ක්‍රිකට් බලධාරීන් ජෛව ආරක්ෂිත බුබුළ බිඳී

ක්‍රිකට් බලධාරීන් ජෛව ආරක්ෂිත බුබුළ බිඳී

*********************************************

ක්‍රිකට් බලධාරීන් ජෛව ආරක්ෂිත බුබුළ බිඳී

(10.07.2021 – 20:19 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා A සහ නැගී එන ක්‍රිකට් සංචිත වල සිටින ක්‍රීඩකයින් 26 දෙනෙකු පසුගිය මස 25 වැනිදා සිට ජෛව ආරක්‍ෂිත බුබුළකට යටත්ව දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නේවාසික පුහුණු කඳවුරකට එක්ව සිටිනවා.

ඒ අතරතුර කොළඹදී පුහුණුවීම් ආරම්භ කළ ක්‍රීඩකයින් 13 දෙනා අතර සිටි සඳුන් වීරක්කොඩි, අසේල ගුණරත්න, චතුරංග ද සිල්වා, අශාන් ප්‍රියංජන්, භානුක රාජපක්ෂ සහ ඇන්ජලෝ පෙරේරා ඊයේ (09) දඹුල්ල බලා පිටවත්ව ගියේ, එළඹෙන ඉන්දීය ක්‍රිකට් තරගාවලියට පෙර සුදානමක් ලෙස පුහුණු තරග සඳහා එක්වන්නටයි.

ඒ කොළඹදී ඔවුන්ට සිදු කළ කොවිඩ් පරීක්ෂණ වලින් අනතුරුවයි.

අවසන් කොවිඩ් පරීක්ෂණයේ වාර්තා ලැබෙන්නටත් කලින් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරින්ගේ වුවමනාව මත මෙම ක්‍රීඩකයින් 6 දෙනා දඹුල්ලේ ජෛව ආරක්‍ෂිත බුබුළට ඇතුළත් කර තිබුණා.

අද (10) උදෑසන පුහුණු තරග ඉලක්ක කරගනිමින් කණ්ඩායම දඹුල්ල ක්‍රීඩාංගණය බලා පිටත්ව යන විට කොළඹින් පැමිණි ක්‍රීඩකයින් 5 දෙනෙකුගේ කොවිඩ් පරීක්ෂණ වාර්තා ලැබී තිබුණු අතර එහි සඳහන් වුනේ ඔවුන්ට කොවිඩ් ආසාදනය වී නොමැති බවයි.

සඳුන් වීරක්කොඩිගේ කොවිඩ් පරික්ෂණ වාර්තාව ඒ වනවිටත් ලැබී නොතිබුණු අතර සඳුන්ද පුහුණු තරගයට සහභාගී වීමට සෙසු ක්‍රීඩකයින් ද සමග දඹුලු ක්‍රීඩාංගනයේ ක්‍රීඩක විවේකාගාරයට පැමිණ සිටියා.

පුහුණු තරගයේ ආරම්භයට පෙර සඳුන් වීරක්කොඩිගේ කොවිඩ් පරීක්ෂණ වාර්තාව පැමිණි අතර එහි සඳහන් වුනේ ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවයි.

ඒ අනුව සඳුන් සමග සිටි සෙසු ක්‍රීඩකයින් සියලුදෙනාම පළමු (1) පෙළ ආශ්‍රිතයින් බවටත් වුනා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් පියවර ගත්තේ සඳුන් ඇතුළුව කොළඹින්, දඹුල්ල බලා පැමිණි ක්‍රීඩකයින් 5 දෙනා පමණක් නිරෝධායන සඳහා යොමු කර සෙසු ක්‍රීඩකයින් සුපුරුදු පරිදි පුහුණු තරගයට එක්කරන්නටයි.

ඒ රජයේ නිරෝධායන නීති රීති ද උල්ලංඝණය කරමින්.

ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළුව සියලුදෙනා අනතුරට ඇඳ දමමින් සියල්ලන්ගේම ඇස් වලට වැලි ගසා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කෙසේ හෝ ඉන්දීය තරගාවලිය පවත්වන්නට මේ සැරසෙන්නේ කුමන ප්‍රතිලාභයක් අපේක්ශාවෙන්ද …?

++++++++++++++++++

(11.07.2021 – 06:22 +0530 – hirunews.lk/sinhala)

එකවර මෙරටට රැගෙන එන වැඩිම එන්නත් තොගය වන මිලියන දෙකක (2) සයිනොෆාම් එන්නත් තොගයෙන්, මාත්‍රා මිලියනයක් (1) රැගත් පළමු ශ්‍රී ලංකන් ගුවන් යානය දිවයිනට පැමිණි බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

චීනයේ බිජිං නුවර සිට මෙම ගුවන් යානය මෙරටට පැමිණියා.

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් (1) රැගත් දෙවන (2) ගුවන් යානයද මීට සුළු වේලාවකට පෙර දිවයිනට පැමිණි බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා ෴

+++++++++++++++++++

(11.07.2021 – 06:31 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ගත වූ පැය 24 ක කාලය තුල පුද්ගයින් 214 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව මේ දක්වා කාලය තුල එම නීතිය උල්ලන්ඝයන කිරීම හේතුවෙන් පුද්ගලයින් 49,259 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

++++++++++++++++++++

(11.07.2021 – 06:54 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම පොලිස් බල ප්‍රදේශයේ පරගල ග්‍රාම නිලධාරී වසම අද (11) උදෑසන 6 සිට හුදෙකලා කර තිබෙනවා.

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ පොලිස් බල ප්‍රදේශයේ ආරාමය පෙදෙස 66 වත්ත, තලංගම පොලිස් බල ප්‍රදේශයේ තලාහේන – දකුණ සහ තලාහේන – උතුර ග්‍රාම නිලධාරී වසමේ ප්‍රදේශ 7 ක් හුදෙකලාභාවයෙන් ඉවත් කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

එමෙන්ම, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ කහංගම – කොස්ගලවත්ත ග්‍රාම නිලධාරී වසම හුදෙකලාභාවයෙන් ඉවත් කර තිබෙනවා.

අදාල ප්‍රදේශ පිළිබද විස්තර පහතින් :

+++++++++++++++++

(11.07.2021 – 08:17 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් හි නිරෝධායනය වෙමින් සිටින ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ඇතුලු පිරිස ඔවුන් රැඳී සිටින පරිශ්‍රය තුළ විරෝධතාවක නිරතවුණා.

ඒ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ඉවත් කරගන්නා ලෙස බල කරමින්.

අනතුරුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයේ සම්පත් උපයෝගී කරගනිමින් සකස් කළ විරෝධතා වැකි ලියූ පුවරු ප්‍රදර්ශනය කරමින් මාධ්‍ය හමුවක්ද කැඳවා තිබූ අතර, ඊට නිරෝධායනයේ නිරතවන ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ පූජ්‍ය ඥාණානන්ද හිමියන්, ජාතික භික්ෂු පෙරමුණේ මාධ්‍ය ලේකම් පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමියන්, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ද එක්වුණා.

පාර්ලිමේන්තු වටරවුමේදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පසුගියදා විරෝධතාවයේ නිරත වූ බවට පවසමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ඇතුලු 31 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ට ඇප හිමිවීමෙන් පසු ඉන් 16 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමටයි පොලිසිය කටයුතු කළේ ෴

+++++++++++++++++++

(11.07.2021 – 08:34 +0530 – hirunews.lk/sinhala)

එක් වාරයකදී මෙරටට ලැබුණු වැඩිම එන්නත් තොගය අද (11) අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.

ඒ අනුව සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ විස්සෙන් (20) ලක්ෂ 10 ක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 869 දරණ පළමු (1) ගුවන් යානය අලුයම 05:10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

අද (11) දිනයේ මෙරටට සයිනොෆාම් එන්නත් ලක්ෂ 20 ක් රැගෙන ඒමට නියමිතයි.

මෙහි දෙවන (2) තොගය අද (11) උදෑසන 6 යි 40 ට දිවයිනට රැගෙන ඒමට නියමිතයි.

අද (11) ලැබුණු මෙම එන්නත් තොගය මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පළමු (1) මාත්‍රාව නොලැබුණු අයට ලබාදීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ.

මේ අතර කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් මාත්‍රා දෙකම (2) ලබාගත් මෙරට ජනතාව වෙනුවෙන් අන්තර්ජාතික වශයෙන් පිළිගන්නා කොවිඩ් එන්නත්කරණ ඩිජිටල් කාඩ්පත හඳුන්වාදීම ඊයේ (10) සිදු කෙරුණා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරුණු බවයි තරුණා හා ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව එහි පළමු (1) අදියර වශයෙන් මේ මස ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙල සඳහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ ලේකම් කපිල ජීවන්ත මහතා වෙත පළමු කොවිඩ් එන්නත්කරණ ඩිජිටල් කාඩ්පත ලබාදීම සිදු කෙරුණා.

මෙම කොවිඩ් එන්නත්කරණ ඩිජිටල් කාඩ්පත සඳහා වූ අයදුම්පත්‍රය එන්නත් මාත්‍රා දෙකම (2) ලබාගත් සියලුම ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් බාගත කිරීමේ හැකියාව පවතිනවා.

ඊට එන්නත් ලබාගත් පුද්ගලයාගේ නම වයස, හැඳුනුම්පත් අංකය, එන්නත ලබාගත් දිනය, ලබාගත් එන්නත් වර්ගය සහ කාණ්ඩ අංකයද ඇතුලත් බවයි තරුණා හා ක්‍රීඩා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඊයේ (10) මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 1548 වාර්තාවීමත් සමඟ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව ද 273,031 දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින් අතර විදේශයන් හි සිට පැමිණි 33 ද වනවා.

+++++++++++++++++++++

(11.07.2021 – 11:07 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ ඊයේ (10) පුද්ගලයින් 175,824 කට එන්නත් ලබාදී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 132,510 කට ලබාදී ඇති අතර, දෙවන (2) මාත්‍රාව 34,555 කට ඊයේ (10) දිනය තුළ ලබාදී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ.

කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව ද පුද්ගලයින් 1145 දෙනෙකුට ලබාදී ඇති අතර, ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 7614 කට ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර, අද (11) දිනයේ මෙරටට ලැබුණු සයිනොෆාම් එන්නත් ලක්ෂ 20 දිස්ත්‍රික්ක 12 කට බෙදාදීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයට ලක්ෂ 5 ක්, කළුතර දිස්ත්‍රික්කයට ලක්ෂ 3 ක්, කොළඹ දිස්ත්‍රික්කයට සහ කුරුණෑගල දිස්ත්‍රික්කයට ලක්ෂ 2 බැගින් මෙන්ම ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුරය, නුවරඑළිය, රත්නපුරය, බදුල්ල හා මාතලේ දිස්ත්‍රික්කවලට එන්නත් ලක්ෂය (1) බැගින් ලබාදීමටයි කටයුතු කර ඇත්තේ ෴

@@@@@@@@@@@@@@

ඒ නිළියො දෙන්නම මං ළඟට ආවෙ මැරෙනකං බලාගන්නම් කියලා; ඒත් අන්තිමේදී මාව මැරෙනකං එයාලා බලන් හිටියා – සනත් ගුණතිලක (09.07.2021)

******************************************

(11.07.2021 – 06:07 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර, වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වාත් උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට පැයට කිලෝමීටර 50 දක්වා තද සුළං ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, සුළු ගංවතුර තත්ත්වයක් පැවති කළු, කැළණි, ගිං සහ නිල්වලා ගංඟාවල අවධානම් මට්ටම මේ වනවිට පහවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම, ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් ජනතාවට සහන සැළසීම සඳහා කළුතර, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් වෙත නාවික හමුදා සහන කණ්ඩායම් අටක් (8) යොමුකර තිබෙනවා.

නාවික හමුදාව නිවේදනය කළේ ඊට අමතරව තවත් නාවික හමුදා සහන කණ්ඩායම් 37 ක් සූදානමින් පසුවන බවයි.

මේ අතර, කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත්කළ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මකයි ෴

******************************************

(11.07.2021 – 06:43 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයින් විදෙස්ගත කරන බව පවසනමින් මුදල් වංචා කළ කාන්තාවක් නවගමුව පොලිසිය විසින් කොරතොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 49 හැවිරිදි වියේ පසුවන දෙහිඕවිට ප්‍රදේශයේ ස්ථිර පදිංචිකාරිනියක් බවයි පොලිසිය සඳහන් කළේ.

අදාල කාන්තාව දිවයින්නේ විවිධ ප්‍රදේශ වලට ගොස් ජපන් රටට පුද්ගලයින් යවන බව පවසමින් ඔවුන්ගෙන් විශාල වශයෙන් මුදල් වංචා කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

නවගමුව පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පසුව සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ අදාල කාන්තාවට දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි අධිකරණවල නඩු 32 ක් සහ වරෙන්තු 17 ක් ඇති බවටයි.

සැකකාර කාන්තාව අද (11) දිනයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

(11.07.2021 – 07:19 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාළඹේ – සුසිලාරාම පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී ජංගම දුරකථන දෙකක් (2) සහ විද්‍යුත් තරාදියක් සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

මේ අතර, අම්බලන්තොට – තණලන්ද මාර්ගයේ දී අයිස් මිලිග්‍රෑම් 12 කට ආසන්න ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අම්බන්තොට පොලීසිය වෙත භාර දී තිබෙනවා ෴

******************************************

(11.07.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala)

කප්පම්කරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ළමා හා කාන්තාවන්ට හිරිහැර කරන්නන් හඹා ගොස් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ කණ්ඩායමක් යොදවා තිබෙනවා ෴

******************************************

(11.07.2021 – 08:14 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පවතින මතභේදාත්මක තත්ත්වය පිළිබද සාකච්ජා කිරිම සදහා ජනාධිපතිවරයා හමුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ නිදහස් පක්ෂ නායකයින් අතර තීරණාත්මක හමුවක් එළෙඹෙන 21 වනදා පැවත්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පසුගියදා මතභේදාත්මක ප්‍රකාශයක් සිදුකළා.

එවන් තත්ත්වයක් හමුවේයි මෙම සාකච්ජාව පැවැත්වෙන්නේ.

මේ අතර, 2025 වසරේදී නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණින් කටයුතු කරමින් සිටින බව එම පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කළා. ඒ, මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කෙසේ වෙතත්, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මහනුවරදී අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත්ව ගියද ආණ්ඩුවේ සංයුතියට කිසිදු බලපෑමක් සිදු නොවන බවයි.

එහෙත් තම පක්ෂය සමග එකමුතුව කටයුතු කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යුතුකම බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ ෴

******************************************

(11.07.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම පෙරහැර ඊයේ (10) වීථි සංචාරය කෙරුණා.

ඒ රාත්‍රී අටට (08:00) යෙදුණු සුබ මොහොතින්. වාසනා හස්ති රාජයා මත කතරගම දෙවියන්ගේ දේවාභරණ තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහර මංගල්‍යය ආරම්භ කෙරුණු බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටවී ප්‍රධාන වීථිය ඔස්සේ පෙරහර ගමන් ආරම්භ කෙරුණා.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙවරත් ජන සහභාගිත්වයකින් තොරවයි පෙරහර මංගල්‍යය සිදු කෙරුණේ.

කතරගම මහ පෙරහරේ අවසන් මහා රන්දෝලි පෙරහර එළඹෙන 23 වනදා වීථි සංචාරය කිරීමට නියමිතයි.

ඊයේ (10) දින ප්‍රථම පෙරහර නැරඹීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියා ෴

******************************************

(11.07.2021 – 10:18 +0530 – hirunews.lk/sinhala)

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉහළ කොත්මලේ සහ මාවුස්සාකැළේ ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙනවා.

ඒ අනුව මාවුස්සාකැළේ ජලාශයේ වාන් දොරටු 2 ක් අඩි එක හමාර (1½) බැගින් විවෘත කර ඇති අතර ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් ස්වයංක්‍රීයව විවෘත කර ඇති බවයි ජලාශය භාර ඉංජිනේරුවන් සඳහන් කළේ.

ජාතික විදුලිබල පද්ධතියට අයත් ලක්ෂණපාන ජල විදුලි බලාගාර සංකීර්ණය යටතේ ඇති මාවුස්සාකැළේ ජලාශය අක්කර අඩි 95,400 කින් යුක්ත වනවා ෴

******************************************

(11.07.2021 – 10:23 +0530 – hirunews.lk/sinhala)

භාවිතයෙන් ඉවතලන බෝල්පොයින්ට් පෑන් හා දත් බුරුසු එක්රැස් කිරීමේ වැඩපිළිවෙලක් දිවයිනේ පාසල් පද්ධතිය හරහා ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශයේ අවදානය යොමුව තිබෙනවා.

දත් බුරුසු සහ බෝල්පොයින්ට් පෑන් දිරිපත් වීමට වසර 400 ක් පමණ ගත වන බැවින් ඒවා පරිසයට මුදා හැරීමකින් තොරව ප්‍රතිචක්‍රීකරණය කිරීමටයි එම අමාත්‍යාංශය සැලසුම් කර ඇත්තේ.

ඒවා එක්රැස් කිරීමට විශේෂ බහාලුමක් ද පරිසර අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබෙනවා ෴

******************************************

(11.07.2021 – 11:13 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බහුදින යාත්‍රා දෙකකට (2) බලපෑම් සිදුව ඇති බව ජාතික ධීවර එකමුතුව ප්‍රකාශ කළා.

කල්පිටිය ධීවර වරායෙන් පසුගිය 6 වන දා පිටත්ව ගොස් ඇති එක් යාත්‍රාවක් ඊයේ (10) මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, එම අවස්ථාවේ එහි සිටි ධීවරයින් 5 දෙනෙකු මුහුදට පැන තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ ආසන්නයේ ගමන් කළ තවත් යාත්‍රාවක සිටි ධීවරයින් පිරිසක් ඔවුන් බේරාගෙන ඇති බවයි ජාතික ධීවර එකමුතුව සඳහන් කළේ.

එසේම හලාවත ධීවර වරායට පැමිණි යාත්‍රාවක් ද දැදුරුඔය මෝයේදී අනතුරට ලක්වී තිබෙනවා.

එම යාත්‍රාවේ ද ධීවරයින් 5 දෙනෙකු සිට ඇති අතර තවත් යාත්‍රාවක සිටි පිරිසක් ඔවුන් බේරාගෙන තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *