අම්මයි තාත්තයි එකතුවී පුතාව මරයි – දරු දෙදෙනා සමඟ බිරිඳ තනිවෙයි

අම්මයි තාත්තයි එකතුවී පුතාව මරයි – දරු දෙදෙනා සමඟ බිරිඳ තනිවෙයි

*********************************************

අම්මයි තාත්තයි එකතුවී පුතාව මරයි – දරු දෙදෙනා සමඟ බිරිඳ තනිවෙයි

(11.07.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala)

28 හැවිරිදි සිය පුතු ඝාතනය කළ මව සහ පියා ඇතුළු සිව්දෙනෙකු (4) හසලක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අවාසනාවන්ත සිදුවීම හේතුවෙන් මියගිය තරුණයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා (2) මේ වන විට පත්ව ඇත්තේ දැඩි අසරණ තත්ත්වයකටයි.

හසලක හතේ ඇල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ඒ.ජී.සුනිල් නිශ්ශංක අවුරුදු 3 ක් සහ සති තුනක් (3) වයසැති සිඟිති දියණියන් දෙදෙනෙකුගේ (2) පියෙක්.

ඔවුන් ජීවත්වුණේ සුනිල්ගේ දෙමාපියන්ට අයත් නිවසේ පිටුපස කුඩා කාමරයකයි.

ස්ථිර රැකියාවක් පවා නොමැති සුනිල් ජීවිකාව ගෙන ගොස් තිබුණේ කුලීවැඩ කරමින්.

පවුලේ ආරවුලක් දුරදිග යාමෙන් සුනිල්ගේ පියා සහ සුනිල්ගේ නැගණියගේ සැමියා පසුගිය අගහරුවාදා තම ස්වාමියාට පොලුවලින් පහර දුන් බවයි සුනිල්ගේ බිරිඳ සඳහන් කළේ.

ඇය පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව හසලක පොලිසිය පැමිණ සුනිල්ව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කළත් පසුගිය බ්‍රහස්පතින්දා සුනිල් මෙලොව හැර ගොස් තිබෙනවා.

සුනිල්ගේ මරණයෙන් පසු ඔහුගේ බිරිඳ මේ වන විට පත්ව ඇත්තේ දැඩි අසරණභාවයකටයි.

හලාවත ප්‍රදේශයේ තරුණියක් වන ඇය පවසන්නේ තම පවුලේ සහෝදර සහෝදරියන් කිසිවෙකුත් නොමැතිබවයි.

ඇගේ මව ද අංශබාග රෝගයෙන් පෙළෙනවා.

මියගිය සුනිල්ගේ දේහය නිවසට රැගෙන ආවත් එය තැන්පත් කෙරුණේ ගම්මානයේ ප්‍රජා ශාලාවකයි.

මේ අතර ප්‍රදේශවාසීන් මෙම සිද්ධියට විරෝධය පළකරමින් හසලක ප්‍රජා ශාලාව ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වුණා.

මෙම ආරවුලට මුල් වී ඇත්තේ සුනිල් විසින් ජීවත් වීම සදහා තම මව්පියන්ට අයත් නිවස තුළ කාමරයක් ඉල්ලා සිටීමේ සිදුවීමක් බවත් වාර්තා වනවා.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

මිය ගිය සුනිල්ගේ මව, පියා සහ නැගණිය සහ ඇගේ ස්වාමිපුරුෂයා හසලක පොලිසිය විසින් අත්ඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

+++++++++

******************************************

(11.07.2021 – 13:30 +0530 – hirunews.lk/sinhala)

නිරිතදිග මෝසම් තත්වයත් සමඟ දැනට දිවයිනට බලපා ඇති වැසි තත්වයේ අඩුවීමක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර ඌව පරණගම ප්‍රදේශයට සහ පැල්මඩුල්ල ප්‍රදේශයට වැසි සමඟ ඇතිවූ තද සුළං හේතුවෙන් නිවාස රැසකට හානි සිදුව ඇති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ සුළං සහ වැසි තත්වය හේතුවෙන් නිවාස 150 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති බවයි.

එමෙන්ම අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් දෙදෙනෙකුද (2) මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය දෙදින (2) තුළ ඇතිවූ වර්ෂාවත් සමඟ ඇතිවූ තද සුළං සහිත තත්වය හේතුවෙන් මාර්ග රැසකට ගස් කඩාවැටීම් සිදුවූ අතර, විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 4 කට වැඩි පිරිසකට බලපෑම් එල්ලවූයේ රැහැන් මතට ගස් කඩාවැටීම හේතුවෙන්.

මේ වනවිට ඉන් 340,000 කට වැඩි පිරිසකට විදුලිය සැපයුම යථා තත්වයට පත් කර ඇති බවයි විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ.

කල්පිටිය ධීවර වරායෙන් පසුගිය හයවනදා මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රා 4 ක් පැවති අධික සුළං තත්වය හේතුවෙන් අනතුරට පත්ව තිබෙනවා.

එමෙන්ම හලාවත ප්‍රදේශයෙන් ද මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අනතුරට ලක්ව තිබූ අතර, එය යළි ගොඩබිමට රැගෙන ඒමට ප්‍රදේශවාසීන් සහ ධීවරයින් කටයුතු කළා.

මේ අතර වර්ෂාවත් සමඟ ඉහළ ගිය කැළණි, ගිං සහ නිල්වලා ගංඟාවල ජල මට්ටම් මේ වනවිට පහළ බසිමින් පවතිනවා.

කෙසේ වෙතත් කළු ගඟේ අතු ගංඟාවක් වන කුඩාගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් එහි පහත් බිම් තවදුරටත් ජලයෙන් යටවී පවතින බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ.

කුකුළේගඟ, ලක්ෂපාන, මාවුස්සාකැලේ යන ජලාශවල වාන් දොරටු මේ වන විට විවෘත කර ඇති අතර කාසල්රි ජලාශය වාන් මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ, ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර මහතා සඳහන් කළා.

******************************************

‘ගල්කිස්සේ දැරිය අපයෝජන සිද්ධිය’ට හිටපු බැංකු කළමනාකරුවෙකු සහ පොලිස් නිළධාරියෙකු අත්අඩංගුවට

(11.07.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාලය ඔස්සේ ගල්කිස්සේ 15 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළව හිටපු බැංකු කළමනාකරුවෙකු සහ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ දුරකථන දත්ත ඔස්සේ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර 15 හැවිරිදි දැරිය අපයෝජන සිද්ධියට අදාළව පසුගියදා තවත් පුද්ගලයෙකු ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා

මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු තමන් ගායකයෙකු සහ නළුවෙකු බවටයි පොලීසියට හඳුන්වාදී තිබුනා.

15 හැවිරිදි බාල වයස්කාර දැරිය දූෂණය කළ බවට මීට පෙර අත්අඩංගුවට ගත් විශේෂඥ වෛද්‍යවරයා, මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා, ඇතුළු 4 දෙනෙකු දැඩි ඇප කොන්දේසි මුදා හැරුණා.

සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ව හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර, එහිදී දැරිය විසින් සැකකරුවන්ව හඳුනා ගත්තා.

රුපියල් 25,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත සැකකරුවන් මුදා හරිමින් අතිරේක මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ සිදුකර ඇති විමර්ශන අවසන් කර ඇති බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීම යුක්තිසහගත නොවන බවයි.

කෙසේ වෙතත්, පරීක්ෂණවලට මැදිහත් වීමෙන් හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස සැකකරුවන්ට අවවාද කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය, එවැනි ක්‍රියාවක නිරත වූ බවට පැමිණිල්ලක් ලැබුණහොත් ඇප අවලංගු කොට නඩුව අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බව දැනුම් දුන්නා.

හඳුනාගැනීමේ පෙරට්ටුවේදී අගතියට පත් දැරිය සැකකරුවන්ව හදුනා ගැනීමෙන් පසු මහේස්ත්‍රාත්වරිය නිවේදනය කළේ දැරිය විසින් සැකකරුවන් 4 දෙනා පහසුවෙන් හා විස්තරාත්මකව හඳුනා ගත් බවයි.

එහෙත් මෙම කිසිදු සැකකරුවෙකු අදාළ දැරිය සමග ලිංගික ක්‍රියාවේ යෙදීමේදී ඇයගේ වයස පිළිබදව විමසීමක් කර නොමැති බව ද අතිරේක මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා.

මෙම ජාවාරමට සම්බන්ධ රජිව් නැමති ප්‍රධාන සැකකරු තමාව විවිධ පුද්ගලයින්ට ලිංගික කටයුතුවල යෙදවීම සඳහා අලෙවි කළ බවත් එසේ කිරීමේදී තමන් 18 හෝ 19 වන වියේ පසුවන බවට ඔහු විසින් අඟවා සිටි බවත් දැරිය හදුනා ගැනීමේ පෙරට්ටුවේදී සදහන් කළ බව අතිරේක මහේස්ත්‍රාත්වරිය කියා සිටියා.

මේ අතර, දැරිය ලිංගික කටයුතු සඳහා යොදාගත් බම්බලපිටිය – මිලාගිරිය පාරේ පිහිටි හෝටලයක කළමනාකරුවෙකු සහ පිළිගැනීමේ නිලධාරියෙකුද අත්අඩංගුවට ගෙන අද (11) දින අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඔවුන් මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර, එදිනට ඔවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහාද යොමු කිරීමට නියෝග කෙරුණා.

එසේම 15 හැවිරිදි දැරිය අලෙවි කිරීම සඳහා දැන්වීම් පළ කිරීම හේතුවෙන්අ ත්අඩංගුවට ගත් වෙබ් අඩවියක හිමිකරුවා මේ මස 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ෴

(11.07.2021 – 15:56 +0530 – hirunews.lk/sinhala)

15 හැවිරිදි බාල වයස්කාර දැරිය අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු රාජ්‍ය බැංකුවක හිටපු බැංකු කළමනාකාරවරයා සහ උප පොලිස් පරීක්ෂකවරයා ලබන 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔවුන් අද (11) කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේයි.

මෙම සැකකරුවන් දෙදෙනා (2) ළමා හා කාන්තා කාර්යාංශය විසින් අද (11) අත්අඩංගුවට ගනු ලැබුවේ දැරියගේ ජංගම දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේදී ලද තොරතුරුවලට අනුවයි.

අත්අඩංගුවට ගත් හිටපු බැංකු කළමණාකාරවරයා රත්මලාන ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, උප පොලිස් පරීක්ෂකවරයා පොලිස් ක්‍රීඩා කොට්ඨාශයට අනුයුක්ත අයෙකු වනවා.

අන්තර්ජාලය ඔස්සේ වයස අවුරුදු 15 ක බාලවයස්කාර දැරියක් අලෙවි වන බවට ලද තොරතුරක් මත ගල්කිස්ස පොලීසිය පසුගිය මස 18 වනදා විමර්ශනයක් ආරම්භ කළා.ඒ අනුව මෙම සිද්ධියට පුද්ගලයින් 40 දෙනෙකු පමණ මේ දක්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට දැරියගේ මව, වෙබ් අඩවි පවත්වාගෙන ගිය පුද්ගලයින් කිහිප දෙනෙකු ද අයත්.

එමෙන්ම මාලදිවයිනේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු, මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා, නාවික හමුදාවේ විශේෂඥ වෛද්‍යවරයකු සහ මැණික් ව්‍යාපාරිකයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට පත්වුණා.

ළමාරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සඳහන් කළේ රෝහලක් තුළ මේ වනවිට ප්‍රතිකාර ලබන දැරියට කායික ප්‍රතිකාරවලට අමතරව මානසික ප්‍රතිකාර ලබාදීමට සිදුව ඇති බවයි.

++++++++++++

BIG FOCUS : ඉහළ යන ළමා අපයෝජන හමුවේ ගතයුතු පියවර (08.07.2021)

******************************************

(11.07.2021 – 13:51 +0530 – hirunews.lk/sinhala)

2021 සහ 2022 වසර සඳහා එප්පාවල පොස්පේට් සමාගමේ පොහොර ඇසිරීම සඳහා යොදා ගන්නා බෑග් ලබා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී රුපියල් කෝටි 2 ක පමණ වංචාවක් සිදුව ඇති බවට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය චෝදනා කරනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ලිපියක් යොමු කරමින් ඔවුන් ඉල්ලා ඇත්තේ කඩිනමින් ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන ලෙසටයි.

වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ බෑගයක් මිලදී ගැනීම සඳහා ආයතන තුනක් (3) මිලක් ගණන් ඉදිරිපත් කර ඇතත් අවම මිලක් ඉදිරිපත් කළ සමාගමට එය ලබා නොදීමෙන් මෙම පාඩුව සිදුවූ බවයි.

ඔවුන් පවසන පරිදි මෙම ටෙන්ඩරය ලබාදී ඇත්තේ ලංකා පොලිසැක් ආයතනයටයි.

බෑග් ලක්ෂ 11 ක් මිලදී ගැනීමට ලංකා පොස්පේට් සමාගම මෙම ටෙන්ඩරය ලබා දී ඇති බවද වාර්තා වනවා.

මීට පෙර එප්පාවල පොස්පේට් සමාගම අමාත්‍ය විමල් වීරවංශ මහතා යටතේ පාලනය වූ අතර, පසුගිය දා එය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ විෂය පථයට යටත් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කළා ෴

******************************************

(11.07.2021 – 13:55 +0530 – hirunews.lk/sinhala)

මාතලේ දිස්ත්‍රික්කයේ කැකිරි සහ වී වගා කරන ගොවීන්ගේ වගා භූමිවලට වන අලි පැමිණීම හේතුවෙන් ඔවුන් දැඩි අසීරුතාවකට මුහුණ දී සිටනවා.

පෙරේදා (09) දිනයේදී තලයාය – කැන්දගොල්ල කුඹුරු යායට වන අලි පැමිණ වගා රැසක් හානි කර තිබුණා.

පොහොර හිඟය මෙන්ම වල් නාශක හිඟය පවතින මොහොතක තමන් වන අලි තර්ජනයෙන් ද බැට කන බවටයි ගොවීන් ප්‍රකාශ කළේ ෴

******************************************

(11.07.2021 – 14:05 +0530 – hirunews.lk/sinhala)

මුතුරාජවෙල තෙත් බිමට අයත් අක්කර 100 ක ඉදිකිරීමට නියමිත විදුලි බලාගාර ව්‍යාපෘතියට විරෝධය පලකරමින් කතෝලික මීසම් 17 ක අද (11) පෙරවරුවේ විරෝධතා පැවත්වුනා.

තෙත්බිම ගොඩකිරීමෙන් දැවැන්ත පරිසර හානියක් සිදුවන බවයි විරෝධතාකරුවන් පෙන්වා දුන්නේ.

වත්තල, බෝපිටිය, උස්වැටකෙයියාව, පුබුදුගම, දුන්ගල්පිටිය ඇතුලු කතෝලික මීසම් 17 ක සිදු කෙරුණු මෙම විරෝධතාවට එම ප්‍රදේශවල ජනතාවද එක්ව සිටි බව අප වාර්තාකරු කියා සිටියා.

ඔවුන් නිරෝධායන නීති කඩ නොකරමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඊට එක්ව සිටියා.

++++++++++++

******************************************

(11.07.2021 – 14:10 +0530 – hirunews.lk/sinhala)

දෙපාර්ශවයක් අතර පැවති ආරවුලක් හේතුවෙන් සෙවනගල ප්‍රදේශයේ අක්කර දෙකක (2) වගා කර තිබූ රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා කෙසෙල් වගාවක් විනාශ කර තිබෙනවා.

වසර 10 ක කාලයක් කෙසෙල් වගා කරමින් ජීවිකාව සවි කර ගත් පුද්ගලයෙකු බදු පදනම මත අදාළ ඉඩමේ වගා කටයුතු සිදුකර තිබුණා.

මීට වසර දෙකකට (2) පමණ පෙර පටක රෝපණ ක්‍රමයට කෙසෙල් වගා කිරීම මොහු විසින් ආරම්භ කර ඇති අතර, අස්වනු නෙලීමට සූදානමින් සිටියදී කිසියම් පුද්ගලයෙකු විසින් තම වගාව විනාශ කර ඇති බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් අප සෙවනගල පොලීසියෙන් විමසීමක් කළ අතර එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

******************************************

(11.07.2021 – 14:17 +0530 – hirunews.lk/sinhala)

මිරිහාන – තලපත්පිටිය ප්‍රදේශයේ නිවසක උඩුමහලේ පවත්වාගෙන ගිය ගංජා වගාවක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය අද (11) අලුයම කටයුතු කර තිබෙනවා.

එහිදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර, ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කොට දයා’ගේ ගෝලයෙකු වන ‘වෙඩිපිටියේ සුගත්’ ලෙස හඳුන්වන බවයි පොලීසිය සඳහන් කළේ.

වැටලීමේදී ගංජා පැළ රාශියක්ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා ෴

******************************************

(11.07.2021 – 15:11 +0530 – hirunews.lk/sinhala)

පළාත් කිහිපයකට අද (11) දිනයේත් පැයට කිලෝමීටර 60 ත් 70 ත් අතර ඉතා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් මෙලෙස ඉතා තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර පුත්තලම සිට කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60-70 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතිනවා.

ඒ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාවට අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

******************************************

(11.07.2021 – 16:07 +0530 – hirunews.lk/sinhala)

වෘත්තීය සමිති සමඟ සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතිකර ගත් එකඟතා නොසලකා හැරියහොත් ලබන බදාදා (14) යළි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසනවා.

පරිපූරක වෛද්‍ය සේවාවේ සහ අතුරු වෛද්‍ය සේවාවේ උසස්වීම් හා මාණ්ඩලික තත්ත්වයට අදාළ ඉල්ලීම් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පසුගිය 6 වන දා සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ පැවති සාකච්ඡාවේදී එකඟ වී තිබුණා.

කෙසේ වෙතත්, මේ දක්වා ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ නිසි සැලැස්මක් නොමැති බැවින් ලබන 12 වන දා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට තම ඉල්ලීම් ඉදිරිපත් නොකරන්නේ නම් ලබන බදාදා (14) සිට යළි වැඩ වර්ජනයකට අවතීර්ණ වන බවයි පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය නිවේදනය කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *