පෞද්ගලික පාසල් ගුරුවරුන්ටත් කොවිඩ් එන්නත්

පෞද්ගලික පාසල් ගුරුවරුන්ටත් කොවිඩ් එන්නත්

*********************************************

පෞද්ගලික පාසල් ගුරුවරුන්ටත් කොවිඩ් එන්නත්

(07.07.2021 – 20:33 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික පාසල්වල ගුරුවරුන්ටත් කොවිඩ්-19 එන්නත් ලබාදීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

මේ අතර ලබන 12 වන දා සිට රජයේ පාසල්වල සියළුම ගුරුවරුන්ට කොරෝනා එන්නත ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.

වයස් භේදයක් නොසලකා අදාළ එන්නත ලබාදෙන බවයි අද (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

පසුගියදා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදීයි ගුරුවරුන්ට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් තීරණයකට එළඹ තිබුනේ.

ඒ අනුව මෙරට 10,155 ක් වන සියලු පාසල්වල ගුරුවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට සහ අනධ්‍යයන සේවකයන්ට ද එන්නත් ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

විදුහල්පතිවරු, සහාය කාර්ය මණ්ඩලයක් පත්කර ඒ ඒ මධ්‍යස්ථානවලට යවා ගුරුවරුන් හඳුනා ගැනීම සිදුකරනු ඇති.

අධ්‍යාපන අමාත්‍යවරයා කියාසිටියේ සියලු ගුරුවරුන්ට ප්‍රමුඛ කණ්ඩායමක් ලෙසට සලකා පාසල් හැකිතාක් ඉක්මනින් විවෘත කිරීමට හැකිවන පරිදි පළමු පියවර වශයෙන් එන්නත් කරණය සිදුකරන බවයි.

එමෙන්ම පාසල් විවෘත කිරීමේ ක්‍රියාවලියේ පළමු පියවරක් වශයෙන් ළමුන් 100 ට අඩු පාසල් රජයේ ආධාර ලබන පාසල් සහ පිරිමෙන් විවෘත කිරීමට අපේක්ෂිතයි.

පාසල් වසා තැබීම අඛණ්ඩවම සිදුකළ නොහැකි අතර මෙම එන්නත්කරණ වැඩපිළිවෙල ඉක්මනින් අවසන් කිරීමට හැකි බවට ද අධ්‍යාපන අමාත්‍යවරයා විශ්වාසය පළකරනවා ෴

+++++++++++++++++++++

(08.07.2021 – 06:30 +0530 – hirunews.lk/sinhala)

අද (08) උදෑසන 06:00 සිට මාතලේ දිස්ත්‍රික්කයට අයත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් (2) හුදෙකලා කර තිබෙනවා.

මේ අතර දිස්ත්‍රික්ක 02 කට අයත් ග්‍රාම නිලධාරී වසම් 07 ක් හුදෙකලා බවින් නිදහස් කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ප්‍රදේශයෙන් සම්බන්ධ වැඩිදුර විස්තර පහතින් :

++++++++++++++++++++

(08.07.2021 – 07:01 +0530 – hirunews.lk/sinhala)

ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් අයට දෙවන (2) මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් ලබාදීම අද (08) සිට නවත්වා ඇති බවයි වාර්තා වනවා.

මේ අතර ජූලි තුන්වන (3) සතිය වන විට ශ්‍රී ලංකාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.4 ක් ලැබීමට නියමිතව තිබෙනවා ෴

++++++++++++++++++++

කොරෝනාවෙන් වෛද්‍ය අපට හානිය අඩුයි.. වැඩි කල පඩි අඩු කරන්න.. අසරණ දුප්පතුන්ට සහන දෙන්න.. – විශේෂඥ වෛද්‍යවරු රජයට කියති…

(08.07.2021 – 03:28 +0530 – lankacnews.com)

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි :

= මාධ්‍ය නිවේදනයයි =

රාජ්‍ය සේවය තුළ ඇතිවෙමින් පවතින හදිසි වැඩ වර්ජන කිරීමේ ප්‍රවණතාව

දේශයක් වශයෙන් covid-19 වසංගත නිසා අප රට පත් වී ඇති අවාසනාවන්ත තත්ත්වය අප රට තුළ පවත්නා ඉලක්කගත නොවූ හා අවිධිමත් වූ මහජන මුදල් කළමනාකරණය මත තවත් සංකූල භාවයට පත්වී ඇති බව අපට වැටහී ඇත.

දැනටමත් ක්‍රියාත්මක වන වෘත්තීය ක්‍රියාමාර්ග වලින් මෙම තත්වය මනාවට පැහැදිලි වේ. වෘත්තීය සමිති වලට තම සාමාජිකයන්ගේ ඉල්ලීම් මත වෘත්තීය ක්‍රියාමාර්ග වලට සහභාගි වීමට ඇති අයිතිය අප පිළිගන්නා අතර අප සිතන්නේ මෙහිදී මෙම වෘත්තීය ක්‍රියාමාර්ග වලට සාධක වූ මූලික හේතූන් සොයා බැලීම ඉතාම වැදගත් බවයි. මෙයට ප්‍රධාන හේතුව ලෙස අප දකින්නේ රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි රාජ්‍ය සේවකයන්ගේ ඇති විශ්වාසය ඉතා දැඩි ලෙස බිඳී යාමක් සිදු වූ නිසා බවයි. රජය යම් කොටස්වලට නිසි අධ්‍යයනයකින් තොරව යම්කිසි වරප්‍රසාද ලබා දීම මෙම විශ්වාසය බිඳී යාමට ප්‍රබල හේතුවකි.

අපට පෙනෙන ආකාරයට මෙම වරප්‍රසාද ලබා දීමේදී වැදගත් වී ඇත්තේ එම වෘත්තිය සංගමයට රජය සමග ඇති බැඳීම සහ එම සංගමය මගින් රජයට බල කිරීමට ඇති හැකියාව විනා එම ඉල්ලීම් කොතරම් සාධාරණද යන්න බව නොවේ.

මෙහිදී ඉතා වැදගත් වන්නේ මෙම ඉල්ලීම් දිනා ගැනීම සඳහා ඔවුන් විසින් ඇපයට තබනු ලබන්නේ දැනටමත් කොවිඩ් වසංගත නිසා ඉතා දරුණු ලෙස ආර්ථික අහේනියට ලක් වී ඇති සමාජයේ ඉතාම අසරණ මෙන්ම දුප්පත් ජනතාව වීමයි.

රජයේ සේවකයින් ලෙස අපට තවමත් අපගේ වැටුප කිසිම අඩුවක් නැතුව ලැබෙන බව අප විසින් පිළිගත යුතු අතර අප අයත් සමාජ ස්ථරය මෙම Covid අර්බුදය නිසා ආර්ථික වශයෙන් ලැබුවා වූ හානිය අන් සමාජ ස්ථරයන් ලබා ඇති හානියට වඩා ඉතා අඩු බව ද අප පිළිගත යුතුය. මෙහිදී රාජ්‍ය සේවකයන් වශයෙන් අපට අනිකුත් රැකියාවල නියුතු අයට වඩා යම්කිසි වාසිදායක තත්වයන් තිබු බවද අප පිළිගත යුතුය. අවශ්‍යතාව අනුව ගෙදර සිට වැඩ කිරීමේ හැකියාව එසේත් නැත්නම් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයා දීම සහ වෙනත් එවැනි දේ අපට ලබා දුන් බවද අප පිළිගත යුතුය. සමහර අවස්ථාවලදී අපට අවශ්‍ය කෑම බීම සහ නිවසට අවශ්‍ය මූලික ද්‍රව්‍ය අප සේවා ස්ථානවලට ප්‍රවාහනය කර අපට ඒවා මිලදී ගැනීමට පහසුකම් ද සලසා තිබුණ බවද අප දනිමු.අනික් අතට පෞද්ගලික අංශයේ සේවකයින් බොහොමයකට ඔවුන්ගේ වැටුප් අඩු කිරීම්, කපාහැරීම් සහ බෝනස් දීමනා අඩුකිරීම් සහ සේවයෙන් ඉවත් කිරීම් පවා සිදු වුණු අවස්ථා බොහෝ තිබුණු බවද අප පිළිගත යුතුය. එසේම ස්වයං රැකියා කරන්නන්, කුඩා ව්‍යාපාරිකයින් සහ දවසේ වැටුපට වැඩ කරන කම්කරුවන් ඉතාම දැඩි අපහසුතාවයන්ට ලක් වුණු බව අප අමතක නොකළ යුතුය. රටට බත සපයන ගොවියා පවා ඉතා අපහසු තත්වයට පත් වූයේ ඔවුන්ගේ භාණ්ඩ බෙදාහැරීමේ නිසි පිළිවෙළක් ක්‍රියාත්මක නොවූ බැවිනි.එම නිසා අපගේ අයිතිවාසිකම් ගැන සටන් කරන අතරම අපගේ යුතුකම් ඉටු කිරීම පිළිබඳව ද අප විසින් අවධාරණය කළ යුතුය.

මේ අවස්ථාවේදී අප විසින් යෝජනා කරන්නේ හැකි ඉක්මනින් මෙම ගැටළු සමනය කිරීමේ විසදුමක් ලඛාදී රට තවදුරටත් ව්‍යාකූල තත්වයකට පත් නොකළ යුතු බවය.

මේ සඳහා අප විසින් යෝජනා කරන්නේ

  1. හදිසි තීරණ මත යම්කිසි වෘත්තිය සංගමයක සාමාජිකයන්ගේ පඩි වැඩි කිරීමට ගත් තීරණ සහ ඉදිරියේ දී එසේ කරන බවට දුන් පොරොන්දු වහාම ඉවත් කළ යුතු අතර මෙය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ සියලුම අංශ සමග විධිමත් සාකච්ඡාවක් සිදුකර ඉන්පසුව පමණක් එම තීරණ ක්‍රියාත්මක කළ යුතු බවය.
  2. විවිධ වැටුප් ස්ථර වල රැකියාවේ නියුතු රජයේ සේවකයින්ගේ වැටුප් තල සහ ඔවුන්ගේ ශ්‍රේණි මට්ටම් නැවත සංශෝධනයකට ලක්විය යුතු නම් මෙය ඉතාමත් විද්‍යාත්මක, සාධාරණ සහ විනිවිදභාවයෙන් ඒ සඳහා පත් කර ඇති වැටුප් කොමිසම සහ අනිකුත් අදාළ බලධාරීන් විසින් කළ යුතු බවත් එයින් පසුව පමණක් සාධාරණ ස්ථිර විසඳුමක් කරා ළඟා විය යුතු බවත්ය.

රජය විසින් එවන් විසඳුමකට නොයා මෙවැනි වූ අත්තනෝමතික ක්‍රියා පටිපාටියකට අවතීර්ණ වුවහොත්, රජය මෙන්ම රටද දැනට පත්වී ඇති ඉතාමත් අර්බුදකාරී තත්ත්වය තවදුරටත් දරුණු විය හැකි බව අපි ඉතා දැඩි ලෙස අවධාරණය කර සිටිමු.

විශේෂඥ වෛද්‍ය R. ඥාණසේකරම්
ලේකම්
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

@@@@@@@@@@@@@@@@@

(07.07.2021 – 20:35 +0530 – hirunews.lk/sinhala)

තමන් නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කර අවසන් බැවින් මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමෙන් ඵලක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (07) සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.

රාජ්‍ය අමාත්‍යවරයා මැතිවරණ කොමිසමට අද (07) පෙරවරුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සමාන නමකින් දේශපාලන පක්ෂයක් කුමාර වෙල්ගම මහතා විසින් ලියාපදිංචි කිරීම සදහා අයදුම්පතක් යොමු කර ඇති බවයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා සිදුකළ එම ප්‍රකාශයට කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා අද (07) පස්වරුවේ මෙලෙස ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමෙන් ඵලක් නොමැති බවයි.

******************************************

(07.07.2021 – 21:57 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට එවීමට සූදානම් කර තිබූ කහ කිලෝ 2610 ක් සමග ඉන්දීය ජාතික සැකකරුවන් තුන්දෙනෙකු (3) තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මලු 87 ක අසුරා තිබූ මෙම කහ තොගය ධීවර යාත්‍රාවක් මගින් මෙරටට එවීමට සැලසුම් කර තිබී ඇති බවටයි හෙළිකරගෙන ඇත්තේ.

ඉන්දීය පොලිසිය වෙත ලැබුනු තොරතුරකට අනුව වැටලීමක් සිදුකර ඇති අතර එහිදී කහ තොගය සහ සැකකරුවන් තුන්දෙනා (3) සමග යතුරුපැදි දෙකක් (2) ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 31 සහ 21 වයස්වල පසුවන සැකකරුවන් තුන්දෙනාගේ (3) ජංගම දුරකථන ද තමිල්නාඩු පොලිස් භාරයට ගෙන ඇතැයි සඳහන්.

ඉන්දීය ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇත්තේ මෙම ජාවාරම පිටුපස සිටින ප්‍රධාන සැකකරුවන් සොයා විමර්ශණ සිදුකරන බවයි.

සතියක පමණ කාලයක් තුල තුත්තුකුඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් දෙවන (2) විශාලතම කහ තොගය මෙය ලෙසටයි සැලකෙන්නේ.

පසුගිය ජුනි මස 30 වනදා ද ශ්‍රී ලංකාවට එවීමට සැලසුම් කර තිබූ කහ කිලෝ 2500 ක ප්‍රමාණයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා ෴

******************************************

(07.07.2021 – 22:08 +0530 – hirunews.lk/sinhala)

පොදු සමාව ලබාදීම සම්බන්ධයෙන් රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අද (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රතිචාර දැක්වූවා.

******************************************

(07.07.2021 – 22:23 +0530 – hirunews.lk/sinhala)

හෙට (08) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් අද (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡා දෙකකදී (2) විරෝධය පළ කෙරුණා.

එහිදී සඳහන් කෙරුණේ උපාධි මුදලට විකිණීමට හැකියාව ලැබෙන බවයි.

******************************************

සහරාන්ගේ අන්තවාදී පංතිවලට සහභාගී වූ 24 හැවිරිදි තරුණයෙකු TID අත්අඩංගුවට

(08.07.2021 – 06:16 +0530 – hirunews.lk/sinhala)

සහරාන් හෂිම්ගේ අන්තවාදී පංති වලට 2018/2019 වසර වලදී සහභාගී වූ 24 හැවිරිදි තරුණයෙකු ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල සැකකරු නාරම්මල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ ෴

******************************************

(08.07.2021 – 06:37 +0530 – hirunews.lk/sinhala)

පිටබැද්දර ප්‍රදේශයේ පාසලක සිසුවියන් පිරිසක් අන්තර්ජාලය හරහා අපයෝජනය කළ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසින් තඹුත්තේගම ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 28 හැවිරිදි වියේ පසුවන අයෙක් ෴

******************************************

(08.07.2021 – 06:52 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි දින කිහිපයේ දී එනම් හෙට(09) සහ අනිද්දා(10) දිනවල දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ සහ දිවයින හරහා, දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය වැඩි වීමට ඉඩ තිබෙනවා.

බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ මධ්‍යම පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියි.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.

මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා ෴

******************************************

වෛද්‍ය සභාවේ සැළසුමක් නැති තීරණ නිසා විදේශ විශ්ව විද්‍යාලවල අධ්‍යපනය ලැබීමට යන සිසුන් පීඩාවට !

(07.07.2021 – colombotoday.com)

‘වෛද්‍ය සභාවේ සැළසුමක් නැති තීරණ නිසා විදේශ විශ්ව විද්‍යාලවල අධ්‍යපනය ලැබීමට යන සිසුන් පීඩාවට!.’ යන මාතෘකාව යටතේ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

= අදාළ නිවේදනය =

විදේශ විශ්ව විද්‍යාලයක වෛද්‍ය උපාධිය හැදෑරීම සදහා පිටත්ව යන ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තමන් තෝරා ගත් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් සහතිකයක් (Eligibility Certificate) මෙතෙක් කලක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිකුත් කරන ලදී. එම මගින් මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තමන් තෝරාගත් විශ්ව විද්‍යාලය පිළිබදව හා එම වෛද්‍ය විද්‍යාලයේ තම අධ්‍යාපනය අවසාන කර මෙරටෙහි වෛද්‍යවරයෙක් ලෙස ලියාපදිංචි වීම සදහා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති බවට තහවුරු කෙරේ.මෙම ක්‍රමය හදුන්වා දී ඇත්තේ කාලය ධනය වැයකරමින් වෛද්‍ය උපාධිය සම්පූර්ණකල පසු තමන්ගේ අනාගතය පිළිබදව නිසි සුරක්ෂිතභාවයක් සිසුනට ලබාදීම සදහාය

එහෙත් 2021/06/26 දින ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පුවත්පත් දැන්වීමක් පළකරමින් සදහන් කරන්නේ 2021 අප්‍රේල් 10 නිකුත් කරන ලද අංක 2222/69 දරණ ගැසට් පත්‍රය හේතුවෙන් එසේ සහතිකයක් ලබාදීම අනවශ්‍ය බවයි. එහෙත් 2021/6/30 දින වනවිටත් 2022 අධ්‍යයන වර්ෂය සදහා එසේ සහතිපත් නිකුත් කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් කර තිබුණි. එම අධ්‍යයන වර්ෂය සදහා විදේශ වෛද්‍ය විද්‍යාලවල ලියාපදිංචි වී සිටි සිසුන්ගෙන් පිරිසකට පමණක් එම සහතිකපත් නිකුත් කිරීමත් අනෙක් පිරිසට එම සහතිකපත් නිකුත් නොකිරීමත් නිසා ඔවුන්ට සිදුවී ඇත්තේ විශාල අසාධාරණයකි.

තවද අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්පෙළ සමත් වී මෙරට වෛද්‍ය විද්‍යාලවලට ඇතුලත්වීමට නොහැකි වූ සිසුන් විදේශ වෛද්‍ය විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ලබා ගැනීම සදහා එම විදේශ වෛද්‍ය විද්‍යාලවල ලියාපදිංචි වනු ලබයි. එසේ ලියාපදිංචි වීම සිදුකරනුයේ බොහෝවිට එම විශ්වවිද්‍යාලවල දේශිය නියෝජිත ආයතන හරහාය. තමන්ට අධ්‍යාපනය ලැබීමට විශ්ව විද්‍යාලයක් තෝරා ගැනීමට පෙර එම විශ්ව විද්‍යාලය මෙරට වෛද්‍ය සභාව විසින් සහතික කර ඇති විශ්ව විද්‍යාලයක්ද යන්න එම සිසුන් තීරණය කරන්නේ වෛද්‍ය සභාවේ වෙබ් අඩවියේ ඒ පිළිබදව ඇති විස්තර අනුවය. ගියවසරේ එම වෙබ් අඩවියේ සදහන්වූයේ විදේශ විශ්වවිද්‍යාලය වෛද්‍ය සභාව ඉදිරි වසර කිහිපය සදහා නිර්දේශ කර ඇති බවයි.

එහෙත් මෙම වසරේ එම ක්‍රමවේදය වෙනස් කරමින් Status නැමැති තීරයක් යටතේ විශ්ව විද්‍යලයේ තත්වය පිළිබදව සදහන් කර ඇත. එහිදී මෙරට සිසුන් විශාල පිරිසක් සෑම වසරකම වෛද්‍ය උපාධිය හැදෑරීම සදහා පිටත්ව යන රුසියානු වෛද්‍ය විද්‍යාල 02 ක් වන Peoples Friendship University හා Tver State Medical University පිළිබදව සදහන් කර ඇත්තේ Recommend to the minister on 2020/10/20 for derecognition following evaluation of the renewal application minimum Standards ලෙසය . ගිය වසරේදීද එම විශ්ව විද්‍යාල දෙක හා වෙනත් විශ්ව විද්‍යාල වෛද්‍ය සභාව විසින් සිය වෙබ් අඩිවියෙන් ඉවත්කල තිබුණද ඒ පිළිබදව සොයා බැලීමට පත්කල කමිටුවක් විසින් පෙන්වා දුන් කරුණු අනුව නැවතත් එම විශ්ව විද්‍යාල වෙබ් අඩවියට ඇතුලත් කිරීමට වෛද්‍ය සභාව කටයුතු කළේය.

මේ අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධ්‍යයන වර්ෂයක් ආරම්භවීමට ආසන්න අවස්ථාවේදී මෙරට සිසුන් අපහසුතාවයට පත් කිරීම සදහා මෙසේ කටයුතු කරන බවයි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සංතෝෂම් ලබා දෙන අධික ගාස්තු අයකරනු ලබන විදේශ වෛද්‍ය විද්‍යාල ප්‍රවර්ධනය කිරීම සදහා වෛද්‍ය සභාව කටයුතු කරනවාද යන්න පිළිබදව අප සැක කරන අතර එම සැකය දුරු කලයුත්තේ සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් සිදුකරන සාධාරණ පරීක්ෂණයක් මගිනි. ඒ සදහා වන ඉල්ලීමක් අප විසින් කරණු ලබයි.

තවද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සමහර විදේශ වෛද්‍ය විද්‍යාල පිළිබදව සොයා බැලීම සිදු කරන්නේ 2015 වසරේ එම විශ්ව විද්‍යාලවල තිබුණු තත්වය මතය.

කෙසේ වෙතත් අප රජයෙන් ඉල්ලා සිටින් මෙරට විදේශ විශ්ව විද්‍යාලවල පාරිභෝගිකයින් වන මෙරට දෙමාපියන් හා සිසුන් අපහසුතාවයට පත් කරන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නොසැළකිල්ල පිළිබදව කඩිනම් පරීක්ෂණයක් සිදුකොට 2022 වර්ෂයේ අධ්‍යයන වර්ෂය ආරම් කරන 2021 සැප්තැම්බර් මසට පෙර ඔහුන්ගේ ගැටලුවලට විසදුමක් ලබාදෙන ලෙසයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *