සිංගප්පූරු එක්ස් ප්‍රෙස් සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 3.6 මූලික වන්දියක් ගෙවයි

සිංගප්පූරු එක්ස් ප්‍රෙස් සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 3.6 මූලික වන්දියක් ගෙවයි

*********************************************

සිංගප්පූරු එක්ස් ප්‍රෙස් සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 3.6 මූලික වන්දියක් ගෙවයි

(14.07.2021 – 09:03 +0530 – hirunews.lk/sinhala)

පසුගිය මැයි මාසයේදී කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ සිද්ධියෙන් සිදුවූ පරිසර හානිය හා ධීවරයින්ට සිදු වූ අලාභයට වන්දි ගෙවීම සඳහා ශ්‍රී ලංකා රජය ඉල්ලුම් කළ මූලික වන්දියෙන් කොටසක් ගෙවීම්ට එක්ස් ප්‍රෙස් නෞකා භාණ්ඩ ප්‍රවාහන සමාගම එකඟ වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් ඇමරිකානු ඩොලර් මිලියන 3.6 ක මුදලක් මූලික ගෙවීම වශයෙන් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව මෙම නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් සාගර කලාපය ඇතුලු පරිසරයට වූ හානිය සහ ධීවරයින්ට වූ හානිය ප්‍රතිපුර්ණය කරගැනීම සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 700 වන්දි වශයෙන් ඉල්ලා සිටියා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එක්ස් ප්‍රෙස් නෞකා භාණ්ඩ ප්‍රවාහන සමාගම පවසා ඇත්තේ මෙම සිද්ධියෙන් සිදු වූ හානිය පිළිබඳව කෙරෙන තක්සේරුවකින් අනතුරුව ඒ සඳහා නීතියානුකූලව ගෙවීමට නියමිත සියලු ගෙවීම් සිදු කිරීමට සූදානම් බවයි.

එමෙන්ම මෙම සිදුවීම් හරහා උද්ගත වූ පරිසර හානි අවම කර ගැනීමටත් වෙරළ තීරය සහ සාගර කලාපය පිරිසිදු කිරීමටත් ලබාදෙන සිය සහාය තවදුරටත් අඛණ්ඩව ලබා දෙන බවත් ඔවුන් පවසා තිබෙනවා.

මේ අතර ගිනි ගැනීමෙන් පසු මුහුදුබත් වූ නෞකාව සම්බන්ධයෙන් සිදු කෙරෙන නිරීක්ෂණ කටයුතු ද පැය 24 පුරා තවදුරටත් අඛණ්ඩව සිදුකරන බවත් නැවෙන් යම්කිසි තෙල් කාන්දුවක් සිදු වන්නේද යන්න පිළිබඳව නිරන්තර අවධානයෙන් සිය සමාගම සිටින බවත් ඔවුන් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම මේ වන විට කොළඹ හෝටලයක රඳවා ඇති සිය නෞකාවේ කාර්ය මණ්ඩලය හැකි ඉක්මනින් ඔවුන්ගේ රටවලට යැවීම සම්බන්ධයෙන්යෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමග සමීපව කටයුතු කරන බවත් එක්ස් ප්‍රෙස් භාණ්ඩ ප්‍රවාහන සමාගම වැඩිදුරටත් පවසනවා ෴

******************************************

(14.07.2021 – 08:56 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 16 දෙනෙක් ශ්‍රී ලංකා මෝටර් බෝට්ටු සංගමයේ අනුග්‍රහයෙන් විශේෂ පුහුණුවක් ලබා තිබෙනවා.

මෙසේ විශේෂ පුහුණුව ලැබූ විශේෂ කාර්ය බලකාය කණ්ඩාය සිදුකළ පළමු මෙහෙයුම ඊයේ (13) සිදුකළ තිබෙනවා.

මුතුරාජවෙල ප්‍රදේශයේදී සිදුකළ මෙම මෙහෙයුමේදී නීති විරෝධී ලෙස නිෂ්පාදනය කළ මත්පැන් සහ ගොඩා බැරල් 26 ක් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

මෙම බලකාය ඉදිරියේදී වන්නන්තර එළි කිරීම, පරිසර දූෂණය, මැණික් ගැරීම, යනාදී වැටලීම් සිදු කිරීමට නියමිතයි.

******************************************

(14.07.2021 – 09:13 +0530 – hirunews.lk/sinhala)

අලිමංකඩ කඳවුර රකින්නට ‘හසලක ගාමිණී රණවිරුවා’ රට වෙනුවෙන් ජිවිතය පූජාකර අදට (14) වසර 30 ක් සපිරෙනවා. මේ, ඒ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය තබන සටහනක්.

රට දැය වෙනුවෙන් දිවි පිදූ, ආබාධිත වූ සහ ලේ, දහඩිය, කළුඳු කැප කළ දහස් සංඛ්‍යාත රණවිරුවන් පිළිබදව සිහි කර හසලක ගාමිණී විරුවා පිළිබදව අපි මෙලෙස සටහන් කරන්නෙමු.

1966 අගෝස්තු 22 වන දා හසලක උපත ලබන ගාමිණී කුලරත්න පිරිමි දරුවන් 5 දෙනෙකු සහ ගැහැණු දරුවන් දෙදෙනෙකු (2) ගෙන් පිරුණු පවුලක දෙවැන්නායි (2).

වයස අවුරුදු 15 දී පියා මිය ගිය නිසාම, ගාමිණී සහ පවුලේ සියළු දෙනා ජීවිතය සරි කර ගත්තේ දහසකුත් බාධා මැදින්.

1986 හමුදා කොප්‍රල්වරයෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක් වන ඔහු රාජකාරිය අකුරටම ඉටු කළ විරුවෙකු ලෙස කා අතරත් ප්‍රචලිත වුණා.

නිරන්තරයෙන් රට වෙනුවෙන් කැප වූ රණවිරුවන්ගේ පවුලේ අභීත විරුවෙකු වන්නට අලිමංකඩ කඳවුරට පා තබන දින ඔහු නොසිතන්නට ඇති.

ඊට පෙර උතුරේ කදවුරු කිහිපයක මෙන්ම දකුණේ කදවුරු කිහිපයක ඔහු සේවය කළා.

දිනය 1991 ජුලි 14 වන දායි.

දින කිහිපයක් අලිමංකඩ කදවුර වනසන්නට මාන බැලූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ඒ වන විටත් ප්‍රබල ප්‍රහාර එල්ල කරමින් කදවුරු භූමිය වෙත කඩා වදිමින් සිටියා.

කඳවුර බේරා ගැනීම බරපතල ප්‍රශ්නයක් බව බොහෝ දෙනෙකුට අවබෝධ වී තිබුණත් කර කියා ගත හැකි දෙයක් නොතිබූ බව ද රහසක් නොවේ.

ගාමිණී, රැදී සිටි අලිමංකඩ කදවුරේ ප්‍රධාන දොරටුවේ බංකරයටයි යුද ටැංකියක ස්වරූපයට සකස් කළ වෙඩි නොවදින තහඩු වලින් ආවරණය වූ අති ප්‍රබල පුපුරණද්‍රව්‍ය රැගත් එල්.ටී.ටී.ඊ. බුල්ඩෝසරය ලේ පිපාසිත අරමුණින් කදවුරු භූමිය වෙත ආසන්න වෙමින් තිබුණා.

ගාමිණී එපා, යැයි බොහෝ දෙනෙකු කෑ ගැසුවත්, කදවුර බේරා ගැනීමට කළ හැකි එකම දෙය බුල්ඩෝසරය වැනසීම බව තේරුම් ගත් ඔහු සහෝදර සෙබලුන්ගේ දිවි රකින්නට ත්‍රස්තවාදීන්ගේ වෙඩි උණ්ඩවලට ද මුහුණ දෙමින් දිවගොස් බෝම්බ දෙකක් දෑතට ගෙන ත්‍රස්ත බුල්ඩෝසරයට ගොඩවුණේ දෙවරක් නොසිතමින්.

[ හසලක ගාමිණි දිවිපුදා වසර 30 යි ]

******************************************

(14.07.2021 – 10:08 +0530 – hirunews.lk/sinhala)

දීප ව්‍යාප්ත අලිවැට නඩත්තු කිරීමේ ස්වෙච්ඡා බළකා නියමු ව්‍යාපෘතිය කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලින් ආරම්භ කරන්නැයි අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඒ, ඊයේ (13) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදියි.

වන අලි-මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා දීපව්‍යාප්ත විදුලි වැට ඉදි කිරීම පිළිබඳව මෙම සාකච්ඡාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

වන අලි-මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයා පත්කළ විශේෂ කමිටු නිර්දේශවලට අනුව යමින් අලිවැට නඩත්තු කිරීම සඳහා ප්‍රජා දායකත්වය සහ ප්‍රාදේශිය පාර්ශවකරුවන්ගේ දායකත්වය සහිත ස්වේච්ඡා බළකායකට පැවරීමේ නියමු ව්‍යාපෘතිය කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන්නැයි අග්‍රාමත්‍යවරයා මෙහිදී නියෝග කළා.

අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ වනජීවි සංරක්ෂණ හෝ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවලට පමණක් මෙහි සමස්ත වගකීම නොපැවරෙන පරිදි අදාළ ප්‍රාදේශිය ලේකම් කාර්යාල, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය සහ ග්‍රාම නිලධාරින් ඇතුළු රාජ්‍ය ආයතන, නිලධාරින් සහ ග්‍රාමීය ප්‍රජා සංවිධාන ඇතුළත් ස්වේච්ඡා බළකායක් මගින් මෙම වන අලි-මිනිස් ගැටුම පාලනයට කළ හැකි බවයි.

2021 වර්ෂයේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාතික වැඩසටහනක් ලෙස කිලෝමීටර් 1500 ක විදුලි වැට ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසන්නේ මේ වනවිට ඊට අදාළ අමුද්‍රව්‍ය සඳහා ප්‍රසම්පාදන කටයුතු අවසන්ව ඇති අතර දිස්ත්‍රික්ක 19 ක් ආවරණය කරමින් ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ප්‍රාදේශිය වනජීවි කාර්යාල හා ප්‍රාදේශිය ලේකම් කාර්යාල අලි වැට ඉදිකිරීම සඳහා දායකත්වය සපයන බවයි.

දැනට ඉදිකර තිබෙන කිලෝමීටර් 4500 ක් පමණවන අලිවැට නඩත්තු කටයුතු සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයන් 3900 ක් යොදා ඇති අතර ඊට බහු කාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ 1500 ක පිරිසක් බඳවා ගෙන ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සාකච්ඡාවේදී අනාවරණ කළා.

******************************************

(14.07.2021 – 10:51 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම නගරයේ පිහිටි කිතුණු දේවස්ථාන කීපයකටම 13 දා දහවල් හා රාත්‍රි කාලයේ එල්ල වී ඇති ගල් හා මුගුරු ප්‍රහාර කීපයක් සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.

කිසියම් පිරිසක් විසින් මන්නාරමේ කිතුණු දේවස්ථාන පමණක් ඉලක්ක කරගෙන එල්ල කළ ප්‍රහාර නිසා මන්නාරම නගරය හා ඒ ආසන්නයේ පිහිටි කිතුණු දේවස්ථාන දෙකකට (2) අලාභහානී සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රහාර එල්ල වන ආකාරය අසල පිහිටි සී.සී.ටී.වී. කැමරා කීපයකම සටහන්වී ඇති අතර ඒ ඔස්සේ මන්නාරම් ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවයි පොලිසිය සඳහන් කලේ.

මේ පිළිබඳව අප මන්නාරම පොලිසියෙන් කළ විමසීමකදී සඳහන් කළේ නගරයේ පිහිටා ඇති දේවස්ථාන දෙකකට සුළු අලාභ හානි සිදුව ඇති බවයි.

******************************************

(14.07.2021 – 11:45 +0530 – hirunews.lk/sinhala)

හුංගම ප්‍රදේශයේ ඇලක් අසල පිහිටි කොස් ගසකින් වරකා ගෙඩියක් කැඩීමට ගිය 14 හැවිරිදි දරුවෙක් ඇලට වැටීමෙන් මියගොස් තිබෙනවා.

ඔහු නෝනාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මවට අසනීප වීම හේතුවෙන් හුංගම පිහිටි මිත්තණියගේ නිවසට පැමිණ සිටියදීයි මෙම අනතුරට ලක්වී ඇත්තේ.

උස ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ප්ලාස්ටික් පුටුවක් උඩට නැග වරකා ගෙඩිය කැඩීමට උත්සාහ දැරීමේදී එම ස්ථානයෙන් ගලා යන ඇලට වැටීමෙන් මෙම පිරිමි ළමයා මියගොස් ඇතැයි මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

14 හැවිරිදි ඔහු අම්බලන්තොට මහා විද්‍යාලයේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි අයෙක්.

අප වාර්තාකරු සඳහන් කළේ මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර තංගල්ල මූලික රෝහලට රැගෙන ගොස් ඇති බවයි.

මව සහ තමා සමග මිත්තණියගේ නිවසට පැමිණ සිටියදී තම සොයුරාට වරකා කෑමට කැමති බවට පවසා ටික වේලාවකින් ඔහු නිවසේ නොමැතිවීම හේතුවෙන් කළ සොයා බැලීමේදී කැඩීගිය පුටුව සහ පාවහන් වරකා ගස අසල තිබී සොයාගත් බව මියගිය පිරිමි දරුවාගේ වැඩිමහල් සොයුරිය ප්‍රකාශකර තිබෙනවා.

අනතුරුව කළ සොයා බැලීමකදීයි ඔහු ඇලට වැටී සිටියදී හමුවී ඇත්තේ.

සිද්ධිය පිළිබඳ හුංගම පොලිසිය පරීක්ෂණ සිදුකරනවා ෴

******************************************

(14.07.2021 – 12:44 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස මසුන් මැරීම සඳහා සිය මුහුදු තීරයට ඇතුළු වන ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා විනාශ කිරීම පිළිබඳව අවධානය යොමුවී ඇති බව සී-ෂෙල්ස් දිවයින පවසනවා.

එරට ධීවර අධිකාරිය ප්‍රකාශ කළේ පසුගිය වසරේදී ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා 6 ක් සී-ෂෙල්ස් මුහුදු තීරයේදී අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

ඉන් දෙකකට (2) අධිකරණය මගින් දඩුවම් පැනවූ අතර එකක් (1) නිදහස් කෙරුණා. ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා තවත් යාත්‍රා 3 ක් තවදුරටත් අධිකරණය භාරයේ පවතිනවා.

එම යාත්‍රා තුනටම (3) එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වන අතර, එක් (1) යාත්‍රාවක කපිතාන්වරයාට නීතිවිරෝධී මසුන් මැරීම පිළිබඳ චෝදනා ගොනුකර අවසන්.

කෙසේ නමුත්, දේශීය හා ජාත්‍යන්තර තොරතුරු අනුව තවත් නීතිවිරෝධී යාත්‍රා සිය මුහුදු තීරයට ඇතුළු වීමේ ප්‍රවණතාවක් පවතින බවයි එරට රජයේ ඉහළ පෙලේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ.

මෙම ගැටලුව හේතුවෙන් මිතුරු රටවල් සමග සබඳතාවට ද බලපෑමක් සිදුවනවා. මේ නිසා ගැටලුවට ද්වීපාර්ශවික විසඳුම් අපේක්ෂා කෙරෙන අතර, එලෙස නීතිවිරෝධී ලෙස ඇතුළු වන ධීවර යාත්‍රා විනාශ කිරීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයි සී-ෂෙල්ස් හි ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාට දැනුම් දුන් බවයි ඔහු කියා සිටියේ.

ඒ සඳහා නීතියේ අඩුලුහුඩුකම් සපුරාලන රෙගුලාසි යාවත්කාලීන කිරීමට පියවර ගන්නා බව ද සී-ෂෙල්ස් ජාතික සභාවේ නියෝජිත ෆිල් ඇරිසෝල් සඳහන් කළා ෴

******************************************

(14.07.2021 – 12:46 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 125 ක අල්ලසක් ලබාගැනීම ඇතුළු අධිචෝදනා 4 ක් යටතේ හිටපු රේගු අධිකාරීවරුන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර අද (14) යළි නඩු පවරනු ලැබුවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා වාහන අමතර කොටස් ආනයනය කරන ආයතනයකින් මෙම අල්ලස ලබාගත් බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ.

මෙම සිද්ධියට අදාළව මීට පෙරද නඩුවක් පවරා තිබී ඇති අතර, අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තුන්දෙනාගේම (3) ලිඛිත අනුමැතිය නොමැතිව එම නඩුව පවරා ඇති බවට විත්තිකරුවන්ගේ නීතිඥයින් ඉදිරිපත් කළ මූලික විරෝධතා නිසා එය ඉල්ලා අස්කර ගැනීමට අල්ලස් කොමිසම පියවර ගෙන තිබුණා.

2015 වසරේ ජුනි 26 සහ සැප්තැම්බර් 29 අතර කාලය තුළදී මෙම අල්ලස ලබාගත් බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ ෴

******************************************

(14.07.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala)

අගෝස්තු මස පළමුවනදා (01) සිට පොලිතින් වලින් නිෂ්පාදනය කරනු ලබන ‘නොදිරන ලන්ච් ෂීට්’ භාවිතය තහනම් කෙරෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

එසේම, ඒවා නිෂ්පාදනය හා බෙදා හැරීම ද තහනම් කෙරෙනු ඇති.

ඊට අමතරව, වහාම භාවිතයෙන් ඉවත් කිරීම සඳහා තවත් පොලිතින් හා ප්ලාස්ටික් වලින් නිෂ්පාදිත වර්ග 8 ක් තහනම් කිරීමේ ලැයිස්තුවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ද අද (14) දිනයේ අත්සන් තබන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඒ අනුව, වරක් භාවිත කරන බීමබට හා කලතන, තනි භාවිත ප්ලාස්ටික් වලින් නිෂ්පාදිත හැඳි, ගෑරුප්පු, යෝගට් හැඳි සහ පිහි මෙන්ම, නියමිත පරිමාවට අඩු සිලිසිලි බෑග්, ප්ලාස්ටික් ඉදිආප්ප වට්ටි, පොලිතින් යොදා ඇසුරුම් කරන සුවඳකූරු හා පහන්තිර ඇසුරුම්, ප්ලාස්ටික් මල්මාලා සහ ප්ලාස්ටික් කෝප්ප ද එම තහනම් කෙරෙන ලැයිස්තුවට ඇතුළත් ෴

******************************************

(14.07.2021 – 13:01 +0530 – hirunews.lk/sinhala)

වගාවන්ට අවශ්‍ය පොහොර සහ රසායනික ද්‍රව්‍ය හිඟය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ගොවීන් දුෂ්කරතා රැසකට මුහුණ දී සිටිනවා.

කෙසේවෙතත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ වගාවන් සඳහා අවශ්‍ය පොහොර ලබාදීමට රජය කටයුතු කරන බැවින් ගොවීන් ඒ පිළිබඳ අනියත බියක් ඇතිකර නොගත යුතු බවයි.

මධ්‍යම පළාතට මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයට තේ පැල සපයන යටිනුවර, පොත්තපිටිය ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන තේ පැළ තවානේ පැල ලක්ෂ පහක් (5) පමණ පොහොර නොමැතිව විනාශවීමේ තර්ජනයට ලක්ව තිබෙනවා.

මධ්‍යම පළාතේ කුඩා තේ වතු සමිති පවසන්නේ තේ පැල සහ තේ ගස් සඳහා යොදන රසායනික පොහොර නොමැතිකමින් මේ වන විට තේ කර්මාන්තය කඩා වැටීමේ බලවත් තර්ජනයක් මතුව ඇති බවයි.

මේ අතර කීඩෑ උවදුරක් හේතුවෙන් උහන, වලගම්බාපුර, අඳල්ඔය, වීරගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයක වී වගාව විනාශ වී ඇති බව ගොවීන් පවසනවා.

මොහු මාකඳුර පුහුණු ආයතනයේදී කාබනික පොහොර සැකසීම සඳහා පුහුණුවී ඇති අතර ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරයා ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඔහුට කාබනික පොහොර නිපදවීම සඳහා කෙසෙල්ගස්හේන ප්‍රදේශයෙන් ඉඩමක් ලැබී තිබෙනවා.

නමුත් ඔහු පවසන්නේ ඉඩම් ගැටලුවක් හේතුවෙන් මේ වනවිට එම කටයුතු අඩාලවී ඇති බවයි.

රසායනික පොහොර වෙනුවට කාබනික දියර පොහොර නිෂ්පාදනය කිරීමට මාතර, පොල්හේන ප්‍රදේශයේ තරුණයෙක් සමත්ව තිබෙනවා. කොවිඩ් ව්‍යසනය හේතුවෙන් රට වසා තිබූ කාලසීමාවේදී මොහු සිය මව සමඟ එක්ව නිවසේ ඉවතලන ද්‍රව්‍ය භාවිතයෙන් මෙම කාබනික දියර පොහොර නිෂ්පාදනයට පෙළඹ ඇති බවයි ඔහු සඳහන් කළේ.

පොල්පිතිගම රැකෑඋල ගොවිජනපදයේ ගොවීන් වගාවන්ට අවශ්‍ය රසායනික පොහොර ඉල්ලා සිය වගාබිම්වල සිට ඊයේ (13) පස්වරුවේ විරෝධතාවක නිරත වුණා.

එම විරෝධතාව සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතක සංවිධායක නාමල් කරුණාරත්න මහතා ද එක්වුණා.

මොරගොල්ල ප්‍රදේශයේ ස්ථාපිත කාබනික පොහොර නිෂ්පාදනාගාරයක් ඊයේ (13) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා.

@@@@@@@@@@@@@@@@

(14.07.2021 – 12:38 +0530 – hirunews.lk/sinhala)

ලංකා ගුරු සේවා සංගමය ඇතුළු ගුරු සංගම් 14 කට අයත් ගුරුවරුන් සියලුම ඔන්ලයින් කටයුතුවලින් ඉවත් වී සිදුකරන වෘත්තීය ක්‍රියාමාර්ගය අද (14) 3 වන දිනටත් ක්‍රියාත්මකයි. මේ හේතුවෙන් උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන් අපහසුතාවයට පත්වුණා.

කෙසේ වෙතත්, ඇතැම් ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු සිදුකළ බව ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී තිබෙනවා.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතා දැක්වීමේදී නිරෝධායන නීති කඩ කළ බවට ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් පසුගිය 08 වනදා අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමු කෙරුණා.

ඉන් අනතුරුව එම සිදුවීමට විරෝධය පළ කරමින් සහ තවත් ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා ගුරු වෘත්තීය සමිති මාර්ගගත අධ්‍යාපනය හෙවත් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වීමට තීරණය කළේ පසුගිය 12 වනදායි.

මේ අතර, පසුගියදා පැවති විරෝධතාව අතරතුරදී අත්අඩංගුවට ගැණුනු පෙරටුගාමී සමාජවාදී පක්ෂ සාමාජිකාවක වන නැන්සිලි ද සිල්වා මහත්මිය පසුගියදා ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් වූ අතර, ඇය රෝහලෙන් ප්‍රතිකාර ලබා අද (14) පිටව ගියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *