සිරුරේ ප්‍රතිශක්තිය ඉහල නංවන හෙළ වෙද ඔසුවක් පේරාදෙණිය සරසවියෙන් : ප්‍රාණ

සිරුරේ ප්‍රතිශක්තිය ඉහල නංවන හෙළ වෙද ඔසුවක් පේරාදෙණිය සරසවියෙන් : ප්‍රාණ

*********************************************

සිරුරේ ප්‍රතිශක්තිය ඉහල නංවන හෙළ වෙද ඔසුවක් පේරාදෙණිය සරසවියෙන් : ප්‍රාණ

(10.07.2021 – 22:29 +0530 – hirunews.lk/sinhala)

වෛරස් ආසාදන සඳහා මුහුණදිය හැකි ලෙස සිරුරේ ප්‍රතිශක්තිය ඉහල නංවන මෙරට නිෂ්පාදිත හෙළ වෙද ඔසුවක් (ප්‍රාණ) හඳුන්වාදීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු විද්‍යා පීඨයේ අද (10) සිදුකෙරුණා.

‘ප්‍රාණ’ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා :

++++++

• ප්‍රාණ ඖෂධය Online Order කිරීමට www.Praana.lk වෙබ් අඩවියට දැන්ම පිවිසෙන්න
• FB : https://www.facebook.com/praanasrilanka/
• ප්‍රාණ ඖෂධය නිවසටම ගෙන්වා ගැනීමට 077 200 7566 අමතන්න

++++++++++++++++++++++

(10.07.2021 – 18:06 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිත මරණ 33 ක් වාර්තාවී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඊයේ (09) දිනයේ මෙම මරණ සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත්තේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3,467 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

මේ අතර අද (10) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 919 ක් වාර්තා වී තිබෙනවා.

තවත් කොරෝනා ආසාදිතයින් 1,804 දෙනෙකු රෝහල් වලින් සුවය ලබා පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 242,839 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා ෴

තවත් කොරෝනා ආසාදිතයන් 596 ක් තහවුරු වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ අද (10) දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 1515 ක් දක්වා ඉහළගොස් තිබෙනවා ෴

+++++++++++++++++++

(10.07.2021 – 19:53 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායනය, සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ගයක් වන බැවින් එය දඬුවමක් හෝ රැදවුම් මාර්ගයක් ලෙස භාවිතා නොකළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙනවා.

ඒ, එම සංගමය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හා පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින්.

නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා සහ එහි ලේකම් රජිව් අමරසුරිය මහතාගේ අත්සනින් යුතුව අද (10) යැවූ ලිපියේ දක්වා ඇත්තේ ‘කොවිඩ් නයින්ටීන්’ සෞඛ්‍ය රෙගුලාසි උල්ලංගණය කරන බව පවසමින් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම හා රඳවා තැබීම සම්බන්ධයෙන් සිය සංගමය අවධානයෙන් පසුවන බවයි.

මෑතකාලීනව නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ මගින් මහජන විරෝධතා හෝ එළිමහන් රැස්වීම් තහනම් ක්‍රියා ලෙස නම් කර නොමැති බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙනවා.

ඕනෑම සංවිධානයක් උද්ඝෝෂණ කළ යුත්තේ සෞඛ්‍යයට තර්ජනයක් නොවන අන්දමින් බවට නීතිඥ සංගමය දැඩි ලෙස විශ්වාස කරනවා.

එහෙත් කලින් පනවා තිබූ සීමා කිරීම් ලිහිල් කිරීම යෝග්‍ය බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර ඇති තත්ත්වයක් තුළ පොලීසියට විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා දැඩි බලයක් යොදවමින් ක්‍රියා කිරීමට සාධාරණ හේතුවක් ඇතැයි විශ්වාස නොකරන බවයි නීතිඥ සංගමය කියා සිටියේ.

ඇප මත නිදහස් වූ පුද්ගලයින් ඔවුන්ගේ කැමැත්තකින් තොරව අධිකරණ භූමියේ සිට නිරෝධායනය සඳහා රැගෙන යාමට තීරණය කර ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැනි සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත බවට වන සාක්ෂි ඉතා අඩු බව ද නීතිඥ සංගමය ප්‍රකාශ කළා.

කොරෝනා සම්බන්ධයෙන් පසුගිය වසරේ ඔක්තෝම්බර් 15 වන දා සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ රෙගුලාසි පිළිබද අවදානය යොමු කරමින් නීතිඥ සංගමය සදහන් කළේ ඇප මත නිදහස් කරන පුද්ගලයන් බලහත්කාරයෙන් නිරෝධායන මධ්‍යස්ථානවල රැදවීමේ ක්‍රියාකාරකම් බලහත්කාරී සහ නීතිවිරෝධී බවයි.

එය, එම පුද්ගලයින් ඇප මත නිදහස් කළ අධිකරණයට කරනු ලබන අපහාසයක් බව ද නීතිඥ සංගමය නිකුත් කරන නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

පසුගිය දා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇප නියම වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශ්ෆ් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් නිරෝධායනය සඳහා යොමු කිරීමට පොලීසිය පියවර ගත් අතර, මුලතිව් නිරෝධායන කදවුරක රැදී සිටින ඔවුන් ප්‍රකාශ කළේ තමන්ට අවම පහසුකම් හෝ සපයා ගැනීමට අවස්ථාවක් හිමි නොවූ බවයි.

@@@@@@@@@@@@@@@

(10.07.2021 – 19:33 +0530 – hirunews.lk/sinhala)

ද්විත්ව පුරවැසි භාවය හිමි පුද්ගලයින්ට පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථාව ලබා නොදිය යුතු බවට වන තම මතයේ වෙනසක් සිදුවී නොමැති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

පොල්පැල ලක්ෂ 40 ක් සිටුවීමේ ජාතික වැඩසටහනට සමගාමීව පොල්පැල බෙදාදීම සඳහා කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද (10) පැවති උත්සවයකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද පොල්පැල ලක්ෂ 40 ක් සිටුවීමේ ජාතික වැඩසටහනට සමගාමීව පොළොන්නරුවේ පිහිටි සිය නිවසේදී පොල් පැල රෝපණයට එක්වුණා.

අමාත්‍ය බැසිල් රාජපක්ෂ යළි පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳව හිටපු ජනාධිපතිවරයාගෙන්ද මාධ්‍යවේදින් කරුණු විමසුවා.

එහිදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ රටට සහ ආර්ථිකයට යහපතක් වනවා නම් කිසිදු ගැටළුවක් නොවන බවයි.

******************************************

අයහපත් කාලගුණයෙන් දෙදෙනෙකු (2) මරුට අද (10) රාත්‍රියේදීත් ප්‍රදේශ රැසකට සුළං සමඟ තද වැසි

(10.07.2021 – 19:47 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් දෙදෙනෙකු (2) මියගොස් දෙදෙනෙකු (2) තුවාල ලබා තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (10) රාත්‍රියේදීත් ප්‍රදේශ රැසකට මිලිමිටර 100 ඉක්මවු වැසි ඇතිවිය හැකි බවයි.

ගතවූ පැය විසි හතරේ (24) වැඩිම වර්ෂාපතනය නුවරඑළිය – කළුගලින් වාර්තාවී ඇති අතර, එය මිලිමීටර 212.5 ක්.

ගාල්ල – නෙළුව ප්‍රදේශයට මිලිමීටර 198 ක වර්ෂාපතනයක් ඇද හැලී ඇති අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ තවත් ප්‍රදේශ 12 කට මිලිමීටර 150 ඉක්මවූ තද වැසි ඇද හැලී ඇති බවයි.

නුවරඑළිය, රත්නපුර, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල මාර්ග රැසක්ද විශාල ගස් හා පස්කඳු කඩාවැටීමෙන් සහ ජලයෙන් යටවීමෙන් අවහිර වී තිබෙනවා.

කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම ක්‍රියාත්මකයි.

කැළණි, නිල්වලා, ගිං සහ කළු යන ගංඟාවලද ජල මට්ටම ඉහළ ගොස් තිබූ අතර, එම ගංඟා අවට පහත්බිම්වල ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 1,403 ක, පුද්ගලයින් 5,777 ක් මේ වනවිට බලපෑමට ලක්ව තිබෙනවා. ඉන් පවුල් 16 කට අයත් පුද්ගලයින් 67 ක් ආරක්ෂිත නිවාස දෙකක (2) රඳවා ඇති බවයි වාර්තාවන්නේ.

අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය අය අතර මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ – දොලොස්බාගේ ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සිටින අතර, ඔහු අද (10) මියගියේ සිය නිවස මතට පස් කන්දක් කඩා වැටීමෙනුයි.

එසේම මියගිය අනෙක් පුද්ගලයා කඩුවෙල – කොරතොට ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි අයෙක්.

ඔහු වැල්ලවත්ත – ශ්‍රී සුදර්ශනාරාම මාවතේදී මියගොස් තිබුණේ ඉදිකරමින් තිබූ ගොඩනැගිල්ලක කොටසක් සිය මෝටර් රථයට කඩාවැටීමෙනුයි.

එසේම අයහපත් කාලගුණයෙන් පාරිභෝගිකයන් ලක්ෂ හතරකට (4,00,000) වැඩි පිරිසකට මේ වනවිට විදුලිය ඇණහිට තිබෙනවා.

මේ අතර අද (10) රාත්‍රී කාලයේදීත් බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ දකුණ යන පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

සබරගමු පළාතට සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමිටර 100 ඉක්මවු තද වැසිද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

වැසි සමඟ ඇතැම් අවස්ථාවලදී මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේවලට පැයට කිලෝමීටර 60 දක්වා වූ තද සුළං ඇතිවිය හැකියි.

******************************************

(10.07.2021 – 20:02 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන ‘සී කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගමේ’ නිළධාරීන් 7 දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය නියෝග කළේ මොවුන් රුපියල් ලක්ෂ 25 ක ශරීර ඇපයක් මත මුදා හැරීමටයි.

අද (10) පෙරවරුවේ මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ නෞකාවේ අන්තරායකර ද්‍රව්‍ය නිසි පරිදි ඇසුරුම් කිරීම සම්බන්ධයෙන් වූ කරුණු වසන් කිරීමේ චෝදනාව මතයි. පසුව දහවල් කොළඹ මහේස්ත්‍රතේ අධිකරණයට මොවුන් ඉදරිපත් කෙරුණා.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතිඥ මාලික් අසීස් කියා සිටියේ පසුගිය මැයි මස 19 වනදා මෙම නෞකාවේ කපිතාන්වරයා ඇතුලු කාර්ය මණ්ඩලය විසින් දේශීය නියෝජිත ආයතනයට එහි බහාලුමක නයිට්‍රික් අම්ල කාන්දුවක් ඇති බවට දැනුම් දී තිබූ බවයි.

නෞකාවක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණීමට පෙර නෞකාවේ අන්තරායකර ඇසුරුම් පිළිබඳ වාර්තාවක් ‘හාබර් මාස්ටර්’ට ලබා දිය යුතුයි.

ඒ අනුව කපිතාන්වරයා ඒ බව දැනුම් දී තිබියදී දේශීය සමාගම එම තොරතුරු වසන් කර නෞකාවේ අන්තරායකර ද්‍රව්‍ය අඩංගු බහාලුම් නිසි ආකාරයෙන් ඇසුරුම් කර ඇති බවට හාබර් මාස්ටර් වෙත දැනුම් දී ඇති බවයි රජයේ අධි නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ.

කෙසේ වෙතත් ‘සී කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගමේ’ නිළධාරීන් 7 දෙනා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ ප්‍රකාශ කළේ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව පසුගිය 19 වනදා පැමිණියද එහි නයිට්‍රික් අම්ල කාන්දුව 11 වනදා සිට පැවති බවයි.

එහෙත් මේ සම්බන්ධයෙන් තම සේවාදායක සමාගම දැන නොසිටි බවද ඔහු ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් මෙහි වැරැද්ද සිය සේවාදායකයින්ට ගැනීමට නොහැකි බවයි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ.

මෙම දේශීය සමාගමේ සභාපතිවරයා වන අර්ජුන හෙට්ටිආරච්චි, ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා ඇතුලු සැකකරුවන් පස්දෙනෙකු (5) මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අතර, ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 12 ක්.

මේ අතර ගිනිගත් නෞකාවෙන් මුහුදට එක්වූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහිත මළු අද (10) දිනයේදී අඟුලාන සහ උස්වැටකෙයියාව යන මුහුදු තීර වෙත ගොඩගසා තිබුණේ අයහපත් කාලගුණයත් සමඟ මුහුදේ ඇතිවූ රළු ස්වභාවය හේතුවෙන්.

අප වාර්තාකරු සඳහන් කළේ අදාළ මලු ඇතැම් පුද්ගලයින් විසින් රැගෙන ගිය බවයි.

එමෙන්ම නෞකාවෙන් මුහුදට එක්වූ කුඩා ප්ලාස්ටික් කැට විශාල වශයෙන් අද (10) බටහිර වෙරළට ගොඩගසා තිබුණා.

******************************************

(10.07.2021 – 20:12 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය වාරික ගෙවීම සඳහා වසරකවත් සහන කාලයක් ලබාදිය යුතු බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ බංග්ලාදේශය විසින් සංවිධාන කර තිබූ අන්තර්ජාල ආර්ථික සමුළුවකට එක්වෙමින්.

එය සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ (09) පැවැත්වුණා ෴

******************************************

(10.07.2021 – 21:28 +0530 – hirunews.lk/sinhala)

තම පක්ෂය සමග එකමුතුව කටයුතු කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යුතුකම බව නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

මේ අතර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත්වී ගියද ආණ්ඩුවේ සංයුතියට බලපෑමක් නොවන බවයි.

එම පක්ෂ දෙකේ (2) අර්බුදය සම්බන්ධයෙන් අද (10) තවත් අදහස් පළ වුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *