කොළඹ සුපිරි වෙළඳසැල ඇතුලට ගිය සුපිරි මෝටර් රථය

කොළඹ සුපිරි වෙළඳසැල ඇතුලට ගිය සුපිරි මෝටර් රථය

*********************************************

කොළඹ සුපිරි වෙළඳසැල ඇතුලට ගිය සුපිරි මෝටර් රථය

(10.07.2021 – 16:15 +0530 – hirunews.lk/sinhala)

කොළඹ හයිඩ්පාර්ක් ප්‍රදේශයේදී අද (10) දහවල් මෝටර් රථයක් අනතුරට ලක්වූවා.

එහිදී සුඛෝපභෝගී මෝටර් රථයක් සුපිරි වෙළඳසැලේ වීදුරුව කඩාගෙන එතුළට ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

අනතුරින් වෙළඳසැලට සහ මෝටර් රථයට දඩි අලාභහානි සිදුව තිබුනේ මෙලෙසින් :

******************************************

(10.07.2021 – 14:03 +0530 – hirunews.lk/sinhala)

ජලය යනු මූලික මිනිස් අවශ්‍යතාවක්.

නමුත් එම අයිතිවාසිකම හෝ නොලබන ගම්මානයක් පිළිබඳවයි අද (10) ‘රතු මිනිත්තුවේ’ අවධානය.

මේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ඇතිලිවවැව, මහආරගම ප්‍රදේශය.

පවුල් 500 කට අයත් පුද්ගලයින් 2000 කට ආසන්න සංඛ්‍යාවක් වෙසෙන මෙම ප්‍රදේශයේ මූලිකම ගැටලුව වී ඇත්තේ පානීය ජලය සපයා ගැනීමේ අර්බුදයයි.

ඊට විසඳුමක් ලෙස මෙම ප්‍රදේශයේ ජනතාව ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් ජල සම්බන්ධතා ලබා ගෙන තිබුණද, එමගිනද ජල සැපයෙන්නේ සතියකට එක් (1) දිනකදී පමණයි.

එලෙස ලැබෙන සුළු ජල ප්‍රමාණය එක් රැස් කර ගැනීමට ද මෙම වැසියන්ට නින්ද පසෙක තබා බලා සිටීමට සිදුව තිබෙනවා.

******************************************

(10.07.2021 – 14:10 +0530 – hirunews.lk/sinhala)

එදිරිසිංහ පවුලට අයත් දේපළ වහා රජයට පවරා ගන්නා ලෙස ‘ETI තැන්පත්කරුවන්ගේ සංගමය’ ඉල්ලා සිටිනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ETI සමාගම විසින් සිදුකර ඇති වංචාව හේතුවෙන් පවුල් 45,000 ක් තවමත් දැඩි අසරණභාවයට පත්ව ඇති බවයි.

******************************************

(10.07.2021 – 14:18 +0530 – hirunews.lk/sinhala)

මෙම වසර තුළ පොල් පැල ලක්ෂ 40 ක් සිටුවීමේ වැඩසටහන අද (10) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

ඒ දංකොටුව, හලාවත වැවිලි සමාගමට අයත් වැලිකැටිය වත්තේදීයි.

මේ අතර රසායනික පොහොර ගෙන්වීම තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එහි දැක්වෙන්නේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් රසායනික පොහොර යළි ගෙන්වීමට තීරණය කර ඇති බවට පැතිර යන පුවත් සත්‍යතාවයෙන් තොර බවයි.

නව මුදල් අමාත්‍යවරයා රජයේ වත්මන් සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් සමඟ කළ සාකච්ඡාවලදී විවිධ අදහස් ඉදිරිපත් වී ඇති බවත් ඒ සියල්ල සමාලෝචනය කොට වඩාත් නිවැරදි සැලසුම්සකස් කිරීම සඳහා අනුකමිටු 5 ක් පත්කර ඇතිබවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

******************************************

(10.07.2021 – 14:29 +0530 – hirunews.lk/sinhala)

කොස්ගොඩ – දූවමෝදර ගඟේ දිය නෑමට ගිය තුන්දෙනෙකු (3) අද (10) දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ නිවුන් පිරිමි දරුවන් දෙදෙනෙකු (2) සහ ඔවුන්ගේ මුත්තනුවන් මෙලෙස අතුරුදන්වී ඇති බවයි.

දරුවන් දෙදෙනාගේ (2) වයස අවුරුදු 6 ක් වන අතර, මියගිය පුද්ගලයා 62 හැවිරිදි වියේ පසුවනවා ෴

කොස්ගොඩ – දූවමෝදර ගඟේ දිය නෑමට ගොස් අතුරුදන්වූ නිවුන් දරුවන් දෙදෙනාගේ (2) සහ මුත්තනුවන්ගේ (1) සිරුරු මේ වනවිට සොයාගෙන තිබෙනවා.

ඒ, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුවයි.

අවුරුදු 6 ක් වයසැති මෙම නිවුන් පිරිමි දරුවන් දෙදෙනා (2) සහ හැට දෙහැවිරිදි (62) මුත්තනුවන් දූවමෝදර ගඟෙහි දියනෑමට ගොස් තිබුණේ අද (10) දහවල්.

******************************************

(10.07.2021 – 14:51 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ සිද්ධියට අත්අඩංගුවට ගත් දේශීය නියෝජිත ආයතනයේ 7 දෙනා ඇපමත මුදාහැර තිබෙනවා.

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන ‘සී කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගමේ’ 7 දෙනෙකු අද (10) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට ඇප ලබාදුන් බවයි හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ.

අදාළ දේශීය නියෝජිත සමාගමේ සභාපතිවරයා මීට පෙර සිද්ධියට අදාළව අත්අඩංගුව ගැනුණු අතර පසුව ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණේ පසුගිය ජුනි මස 16 වන දායි ෴

******************************************

(10.07.2021 – 16:07 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 2 ක් වාර්තාවී ඇති බව ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් තිදෙනෙකු (3) අතුරුදන්ව තිබෙනවා.

මේ අතර අද (10) රාත්‍රී කාලයේදීත් බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ දකුණ යන පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමු පළාතට සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමිටර 100 ඉක්මවු තද වැසිද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

වැසි සමඟ ඇතැම් අවස්ථාවලදී මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේවලට පැයට කිලෝමීටර 60 දක්වා වූ තද සුළං ඇතිවිය හැකියි.

එමෙන්ම උතුර, උතුරුමැද, වයඹ බස්නාහිර සහ දකුණු පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයටද පැයට කිලෝමීටර 50 දක්වා තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

******************************************

(10.07.2021 – 16:23 +0530 – hirunews.lk/sinhala)

15 හැවිරිදි දැරිය අපයෝජන සිද්ධියට අදාළව තවත් පුද්ගලයෙකු ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු තමන් ගායකයෙකු සහ නළුවෙකු බවටයි පොලීසියට හඳුන්වාදී ඇත්තේ.

ඊයේ (09) අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළා.

+++

මේ අතර ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියකට අදාළව දැරියගේ තවත් ඥාතියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට පෙර, සිද්ධියට අදාළව දැරියගේ මව සහ ඇගේ අනියම් සැමියා අත්අඩංගුවට ගැනුනා ෴

@@@@@@@@@@@@@@@

(10.07.2021 – 15:09 +0530 – hirunews.lk/sinhala)

එළිමහන් ප්‍රසංග පැවැත්වීම සම්බන්ධයෙන් අවසර ලබාදෙන ලෙස සංගීත කණ්ඩායම් ඉල්ලීමක් කරනවා.

ඒ අනුව ජනප්‍රිය ගායන ශිල්පී ෆ්ලෑෂ්බෑක් නායක රොෂාන් ප්‍රනාන්දු මහතා රජයෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව එළිමහන් ප්‍රසංග පැවැත්වීම සඳහා ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙසයි.

විවාහ මංගල උත්සව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පැවැත්වීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් රජයට ස්තූතිය පළ කරන බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම ශාලාවේ ආසන ධාරිතාවෙන් සියයට 25 ක් වන පරිදි හෝ 150 ක උපරිම සීමාවකට යටත්ව මංගල උත්සව පැවැත්වීමට ද අද (10) නිකුත් වූ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අනුව අවසර හිමිවුණා.

මීට පෙර විවාහ ලියාපදිංචි කිරීමේ අවස්ථාවන් සඳහා පමණක් අවසර ලබාදී තිබුණු අතර, ඊට එක්විය හැකිව තිබුණේ 10 දෙනෙකුට පමණයි.

ඒ අනුව පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් විවාහ මංගල උත්සව පැවැත්වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටි ජනප්‍රිය ගායන ශිල්පී, මේරියන්ස් නායක නලින් පෙරේරා මහතා නව මාර්ගෝපදේශ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වා සිටියා.

එහිදී ඔහු කියා සිටියේ විනයානුකූලව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව විවාහ මංගල උත්සව පැවැත්වීමට කටයුතු කරන ලෙසට සියලු උත්සව ශාලා හිමියන්ගෙන් තමන් ඉල්ලීමක් කරන බවයි.

රටේ පවතින කොරෝනා වෛරස අවදානම් අවස්ථාවේ ලබාදුන් මෙම අවස්ථාව රැකගැනීම සියලුදෙනාගේ වගකීම බවද ඔහු එහිදී අවධාරණය කළා.

මේ අතර ‘ලංකා විවාහ මංගල උත්සව සේවා සැපයුම්කරුවන්ගේ සංගමයේ’ ලේකම් ගීත් සේරසිංහ මහතා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ලබාදුන් අවසරය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ එය රජය ගත් කාලෝචිත ක්‍රියාමාර්ගයක් බවයි.

ඒ ආශ්‍රිතව ජීවනෝපාය සළසා ගත් පිරිසට ඉන් සහනයක් ලැබෙන බවද ඔහු එහිදි වැඩිදුරටත් සඳහන් කළා ෴

+++++++++++++++++++

(10.07.2021 – 17:19 +0530 – hirunews.lk/sinhala)

වරකදී මෙරටට ලැබෙන වැඩිම එන්නත් තොගය හෙට (11) දිවයිනට ලැබෙන අතර, එය, සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ විස්සකින් (20,00,000) සමන්විතයි.

ඖෂධ නිෂ්පාදනය සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ එම එන්නත් රැගෙනඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානා දෙකක් (2) දැනටමත් බීජිං නුවර බලා පිටත්ව ගොස් ඇති බවයි.

මේ අතර සංචාරක ක්‍ෂේත්‍රයේ නියුතු අය සඳහා ද එන්නත්කරණය අද (10) ආරම්භ කෙරුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෆාරි ජීප් රථ සේවකයන්ට ප්‍රමුඛතාව ලබාදෙමින්. එම අවස්ථාවට අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංග යන මහත්වරු එක්ව සිටියා.

මෙරට එන්නත්කරණ කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 150 ක ණය මුදලක් ලබාගැනීමට මුදල් අමාත්‍යාංශය සැළසුම් කර තිබෙනවා.

ආසියානු පැසිෆික් එන්නත ප්‍රවේශ පහසුකම යටතේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගැනීමට සැළසුම් කර ඇති ඩොලර් මිලියන 150 ක ණය මුදල, එන්නත්කරණය සඳහා වන පිරිවැය පියවා ගැනීම, එන්නත් ආශ්‍රිත අධීක්ෂණ පද්ධති ස්ථාපිත කිරීම, ශීතාගාර සහිත ප්‍රවාහන පහසුකම් සැපයීම සහ සායනික අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම ඇතුළු කටයුතුවලට යොදා ගැනීමට සැළසුම් කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඊට අදාළ ණය ගිවිසුමට මහා භාණ්ඩාගාර ලේකම් ලේකම් එස්.ආර්. ආටිගල මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ චෙන් චෙන් අත්සන් තැබූ බවයි.

+————-

මේ අතර පළාත් සංචරණ සීමා උල්ලංගණය කරමින් කොළඹට පැමිණෙමින් තිබූ පෞද්ගලික මගී බස් රථයක් වැල්ලවත්ත ප්‍රදේශයේදී පොලිසිය අද (10) අත්අඩංගුවට ගනු ලැබුවා.

මාතර – ඌරුබොක්ක ප්‍රදේශයේ සිට එය පැමිණ ඇති අතර, එම අවස්ථාව වනවිට එහි සිට ඇත්තේ මගීන් දෙදෙනෙකු (2) පමණයි. එහි රියදුරුට එරෙහිව නිරෝධායන පනත යටතේ නඩු පැවරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් බස් රථයේ රියදුරු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, එළඹෙන 15 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද දැනුම්දී තිබෙනවා.

+————

පවතින සංචරණ සීමාවන් අද (10) සිට තවදුරටත් ලිහිල් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරුණා. කෙසේ වෙතත්, දැනට බලාත්මක අන්තර් පළාත් සංචරණ සීමාවන් ලබන 24 වනදා දක්වා තවදුරටත් ක්‍රියාත්මකයි.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පන්සල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථාන විවෘත කිරීමට අවසර හිමි වුණා. එමෙන්ම, මංගල උත්සව පැවැත්වීමට ද අවසර ලබා දුන්නේ ශාලාවේ ආසන ධාරිතාවෙන් සියයට 25 ක් වන පරිදි හෝ 150 ක උපරිම සීමාවකට යටත්වයි.

මේ අතර, කොරෝනා ආසාදිත නොවන මෘතදේහයක ආදාහන කටයුතු සඳහා සහභාගි වන පුද්ගලයින්ගේ සංඛ්‍යාවද 50 දක්වා වැඩි කර තිබෙනවා.

පොදු ප්‍රවාහන සේවාවල බස්නාහිර පළාත හැර සෙසු පළාත් සඳහා ආසන ධාරිතාවයෙන් සියයට 50 ක ධාරිතාවයෙන් මගීන් රැගෙන යාමට අවස්ථාව සැළසෙන අතර, බස්නාහිර පළාතේ එය ආසන ධාරිතාවයෙන් සියයට 30 ක් ලෙස සීමාකර තිබෙනවා.

මේ අතර ලබන සඳුදා (12) වන විට බස්නාහිර පළාත තුල දුම්රිය ගමන් වාර 100 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී. ජයසුන්දර ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, පළාත් අතර දුම්රිය ධාවනය තවදුරටත් සිදුනොවන බවයි ඔහු කියා සිටියේ.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සියලු විභාග පැවැත්වීමට අවසර දී තිබෙනවා.

එමෙන්ම, මීට පෙර අවසර පත්‍ර මත පමණක් පැවති ජංගම වෙළඳාමට ද අවසර ලබාදී ඇති අතර, පදික වෙළඳාමට අවසර ලබාදී ඇත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්වයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *