විදුලි බිඳවැටීම් තවත් ඉහළ යයි

විදුලි බිඳවැටීම් තවත් ඉහළ යයි

*********************************************

විදුලි බිඳවැටීම් තවත් ඉහළ යයි

(10.07.2021 – 11:41 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා අද (10) අළුයම පැවති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් 475,000 කට බලපෑම් එල්ල වී තිබෙනවා.

විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ විදුලි බිඳ වැටීමේ ප්‍රධාන සිද්ධි 12,000 ක් පමණ වාර්තා වී ඇති බවයි.

එමෙන්ම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට එක් (1) ජීවිත හානියක් වාර්තා වී ඇති අතර ඒ, මහනුවර දිස්ත්‍රික්කයෙන්.

ගම්පොළ – දොලොස්බාගේ ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ෴

******************************************

(10.07.2021 – 11:08 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර ගෙන්වීමට රජය අවසර ලබාදී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රජය පවසනවා.

ඉදිරියේදී එවැනි අවසරයක් ලබාදීමටද බලාපොරොත්තු නොවන බවයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.

හරිත සමාජ ආර්ථික රටාවක් ගොඩනැගීමේ අරමුණ ඇතිව රසායනික පොහොර සහ පලිබෝධනාශක ආනයනය තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් වෙනස් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පළකර තිබුණා.

කෙසේ වෙතත් එම වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

රසායනික පොහොර භාවිතයෙන් බැහැරව කාබනික කෘෂිකර්මයට මාරුවීමට ගත් තීරණය අහෝසි කිරීමට රජයේ කිසිසේත්ම අදහසක් නොමැති බවටයි ඔහු විසින් නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ.

මේ අතර පොල්පැල ලක්ෂ 40 ක් සිටුවීමේ ජාතික වැඩසටහනද අද (10) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දංකොටුව – වැලිකැටිය වත්තේදී ආරම්භ වුණා.

රට තුළ පවතින පොල් හිඟයට වසර 2025 දී සිට ස්ථිර විසඳුමක් අපේක්ෂාවෙන් මෙම වසර තුළ පොල්පැල ලක්ෂ 40 ක් සිටුවීම මෙහි අරමුණයි.

ජනාධිපතිවරයා ඇතුලු පිරිස එම ස්ථානයේ ක්‍ෂේත්‍ර නිරීක්ෂණයකද නිරතවූ අතර, එහිදි කාබනික පොහොර නිෂ්පාදනයේ නියැලී සිටින පිරිස් සමඟ ජනාධිපතිවරයා කථාබහකද නිරතවුණා ෴

******************************************

(10.07.2021 – 12:12 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන ‘සී කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගමේ’ 7 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවටයි හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ.

අදාළ දේශීය නියෝජිත සමාගමේ සභාපතිවරයා මීට පෙර සිද්ධියට අදාළව අත්අඩංගුව ගැනුණු අතර පසුව ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණේ පසුගිය ජුනි මස 16 වන දායි ෴

******************************************

(10.07.2021 – 12:54 +0530 – hirunews.lk/sinhala)

අධික වර්ෂාවත් සමග කළු ගගේ ජල මට්ටම ඉහළ යාමෙන් රත්නපුර සහ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකට (2) ගංවතුරින් දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

අද (10) උදෑසන 7 පමණ වනවිට රත්නපුර වුලුගුපිටිය ජල මාපාංකයේ ගංවතුර මට්ටම මීටර් 9 සීමාව දක්වා වර්ධනය වෙමින් තිබුනේ මෙලෙසින්.

ඒ හේතුවෙන් රත්නපුර නගරය, සීවලී ක්‍රීඩාංගනය හා අවට ප්‍රදේශ ගංවතුරෙන් යටව තිබෙනවා.

ඒ හේතුවෙන් රත්නපුර නගරයට අවට ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා.

රත්නපුර ගොඩිගමුව, අංගම්මන, වෙරළුප, බටුගෙදර, මුද්දුව යන ග්‍රාමසේවක වසම්වල නිවාස රැසක්ද ජලයෙන් යටවීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව ඇත්තේ මෙලෙසින්.

රත්නපුර කුඩුගල්වත්ත – පල්ලිය පාර ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් පල්ලිය පාරේ පවුල් 12 ක ජනතාව තාවකාලිකව මේ වනවිට රැදී සිටින්නේ ජුම්මා මුල්ලිම් පල්ලියේයි.

ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හංගමුව, ඇලපාත, කරංගොඩ, ගිණිහිරිය,රද්දැල්ල ආදී ප්‍රදේශ රැසක ජනතාවත් ගංවතුරේ බලපෑමට ලක්ව තිබෙනවා.

මේ අතර පවතින දැඩි සුළං සහ අධික වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළත් ක්‍රියාත්මක වනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා.

මේ අතර ඊයේ (09) රාත්‍රියේ සිට ඇඳ හැලෙන වර්ෂාව හේතුවෙන් කැළණි, කළු, නිල්වලා සහ ගිං ගංගාවල ජල මට්ටම ඉහළ යාමෙන් අදාළ පහත් බිම් ආශ්‍රීතව සුළු ගං වතුර තත්ත්වයක්ද මතුව තිබෙනවා.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයෙකු (1) ජීවිතක්ෂයට පත්වී ඇති අතර තද සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකින්ම දේපල හානි වාර්තා වුණා.

අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ඊයේ (09) පස්වරුවේ සිට පැවති තද සුළං තත්ත්වයන් ප්‍රදේශ රැසකටම බලපෑවා.

ඒ හේතුවෙන් දිවයින පුරා ප්‍රදේශ රැසකින්ම ආපදා තත්ත්වයන් වාර්තා වුණේ මෙලෙසින්.

පානදුර මුලික රෝහලේ පිහිටා තිබු විශාල තේක්ක ගසක් (1) රෝහල් සේවකයින්ගේ ත්‍රීරෝද රථ දෙකක් (2) මතට කඩා වැටී තිබුනේ මෙලෙසින්.

දැඩි සුළං තත්ත්වය සමග ගම්පහ නැදුන්ගමුව ප්‍රදේශයේ නිවසක් (1) මතට පුළුන් ගහක් (1) කඩා වැටී තිබෙනවා.

මේ උස්වැටකෙයියාව – තල්දියවත්ත ලුනාව මෝයෙන් ධීවර රැකියා සදහා මුහුදු ගිය සුළුපන්න ධීවර බෝට්ටුවක් (1) ඊයේ (09) ඇති වු සුළං තත්ත්වය හේතුවෙන් විනාශ වී ඇති ආකාරයයි.

විනාශ වු බෝට්ටුවේ සිටි ධීවරයින් දෙදෙනා (2) වෙනත් බෝට්ටුවක සිටි ධීවරයින් පිරිසක් විසින් නිරුපද්‍රිතව බේරාගෙන ගෙන තිබුනා.

මේ අතර ගත වූ පැය 24 තුළ දිවයින පුරා දිස්ත්‍රික්ක 8 කට දැඩි වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ ගාල්ල නෙලුව ප්‍රදේශයෙන් වන අතර එය මිලි මීටර් 193 ක්.

අයහපත් කාලගුණික තත්ත්වයත් සමග හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සිට කිතුල්ගල දක්වා ස්ථාන කිහිපයකටම පස් කදු කඩාවැටීමෙන් හා ගල්පෙරළීමෙන් රථවාහන ගමනා ගමනයට බාධා එල්ල වුණා.

මේ අතර, ගිනිගත්හේන දියගල හරහා නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයට දියගලවත්ත ප්‍රදේශයෙන් විශාල පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.

එම මාර්ගයේ ගමන් ගන්නා වාහන හැටන් කාසල්රි මාර්ගය ඔස්සේ ධාවනය කරවන ලෙස නෝටන්බ්‍රිජ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර, ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 03 ක් මේ වනවිට විවෘත කර තිබෙනවා.

අප වාර්තාකරුවන් පවසන්නේ ලක්ෂපාන, කැනියොන් ජලාශ මේ වනවිට වාන්දමමින් පවතින බවයි.

අදාල අවස්ථාවේ නිවෙස් පවුලේ සාමාජිකයන් 06 දෙනෙකු සිට ඇති අතර ගස කඩාවැටීමෙන් කිසිවෙකුටත් හානි සිදු වී නැහැ.

මේ අතර, මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (09) රාත්‍රීයේ සිට ඇද හැලෙන අධික වර්ෂාවත්ස මග කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින දික්ඔය ඇළ පිටාර ගැලීමෙන් දික්ඔය ෆොඩයිස්ව තුයායේ වතු නිවාස 25 ක් ජලයෙන් යට වු බව නිවැසියන් පවසනවා.

මේ අතර, ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කලේ ආදාල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10 ක් සඳහා පළමු (1) අදියරේ අවධානම් නිවේදන නිකුත් කර ඇති බවයි.

මේ අතර, අද (10) දිනයේත් බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගුගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

එහි දැක්වුනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100 ඉක්ම වු තද වැසි ඇති විය හැකි බවයි.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීයව පැවතීම හේතුවෙන් දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60-70 ත් අතර තද සුළං අපේක්ෂා කරන බවයි.

ඒ හේතුවෙන් ත්‍රීකුණාමලයේ සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හා ඉතා රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

මේ අතර, වෙරළාසන්න කුඩා ධීවර යාත්‍රාවලට නැවත දැනුම් දෙන තුරු මුහුදු යාමෙන් වළකින ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය යටිබේරිය ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි. අදාළ පස් කන්ද කඩිනමින් ඉවත් කිරීමට ද කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.

******************************************

(10.07.2021 – 13:21 +0530 – hirunews.lk/sinhala)

දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ හෙද නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව 63 දක්වා දීර්ඝ කර තිබෙනවා.

රජයේ සේවයේ නියුතු සියළුම ශ්‍රේණීන්ට අයත් වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව 63 දක්වා දීර්ඝ කරමින් මීට පෙර ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා.

එම ගැසට් නිවේදනය සංශෝධනය කරමින් දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් සහ හෙද නිලධාරීන් ද ඇතුළත් කර විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව 63 දක්වා දීර්ඝ කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙලෙස විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම තුළින් උසස් වීම් ලබාදීම සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ ෴

******************************************

(10.07.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (09) පස්වරුවේ කිරිවෙහෙර වැදපුදා ගෙන ආගමික වතාවත් වල නිරත වුණා.

එහිදී කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කොබවක ධම්මින්ද හිමියන්ගේ සුවදුක් විමසු අග්‍රාමාත්‍යවරයා කිරිවෙහෙර පුදබිමේ පැවැත්වෙන සර්ව රාත්‍රික පිරිත් දේශනාවටද සහභාගි වුණා.

මේ අතර, ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම පෙරහැර අද වීථි සංචාරය කිරීමට නියමිතයි.

පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ මෙවර ජනතා සහභාගීත්වයෙන් තොරවයි පෙරහැර මංගල්‍ය පැවැත්වෙන්නේ.

පෙරහැර මංගල්‍යට සමගාමීව පළමු චාරීත්‍රය ලෙසයි සර්වරාත්‍රික පිරිත් දේශනාව ඊයේ (09) ආරම්භ වූයේ.

******************************************

(10.07.2021 – 13:36 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවත්ත ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වැල්ලවත්ත සුවිසුද්ධාරාම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලකින් පහළට බ්ලොක්ගල් කිහිපයක් අදවැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

පහළට ඇදවැටුණු බ්ලොක්ගල් මෝටර් රථයක් මතට වැටී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම මරණය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක වාර්ථා වී නැහැ.

******************************************

නව කැළණි පාලමේ වැඩ සාර්ථකව ඉදිරියට

(10.07.2021 – 13:41 +0530 – hirunews.lk/sinhala)

මෙරට පළමු අධි තාක්ෂණික කේබල් මත පිහිටි පාලම වන පෑලියගොඩ නව කැළණි පාලමේ කැළණි ගඟ හරහා ඉදිකර ඇති කොන්ක්‍රීට් පාලම් කොටසේ ඉදිකිරීම් අවසන් කර එම පාලම් යා කිරීම මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් අද (10) සිදුකෙරුණා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී 2014 වසරේදී නව කැළණි පාලම් ව්‍යාපෘතියේ මූලික සැලසුම් සකස් කොට ගිවිසුම් අත්සන් තබනු ලැබුවා.

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ආරම්භ වන ස්ථානයේ සිට පෑලියගොඩ පාලම් මං සන්ධිය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වන කැළණි පාලම් ව්‍යාපෘතිය අවසන් වන්නේ ඔරුගොඩවත්ත මංසන්ධියෙන් සහ වරාය පිවිසුම් මංසන්ධියෙන්.

කැළණි ගඟ හරහා ඉදිකර ඇති පාලමේ කොටසේ දිග මීටර් 380 ක් වන අතර එය පැකේජ 2 ක් යටතේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙනවා.

හැඩවන අලුත් කැළණි පාලමේ අලුත්ම දර්ශන මෙන්න :

@@@@@@@@@@@@@@

(10.07.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

මෙරට එන්නත්කරණ කටයුතු සදහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 150 ක ණය මුදලක් ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

විදේශ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඊට අදාළ ණය ගිවිසුමට මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ චෙන් චෙන් අත්සන් තැබූ බවයි.

එන්නත්කරණය සඳහා වන පිරිවැය පියවා ගැනීම, එන්නත් ආශ්‍රිත අධීක්ෂණ පද්ධති ස්ථාපිත කිරීම, ශීතාගාර සහිත ප්‍රවාහන පහසුකම් සැපයීම සහ සායනික අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම ඇතුළු ඊට අනුබද්ධ ක්‍රියාකාරකම් සඳහා අදාළ ණය මුදල් යොදා ගැනීමට අපේක්ෂිතයි ෴

++++++++++++++++++++++++

ස්ටාලින් ඇතුළු පිරිසට දුන් පහසුකම් ගැන, පොලිස් ඇමතිට ලිපියක්

(10.07.2021 – 13:22 +0530 – hirunews.lk/sinhala)

විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමේදී කොරෝනා ව්‍යාප්තිය හමුවේ ප්‍රවේශම් විය යුතු තත්ත්වයකින් පරිබාහිරව පොලීසිය ක්‍රියා කිරීම කණගාටුවට කරුණක් බව අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක, ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා ප්‍රකශ කළා.

ඔහු මේ බව කියා සිටියේ විරෝධතාවල නිරතව සිටියදී පසුගිය දා අත්අඩංගුවට ගෙන නිරෝධායනය සඳහා යොමු කෙරුණු පිරිස් සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් පෙරේදා පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවයේ නිරතව සිටියදී අත්අඩංගුවට ගත් 33 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප දීමෙන් අනතුරුව ඉන් 16 දෙනෙකු නිරෝධායනය සඳහා රැගෙන යනු ලැබුවා.

මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානය වෙත මෙලෙස රැගෙන ගිය පිරිස අතර ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතා සහ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැදවුම්කරු පූජ්‍ය තැන්නේ ඥාණානන්ද හිමියන් ද වනවා.

මේ අතර නිරෝධායනයට රැගෙන ගිය මෙම පිරිස චෝදනා කළේ තමන්ට අවම සනීපාරක්ෂක පහසුකම්වත් ලබාදී නොමැති බවටයි.

ඒ පිළිබදව මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ සිට ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැදවුම්කරු පූජ්‍ය තැන්නේ ඥාණානන්ද හිමියන් සමාජ මාධ්‍ය වෙත මෙලෙස ප්‍රකාශයක් නිකුත් කර තිබුණා.

කෙසේ වෙතත් නිරෝධායනයට යොමු කර සිටින එම පිරිස් වෙත සුබසාධන පහසුකම් සැපයූ ආකාරය පිළිබදව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විෂය භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා වෙත ලිපියක් යොමුකර දැනුම්වත් කර තිබෙනවා.

එහි දැක්වුණේ විරෝධතාකරුවන්ට දිවා ආහාරය ද, භික්ෂූන් වහන්සේලා වෙත ගිලන් පස ඇතුළු පහසුකම් ද සැපයූ බවයි.

ඖෂධ ඉල්ලා සිටි අයට මීගමුව පොලීසිය මගින් ඖෂධ මෙන්ම භික්ෂූන් වහන්සේලාගේ දැනුම් දීම පරිදි අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් පාර්සලයක් ද බාහිර පාර්ශවයකින් ගෙන්වා ගැනීමට ද අවසර ලබාදී තිබූ බවයි එහි දැක්වුණේ.

මීට අමතරව ඇඳුම් පැළදුම්, පිඟන් කෝප්ප, දත් බුරුසු ආදිය ද එහි පාලන අධිකාරිය විසින් ලබාදුන් බවටයි බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විෂය භාර අමාත්‍යවරයා දැනුම්වත් කර ඇත්තේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *