ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පාඩු ලබන හේතු කෝප් කමිටුවේදී හෙළිවෙයි

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පාඩු ලබන හේතු කෝප් කමිටුවේදී හෙළිවෙයි

*********************************************

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පාඩු ලබන හේතු කෝප් කමිටුවේදී හෙළිවෙයි

(07.07.2021 – 16:48 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ලාභ ලබන තත්ත්වයට පත්කිරීම සඳහා වන පූර්ණ ව්‍යාපාරික සැලැස්මක් මාසයක් ඇතුළත කෝප් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස කෝප් සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා ශ්‍රී ලන්කන් සභාපති අශෝක් පතිරගේ මහතාට ඊයේ (06) දැනුම් දුන්නා.

ඒ ඊයේ (06) පැවති කෝප් කමිටු රැස්වීමෙදීයි.

එමෙන්ම පවතින තත්ත්වය අධ්‍යයනය කර අමාත්‍යාංශ මට්ටමින්ද වාර්තාවක් මසක් ඇතුළත ලබා දෙන ලෙස සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරයාට නිර්දේශ කළා.

මෙහිදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගම 2021 මාර්තු 31 දිනට අලාභය රුපියල් මිලියන 372,015 ක් බව කෝප් සභාවේදී අණාවරණය වුනා.

2020/21 වර්ෂයේ බදුවලට පසු එම සමාගමේ මුළු අලාභය රුපියල් මිලියන 45,674 ක් වූ අතර මෙම කාල සීමාව තුලදී මෙහෙයුම් අලාභය ද වැඩි වී ඇති බව මෙහිදී හෙළි වුනා.

2020 වසරේදී භාණ්ඩාගාරය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක අතිරේක ප්‍රාග්ධන යෙදවීමක් සිදු කල අතර, ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 240 ක මුදලක් මේ වනවිටත් සමාගම වෙත නිකුත් කර ඇති බව කාරක සභාවේදී නිරීක්ෂණය වුනා.

එම මුදල් භාවිත කර ඇති ආකාරය සම්බන්ධව ද කාරක සභාවේ විශේෂ අවධානයක් මෙහිදී යොමු වුනා.

මේ අතර මෙහිදී සිදුකල ප්‍රශ්න කිරීම් හමුවේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ 2021 මාර්තු 31 දිනට සේවයේ යෙදී සිටින ඉහළ කළමණාකරණයේ නිලධාරියෙකු රුපියල් මිලියන 3.1 ක මාසික වේතනයක් ලබන බව හෙලි වුනා.

මීට අමතරව රුපියල් මිලියන 2 කට වැඩි මාසික වැටුපක් ලබන ගුවන් නියමුවන් සංඛ්‍යාව 82 ක්.

එමෙන්ම තවත් ගුවන් නියමුවන් 142 දෙනෙකු, ගුවන් යානා ඉංජිනේරුවන් 12 දෙනෙකු, ඉංජිනේරු අංශයේ කළමණාකරුවන් 09 දෙනෙකු හා ඉහළ කළමණාකරණයේ නිලධාරින් 03 දෙනෙකු රුපියල් මිලියනයත් (01), මිලියන 02 අතර මාසික වැටුපක් ලබන බවද කාරක සභාවේදී හෙළි වුනා.

ජාතික සේවාවක් ලෙස පවත්වා ගත යුතු මෙම ගුවන් සේවාවේ දෛනික පාඩුව රුපියල් මිලියන 84 ක් බව කාරක සභාවේදී හෙළි වී තිබෙනවා.

එතරම් ජාතික ධනයක් දිනපතා කාබාසීනියා කරන මෙම සමාගම ලාභ ලබන තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ක්‍රමවත් සැලැස්මක් අවශ්‍ය බවද මෙහිදී අවධාරණය කෙරුනා.

එමෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවය 2019/20 හා 2020/21 වසරවලදී එහි පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 66.9 ක් දක්වා අඩු කර ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් කාරක සභාව එම සමාගම මෙහිදී ඇගයීමට ද ලක් කලා ෴

+++++++

******************************************

මන්තර භාවිත කර අලි මෙල්ල කරන හැටි

(07.07.2021 – 16:42 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයෙකු විසින්, වන අලි රංචුවක් අලි මන්තර භාවිතා කර මෙල්ල කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වනවා.

එම වීඩියෝව පහතින් :

******************************************

(07.07.2021 – 17:18 +0530 – hirunews.lk/sinhala)

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී නිරෝධායන නීති කඩ කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුලු 6 දෙනා ඇප මත නිදහස් කර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මත ඔවුන් නිදහස් කිරීමටයි.

එමෙන්ම සැකකරුවන් අදාළ ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ නිර්දේශය අනුව ඍජු නිරෝධායන ක්‍රියාවලියකට යොමු කෙරෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ පල්ලෙකැලේ ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක දින 14 ක කාලයක් ඔවුන් නිරෝධායනයට යොමුකරන බවයි.

අනතුරුව අධිකරණය ඉදිරියේ සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට නියමිතයි.

මේ අතර නිරෝධායන නීති කඩ කරමින් ජාඇල නගරයේ පැවති උද්ඝෝෂණයක් අතර අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ ඇතුලු සැකකරුවන් දෙදෙනා (2) ද ඇප මත නිදහස් කර තිබෙනවා.

******************************************

(07.07.2021 – 17:44 +0530 – hirunews.lk/sinhala)

වීසා නොමැතිව රට තුළ රැඳී සිටින විදේශිකයන්ට වැඩිපුර රැඳී සිටින කාලය වෙනුවෙන් වීසා ගාස්තුවලට අමතරව ඇමරිකන් ඩොලර් 500 ක දඩ මුදලක් අය කිරීම ඇතුළු වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියෙහි සංශෝධනයන් කිහිපයකට අදාළ ආගාමික හා විගාමික නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට ඊයේ (06) රැස්වූ ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එකඟ වී තිබෙනවා.

මේ අනුව ආගාමික විගාමික නියෝග සංශෝධනය සදහා 2019 ජූනි 03 දිනැති අංක 2126/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති මෙම නියෝග හෙට දිනයේ (08) අනුමැතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටිරාන් අලස් සහ මේජර් ප්‍රදීප් උදුගොඩ යන මහත්වරු සහභාගීවූ අතර රාජ්‍ය නිලධාරීන් මාර්ගගත ක්‍රමයට (Online) සම්බන්ධ කර ගැනීම සිදුවිය.

සංචාරක වීසා ගාස්තු අය කිරීමේදී විවිධ රටවල් සඳහා පැවැති විෂම ගාස්තු ක්‍රමවේදය වෙනුවට ඒකීය ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දීම ද සංචාරක කාර්යයන් සඳහා නිකුත් කරනු ලබන සංචාරක වීසා කාල සීමාව මාස තුනේ සිට මාස 9 දක්වා සංශෝධනය කිරීම ද මෙමගින් සිදුවන බව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් U.V. සරත් රූපසිරි මහතා මෙහිදී සඳහන් කළා.

තවද වර්තමානයේ ශ්‍රී ලංකා රුපියල්වලින් අයකරනු ලබන වීසා ගාස්තු ඇමරිකානු ඩොලර්වලින් අය කිරීම මෙමගින් සිදුවන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මීට අමතරව 2018 වර්ෂය සදහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශන සලකා බලා අනුමැතිය ලබා දීමද මෙහිදී සිදු කෙරුනා ෴

******************************************

පොලිස් නිලධාරියෙකුගෙන් කාන්තාවකට පා පහරක්

(07.07.2021 – 19:32 +0530 – sinhala.adaderana.lk)

කොළඹ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව අසලදී පෙරටුගාමි සමාජවාදී පක්ෂය අද (07) විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.

එම පිරිස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

පසුව ඔවුන්ව රුපියල් ලක්ෂ 2 ක බැගින් වූ ශරීර ඇප මත මුදාහැරි අතර ඔවුන්ව දින 14 ක නිරෝධායනයක් සඳහා පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණි.

එහිදී නිරෝධායනට යොමුවීම ප්‍රතික්ෂේප කළ කාන්තාවකට පොලිස් නිලධාරියෙක් විසින් පා පහරක් එල්ල කරන අයුරු කැමරාවේ සටහන්ව තිබුණි.

******************************************

පාස්කු ප‍්‍රහාරයේ මහ මොළකරුවකු ඔස්ටේ‍්‍රලියාවේදී අල්ලයි

(07.07.2021 – divaina.com)

පාස්කු ප‍්‍රහාරයේ තවත් මහමොළකරුවකු වූ ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නුවර පදිංචි ‘අහමඩ් ලූක්මාන් තාලිබ්’ වසර 2 යි මාස 2 කට පසු ඔස්ටේ‍්‍රලියානු ෆෙඩරල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙල්බර්න්හි මැණික් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය තාලිබ් අයිසිස් සහ අල්කයිදා සංවිධානවලට සහය වී ඇතැයි ඔස්ටේ‍්‍රලියානු විමර්ශකයන් විසින් සොයාගෙන තිබේ.

2010 වසරේදී මාවින් මර්මාරා නාමයෙන් ගාසා ප‍්‍රදේශයට සහනාධාර මුවාවෙන් අවි ප‍්‍රවාහනයේ යෙදී සිටි තාලිබ් ඊශ‍්‍රායල් කමාන්ඩෝ භටයන්ගේ වෙඩි ප‍්‍රහාරයකින් තුවාල ලබා ඇත. එහෙත් ශ‍්‍රී ලංකාවේ බුද්ධි අංශවලට එම තොරතුරු හෙළි වී නැත.

තාලිබ්ගේ අයිසිස් සබඳතා ගැන හෙළිකර ඇත්තේ ඔස්ටේ‍්‍රලියානු පොලිස් අත්අඩංගුවේ සිටින තවත් අයිසිස් කි‍්‍රයාකාරියකු ලබාදුන් සාක්කි වලිනි.

ලූක්මාන් තාලිබ් නැමැත්තා ඔස්ටේ‍්‍රලියාවේදී අබ්දුල්ලා හෙවත් බ්ලූ අයිස් නැමැති අයිසිස් නායකයකු සමග ද රහස් සාකච්ඡාවක් පවත්වා ඇතැයි පොලිස් පරීක්‍ෂකයන් සොයාගෙන ඇත.

මේ අතර ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ තාලිබ්ගේ මැණික් ව්‍යාපාරයෙන් ලැබෙන මුදල් අල්කයිඩා සංවිධානයේ කටයුතු සඳහා ලබාදී ඇති බවයි.

මොහුගේ නීතිවේදීන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ඔස්ටේ‍්‍රලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඩේවිඩ් බොඩ්ඩයිස් විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

මේ අතර අයිසිස් සංවිධානයට සහාය දීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි තාලිබ්ගේ පියා වූ මහාචාර්ය තාලිබ්, කටාර් රජය විසින් ඔස්ටේ‍්‍රලියාවට පිටුවහල් කර තිබේ.

මේ ගැන මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසුවේ ලූක්මාන් නමැති මහාචාර්යවරයා සහ ඔහුගේ පුත් අහමඩ්, පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ බවට තොරතුරු හෙළිවී ඇති බවයි.

කීර්ති වර්ණකුලසූරිය

******************************************

කාන්තාවක් පැදවූ රියක් කිරුළපන දී දුම්රියේ ගැටෙයි

(07.07.2021 – am.lk)

කිරුළපන පූර්වාරාම දුම්රිය හරස් මාර්ගයේ දී මෝටර් රථයක් දුම්රියේ ගැටී තිබෙනවා.

අදාළ මෝටර් රථය කාන්තාවක් පදවාගෙන පැමිණ ඇති බව යි වාර්තා වන්නේ.

ඇයට අමතරව රථය තුළ තවත් කාන්තාවක් ගමන් කොට ඇති බව සඳහන්.

අනතුරින් තුවාළ ලැබූ කාන්තාවන් දෙදෙනා (2) ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර පොලීසිය පවසන්නේ නුගේගොඩ දුම්රිය ස්ථානයෙන් දුම්රිය ගේට්ටු වැසීම සඳහා නිසි අයුරින් සංඥා ලබානොදීම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවට සැක කරන බව යි.

අනතුරෙන් මෝටර් රථයට බරපතළ හානි සිදුවී තිබෙනවා.

අදාළ කාන්තාවන් දෙදෙනා (2) කොල්ලුපිටිය ප්‍රදේශයේ රැකියාවන්හි නිරත වීමෙන් අනතුරුව රැකියා ස්ථානයේ සිට මහරගම නිවස කරා ගමන් කරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බව යි වාර්තා වන්නේ.

කොළඹ සිට පාදුක්ක දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක අදාළ මෝටර් රිය ගැටී තිබුණා.

දුම්රිය ආසන්න වනවාත් සමගම මෝටර් රථයේ එන්ජිම නතර වූ බවත් එම අවස්ථාවේ දී මෝටර් රථයේ බඳ කොටසේ දුම්රිය ගැටුණු බවත් සිද්ධිය ඇසින් දුටු අය පවසනවා.

දුම්රියේ ගැටුණු මෝටර් රථය අඩි 8 ක් පමණ ඉදිරියට ඇදී ගිය බව ද ඔවුන් සඳහන් කරනවා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ස්ථානයේ සේවයේ නිරතව සිටි දුම්රිය ගේට්ටු ක්‍රියාකරුගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

එහි දී ඔහු සඳහන් කර ඇත්තේ දුම්රිය ගේට්ටුව වැසීම සඳහා නුගේගොඩ දුම්රිය ස්ථානයෙන් නිසි දැනුම්දීමක් තමන්ට නොලැබුණු බවයි.

ඒ හේතුවෙන් මෙම අනතුර සිදු වූ බව යි ඔහු පවසන්නේ.

https://www.youtube.com/watch?v=sE-AJ8u7cAQ&t=5

******************************************

(07.07.2021 – 20:05 +0530 – hirunews.lk/sinhala)

රටේ උරුමයන් විනාශ කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද (07) පැවති 131 වන ජාතික පුරාවිද්‍යා සැමරුම් උළෙලට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී සෝමාවතිය සහ රිදී විහාරය, පුරාවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථාන ලෙස නම් කිරීම ද සිදුකෙරුණා ෴

******************************************

(07.07.2021 – 20:09 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩු විරෝධී බලවේග මර්දනයට රජය කටයුතු කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කිරීමත් සමග අද (07) පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

එහිදී විපක්ෂයේ මන්ත්‍රිවරුන් විසින් මතුකල රීති ප්‍රශ්නවලට ඉඩ ලබා නොදීම හේතුවෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සභාගර්භය මැදට පැමිණ ආණ්ඩු පක්ෂයට විරෝධය පළ කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

******************************************

(07.07.2021 – 20:18 +0530 – hirunews.lk/sinhala)

හෙට (08) පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දීමට නියමිත හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ අසුනක් වෙන් කර ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට මැදිව පිහිටි ඉදිරි පෙළ 9 වන අසුන මෙලෙස වෙන් කර තිබෙනවා.

බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට පෙර ඇමතිවරයෙකු වශයෙන් හෙට (08) උදෑසන දිවුරුම් දෙන බැවින් ඔහුට මෙලෙස ඉදිරි පෙළ අසුනක් වෙන්කර ඇති බවයි වේත්‍රධාරීවරයා සදහන් කළේ.

@@@@@@@@@@@@@@@@@

(07.07.2021 – 15:46 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1472 ක් සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 238,131 ක් ලෙසටයි.

දැනට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 267,433 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 678 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 268,111 ක් ලෙසටයි ෴

++++++++++++++++++++

(07.07.2021 – 18:09 +0530 – hirunews.lk/sinhala)

එංගලන්ත තරග සංචාරයේදී ජෛව බුබුලෙන් පිටතට යාම සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ලට එල්ලවී ඇති චෝදනා විමර්ශණයට පංච පුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු නාමල් දිසානායක, නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද, නීතිඥ අසේල රැකව, නීතිඥ උචිත වික්‍රමසිංහ සහ විශ්‍රාමලත් මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා එම කමිටුවේ සාමාජිකයන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ මෙම විමර්ශණ අවසන් වන තෙක් අදාළ ක්‍රීඩකයන් තුන්දෙනාට (3) ක්‍රිකට් තරග තහනමක් ද මේවන විට පනවා ඇති බවයි ෴

+++++++++++++++++++++++

(07.07.2021 – 19:06 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 38 ක් සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (06) තහවුරු කර තිබෙනවා.

පිරිමි පුද්ගලයන් 21 ක් සහ කාන්තාවන් 17 ක් ඊට අයත්.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3351 ක් ලෙසටයි.

මෙම මරණ අතර අවුරුදු 30 ට අඩු කාන්තාවක (1) සහ පිරිමි පුද්ගලයෙකු (1) වනවා.

අවුරුදු 30 ත් 59 ත් අතර පිරිමි පුද්ගලයන් 5 ක් සහ කාන්තාවන් දෙදෙනෙකු (2) ද මියගිය පිරිසට අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩවල පිරිමි පුද්ගලයන් 15 ක් සහ කාන්තාවන් 14 ක් ද අද වාර්තා කළ මරණ 38 අතර අතර වනවා ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 551 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (07) දිනයේ මේ දක්වා හමුවී ඇති ආසාදිතයන් ගණන 1229 ක් ෴

++++++++++++++++++++++++

විදෙස් රටවල සිට පැමිණෙන අයට සහනයක්

(07.07.2021 – 20:30 +0530 – hirunews.lk/sinhala)

එන්නත් මාත්‍රා දෙකම (2) ලබාගෙන විදේශ රටවලින් දිවයිනට පැමිණෙන අයට මෙරටදී සිදුකරන කොවිඩ්-19 පරීක්ෂණයෙන් පසු ආසාදිතයෙකු නොවන්නේ නම් නිරෝධායනයට ලක් නොවී නිවෙස් වෙත යාහැකි බවට සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *