩිය ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට ද මේ හේතුවෙන් දැඩි බලපෑම් එල්ලව ඇති බව ගම්වාසීන් පවසනවා.

ගගේවාඩිය ගම්මානයේ ජනතාවගේ ජීවනෝපායට හරස් වී තිබෙන මෙම වැලිපරය රටේ සංවර්ධන කටයුත්තක් වෙනුවෙන් ප්‍රයෝජනයට ගෙන ධීවර කර්මාන්තය මෙන්ම සංචාරක කර්මාන්තය බාධාවකින් තොරව කරගෙන යාමට ස්ථිර විසඳුමක් ලබාදෙන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

******************************************

(14.07.2021 – 14:05 +0530 – hirunews.lk/sinhala)

ඉන්දුනීසියාවේ තත්ත්වයෙන් බාල පුවක් ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට රැගෙන ඒමේ ජාවාරමක් පිලිබඳව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කළා.

මෙම පුවක් මුම්බායිහි ජවහර්ලාල් නේරු වරාය හරහා රැගෙන එන බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

මෙම පුවක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත බවට ව්‍යාජ ලේඛන සකසා ඇත්තේ බදු මග හැරීමේ අදහසින්.

එමෙන්ම, තත්ත්වයෙන් බාල මෙම පුවක් දේශීය ව්‍යාපාරවලට ද තර්ජනයක් බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ සිට මුම්බායි වරාය වෙත රැගෙන එන මෙම ඉන්දුනීසියානු පුවක් ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලට බෙදා හරින අතර, එහි ප්‍රධාන කේන්ද්‍රය ලෙස හඳුනාගෙන ඇත්තේ නාග්පූර් නුවරයි.

එහිදී එම පුවක් රසායනික ධුමායනයකට ලක් කර වර්ණ ගන්වා වෙළඳපොලට නිකුත් කරන බවත්, ඒවා පිළිකා කාරක විය හැකි බවත්, වෛද්‍ය මත උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙනවා ෴

******************************************

(14.07.2021 – 15:26 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ පළමු (1) අතුරු වන්දියෙන් වැඩි මුදලක් ධීවරයන්ට ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

අධිකරණ අමාත්‍යංශය සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ ධීවරයන් වෙනුවෙන් රුපියල් මිලියන 100 ක්, කොළඹ ධීවරයන්ට රුපියල් මිලියන 20 ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ ධීවරයන් වෙනුවෙන් රුපියල් මිලියන 4 ක් ලබාදීමේ මූලික පියවර අද (14) ආරම්භ වූ බවයි.

මෙම නෞකා අනතුර හේතුවෙන් ධීවර කටයුතුවලට තහනම් කෙරුනු ප්‍රදේශවල ධීවරයන්ට අතුරු වන්දියේ පළමු (1) වන්දි කොටස බෙදාහැරීම සිදුකරනු ලබනවා.

අමාත්‍යංශය සඳහන් කළේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්වල ලේකම්වරුන් වෙත මුදල් බැර කිරීම අද (14) සිදුවූ බවයි.

මෙය පළමු වරට ලැබුනු අතුරු වන්දියක් වන අතර ඉදිරියේදී තවත් අතුරු වන්දි මුදල් ලැබීමට නියමිත බව මෙම අවස්ථාවට එක්වෙමින් ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළා.

ධීවරයන් වෙනුවෙන් සියළු තොරතුරු රැස් කරමින් තවත් වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බවයි ඔහු කියාසිටියේ.

එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත අතුරු වන්දියේ පලමු (1) කොටස ලෙසට ඇමරිකානු ඩොලර් මිලියන 3.2 ක් රජයට ලැබී තිබුණා.

ඉන් ඩොලර් මිලියන 2 ක මුදලක් ක්ෂේත්‍ර 27 ක ධීවර කාර්මිකයන් 16,000 ක පමණ පිරිසක් වෙත ලබාදීමට නියමිතයි.

අදාළ මුදල් ධීවරයන්ගේ ගිණුම්වලට බැර කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා සිදු කෙරෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ දෙවන (2) හා තුන්වන (3) අතුරු වන්දි මුදල් ද ලැබීමට නියමිත බවයි.

දේශපාලන අවශ්‍යතා අනුව ධීවරයන්ගේ නම් ඇතුලත් කර නොමැති අතර ධීවර කටයුතු තහනම් කළ ප්‍රදේශ හඳුනාගෙන කටයුතු කරන බව ද ඔහු අවධාරණය කළා.

නෞකාවේ අනතුර හේතුවෙන් පීඩාවට පත්වූ ක්ෂේත්‍ර 27 ක් හඳුනාගෙන ඇති අතර ඉදිරියේදී ලැබෙන පැමිණිලි පිළිබඳව ද සොයාබලන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ෴

******************************************

(14.07.2021 – 15:50 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා අද (14) පෑලියගොඩ සහ කැළණිය ප්‍රදේශවල ඇති පෞද්ගලික පොහොර සමාගම්වල නිරීක්ෂණයකට එක්වුණා.

රට තුල පොහොර හිගයක් පැවතිය ද පෞද්ගලික සමාගම් සිය ගබඩාවල පොහොර තොග විශාල වශයෙන් තබාගෙන සිටින ආකාරය අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණයට ලක්වූ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කළේ.

දෛනිකව නිකුත් කළ හැකි පොහොර ප්‍රමාණයන් නිකුත් කිරීමකින් තොරව අඩු වශයෙන් පොහොර නිකුත් කිරීමට සමාගම් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් මෙහිදී ප්‍රශ්ණ කර තිබෙනවා.

පොරොන්දු වූ දින වකවානුවලට අවශ්‍ය පොහොර නිකුත් නොකරන්නේ නම් රාජ්‍ය පොහොර සමාගම් මගින් ඒවා බෙදාහැරීම සඳහා පියවර ගැනීමට සිදුවන බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී පොහොර සමාගම්වලට ප්‍රකාශකර ඇත්තේ.

ඇතැම් පෞද්ගලික සමාගම් දිනකට පොහොර මෙට්‍රික් ටොන් 600 ක් නිකුත් කිරීමට හැකියාව තිබියදී 300 ක් වැනි අඩු ප්‍රමාණයක් නිකුත් කිරීම පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රශ්නකර තිබෙනවා.

මීට පෙර පැවති සාකච්ඡාවලදී පොරොන්දු වූ ආකාරයෙන් දින 3 ක් ඇතුලත ජනතාවට අවශ්‍ය සියලු පොහොර නිකුත් කරන ලෙසට සමාගම් නිලධාරීන්ට කෘෂිකර්ම අමාත්‍යවරයා දන්වා තිබෙනවා.

එසේ නොමැති වුවහොත් පොහොර බෙදා හැරීම රාජ්‍ය පොහොර සමාගම් හරහා සිදුකරන ලෙසටයි පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට සහ ගොවිජන සේවා නිලධාරීන්ට අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර ඉන්දුනීසියාවේ සිට මෙරටට ගෙන්වන ලද යූරියා පොහොර තොගය රට තුල භාවිත කිරීමට අවශ්‍යතාවයක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණායතනයේ අද (14) පැවති වැඩසටහනකට එක් වෙමින්.

පසුගිය 12 වනදා කොළඹ වරායට ළගා වුණු අදාළ නෞකාවේ අන්තර්ගත යූරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 9,795 ක්.

එම පොහොර තොගය මේ වන විට රේගු භාරයේ රඳවාගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ අදාල පොහොර තොගය නිදහස් කිරීමට නෛතික ප්‍රතිපාදන තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

මෙරට තුල රසායනික පොහොර ආනයනය පසුගිය මැයි මස 06 වනදා සිට බලාත්මක පරිදි අත්හිටුවා තිබුනද අදාල පොහොර තොගය ඊට පෙර, පසුගිය මාර්තු මස 06 වනදා නෞකාවට පටවා ඇති බවට නැව්භාර පත්‍රයේ දැක්වෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නා.

අදාල පොහොර තොගය මෙරට පෞද්ගලික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගමක් මගින් ගෙන්වා ඇති බවටද අනාවරණ වී තිබෙනවා.

මේ අතර, රසායනික පොහොර නොමැති වීමෙන් වගාවන් සිදුකර ගැනීමට නොහැකිව තමන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බවට දිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවීන් තවදුරටත් ප්‍රකාශ කරනවා.

මේ අතර සිය මව සමග එක්ව නිවසේ ඉවත ලන ද්‍රව්‍ය භාවිතා කරමින් කාබනික දියර පොහොර නිෂ්පාදනයට යොමු වූ තරුණයෙකු පිළිබඳ පුවතක් මාතර – පොල්හේන ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්තී අංශයට වාර්තා වුණා.

[ සේයාරූ ]

+++++++++++

******************************************

දිනේෂ් චන්දිමාල් සමුගනී ද ? ක්‍රිකට් ආයතනයට ලිපියක්

(14.07.2021 – 16:43 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් විසින් සිය දක්ෂතා සහ අනෙක් ක්‍රීඩකයන්ගේ දක්ෂතා සංසන්දනය කරමින් ක්‍රිකට් තාක්ෂණික කමිටු සභාපති අරවින්ද ද සිල්වා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාව බිහි කළ සුපිරි ක්‍රීඩකයින්ගේ දක්ෂතා සංසන්දනය කරමින් චන්දිමාල් පෙන්වා දෙන්නේ එම සියලු ක්‍රීඩකයින් දක්ෂතා අතරට පැමිණ ඇත්තේ ඔවුන්ගේ ක්‍රීඩා දිවියේ පශ්චිම භාගයේදී බවයි.

මේ හරහා ඔහු තමා තවමත් ටෙස්ට් හෝ එක්දින තරග ක්‍රීඩා කිරීම වෙනුවෙන් සුදුසු යෝග්‍යතාවයෙන් පසුවන බව පෙන්වා දෙන චන්දිමාල් අවධාරණය කරන්නේ තම දක්ෂතා පිළිබඳ තේරීම් කමිටුව දැනුවත් කිරීම සහ තම ක්‍රිකට් දිවියේ අනාගතය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට කමිටුවට අවස්ථාව ලබාදීම මෙම ලිපියේ අරමුණ බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් තමාගේ සදාචාරාත්මක ස්ථාවරයන් කිසිදු අවස්ථාවක වෙනස් නොවූ අතර ගතවූ ක්‍රිකට් දිවිය තුල තම යෝග්‍යතාව ද හොඳින් පැවති බවයි ඔහු ප්‍රකාශකරනවා.

සෑම අවස්ථාවකදීම අරමුණ වූයේ කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ගේ දක්ෂතා වන අතර තමා ක්‍රීඩා කරන කාලය තුල ගත් සියලු තීරණ ගනු ලැබුවේ කණ්ඩායම සහ රට පිළිබඳ පළමුවෙන් සිතා බවයි චන්දිමාල් සඳහන් කර ඇත්තේ.

එමෙන්ම දිනේෂ් චන්දිමාල් සිය ලිපිය මගින් තවදුරටත් පෙන්වා දී ඇත්තේ ලැබෙන ආරාධනය මත තමා කිසිදු පැකිලීමකින් තොරව ඕනෑම අවස්ථාවක ඕනෑම ස්ථානයක පිතිකරණයේ නිරතවී ඇති බවයි.

වසර 31ක් යනු ක්‍රීඩකයෙකුට දක්ෂතා ක්ෂය වන කාලය නොව මුවහත් වන කාලය බව පවසන දිනේෂ් චන්දිමාල් මෙම ලිපිය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටු සාමාජිකයින් මුණ ගැසීමට අවස්ථාවක් ඉල්ලා තිබෙනවා.

වෘත්තීය ක්‍රීඩකයෙකු ලෙස තමන්හට මෙම අවස්ථාවේදී සිය අනාගතය පිළිබඳ තීරණයක් ගත යුතුව ඇති බවත් එම තීරණය සෑම පාර්ශවයක් සමග සාකච්ඡා කර නිවැරදිව ගත යුතු බවත් ඔහු මෙම ලිපිය මගින් අවධාරණය කරනවා.

කෙසේවෙතත් ඔහු වැඩිදුරටත් පවසන්නේ තමන්ට තවත් අවස්ථාවක් ලබාදුන හොත් එය පැහැර නොහැර සිය උපරිම දක්ෂතා අතරට පැමිණීමට සූදානමින් සිටින බවයි.

දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටු සභාපති අරවින්ද ද සිල්වා වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය පහතින් :

******************************************

(14.07.2021 – 17:51 +0530 – hirunews.lk/sinhala)

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් 7 දෙනෙකු ජනාධිපති නීතිඥවරුන් ලෙසට පත්කර තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(ඉ) ජේදය ප්‍රකාරව නීතිඥ වෘත්තියේ විශිෂ්ඨත්වයට පත්ව ඇති හා වෘත්තීය කටයුතු පිළිබඳ අවංකභාවයෙන් හා උත්කෘෂ්ඨ පැවැත්මෙන් යුතු නීතිඥවරුන්, ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කිරීමට ජනාධිපතිවරයාට බලතල පැවරී ඇති බවයි.

ඒ අනුව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරුන් වන මිලින්ද ගුණතිලක, හරිප්‍රියා ජයසුන්දර, විකුම් ආබෲ, ශානක විජේසිංහ, රවින්ද්‍ර පතිරණගේ, නෙරීන් පුල්ලේ සහ චේතිය ගුණසේකර ජනාධිපති නීතිඥවරු ලෙස පත්කර තිබෙනවා.

අභිනව ජනාධිපති නීතිඥවරු ඉදිරි කාලයේ දී සිය ධුරවල දිවුරුම් දීමට නියමිතව ඇති අතර අදාළ පත්කිරීම් ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්, නීතිඥ හරිගුප්ත රෝහණධීර ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටාර්වරයා වෙත අද (14) භාර දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ෴

@@@@@@@@@@@@@@@@@

(14.07.2021 – 13:36 +0530 – hirunews.lk/sinhala)

මේ අතර උද්ඝෝෂණවල නිරතවූවන් නිරෝධායනයට යැවීමේ සිදුවීම් සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළකළා.

+++++++++++++++++++++++++

(14.07.2021 – 14:57 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජනගහනයෙන් සියයට 36 කට කොරෝනා එන්නත් පළමු (1) මාත්‍රාව ලබාදී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා අද (14) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ දෙවන (2) එන්නත් මාත්‍රාව ද ජනගහනයෙන් සියයට 13 කට ලබාදී ඇති බවයි.

පළමු (1) මාත්‍රාව කොළඹ දිස්ත්‍රික්කයේ සියයට 70 කට සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 56 කට ලබාදී අවසන් බව ද ඔහු එහිදී සඳහන් කළා ෴

ලබන සතිය වනවිට තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් දිවයිනට ලැබීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කළේ ඒ අනුව, එන්නත් මිලියන 9.1 ක් මේ වනවිට ශ්‍රී ලංකාවට ලබාදී ඇති බවයි ෴

++++++++++++++++++++++++

(14.07.2021 – 16:17 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායනයට රැගෙන ගිය පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමියන් නිදහස් කරන ලෙස නියෝගයක් ඉල්ලා අභියාචනාධිකරණයට හබයාස්කෝපුස් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ මාලිගාවත්ත සමාධි ධර්මායතනයේ විහාරාධිපති පූජ්‍ය තංගල්ලේ සාරද හිමියන් විසින්.

පසුගියදා බත්තරමුල්ල ප්‍රදේශයේ විරෝධතාවයක නිරත වීම මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමෙන් පසු මුලතිව් ප්‍රදේශයේ මධ්‍යස්ථානයක් වෙත උන්වහන්සේ නිරෝධායනය සඳහා රැගෙන යනු ලැබුවා.

අදාල හිමියන්ගේ කොරෝනා පරීක්ෂණ වාර්තා අනුව උන්වහන්සේට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බවද පෙත්සමේ සඳහන්.

ඒ අනුව පොලිස්පතිවරයා, නීතිපතිවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, ප්‍රදේශයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් මෙන්ම රාජගිරිය හා තලංගම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුලු පිරිසක් පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *