කිසිම බලපෑමකට යට නෑ – ගම්මන්පිල ගෙන් සැර උත්තරයක්

කිසිම බලපෑමකට යට නෑ – ගම්මන්පිල ගෙන් සැර උත්තරයක්

*********************************************

කිසිම බලපෑමකට යට නෑ – ගම්මන්පිල ගෙන් සැර උත්තරයක්

(08.07.2021 – 15:03 +0530 – hirunews.lk/sinhala)

තමන් කිසිවෙකුගේ බලපෑමකට යටත් නොවනබව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (08) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

ඒ සමගි ජනබලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

******************************************

(08.07.2021 – 14:00 +0530 – hirunews.lk/sinhala)

පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ප්‍රමාද වීම සහ සෞන්දර්ය විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ නොකිරීම නිසා සිසුන් පත්ව ඇති අර්බුදය කඩිනමින් විසදන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.

ඒ, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවේදී අද (08) යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර, තමා ඉල්ලා තිබූ සභාව කල් තැබීමේ යෝජනාවක් ලබා නොදීමට හේතුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කථානායකවරයාගෙන් විමසීමත් සමඟ විවාදාත්මක තත්ත්වයක් ඇති වුණා.

******************************************

(08.07.2021 – 14:09 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දෙකකට (2) සම්බන්ධ සාමාජිකයන් දෙදෙනෙකු (2) විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ කටුනායකදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් අතර සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මිනුවන්ගොඩ – හීනැටියගල නීල්ගේ සහෝදරයෙකු වන රුක්මාල් වසන්ත හෙවත් ජායි ද වන බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ෴

******************************************

(08.07.2021 – 14:37 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට රැගෙන ආ වියලි කහ කිලෝග්‍රෑම් 672 ක්, යුද හමුදාව විසින් සොයාගෙන තිබෙනවා.

ඒ, මන්නාරම 54 වන සේනාංකයට ලැබුණු තොරතුරකට අනුව අද (08) අලුයම සිදුකළ වැටලීමකදියි.

මන්නාරම වෙරළ තීරයේදී නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට ගෙන ආ කහ තොගයක් කුඩා ලොරි රථයකට පටවමින් සිටියදී යුද හමුදාව විසින් සොයාගෙන ඇති අතර, සැකකරුවන් පලාගොස් ඇති බවයි වාර්තාවන්නේ.

යුද හමුදා භාරයට ගත් කහ තොගය මන්නාරම පොලීසියට භාරදීමට කටයුතු කර තිබෙනවා ෴

******************************************

(08.07.2021 – 14:50 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි දින කිහිපයේ දිවයිනේ මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

විශේෂයෙන් හෙට (09) සහ අනිද්දා (09) දිනවල දිවයිනේ නිරිත දිග කොටසේ බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණ සහ මධ්‍යම පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

මේ අතර ගාල්ලේ සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 70 දක්වා වැඩිවිය හැකි අතර එම ප්‍රදේශවල ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

(08.07.2021 – 14:58 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද (08) පස්වරුවේ කාබනික පොහොර නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත බව ආරංචි මාර්ග පවසනවා.

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වත්මන් වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යධුරයද හොබවනවා.

මොහාන් පී ද සිල්වා මහතා වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යධුරයේ දිවුරුම් දීමට නියමිත බවද ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔහු මීට පෙර කාබනික හා ස්වාභාවික පොහොර නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යධුරය හෙබවූවා.

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස සහ අග්‍රාමාත්‍යවරයා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු තවත් රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු (2) අද (08) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඒ අනුව වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මොහාන් පී. ද සිල්වා මහතා දිවුරුම් දෙනු ලැබුවා.

මීට පෙර නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරවීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු ලෙස පැවති රාජ්‍ය අමාත්‍යාංශයෙන් වෙරළ සංරක්ෂණ කොටස ඉවත් කර නව අමාත්‍යාංශයක් ලෙස එය ගැසට් කර තිබෙනවා.

එසේම කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ලූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ, කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතායි.

කාබනික පොහොර සඳහා වෙනම අමාත්‍යාංශයක් වෙන් කර තිබීම විශේෂත්වයක් වන අතර, මෙතෙක් මොහාන් පී. ද සිල්වා මහතා රාජ්‍ය අමාත්‍ය ධුරය දැරූ පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශය අහෝසි කර තිබෙනවා.

එම අමාත්‍යාංශය යටතේ පැවති ආයතනවලින් ජාතික පොහොර ලේකම් කාර්යාලය, සීමාසහිත ලංකා පොහොර සමාගම, කොළඹ කොමර්ෂල් පොහොර සමාගම, ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩලය, ශෂීන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරයා දිවුරුම් දුන් කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට පත් කර තිබෙනවා.

එමෙන්ම මොහාන් පී. ද සිල්වා මහතා දැරූ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පැවති මාංශභෝග හා ධාන්‍ය පර්යේෂණ සහ නිෂ්පාදන අධිකාරිය, සීමාසහිත ජනතා ෆර්ටිලයිසර් එන්ටප්‍රයිසස් සමාගම, අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මුදල් අමාත්‍යාංශය යටතට පත් කෙරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (07) නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයෙන්.

එසේම මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අයත් කෘෂිකර්ම අමාත්‍යාංශයටද අලුතින් ආයතන කිහිපයක් එක් කර තිබෙනවා.

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති සීමාසහිත ලංකා පොස්පේට් සමාගම, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පැවති වී අලෙවි මණ්ඩලය, හෙක්ටර් කොබ්බෑඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය සහ ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවද කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරා තිබෙනවා ෴

******************************************

(08.07.2021 – 15:25 +0530 – hirunews.lk/sinhala)

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපතිවරයා ලෙස එහි සාමාන්‍යාධිකාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා පත් කර තිබෙනවා.

ඊට අදාල පත්වීමේ ලිපිය විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා විසින් අද (08) එම අමාත්‍යාංශයේදී ලබා දුන් බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

හිටපු සභාපති කමල් රත්වත්ත මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා මෙම පත්වීම සිදුකර තිබෙනවා.

මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, අද (08) රථ වාහන හා අපරාධ අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ වැඩ භාර ගනු ලැබුවා.

ඒ, බත්තරමුල්ලේ පිහිටි එම කාර්යාලයේදීයි.

අපරාධ දිසාව, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, රථ වාහන පාලනය හා මාර්ග ආරක්ෂණ දිසාව, නාවික හා සංචාරක දිසාව යන දිසා 4 ඊට අයත් වනවා ෴

******************************************

(08.07.2021 – 15:46 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 53 ක වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් කළුතර දකුණ පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු තුන්දෙනා (3) මේ මස 22 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සැකකරුවන් අද (08) දින ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස විදේශීය සබදතා ඇති බවට සැක කෙරෙන නිසා තවදුරටත් විමර්ශන සිදුකරන බවයි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ.

පසුගිය 18 වනදා සැකකාර උප පොලිස් පරික්ෂකවරයා නිල ඇඳුමෙන් සැරසී මෝටර් රථයකින් දක්ෂිණ අධිවේගි මාර්ගයේ කොළඹ දෙසට යාම සඳහා හික්කඩුවේ සිට බද්දේගම පිවිසුම වෙත ගමන්කරමින් සිටියදී නිලධාරීන් විසින් රථය ලුහුබැඳ තිබෙනවා.

අනතුරුව ගෝනාපිනුවල ප්‍රදේශයේදි නවතා පරික්ෂා කිරිමේදි කලු පාට ගමන් බෑගයක සඟවා තිබූ හෙරොයින් තොගය සොයාගෙන තිබෙනවා.

සැකකාර උප පොලිස් පරික්ෂකවරයා එහිදී නිල ඇඳුමෙන් ගමන්කරමින් සිට ඇති බවයි අනාවරණ වූයේ.

එහි තිබී හෙරොයින් කිලෝ 51 යි ග්‍රෑම් 728 ක් තොගය සොයාගැනීමට සමත් වූවා.

පසුව එම හෙරොයින් තොගය ලබාගැනිම සඳහා වෑන් රථයකින් පැමිණ අතුරුගිරිය පිවිසුම අසල රැඳි සිටි අනෙක් සැකකරුවන් දෙදෙනා (2) ද අත් අඩංගුවට ගනු ලැබුවා.

අතරමගදී පොලිස් මාර්ග බාධකවලදි සිදු කරනු ලබන සෝදිසි කිරිම්වලින් බේරීයාම සඳහා සැකකරු නිල ඇඳුමෙන් හෙරොයින් ප්‍රවාහනය කර ඇති බවද පරික්ෂණවලදි අනාවරණය වී තිබෙනවා ෴

******************************************

(08.07.2021 – 16:06 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්ට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරය පිරිනමා තිබෙනවා.

ඊට අදාළ පත්වීම් ලිපිය අද (08) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඔහු වෙත පිරිනැමූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරය මීට පෙර දැරූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම පත් කිරීම සිදුකර තිබෙනවා ෴

******************************************

(08.07.2021 – 16:07 +0530 – hirunews.lk/sinhala)

හැටන් නගරයේදී උද්ඝෝෂණයක නිරතවීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 3 දෙනා ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ, ඔවුන් හැටන් මහේස්ත්‍රාත් නිමේෂා පටබැදිගේ හමුවට අද (08) ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ එක් අයෙකුට රුපියල් ලක්ෂ 3 බැගින් වූ පෞද්ගලික ඇප මත මුදා හරින ලෙසටයි.

ඔවුන් අද (08) දහවල් මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ෴

******************************************

(08.07.2021 – 18:03 +0530 – hirunews.lk/sinhala)

උද්ඝෝෂණ සහ මහජන ඒකරාශීවීම් සිදුනොකළ යුතු බවට දන්වා තිබියදී විරෝධතාවල නිරතව සිටියදී අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් ඇතුළු 33 දෙනා ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ, සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා හමුවට අද (08) පස්වරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහිදී මහේස්ත්‍රාත්වරිය රුපියල් 25,000 බැගින් වූ පෞද්ගලික ඇප මත මොවුන්ව මුදා හැරීමට නියෝග කළා.

පෙරටුගාමි සමාජවාදී පක්ෂය, අන්තර් විශ්වවිද්‍යාලයීය බලමණ්ඩලය ඇතුළු තවත් සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් අද (08) උදෑසන පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුයේ අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය පනත් කෙටුම්පතට එරෙහිවයි.

කෙසේ වෙතත්, එහිදී පොලීසිය ඊට මැදිහත් වී ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අතර එහිදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා.

විරෝධතාවය ආවරණය කළ මාධ්‍යවේදීන්ට ද පොලීසිය බාධා කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත්, සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලීසිය කියා සිටියේ අද (08) පැවති මෙම විරෝධතාව හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට පැමිණෙන ගිලන් රථවලට දැඩි අපහසුතාවයට පත්වූ බවයි.

එමෙන්ම, දැඩි මහජන කැළඹීමක් ද සිදුවූ බව පොලීසිය සඳහන් කළා. ඒ අනුව මොවුන් රක්ෂිත බන්ධනාගාර ගත කොට නිරෝධායනයට යොමු කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් කළා.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ පොලීසිය දේශපාලන අවශ්‍යතාවන් සඳහා නිරෝධායන නීති උපයෝගී කරගෙන තම සේවාදායකයින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සදහන් කළේ සැකකරුවන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමට තම අධිකරණයට බලයක් නොමැති බවයි.

එමෙන්ම, ඉන්ධන මිල ඉහළ දැමීම, පොහොර හිඟය ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ අද (08) මාතර – අකුරැස්ස ප්‍රදේශයේදී උද්ඝෝෂණයක නිරත වුණා.

එහිදී හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ලාල් ප්‍රේමනාත් සහ අජන්ත ගම්මැද්දගේ ඇතුළු 13 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාළ උද්ඝෝෂණය පැවැත්වීම වලක්වාළමින් අධිකරණ නියෝගයක් ද නිකුත් කර තිබූ නමුත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් පසුව පොලිස් ඇප මත මුදා හැරුණු බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

එමෙන්ම, රත්නපුර – පැල්මඩුල්ල – මිදලන – යහන්දොළ ගම්මානයට පිවිසෙන මාර්ගය පිළිසකර කර නොමැති බව පවසමින් අද (08) ගම්වාසීන් විරෝධතාවයේ නිරත වුණා.

මුව ආවරණය කර අභිනයෙන් ඔවුන් විරෝධය පළ කළේ පොදු රැස්වීම්, උද්ඝෝෂණ තහනම් කර තිබීම හේතුවෙන්.

මේ අතර, විරෝධතාවල නිරත වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කර සමගි ජන බලවේගය අද (08) පෙරවරුවේ පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවයක නිරත වුණා.

ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් එක්ව සිටියා ෴

******************************************

(08.07.2021 – 19:13 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට උණුසුම් තත්වයක් ඇතිවී තිබෙනවා.

තත්වය පාලනය කිරීමට පොලිස් කැරලි මර්දන ඒකකය සහ විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බවයි වාර්තාවන්නේ.

+++++++++++

++++++++++

+++++++++++

+++++++++

++++++++

++++++++++

@@@@@@@@@@@@@@@@

(08.07.2021 – 15:10 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 1453 ක් සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 239,584 දක්වා ඉහළගොස් තිබෙනවා ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 842 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ මුළු ආසාදිතයින් ගණන 269,518 ක් වනවා ෴

++++++++++++++++++++++

(08.07.2021 – 17:34 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 40 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

එම මරණ ඊයේ (07) දිනයේ සිදුව ඇති බවටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත්තේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3,391 ක් දක්වා ඉහළයනු ඇති.

++++++++++++++++++++++

(08.07.2021 – 18:34 +0530 – hirunews.lk/sinhala)

කොළඹ අධ්‍යාපන කලාපයේ සියලු පාසල්වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්‍ය මණ්ඩල සඳහා කොවිඩ්-19 එන්නත් ලබාදීම 2021.07.12 වන දින නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු පහතින් :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *