කඩුගන්නාව නගර සභාපති කොටි බිරියන් නවයක් (9) රටින් පන්නලා

කඩුගන්නාව නගර සභාපති කොටි බිරියන් නවයක් (9) රටින් පන්නලා

*********************************************

කඩුගන්නාව නගර සභාපති කොටි බිරියන් නවයක් (9) රටින් පන්නලා

(08.07.2021 – mawbima.lk)

කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ නගරාධිපතිවරයකු ලෙස පෙනී සිටිමින් තමන්ට හිමිකමක් නැති ප්‍රභූ ගමන් බලපත්‍රයක් ව්‍යාජ ලෙස සකස් කරගෙන කූට ලේඛන සකසා රටින් පැන සිටින එල්ටීටීඊ සාමාජිකයන්ගේ බිරින්දෑවරුන් 09 ක් ජපානයට, ස්පාඤ්ඤයට හා ඉන්දියාවට රැගෙන ගොස් සිදුකළ මිනිස් ජාවාරමක් පිළිබඳව ජනාධිපති විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

එමෙන්ම මේ වනවිට එම සිද්ධිය සම්බන්ධව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ උපදෙස් මත මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා විශේෂ අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

කඩුගන්නාව නගර සභා සභාපතිවරයා නියමිත රාජකාරි නිවාඩු අනුමත කරනොගෙන මේ විදේශ ගමන්වාර යොදාගෙන ඇත්තේ කඩුගන්නාව නගර සභාව මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත සූර්ය විදුලි ව්‍යාපෘතියක් පිළිබඳ අධ්‍යයනයකට යන බව දන්වා සිටිමින් බව පැවැසේ.

ව්‍යාජ ලෙස සකස් කළ OL7445158 දරන රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය යොදාගෙන මේ තැනැත්තා වර්ෂ 2019 ජනවාරි සිට පෙබරවාරි මුල් භාගයේ ජපානයේ ගත කර ඇති බවත් මේ ගමනේදී නාගරික ලේකම්වරිය, භාෂා පරිවර්තක හා තාක්ෂණ නිලධාරි ලෙස ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් කාන්තාවන් ජපානයට රැගෙන ගොස් ඇති බවත් මේ එක් අයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 25 ක මුදලක් මෙම පුද්ගලයා ලබාගෙන ඇති බවත් මේ සම්බන්ධව ඉදිරිපත් වී ඇති පැමිණිල්ලේ දැක්වේ.

එමෙන්ම 2020.02.18 දින සිට 2020.02.24 දින දක්වා කාලය තුළ මේ තැනැත්තා ස්වකීය ව්‍යාජ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය භාවිත කරමින් ස්පාඤ්ඤයේ සංචාරය කර ඇති බවත් එහිදීද නගර සභා ලේකම්වරිය ලෙසත් තාක්ෂණ නිලධාරි හා භාෂා පරිවර්තක ලෙසත් කාන්තාවන් තිදෙනකු (3) කූට ලිපි ලේඛන සකස් කර රැගෙන ගොස් ඇති බවත් ඔවුන් එක් අයකුගෙන් මේ ගමන සඳහා රුපියල් ලක්ෂ 30 බැගින් ලබාගෙන ඇති බවත් පැමිණිලිකාර පාර්ශ්වය පවසයි.

ඔහු මේ ආකාරයෙන් ජපානයට ගමන් වාර දෙකක් (2) ද ස්පාඤ්ඤයට ගමන් වාරයක් (1) හා ඉන්දියාවට ගමන් වාරයක් (1) ගොස් ඇති බව පැමිණිලිකරුවන් දක්වා ඇත.

කඩුගන්නාව නගර සභාව නමින් ව්‍යාජ ලිපි ශීර්ෂයක් සකස් කර කඩුගන්නාව නගර සභාවේ දුරකථන අංකය ලෙස 081 570 5238 දරන දුරකථන අංකය යොදාගෙන මෙම කටයුතු සිදුකර ඇතැයි දැනගන්නට ඇත. නගර සභා ලේකම්වරිය ලෙස පෙනී සිටිමින් ඊට එන ඇමතුම් ලබාගන්නේ මේ තැනැත්තාගේ බිරිය බවත් පැමිණිලිකරුවෝ ප්‍රකාශ කරති.

ව්‍යාජ තොරතුරු ලබාදෙමින් මේ තැනැත්තා විසින් විදේශ ගත කළ කාන්තාවන් 09 දෙනාම තවම ලංකාවට පැමිණ නැතැයි පැමිණිලිකරුවෝ පෙන්වා දෙති.

නාගරික මන්ත්‍රිවරුන් කිහිපදෙනකු මේ වනවිට නගර සභාවේ ලේකම්වරියගෙන් ‘තොරතුරු දැනගැනීමේ පනත’ ප්‍රකාරව මේ පිළිබඳව තොරතුරු ඉල්ලා ඇති බවත් දැනගන්නට ඇත.

මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා නගර සභාවේ මන්ත්‍රිවරුන් හා පළාතේ ජනතාව ලෙස හඳුන්වා දෙමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ පළාත් පාලන ඇමැතිවරයා, ජනාධිපති ලේකම්, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු වගකිව යුතු පිරිසකට පැමිණිල්ලක් යොමුකර ඇත.

කඩුගන්නාව නගර සභාවේ සභාපතිවරයා විසින් කූට ලේඛන සකස් කර විදේශ ගමන් බලපත්‍රයක් සකස් කර තිබෙන බවටත් නගර සභාවේ බලතල අයුතු ලෙස පාවිච්චි කර පුද්ගලයන් පිරිසක් වරින්වර ජපානය ඇතුළු විදේශ රටවල් කිහිපයකට රැගෙන ගිය බවටත් පැමිණිල්ලක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත ලැබී තිබෙන බවත් ඒ සම්බන්ධව විමර්ශනයක් පවත්වන ලෙස ආණ්ඩුකාරවරයා කළ නියෝගයකට අනුව තිදෙනකු (3) ගෙන් යුත් විශේෂ විමර්ශන කමිටුවක් පත් කොට අදාළ පරීක්ෂණ කටයුතු මේ වනවිටද සිදු කරමින් සිටින බවත් මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා පවසයි ෴

******************************************

ඉංගිරියම හෙල්ලෙයි : සාදු බල්ලෙක් තවත් හිමිවරු දෙනමක් ඝාතනය කරන්න කොන්ත්‍රාත්තුවක් දීලා

(08.07.2021 – am.lk)

ඉංගිරියම හෙල්ලෙයි : චීවරධාරියෙක් තවත් හිමිවරු දෙනමක් ඝාතනය කරන්න කොන්ත්‍රාත්තුවක් දීලා

ඉංගිරිය දීපාලෝක පිරිවෙන් මහා විහාරයෙහි විහාරාධිපතිත්වයේ කටයුතු කරන චීවරධාරියෙකු විසින් තවත් ස්වාමීන් වහන්සේලා දෙනමක් (2) ඝාතනය කිරීම සඳහා කළ සැලසුමක් හෙළි වීම මත අදාල චීවරධාරියා මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

එම විහාරයේම විහාරාධිකාරී ලෙස කටයුතු කරන ලුණුගම්වෙහෙර විනීත හිමි සහ රයිගම්වත්ත ප්‍රදේශයේ විහාරස්ථානයේ විහාරාධිපති ලෙස කටයුතු කරන්න ඉංගිරියේ විපුලසාර හිමි යන ස්වාමීන් වහන්සේලා දෙනම (2) ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කොට තිබෙන බවටයි අදාළ චීවරධාරියාට චෝදනා එල්ල වී තිබෙන්නේ.

ඉංගිරිය දීපාලෝක පිරිවෙන් මහා විහාරයේ විහාරාධිපතිත්වය නීත්‍යානුකූල නොවන අයුරින් දැරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවතින අතර එම නඩුව මුල්කොටගෙන මෙම ඝාතන සැලසුම ක්‍රියාත්මක කළ බවයි වාර්තා වන්නේ.

එම නඩුවෙන් ඝාතන කොන්ත්‍රාත්තුව දුන් චීවරධාරියාට අවාසි සහගත තත්ත්වයක් උදා වී තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

මේ වන විට ඝාතන කොන්ත්‍රාත්තුව දුන් අදාල චීවරධාරියා සහ ඔහුගේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරන්නේ ෴

******************************************

(08.07.2021 – 08:17 +0530 – hirunews.lk/sinhala)

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත අද (08) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් බොහෝ පිරිස් විවේචන එල්ල කරන අතර කොළඹ ඊයේ (07) පැවති මාධ්‍ය හමු කිහිපයකදී මෙම පනත් කෙටුම්පතට විරෝධතා එල්ලවුණා.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ මෙම නව පනත මගින් උපාධිය මුදලට විකිණීමේ හැකියාවක් පවතින බවයි.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද කොළඹ දී ඊයේ (07) මාධ්‍ය හමුවක් කැදවා තිබූ අතර, එහිදී අදහස් දැක්වූ එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා කියා සිටියේ වෛද්‍ය සභාවේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ නියාමනයක් නොවී අනෙකුත් ක්‍ෂේත්‍රවල නියාමන වීම ගැටළු සහගත බවයි ෴

******************************************

(08.07.2021 – 08:40 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම මාසික වැටුප වැඩි කිරීම සඳහා වේතන පනත් කෙටුම්පතේ 3 වන වගන්තිය සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් පැවති රුපියල් දස දහසක් (10,000) වන අවම වැටුප රුපියල් 12,500 දක්වා ඉහළ යනු ඇති.

මීට අමතරව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ දෛනික වැටුප ද රුපියල් 400 යේ සිට 500 දක්වා ඉහළ දැමීමට අදාළවද නීති සංශෝධනය කර තිබෙනවා.

කම්කරු අමාත්‍යාංශයේ උපදේශ කාරක සභාවේදී ඊයේ (07) මේ පිළිබදව සාකච්ඡා වී ඇති අතර, එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුකූල බවත්, පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කිරීමට අවධානය යොමු වූ බවත්, පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනය කළා.

මේ අතර, වීසා නොමැතිව රැදී සිටින විදේශිකයන්ට එම කාලය වෙනුවෙන් වීසා ගාස්තුවලට අමතරව ඇමරිකානු ඩොලර් 500 ක දඩ මුදලක් අය කිරීම ඇතුළු වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සංශෝධනය කිරීමටද අවධානය යොමුව තිබෙනවා.

සංචාරක වීසා ගාස්තු අය කිරීමේදී විවිධ රටවල් සඳහා පැවති විෂම ගාස්තු ක්‍රමවේදය වෙනුවට ඒකීය ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දීම ද සංචාරක කාර්යයන් සඳහා නිකුත් කරනු ලබන සංචාරක වීසා කාලසීමාව මාස තුනේ (03) සිට මාස 09 දක්වා දීර්ඝ කිරීම කෙරෙහිද අවධානය යොමුවුණා ෴

******************************************

(08.07.2021 – 09:14 +0530 – hirunews.lk/sinhala)

මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ දිවුරුම් දීමට පෙර අමාත්‍යාංශවල විෂය පථයන් සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබුවා.

මුදල් සහ ආර්ථික ප්‍රතිපත්ති සැළසුම් ක්‍රියාත්මක කිරීමේ කැබිනට් අමාත්‍යාංශ දෙක (2) සමඟ තවත් රාජ්‍ය අමාත්‍යාංශ දෙකකට (2) අදාළ නව විෂය පථයන් එහි දක්වා තිබෙනවා.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දුන් ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ කැබිනට් අමාත්‍යාංශයට මෙතෙක් මුදල් අමාත්‍යාංශය යටතේ පැවති ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව, තක්සේරු දෙපාර්තමේන්තුව, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය, කොම්ප්ප්‍රෝලර් ජනරාල් කාර්යාලය, ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසම, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය, තිරසර සංවර්ධන සභාව එක්කර තිබෙනවා.

ඊට අමතරව අග්‍රාමාත්‍යවරයා, මෙතෙක් දැරූ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස තවදුරටත් කටයුතු කරනු ඇති.

නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂගේ අමාත්‍යාංශයට අයත් ආයතන ලෙස මහා භාණ්ඩාගාරය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව, නීති කටයුතු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම්, රේගු, සුරාබදු දෙපාර්තමේන්තුව මෙන්ම ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය ගැසට් කර තිබෙනවා.

එසේම මහ බැංකුව ඇතුලු රාජ්‍ය බැංකු, මූල්‍ය, රක්ෂණ හා ඒවායේ පාලිත සමාගම් මෙන්ම විදුලි සංදේශ දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල ගැසට් කර ඇත්තේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා දිවුරුම් දුන් මුදල් අමාත්‍යාංශයටයි.

එමෙන්ම ආචාර්ය නාලක ගොඩහේවා, රාජ්‍ය අමාත්‍ය ධුරය හොබවන නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැර කරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයද සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව වෙරළ සංරක්ෂණ විෂය ඉන් ඉවත් කර වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ලෙස නව රාජ්‍ය අමාත්‍යාංශයක් අදාළ ගැසට් නිවේදනය මගින් ස්ථාපිත කර තිබීම විශේෂත්වයක්.

අති විශේෂ ගැසට් පත්‍රය –
No. 2235/45 – 2021-07-07 – Presidential Secretariat – Duties and Functions
[Sinhala][English] (pdf files)

******************************************

(08.07.2021 – 09:32 +0530 – hirunews.lk/sinhala)

බැසිල් රාජපක්ෂ මීට සුලු වේලාවකට පෙර මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ ෴

මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ලැබුවා. ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේයි.

+++++++++++

(08.07.2021 – 11:06 +0530 – hirunews.lk/sinhala)

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මිට සුළු මොහොතකට පෙර මුදල් අමාත්‍යාංශයේ වැඩ භාර ගෙන තිබෙනවා.

******************************************

(08.07.2021 – 11:48 +0530 – hirunews.lk/sinhala)

නිරෝධාන නීති උල්ලංඝණය කරමින් පාර්ලිමේන්තු වට රවුම අසල විරෝධතාවයේ නිරත වූ 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

අත්අඩංගුවට ගත් පිරිස අතර ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතා සහ පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් ද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය සහ තවත් සංවිධාන කිහිපයක් එක්ව පාර්ලිමේන්තු වට රවුමේදී මෙම විරෝධතාව සංවිධාන කර තිබූ අතර, එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ඇති වූයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක්.

එහිදී විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී එය වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට පොලීසියෙන් බාධා එල්ල වුණා.

මේ අතර, නිරෝධායන නීති කඩ කරමින් අකුරැස්ස නගරයේ විරෝධතාවක නිරත වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු (2) ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ උද්ඝෝෂණය පැවැත්වීම වළක්වමින් පොලීසිය අධිකරණ නියෝගයක් ද ලබාගෙන තිබූ අතර, ඔවුන් එය නොතකා උද්ඝෝෂණයේ නිරතවීම හේතුවෙනුයි අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

එමෙන්ම ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට දී ද ජනතා විමුක්ති පෙරමුණ උද්ඝෝෂණයක නිරත වූ අතර පොලීසිය පැමිණීමෙන් අනතුරුව ඔවුන් ඉන් ඉවත්ව ගිය බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

එමෙන්ම නුගේගොඩ – දුම්රිය ස්ථානය ඉදිරිපිට දී ද ජනතා විමුක්ති පෙරමුණ උද්ඝෝෂණයක් සිදුකිරීමට අද (08) පෙරවරුවේ උත්සාහ කළ ද ඊට පොලීසිය ඉඩ ලබානොදීම හේතුවෙන් ඔවුන් නුගේගොඩ ගුවන් පාලම අසළට පැමිණ විරෝධතාවක නිරත වුණා.

කෙසේ වෙතත් පොලීසිය ඔවුන් විසුරුවා හැරීමටයි පසුව කටයුතු කළේ.

මේ අතර, සමගි ජන බලවේගය ද අද (08) පාර්ලිමේන්තුව ආරම්භවීමට ප්‍රථම පාර්ලිමේන්තු වට රවුමේදී විරෝධතාවක නිරත වුණා.

ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් එක්ව සිටියා.

******************************************

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(08.07.2021 – 12:45 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්, ජුලි 10 පෙ:ව: 9 සිට පැය 21 ක්, කොළඹ 01, 02, 03, 07, 08, 09, 10 සහ 11 ට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පවසනවා ෴

******************************************

(08.07.2021 – 13:18 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ අද (08) අමාත්‍යාංශ දෙකක (2) දිවුරුම් දෙනු ලැබුවා.

ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත්, මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (08) පෙරවරුවේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණියේ මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීම සඳහායි.

සභා ගැබ මැදින් දිවුරුම්දීම සඳහා කථානායකවරයා අසළට පැමිණීමේදී ඔහුට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවුණා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අසළ නැවතී ආචාර කිරීමෙන් අනතුරුවයි ඔහු කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේ.

මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයාට යාබද, සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට වම්පසින් පිහිටි ඉදිරි පෙළ 9 වන අසුනේ අසුන් ගත්තා.

එසේම මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ අද (08) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේදී එම ධුරයේ වැඩ භාරගනු ලැබුවා.

එහිදී පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් අනුශාසනාවක් සිදුකළා.

මේ අතර බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම්දීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට සමගාමීව දිවයිනේ ප්‍රදේශ රැසක අද (08) සැමරුම් සිදු කෙරුණා.

******************************************

(08.07.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala)

විල්පත්තු ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී සතුන් දඩයම් කළ 8 දෙනෙකු ඊයේ (07) වනජීවි නිලධාරීන් භාරයට ගනු ලැබුවා. මොවුන් නොච්චියාගම – තල්ගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවන් ෴

******************************************

(08.07.2021 – 13:50 +0530 – hirunews.lk/sinhala)

මිය ගිය මිණිමුතු මෝරෙකුගේ සිරුරක් මුලතිව් – අම්පිල් වෙරළ තීරයට ඊයේ (07) පස්වරුවේ ගොඩ ගසා තිබෙනවා.

@@@@@@@@@@@@@@@@@@

(08.07.2021 – 08:30 +0530 – hirunews.lk/sinhala)

මින් ඉදිරියට විදෙස් රටවල සිට කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන දින 14 කට පසු මෙරටට පැමිණෙන පුද්ගලයින්ට නිරෝධායනය අවශ්‍ය නොවන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, මෙරට පැමිණීමෙන් පසු කොරෝනා පරීක්ෂණ වාර්තාවක් ලබාගෙන එමගින් කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු වීමෙන් පසු නිවෙස් බලා යා හැකි බවයි එහි සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේ.

ඊයේ (07) දිනයේ මෙරටින් නව ආසාදිතයන් 1,243 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 268,676 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් 1,229 දෙනෙකු ‘අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ’ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 14 දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනා ගැනුනා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 27,232 කු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 238,131 ක්.

එමෙන්ම කොරෝනා ආසාදනය වී පුද්ගලයින් 38 දෙනෙකු පෙරේදා (06) මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (07) තහවුරු කළා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව ඉහළ ගියේ 3,351 ක් දක්වා යි ෴

++++++++++++++++++++++++

(08.07.2021 – 08:35 +0530 – hirunews.lk/sinhala)

රජයේ පාසල්වල ගුරුවරුන්ට මෙන්ම පෞද්ගලික අංශයේ පාසල්වල ගුරුවරුන්ට ද කොරෝනා එන්නත ලබාදීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (07) ප්‍රකාශ කළේ එළඹෙන 12 වන දා සිට රජයේ පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අධ්‍යයනය අංශයේ කාර්ය මණ්ඩලයට කොරෝනා එන්නත ලබාදෙන බවටයි.

එමෙන්ම, ඉදිරියේදී උපකාරක පන්තිවල ගුරුවරුන්ට ද කොරෝනා එන්නත ලබාදීමට කටයුතු කරන බව ඔහු පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++++++

(08.07.2021 – 10:42 +0530 – hirunews.lk/sinhala)

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 2,356,130 කට සහ දෙවන (2) මාත්‍රාව ද පුද්ගලයින් 921,702 කට ලබාදී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ ස්පුට්නික්-වී එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 114,795 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 14,795 කට ලබාදී අවසන් බවයි.

එමෙන්ම, කොවිෂිල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 925,242 කට සහ එහි දෙවන (2) මාත්‍රාව 384,374 ක් ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත්, ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව ලෙස පුද්ගලයින් 2171 කට ෆයිසර් එන්නත ලබාදි ඇති අතර එය අද (08) සිට නතර කිරීමටද තීරණය කෙරුණා.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලයන 1.4 ක් එළඹෙන තුන්වන (3) සතියේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බැවින් ෆයිසර් එන්නත ලබාදීම එලෙස නතර කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++++

(08.07.2021 – 13:57 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත තත්වය සම්බන්ධයෙන් පවතින අවධානම තවදුරටත් එලෙසම පවතින බැවින් සංචරණ සීමා ලිහිල් කිරීමේදී වඩාත් සැළකිලිමත් වන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවලට අනතුරු අඟවනවා.

ඇමරිකානු කලාපයේ රටවලින් පමණක් මිලියන ගණනක් ආසාදිතයන් සතිපතා හඳුනාගැනෙන අතර, යුරෝපය තුළද විශාල වශයෙන් මේ වනවිට ආසාදිතයන් වාර්තාවෙමින් පවතිනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරී මයික් රයන් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ නව කොරෝනා රැල්ලක ව්‍යාප්තියේ ආරම්භක අවස්ථාවට රටවල් රැසක් මේ වනවිට මුහුණ දෙමින් සිටින බවයි.

ඒ හේතුවෙන් තවමත් දැනට පනවා ඇති සංචරණ සීමා ඉවත් කිරීමට ඉක්මන් නොවිය යුතු බව ඔහු සඳහන් කළා.

පසුගිය සතියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු කලාපය භාර අධ්‍යක්ෂ වෛද්‍ය මට්ෂිඩ්සෝ මොයට් ද ප්‍රකාශ කළේ අප්‍රිකානු මහද්වීපය තුළ කොරෝනා තුන්වන රැල්ල දරුණු වී ඇති බවයි.

රටවල් 53 කින් 36 කම පසුගිය මාස දෙකක (2) කාලය තුළ මරණ හා රෝහල් ගතවීම් අඩුවීමත් සමඟ පැනවූ සංචරණ සීමා ඉවත් කිරීමට පියවර ගනු ලැබුවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා ප්‍රධානී හෑන්ස් ක්ලූග් ද කියා සිටියේ කිසියම් පුද්ගලයෙකු සංචරණය තෝරා ගන්නේ නම් එහි වගකීමද ඔහු හෝ ඇය විසින් භාරගත යුතු බවයි.

ඊයේ (07) මෙරටින් වාර්තාවූ ආසාදිතයන් 1,243 අතරින් වැඩිම පිරිසක් එනම්, 223 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා.

කොළඹින් 183 දෙනෙකු, ගම්පහින් 168 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර යාපනය – අච්චුවේලි පොලිසියේ නිලධාරියෙකුගේ විවාහ මංගල උත්සවයට සහභාගිවූ තවත් හතරදෙනෙකුට (4) කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

පසුගියදා අදාළ විවාහ මංගල උත්සවයට සහභාගි වූ අයෙකුට වෛරසය ආසාදිත බවට තහවුරු වීමත් සමඟ අච්චුවේලි පොලිස් ස්ථානයේ නිලධාරීන් අටදෙනෙකු (8) ඇතුලු 64 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමටයි පියවර ගැනුනේ.

එමෙන්ම අම්බලන්ගොඩ – හිරේවත්ත මෝදර මහ දේවාලයට පැමිණි පුද්ගලයෙකු හදිසියේ ඇද වැටීමෙන් මියගොස් තිබෙනවා.

මෙම මරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමෙන් පසු හදිසි මරණ පරීක්ෂණය සහ කොරෝනා පරීක්ෂණය සිදුකිරීම සඳහා දේහය බලපිටිය මූලික රෝහල වෙත රැගෙන ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ හික්කඩුව ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *