ගිනිගත් නැවෙන් වූ හානි සඳහා වන්දි ලබාදීම ගැන සාකච්ඡාවක්

ගිනිගත් නැවෙන් වූ හානි සඳහා වන්දි ලබාදීම ගැන සාකච්ඡාවක්

*********************************************

ගිනිගත් නැවෙන් වූ හානි සඳහා වන්දි ලබාදීම ගැන සාකච්ඡාවක්

(12.07.2021 – 13:33 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගිණි ගැනීමෙන් ඇති වූ හානිය සඳහා වන්දි ලබා ගැනීමට අදාල සාකච්ඡාවක් මේ වනවිට අධිකරණ අමාත්‍යංශයේ උපරිමාධිකරණ සංකීර්ණයේදී පැවැත්වෙනවා.

ඒ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන්.

මෙම සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද එක්ව සිටිනවා.

අධිකරණ අමාත්‍යංශය සඳහන් කළේ, වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සහ ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම සාකච්ඡාවට සහභාගී වී සිටින බවයි.

මේ අතර, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිණි ගැනීමත් සමග ධීවර කටයුතු සිදුකිරීමට නොහැකිව අසීරුතාවයට පත් තමන්ට මෙතෙක් සහන ලැබී නොමැති බව පවසමින් මීගමුව ප්‍රදේශයේ ධීවරයින් ඊයේ (11) රාත්‍රියේ බෝට්ටු වල නැග විරෝධතාවයේ නිරත වුණා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිණි ගැනීම හේතුවෙන් රැකියා සිදු කර ගැනීමට නොහැකිව අදායම් අහිමි වූ ධීවරයන් 16,000 කට වන්දි ලබා දීම අද සිට ආරම්භ කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (11) ප්‍රකාශ කර තිබුණා.

ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 420 ක්.

ඒ අනුව, සමස්ථ වන්දි මුදල ලබා දීමට පෙර අතුරු වන්දි මුදලක් අද (12) සිට ලබාදීමටයි නියමිතව ඇත්තේ.

එම මුදල් මෙම සතිය තුල ධීවර ජනතාවගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

මෙම සතිය තුල සිය බැංකු ගිණුම් වෙත අදාල මුදල් ලැබී නොමැති ධීවරයන්ට ඊට අදාළ අභියාචනා ඉදිරිපත් කල හැකි බවයි රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

******************************************

(12.07.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු පළාත් සභා නියෝජිතයන් අතර හමුවක් අරලියගහ මන්දිරයේදී ඊයේ (11) පැවැත්වුණා.

ඒ පළාත් සභා ක්‍රියාත්මක නොවුව ද ඒවායින් සැපයෙන ජනතා සේවාවන් තවදුරටත් විධිමත් කිරීම සහ රජයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.

මෙහිදී මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ආර්ථිකමය වශයෙන් රට අභියෝගයකට මුහුණපා ඇති අවස්ථාවේ ප්‍රධාන ආදායම් මාර්ග හිමි ආයතන වන රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, මෙන්ම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව වැනි ආයතනවලින් ලැබෙන ආදායම අවම වී ඇති බවයි.

ලොව සෑම රටක්ම මුහුණදෙමින් පවතින කොරෝනා වසංගත තත්ත්වය මෙයට ප්‍රධානම හේතුව බවත්, ඊට මුහුණදීම සඳහා නොබියව කටයුතු කළ යුතු බවත්, මෙහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කර තිබෙනවා.

යුදමය වාතාවරණයක් පැවති සමයේ පවා ආර්ථිකය ඉතා බැරෑරුම් තත්ත්වයකට මුහුණදුන් බව මෙහිදී සඳහන් කර ඇති මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් පළාත් සභා නියෝජිතයන්ට පෙන්වා දී ඇත්තේ අභියෝග ජය ගැනීමට එක්ව කටයුතු කළ යුතු බවයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් හිටපු පළාත් සභා නියෝජිතයන්ට පවසා ඇත්තේ පළාත් සභා වල කටයුතු විධිමත් කිරීම සහ රජයේ ඉදිරි වැඩපිළිවෙලට දායකත්වය ලබාදිය හැකි ආකාරය සම්බන්ධයෙන් යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙසයි ෴

******************************************

(12.07.2021 – 14:17 +0530 – hirunews.lk/sinhala)

මේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් විල්ගමුව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ පිහිටි ඉඩම් බද්දල ගම්මානයයි.

විල්ගමුව නගරයේ සිට කිලෝමීටරයක පමණ දුරකින් පිහිටි මෙම ගම්මානයේ ජනතාව වසර 15 ක පමණ කාලයක සිට තම දිවි සරිකර ගන්නේ ගොවිතැන්ක ටයුතුවලින්.

නමුත්, ගම්මානයේ යටිතල පහසුකම් පමණක් නොව මූලික අවශ්‍යතා ද නොමැතිකමින් ගම්වාසීන් පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවකටයි.

වසර 15 ක් තිස්සේ මෙම ගම්මානයට ප්‍රවේශ මාර්ගයක් හෝ ඉදිකර දීමට කිසිදු බලධාරියෙක් කටයුතු කර නැහැ. මූලික අවශ්‍යතා වන ජලය, විදුලිය නොමැති කමින් තමන්ගේ ජීවිත අඳුරු වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

******************************************

(12.07.2021 – 14:27 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ දරුවන්ට අධ්‍යාපන ලැබීමට සිදුව ඇත්තේ මාර්ගගත ක්‍රමයටයි.

එලෙස අධ්‍යාපනයක් ලැබීමට පහසුකම් නැති දෘෂ්‍යාබාධික දරුවෙකු ගැන අප පසුගියදා හිරු ප්‍රවෘත්ති ඔස්සේ දැනුම් දුන්නා.

ඔහුගේ අධ්‍යාපනයට මේ වන විට උපකාර ලැබී ඇතත් ඔහු තවමත් සිය රෝගී තත්ත්වය හේතුවෙන් පීඩා විඳිනවා.

කිරිබත්ගොඩ, මාකොල ප්‍රදේශයේ පදිංචි රවිඳු යසස් මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දෘෂ්‍යාබාධිත තත්ත්වයකින් පීඩා විදින දරුවෙක්.

රත්මලාන අන්ධ විද්‍යාලයේ ඉගෙනුම ලබන රවිඳුට මාර්ගගත අධ්‍යාපනයට යොමුවීමට නොහැකි වී​ සිටියේ ජංගම දුරකථනයක් නොමැති වීමෙන්.

හිරු මේ පුවත වාර්තා කිරීමත් සමග ඔහුට මේ වන විට දුරකථනයක් ලැබීම සතුටට කරුණක්.

දුරකථනයක් හිමිවුවත් ඔහුගේ අභියෝග ජයගැනීම තවදුරටත් සීමා වී ඇත්තේ රවිඳුගේ මව සහ පියාද පූර්ණ දෘෂ්‍යාබාධිත වීමේ ජානමය බලපෑමෙන් රවිදුද දෘෂ්‍යාබාධිත තත්ත්වයට පත් වෙන ලකුණු පැවතීම හේතුවෙනුයි.

කොවිඩ් වසංගතය හමුවේ රවිඳුගේ පියාගේ රැකියාව වන පිරිත් පොත් විකිණීම අහිමි වීම මෙන්ම, මව පිළිකා රෝගයකින් පීඩා විඳීම මේ පවුලේ අසරණභාවය තවත් වැඩි කර තිබෙනවා.

කෙසේ වෙතත් රවිඳුගේ උපතේ සිට ඇසෙහි කළු ඉංගිරියාව පිහිටා නොමැතිවීමේ මෙම රෝගී තත්ත්වය සම්පූර්ණයෙන් සුව කර ගත හැකි බව වෛද්‍ය මතයයි.

එහෙත් ඊට ශල්‍යකර්මයක් කළ යුතු වනවා.

******************************************

(12.07.2021 – 16:01 +0530 – hirunews.lk/sinhala)

වානිජ නෞකාවකට තෙල් සපයමින් සිටියදී හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ඇති වූ තෙල් පැල්ලම කඩිනමින් ඉවත් කිරීමට සියලු පියවර ගෙන ඇති බව එහි ප්‍රධාන විධායක රවී ජයවික්‍රම මහතා ප්‍රකාශ කළා.

තෙල් බත්තලක් මගින් නෞකාවට ඉන්ධන සැපයීමේදී ඊයේ (11) පස්වරු 6 ට පමණ ඇති වූ මෙම සිද්ධිය පිලිබඳව සමුද්‍රීය පාරිසරික ආරක්ෂණ අධිකාරිය වෙත ද දැනුම් දී තිබෙනවා.

තෙල් කාන්දුව වැළැක්වීම සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර, හදිසි ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාවට නැංවීමෙන් එය පැතිරීම වළක්වා සමුද්‍ර දූෂණය අවම කිරීමට පියවර ගැණුනා.

කෙසේ නමුත්, තෙල් පැල්ලම ඉවත් කිරීමේ මෙහෙයුම ඉදිරි දින කිහිපය තුල අවසන් කිරීමට හැකිවනු ඇතැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සේවා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි රවී ජයවික්‍රම මහතා කියා සිටියා.

******************************************

(12.07.2021 – 16:18 +0530 – hirunews.lk/sinhala)

ඇල්ල ප්‍රදේශයේ රාවණාඇල්ල දිය ඇල්ලට ඉහළින් ගල් තලාවක රාජකීය පෙනුමක් ඇති රූපයක් මතුවී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ එය ජන ප්‍රවාදයේ එන රාවණා රජුගේ අනුරුවක් විය හැකි බවටයි.

මේ රාවණාඇල්ල ආශ්‍රිත ප්‍රදේශයේ වෙළඳාමේ නිරත පුද්ගලයන් පැවසුවේ එය මෑතකදී සිට ප්‍රදර්ශනය වූ බවයි.

එම ස්ථානයේ දර්ශන සහ ප්‍රදේශවාසීන් පළකළ අදහස් පහතින් :

@@@@@@@@@@@@@@@

(12.07.2021 – 13:39 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූවන්ට සුවය ලැබී දින 14 කට පසුව කොරෝනා මර්දන එන්නත් ලබාගැනීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මේ අතර, අමෙරිකාවේ නිෂ්පාදිත තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (12) අළුයම දිවයිනට රැගෙන ආවා.

ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් අමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත ෆයිසර් කොරෝනා මර්දන එන්නත් තවත් මාත්‍රා 27,000 ක තොගයක් අද (12) අලු‍යම කටුනායක ගුවන් තොටුපලෙන් දිවයිනට රැගෙන එනු ලැබුවා.

අදාළ එන්නත් තොගය ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් කොළඹ මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන ආ අතර, මෙම එන්නත් තොගයත් සමඟ ශ්‍රී ලංකාවට මෙතෙක් රැගෙන ආ ෆයිසර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව 53,000 ක්.

මෙම එන්නත් තොගය මන්නාරම දිස්ත්‍රික්කයේ සිදුකෙරෙන එන්නත්කරණ කටයුතු සඳහා යොදවන බවයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ.

මෙරට කොරෝනා එන්නත්කරණ වැඩසටහනට අදාළව පුද්ගලයින් 225,877 දෙනෙකුට ඊයේ (11) දිනයේදී එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

මේ වනවිට කොරෝනා එන්නතක පළමු මාත්‍රාව ලබාගෙන ඇති මෙරට පුද්ගලයින් සංඛ්‍යාව හතලිස් ලක්ෂ නවදහස් හත්සිය හතළිහක් (40,09,740).

මේ අතර, කොළඹ අධ්‍යාපන කලාපයට අයත් සියළුම රජයේ පාසල් සහ පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා කොරෝනා මර්දන එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදීම නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී අද (12) පෙරවරුවේ ආරම්භ වුණා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා කියා සිටියේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත් අගෝස්තු මාසයේදී පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් වන පළමු (1) පියවර ගන්නා බවයි.

ගෙවුණු දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන් 1,492 ක් හඳුනාගනු ලැබුවා. ඒ සමඟ මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 274,538 ක්.

ඊයේ (11) හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම සංඛ්‍යාව ගාල්ල දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබූ අතර, එම සංඛ්‍යාව 239 ක් බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 211 දෙනෙකු, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 142 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 128 දෙනෙකු ඊයේ (11) හඳුනාගත් ආසාදිතයින් අතර වනවා.

එසේම, බූස්ස බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැඳවියන් 33 දෙනෙකුට සහ ගාල්ල බන්ධනාගාරයේ එක් (1) රැඳවියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ප්‍රකාශ කළා.

ඔවුන් ප්‍රතිකාර සඳහා මේ වනවිට යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර, නිරෝධායනය සම්බන්ධයෙන් නව චක්‍රලේකයක් නිකුත් කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියා.

+++++++++++++++++++++++

(12.07.2021 – 13:52 +0530 – hirunews.lk/sinhala)

කොළඹ අධ්‍යාපන කලාපයට අයත් සියළුම රජයේ පාසල් සහ පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා කොරෝනා මර්දන එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදීම නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී අද (12) පෙරවරුවේ ආරම්භ වුණා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කියා සිටියේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව අගෝස්තු මාසයේදී පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් වන පළමු (1) පියවර ගන්නා බවයි.

+++++++++++++++++++++++

(12.07.2021 – 14:11 +0530 – hirunews.lk/sinhala)

උද්ඝෝෂණවල නිරතවූවන් නිරෝධායනයට යැවීමේ සිදුවීම් සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළකළා.

+++++++++++++++++++++

(12.07.2021 – 14:36 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව ඩිජිටල් සංචාරකයින්ට හිතකර ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා දීර්ඝ කාලීන වීසා බලපත්‍ර කාණ්ඩයක් හඳුන්වා දීම සහ බදු සහන ලබා දීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබෙනවා.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් එය ඉදිරිපත් කර ඇති අතර මෙම ඩිජිටල් සංචාරකයින් මාස කිහිපයක්, අවුරුදු ගණනක් ආදි වශයෙන් රට අභ්‍යන්තරයේ රැඳී සිටීම නිසා ඉහළ විදේශ විනිමය ප්‍රමාණයක් රට තුල සංසරණය කරන බවයි සංචාරක අමාත්‍යංශය නිවේදනය කළේ.

ජීවනෝපාය සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිත කරමින් සංචාරකයින් ලෙස සැරිසරමින් ගත කරන පුද්ගලයින් ඩිජිටල් සංචාරකයින් ලෙස හැඳින්වෙනවා.

කොරෝනා තත්වය හේතුවෙන් ලොව පුරා ගොඩනැගෙන නව සංචාරක අංශයක් ලෙස ඩිජිටල් සංචාරක කර්මාන්තය හැඳින්වෙන බවයි සංචාරක අමාත්‍යංශය වැඩිදුරටත් නිවේදනය කළේ ෴

+++++++++++++++++++

(12.07.2021 – 14:49 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 1804 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 246,241 ක් දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ ෴

අද (12) පස්වරු 02:30 සිට ක්‍රියාත්මකවන පරිදි වැලිකඩ පොලිස් බල ප්‍රදේශයේ ඔබේසේකරපුර ග්‍රාම නිලධාරී වසම හුදෙකලා බවින් නිදහස් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා ෴

කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 30 ට වැඩි පුද්ගලයන්ගෙන් 60% කට වැඩි ප්‍රමාණයකට කොරෝනා එන්නත් ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා ෴

අද (12) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 920 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙතෙක් හමු වූ මුළු ආසාදිතයින් ගණන 275,458 ක් වනවා ෴

+++++++++++++++++++++++

(12.07.2021 – 15:13 +0530 – hirunews.lk/sinhala)

සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයෙන් රැකවරණයක් ලැබීම සඳහා එන්නත් ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සිනොවැක් සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිශ්‍ර කිරීමට තායිලන්තය සැලසුම් කරනවා.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (12) ප්‍රකාශ කළේ චීනයේ නිෂ්පාදිත සිනොවැක් පළමු (1) එන්නත් මාත්‍රාව ලබා ගත් අය සඳහා දෙවන (2) මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමට අදහස් කරන බවයි.

එමගින් ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයට එරෙහිව වැඩි ආරක්ෂාවක් ගොඩනැංවිය හැකි වනු ඇතැයි තායිලන්ත සෞඛ්‍ය අමාත්‍ය අනුටින් චාන්විර්කුල් ප්‍රකාශ කළා.

එය ක්‍රියාවට නැංවුවහොත් චීන කොරෝනා එන්නතක් බටහිර නිෂ්පාදිත කොරෝනා එන්නතක් සමග මිශ්‍ර කරන ප්‍රථම අවස්ථාව වනු ඇති.

තායිලන්තයේ මෙන්ම අසල්වැසි ඉන්දුනීසියාවේ සිනොවැක් එන්නත ලබා දුන් සෞඛ්‍ය සේවකයන් විශාල පිරිසකට කොරෝනා ආසාදනය වීම මෙම පියවරට තවත් හේතුවක් ෴

+++++++++++++++++++

(12.07.2021 – 17:00 +0530 – hirunews.lk/sinhala)

පළාත් අතර පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

අත්‍යවශ්‍ය සේවා කටයුතු බාධාවකින් තොරව පවත්වා ගැනීමට මෙම තීරණය ගත් බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව එම සේවාවන් සඳහා පමණක් ලබන බදාදා (14) සිට පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක වනු ඇති.

කොරෝනා වසංගතය ව්‍යාප්තවීම හේතුවෙන්, පනවා තිබු පළාත් අතර සංචරණ සීමාව පසුගිය 10 වනදා තවත් දින 14 කින් දීර්ඝ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *