ගල්කිස්සේ 15 හැවිරිදි දැරියගේ අපයෝජනයට ඇල්ලූ මිහින්තලේ උප සභාපති, විශේෂඥ වල් ඩොකා ඇතුළු 4 කට ඇප

ගල්කිස්සේ 15 හැවිරිදි දැරියගේ අපයෝජනයට ඇල්ලූ මිහින්තලේ උප සභාපති, විශේෂඥ වල් ඩොකා ඇතුළු 4 කට ඇප

*********************************************

ගල්කිස්සේ 15 හැවිරිදි දැරියගේ අපයෝජනයට ඇල්ලූ මිහින්තලේ උප සභාපති, විශේෂඥ වල් ඩොකා ඇතුළු 4 කට ඇප

(09.07.2021 – 15:48 +0530 – hirunews.lk/sinhala)

= ගල්කිස්සේ 15 හැවිරිදි දැරියගේ අපයෝජනයට ඇල්ලූ මිහින්තලේ උප සභාපති ඇතුළු 4 කට ඇප =

15 හැවිරිදි බාල වයස්කාර දැරියගේ අපයෝජන සිද්ධියට අත්අඩංගුවට ගත් මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා, විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු 4 දෙනෙකු ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ, සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අද (09) දින ඔවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කළ අතර එහිදී අදාළ දැරිය විසින් ඔවුන් හඳුනාගනු ලැබ තිබෙනවා.

මේ අතර, 15 හැවිරිදි දැරිය අලෙවි කිරීම සඳහා දැන්වීම් පළ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් තවත් වෙබ් අඩවියක හිමිකරුවා මේ මස 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ ෴

******************************************

(09.07.2021 – 17:19 +0530 – hirunews.lk/sinhala)

තිරිඟු පිටි මිල ඉහළ නොදමන බවට සෙරන්ඩිබ් සමාගම සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වෙත දැනුම්දී තිබෙනවා.

පාරිභෝගික අධිකාරියේ අනුමැතියකින් තොරව අදාළ සමාගම විසින් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 18 කින් වැඩි කර ඇති බව පවසමින් බේකරි හිමියන් සිය නිෂ්පාදනවල මිල වැඩි කරන බවට පසුගියදා ප්‍රකාශ කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් අදාළ සමාගමේ නියෝජිතයින් සමඟ සාකච්ඡාවක්ද පසුගියදා පැවති අතර, ඊට අදාළවයි මෙලෙස පිටි මිල වැඩි නොකරන බවට රාජ්‍ය අමාත්‍යවරයාට දැනුම් දී ඇත්තේ ෴

******************************************

(09.07.2021 – 18:23 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් පැකට් 96 ක් සමඟ අත්අඩංගුවට ගත් මහර බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ වැඩ තහනම් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා ෴

@@@@@@@@@@@@@@@@

(09.07.2021 – 16:50 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වෛරසය සමාජය තුළ සම්ප්‍රේෂණ වීමට බලපාන ප්‍රධාන සාධක 4 ක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කර තිබෙනවා.

පළමු (1) කාරණය නම් වෛරසය තමා තුළ තිබීම තුළින් අනෙකාට සම්ප්‍රේෂණය වීමයි.

දෙවන (2) කාරණය නම් සමාජයට විවෘත වීම හරහා වෛරසය පැතිර යාමයි. අපි දන්නවා පුද්ගලයින් සමාජයට වැඩිව විවෘත වීම තුළින් වෛරසය විශාල ලෙස සමාජය පුරා පැතිර යන බව.

තෙවන (3) කාරණය වන්නේ මහජන සෞඛ්‍ය නිසි ආකාරයෙන් නොපවත්වා ගැනීම සහ නිවැරදි සෞඛ්‍ය චර්යාවල නිරත නොවීමයි. මුව ආවරණ නිරන්තරයෙන් පළඳමින් පුද්ගල දුරස්ථභාවය තබාගනිමින් පිරිස් එක්රැස්වීම අවම කිරීම තුළින් පමණයි වෛරසය මැඩපවත්වාගැනීමට හැකිවන්නේ. ඒ වගේම හැමවෙලේම ඔබේ දෑත් පිරිසිදුව තබාගැනීමටද වගබලා ගත යුතුයි.

(4) ලොවපුරා රටවල එන්නත් ලබාදීමේ අසමානතාවයද වෛරස ව්‍යාප්තියට හේතුවක්

මේ අතර කොවිඩ් මර්දනය සඳහා අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත මාත්‍රා දෙකකින් (2) සමන්විත වන අතර එම එන්නතට තුන්වන (3) මාත්‍රාවක් එක්කිරීමට ෆයිසර් සමාගම අවසර ඉල්ලා තිබෙනවා.

සමාගමේ ප්‍රධානීන් මේ බව ප්‍රකාශකර ඇත්තේ ඊශ්‍රායලයේ ෆයිසර් එන්නත් ලබාගත් පුද්ගලයින් බහුතරයකට වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වීමෙන්අ නතුරුවයි.

ඒ අනුව තුන්වන (3) මාත්‍රාවක් පිළිබඳව නිර්දේශ ලබාදෙන ලෙස අමෙරිකානු ඖෂධ නියාමන අධිකාරියෙන් ඉල්ලා සිටීමට සැළසුම් කර ඇති බවයි ඔවුන් පවසන්නේ.

මේ අතර ඉන්දියාවේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූවන් සංඛ්‍යාව සියයට 80 කින් ඉහළගොස් ඇති බවට වාර්තා වනවා.

දිස්ත්‍රික්ක 90 කින් වාර්තා වූ ආසාදිතයින් ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශකර ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානම තවදුරටත් පවතින බවයි.

මේ අතර ඉන්දියාවේ නිෂ්පාදිත ‘සයිඩස්’ නම් නව එන්නතක් වයස අවුරුදු 12 න්පහළ ළමුන් හට ලබාදීමටත් එරට සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කර තිබෙනවා ෴

+++++++++++++++++++++++

(09.07.2021 – 17:15 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාව, වියට්නාමය, දකුණු අප්‍රිකාව සහ දකුණු ඇමරිකානු රටවල ශ්‍රී ලාංකිකයින්ට පමණක් දිවයිනට පැමිණීමට අවසර ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශයේ නිරෝධායන ඒකකයේ විශේෂඥ වෛද්‍ය දිල්හානි සමරසේකර මහත්මිය කියා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ, සංචාරක අමාත්‍යාංශයේ සහ විදේශ අමාත්‍යාංශයේ අවසරය මත ඔවුන්ට එලෙස දිවයිනට පැමිණීමේ අවස්ථාව හිමි වන බවයි.

එම රටවලින් පැමිණෙන ලාංකිකයන් කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා දෙකම (2) ලබාගෙන ඇතත් දින 14 ක නිරෝධායනය අනිවාර්ය බවයි ඇය කියා සිටියේ ෴

+++++++++++++++++++++++

(09.07.2021 – 17:28 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල නිකුත් කිරීම සම්බන්ධ ව පැන නැඟී තිබෙන ප්‍රධාන ගැටලුව වන්නේ සෞන්දර්යය විෂයයන් අට (08) හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම බව අධ්‍යාපන ඇමතිවරයා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මේ බව ප්‍රකාශ කළා.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 622,000 ක් සිසුන්ගෙන් 169,000 ක් පමණ දරුවන් සෞන්දර්යය විෂයයන් හදාරා ඇති අතර ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නොහැකි වුවහොත් මේ තත්ත්වය තුළ පාසල් පාදක තක්සේරු කිරීම මත ලකුණු ලබාදීමෙන් අනතුරු ව ප්‍රතිපල නිකුත් කිරීමක් සිදු කරන්නේ ද යන ගැටලුව දැනට ඇති බවද අමාත්‍යවරයා පවසනවා.

පසුගිය වර්ෂයේ සමස්ත ප්‍රතිපලය සහ ප්‍රායෝගික පරීක්ෂණ අතර කවර ආකාරයේ සම්බන්ධයක් පවතින්නේ ද යන්න සොයා බලා තාක්ෂණික උපදෙස්වලින් අනතුරු ව එම තීරණයට එළඹීමට අපේක්ෂා කෙරේ.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ලන්ඩන් විභාගය සම්බන්ධයෙන් ද එවැනි ගැටලු පැන නැඟී ඇතිමුත් ඔවුන් ද ඉතා ‍ප්‍රායෝගික ව සහ නම්‍යශීලී අයුරින් තීරණයන්ට එළඹී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වාදුන්නේ.

මෙවැනි තත්ත්වයක් තුළ විභාග දෙපාර්තමේන්තුවට සහ අධ්‍යාපන අමාත්‍යහංශයට එන්නත් ලබාදීම අතිශයින් ම ප්‍රමුඛ කාර්යයක් බවට පත් වන බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසන්නේ.

මේ අතර විභාග දෙපාර්තමේන්තුවේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් සඳහා එන්නත්කරණ වැඩසටහන අද (09) ආරම්භ කෙරුණා.

රටේ අධ්‍යාපන ව්‍යුහය යළි ආරම්භ කිරීමට සහ පාසල් අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කිරීමේ වැඩපිළිවෙළෙහි පළමු පියවර වශයෙන් මෙම වැඩසටහන ආරම්භ කළා.

මේ අතර එළඹෙන 12 වැනි සඳුදා සිට සියලු ම ගුරුවරුන් එන්නත්කරණය වැඩසටහන ආරම්භ කිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ.

එසේ ගුරුවරුන් එන්නත්කරණය කිරීමෙන් අනතුරු ව පළමු පියවර ලෙස දරුවන් 100 ට අඩු පාසල් 2962 ක් අගෝස්තු මාසයේ දී පමණ ආරම්භ කිරීමට හැකි බව විශ්වාස කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පවසන්නේ.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින සම්බන්ධ ව මත දෙකක් ඇති බවත් තාක්ෂණික උපදෙස්වලින් අනතුරු ව නම්‍යශීලී සහ වඩාත් ප්‍රායෝගික තීන්දුවක් ගතයුතු බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කළා.

ප්‍රථම (1) වතාවට උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් දළ වශයෙන් දෙලක්ෂයක (2,00,000) ප්‍රමාණයක් සිටින අතර දෙවන (2) වතාවට පෙනී සිටින දරුවන් සිටින්නේ 150,000 ක් පමණ සිටිනවා.

මෙයින් ප්‍රථම (1) වතාවට විභාගයට පෙනී සිටින සිසුන්ගේ ඉල්ලීම වන්නේ විෂය මාලා සම්පූර්ණ කිරීමට අපහසු වී තිබෙන බැවින් විභාගය කල් දැමීම යෝග්‍ය බව යි.

එසේ වුවද දෙවන (2) වරට විභාගයට පෙනී සිටින දරුවන්ගේ ඉල්ලීම වන්නේ ඔක්තෝම්බර් මාසයේම ප්‍රමාදයකින් තොර ව විභාගය පැවැත්වීමටයි.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් සාධාරණ තීරණයක් ගැනීමට සිදුව ඇති අතර මෙහිදී විභාග දෙපාර්තමේන්තුවට විශාල බරක් සහ කාර්යභාර්යයක් පැවරී ඇති බවයි.

+++++++++++++++++++++

(09.07.2021 – 17:32 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා අසාදිත මරණ 43 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

එම මරණ ඊයේ (08) වනදා සිදුව ඇති බවටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත්තේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා අසාදිත මරණ සංඛ්‍යාව 3434 ක් දක්වා ඉහළයනු ඇති.

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 964 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වූ මුළු ආසාදිතයින් ගණන 270,910 ක් වනවා ෴

++++++++++++++++++++

(09.07.2021 – 19:34 +0530 – hirunews.lk/sinhala)

සැප්තැම්බර් මාසයට පෙර ජනගහණයෙන් වැඩි ප්‍රතිශතයකට කොරෝනා එන්නත ලබාදීම සඳහා සකස් කර ඇති වැඩපිළිවෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (09) ඉදිරිපත් කළා.

ඒ, කොවිඩ් මර්දන විශේෂ කමිටුව ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේදියි.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ අනිද්දා (11) දිනයේදී තවත් සයිනොෆාම් එන්නත් මිලියන දෙකක් (2) මෙරටට ලැබීමට නියමිත බවයි.

එසේම තවත් මිලියන දෙකක (2) සයිනොෆාම් එන්නත් තොගයක් මේ මස 28 වනදා ලැබෙන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා මොඩර්නා එන්නත් මිලියනයක් (1) රැගත් ගුවන් යානාවක් ලබන 15 වනදා පැමිණෙන බවත් සඳහන් කළා.

එසේම ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන 1.47 ක ප්‍රමාණය ලබන 19 වනදා මෙරටට ලැබෙන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ ෴

+++++++++++++++++++++

(09.07.2021 – 19:41 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් පනවා තිබූ තවත් සීමාවන් කිහිපයක් ඉවත් කරමින් නව මාර්ගෝපදේශ මාලාවක් අද (09) දින නිකුත් කිරීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

පසුගිය 04 වන දා ද සෞඛ්‍ය අමාත්‍යාංශය නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරනු ලැබුවේ පසුගිය පස්වනදා (05) සිට දින 14 කට බලාත්මක වන ලෙසයි.

මේ අතර, ඉන්දියාව, වියට්නාමය, දකුණු ඇමරිකානු සහ දකුණු අප්‍රිකානු රටවල සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ අවසරයක් මත දිවයිනට පැමිණීමට අවසර ලබාදී තිබෙනවා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ, සංචාරක අමාත්‍යාංශයේ සහ විදේශ අමාත්‍යාංශයේ අවසරය මතයි.

එමෙන්ම එන්නත් දෙකම (2) ලබාගෙන ඇතත් එම රටවල සිට පැමිණෙන ලාංකිකයන්ට දින 14 ක නිරෝධායනය අනිවාර්ය බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන ඒකකයේ විශේෂඥ වෛද්‍ය දිල්හානි සමරසේකර මහත්මිය සඳහන් කළේ.

එමෙන්ම ඉදිරි සති තුන (3) ඇතුළත කටුනායක ගුවන් තොටුපලේ මගීන් සඳහාම වෙන්වූ කොරෝනා පරීක්ෂනාගාරයක් පිහිටුවා පැය තුනක් (3) ඇතුළත පරීක්ෂණ වාර්තා ලබාදීමට සංචාරක අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

එසේම සංචාරක ක්‍ෂේත්‍රයේ නියැලී සිටින්නන්ට කොවිඩ් එන්නත් ලබාදීමද හෙට (10) සිට ආරම්භ කෙරෙනු ඇති.

ලක්ෂ 5 කට අධික පිරිසක් සඳහා මෙලෙස එන්නත් කිරීම සිදුකරන බවයි සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ.

එන්නත්කරණයෙන් අනතුරුව සහන පැකේජ යටතේ සංචාරකයින් ගෙන්වා ගැනීම කෙරෙහිද අවධානය යොමුව තිබෙනවා.

මේ අතර, ප්‍රභේද හඳුනාගැනීම සඳහා සිදුකරන පර්යේෂණ හා රසායනාගාර පහසුකම් පුළුල් කරමින් කොළඹ විශ්වවිද්‍යාලය තුළද ප්‍රභේද පර්යේෂණ ආරම්භ කර තිබෙනවා.

මේ දක්වා ඒ සඳහා පහසුකම් පැවතුණේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පමණයි.

මේ අතර අද (09) දිනයේ මේ දක්වා අලුතින් ආසාදිතයින් 964 දෙනෙකු හදුනා ගැනීමත් සමග මෙරට මුළු ආසාදිත සංඛ්‍යාව 270,910 දක්වා ඉහළ ගියා.

එමෙන්ම කොරෝනා මරණ 43 ක් ඊයේ (08) දිනයට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කළා.

ඒ අනුව මෙරට මුළු මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3434 ක් ලෙසයි ෴

++++++++++++++++++++

(09.07.2021 – 19:48 +0530 – hirunews.lk/sinhala)

මානව හිමිකම් කොමිෂන් සභාව නිකුත් කර ඇති කොන්දේසි උල්ලංඝනය කර පොලීසිය පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බවට චෝදනා කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද (09) එම කොමිසමට පැමිණිල්ලක් ගොනු කළා.

මානව හිමිකම් කොමිසම පසුගිය මැයි මාසයේ නිකුත් කළ කොන්දේසිවල දැක්වෙන්නේ කොරෝනා වසංගත තත්වය හමුවේ නීති උල්ලංඝනය කිරීම්වලදී පොලිස් නිලධාරීන් ගන්නා ක්‍රියාමාර්ග නීත්‍යානුකූල විය යුතු බවයි.

අත්අඩංගුවට ගැනීම් නීතියේ දක්වා ඇති ප්‍රතිපාදනවලට අනුව අපරාධ නඩු විධාන සංග්‍රහය, පොලිස් දෙපාර්තමේන්තු නියෝග හා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදී ඇති තීන්දු පිළිබඳව අවධානය යොමු කරමින් සිදුකළ යුතු බව දක්වා තිබෙනවා.

එසේම කොරෝනා වසංගත තත්වය යටතේ නිරෝධායන නීති උල්ලංඝනය කරන සියලුම පුද්ගලයින් සිදුකරන ක්‍රියාවන් වෙනස්කමකට භාජනය නොකළ යුතු බවත්, මානව හිමිකම් කොමිසන් සභාව නිකුත් කළ කොන්දේසිවල ඇතුළත්.

එසේම අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථාන වෙත රැගෙන යන පිරිස් නිරෝධායන නියෝග හා ඊට අදාළ මාර්ගෝපදේශ අනුව ප්‍රවාහනය කළ යුතු බව එහි දැක්වෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ නීතීඥ සුනිල් වටගල අද (09) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශ්ෆ් ස්ටාලින් මහතා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේදී හා නිරෝධායනයට රැගෙන යාමේදී පොලීසිය විසින් ඉහත කරුණු උල්ලංඝනය කර ඇති බවයි.

මේ අතර ජනතාවගේ භාෂණය හා ප්‍රකාශනයේ නිදහස අහිමිවී ඇති බව පවසමින් සමගි ජනබලවේගය අද (09) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් තුනක් (3) ගොනු කළා.

ඒ, එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මයන්ත දිසානායක සහ හර්ෂණ රාජකරුණා විසින්.

එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් විසින් අද (09) නිදහස් චතුරශ්‍රය අසළද විරෝධතාවක නිරතවුණේ විරෝධතා සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම, බඩුමිල ඉහළ යාම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ෴

+++++++++++++++++++++++

ලබන සතියේ සිට ඔන්ලයින් ඉගැන්වීම්වලින් ගුරුවරුන් ඉවත් වේ

(09.07.2021 – 19:55 +0530 – hirunews.lk/sinhala)

ලබන සඳුදා (12) සිට මාර්ග ගත (ඔන්ලයින්) ක්‍රමයට ඉගැන්වීමේ කටයුතු වලින් ගුරුවරුන් ඉවත් වන බව ගුරු වෘත්තිය සමිති අද (09) ප්‍රකාශ කළා.

කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකදී සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමියන් කියා සිටියේ කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතාවයේ නිරත වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශ්ෆ් ස්ටාලින් මහතා ඇතුලු පිරිස නිරෝධායනයට යොමු කිරීමට එරෙහිව මෙම පියවර ගන්නා බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අද (09) සඳහන් කළේ ශිෂ්‍යත්වය විභාගය ඔක්තෝම්බර් මස 03 වනදා ඉරිදා පැවැත්වෙන බවත්, උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස 04 වනදා ආරම්භ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (09) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සදහන් කළේ උසස් පෙළ විභාගය පැවත්වීමේ දින සම්බන්ධයෙන් මේ වන විට මත දෙකක් (2) පවතින බවයි ෴

+++++++++++++++++++

(09.07.2021 – 20:24 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 551 ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව අද (09) දිනයේ මේ දක්වා වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1515 ක්.

කොරෝනා මරණ 43 ක් ඊයේ (08) දිනයට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (09) තහවුරු කළා.

ඒ අනුව මෙරට මුළු මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3434 ක් ලෙසයි.

මේ අතර, ප්‍රභේද හඳුනාගැනීම සඳහා සිදුකරන පර්යේෂණ හා රසායනාගාර පහසුකම් පුළුල් කරමින් කොළඹ විශ්වවිද්‍යාලය තුළද ප්‍රභේද පර්යේෂණ ආරම්භ කර තිබෙනවා.

මේ දක්වා ඒ සඳහා පහසුකම් පැවතුණේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පමණයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *