කෝප් කමිටුවෙන් නිවාස සංවර්ධන අධිකාරිය ට සැර නියෝගයක්

කෝප් කමිටුවෙන් නිවාස සංවර්ධන අධිකාරිය ට සැර නියෝගයක්

*********************************************

කෝප් කමිටුවෙන් නිවාස සංවර්ධන අධිකාරිය ට සැර නියෝගයක්

(12.07.2021 – 15:34 +0530 – sinhala.adaderana.lk)

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අතිරික්ත තනතුරු ඇතුළු, බඳවා ගැනීම් සම්බන්ධ ව මාසයක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුවෙන් නියෝග කර තිබේ.

ඒ අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 2021 වසරේ මැයි මස 31 වැනි දිනට පුරප්පාඩු 688 ක් පවතින අතර, ඒවා කඩිනමින් පිරවීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමඟ එක්ව කටයුතු කරන ලෙස කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා එම අධිකාරියට දැනුම් දුන්නේය.

ආයතනයේ ඉහළ කළමනාකරණ මට්ටමේ තනතුරු පුරප්පාඩු 154 ක් පවතිත්දී, අතිරික්ත තනතුරු 46 පැවැතීම සම්බන්ධයෙන් ද සභාපතිවරයා නිලධාරින්ගෙන් ප්‍රශ්න කර තිබේ.

තෘතීය මට්ටමේ තනතුරු පුරප්පාඩු 116 ක් පවතින අතර, එසේ නම් අතිරික්ත තනතුරු 218 ක් පවතින්නේ කෙසේද යන්න පිළිබඳවද සභාපතිවරයා ප්‍රශ්න කර ඇත.

එම තත්ත්වය ආයතනයක් තුළ පැවතිය නොහැකි තත්ත්වයක් බැවින් මේ පිළිබඳව කඩිනමින් සොයා බලා මාසයක් ඇතුළත කෝප් කාරක සභාවට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාවේ සභාපතිවරයා, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන මහතාට නියෝග කළේය.

මේ අතර ජාතික නිවාස සංවර්ධන අධිකාරියට බඳවා ගත් පුහුණු නිලධාරින් 3700 ක් වෙනුවෙන් 2017-2019 කාල සීමාව තුළ රුපියල් මිලියන 583 ක වැටුප් ගෙවා ඇති බව එම කෝප් කාරක සභාවේ දී අනාවරණය විය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා එම නිලධාරීන් පිළිබඳව ප්‍රශ්න කළ අවස්ථාවේදී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද පෙන්වා දුන්නේ එලෙස බඳවාගෙන තිබූ පුහුණු නිලධාරීන්ට නිසි රාජකාරියක් හෝ පවරා නොතිබූ බවය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වාර්ෂික වාර්තා නිසි පරිදි පාර්ලිමේන්තුවේ සභාගත නොකිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.

එමෙන්ම ආයතනයෙහි ක්‍රියාකාරි සැලැස්මට අන්තර්ගත විය යුතු වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්ම, මානව සම්පත් සංවර්ධන සැලැස්ම හා අභන්තර විගණන සැලැස්ම එහි අන්තර්ගත නොකිරීම සම්බන්ධව ද කාරක සභාවේ අවධානය යොමු විය.

ජනසෙවණ නිවාස දස ලක්ෂයේ ව්‍යාපෘතිය පිළිබඳ තත්ත්ව වාර්තාවක් මාසයක් ඇතුළත කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස මීට පෙර ජාතික නිවාස සංවර්ධන අධිකාරියට නිර්දේශ කර තිබුණ ද මෙතෙක් එය ලබා නොඳීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු අතර, නිවාස ව්‍යාපෘති 1,351 ක පොදුදේපල තව දුරටත් පළාත් පාලන ආයතන වෙත පවරා නොතිබීම ප්‍රබල ගැටලුවක් බවද කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

කොළඹ ඩාර්ලි පාරේ අක්කර 01 යි පර්චස් 26.5 ඉඩම නිවාස ඉදිකර සංවර්ධනය කිරීම සඳහා පෞද්ගලික පාර්ශවයක් සමඟ ගිවිසුම් ගත වුවද, 2016 වසරේදී කිසිදු සංවර්ධන කටයුත්තක් සිදුනොකර එම ඉඩම් අදාළ පෞද්ගලික ආයතනය වෙත 2006 වසරේ දී ගිවිසුම් ගත මිල වූ රුපියල් මිලියන 812 ක විකුණා තිබූ බව කාරක සභාවේදී අනාවරණය විය.

එම ඉඩමේ බුක්තිය නැවත පවරා ගැනීම වෙනුවෙන් නෛතික ක්‍රියාමාර්ග අනුගමනය කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කාරක සභාවට දැන්වීය.

එම ආයතනයේ ණය අයවීමේ ප්‍රගතිය අවම තත්ත්වයක පැවැතීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු විය. වසරක ණය අයවීමේ ප්‍රතිශතය සියයට 60 ක මට්ටමේ පවතින අතර, ණය අයකර ගැනීම වෙනුවෙන් ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස කාරක සභාව ජාතික නිවාස සංවර්ධන අධිකාරියට දැන්වීය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පරිපාලන ගැටලු රැසක් පවතින අතර, එම ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් නිසි නියාමනයක් සිදුකරන ලෙස කාරක සභාව, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන මහතාට දැනුම් දුන්නේය.

2020 වසරේ මූල්‍ය ප්‍රකාශනවලට අනුව අධිකාරිය සතු සෙවණ මාධ්‍ය ඒකකයට ලැබිය යුතු මුදල රුපියල් මිලියන 68 ක් බව කාරක සභාවේදී අනාවරණය වූ අතර, ඒ වෙනුවෙන් කටයුතු කරන ලෙසද කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී පැවසීය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට එම කාරක සභා රැස්වීම කැඳවා තිබූණි ෴

******************************************

පුස්ඇලි ඔයේ එකම පවුලේ සිව්දෙනෙක් (4) ගසාගෙන යයි

(12.07.2021 – 11:00 +0530 – sinhala.adaderana.lk)

අධික වර්ෂාව හේතුවෙන් හංවැල්ල ආටිගල ප්‍රදේශයේ අඩි 3 ක් පමණ ජලයෙන් වැසී ගොස් තිබූ මාර්ගයක පා ගමනින් ගමන් කරමින් සිටි කාන්තාවක ඇතුළු සිව්දෙනෙකු (4) ජල පහරට හසුව පුස්ඇලි ඔයට ගසා ගෙන ගොස් තිබේ.

ඊයේ (11) රාත්‍රි 07:15 ට පමණ එම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

එලෙස ජල පහරට හසුව ගසාගෙන ගොස් ඇති 32 හැවිරිදි පුද්ගලයකු අතුරැදන්ව ඇති අතර හංවැල්ල පොලීසිය හා නාවික හමුදා කිමිදුම්කරැවන් එක්ව අද (12) උදෑසන අතුරැදන් පුද්ගලයා සෙවීමේ කටයුතු ආරම්භ කර තිබේ.

මෙලෙස ජල පහරට ගසා ගෙන ගිය පිරිස පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරැවන් වන බවත් හංවැල්ල ආටිගල ප්‍රදේශයේ ඥාතියෙකුගේ නිවසට පැමිණි අතරවාරයේ දී රඹුටන් කැඩීම සඳහා ගොස් නැවත එමින් සිටිය දී අනතුරට ලක්ව ඇති බවත් පොලීසිය පවසයි.

සිදුවීමට මුහුණ දුන් තරුණයෙක් ‘අද දෙරණ’ ට තම අත්දැකීම මෙසේ කියා සිටියේය :

“අඩි 3 ක් විතර වතුර තිබුණා. මමයි අයියයි ඉස්සෙල්ලා ගියා. අක්කයි මල්ලී මේ පැත්තෙන් ගියා. මම ඉස්සරහට යද්දි අක්කයි මල්ලියි වැටුණා. අයියා මගේ පිටුපස්සෙන් හිටියේ එයා දුවගෙන ආවා. ලිස්සලා එයා වතුර ට වැටුණා. මාත් වැටුණා. මම ගිලිලා උඩ ආවා. තුන්දෙනාගෙන් (3) එක්කෙනෙක්වත් දැක්කේ නෑ මං. මම ගහ ගාව හිරවෙලා හිටියා. මල්ලී අක්කයි එහා පැත්තේ හිටියා.”

******************************************

ඉන්දීය රෝහල් අපද්‍රව්‍ය නිසා යාපනය මුහුදු තීරය වැනසෙයි !

(12.07.2021 – 18:58 +0530 – lankaleadnews.com)

යාපනය වෙරළ තීර කිහිපයකට ගෙවුනු සතිය තුලදී රෝහල්වලින් ඉවතලන අපද්‍රව්‍ය රැසක් ගොඩගසා ඇති බවට ධීවරයින් සහ ප්‍රදේශවාසීන් පවසා සිටිති.

යාපනය පුන්කුඩතිව් කූරිකඩ්ඩුවාන් වෙරළ තීරයට පසුගිය දින කිහිපයේදී යාපනය නයිනතීව් සහ නෙඩුන්තීව් මුහුදූ වෙරළට මෙලෙස රෝහල අපද්‍රව්‍ය රැසක් ගොඩගසා තිබූ බවට ප්‍රදේශවාසීන් පවසති.

රෝහල්වලින් ඉවතලන එන්නත් කටු, සේලයින් බෝතල්, රුධිරය ලබාගන්නා වෛද්‍ය උපකරණ, ඖෂධ රැඳවුම් ඇතුළු අපද්‍රව්‍ය රැසක් එලෙස ගොඩගසා ඇති බවට ප්‍රදේශවාසීන් විසින් පෙන්වා දෙයි.

අදාල රෝහල අපද්‍රව්‍ය යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි රෝහල්වලින් නොවන බවටත් ඉන්දියාවෙ රෝහල්වලින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය මෙලෙස මුහුදට දැමීම හේතුවෙන් එම අපද්‍රව්‍ය උතුරු මුහුදු තීරයට ගසාගෙන එන්නට ඇති බවටයි ප්‍රදේශවාසීන් සැක පළ කරන්නේ.

මේ අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් යාපනය ධීවර පරීක්ෂක කාර්යාලයේ නිළධාරීන් හා සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමටද ප්‍රදේශවාසී ජනතාව කටයුතු කර තිබෙනවා ෴

Photos from am.lk

******************************************

නව ගෑස් සිලින්ඩරයේ ප්‍රෝඩාව!

(12.07.2021 – 13:09 +0530 – lankaleadnews.com)

සිලින්ඩරයක මිල අඩුකිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය තීරණය කර ඇති අතර ඒ අනුව ලීටර් 18 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1150 කට අඩුකළ යුතු බවට දැක්වෙන ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට වෙළද අමාත්‍යංශය සූදානම් වී සිටී.

එමෙන්ම ගෑස් මිලදී ගන්නා පාරිභෝගිකයන්ට ගෑස් සිලින්ඩරය ලීටර් වලින් මැනිය නොහැකි නිසා සිලින්ඩරයේ බර කිලෝ ග්‍රෑම් වලින් සඳහන් කිරීමට තීරණය කර ඇති අතර වෙළදපොළට නිකුත් කරන ගෑස් සිලින්ඩර වල බර අඩුවීම සහ ගෘහස්ත ගෑස් සිලින්ඩරවල දැඩි හිඟයක්ද ඇත.

මෙලෙස ගෑස් සමාගම් කරන වංචාවන් පිළිබඳව සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව තීරණය කර ඇත්තේ මෙම නව හඳුන්වාදීම මඟින් මගින් පාරිභෝගිකයන් නොමඟ යැවීමක් සිදු කර ඇති බවයි ෴

******************************************

දුමින්ද සිල්වා නිදහසින් පසු අගමැති මහින්ද හමුවේ

(13.07.2021 – 08:11 +0530 – truenews.lk)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (12) පස්වරුවේ හමුවී තිබේ.

අරලියගහ මන්දිරයේ දී තමන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූ බව දුමින්ද සිල්වා මහතා තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් කියා සිටී.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාර ගත කර සිටියදී ජනාධිපති විශේෂ සමාව යටතේ දුමින්ද සිල්වා මහතා නිදහස ලැබීය.

******************************************

Photos from newswave.lk

******************************************

ලෝකයේ වැඩිම ආයුෂ තිබුන අපට වෙච්ච දේ – ඔලුව ජපන්, කඳ ජර්මන් බඩු ටිකක් මේ රට පාලනය කරන්නේ (13.07.2021)

******************************************

කුරුසියේ ඇණගැසුවේ මේ යේසුස් වහන්සේ නොවේ; යේසුස් වහන්සේ බුද්ධ ශ්‍රාවකයෙක් – අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානාහිමි (1992 දී)

@@@@@@@@@@@@@@@

විවාහ කල් යෑමෙන් 2028 පාසල්වලට දරුවන් ඇතුලත් කිරීමේදී විශාල තදබදයක් ඇතිවෙනවාලු

(12.07.2021 – 12:42 +0530 – truenews.lk)

ගෙවුණු වසර දෙකහමාරක (2½) කාලය තුළ විවාහ මංගල උත්සව ලක්‍ෂ අටක් (8) පමණ අවලංගුවීමෙන් හෝ කල් දැමීමෙන් විවාහ මංගල සේවා සැපයුම් කරන අංශ ගණනාවක කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් ඇතුව ක්ෂේත්‍රයේ ලක්‍ෂ පහළොවක් (15) පමණ වූ පිරිසකට යනඑනමං නැතිව සිටි බව විවාහ මංගල උත්සව සේවා සපයන්නන්ගේ සංගමයේ රත්නපුර දිස්ත්‍රික් සභාපති උපුල් ජයසේකර මහතා පැවසීය. කුරුවිටදී පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, විවාහ උත්සව තහනම ඉවත් කරපු නිසා අවලංගු කරපු හෝ කල් දැමූ විවාහ යළි පැවැත්වීම හේතුවෙන් 2028/2029 අවුරුදුවල පළමුවැනි (1) ශ්‍රේණියට දරුවන් ඇතුළු කිරීම 150% ක් ඉහළ ගොස් ලොකු අර්බුදයක් ඇතිවීම වළක්වාලිය නොහැකි වනු ඇතැයි කීය.

එබැවින් නිරෝධායන සොඛ්‍ය නීතිවලට අනුකූල වෙමින් 100-150 ත් අතර පිරිසකගේ අවම සහභාගිත්වයෙන් හෝ උත්සව ශාලා ධාරිතාවෙන් 25% ක පිරිසකගේ සහභාගිත්වයෙන් විවාහ මංගල උත්සව පැවැත්වීමට යළි අවසර දීමෙන් එම ක්ෂේත්‍රයේ පහළොස් (15) ලක්‍ෂයට යළි ජීවිත ගොඩනගා ගැනීමට මුලපිරිය හැකි බව කීය. විවාහ මංගල උත්සව වැඩිපුරම පැවැත්වෙන්නේ වසරේ මැයි මාසයේ බවත් පාස්කු ප්‍රහාරය සිදු වූ 2019 ඉදලා 2021 වනවිට ‘මැයි මාස තුනක’ විවාහ මංගල උත්සවවලට සීමා පැනවුණ තත්වය යටතේ අවාසි ඇතිව තිබෙන බව කීය.

කෝවිඩ් වසංගත තත්වය නිසා මංගල උත්සව තහනම් වු නිසා රට පුරාම විවාහපේක්‍ෂිත තරුණ තරුණියන්ගේ ප්‍රසිද්ධ විවාහ මංගල උත්සව ලක්‍ෂ අටක් (8) පමණ අවලංගු කර තිබෙන අතර ඉන් ලක්‍ෂ දෙකක් (2) උත්සව නැතුව විවාහ සිදු කරගන්නට ඇතැයි කී සභාපතිවරයා :

“නමුත් ලක්‍ෂ හයක් (6) පමණ වූ විවාහපේක්ෂිත තරුණ යුවළ තවම විවාහ වෙලා නැහැ. ඒ අය විවාහ වුණා නම්, ලබන දරුවන් 2026, 2027 අවුරුදුවල පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් කළ යුතුයි. මේ තත්වය මත 2026, 2027 යන අවුරුදුවල පාසල්වල පළමු ශ්‍රේණි සඳහා දරුවන් ඇතුළත් කරන ප්‍රමාණය සැලකිය යුතු අඩුවක් විය හැකියි.

ඒ නිසා මේ ක්‍ෂේත්‍රය ගැන අවධානය යොමුකරලා සාධාරණ කොන්දේසි සහ නිරෝධායන නීති පනවා විවාහ මංගල උත්සව පවත්වන්න අවසර දීපු එක ගැන රට පුරාම සිටින විවාහ මංගල සේවා සපයන සියලු පාර්ශ්ව වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙනවා.”

යැයිද පවසා සිටියේය. රූපලාවන්‍ය ශිල්පීන් හා ඇතුළු පිරිසද මෙහිදී අදහස් දැක්වූහ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *