කොතලාවල පනත් කෙටුම්පත සම්මත කර ගැනීමකින් තොරව වෙනත් දිනයකට ගෙන යාමේ යෝජනාවට අනුමැතිය

කොතලාවල පනත් කෙටුම්පත සම්මත කර ගැනීමකින් තොරව වෙනත් දිනයකට ගෙන යාමේ යෝජනාවට අනුමැතිය

*********************************************

කොතලාවල පනත් කෙටුම්පත සම්මත කර ගැනීමකින් තොරව වෙනත් දිනයකට ගෙන යාමේ යෝජනාවට අනුමැතිය

(08.07.2021 – 19:41 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත අද (08) දිනයේ සම්මත කර ගැනීමකින් තොරව එය වෙනත් දිනයකට ගෙන යාම සඳහා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට සභාවේ අනුමැතිය හිමි වුණා.

ඒ අනුව අද (08) දිනයේ එම පනත් කෙටුම්පතට අදාළව පළමු (1) දිනයේ විවාදය පැවැත්වුණා.

මේ අතර, මහබැංකුවේ 2020 වසර සදහා වන වාර්ෂික වාර්තාව පිලිබද සභාව කල් තැබීමේ විවාදය හෙට (09) දිනයේ නොපැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රධානත්වයෙන් අද (08) දහවල් පැවති පක්ෂ නායක රැස්වීමේදි තීරණය කෙරුණා.

අදාළ වාර්තාව සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කිරීමට පැවරී තිබුණේ තමාට බවත්, එය වෙනස් කර ඇති බවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක චෝදනා කිරීමත් සමඟයි විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැදවීමට කථානායකවරයා පියවර ගත්තේ ෴

++++++++++

******************************************

(08.07.2021 – 19:17 +0530 – hirunews.lk/sinhala)

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවකට අදාළව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම මේ මස 31 වනදා දක්වා තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථීර මහාධිකරණ අද (08) නියෝග කළා.

තම සේවාදායකයාට මේ මස 26 ත් 28 ත් අතර කාලය තුළ ඉතාලියේ පැවැත්වෙන එක්සත් ජාතින්ගේ ලෝක ආහාර සමුළුවට සහභගිවීමට ආරාධනා ලැබී අති බැවින් කෘෂිකර්ම අමාතයවරයා ලෙස ඊට සහභාගි වීමට දැනට අධිකරණය පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඔහුගේ නීතිඥයන් කළ ඉල්ලීමට අනුවයි මෙම නියෝගය ලබා දුන්නේ ෴

******************************************

(08.07.2021 – 19:27 +0530 – hirunews.lk/sinhala)

15 හැවිරිදි බාල වයස්කාර දැරිය ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමට දැන්වීම් පළ කළ තවත් වෙබ් අඩවියක හිමිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකු මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තාවන්නේ.

මීට පෙරද දැරිය ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමට දැන්වීම් පළ කළ වෙබ් අඩවි දෙකක (2) පුද්ගලයින් හතරදෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබුණා.

එමෙන්ම මෙම දැරිය ලිංගික කටයුතු සඳහා අලෙවි කළ බවට දැන්වීම් පළ කළ තවත් වෙබ් අඩවි හතරක් (4) සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (07) මීට අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම හමුවේ කැඳවූ අතර, එහිදී ඇය, නියෝග කළේ මෙම සිද්ධියට අදාළව චෝදනා එල්ලවී ඇති සියලුම සැකකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා ලෙසයි.

දැනට මෙම සිද්ධියට අදාළව විශේෂඥ වෛද්‍යවරයෙකු, මාලදිවයිනේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු ඇතුලු 30 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

+++++

මේ අතර, මාතර – පිටබැද්දර විද්‍යාලයක විදුහල්පතිවරයෙකු කරනු ලැබූ පැමිණිල්ලකට අනුව අන්තර්ජාලය හරහා සිසුවියන් පිරිසක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියකටද ජංගම දුරකථන සේවා සමාගමක අලෙවි නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

+++++

මේ අතර, ළමා අපචාර බහුතරයක් සිදුවන්නේ සමාජයේ දැනුවත්භාවයකින් යුත් සමාජ පිළිගැනීමක් ඇති පුද්ගලයන් අතින් බව, කාන්තා හා ළමා සංවර්ධන, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.

සමාජයේ මිනිසුන් තුළ ආකල්පමය වෙනසක් ඇති කරමින් දරුවන් දෙස කරුණාවෙන් බැලිය යුතු බවයි ඔහු කියා සිටියේ.

ගල්කිස්ස ප්‍රදේශයේ අවුරුදු 15 ක දැරිය අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය තමන් හෙළා දකින බව ද ඔහු සඳහන් කළා ෴

******************************************

(08.07.2021 – 19:34 +0530 – hirunews.lk/sinhala)

නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා නියෝජනය කරන, පඬුවස්නුවර ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයෙකු තෝරා ගැනීමට අද (08) පැවති ඡන්ද විමසීමේදී පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ අපේක්ෂකයා පරාජයට පත් කර වෙනත් අපේක්ෂකයෙකු ජයග්‍රහණය කරවීමට නිදහස් පක්ෂ, සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය කටයුතු කළා.

එලෙස ජයග්‍රහණය කළේ පොදුජන පෙරමුණ නියෝජනය කරන ධර්මසේන බමුණුසිංහ මහතායි.

ඔහු නිදහස් පක්ෂයේ සාමාජිකත්වය පසුව ලබාගන්නා පොරොන්දුව මත සභාපති ධුරයට තෝරා ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

පඬුවස්නුවර ප්‍රාදේශීය සභාව මන්ත්‍රීවරුන් 38 කගෙන් සැදුම් ලබන අතර, ඡන්ද විමසීමේදී ධර්මසේන බමුණුසිංහ මහතාට ඡන්ද 20 ක් ලැබී තිබෙනවා.

පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 18 දෙනෙකු සිටින අතර, මන්ත්‍රීවරුන් 7 දෙනෙකු නිදහස් පක්ෂය නියෝජනය කරනවා.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 8 දෙනෙකු, එක්සත් ජාතික පක්ෂයේ තුන්දෙනෙකු (3), ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු (1) සහ මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙකු (1) ප්‍රාදේශීය සභාවේ සිටින අතර, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා පමණක් ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියා.

මෙලෙස පඬුවස්නුවර ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනෙන්නේ හිටපු සභාපතිවරයා පසුගිය දා කොරෝනා ආසාදිතව මිය යාමත් සමඟයි.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ඩාර්ලි පාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී මේ වන විට ආරම්භ වී තිබෙනවා.

නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී වත්මන් දේශපාලන තත්වය මෙන්ම පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබද සාකච්ඡා කිරීමට නියමිතයි ෴

******************************************

ලිට්‍රෝ සමාගම ගැන කෝප් කමිටුව දුන් උපදෙස්

(08.07.2021 – 18:14 +0530 – sinhala.adaderana.lk)

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පෞද්ගලික) සමාගම කෝප් කමිටුවට කැඳවීමට සහ රජයේ විගණනයට ලක්කිරීමට කටයුතු කරන ලෙස කෝප් කමිටුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට උපදෙස් ලබා දුන්නේය.

කෝප් කමිටුව ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට මෙම උපදෙස් ලබාදුන්නේ මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කමිටුව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට අනුව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පෞද්ගලික) සමාගම රජයේ විගණනයට ලක්කළ නොහැකි බව සඳහන් කරමින් ඔවුන් අධිකරණයට ගොස් තිබෙන බවත් මේ නිසා මෙම ආයතන සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමෙන් වැළකී සිටීම සුදුසු බවත් කෝප් කමිටුවේ සභාපතිවරයා මෙහිදී අනාවරණය කළේය.

මේ අනුව රාජ්‍ය විගණනයට ලක් නොවන නිසා එම ආයතන දෙක කෝප් කමිටුවට කැඳවීමට අවස්ථාව නොලැබෙන බවත් මේ නිසා මේ කාරණය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළ නොහැකි බවත් එහිදී මහාචාර්ය චරිත හේරත් මහතා පැහැදිලි කළේය.

නමුත් කෝප් කමිටුවට පැමිණි මන්ත්‍රීවරුන්ගේ අදහස වූයේ මෙම ආයතන දෙකේ කොටස් වලින් 99% ක අයිතිය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතු වන බැවින් මෙම ආයතන රජයේ විගණනයට ලක් විය යුතු බවය.

එම නිසා එම ආයතන කෝප් කමිටුවට කැඳවීමට අවස්ථාව සැලසිය යුතු බවට කෝප් කමිටුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් එකඟතාවය පළකිරීම නිසා ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පෞද්ගලික) සමාගම කමිටුව හමුවට කැඳවීම ඉක්මනින් සිදුකරන ලෙස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට උපදෙස් ලබාදුන්නේය.

99% ක් කොටස් හිමි ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට මේ සම්බන්ධයෙන් විධිමත් තීරණයක් ගැනීමට හැකි බවත් ඒ වෙනුවෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණ සහ කටයුතු ඉක්මනින් සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

විශේෂයෙන් මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් මෙම නීතිමය තත්ත්වයේදී ලිට්‍රෝ සමාගම වෙනුවෙන් කවර නීතිඥ සමාගමක් අධිකරණය වෙනුවෙන් පෙනී සිටිනවා ද යන්න සහ ඒ වෙනුවෙන් කෙතරම් මුදලක් වැය වනවාද යන්න ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ගෙන් ප්‍රශ්න කළේය.

නමුත් ලිට්‍රෝ සමාගමේ නිලධාරීන් මෙහි නොමැති බැවින් ඒ සඳහා තමන්ට පැහැදිලි උත්තරයක් ලබා දීමට නොහැකි බව සභාපති වරයා පිළිතුරු ලබාදුන්නේය.

එහිදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මතු කළේ මෙවැනි තත්ත්වයක් යටතේ වුවද මෙම ලිට්‍රෝ සමාගම කෝප් කමිටුවට කැඳවීමට අවශ්‍ය බව පැහැදිලි වන හෙයින් මෙම කාරණය විධිමත්ව ඉක්මනින් සිදු කළ යුතු බවය.

එම ආයතන කැඳවන්නේ නැතිව එම ආයතන වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට පිළිතුර ලබා දීමට නොහැකි බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

එසේම මෙහිදී ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ නිලධාරීන් ලිට්‍රෝ සමාගමේ කොටස් සම්බන්ධයෙන් තමන් වගකීමක් දැරුව ද එහි පරිපාලනය සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවත් එම කොටස් සම්බන්ධයෙන් තමන්ට පාඩුවක් වන්නේ නම් එම කොටස් විකිණීමට කටයුතු කරන බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය ෴

******************************************

වල් පිනා ගෙන් සිසුවියට අතවර

******************************************

ජෝසෆ් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම හෙළා දකිමින් ලංකා ගුරු සංගමය දැඩි තීරණයක

(08.07.2021 – am.lk)

පවතින අධ්‍යාපන අර්බුදය හමුවේ ඊට විසඳුම් ලබා දෙනවා වෙනුවට එම අඩුපාඩු හා ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාවන් පෙන්වා දෙමින් ජනතාවට සත්‍ය පහදා දෙන වෘත්තිය සමිති ක්‍රියාකාරීන් කොවිඩ්-19 නීති වලට මුවා වී අත්අඩංගුවට ගැනීම පිළිකුල් සහගතව හෙළා දකින බව ලංකා ගුරු සංගමයේ කළුතර දිස්ත්‍රික් සභාපතිවරයා සඳහන් කරනවා.

ආන්ඩුවේ මර්දනකාරී ක්‍රියා පිළිවෙත හෙළා දකිමින් එම සංගමයේ සභාපති එස්. මඩලකන්ද මහතා මේ බව සඳහන් කරන්නේ ජ්‍යෙෂ්ඨ වෘත්තීය සංගම් නායකයෙකු වූ ජෝසෆ් ස්ටාලින් මහතා ඇතුළු වෘත්තීය සංගම් නායකයින් හා ක්‍රියාකාරීන් පිරිසක් පොලිසිය විසින් අද (08) අත්අඩංගුවට ගැනීම පදනම් කරගනිමින්.

මර්දනයෙන් මහජන මතය යට කරන්න බැහැ

අද (08) දවසේ දී පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට සූදානම් කර තිබූ කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව සාමකාමී උද්ඝෝෂණයක නියැලුණු වෘත්තීය සමිති ක්‍රියාකාරීන් අත් අඩංගුවට ගැනීමෙන් දිනපතා රජයට එරෙහිව මතුවන අප්‍රසාදය හා පීඩනය යටපත් කළ නොහැකි බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

අයුතු ජන රාශිය වැනි චෝදනාවන් වෘත්තිය සමිති මර්දනයට යොදා ගන්නා පසුබිමක බරපතළ කොවිඩ් ප්‍රභේද රටතුළ පැතිර යන අවස්ථාවක විශේෂ අධ්‍යාපන මධ්‍යස්ථාන වලට දරුවන් හා එන්නත් නොකරන ලද ගුරුවරුන් ඒකරාශී කරමින් ආරම්භ කොට ඇති ඉගෙනුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම සෞඛ්‍යය නිර්දේශ උල්ලංඝනය කිරීමක් නොවන්නේ දැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් සභාපතිවරයා ප්‍රශ්න කරනවා.

දැඩි තීරණයකට සූදානම්

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් සහෝදරයා ඇතුළු වෘත්තිය සමිති ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් ගුරු භවතුන් මේ දක්වා ස්වෙච්ඡාවෙන් කළ මාර්ගගත ඉගැන්වීම් වලින් ඉවත් වීමටද තීරණය කළ බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

විවේචන හා අසමත්වීම් විඳ දරා ගැනීමට නොහැකිව තම බලය අයුතු ලෙස යොදා ගනිමින් මිලිටරි ක්‍රමවේදයකින් ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීමට දරන උත්සාහය ලංකා ගුරු සංගමය හෙළා දකින අතර කුමන මර්දනයක් හමුවේ වුව ජනතා අරගලයට දෙන දායකත්වය ලබාදීමට කිසිවිටෙකත් පසුවට නොවන නොවන බවත් සභාපතිවරයා අවධාරණය කරනවා ෴

******************************************

15 දැරිය අපයෝජනය කළ ලැයිස්තුව තවත් ඉහළට

(08.07.2021 – gossiplankanews.com)

අන්තර්ජාලය ඔස්සේ අලෙවි වූ, බාල වයස්කාර දැරියට අතවර කළ බවට හඳුනාගෙන ඇති සියලු සැකකරුවන් ඔවුන්ගේ තරාතිරම නොබලා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේක්‍රම මහත්මිය ළමා හා කාන්තා කාර්යාංශයට ඊයේ (07) නියෝග කළාය. එම සැකකරුවන් සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් වීම, නිදහස ලබාදීමට හේතුවක් නොවන බව කී මහේස්ත්‍රාත්වරිය, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කඩිනමින් අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස එම කාර්යාංශයට නියම කළාය. මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණය අධිකරණය හමුවේ ඊයේ (17) යළි කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝග නිකුත් කළාය.

දැරිය කෘරත්වයට පත්කර කුට්ටනය නම් වරදට ආධාර අනුබල දුන්නැයි දින 11 ක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටි වින්දිත දැරියගේ මව රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇපයක් මත මුදාහැරිමට ද අධිකරණය නියෝග කළේය. සැකකාරිය සිය පදිංචිය තහවුරු කළ යුතු අතර, සෑම ඉරු දිනකම පෙරවරු 9 ත් 12 ත් අතර කාලයේදී ළමා හා කාන්තා කාර්යාංශයේ පෙනී සිටිය යුතු බවට ද අධිකරණය ඇප කොන්දේසි නියම කරමින් සඳහන් කළේය.

සැකකාරිය තෙමස් ගැබිනියක වීම මෙන්ම, පවතින කොරෝනා තත්වය හේතූවෙන් සැකකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉදිරිපත් කර ඇති නියමයන්ට අනුව සැකකාරියට ඇප ලබාදෙන බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය. තම සේවාදායිකාව තෙමස් ගැබිනියක වන බැවින් හා බන්ධනාගාරයේ ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් තත්වයෙන් ඇගේ ගැබට හානියක් සිදුවිය හැකි බැවින් සැකකාරියට ඇප ලබාදෙන ලෙසට සඳහන් කරමින් සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ අමිල ඉන්දික මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය සැකකාරියට එලෙස ඇප නියම කළේය.

මෙම අතවර සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මිහින්තලය ප්‍රාදේශීය සභාවේ උපසභාපති එදිරිසිංහයන් මුදියන්සේලාගේ ලලිත එදිරිසිංහ, බලංගොඩ ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයකු වන මොහොමඩ් මහරුෆ්, මොහොමඩ් රිෆාන් සහ පියල් ගමගේ යන සැකකරුවෝ බන්ධනාගාරය විසින් අධිකරණයට ඊයේ (07) ඉදිරිපත් කරනු ලැබුහ.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 වගක්තිය ප්‍රකාරව, තමන් සිදුකළ වැරැද්ද සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙම සැකකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝගයක් ලබාදෙන ලෙසට ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයෙන් පෙරේදා (06) ඉල්ලීම් කළහ. සැකකරුවන් මෙම ප්‍රකාශ ස්වාධීනව මෙන්ම කිසිදු ප්‍රතිලාභයකින් තොරව කළ යුතුව ඇති බැවින්, එය ස්වේච්ඡාවෙන් හා කිසිදු පෙලඹිමකින් තොරව ඉදිරි දිනයේදී ලබාදීමට කටයුතු කරන ලෙස ද අධිකරණය සැකකරුවන්ට දැනුම් දුන්නේය. ඒ අනුව, ලබන 09 වැනිදා හඳුනාගැනීමේ පෙරටටුවකට දින නියම කළ අධිකරණය, එදිනට අදාළ ප්‍රකාශ ලබාදෙන්නේ නම් ඒ සඳහා කටයුතු කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට නියම කළාය.

මෙම සිද්ධියේ පළමු (01), දෙවැනි (02), සිව්වැනි (04) සහ අටවැනි (08) සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙසට ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීමක් කළහ.

මෙම බාල වයස්කාර දැරිය සිය පියාගෙන් අතවරයට පත්වූ බවට ඉකුත් 2013 වසරේදී මීගහවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමෙන් පසු ඒ සම්බන්ධයෙන් මහර අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති බවත්, එහිදී මෙම බාල වයස්කාර දැරිය වයස අවුරුදු 8 ක දැරියකව සිට ඇති බවට අනාවරණය වන බවත් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

එම දැරියගේ මව ඒ වනවිට විසි දෙහැවිරිදි (22) වියේ පසු වූ කාන්තාවක වන බවට කරුණු ඉදිරිපත් වී තිබූ අතර, පසුව ඇය විදෙස්ගත වී ඇති බවටත්, වින්දිත දැරියන්ගේ භාරකාරත්වය පරිවාස දෙපාර්තමේන්තුව මගින් ඇගේ මිත්තණියට භාර කර ඇති බවටත් කරුණු හෙළි වී ඇතැයි මහේස්ත්‍රාත්වරිය අධිකරණයේදී ප්‍රකාශ කළාය. එහිදී දැරිය අධීක්ෂණය කිරිම අධිකරණය විසින් පරිවාස නිලධාරින්ට බාර කරනු ලැබ ඇති අතර, පරිවාස දෙපාර්තමේන්තුව මෙම දැරිය සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් සිදු කර නොමැති බවට අනාවරණය වන බව ද මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.

මෙම සිද්ධියේ අටවැනි සැකකරු, ‘ලංකා ඇඩ් ඩොට් කොම්’ ආයතනයට දැන්වීමක් පළ කළ සැකකරු වන අතර, සැකකරු දැරියගේ වයස අවුරුදු 19 ක් ලෙස සඳහන් කරමින් දැරිය කුටනය කිරීමට අධාර අනුබල දී ඇතැයි ද මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

ඒ අනුව, මෙම සැකකරුවන්ට ඇප ලබාදුනහොත් දැරිය අපයෝජනයට ලක් කළ සමාජ මාධ්‍යයෙන්ම මහජන කැළඹීම් ඇති කළ හැකි බවත්, මෙම වරදේ බරපතළතාව සැලකිල්ලට ගත යුතු බවත් සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවගේ ඇප ප්‍රතික්ෂේප කරමින් ඔවුන් ලබන 20 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත භාරයේ තැබීමට නියම කළාය.

සිද්ධියට අදාළ 06 වැනි සැකකරු වන කැලණිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනම විසින් මෙම දැරිය අවස්ථා තුනකදී (3) එම විහාරයට ගෙන්වාගනු ලැබ ඇති බවටත්, එක් වරකට රුජියල් 20,000 ක මුදලක් දැරියට ලබා දී ඇති බවටත් තොරතුරු අනාවරණය වන බව ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට දැනුම් දී ඇත. මෙම සැකකාර හිමිනම තම ජංගම දුරකතනයේ වට්ස්ඇප් මෘදුකාංගය ඔස්සේ මෙම දැරිය සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවත්, මෙහිදී බාල වයස්කාර දැරිය සමග සම්බන්ධ වූයේ මන්දැයි විමසීමේදී දුක සැප සොයා බලන්න කතා කළ බව සැකකාර හිමිනම ප්‍රකාශ කළ බවත් ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම සිද්ධියේ 10 වැනි සැකකරු පොළොන්නරුව ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු වන අතර, ඔහු රුපියල් ලක්ෂ තුනක (3,00,000) මුදලකට දැරිය රැගෙන බණ්ඩාරවෙල සහ නුවරඑළිය ප්‍රදේශවල දින දෙකක් (2) ගත කර ඇති බව ද දහස් ගණන් වියදම් කර දැරියට අවශ්‍ය ඇඳුම් පැලඳුම් ලබා දී ඇති බව ද පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයකු වන මොහොමඩ් අස්මලී, වැලිසර නාවික හමුදා රෝහලේ වෛද්‍ය ලුතිනන් කමාන්ඩර් දිමුතු ද සිල්වා යන අය ඇතුළු සැකකරුවන් 34 දෙනකු මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

එම සැකකරුවන් අතර චීවරධාරියකු, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු, මැණික් ව්‍යාපාරිකයකු, නැවක කපිතාන්වරයකු, දේශපාලනඥයකු සහ කෝටිපති ව්‍යාපාරිකයකු ද ඇතුළු විශේෂ පුද්ගලයන් සිටින බව ද පොලිසිය සඳහන් කළේය.

නිමන්ති රණසිංහ

@@@@@@@@@@@@@@@@

(08.07.2021 – 19:47 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි දින කිහිපයේ කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාවේ විශාල ඉහළයාමක් සිදුවිය හැකි බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.

පසුගිය දිනවල පැවති වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් අඩාල වී තිබූ කොරෝනා පරීක්ෂණ මේ වනවිට සාමාන්‍ය තත්වයට පත්වීම හේතුවෙන් මෙලෙස රෝගීන්ගේ විශාල වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ.

මේ අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම අත්හිටුවීමත් සමඟ ඉතිරි ෆයිසර් එන්නත් තොගය ලබාදෙන කණ්ඩායම් පිලිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍ය නිර්දේශ මත පමණක් තීරණය කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියා.

මේ අතර ඊයේ (07) දිනයට අදාළව කොරෝනා මරණ 40 ක් සිදුව ඇති බව අද වාර්තා කිරීමත් සමඟ මෙරට මුළු මරණ සංඛ්‍යාව 3,391 දක්වා ඉහළ ගියා.

කොරෝනා ආසාදිතව සිටි 1,453 දෙනෙකු සුවය ලැබීමත් සමඟ සුවය ලැබූ මුළු සංඛ්‍යාවක 2,39,584 ක් දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක නිරත වූ චෝදනාවට අත්අඩංගුවට ගෙන ඇපමත මුදා හැරුණු, ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාලින් මහතා ඇතුළු 16 ක් විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කෙරේ ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 381 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරටින් අද (08) දිනය තුල වාර්තා වූ මුළු ආසාදිතයින් ගණන 1223 ක් වනවා ෴

+++++++++++++++++++++++

ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ට කොවිඩ්

(08.07.2021 – 19:06 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණකරු ග්‍රාන්ට් ෆ්ලවර් කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.

ඔහු පසුගියදා නිමාවට පත්වූ ශ්‍රී ලංකා එංගලන්ත එක්දින සහ 20/20 තරඟාවලි සඳහා ද එක්විණි.

මේ වනවිට එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකු (3) සහ කාර්යමණ්ඩල සාමාජිකයින් සිව් (4) දෙනෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

එංගලන්ත – ශ්‍රී ලංකා තෙවැනි එක්දින තරඟයෙන් අනතුරුව කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩල එකට ගැවසී ඇති බවද වාර්තා වේ.

ඔවුන් නැවත මෙරටට පැමිණි පසු PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබුණි.

එංගලන්තයේ සිට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම සහ පුහුණුකරුවන් මේ වනවිට කොළඹ හෝටලයක නිරෝධායනය වෙමින් සිටින අතර ඔවුන්ට නැවත දැනුම්දෙනතුරු සිය කාමරවලින් පිටතට නොයන ලෙස දන්වා ඇතැයි වාර්තා වේ.

නමුත් එළඹෙන ශ්‍රී ලංකා – ඉන්දීය එක්දින තරඟාවලිය නියමිත පරිදි පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ ආරංචිමාර්ග පවසයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *